හොර ක්‍රෙඩිට් කාඩ්පත් හැදූ හතරක් (4) ගල්කිස්සේදී අල්ලයි

හොර ක්‍රෙඩිට් කාඩ්පත් හැදූ හතරක් (4) ගල්කිස්සේදී අල්ලයි

*********************************************

හොර ක්‍රෙඩිට් කාඩ්පත් හැදූ හතරක් (4) ගල්කිස්සේදී අල්ලයි

(21.06.2021 – 07:05 +0530 – hirunews.lk/sinhala)

මාර්ග ගත ක්‍රමයට භාණ්ඩ ඇනවුම් කර මුදල් ගෙව්මේදී වංචාවන් සිදුකළ පුද්ගලයින් සිව්දෙනෙකු (4) ගල්කිස්ස, ටෙම්ප්ලස් පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සිව්දෙනා (4) අතර චීන ජාතිකයෙකු ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලාංකිකයින් තිදෙනා (3) මහනුවර, ගල්කිස්ස, සහ වරකාපොළ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මාර්ග ගත ක්‍රමයට භාණ්ඩ අලෙවිකරණ ආයතනයකින් ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඔවුන් චීන ජාතිකයාගේද සහාය ඇතිව ව්‍යාජ ලෙස ක්‍රෙඩිට් කාඩ්පත් නිර්මාණය කරන ඇති බවටයි.

ඔවුන් විසින් සාදන ලද ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් 30 ක් පමණ සොයා ගැනීමට හැකිව තිබෙනවා.

දින දෙකක (2) කාලයක් තුල ඔවුන් විසින් මාර්ග ගත ක්‍රමයට භාණ්ඩ ඇනවුම් කර ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේදී රුපියල් හත්ලක්ෂ අසූ හත්දහසක (7,87,000) පමණ මුදලක් වංචාකර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද (21) ගල්කිස්ස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

sinhala.adaderana.lk :
අදාළ පුද්ගලයින් ඔන්ලයින් ක්‍රමවේදය අනුව කෙඩිට් කාඩ්පත් මඟින් භාණ්ඩ ඇණවුම් කර පසුව එම ගාස්තු අයකර ගැනීමට යෑමේ දී එම කාඩ්පත්වල මුදල් නොමැති බවට අනාවරණය වී තිබේ ෴

ada.lk :
ගල්කිස්සේ යම් ස්ථානයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවත් ඔන්ලයින් මගින් ක්‍රෙඩිට් කාඩ්පත් මගින් භාණ්ඩ ඇණවුම් කරන විට එම කාඩ්පත්වල මුදල් ඇති බව පෙන්වූවත් පසුව එහි මුදල් නොමැති බවට පෙන්වන බව අදාළ සමාගම පොලීසියට කළ පැමිණිල්ලේ දැක්වෙයි ෴

******************************************

(21.06.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

හෙට (22) සහ අනිද්දා (23) දෙදින තුළ පාර්ලිමේන්තුව රැස්වන ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා අද (21) විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදියි.

පවතින තත්ත්වයත් සමඟ හෙට (22) සහ අනිද්දා (23) යන දෙදින තුළම පාර්ලිමේන්තුව රැස් වන්නේ ද එසේ රැස්වන්නේ නම් විවාදයට ගන්නා අණ පනත් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වනු ඇති.

මේ අතර, අමාත්‍ය උදය ගම්මන්පිළ මහතාට එරෙහිව සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරුන් අත්සන් කළ විශ්වාසභංග යෝජනාව හෙට (22) කථානායකවරයාට ලබාදෙන බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ ෴

******************************************

(21.06.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ඇති වූ ගින්නෙන් මෙරට පරිසරයට සිදුවූ හානි සොයා බැලීමට දිවයිනට පැමිණ සිටින ජගත් සංවිධානයේ පරිසර වැඩසටහනේ විද්‍යාඥයින් ඊයේ (20) අදාළ නෞකාව සහ ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙහි පැය 03 කට ආසන්න කාලයක් නිරීක්ෂණය කරනු ලැබුවා.

ඊයේ (20) පෙරවරුවේ ඔවුන් එම නෞකාව අසළට සේන්දු වූ අතර, ඊට සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ද එක්ව සිටියා.

එසේම ඔවුන් පසුගිය දා උස්වැටකෙයියාව වෙරළ තීරයේ නිරීක්ෂණ චාරිකාවකටද එක්ව තිබුණා.

කෙසේ වෙතත්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ අදාළ විද්‍යාඥයින් පිරිස තවත් දින 8 ක් පමණ මෙරට තුළ රැදී සිටිනු ඇති බවයි ෴

******************************************

(21.06.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිළිබද සිදුකළ විමර්ශන අවසන් කර ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සිදුකළ ප්‍රකාශයට එකඟ නොවන බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කළා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය කොට්ඨාශය ඊයේ (20) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ප්‍රහාරයට සම්බන්ධ සිද්ධීන් 17 කට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් විමර්ශනයන් සිදුකරගෙන යනු ලබන බවයි.

ඉන් සිද්ධීන් 09 කට අදාළව මේ වන විටත් සැකකරුවන් 32 නෙකුට මහාධිකරණ 09 ක නඩු ගොනු කර තිබෙනවා.

ඉතිරි විමර්ශන 08 අවසන් කර සැකකරුවන්ට නඩු පැවරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියා සිටියේ.

******************************************

(21.06.2021 – 08:03 +0530 – hirunews.lk/sinhala)

කැළණිවැලි මාර්ගයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා. මීගොඩ සහ පනාගොඩ ප්‍රදේශ අතරයි මෙම දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව ඇත්තේ ෴

******************************************

කාබනික පොහොර භාවිත කරමින් මිදි වගාවක් සාර්ථක කරගත් යුවලක් (20.06.2021) :

+++++++++++

ජෛව පොහොර යනු මොනවාද? රසායනික පොහොර වෙනුවට ඒවා භාවිතය නිසා ඇතිවන දිගුකාලීන වාසී මොනවාද? – තිස්ස ජනනායක (19.06.2021)

@@@@@@@@@@@@@@@@

(21.06.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා ලිහිල් කළ ද රට තුළින් ඉන්දියාවේ සීග්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදය මෙරටින් හමුවී ඇති බැවින් ඒ පිළිබදව අවධානය යොමු කරමින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට ගරු කරමින් කටයුතු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ දෙමටගොඩ – ආරාමය පෙදෙසින් ඉන්දියාවේ පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයන් හමුවීම සම්බන්ධයෙන් ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.

ඊයේ (20) දිනයේදීත් මෙරටින් නව ආසාදිතයන් 2,028 ක් හඳුනාගැනීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,39,689 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 2008 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 20 දෙනෙකු ද ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 35,766 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 2,01,389 ක්.

මේ අතර පසුගිය 19 වනදා සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද මරණ 47 ක් වාර්තාකිරීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2,581 ක් දක්වා ඉහළ ගියා.

මියගිය 47 දෙනාගෙන් 27 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර, කාන්තාවන් 20 දෙනෙකුද ඊට ඇතුළත්.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ මේ දක්වා පුද්ගලයින් 14,37,112 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති අතර, එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 4,42,657 කට ලබාදී තිබෙනවා.

නිරෝධායන නීති උල්ලංඝනය කළ 844 දෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ තලවකැලේ ප්‍රදේශයේ උත්සවශාලාවක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උත්සවයක් පැවැත්වූ හත්දෙනෙකු (7) ඊයේ (20) අත්අඩංගුවට ගත් බවයි.

මොවුන් අතර තලවකැලේ – ලිදුල නගර සභාවේ සභාපතිවරයාද වනවා.

ඊට අමතරව ගිරිබාව ප්‍රදේශයේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රක්ෂිතයක් හෙළි පෙහෙළි කරමින් සිටි හතරදෙනෙකු (4) ද පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා ෴

++++++++++++++++++++

(21.06.2021 – 08:04 +0530 – hirunews.lk/sinhala)

රට පුරා සියලු තැපැල් කාර්යාල අද (21) සිට යළි සේවා අරඹන බව තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

පෙරවරු 9 සිට පස්වරු දෙක (2) දක්වා තැපැල් කාර්යාලවලින් ජනතාවට සේවා ලබාගැනීමට හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන සියළුම සේවාවන් තවදුරටත් තාවකාලිකව නතර කෙරෙන බව ඔවුන් ඊයේ (20) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, දෙපාර්තමේන්තුව සපයන සේවාවන් පිළිබදව 070 767 7877 දුරකථනය ඔස්සේ කාර්යාල රාජකාරී වේලාවන් හිදී තොරතුරු ලබා ගත හැකියි.

අනෙකුත් වේලාවන්වලදී වට්ස්ඇප්, වයිබර් හෝ එස්.එම්.එස්. පණිවුඩයක් එවීමෙන් තොරතුරු ලබා ගත හැකි බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ෴

++++++++++++++++++++++

21.06.2021 දින දිවයින පුරා සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු පෑලියගොඩ තත්ත්වය :

+++++++++++++++++++++

කොරෝනා පැතිරුනේ නුවරඑලි ‘වසන්ත උදානය’ නිසා.. පැවැත්වූ අය වගකිව යුතුයි.. සෞඛ්‍ය ප‍්‍රධානියා එපා කිවුවා..- විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම

(21.06.2021 – 00:02 +0530 – lankacnews.com)

පසුගිය අලුත් අවුරුදු සමයේ නුවර එළියේ වසන්ත උදානය අවුරුදු සැණකෙළිය නොපවත්වන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැහැදිලිවම දැනුම් දී තිබූ බව කොළඹ අයි ඩී එච් රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

නමුත් එම උපදෙස් නොතකා එම සැණකෙළිය පැවැත්වූ බවත් වෛරසය පැතිරී යාමට විශේෂයෙන්ම එය මුල් බවත් අද වන විට නුවරඑලියේ පමණක් ආසාදිතයන් 80 ක් පමණ මිය ගොස් ඇති බවත් ඒ මහතා පැවසීය.

පවතින වෛරස් ව්‍යාප්තියට එම සැණකෙළිය පැවැත්වූ අය වගකිව යුතු යයිද ඒ මහතා සඳහන් කළේය.

සංචරණ සීමා ලිහිල් කල පසු ජනතාව එයාකාරයෙන්ම කටයුතු කළොත් රට තුල දැඩි අර්බුධකාරී තත්වයක් උද්ගත වනු ඇතැයිද ඔහු පැවසීය.

විශේෂයෙන්ම කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති තත්ත්වයක් තුළ එලෙස හැසිරීමට ගියහොත් ශ්‍රී ලංකාව විශාල අනතුරකට පත්ව ඇතැයි ද ඔහු කියා සිටියේය.

++++++++++++++++++++

ජනරාල් දයා රත්නායක ගෙදර යැව්වේ සිල්බැගේ ඥාති දොස්තර නෝනාගේ වැඩ තහනම් කළ නිසාලු!

(21.06.2021 – News Lead Lanka)

විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා වරාය සභාපති තනතුරෙන් ඉවත් කර ඇත්තේ සිල්බැ පක්ෂරාජගේ බිරිඳගේ සමීපතම ඥාති වෛද්‍යයවරියකගේ ක්‍රියා කලාපයක් හේතුවෙන් ඇයව වැඩ තහනමට ලක් කිරීම නිසා බව අන්තර්ජාල පුවත් අඩවියක ඇති ‘ඕපා දූප’ කොලමක් චෝදනා කරයි.

ඇය විසින් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීමේදී කර ඇති බරපතල අකටයුතුකම් හේතුවෙන් ඇයව වැඩ තහනමට ලක් කර ඇති බව අදාල වෙබ් අඩවිය අනාවරණය කරයි. මෙහිදී ඇයව නැවත සේවයේ පිහිටුවන ලෙස දිගින් දිගටම බලපෑම් එල්ල වී තිබූ බව පවසන එම වෙබ් අඩවිය අවසානයේදී විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා තනතුරෙන් පහකරණ මට්ටමට තත්වය දරුණු වී ඇති බවද පවසයි ෴

@@@@@@@@@@@@@@@@

A Discussion On The Paranormal And Space Science – Dr. Sarath Gunapala of NASA (14.06.2021)

******************************************

කැනඩාවේ සිදුවූ අනතුරකින් කරුණානන්ද පවුලේ පියා, මව හා දියණිය මරුට

(21.06.2021 – gossiplankanews.com)

පසුගිය සෙනසුරාදා (19) කැනඩාවේ ඔන්ටාරියෝ හි මිල්ටන්හිදී සිදුවූ මෝටර් රථ අනතුරකින් ශ්‍රී ලාංකික පවුලක් මියගියහ.

මත්පැන් පානය කළ තරුණයෙකුගේ වේගවත් හා නොසැලකිලිමත් රථ ධාවනය නිසා එම වාහනය ඔවුන්ගේ වාහනය මැදට වැදී (T-boned ආකාරයේ ) අනතුරක් සිදුව ඇති අතර මෙම අනතුර හේතුවෙන් අනෙක් රථයේ ගමන් කළ අතුල කරුණානන්ද මහතා (තාත්තා), සොමිකැළුම් කරුණානන්ද මහත්මිය (අම්මා) හා ප්‍රදීපා කරුණානන්ද මෙනවිය (දියණිය) එතැනම මියගියේ අවාසනාවන්ත ලෙසිනි.

පාන්දර 12:30 ට පමණ අනතුර සිදුවන අවස්ථාවේ 28 හැවිරිදි තරුණයා කැඩිලැක් සෙඩාන් රථය පදවමින් සිටි බවත් අනතුරින් මියගිය කරුණානන්ද මහතා එස්.යූ.වී. වර්ගයේ රථයක් පදවමින් සිටි බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.

‘SUV රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු (2) එම ස්ථානයේදීම මිය ගිය අතර තුන්වැන්නා (3) ප්‍රතිකාර මධ්‍යස්ථානයකට EMS (Emergency Medical Services) ප්‍රවාහනය අතරතුරදී මිය ගියේය’ යනුවෙන් පොලිසිය සෙනසුරාදා (19) උදෑසන නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මියගිය අතුල කරුණානන්ද මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ 1982 කණ්ඩායමේ කීර්තිමත් ආදි සිසුවෙකුද විය. බිරිඳ සොමිකැළුම් විශාඛා විද්‍යාලයේ ආදි සිසුවියකි. දියණිය අනතුර සිදුවන්නට දින 2 කට පෙර හෙදියක ලෙස උපාධිය ලබාගත් අයෙකි.

කරුණානන්ද පවුල අනපේක්ෂිත ලෙස අහිමිවීම එරට මිල්ටන්හි ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දැඩි කම්පනයට හේතුවී ඇත. ආදාහනය ජූනි 27 ඉරිදා සිදු කරන්නට සූදානම් කර ඇති අතර කොරෝනා වසංගතය හේතුවෙන් ඊට සහභාගීවීමට අවසර දී ඇත්තේ 10 දෙනෙකුට පමණි.

අනතුර සම්බන්ධව කැනඩාවේ ‘සිටි නිවුස් ‘පළ කරන ලද වීඩියෝවක් පහතින් :

******************************************

බෞද්ධ කටයුතු කොමසාරිස්ටත් ඉල්ලා අස්වෙන ලෙස බලපෑම්?

(21.06.2021 – 13:01 +0530 – lankaleadnews.com)

මහනුවර දළදා මාලිගාව සතු යැයි පැවසෙන ඉතා වටිනා ඉඩමක් මිලියන 400 කට අන්‍යාගමික පුද්ගලයෙකුට පැවරීම සම්බන්ධ ගනු දෙනුවකට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා එකඟ නොවීම හේතුවෙන් එතුමාට ඉල්ලා අස්වෙන ලෙස බලපෑම් එල්ල වී ඇතැයි ආරංචි මාර්ග පවසා සිටී.

කෙසේ වුවද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග මේ සම්බන්ධව ස්ථිර වශයෙන්ම තහවුරු නොකළ අතර යම් යම් කුමන්ත්‍රණකාරී දේපල සම්බන්ධ ගනු දෙනු වලදී බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ඉතා නිර්භීතව අනවශ්‍යය බලපෑම් වලට යට නොවී කටයුතු කරණ බව පමණක් එම ආරංචි මාර්ග තහවුරු කර සිටියේය.

කෙසේ වුවද වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් විවිධ නීති විරෝධී ක්‍රියාවලට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ නම් ඈඳමින් විවිධ ප්‍රවෘති අන්තර්ජාලය ඔස්සේ බෙදා හැරෙන බව පැවසූ මහනුවර ප්‍රදේශයේ ඓතිහාසික විහාරස්ථානනයක ගරු කටයුතු හිමි නමක් පවසා සිටියේ පැතිර යන ආරංචි සැබෑ වුවද ව්‍යාජ වුවද ඒ සම්බන්ධව අවදියෙන් සිටීම සමාජ වගකීමක් බවයි ෴

@@@@@@@@

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *