ඩෙල්ටා ප්‍රභේදය කොළඹ තවත් ප්‍රදේශයකින් හමුවෙයි ?

ඩෙල්ටා ප්‍රභේදය කොළඹ තවත් ප්‍රදේශයකින් හමුවෙයි ?

*********************************************

ඩෙල්ටා ප්‍රභේදය කොළඹ තවත් ප්‍රදේශයකින් හමුවෙයි ?

(21.06.2021 – 11:53 +0530 – hirunews.lk/sinhala)

මාදිවෙල – ප්‍රගතිපුර ප්‍රදේශයෙන් ඉන්දියාවේ ව්‍යාප්තවන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පිළිබඳ යම් හඳුනා ගැනීමක් නිසා, රෝග පාලනයට අවශ්‍ය පියවරගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසනවා.

මෙරටින් පළමු වරට ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වුවන් හඳුනා ගැනුනේ දෙමටගොඩ, ආරාමය ප්‍රදේශයෙන්.

එහිදී අහඹු ලෙස තෝරාගත් සාම්පල පහක් සම්බන්ධයෙන් කළ වැඩිදුර පරීක්ෂණ වලදී එම සාම්පල පහම ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදයේ බවට තහවුරු කර ගැනුණා.

කෙසේ වෙතත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කිරීමෙන් අනතුරුව තත්ත්වය තහවුරු කරගන්නා විටත් එම අසාදිතයින් 05 දෙනාගෙන් ප්‍රතිකාර ලබමින් සිටියේ දෙදෙනෙකු (02) පමණයි.

ඉතිරි තිදෙනා (03) ඒ වනවිටත් සුවය ලබා නිවෙස් වෙත ගොස් තිබුණා.

මේ වනවිට ආදල ආසාදිතයින් වාර්තා වූ දෙමටගොඩ, ආරාමය ප්‍රදේශයට දැඩි සංචරණ සීමා පනවා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කරනවා.

මෙම ආසාදිතයි වාර්තා වීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුව අදහස් දැක්වූ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අනුක විද්‍යා විශේෂඥ වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර මහතා කියා සිටියේ මෙම ප්‍රභේදය ඉදිරියේදී මෙරට රෝග ව්‍යාප්තියේ මූලිකම ප්‍රභවය වන බැවින් ඒ පිළිබද දැඩි අවදානයක් යොමු කරමින් කටයුතු කළ යුතු බවටයි.

කෙසේ වෙතත් උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියා.

එහිදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් තවමත් වසංගත රෝග විද්‍යා අංශයට නිල වශයෙන් දැනුම් දීමක් සිදුකර නොමැති නමුත් ලැබී ඇති තොරතුරු අනුව හදිසි ආරක්ෂණ පියවර ගෙන ඇති බවයි.

+++++++++++++++++++++++

(21.06.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

රටපුරා සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ අක්කරෙයිපත්තු රටබීමහල ඉදිරිපිට අද (21) උදෑසන දක්නට ලැබුණු දර්ශනයයි මේ.

ප්‍රදේශයේ අප වාර්ථාකරු සඳහන් කරන කරන ආකාරයට රට බීමහල විවෘත කිරීමටත් පැය ගණනාවකට පෙර මේ පිරිස මෙලස රැස්වී සිටියේ පනවා ඇති නිරෝධායන නීති රීති පිළි බඳ කිසිදු සැලකිල්ලක් නොදක්වමින්.

කෙසේ වෙතත් මෙම සිද්ධිය වාර්තා වීමත් සමඟ එහි පැමිණි අක්කරෙයිපත්තුව පොලිසිය පැමිණ සිටි පිරිසට දැඩි ලෙස අවවාද කර ඔවුන් අතර නිසි පරතරය තබා ගැනීමට අවශ්‍ය පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම රට බීමහලේ සිට දෙපසට කිලෝමීටර 50 පමණ දුරක් ඇතුලත තවත් මත්පැන් අලෙවිසල් ස්ථාපිතව නොමැති බවයි වාර්තා වන්නේ ෴

++++++++++++++++++++++++

(21.06.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා අද (21) අලුයම ඉවත් කිරීමත් සමඟ කොළඹ ඇතුළු තදාසන්න නගර බොහොමයක දැඩි රථ වාහන තදබදයක් දක්නට ලැබුණා.

දෛනික කොරෝනා ආසාදිතයින් සහ කොරෝනා මරණ ඉහළ යාම හේතුවෙන් දින 30 කට ආසන්න කාලයක් සංචරණ සීමා පනවා තිබූ අතර, අද (21) එය ඉවත්කළ පසු ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසියාකාරව පිළිපදින ආකාරයක් දක්නට ලැබුණේ නැහැ.

දිවයිනේ බොහෝ නගරවලට විශාල පිරිසක් පැමිණ සිටි අතර වෙළඳසැල්, බැංකු සහ ඒ.ටී.එම්. යන්ත්‍ර මෙන්ම උකස් මධ්‍යස්ථාන ආශ්‍රිතව දිගු පෝලිම්වල ජනතාව එක්රැස් වී සිටියේ නිරෝධායන නීති ද උල්ලංඝණය කරමින්.

කෙසේ වෙතත් බොහෝදෙනෙකු මුව ආවරණ පැළඳ සිටි අතර, මීටරයේ දුර පවත්වා ගැනීම සිදුකරන ආකාරයක් දක්නට ලැබුණේ නැහැ.

එසේම සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවේ සඳහන් කර තිබූ වෙළදසැල් තුළ රැඳී සිටිය යුතු සංඛ්‍යාව ඉක්මවමින් පුද්ගලයින් සිටින ආකාරයක් දක්නට ලැබුණා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල බස් රථ ධාවනය පහත වැටී තිබූ අතර පෞද්ගලික බස් ධාවනය වූයේ ඉතා අවම ප්‍රමාණයක්.

කෙසේ වෙතත්, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (21) දිනයේ දුම්රිය වාර 23 ක් ක්‍රියාත්මක වූ බවයි.

මේ, දෛනික රාජකාරී කටයුතු සඳහා කොළඹට පැමිණි පිරිස් පොදු ප්‍රවාහන පහසුකම් නිසියාකාරව නොතිබූ බවයි ජනතාව චෝදනා කළේ.

++++++++++++++++++++

(21.06.2021 – 13:35 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය හැදෑරීමට නොහැකි සිසුන් සඳහා ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව කියා සිටියා ෴

++++++++++++++++++++++

(21.06.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

අද (21) , හෙට (22) සහ අනිද්දා (23) යන දින තුනෙහි (3) දිවයිනේ සියළු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට පියවර ගෙන ඇති අතර, බොහෝ ආර්ථික මධ්‍යස්ථාවලට සැලකිය යුතු එළවළු තොග ලැබී තිබෙනු දක්නට ලැබුණා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු මිලදී ගැනීම සඳහා ගැනුම්කරුවන් විශාල වශයෙන් පැමිණීමත් සමඟ එළවළු වලට අධික ඉල්ලුමක් පැවතීමෙන් මිල ගණන් ඉහළ ගොස් ඇති ආකාරයක් දක්නට ලැබුණු බවයි ව්‍යාපාරිකයින් ප්‍රකාශ කළේ.

බෝංචි, මුරුංගා, මාළු මිරිස්, කරවිල කිලෝවක තොග මිල රුපියල් 280 ත්, 300 ත් අතර මිලක පැවති අතර, වම්බටු, දඹල, ලීක්ස්, අමු මිරිස්, කැරට්, මෑ කරල් වැනි එළවළුවල කිලෝවක තොග මිල සටහන් වුයේ 150 ත්, 200 ත් අතර මිලකටයි.

එසේම පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණයට මාළු තොග ලැබීම ද අද (21) සාමාන්‍ය පරිදි සිදුවුණා.

තොග සහ සිල්ලර වෙළදාම් සදහා එය විවෘත වී තිබුණ ද ගැනුම්කරුවන්ගේ අඩුවක් දක්නට ලැබුණු බවයි වාර්තා වූයේ.

මේ අතර, එන්නත්කරණ ගැටළුවක් මුල් කර ගනිමින් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් අද (21) වැඩ වර්ජනයක නිරත වූ අතර ඒ හේතුවෙන් සමෘද්ධි බැංකු වෙත පැමිණි පිරිස දුෂ්කරතාවට පත්වූයේ එම බැංකු වසා දමා තිබීම හේතුවෙන් ෴

+++++++++++++++++++++

(21.06.2021 – 13:54 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සිදුකළ අහඹු කොරෝනා පරීක්ෂණ තුළින් සමාජයේ කොරෝනා ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ.

ඊයේ (20) දිනයේ ආසාදිතයින් 300 ඉක්මවා ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 307 දෙනෙකු වාර්තා වී ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 302ක්.

කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (20) ආසාදිතයින් 253 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් 166 ක්, මඩකලපුවෙන් 130 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 122 ක් ලෙස ඊයේ (20) ආසාදිතයින් වාර්තා වී ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසහටන් අදත් (21) ප්‍රදේශ කිහිපයකදී ක්‍රියාත්මක වුණා.

+++++++++++++++++++++

දත්ත එකතු කරන්නේ දත්ත මත කළමණාකරන තීන්දු ගැනීමට මිස රූපවාහිනියේ මුහුණ දමා ගැනීමට නොවේ – ජාතික සංවිධාන එකමුතුව වසංගත රෝග ප්‍රධානියාගේ මාරු කිරීම සම්බන්ධයෙන් වෙනස් මතයක!

(22.06.2021 – 06:07 +0530 – lankaleadnews.com)

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියාට එරෙහිව එල්ලවී ඇති චෝදනා සහ ඒ මත පදනම්ව ඔහු මාරු කිරීම පිළිබඳව ‘ලංකා ලීඩ්’ වෙබ් අඩවිය ජාතික සංවිධාන එකමුතුවේ මතය විමසන ලදී. ඒ සම්බන්ධයෙන් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා අදහස් දක්වමින් :

“ඕනෑම ජෛව ක්‍රියාකාරිත්වයක වෙනස් වන දත්ත සෑම විනාඩියකටම වරක් ජනනය වනවා. නමුත් අප ඒ සියල්ල මැන බැලීමට හෝ එකතු කිරීමට යන්නේ නැහැ. දත්ත වැදගත් වන්නේ ඒ මත පදනම්ව තීන්දු ගැනීම සඳහායි. කෝවිඩ් වෛරසය ආසාදනය වූවන්ගේ වර්ධනය පිළිබඳ දිනපතා වාර්තාවන් මහජනයාට වැදගත් විය හැකියි. එහෙත් මරණ පිළිබඳව දිනපතා වාර්තාවක් ලබා දීම මහජනයාට වැදගත් වන්නේ නැහැ. එය වැදගත් වන්නේ අභ්‍යයන්තර තීන්දු තීරණ ගැනීම සඳහායි. දිනපතා මරණ ගැන සංවේදී පුවත වැදගත් වන්නේ රූපවාහිනියේ මුහුණ පෙන්වීම සඳහා විය හැකියි.

මරණ පිළිබඳව අවසන් නිගමන ස්ථිර කිරීම සඳහා දින කිහිපයක් ගත විය හැකි බැවින් දිනපතා මරණ පිළිබඳ වාර්තාවක් සැපයීම මගින් විකෘතියක් සිදුවෙනවා. අනෙක් කරුණ සංචරණ සීමා පිළිබඳව තීන්දුව මරණ අනුපාතය මත පදනම් වන්නේ නැහැ. මරණ වැඩිවීම මගින් ප්‍රකාශ වන්නේ වෙනස් තත්වයක්. සතියක මරණ ප්‍රමාණය දිනක අනුපාතයක් ලෙස සති අග ප්‍රකාශ කිරීම තමා නිවැරදි ක්‍රමය. වැරදි ක්‍රමයක් අනුගමණය කිරීම සම්බන්ධව වැරැද්ද, වසංගත රෝග අංශ ප්‍රධානියාට පමණක් බැර කළ නොහැකියි.” යනුවෙන් ප්‍රකාශ කළේය ෴

++++++++++++++++++++

වරාය සේවකයින්ට වෙන්කළ එන්නත් මාත්‍රා 300 ක් පමණ වරාය අධිකාරියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරිය සිය ඥාතින්ට සහ හිතවතුන්ට ලබා දීලා – ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති, ලාල් බංගමුව

(21.06.2021 – 21:12 +0530 – lankaleadnews.com)

ස්වාධීන වරාය සේවක සංගමය අද (21) අනාවරණය කරණු ලැබුවේ වරාය සේවකයින්ට වෙන්කළ එන්නත් මාත්‍රා 300 ක් පමණ වරාය අධිකාරියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරිය විසින් සිය ඥාති හිතවතුන්ට ලබාදුන් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති, ලාල් බංගමුව මහතා පවසා සිටියේ අදාළ වෛද්‍යවරිය විසින් එක් කුප්පියකින් සේවකයින් 12 ත් 13 ත් අතර ගනනක්ට එන්නත් ලබාදී ඇති බවය.

මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ‘එලෙස ඉතුරු කර ගත් මාත්‍රා 300 ක් පමණ තමන්ගේ හිතවතුන්ට, බාහිර පුද්ගලයින්ට එන්නත් කර තිබෙනවා. ඒ සම්බන්ධව පරීක්ෂණයක් කරලා අද වන විට ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරියව අනිවාර්ය නිවාඩු යවලා තියෙනවා.’ යනුවෙන් පැවසුවේය.

මේ අතර ලාල් බංගමුව මහතා කළ අනාවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේ, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශන සිදුකරන බවත් ඉදිරියේ දී විස්තර ලබාදෙන බවත්ය.

මෙම චෝදනාවට ලක්වන වෛද්‍යයවරිය බැසිල් රාජප්ක්ෂ මහතාගේ බිරිඳගේ ළඟම ඥතිවරියක් බව අන්තර්ජාල පුවත් අඩවියක් වාර්තා කර තිබුණි. එසේම එම වෛද්‍යයවරිය අනිවාර්ය නිවාඩු යැවීම හේතුවෙන් වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් දයා රත්නායක මහතාට තම තනතුරද අහිමි වූ බව එම අන්තර්ජාල පුවත් අඩවිය පවසා සිටියි.

@@@@@@@@@@@@@@

(21.06.2021 – 10:29 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මොරටුමුල්ල ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සූදු පිටියක් වටලා පුද්ගලයින් 14 දෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පිරිස අතර සූදු පිටිය පවත්වාගෙන ගිය කාන්තාවන් හය දෙනෙකු (6) ද සිටින බවයි වාර්තා වන්නේ.

මෙම වැටලීමේදී රුපියල් එක්ලක්ෂ පනස්දහසකට (1,50,000) ආසන්න මුදලක්, කාඩ් කුට්ටම් කිහිපයක් සහ ජංගම දුරකථන කිහිපයක් සිය භාරයට ගැනීමට වැටලීම සිදුකළ නිලධාරීන්ට හැකිව තිබෙනවා.

කාලයක සිට මෙම සුදූ පිටිය පවත්වාගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට පත් සැකකරුවන් අද (21) දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි මොරටුමුල්ල පොලීසියට සඳහන් කළේ.

******************************************

(21.06.2021 – 11:20 +0530 – hirunews.lk/sinhala)

සරුංගල් ප්‍රශ්ණයක් මුල්කරගනිමින් මිනුවන්ගොඩ, කොටගෙදර ප්‍රදේශයේදී ඊයේ (20) සිදුවූ ඝාතනයට අදාල සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 49, 24 සහ 22 යන වයස්වල පසුවන එකම පවුලේ තිදෙනෙකු (3) බවයි මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද (21) දින මිනුවන්ගොඩ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ.

සරුංගල් ප්‍රශ්ණයක් මුල්කරගනිමින් දෙපිරිසක් අතර වසර 04 ක සිට පැවතගෙන එන ආරවුලක ප්‍රතිඵලයක් ලෙස සිද්ධියට අදාළ පාර්ශවයක තරුණයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඊයේ (20) ඝාතනය කෙරුණා.

මෙලෙස ඝාතනයට ලක් වුණේ 25 හැවිරිදි ලක්මාල් ද සිල්වා හෙවත් ‘සුදූ’ නැමති පුද්ගලයෙක්.

මොහු ඊයේ (20) පෙරවරුවේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෝටර් රථයකින් යතුරුපැදිය ගැටීමට සළස්වා තිබෙනවා.

පසුව මරණකරු දිවයන අතරතුර තවත් සැකකරුවන් පිරිසක් ඔහු ලුහුබැද ගොස් මෙලෙස තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

2017 වසරේ අගෝස්තු 26 වන දා මිනුවන්ගොඩ – ගමන්ගෙදර ප්‍රදේශයේදී සරුංගල් ප්‍රශ්නයක් මුල්කර ගනිමින් පියෙකු සහ පුතෙකු ඝාතනය කෙරුණු අතර, එම චෝදනාව සම්බන්ධයෙන් ඇප ලබා සිටි 65 හැවිරිදි පුද්ගලයෙකු 2018 වසරේ අප්‍රේල් මස 05 වන දා වෙඩි තබා ඝාතනය කෙරුණේ මිනුවන්ගොඩ – යටියන මං සන්ධියේදියි.

ඊයේ (20) ඝාතනයට ලක්වූ තරුණයා ඔහුගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු බව අනාවරණ වී තිබෙනවා.

******************************************

(21.06.2021 – 12:07 +0530 – hirunews.lk/sinhala)

රට පුරා සංචරණ සීමා පනවා තිබූ කාලය තුළ මහරගම ප්‍රදේශයේ සිදුකරගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් ජාවාරමක් කොටු කරගන්නට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශයට හැකි වී තිබෙනවා.

කොට්ඨාස දූෂණ මර්දන අංශයට කලින් ලද තොරතුරක් මත සැක කටයුතු ස්ථානය වටලන අවස්ථාවේදීත් එම ස්ථානයේ නීති විරෝධී මත් පැන් පෙරමින් සිට තිබෙනවා.

මහරගම පොලිස් වසමේ නාවින්න ජයගත් පාරේ ගොඩනැගිල්ලක ඉතාමත් රහසිගත ලෙස මෙම නීති විරෝධී මත්පැන් පෙරීම සිදුකර ඇති අතර වැටලීමේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා.

වයස අවුරුදු 48 වන සැකකරු නාවින්න, ජයගත් පාරේම පදිංචිකරුවෙක්.

වැටලීමේදී එහි තිබී ගෝඩා ලීටර 500 ආසන්න ප්‍රමාණයක් සොයා ගත අතර ස්ප්‍රීතු ලීටර පහළොවක් (15) ද ඒ අතර වනවා.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සොයා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක අතර අත්අඩංගුවට ගත් සැකකරු අද (21) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

(21.06.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

‘ලොව සැමදෙනා සුවපත් වේවා’ යන්න තේමා කරගත් ජාතික පොසොන් සතිය අදින් (21) ආරම්භ වනවා.

ඒ නිමිත්තෙන් මිහින්තලය රජමහා විහාරස්ථානයේදී සති පිරිත් දේශනාවක් ඊයේ (20) ආරම්භ කෙරුණු අතර, මෙවර මිහින්තලා පුදබිම වන්දනා කිරීමට නොහැකි නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ආගමික වතාවත්වල නිරතවන ලෙසයි මිහින්තලා රජමහා විහාරස්ථානයේ භාරකාර, ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් සඳහන් කළේ ෴

******************************************

(21.06.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

කර්මාන්ත අමාත්‍යංශයේ හිටපු ලේකම් සහ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන අනූෂ පැල්පිට මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස පත්කර තිබෙනවා ෴

******************************************

(21.06.2021 – 13:52 +0530 – hirunews.lk/sinhala)

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹ – කොටුව දුම්රියපල ඉදිරිපිට අද (21) දහවල් පැවැත්වූ විරෝධතාවක් අතරතුර පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්වයක් ඇති වුණා.

ඔවුන් එම විරෝධතාව සංවිධාන කර තිබුණේ කොරෝනා වසංගතයට මුවා වී කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවට චෝදනා කරමින්.

සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට අනුව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් විරෝධතාවයේ නිරත වුණා.

එහිදී පොලීසිය ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් දැනුම්දුන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුව කටයුතු කරන ලෙසයි.

කෙසේ වෙතත්, විරෝධතාව පැවැත්වූ මාර්ගයේ ප්‍රදර්ශනයට තබා තිබූ ‘නිදහස් අධ්‍යාපනයේ මළ ගම’ යනුවෙන් සඳහන් මිනී පෙට්ටියක් සහ අනුරුවක් පොලීසිය විසින් ඉවත් කිරීමත් සමඟ සිසුන් සහ පොලීසිය අතර ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.

******************************************

(21.06.2021 – 13:55 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 52 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) යාපනය – තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (20) රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 174 කට වැඩි ප්‍රමාණයක් සහ වියලි කහ කිලෝග්‍රෑම් 5 ක ප්‍රමාණයක් එහිදී නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා ෴

******************************************

විවෘත විශ්වවිද්‍යාල උප කුලපති තනතුරට නිර්දේශිත නම් ජනාධිපති විසින් ප්‍රතික්ෂේප කිරීම ගැන FUTA විරෝධය පළ කරයි!

(22.06.2021 – 07:19 +0530 – lankaleadnews.com)

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයයේ උප කුලපති තනතුර සඳහා එම විශ්ව විද්‍යාලයේ පාලක සභාව විසින් නිර්දේශ කරනු ලැබ විශ්ව විද්‍යාලයීය ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයාගේ අනුමැතියට යවා ඇති නම් තුනම කිසිදු හේතුවක් නොදක්වා ප්‍රතික්ෂේප කර ඇත.

විශ්ව විද්‍යාලයක උපකුලපති ධුරයට පත් කිරීමේදී විශ්ව විද්‍යාලයක් විසින් අනුගමනය කරන ක්‍රියාපටිපාටිය අනුව මෙසේ සුදුසුකම් අනුව, තිදෙනකු නම්කර ඇති නමුත් ජනාධිපතිවරයා අත්තනෝමතික ලෙස එම නම් තුනම පිළිගත නොහැකි බව දන්වා තිබීම නිසා නැවත සුදුසුසකු තෝරාගැනීමේ ක්‍රියාදාමය මුල සිට ආරම්භ කිරීමට ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවධානය යොමුකර ඇත. මාස හයක කාලයක් තිස්සේ ගෙන ගිය ක්‍රියාදාමය නැවත ආරම්භක ස්ථානයට ගෙන ගොස් ඇත්තේ ජනාධිපතිවරයාට අවශ්‍ය පුද්ගලයකු පත් කිරීමේ අරමුණින්දැයි විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්‌මේලනය ප්‍රශ්න කරයි.

එම සම්මේලනය විසින් ජනාධිපතිවරයා වෙත විරෝධය දක්වමින් යැවු ලිපිය පහත පළ වේ :

ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
ජනාධිපති ලේකම් කාර්යාලයය
කොළඹ 1
ගරු ජනාධිපතිතුමනි

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයයේ උප කුලපති තනතුර සඳහා නිර්දේශිත නම් ලැයිස්තුව අත්තනෝමතික ලෙස ප්‍රතික්ෂේප කිරීම

23/06/2021 දින පුරප්පාඩු වන ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයයේ උප කුලපති තනතුර සඳහා එම විශ්වවිද්‍යාලයීය පාලක සභාව විසින් නිර්දේශ කරනු ලැබූ අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඔබ විසින් අත්තනෝමතික ලෙස ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් නියෝජනය කරන එකම වෘත්තීය සමිතිය වන විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්‌මේලනය (FUTA) ලෙස අපගේ දැඩි අප්‍රසාදය හා විරෝධය ප්‍රකාශ කර සිටිමු.

2020 මැයි 4 වන දින නිකුත් කරන ලද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අංක 02/2020 දරන චක්‍රලේඛය හරහා ඔබේ රජය විසින් හඳුන්වා දුන් ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් මෙම අපේක්ෂකයින් තෝරා ගනු ලැබ ඇති බව මුලින්ම අපි ඔබගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමු. මෙම ක්‍රමය යටතේ මුලින්ම අදාල විශ්වවිද්‍යාලයයේ ජ්‍යේෂ්ඨතම මහාචාර්යවරුන් දෙදෙනෙකු සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නම් කරන ලද සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් අපේක්ෂකයින් පස්දෙනෙකු තෝරා ගනු ලැබේ. මෙම කමිටුව විසින් ඉහත දැක්වූ චක්‍රලේඛය මගින් පූර්ව නිශ්චිත නිර්ණායක මාලාවක් අනුව අයදුම්කරුවන්ට ලකුණු ලබාදෙමින් මෙම කටයුත්ත සිදුකරනු ලබයි. අනතුරුව එම දිනය තුළදීම විශ්වවිද්‍යාල පාලක සභාව විසින් එම අයදුම්කරුවන් පස් දෙනා සඳහා ඔවුන්ගේ සුදුසුකම්, පළපුරුද්ද සහ පාලක සභාව ඉදිරියේ සිදුකරන ඉදිරිපත් කිරීමක් මත පදනම්ව නැවත ලකුණු ලබා දී එසේ ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව අනුපිළිවෙළින් ඒ අතරින් තිදෙනෙකු ‌තෝරාගනු ලබයි. අනතුරුව එසේ සකස් කරනු ලබන ලැයිස්තුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යොමු කරනු ලබන්නේ එහි නිර්දේශය සමඟ ඔබ වෙත යොමු කිරීමේ අපේක්ෂාවෙනි. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 34 (1) (a) වන වගන්තියේ දක්වා ඇති පරිදි, එසේ නිර්දේශිත නම් තුනෙන් සුදුසු අපේක්ෂකයෙකු ජනාධිපතිවරයා විසින් අදාළ විශ්වවිද්‍යාලයයේ උප කුලපති තනතුරට පත් කළ යුතුවේ.

මාස 06 ක පමණ කාලයක් වැයවූ මෙම සම්පූර්ණ ක්‍රියා පටිපාටිය මෙම අවස්ථාවෙහිදී නිසියාකාරව ක්‍රියාත්මක වූ බව අපගේ නිරීක්ෂණය වන නමුත් ඔබ විසින් කිසිදු හේතුවක් නොදක්වමින් අදාළ නම් ලැයිස්තුව අත්තනෝමතික ලෙස ප්‍රතික්ෂේප කර ඇත. විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්‌මේලනය ලෙස අප විශ්වාස කරන්නේ එවැනි අත්තනෝමතික ක්‍රියාවන් මගින් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය වෙත අතිශයින්ම නිෂේධාත්මක ලෙස බලපාන පූර්වාදර්ශයක් නිර්මාණය කරන බවයි. මෙම අත්තනෝමතික ප්‍රතික්ෂේප කිරීම තුළින් ගම්‍ය වන්නේ ඔබේම රජය විසින් හඳුන්වා දී ඇති උපකුලපතිවරයා තෝරා ගැනීමේ ක්‍රමය පිළිබඳව හෝ ආයතනයේ උත්තරීතර පාලන අධිකාරිය වන විශ්වවිද්‍යාල පාලක සභාව කෙරෙහි හෝ ඔබට විශ්වාසයක් නොමැති බවත් ය. මෙම ක්‍රියාව මගින් ලබා දෙන පණිවුඩය නම්, ජනාධිපතිවරයාට පිළිගත හැකි නමක් ඇතුළත් කරන තෙක් උපකුලපති ධුරය සඳහා ඉදිරිපත් කරනු ලබන නම් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බව වන අතර එය උපකුලපතිවරයා තෝරා ගැනීමේ ක්‍රියාවලිය සෘජුවම දේශපාලනීකරණය කිරීමට මග පාදයි. ශාස්ත්‍රීය ප්‍රජාව තුළ එවැනි හැඟීමක් ඇතිවිම‚ ඉහළ සුදුසුකම් ලත් සහ ස්වාධීන මතධාරී ශාස්ත්‍රඥයන් විශ්වවිද්‍යාලවල ඉහළම තනතුර සඳහා ඉල්ලුම් කිරීම පිළිබඳව අධෛර්යමත් කිරීමට හේතුවනු ඇති අතර ඒ වෙනුවට දේශපාලනික පක්ෂග්‍රාහීබව මූලික සුදුසුකම කරගත් පුද්ගලයින්ට උපකුලපති ධුරයන්ට පත්වීමට දොර විවරවනු ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හා සමාජයට විවිධ ඍණාත්මක බලපෑම් ඇති කර ඇති ගෝලීය කොරෝනා වෛරස් වසංගතයක් පවතින වර්තමාන අර්බුදකාරී කාල පරිච්ඡේදය තුළ අපගේ විශ්වවිද්‍යාල පද්ධතියට නායකත්වය දීම සඳහා ස්වාධීන හා සුදුසුකම් ලත් විද්වතුන් අවශ්‍ය වේ. ස්ථාපිත ක්‍රියා පටිපාටියෙන් බැහැරවීම සහ ශාස්ත්‍රීය ප්‍රජාව තුළ ව්‍යාකූලත්වයක් ඇති කිරීම විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්‌මේලනය ලෙස අප බුද්ධිමත් දේශපාලන නායකත්වයකින් අපේක්ෂා කරන ආකාරයේ ක්‍රියාවන් නොවේ. උප කුලපති තනතුර සඳහා යෝජිත නම් ලැයිස්තුව අත්තනෝමතික ලෙස ප්‍රතික්ෂේප කිරීම‚ 1978 විශ්වවිද්‍යාල පනත මගින් සුරක්ෂිත කරන ලද ස්වාධීනත්වයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ මූලික මූලධර්මවලට අදාළ සීමාවන් අතික්‍රමණය කරමින් විධායකය විසින් විශ්වවිද්‍යාල පරිපාලනය අතිශයින් දේශපාලනීකරණය කිරීමට කටයුතු කරමින් සිටින බවට වූ හැඟීමක් ජනිත කරන බවටත් අපි විශ්වාස කරමු. ඉහත දක්වන ලද කරුනු අනුව විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්‌මේලනය ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයයේ උපකුලපති තනතුර සඳහා නැවත අයැදුම්පත් කැඳවීමේ ක්‍රියාවලිය වහාම නතර කරන ලෙසත්, දැනටමත් යෝජිත නම් ලැයිස්තුවෙන් සුදුසු අපේක්ෂකයෙකු හැකි ඉක්මනින් ඒ සඳහා පත් කරන ලෙසත්ය. මෙම අවස්ථාවෙහිදී වගකීමෙන් හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමට ඔබතුමන් අපොහොසත් වුවහොත් එය රටේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම අස්ථාවර කිරීමට හේතු වනු ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *