සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් රථ පෙළපාලියක

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් රථ පෙළපාලියක

*********************************************

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් රථ පෙළපාලියක

(22.06.2021 – 09:43 +0530 – hirunews.lk/sinhala)

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අද (22) උදෑසන පාර්ලිමේන්තුවට පැමිණියේ යතුරුපැදි, ට්‍රැක්ටර්, ත්‍රීරෝද රථ වැනි ප්‍රවාහන මාධ්‍යයන් උපයෝගි කර ගනිමින්.

ඉන්ධන මිල ඉහල දැමීමට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරුන් පිටකෝට්ටේ පිහිටි සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානය අසලින් මෙම රථ පෙළපාලිය ආරම්භ කරනු ලැබුවා.

එම රථ පෙළපාලියට මෝටර් රථ, ත්‍රීරෝද රථ, යතුරුපැදි, ට්‍රැක්ටර්, අත් ට්‍රැක්ටර්, ලොරි රථ සහ ජේ.සී.බී යන්ත්‍රයක් ද එක්ව එක් කර තිබීම විශේෂත්වයක්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැරණි මෝටර් රථයකින් මෙම රථ පෙළපාලියට එක්ව සිටි අතර තුෂාර ඉදුනිල් සහ හේෂා විතානගේ යන මන්ත්‍රීවරුන් ගමන් කළේ යතුරුපැදියකයි.

කබීර් හෂීම් මන්ත්‍රීවරයා ලොරි රථයක ගමන් කළ අතර මයන්ත දිසානායක මන්ත්‍රීවරයා ජේ.සී.බී යන්ත්‍රයක ගමන් කළා.

කින්ස් නෙල්සන් මන්ත්‍රීවරයා අත් ට්‍රැක්ටරයක් පදවාගෙන ගිය අතර එහි පිටුපස රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියද හිදගෙන සිටින අයුරු දක්නට ලැබුණා.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා බස් රථයක් පදවාගෙන ගිය අතර එම රථ පෙළපාලිය පාර්ලිමේන්තු වටරවුම ආසන්නයට පැමිණීමෙන් පසු මන්ත්‍රීවරුන් පිරිස පාගමින් විරෝධතා පුවරු රැගෙන පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව දක්වා ගමන් කළා.

එමෙන්ම ඉන්ධන මිලට විරෝධය පළ කරමින් තවත් ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධාන කර තිබුණා. කැළණිය සහ වැලිගම නගරවල මෙලෙස විරෝධතා පැවති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ඉන්ධන මිල ඉහල දැමීමට විරෝධය පළ කරමින් ආරම්භ කර ඇති විරෝධතා මාලාව අදත් ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සෙවණගල නගරයේදී පන්දම් දල්වමින් ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (21) රාත්‍රියේ විරෝධතාවක් පැවැත්වුණා.

******************************************

(22.06.2021 – 08:23 +0530 – hirunews.lk/sinhala)

අධික වර්ෂාවත් සමඟ සපුගස්කන්ද තෙල් පිරිපහදුව තුල දැවි තෙල්, ජලයට මිශ්‍ර වීමෙන් ආපදාවට පත් පුද්ගලයින් 45 දෙනෙකුට වන්දි ලබාදීමට නිර්දේශ ඉදිරිපත්ව ඇති බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ආපදාවට පත් ජනතාවට වන්දි ලබාදීම සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පත් කළ වන්දි කමිටුවේ වාර්තාව ඊයේ (21) අමාත්‍යවරයා වෙත ලැබුණු බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව පුද්ගලයින් 45 දෙනෙකුට රුපියල් 1,933,000 ක මුදලක් වන්දි වශයෙන් ලබාදීමට එම කමිටුව නිර්දේශ කර තිබෙනවා ෴

******************************************

(22.06.2021 – 09:45 +0530 – hirunews.lk/sinhala)

සියලුම වර්ගවල ලන්ච්ෂීට් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, ඊයේ (21) පරිසර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදියි.

‘ඉක්මණින් දිරාපත්වන ලන්ච්ෂීට්’ හඳුන්වාදෙන බවට ඇතැම් සමාගම් ප්‍රකාශ කර තිබුණද මේ දක්වා එම තීරණය නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

දැනට ලොව කිසිදු රටක ලන්ච්ෂීට් භාවිත නොකරන බව පෙන්වා දෙන පරිසර අමාත්‍යාංශය ලන්ච් ෂීට් භාවිත කරන එකම රට ශ්‍රී ලංකාව බව පවසනවා.

මෙරට ප්‍රධාන සමාගම් හතරක් (4) විසින් මාසයකට ලන්ච් ෂීට් ටොන් හතත් අටත් (7-8) අතර ප්‍රමාණයක් නිපදවනු ලබන අතර, වාර්ෂිකව මෙරට ලන්ච් ෂීට් භාවිතය ටොන් 106 ක්.

ඒ අනුව දිනකට මෙරට පරිසරයට බැහැර කෙරෙන ලන්ච් ෂීට් ප්‍රමාණය අවම වශයෙන් මිලියන 10 ඉක්මවන බවට දළ වශයෙන් තක්සේරු කර තිබෙනවා ෴

******************************************

(22.06.2021 – 10:21 +0530 – hirunews.lk/sinhala)

සෑම වසරකම ජුනි මස 26 වන දින ‘ජාතික බලශක්ති දිනය’ ලෙස ප්‍රකාශයට පත් කිරීමට ගෙන ආ කැබිනට් මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

විදුලිබල අමාත්‍යවරයා සහ බලශක්ති අමාත්‍යවරයා එක්ව ඒකාබද්ධ යෝජනාවක් ලෙස මෙය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා ෴

******************************************

(22.06.2021 – 10:48 +0530 – hirunews.lk/sinhala)

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කිරීම මාස 06 ක් යනතුරු සිදුනොකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කළ අතර එම අනු කමිටුව මගින් ඉදිරිපත් කරන ලද යෝජනා ඊයේ (21) පැවති අමාත්‍ය මණ්ඩලට ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් දැනට නියම කර ඇති පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1493 කට ගෑස් සමාගම විසින් තවදුරටත් වෙළඳපොළේ අලෙවි කළ යුතු වනවා.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් කර්මාන්තය (LP ගෑස්) ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා වෙළඳ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මේ වනවිට වෙළඳපොළේ පවතින 12.5 Kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරය අඛණ්ඩව වෙළඳපොලේ අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා.

ඊට අමතරව ගෑස් මිලදී ගැනීම, ප්‍රවාහනය සහ ගබඩා කිරීම සඳහා හම්බන්තොට නව ගෑස් පර්යන්තය භාවිත කිරීමට යෝජනා කර ඇති අතර ප්‍රධාන සමාගම් දෙකටම (2) ඒ සඳහා සම අවස්ථා හිමිවනු ඇති.

එමෙන්ම රටට අවශ්‍ය LP ගෑස් මිලදී ගැනීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු ප්‍රවාහන හා ගබඩා කිරීමේ කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා ලිට්රෝ සහ ලාෆ් සමාගම් දෙකේම (2) අදාල ක්ෂේත්‍රය පිළිබද විශේෂඥ දැනුමැති නියෝජිතයින් ඇතුලත් වන පරිදි කමිටුවක් පත් කිරීමටත් මෙහිදී යෝජනා වී තිබෙනවා.

එමෙන්ම මෙම සියලු යෝජනා මාස 06 ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමටත් එහි උපරිම ආර්ථික ප්‍රතිලාභ මහජනතාව වෙත ලබාදීමටත් මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ දී තීරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය කාලසීමාව තුලදී ලිට්රෝ සහ ලාෆ් සමාගම් දෙකම කිලෝ ග්‍රෑම් 9.5 ක් වන නව ගෑස් සිලින්ඩර් දෙකක් ලීටර පරිමාවෙන් වෙළඳපොළට හඳුන්වාදීම හේතුවෙන් බරපතල ගැටළු සහගත තත්ත්වය නිර්මාණය කෙරුණා.

මේ සම්බන්ධයෙන් පර්භෝගිකයින්ට සිදුවන අසාධාරණය පිළිබඳව දිගින් දිගටම පාරිභෝගික අධිකාරියට එල්ල කෙරුණු චෝදනා සහ බලපෑම් හමුවේ අදාල සමාගම් දෙකටම (2) එම ගෑස් සිලින්ඩර වෙළඳපොලෙන් ඉවත්කර ගැනීමට නියෝග කෙරුණා.

කෙසේ වෙතත් අදාල සමාගම් දෙකම (2) මේ දක්වාත් එම අඩු බරැති ගෑස් සිලින්ඩර වෙළඳපොලෙන් ඉවත්කර ගැනීමට කටයුතුකර නැත්තේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ප්‍රශ්න කරමින්.

මේ අතර, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති මාධ්‍ය හමුවේදී පොහොර ගැටළුව සහ සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසා සිටියා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ රට තුළ පොහොර හිඟයක් නොමැති අතර සහල් ආනයනය කිරීමට තීරණය කළේ රට තුළ සහල් සංචිත පවත්වා ගෙන යාමේ අරමුණෙන් බවයි.

******************************************

(22.06.2021 – 11:34 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය සඳහා වැය වන පිරිවයද ඉහළ ගොස් ඇති බව ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

ඔවුන් පවසන්නේ පසුගිය 11 වන දින සිට ඩීසල් ලීටරයක මිල රුපියල් 07 කින් ඉහළ යාම හේතුවෙන් සෑම කිලෝ මීටරයකට අමතර පිරිවැයක් දැරීමට තමන්ට සිදුව ඇති බවයි.

දැනට කිලෝ මීටරයකට ලැබෙන ප්‍රවාහන ගාස්තුවට අමතරව, ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් 13,200 ටැංකි රථයකට රුපියල් 18.83 ක්ද, 19,800 ටැංකි රථයකට රුපියල් 28 ක් සහ 33,000 ටැංකි රථයකට රුපියල් 7.67 ක අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇති බව එම සංගමය පෙන්වා දෙනවා.

පසුගිය පෙබරවාරි මස 25 වන දින අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකදී මාර්තු මස 12 වන දින සිට ප්‍රවාහන ගාස්තු මිල සූත්‍රය සම්පූර්ණ කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවද පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

කෙසේ වෙතත් ඒ පිළිබඳව තවමත් විසඳුමක් ලබා නොදීම හේතුවෙන් ප්‍රවාහනකරුවන් බරපතල ගැටළු රැසකට මුහුණ දී ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියා.

සාකච්ඡා සිදුකර මෙම සතිය තුල ඊට විසඳුම ලබා නොදුනහොත් සිය සාමාජිකයින් සේවයට වාර්තා නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අනතුරු අඟවනවා.

එසේ වුවහොත් ඉන්ධන ප්‍රවාහනයේ ගැටළුකාරී තත්ත්වයක් ඇති වී රට තුල ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ද පවතිනවා.

මෙරට ඉන්ධන සැපයුම් ප්‍රවාහන ජාලයේ 90% ක පමණ පාලනයක් සතුව ඇත්තේ පෞද්ගලික ටැංකි රථ හිමියන් සතුවයි.

ඛනිජතෙල් සංස්ථාව මඟින් ඔවුන්ගේ ප්‍රාදේශීය ප්‍රධාන බෙදාහරීම් මධ්‍යස්ථාන වෙත දුම්රිය උපයෝගී කරගනිමින් ඛනිජ තෙල් ප්‍රවාහනය සිදුකරන අතර එලෙස බෙදාහැරෙන ඛනිජ තෙල් ප්‍රාදේශීය බෙදාහරීම් මධ්‍යස්ථාන වෙතින් නැවතත් ඉන්ධන හල් වෙත බෙදාහැරීමේ වැඩි කාර්ය භාරයක් පැවරෙන්නේ ද පෞද්ගලික ටැංකි රථ හිමියන්ටයි ෴

******************************************

(22.06.2021 – 11:51 +0530 – hirunews.lk/sinhala)

අද වනවිට මෙරට වෙළඳපොළේ නියමිත ප්‍රමිතියෙන් යුතු රෙදි සෝදන සබන් වර්ග ඇත්තේ 3 ක් පමණක් බව පාරිභෝගික කටයුතු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

ඔහු පවසන්නේ නියමිත ප්‍රමිතියෙන් යුතු රෙදි සෝදන සබන් නිෂ්පාදනය කරනු ලබනුයේ ද සමාගම් තුනක් (3) පමණක් බවයි.

පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ බහුජාතික සමාගම්වල ආධිපත්‍යයට මෙරට සබන් කර්මාන්තය සහමුලින්ම නතු වී ඇති බවයි.

කෙසේ වෙතත් නියමිත ප්‍රමිතියෙන් යුතු රෙදි සෝදන සබන් රුපියල් හතළිහක් (40.00) වැනි අඩු මිලකට සතොස හරහා රට පුරා බෙදා හැරීමට කටයුතු සූදානම් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴

******************************************

(22.06.2021 – 12:16 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එයින් මරණ 08 ක් ඊයේ (21) දින සිදුවූ රිය අනතුරුවලින් සිදුව ඇති අතර අනෙක් මරණ තුන (3) ඊට පෙර සිදුවූ අනතුරුවලින් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි අය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස සිදුව ඇති මරණ වලින් පදිකයින් දෙදෙනෙකු (2), යතුරුපැදිකරුවන් 6 දෙනෙකු, පාපැදිකරුවන් දෙදෙනෙකු (2) සහ ලොරි රථයක ගමන් කළ එක් පුද්ගලයෙකු (1) සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මාර්ගයේ ගමන්කරන පදිකයින් සහ කුඩා වාහනවල ගමන් ගන්නා පුද්ගලයින් වැඩිවශයෙන් රිය අනතුරුවලට භාජනයව ජීවිතක්ෂයට පත්වන බව ඔහු වැඩිදුරත් සඳහන් කළා.

******************************************

(22.06.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

රුපියල් බිලියන 200 ක වටිනාකමකින් යුත් පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එය රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කිරීමටද අමාත්‍යවරයා විසින් යෝජනා කළ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

අදාළ පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇත්තේ එන්නත් මිලදී ගැනීම, 5000 සේ දීමනාව ලබාදීම ඇතුළු පවතින කොරෝනා තත්ත්වය සඳහා වූ සුවිශේෂී කරුණු කිහිපයක් මුල් කරගෙනයි.

එමෙන්ම 2020 වර්ෂය සඳහා මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවද අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

******************************************

(22.06.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

අලුතින් පොල් පැල ලක්ෂ 40 ක් සිටුවීමට පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සැළසුම් කර තිබෙනවා.

එම වැඩසටහන ලබන මස 10 වනදා පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

පොල් වගාව ප්‍රවර්ධනය කිරීම මෙහි අපේක්ෂාව වී ඇති අතර, දැනට මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය බිලියන 3 කට ආසන්නයි ෴

******************************************

(22.06.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට රජය තීරණය කරනු ලැබුවේ වී මෝල් හිමියන්ගේ ඒකාධිකාරය බිඳ දැමීමට බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ප්‍රකාශ කළා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර, එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය මාධ්‍ය හමුවක් කැදවමින් පවසා සිටියේ රජය විසින් සහල් ආනයනය කිරීමට ගනු ලැබූ තීරණයට විරෝධය පළ කරන බවයි ෴

@@@@@@@@@@@@@@@@@@

(22.06.2021 – 10:29 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (21) මෙරටින් වාර්තාවූ ආසාදිතයන් 2,131 අතරින් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා. එම සංඛ්‍යාව 271 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 229 දෙනෙකු වාර්තාවී ඇති අතර, රත්නපුරයෙන් හඳුනාගෙන ඇති ආසාදිත සංඛ්‍යාව 208 ක්.

මඩකලපුවෙන් ආසාදිතයින් 177 දෙනෙකු, පොළොන්නරුවෙන් 144 දෙනෙකු, කළුතරින් 140 දෙනෙකු, පුත්තලමින් 118 දෙනෙකු ද ඊයේ (21) වාර්තා වී තිබෙනවා.

කොරෝනා නව ප්‍රභේදයන් මෙරට පැතිරයාම වළක්වාගැනීමට නිසි පියවර ගැනීම කඩිනමින් අවශ්‍ය බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළා.

මේ අතර දිස්ත්‍රික්ක මට්ටමින් සංචාරක සංවර්ධන සැලැස්මක් සකස් කිරීම සඳහා යෝජනා ලබාදෙන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගෙන් ඉල්ලා තිබෙනවා.

මේ යටතේ ඒ ඒ දිස්ත්‍රික්ක වල දැනටමත් ඇති සංචාරක කලාප සංවර්ධනය කිරීමටත් නව සංචාරක ආකර්ෂණීය ස්ථාන හඳුනාගෙන ඒවා ප්‍රවර්ධනය කිරීමටත් ප්‍රමුඛතාවය ලබාදෙන ලෙසයි ඔහු ඉල්ලා ඇත්තේ.

කොවිඩ් එන්නත්කරණය ලොවපුරා සිදුකිරීමටත් සමඟ ලෝකයේ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්වනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ ෴

+++++++++++++++++++++

(22.06.2021 – 11:06 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හෙද නිලධාරීන් අද (22) උදෑසන හතේ (07:00) සිට පැය පහක (5) සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, හෙද කාර්ය මණ්ඩල, රෝහලෙන් පරිබාහිරව වෙනත් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇතුලු රෝහල් වෙත රැගෙන යාමට විරෝධය පළ කරමින් ෴

+++++++++++++++++++++

(22.06.2021 – 12:08 +0530 – hirunews.lk/sinhala)

මාදිවලින් හමුවුණේ ඩෙල්ටා වෛරසය ආසාදනය වූ පුද්ගලයකු බවට මේ දක්වා තහවුරු වී නොමැති අතර ජාන පරීක්ෂණයේ දී යම් වෙනසක් පෙන්නුම් කිරීම නිසා ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බවයි වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ.

මේ අතර මාදිවල ප්‍රදේශය සම්බන්ධයෙන් ගත යුතු සියලුම සෞඛ්‍යය ක්‍රියාමාර්ග මේ වන විටත් කියාත්මක කරමින් සිටින අතර එම ප්‍රදේශයේ අශ්‍රිතයින් සොයා පරීක්ෂණ තවදුරටත් සිදු කරමින් පවතිනවා.

එම පරීක්ෂණවල ප්‍රතිඵල ඉදිරි දිනවලදී ලැබීමට නියමිත අතර ඉදිරියේදී එම වාර්තා ප්‍රසිද්ධ කරන බවයි වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා වැඩි දුරටත් කියා සිටියේ.

මෙම ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය වැළඳුනු බවට සැක කෙරෙන අදාළ කාන්තාව අයි.ඩී.එච්. වසංගත රෝග විද්‍යායතනයට ප්‍රතිකාර සඳහා අද (22) යොමු කෙරුනා.

මේ අතර ඉන්දීය ඩෙල්ටා වෛරසය ඉන්දියාවෙන් සොයා ගැනුනේ ගිය වසරේ බවත් ඊට මාස හතරකට (4) පමණ පසුව මෙය වසංගතයක් දක්වා වර්ධනය වූ බවත් වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

එම කාලය තුළ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින්ගෙන් පවා මෙරට තුළ ඩෙල්ටා වෛරස ව්‍යප්ත විය හැකි බවයි ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *