ඉන්දියාවෙන් ගෙන ආ කාබනික පොහොර බහලුම් තුනක් (3) රේගු භාරයේ

ඉන්දියාවෙන් ගෙන ආ කාබනික පොහොර බහලුම් තුනක් (3) රේගු භාරයේ

*********************************************

ඉන්දියාවෙන් ගෙන ආ කාබනික පොහොර බහලුම් තුනක් (3) රේගු භාරයේ

(21.06.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද කාබනික පොහොර අඩංගු බහලුම් 3 ක් රේගු භාරයට ගෙන තිබෙනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව මෙරටට ආනයනය කරන ලද එම පොහොර තොග රේගු භාරයට ගෙන ඇත්තේ ආනයන පාලකවරයා වෙත ඉදිරිපත් කර ඇති කේත අංකයට පරිබාහිරින් ඒවා ආනයනය කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත්, අප කළ විමසීමකදී රේගු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අදාළ බහාලුම් තුනේ පොහොර කිලෝ 77,881 ක් එහි අඩංගු බවයි.

එම පොහොර තොගය ඔරුගොඩවත්ත බහලුම් පර්යන්තයේ ගබඩා කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ද ක්‍රියාත්මක බවයි.

මේ අතර පොහොර හිඟය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

නිසි වේලාවට පොහොර නොලැබීම හේතුවෙන් දැඩි පරිශ්‍රමයක් දරා ආරම්භ කළ වගාවන් විනාශ වෙමින් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර, කල්පිටිය අර්ධද්වීපයේ පාලකුඩා ප්‍රදේශයේ එළවළු ගොවීන් ද පොහොර නොමැති බව පවසමින් අද (21) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.

මේ අතර, පොහොර හිඟය හමුවේ දැඩි පරිශ්‍රමයක් දරා ආරම්භ කළ වී වගාවට නිසි පරිදි ජලය නොලැබීම හේතුවෙන් තමන් අසීරුතාවට පත්ව ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි සී කලාපයේ ගොවීන් පවසනවා.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් විධිමත් ලෙස ජලය ලබාදීමට කටයුතු කරන ලෙසයි.

******************************************

(21.06.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ මොහොතේ ගෑස් මිල වැඩි නොකිරීමට ඒ සඳහා පත් කළ පංච (5) පුද්ගල අමාත්‍ය අනු කමිටුව තීරණය කර තිබෙනවා.

ගෑස් මිල සංශෝධනයට කිරීමට පසුගිය දා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර එහිදී අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ඒ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමට මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත් කෙරුණා.

අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිළ සහ කෙහෙලිය රඹුක්වැල්ල යන මහත්වරුන් ගෙන් සැදුම්ලත් මෙම කමිටුව මීට පෙර අවස්ථා කිහිපයකදී රැස්වී ගෑස් මිල ඉහළ දැමීම සඳහා ගෑස් සමාගම් කර තිබූ ඉල්ලීම් සලකා බලනු ලැබුවා.

කෙසේ වෙතත්, අද (21) පැවති අවසන් සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගෑස් මිල ඉහළ නොදැමීමටයි.

ගෑස් සමාගම් රුපියල් 500 කට වඩා වැඩි මිලකින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමිය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත්, මිල වැඩි නොකර ඒ සම්බන්ධයෙන් විකල්ප යෝජනාවලියක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටයි මෙම අමාත්‍ය අනු කමිටුව තීරණය කර ඇත්තේ ෴

******************************************

(21.06.2021 – 14:04 +0530 – hirunews.lk/sinhala)

බඩල්කුඹුර – බෝගහපැලැස්ස ප්‍රදේශයේ මැණික් ගඟට සති කිහිපයක සිට මඩ සහිත ජලය පැමිණීම හේතුවෙන් ගඟෙහි ජලය පරිහරණයට ගැනීමට නොහැකි බවට ගම්වාසීන් පවසනවා.

වාරදොර ප්‍රදේශයේ පවත්වාගෙන යන පතලක් හේතුවෙන් මෙලෙස මැණික් ගඟේ ජලයට මඩ සහිත ජලය මුසු වී ඇති අතර ප්‍රදේශවාසීන් චෝදනා කළේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් සිදුවන කැනීම් හේතුවෙන් මෙම ගැටළුව මතු වී ඇති බවයි.

ගම්වාසීන් සමඟ එම ස්ථානය නිරීක්ෂණය සදහා ගිය හිරු මාධ්‍යවේදියා සදහන් කළේ එහි ළඟාවන විටත් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් දෙදෙනෙකු (2) ද එම ස්ථානයට පැමිණ සිටි අතර පසුව ගම්වාසීන් සහ පතලේ හිමිකරු අතර උණුසුම් සංවාදයක්ද හටගත් බවයි.

******************************************

(21.06.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල වැඩිකිරීමට සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවේ විශ්වාසය තහවුරු කිරීමේ යෝජනාවක් බවට පත්විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ හෙට (22) සහ අනිද්දා (23) රැස්වීමට නියමිත පාර්ලිමේන්තු සැසි වාරයේ කටයුතු සම්බන්ධයෙන් පක්ෂ නායකයින් අතර අද (21) පෙරවරුවේ පැවති රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

******************************************

(21.06.2021 – 14:21 +0530 – hirunews.lk/sinhala)

අලි මිනිස් ගැටුම යනු මෙරට දීර්ඝ කාලයක් පුරා නොවිසඳුනු ගැටලුවක්.

ඊට විසඳුම් ලබා දීමේ අරමුණින් අලි වැට ඉදිකළදල වන අලින්ට මෙන්ම ජනතාවටද කිසිඳු ප්‍රයෝජනයක් අත් නොවූ අලි වැටක් පිළිබඳව අනුරාධපුර, අලගොල්ලෑව ප්‍රදේශයෙන් වාර්ථා වනවා.

******************************************

(21.06.2021 – 14:24 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය පාලනය කිරීම සහ රජයේ අත්‍යවශ්‍ය වියදම් දැරීමට ඉදිරිපත් කර ඇති රුපියල් කෝටි 20,000 ක පරිපූරක ඇස්තමේන්තුව අනිද්දා (23) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර, අමාත්‍ය උදය ගම්මන්පිළ මහතාට එරෙහිව සමගි ජන බලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාව හෙට (22) කථානායකවරයා වෙත භාරදීමට නියමිතයි.

මේ අතර ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන කියා සිටියේ පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමෙන් පලක් නොවන බවයි.

කෙසේ වෙතත්, කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළේ ආණ්ඩුව තෙල් මිල අඩු කිරීමට දැන් හෝ ක්‍රියා කළහොත් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් නොකරන බවයි.

මේ අතර, ඉන්ධන මිල පහත දමන ලෙස ඉල්ලමින් අදත් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා. මොරටුව ප්‍රදේශයේ ධීවරයින් මොරටුව නගරයේදී විරෝධතාවකට එක්ව සිටි අතර ගාල්ල ප්‍රදේශයේ ධීවරයින් ද ඉන්ධන මිලට එරෙහිව විරෝධතාවයක නිරත වුණා.

එමෙන්ම, ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ මහරගමදි විරෝධතාවයක නිරත වද්දී ගලිගමුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රිවරුන් පාපැදිවලින් ගලිගමුව මංසන්ධිය වෙත පැමිණ සාමකාමි විරෝධතාවක නිරත වුණා.

සුරියවැව සහ කළුතර ප්‍රාදේශීය සභාවල විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සුරියවැවදීත්, සමස්ත ලංකා ධීවර සම්මේලනය සහ සුළුපන්න ධීවර ප්‍රජාව අම්බන්තොට ගොඩවාය ධීවර වරායේදීත් විරෝධතාවයේ නිරත වූයේ ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිවයි.

******************************************

(21.06.2021 – 15:03 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවට වසර එක හමාරක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 3 දෙනා ලබන 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවට සැකකරුවන් අද (21) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ උප පොලිස් පරීක්ෂකවරයෙක්, සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 15 දෙනෙකු ඇතුළු 20 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් ද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴

******************************************

(21.06.2021 – 17:52 +0530 – hirunews.lk/sinhala)

මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් මුහුණදෙන ගැටළු විසඳීමට රජයේ අවධානය යොමුකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, මැණික් අපනයනකරුවන් මුහුණ පා ඇති ගැටළු පිළිබඳව අරලියගහ මන්දිරයේ අද (21) පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

මැණික් හා ස්වර්ණාභරණ අපනයනය සඳහා 2015 වසර දක්වා ලබාදුන් සහන පසුගිය රජය විසින් අහෝසි කළ බවත් එම සහන යළි ලබාදෙන ලෙසයි ඊට එක්වූ මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් ප්‍රකාශ කළේ ෴

******************************************

(21.06.2021 – 18:22 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි රාජ්‍යයට පළා ගොස් සිටින ‘නඳුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ නැන්දනිය, නීතිවිරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් අද (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදුකළ විමර්ශනයකට අදාළවයි.

බත්තරමුල්ල – ජයවර්ධනගම නිවාස සංකීර්ණයේ රුපියල් එක්කෝටි පහලොස් ලක්ෂයක් (1,15,00,000) පමණ වටිනා නිවසක් සහ ඉඩමක් මත්කුඩු ජාවාරමෙන් උපයා ගන්නා මුදලින් මිලදී ගෙන ඇති බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

අදාළ මුදල් මෙම කාන්තාවට ලබාදී ඇත්තේ ‘නඳුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ නැමැත්තා බවටයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.

වැලිගම – මිරිස්ස – පොල්අතුමෝදර වෙරළ තීරයේදී පසුගිය දා සොයාගත් රුපියල් කෝටි දෙසීයකට (200) අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය ද මෙරටට එවා තිබුණේ නදුන් ‘චින්තක හෙවත් හරක් කටා’ විසින්.

මේ අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවට වසර එක හමාරක් (1½) පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි එම කාර්යාංශයේ නිලධාරීන් 3 දෙනා ලබන 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවට සැකකරුවන් අද (21) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ උප පොලිස් පරීක්ෂකවරයෙකු වන උදාර චතුරංග, පොලිස් සැරයන් උපාලි රත්නායක සහ කොස්තාපල්වරයෙකු වන සුමේධ වීරසිංහයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 15 දෙනෙකු ඇතුළු 20 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් ද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴

******************************************

(21.06.2021 – 18:40 +0530 – hirunews.lk/sinhala)

අගනගරයේ පිහිටි ඉපැරණි ගොඩනැගිලි සමූහයක් විදේශිකයන්ට පවරා දීමට එරෙහිව පොදු විරෝධයක් පෙළ ගස්වන බවට දිවයිනේ ප්‍රමුඛතම බැංකු සේවක සංගමයක් ආණ්ඩුවට අනතුරු අගවනවා.

පසුගිය රජය යටතේ විදේශිකයන්ට විකුණා දැමු රාජ්‍ය දේපල නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පැමිණි වත්මන් රජයද ඉතාම නිර්ලජ්ජිත ලෙස එයම කරන බව ලංකා බැංකු සේවක සංගමය පවසනවා.

ඒ සඳහා මුදල් අමාත්‍යාංශය යටතේ ‘සෙලන්දිවා’ නැමැති ආයතනයක් ගොඩනඟා එම ආයතනය යටතට කොළඹ කොටුවේ පිහිටි ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිළි රාශියක් පවරා ගැනීමට පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමකදී තීරණය කර ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

“ඒ අනුව කොළඹ මහ තැපැල් කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ල, ලංකා බැංකු යෝර්ක් වීදිය ගොඩනැගිල්ල (GOH Building), හිල්ටන් හෝටලය, හයිට් (Hytt) ගොඩනැගිල්ල, ගෆූර් ගොඩනැගිල්ල ආදී ගොඩනැගිලි සමූහයක් පළමු අදියරේදී පවරා ගැනීමටයි කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත්තේ.”

මෙම ගොඩනැගිලි වලින් බහුතරයක් යටත් විජිත සමයේ ඉදිකරන ලද පුරාවස්තු ගණයෙහි ලා සැලකෙන ඒවායි.

1955 අගෝස්තු මස 01 වන දින ලංකා බැංකුව විසින් මිලදී ගනු ලැබූ යෝර්ක් වීදිය ගොඩනැගිල්ල වසර 30 කට අධික කාලයක් ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලය ලෙස ද භාවිතා කරන ලද ගොඩනැගිල්ලක් බවයි ලංකා බැංකු සේවක සංගමයේ පෙන්වා දෙන්නේ.

පෞරාණික හා සංස්කෘතිමය වටිනාකමින් අනූන මෙම ගොඩනැගිල්ල ලංකා බැංකුවට අයත් වුවද එය පුරාවිද්‍යාත්මක වටිනාකමක්ද සහිත ‘සමස්ත ජාතියේම අභිමානය විදහා දක්වන සංකේතයක්’ වනවා.

වෘත්තිය සමිති පෙන්වා දෙන පරිදි මෙම සෙලන්දිවා ආයතනයේ හිමිකාරිත්වයෙන් 34% ක් ආයෝජකයන් සඳහා විවෘත වන අතර, පිහිටුවන උප සමාගම් පූර්ණ පෞද්ගලික ව්‍යාපාර වන බැවින්, රාජ්‍ය විගණනයෙන් හා කෝප් කමිටුවට ඇති වගකීමෙන් නිදහස් වෙනවා.

මෙම සැලැස්ම රාජ්‍ය දේපලවල සාරය උරාබිම සඳහා ගොඩනගන ලද උපායශීලී සැලැස්මක් බවයි ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

එමෙන්ම මෙම සමාගම කොළඹ කොටස් වෙළඳපොලෙහි ලැයිස්තුගත සමාගමක් බවට ‘සෙලන්දිවා ලෙෂර්’ (Selendiva Leisure) සමාගම මෙම මසදී කොළඹ කොටස් හුවමාරු වෙළඳපළෙහි ලියාපදිංචියට සුදානම් වන බවට තොරතුරු ද ලැබී ඇති බවයි ලංකා බැංකු සේවක සංගම් සභාපති රන්ජන් සේනානායක මහතා පවසන්නේ.

ඔහු පවසන පරිදි කොළඹ කොටුව ප්‍රදේශයේ ඇති ආර්ථික මර්මස්ථානයන්, ඓතිහාසික, සංස්කෘතික මෙන්ම පුරාවිද්‍යාත්මක අති විශාල වටිනාකමකින් යුතු ගොඩනැගිලි මේ ආකාරයට පෞද්ගලික අංශයට හෝ ජාත්‍යන්තර ආයෝජකයන්ට පැවරිමට ගන්නා ලද තීරණය නතර කරන මෙන් අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දීමටත් සංගමය කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව ආගමික නායකයන්, දේශපාලන පක්‍ෂ නායකයන්, දේශපාලඥයන් හා සිවිල් ක්‍රියාධරයන් හා එක්ව රට තුළ මතු වී තිබෙන වසංගත තත්වයට මුවා වී ආණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධීව මහජනයාට අයිති පොදු දේපල මේ ආකාරයට කූට ලෙස විකුණා දැමීමට ගෙන ඇති තීරණයට එරෙහිව ඉදිරියේදී දැවැන්ත විරෝධතාවක් පවත්වන බවයි ලංකා බැංකු සේවක සංගමයේ පෙන්වා අනතුරු අඟවන්නේ.

******************************************

(21.06.2021 – 19:06 +0530 – hirunews.lk/sinhala)

අද (21) පස්වරු 05:10 ට පමණ මඩකලපුව සින්නවූර්ණි ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් වැලි ටිපර් රථ රියදුරෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ රාජ්‍ය අමාත්‍ය S වියාලේන්ද්‍රන්ගේ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටදීයි.

අදාළ වෙඩි තැබීම සිදුකර ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විසින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ.

ඝාතනයට ලක්වූ වැලි ටිපර් රථ රියදුරා සහ අදාළ පොලිස් නිලධාරියා අතර මීට දින කිහිපයකට පෙර බහින්බස් වීමක් සිදුව තිබෙනවා.

අද (21) දින අදාළ ටිපර් රථ රියදුරා ත්‍රිරෝද රථයකින් ගමන්කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ.

වෙඩි තැබීම සිදුකල පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මෘත දේහය මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

කෙසේ වෙතත් සිද්ධිය වන අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා සිය නිවසේ සිට නැහැ.

වෙඩි තැබීම සම්බන්ධයෙන් මඩකළපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.

@@@@@@@@@@@@@@@@

(21.06.2021 – 13:59 +0530 – hirunews.lk/sinhala)

රිය අනතුරකින් තුවාල ලැබූ කොරෝනා ආසාදිත පුද්ගලයෙකුට සාර්ථක මුඛ හා හනුක සැත්කමක් සිදුකිරීමට කළුතර නාගොඩ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමත්ව තිබෙනවා.

පාපැදියකින් යමින් සිටියදී පසුගිය 15 වනදා රාත්‍රියේ මොහු මෙම රිය අනතුරකට ලක්වීමෙන් මුහුණේ අස්ථි බිඳීමක් සිදුව තිබෙනවා.

අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කළ 40 හැවිරිදි මොහුට කොරෝනා ආසාදිත බවට හදුනාගෙන ඇත්තේ රිය අනතුරෙන් පසු රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි.

පැය හතරහමාරක (4½) පමණ කාලයක් සිදුකළ මෙම සැත්කම ඉතා සාර්ථකව සිදුකළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ෴

+++++++++++++++++++

(21.06.2021 – 14:32 +0530 – hirunews.lk/sinhala)

ජනතාවට බෙදාදීම සඳහා රජය විසින් ලබාදී තිබු රුපියල් තිස්පන්දහසක් (35,000) වටිනා බඩු මළු හතක් (7) දඹුල්ල – පල්ලේගම ප්‍රදේශයේ නිවසකින් සොයාගෙන තිබෙනවා.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයාට ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකදී අදාළ බඩු මළු අද (21) පෙරවරුවේ සොයාගැනුනු බවයි දඹුල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් ඉරේෂා මාකේවිට මහත්මිය සඳහන් කළේ.

දඹුල්ල – පල්ලේගම ග්‍රාම නිලධාරීවරයා විසින් පසුගිය දිනෙක ඔහුගේ කාර්යාලය ඉදිරිපිට නිවසකට මෙම බඩු මළු තොගය ලබාදී ඇත්තේ හිමිකරුවන් විසින් පසුව රැගෙන යනු ඇති බවට නිවැසියන්ට දැනුම් දෙමින්.

කෙසේ වෙතත් දින විස්සකට (20) වැඩි කාලයක් ගතව ඇතත් එය රැගෙන ගොස් නැහැ.

වසංගත තත්වයෙන් බලපෑමට ලක්වූ බොහෝ පිරිසකට බඩු මලු නොලැබුණු බවට ග්‍රාම නිලධාරිවරයාට පැමිණිලි කර ඇතත් ඔහු ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමුකර නොමැති බවට ප්‍රදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණිලි ලැබී තිබූ බවද සඳහන් ෴

+++++++++++++++++++

(21.06.2021 – 15:41 +0530 – hirunews.lk/sinhala)

හොරණ නගරයේ රාජ්‍ය බැංකුවක් ඉදිරිපිටදී අද (21) තරුණියක් එක්වරම ඇදවැටී තිබෙනවා.

තරුණිය මෙලෙස ඇදවැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි වාර්තා වන්නේ.

එහි සිටි පිරිස එක්වී තරුණිය කඩිනමින් හොරණ මූලික රෝහල වෙත ඇතුලත් කිරීමට පියවර ගනු ලැබුවා.

එම අවස්ථාවේ ජංගම දුරකතනයක පටිගත වූ දර්ශන පහතින්.

+++++++++++++++++++++

(21.06.2021 – 15:56 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ අත්‍යාවශ්‍ය සහ අත්‍යාවශ නොවන සේවා ගණයට අයත් සියළු අමාත්‍යාංශ, ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින් සේවයට කැදවීමේ ක්‍රියාවලියේ වෙනසක් සිදුකර තිබෙනවා.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා ගණයට අයත් සියළු අමාත්‍යාංශ, ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින් සේවයට කැදවීමේදී එම ආයතනවල ප්‍රධානියාට අත්‍යාවශ්‍ය ප්‍රමාණයට පමණක් නිලධාරීන් සහ සේවකයින් ගෙන්වා ගත යුතුයි.

අත්‍යාවශ්‍ය නොවන සේවා ගණයට අයත් සියළු අමාත්‍යාංශ, ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින් සේවයට කැදවීමේ දී එක් සතියක් තුළ සේවයට කැදවිය හැක්කේ උපරිම දින 2 ක් පමණයි.

එලෙස ගෙන්වීමට හැකි වුවද එය කළ යුත්තේ අදාළ සේවකයින්ට නිවසේ සිට රාජකාරී සිදුකිරීමට නොහැකි නම් පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම පොදු ප්‍රවාහන සේවා, අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් වෙන් කර ඇති බැවින් එලෙස සේවා ස්ථානයට ගෙන්වන සේවකයින් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව නිවසේ සිට කාර්යාලය වෙත අවශ්‍ය පරිදි ප්‍රවාහන පහසුකම් ලබාදිය යුතුයි.

පෞද්ගලික අංශයේ කාර්යාල පවත්වා ගත යුත්තේ අවම කාර්ය මණ්ඩලයක් යටතේ වන අතර හැකි සෑම විටම නිවසේ සිට රාජකාරී කිරීම ඔවුන් උනන්දු කළ යුතු බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා ෴

++++++++++++++++++++

(21.06.2021 – 17:56 +0530 – hirunews.lk/sinhala)

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තිබූ රුපියල් 90,000 ක් පමණ වටිනා සයිනොෆාම් එන්නත් 30 ක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළව දුරකථන අංක 9 ක ඇමතුම් විශ්ලේෂණ වාර්තාවක් අදාළ දුරකථන සමාගම්වලින් කැදවීමට අධිකරණය අද පොලීසියට නියෝග කළා.

ඉදිරි විමර්ශන සඳහා එම දත්ත අවශ්‍ය බවට හබරාදූව පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනුයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

පොලීසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් එන්නත් ප්‍රවාහනය කළ රථයේ රියදුරු, එන්නත් භාරව ගිය පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සහ සුළු සේවකයෙකු ඇතුළු දස දෙනෙකු (10) ගෙන් පමණ මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි ෴

++++++++++++++++++++

(21.06.2021 – 18:01 +0530 – hirunews.lk/sinhala)

අද දිනයේදී මහජනතාවගේ හැසිරීම් තත්වය ඉතා කණගාටුදායක බව මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

ඉදිරියේදීත් මේ ආකාරයටම ජනතාව වගකීමකින් තොරව කටයුතු කරණු ලැබුවහොත් දැඩි ව්‍යසනකාරී තත්වයකට මුහුණ දීමට සිදුවන බව ඔහු පවසනවා.

කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 1898 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටවගොස් තිබෙනවා. සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මේ වනවිට පුද්ගලයින් 207,287 දෙනෙකු සුවය ලබා ඇති බවයි ෴

ඊයේ (20) දිනයේ කොවිඩ් ආසාදිත මරණ 52 ක් සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (21) තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2633 ක් ලෙසටයි ෴

++++++++++++++++++

(21.06.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

පාසල් ආරම්භ කරන්නේ කවදා ද යන්න පිළිබඳව තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය හැදෑරීමට නොහැකි සිසුන් සඳහා ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන සකස් කිරීමට තීරණය කර ඇති බවයි ෴

+++++++++++++++++++++

ඩෙල්ටා ප්‍රභේදයට පුදුම ඔසුවක් පේරාදෙණිය සරසවියෙන් – හෙළ වෙදකම සොයන බටහිර මහාචාර්යවරයා (22.06.2021)

• ප්‍රාණ ඖෂධය Online Order කිරීමට www.Praana.lk වෙබ් අඩවියට දැන්ම පිවිසෙන්න.
• ප්‍රාණ ඖෂධය නිවසටම ගෙන්වා ගැනීමට 077 200 7566 අමතන්න.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *