මසකට පසු විවෘත වූ රට

මසකට පසු විවෘත වූ රට

*********************************************

මසකට පසු විවෘත වූ රට

(21.06.2021 – 20:04 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ අද (21) දිනයේ බොහෝ පිරිසක් මහා මාර්ග, වෙළඳසැල් ආශ්‍රිතව දක්නට ලැබුණා.

ඒ.ටී.එම්. යන්ත්‍ර ආශ්‍රිතව මෙන්ම මත්පැන් අලෙවිසැල් අවටද ජනතාව එක්රැස්ව සිටි අතර, බොහෝ දෙනෙකු නිරෝධායන නීති අනුගමනය කරන ආකාරයක් දක්නට ලැබුණේ නැහැ.

පොදු ප්‍රවාහන සේවා ද අද (21) දිනයේ ක්‍රියාත්මක වූ අතර දුම්රිය 23 ක්, ධාවනයට යොදවා තිබුණා. හෙට (22) දිනයේත් ඒ ආකාරයටම දුම්රිය ධාවනය කෙරෙන අතර අවශ්‍ය වුවහොත් අතිරේක දුම්රිය යොදවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම ශ්‍රී ලංගම බස් රථ ද අවශ්‍ය ප්‍රමාණයට යොදවා ඇති අතර, පෞද්ගලික බස් සංගම් ප්‍රකාශ කළේ මගීන්ගේ පැමිණීම අනුව බස් රථ යෙදවීම ඉදිරියේදී ඉහළ දැමීමට අපේක්ෂා කරන බවයි.

එසේම අද (21) දිනයේ දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරුණු අතර, එළවළු සහ පළතුරුවල මිල සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබුණා.

+++++++++++++++++++++++++

(21.06.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ යම් හඳුනාගැනීමක් සිදුකළ බව කියන මාදිවෙල – ප්‍රගතිපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා සේවය කළ කොම්පඤ්ඤ වීථිය ප්‍රදේශයේ ඉදිකිරීම් බිමේ කටයුතු නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබෙනවා.

මේ අතර, මෙරට සමාජයෙන් පළමු වරට ඩෙල්ටා ප්‍රභේදය වැළදුණු රෝගීන් 5 දෙනා පදිංචි ප්‍රදේශයෙන් පසුගිය දා සොයා ගත් ආසාදිතයන් 15 දෙනාට වැළදී ඇත්තේ ඇල්ෆා ප්‍රභේදය බවට තහවුරු වුණා.

මෙරට සමාජයෙන් පළමු වරට ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයන් පස්දෙනෙකු (5) හදුනා ගැනුණේ පසුගිය 17 වනදා දෙමටගොඩ ආරාමය ප්‍රදේශයෙන්. මේ වනවිට එම ප්‍රදේශය හුදෙකලා කර ඇති අතර, ප්‍රදේශයේ ජනතාවට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමද ආරම්භ කර තිබෙනවා.

අදාල ආසාදිතයින් වාර්තා වීමෙන් පසු එම ප්‍රදේශයෙන්ම තවත් කොරෝනා රෝගීන් 15 දෙනෙකු පසුගිය දා සොයා ගැනුණා. කෙසේ වෙතත්, ඔවුන්ට වැළදී ඇත්තේ ඇල්ෆා ප්‍රභේදය බවට මේ වන විට තහවුරු වී තිබෙනවා.

එවන් පසුබිමක යම් ආසාමාන්‍යතාවක් පෙන්නුම් කරන සැක සහිත සාම්පලයක් පිළිබඳව මාදිවෙල – ප්‍රගතිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගෙන් වාර්තාවීමත් සමඟ රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය පියවර ගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියා.

දැනට සිදුකරන අහඹු කොරෝනා පරීක්ෂණවලදී ආසාදිත බවට තහවුරු වන සාම්පල පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් ජාන විශ්ලේෂණ පරීක්ෂණ සිදුකරමින් පවතින බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා අද (21) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඩෙල්ටා ප්‍රභේදය හමුවේ ඉන්දියාව මුහුණදුන් තත්වය පිළිබඳව අවබෝධයෙන් කටයුතු නොකරන්නේ නම් මෙරට තුළ එම ප්‍රභේදය පාලනය අපහසු වනු ඇති බවයි.

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 367 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (21) දිනයේ මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2098 ක් වනවා. ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා ආසාදිතයන් 241,820 ක් වාර්තාවී තිබෙනවා ෴

+++++++++++++++++++++

(22.06.2021 – 06:19 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද (22) උදෑසන 06}00 සිට හුදෙකලා කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් බල ප්‍රදේශයේ සේරුපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දරාම මාවත මෙලෙස හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල පොලිස් බල ප්‍රදේශයේ කොටවල ග්‍රාම නිලධාරී වසමද හුදෙකලා කර තිබෙනවා.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ මහබාගේ පොලිස් බල ප්‍රදේශයේ කෙරන්ගපොකුණ ජෝර්ජ් මාවත ග්‍රාම නිලධාරී වසම හුදෙකලා භාවයෙන් ඉවත් කර ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ ෴

++++++++++++++++++++++

(22.06.2021 – 06:31 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ගතවූ පැය 24 ක කාලය තුල පුද්ගලයින් 396 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව මේ දක්වා කාලය තුල මෙම නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 41,914 ක්.

මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ජනතාව කටයුතු කරන්නේදැයි සොයාබැලීම සඳහා අද (21) සිට වැටලීම් ක්‍රියාත්මක කරන බවයි ෴

+++++++++++++++++++

(22.06.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ඇතුලුව ආසියානු රටවල් සඳහා ඇමරිකාව ලබාදෙන පළමු (1) එන්නත් මිලියන හත (7) ඇතුළත් එන්නත් මිලියන 25 ක තොගය නැව් ගත කිරීම ආරම්භ කර තිබෙනවා.

දෙවන (2) අදියර යටතේ තවත් එන්නත් මාත්‍රා මිලියන 16 ක් ලංකාව ඇතුලුව ආසියානු රටවලට ලබාදෙන බවයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළේ.

මේ අතර, ඊයේ (21) දිනයේදීත් මෙරටින් නව ආසාදිතයන් 2,131 ක් හඳුනාගැනීමත් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 241,820 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 2,098 ක් අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 33 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 31,952 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 272,087 ක්.

මේ අතර ගත වූ මාස දෙකක (2) කාලය තුළ කොරෝනා ආසාදිත මරණ 2000 ඉක්මවා වාර්තා වී තිබෙනවා.

ඒ අනුව දළ වශයෙන් මාසිකව කොරෝනා හේතුවෙන් පුද්ගල මරණ දහසක් (1000) පමණ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කොරෝනා ආසාදිත මරණ 52 ක් ඊයේ (22) දිනයේ වාර්තා වූ අතර එම මරණ සිදුව ඇත්තේ පෙරේදා දිනයට අදාළවයි.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 2,633 ක් දක්වා ඉහළ ගියා.

ඉන් මරණ 2024 ක් සිදුව ඇත්තේ කොරෝනා තුන්වන (3) රැල්ලට අදාළවයි.

මේ අතර, කොරෝනා හේතුවෙන් තම දෛනික ජීවනෝපායන් අහිමි වූවන් මුහුණ දෙන ගැටළු පිළිබදව නිරන්තරයෙන් වාර්තා වනවා.

එවන් පසුබිමක ජීවනෝපාය අහිමි වූ කිරුළපණ පදිංචි පවුලකට විදුලි බිල්පත් නොගෙවන්නේ නම් විදුලිය විසන්ධි කරන බවට විදුලිබල මණ්ඩලයෙන් දැනුම් දී තිබෙනවා.

මේ අතර ඉතාලියේ මේ මස 28 වන දා සිට මුව ආවරණ පැළඳීම අනවශ්‍ය බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

දැනට ආසාදිතයින් නොමැති සුදු පැහැය යටතේ දක්වා ඇති එරට කළාප වලට එය බලපැවැත්වෙන බවයි ඔහු පවසා ඇත්තේ.

එරට විශේෂඥයින් සඳහන් කර ඇත්තේ 28 වන සඳුදා වන විට මුළු ඉතාලියම සුදු කළාපයක් බවට පත් කළ හැකි වනු ඇති බවයි.

ඊයේ (21) දිනයේ එරටින් වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 495 ක් පමණ වන අතර සිදු ව ඇති මරණ සංඛ්‍යාව 21 ක් ඉතාලියේ මේ වන විට මිලියන 46 කට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දී තිබෙනවා.

එමෙන්ම ලොව පුරා කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තාවීමේ අඩුවක් මේ වනවිට දක්නට ලැබෙනවා.

ගතවූ පැය විසි හතරේ (24) ලොව පුරා ආසාදිතයන් වාර්තාවී ඇත්තේ 2,76,182 ක් පමණයි.

මරණ 5,811 ක් දක්වා අඩුව තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@@@

(21.06.2021 – 20:18 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහාලුම් 87 ක තිබූ ප්ලාස්ටික් පබළු වලින් සියයට 60 ක් පමණ මුහුදු පත්ලේ තැන්පත්ව ඇති බවට මේ සම්බන්ධයෙන් සොයා බැලීමට මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් ප්‍රකාශ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ අධිකරණ අමාත්‍යාංශයේ අද (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

******************************************

(21.06.2021 – 20:30 +0530 – hirunews.lk/sinhala)

තම වගාවන්ට අවශ්‍ය පොහොර කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලා අදත් (21) විරෝධතා පැවැත්වුණා.

දෙහිඅත්තකණ්ඩිය – නවමැදගම ප්‍රදේශයේදී ගොවීන් අද (21) දහවල් විරෝධතාවක නිරත වුණේ තම වගාවන් වලට අවශ්‍ය පෙහොර ලබා දෙන ලෙස ඉලල්මින්.

විරෝධතාවල නිරත වූ ඔවුන් පසුව දෙහිඅත්තකණ්ඩිය – දියවීදාගම මහා පත්තිනි දේවාලයට පැමිණ දේව කන්නලව්වක ද නිරත වුණා.

වැලිමඩ ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (21) වැලිමඩ නගර මධ්‍යයේ විරෝධතාවක් පැවැත්වූයේ තම ප්‍රදේශයේ ගොවීන්ට පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින්. පසුව ඔවුන් සටන් පාඨ කියමින් ප්‍රාදේශීය සභාවට ද පැමිණියා.

******************************************

(21.06.2021 – 22:35 +0530 – hirunews.lk/sinhala)

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය හිමිවී තිබෙනවා.

සහල් නිෂ්පාදකයන් සහ වෙළඳුන් ජනතාව පීඩනයට පත්වන ආකාරයට මිල ඉහළ දැමීමට කටයුතු කිරීම හේතුවෙනුයි මෙම යෝජනාව විෂයභාර අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ.

දේශීය ගොවියා සහ සහල් නිෂ්පාදකයා ආරක්ෂා කිරීමේ අරමුණින් සහල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය නවතා දමනු ලැබුවා.

එමෙන්ම, වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගෑස් මිල වැඩි නොකිරීමට ද අමාත්‍ය මණ්ඩල තීරණය කර තිබෙනවා.

ගෑස් මිල සංශෝධනයට කිරීමට පසුගිය දා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර එහිදී අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ඒ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත් කෙරුණා.

එම අනු කමිටුව අද (21) රැස්වූ අතර, එහිදී තීරණය වූයේ ගෑස් මිල වැඩි නොකිරීමටයි.

ගෑස් සමාගම් රුපියල් 500 කට වඩා වැඩි මිලකින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමිය යුතු බවට ඉල්ලීම් කර තිබුණා ෴

******************************************

(21.06.2021 – 23:02 +0530 – hirunews.lk/sinhala)

ලෝ සුපතල – මෙරට සුන්දරම වෙරළ තීරයක් වන අරුගම්බේ වෙරළ හා ඒ ආශ්‍රිත ඉඩම් නීති විරෝධීව අත්පත් කර ගෙන ඒවා රුපියල් කෝටි ගණන්වලට විකිණීමේ මහා පරිමාන ජාවාරමක් ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය කරගත්තා.

සංචරණ සීමා පනවා තිබු පසුගිය කාලසීමාවේ රජයේ ඉඩම්වල කඩොලාන පරිසර පද්ධතියද වනසමින් සිදුකළ එම ජාවාරම් පිළිබඳවයි අද (21) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය.

අම්පාර දිස්ත්‍රික්කයට අයත් ආරුගම්බේ මුහුදු තීරය දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමද ආකර්ශණය දිනාගත් ප්‍රදේශයක්.

සර්ෆින් හෙවත් දියමත ලිස්සායාම ක්‍රීඩාව සඳහා බොහෝ පිරිසක් තෝරාගන්නේ ද ආරුගම්බේ මුහුදු තීරයයි.

එලෙස ඉතා ඉහළ වාණිජ වටිනාකමක් ඇති ආරුගම්බේ මුහුදු තීරය අවට ඇති වෙරළ සංරක්ෂණ ,වන සංරක්ෂණ හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවලට අයත් ඉඩම් කලක පටන් අනවසර ඉඩම් ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට නතුව තිබෙනවා.

******************************************

(22.06.2021 – 06:54 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන්ගේ මඩකලපුව, සින්නිවුර්නි ප්‍රදේශයේ පිහිටි සිය නිවස ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීම පුද්ගලික ආරවුලක් මත සිදුවූවක් බවට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙක් විසින් ඊයේ (21) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස මිය ගියේ වැලි ටිපර් රථ රියදුරෙකු ලෙස කටයුතු කළ 35 හැවිරිදි වියේ පසුවූ අයෙක්.

අදාල පොලිස් කොස්තාපල්වරයා සහ වැලි ටිපර් රථ රියදුරා අතර මීට දින කිහිපයකට පෙර ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් පැවැති පුද්ගලික ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතුවී තිබෙනවා.

වෙඩි තැබීම සිදුකළ සැකකාර පොලිස් කොස්තාපල්වරයා අද (22) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය ද අද (22) දින සිදුකිරීමට නියමිතයි ෴

******************************************

(22.06.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.

පැය භාගයකට ආසන්න කාලයක් ඊයේ (21) පස්වරුවේ පැවති මෙම සංවාදයේදී දෙරටේ ද්වි පාර්ශවික සබදතා ඉහළ නංවා ගැනීම පිළිබදව සාකච්ඡා කර ඇති බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

ඉන්දියාව මෙරටට ලබාදී ඇති මූල්‍යාධාර සහ කොවිඩ් මර්දන සහනාධාර සම්බන්ධයෙන් කෘත්‍යඥතාවය පිරිනමන බව ද එහිදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබෙනවා.

එසේම බිම්ස්ටෙක්, අයෝරා හෙවත් ඉන්දීය සාගර වටද්දර සංගමය වැනි කලාපීය සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ද මෙම සාකච්ඡාවේදී දෙරටේ විදේශ අමාත්‍යවරුන් එකඟතාව පළ කර තිබෙනවා.

දෙරට මුහුණ දී සිටින කොවිඩ් අවදානම පිළිබදව ද අමාත්‍යවරු දෙපළ දීර්ඝව සාකච්ඡා කළ බව ද විදේශ අමාත්‍යාංශය සඳහන් කළා.

කෙසේ වෙතත්, ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර ඇති බවයි.

වරාය නගර ව්‍යාපෘතියත් සමඟ ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කිරීමේදී ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව ඇතුළු කරුණු සම්බන්ධයෙන් ඇති ද්වි පාර්ශවීය සහයෝගීතාව පිළිබදව සැලකිලිමත් වනු ඇතැයි තම රට අපේක්ෂා කරන බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා ෴

******************************************

(22.06.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය උදය ගම්මන්පිළ මහතාට එරෙහිව සමගි ජන බලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (22) කථානායකවරයා වෙත භාරදීමට නියමිතයි.

ඊට පෙර ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් තිරික්කල වලින් පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කර තිබෙනවා.

පිටකෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේ සිට මෙම තිරික්කල පෙළපාලිය පැමිණීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියා සිටියේ.

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද (22), හෙට (23) සහ මේ මස 25 වනදා විරෝධතා සංවිධාන කර තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තුව අද (22) සහ හෙට (23) පමණක් රැස්වීමට නියමිතයි.

අද (22) දිනයේදී ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ නියෝග විවාදයට ගෙන සම්මත කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ.

මේ අතර, මැතිවරණ හා ඡන්ද විමසීම් ප්‍රතිසංස්කරණ මිශ්‍ර ඡන්ද ක්‍රමයට අනුව සිදුකිරීමට මැතිවරණ හා ඡන්ද විමසීම් නීති රීති ප්‍රතිසංස්කරණය සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දී එකඟතාවකට පැමිණ තිබෙනවා.

එම මූලධර්මය පදනම් කර ගනිමින් පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සිදුකිරීම සඳහා ඉදිරියේදී සාකච්ඡා පැවැත්වෙනු ඇති.

එසේම ඉදිරි දිනකදී සාක්ෂි හා අදහස් ලබා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මෙන්ම පැෆ්රල් සංවිධානය ද එම කාරක සභාව හමුවට පැමිණෙනු ඇති.

එමෙන්ම, මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය හා මැතිවරණ නීති රීතිවලට යෝජිත ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂවලට යෝජනා ඉදිරිපත් කිරීමට දී තිබූ කාලය ද දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ලබන මස 15 වන දා දක්වා අදාළ යෝජනා භාරදිය හැකි බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් පත් කර ඇති විශේෂ කාරක සභාව ඊයේ (21) රැස්වූ අවස්ථාවේදී අදාළ කරුණු ගැන අනුමැතිය හිමිව ඇත්තේ.

ඒ අනුව අදාළ යෝජනා ලබන මස 15 ට පෙර ලිඛිතව දන්වා එවන ලෙසයි එම කාරක සභාවේ සභාපති සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ලියාපදිංචි දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේ.

මේ වන විට යෝජනා හා අදහස් 94 ක් ලැබී ඇති බව එම කාරක සභාවේ ලේකම් හා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ප්‍රකාශ කර සිටියා ෴

(22.06.2021 – 10:07 +0530 – hirunews.lk/sinhala)

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය ගෙන ආ විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී තිබෙනවා.

ඒ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින්.

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු ඊට අත්සන් තබා තිබෙනවා.

මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෙල් මිල ඉහල දැමිමට එරෙහිව අද (22) විරෝධතා රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුවට පැමිණියා ෴

******************************************

‘කළුගලේ ඔළුව ගහගන්න සූදානම්.. කළුගල පුපුරා යාවි..’ – ගම්මන්පිල කියයි.. පොහොට්ටු ලේකම්ද හමුවේ..

(22.06.2021 – 22:26 +0530 – lankacnews.com)

කළු ගලේ ඔළුව ගහ ගන්න එපා යැයි කතාවට කීවද තමන් ඇතුළු පිරිස හැමදාමත් කළේ කළු ගලේ ඔළුව ගසා ගැනීම බවත් නමුත් සිදු වූයේ හිස තුවාල වීම වෙනුවට කළු ගල් පුපුරා යාම බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙරණ රූපවාහිනි’යේ විකාශනය වූ ‘360’ දේශපාලන සංවාදය හා එක්වෙමිනි.

බලශක්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ, සාගර කාරියවසම්ගේ ලිපිය සහ විපක්ෂයේ විශ්වාසය භංග වැනි ක්‍රියා හේතුවෙන් ඔබ භීතියට පත්වී ඇද්දැයි වැඩසට මෙහෙය වූ සංඛ අමරජිත් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

2000 වසර වන විට කොටි ත්‍රස්තවාදය පැරදිය නොහැකි බවටත් ඔවුන්ගේ ඉල්ලීම් ලබා දී මේ ප්‍රශ්න විසඳිය යුතු බවටත් රටේ ජනතාවගෙන් 99% ක් පමණ විශ්වාස කරද්දී තමන් ඇතුළු පිරිස කොටි පරාජය කළ යුතු බවත් පරාජය කළ හැකි බවත් ජනතාවට පෙන්වා දෙමින් ඒ මතය සමාජගත කරවීමටත් අවසානයේ ජයග්‍රහණය කරවීමටත් කටයුතු කළ බව මෙහිදී බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේය. එමෙන්ම යහපාලන රජයට රටේ සියලුම දේශපාලන පක්ෂ සහ ලොව සියලු රටවල් ආශීර්වාද කරද්දී පවා එම රජයට එරෙහිව සටන් කර පරාජය කිරීමට හැකියාව ලැබුණු බව ද සිහිපත් කළේය.

සාගර කාරියවසම් මුහුණට මුහුණ හමුවූ අයුරු, ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල ආදී කාලීන දේශපාලන කරුණු රැසක් ගැන මෙහිදී අමාත්‍යවරයා විසින් කරුණු දැක්වීය.

සම්පූර්ණ වැඩසටහන :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *