සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් වෙයි

සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් වෙයි

*********************************************

සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් වෙයි

(20.06.2021 – 18:00 +0530 – hirunews.lk/sinhala)

මාසයකට ආසන්න කාලයක් මුළු දිවයිනටම බලපැවැත්වුණු සංචරණ සීමා හෙට (21) අළුයම 4 ට ලිහිල් කෙරෙනවා. කොරෝනා තුන්වන (3) රැල්ලේ ආරම්භය සමඟ මුළු දිවයිනටම සංචරණ සීමා පනවනු ලැබුවේ පසුගිය මැයි මස 21 වනදායි.

මේ අතර හෙට (21) අළුයම සිට සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ජූලි මස 05 වනදා දක්වා බලපැවැත්වෙන ලෙස සියලු දෙනා, පොදු ප්‍රවාහන සේවා සහ ආයතන ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ‘බස්නාහිර පලාතට’ සහ ‘සෑම පලාතකටම පොදු’ යනුවෙන් වෙනම මාර්ගෝපදේශ දෙකක් (2) නිකුත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව නිවසකින් හෝ නවාතැනකින් පිටවීමට දෙදෙනෙකුට (2) පමණක් අවසර ලබාදී ඇති අතර, පෞද්ගලික, කුලී රථ සහ ටැක්සිවල ගමන් කළ හැකි උපරිම සංඛ්‍යාව දෙදෙනෙකු (2) බවට එම මාර්ගෝපදේශවල දැක්වෙනවා.

පොදු ප්‍රවාහන සේවයේ මගීන් ගෙන යා හැක්කේ ආසන ධාරිතාවයෙන් සියයට පණහේ (50%) සීමාවේ වන අතර, බස්නාහිර පළාත තුළ අත්‍යවශ්‍ය සේවා සඳහා සේවකයින් ප්‍රවාහනය පමණක් සිදුකරන ලෙසයි එහි සඳහන් වන්නේ.

ආයතනවල රැස්වීම් සඳහා බස්නාහිර පළාත තුළ අවසරයක් හිමි නොවන අතර, සෙසු පළාත්වල අත්‍යවශ්‍ය නම් පමණක් ඒවා පැවැත්විය හැක්කේ උපරිම සංඛ්‍යාව 10 දෙනෙකුට සීමා කරමින්.

එමෙන්ම වැඩමුළු, සම්මන්ත්‍රණ, සන්නාම දියත් කිරීම, බස්නාහිර පළාත තුළ තහනම් වන අතර, සෙසු පළාත්වල පුද්ගලයින් 25 දෙනෙකු සීමා කරමින් අත්‍යවශ්‍ය නම් පැවැත්විය හැකියි.

කර්මාන්ත, විශේෂිත ජෛව ආරක්ෂිත බුබුලක් ලෙස ක්‍රියාත්මක විය යුතු අතර, බැංකු, මූල්‍ය සමාගම් සහ උකස් මධ්‍යස්ථාන ආදිය විවෘතව තැබෙනවා.

ඕනෑම වේලාවක එහි මුළු ගණුදෙනුකරුවන්ගේ සංඛ්‍යාව 10 ක් නොඉක්මවිය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශවල දැක්වෙන්නේ.

එළිමහන් වෙළඳාම සහ සති පොල පළාත්පාලන ආයතන විසින් බලාත්මක කරන ලද දැඩි සීමාවන්ට යටත්ව විවෘත කෙරෙනවා. ආර්ථික මධ්‍යස්ථානවල සිදුකළ හැක්කේ තොග වෙළඳාම පමණයි.

ලියාපදිංචි ජංගම වෙළඳුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට තවදුරටත් අවසරය හිමිවනවා. පදික වෙළඳුන්ට බස්නාහිර පළාත තුළ වෙළඳාමට අවසර හිමි නොවන අතර, සෙසු පළාත්වල ලියාපදිංචි වෙළඳුන් සඳහා පමණක් එම අවසරය හිමිවනු ඇති.

සිල්ලර වෙළඳසැල්, කඩ, බේකරි සහ බේකරි සේවා විවෘතව තැබෙන අතර, එක්වරකට ඊට ඇතුල්විය හැක්කේ ගණුදෙනුකරුවන් තුන්දෙනෙකුට (3) පමණයි.

සුපිරි වෙළඳසැල්වලට එහි ධාරිතාවයෙන් සියයට 25 ක් වන ලෙස වරකට පාරිභෝගිකයන් ඇතුළත් කරගත හැකිවනවා.

බස්නාහිර පළාත තුළ සාප්පු සංකීර්ණ විවෘත කිරිමට අවසර හිමි නොවන අතර, සෙසු පළාත්වල ඒවා විවෘත කර තිබුණද පුද්ගලයින් රැස්වීම්, ආශ්වාද වැඩසටහන් තහනම් වනු ඇති.

බාබර් සහ රූපලාවන්‍ය ආයතන විවෘත කර තැබෙන අතර, වරකට එක් අයෙකු (1) පමණක් සේවා ලබාගැනීමට ඇතුළත් කරගන්නා ලෙසයි සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වෙන්නේ.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන සියයට 50 ක ධාරිතාවයෙන් පවත්වාගෙන යා යුතුයි. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වන විභාග හැර සෙසු විභාග සඳහා මෙන්ම ක්‍රීඩා ක්‍රියාකාරකම් සඳහා අවසර හිමිවන්නේ නැහැ.

මංගල උත්සව සඳහා අවසර හිමි නොවන අතර, මනාලිය සහ මනාලයා ඇතුලුව දසදෙනෙකුගේ (10) සහභාගිත්වයට අවසර හිමිවනවා.

ගෘහස්ථ පෞද්ගලික උත්සව, පූජනීය ස්ථාන, පුස්තකාල, සිනමාහල්, කෞතුකාගාර, සැණකෙළි සහ සංගීත සංදර්ශන, විවෘත කිරීමට අවසර හිමිවන්නේ නැහැ.

එමෙන්ම අන්තර්ජාලය හරහා ඇණවුම් භාරගෙන බෙදාහැරීමට අවන්හල්වලට අවසර හිමිවනවා.

පබ් සහ බාර්, කැසිනෝ, රාත්‍රී සමාජශාලා, ඔට්ටු මධ්‍යස්ථාන, ස්පා, හෝටල් සහ විවේකාගාර විවෘත කිරීමට අවසර හිමිවන්නේ නැහැ.

එම විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පහතින් :

+++++++++++++++++++++++

(20.06.2021 – 17:31 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා හෙට (21) අලුයම හතරට (04:00) ඉවත් කිරීමෙන් පසු හෙට (21) සිට 23 වන දින දක්වා දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ උදෑසන ගමන්වාර 07 ක්, ප්‍රධාන මාර්ගයේ ගමන්වාර 06 ක්, පුත්තලම් මාර්ගයේ ගමන්වාර 06 ක් සහ කැලණිවැලි මාර්ගයේ ගමන්වාර 04 ක් කොළඹ දක්වා ධාවනය කෙරෙනු ඇති.

උදෑසන ධාවනය වන මෙම ගමන් වාර සංඛ්‍යාව පස්වරුවේ නැවත ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

එම දුම්රියන් ධාවනය කරන වේලාවන් සහ දුම්රිය ස්ථාන පහතින් :

= ප්‍රධාන මාර්ගය =
පෙ.ව.5.12 – කොළඹ කොටුව – වේයන්ගොඩ
පෙ.ව.6.16 – කොළඹ කොටුව – ගම්පහ
ප.ව.4.25 – කොළඹ කොටුව – මීරිගම
ප.ව.4.42 – කොළඹ කොටුව – අඹේපුස්ස
ප.ව.5.20 – කොළඹ කොටුව – අඹේපුස්ස
ප.ව.5.55 – කොළඹ කොටුව – අඹේපුස්ස
පෙ.ව.5.45 – අඹේපුස්ස – කොළඹ කොටුව
පෙ.ව.6.15 – අඹේපුස්ස – පානදුර
පෙ.ව.6.30 – මීරිගම – මොරටුව
පෙ.ව.6.45 – අඹේපුස්ස – කොළඹ කොටුව
පෙ.ව.7.00 – වේයන්ගොඩ – කොළඹ කොටුව
පෙ.ව.7.35 – ගම්පහ – කොළඹ කොටුව

= කැළණිවැලි මාර්ගය =
පෙ.ව.4.55 – අවිස්සාවේල්ල – කොළඹ කොටුව
පෙ.ව.5.30 – පාදුක්ක – කොළඹ කොටුව
පෙ.ව.5.35 – අවිස්සාවේල්ල – කොළඹ කොටුව
පෙ.ව.7.03 – පාදුක්ක – කොළඹ කොටුව
ප.ව.4.35 – කොළඹ කොටුව – අවිස්සාවේල්ල
ප.ව.5.25 – කොළඹ කොටුව – අවිස්සාවේල්ල
ප.ව.5.45 – කොළඹ කොටුව – පාදුක්ක
ප.ව.6.30 – කොළඹ කොටුව – පාදුක්ක

= මුහුදුබඩ මාර්ගය =
පෙ.ව.7.50 – මරදාන – පානදුර (අඹේපුස්ස සිට පැමිණෙන දුම්රිය)
පෙ.ව.8.02 – මරදාන – මොරටුව (මීරිගම සිට පැමිණෙන දුම්රිය)
පෙ.ව.8.12 – මරදාන – ගල්කිස්ස (කොච්චිකඩේ සිට පැමිණෙන දුම්රිය)
ප.ව.4.15 – මරදාන – අලුත්ගම
ප.ව.4.45 – මරදාන – අලුත්ගම
ප.ව.5.30 – මරදාන – අලුත්ගම
ප.ව.6.15 – මරදාන – අලුත්ගම
පෙ.ව.5.20 – අලුත්ගම – මරදාන
පෙ.ව.6.00 – අලුත්ගම – මරදාන
පෙ.ව.6.35 – අලුත්ගම – මරදාන
පෙ.ව.7.00 – අලුත්ගම – මරදාන
පෙ.ව.9.05 – මොරටුව – මරදාන
පෙ.ව.9.15 – පානදුර – මරදාන
පෙ.ව.9.35 – ගල්කිස්ස – මරදාන

= පුත්තලම මාර්ගය =
පෙ.ව.5.00 – කොළඹ කොටුව – මීගමුව
පෙ.ව.5.41 – කොළඹ කොටුව – මීගමුව
ප.ව.4.30 – කොළඹ කොටුව – මීගමුව
ප.ව.5.18 – කොළඹ කොටුව – කොච්චිකඩේ (අර්ධ සීඝ්‍රගාමී)
ප.ව.6.05 – කොළඹ කොටුව – මීගමුව
පෙ.ව.6.50 – මීගමුව – කොළඹ කොටුව
පෙ.ව.7.00 – කොච්චිකඩේ – ගල්කිස්ස (අර්ධ සීඝ්‍රගාමී)
පෙ.ව.7.35 – මීගමුව – කොළඹ කොටුව
ප.ව.6.35 – මීගමුව – කොළඹ කොටුව
ප.ව.6.45 – කොච්චිකඩේ – කොළඹ කොටුව
ප.ව.8.00 – මීගමුව – කොළඹ කොටුව

+++++++++++++++++++++++++

(20.06.2021 – 18:02 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1553 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා ආසාදිතයන් 239,218 ක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ ෴

නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට තලවකැලේ – ලිඳුල නගර සභාවේ සභාපති ඇතුළු 07 දෙනෙක් උත්සව ශාලාවකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 455 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (20) දිනයේ මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2008 ක් වනවා. ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා ආසාදිතයන් 239,669 ක් වාර්තාවී තිබෙනවා ෴

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සේවාවන් තවදුරටත් තවකාලිකව අත්හිටුවා ඇති බව දැනුම් දෙනවා.

එසේම එම දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සේවාවන් පිළිබඳව දැනගැනීමට අවශ්‍යතවක් ඇත්නම් 070 767 7877 දුරකථනය අංකය අමතන ලෙසයි දැනුම් දෙන්නේ ෴

++++++++++++++++++++++++++++

(20.06.2021 – 18:53 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (19) දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 47ක් වාරතා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද (20) තහවුරු කරනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2581 ක්.

(20.06.2021 – 19:51 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය ජාතිකයන් බහුතරයක් සේවය කරන වත්තල – හේකිත්ත ප්‍රදේශයේ යකඩ කර්මාන්තශාලාවකින් ආසාදිතයන් 128 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ අතර ‘ඉන්දීය ඩෙල්ටා’ ප්‍රභේදය මෙරට සමාජයෙන් වාර්තාවී ඇති අවස්ථාවක රට, හෙට (21) විවෘත කිරීම රෝග ව්‍යාප්තිය පාලනයට බාධාවක් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

ආසාදිතයන් සිටින බවට සෞඛ්‍ය අංශ වෙත ලද තොරතුරක් මත හේකිත්ත ප්‍රදේශයේ පිහිටි අදාළ කර්මාන්තශාලාවට ගිය වත්තල සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් එහි සිටි සේවකයින් අහඹු කොරෝනා පරීක්ෂණයකට ලක් කළා.

එහිදී සේවකයින් 192 නෙකුගෙන් 128 කට කොරෝනා වැළදී ඇති බවටයි හෙළි වුණේ.

ඉන් සාම්පල කිහිපයක් වැඩිදුර පරීක්ෂණ සඳහා රාගම වෛද්‍ය පීඨය වෙත යොමුකර තිබෙනවා. එමෙන්ම මෙම ආසාදිතයන් අතර, ‘ඉන්දීය ඩෙල්ටා’ ප්‍රභේදය ඇත්දැයි තහවුරු කරගැනීම සඳහා ද පරීක්ෂණ සිදුකරන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

මේ අතර කුරුණෑගල මහ නගර සභාවේ සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් සේවකයන් 24 දෙනෙකුට සහ කොවිෂීල්ඩ් එන්නත ලබාගත් සේවකයන් දෙදෙනෙකුට (2) කොරෝනා වෛසරය ආසාදනය වී තිබෙනවා.

ගාල්ල – කලුවැල්ල ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක 10 දෙනෙකුට කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති අතර, එම ආසාදිතයන් අතර ගාල්ල රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ හිමිපාණන් සහ කතෝලික පියතුමන්ලා තුන්දෙනෙකු (3) ද වන බව සඳහන්.

ඇඹිලිපිටිය – කුට්ටිගල පොලිස් ස්ථානයේ නිලධාරීන් 5 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

පවතින තත්වය හමුවේ වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නිසි ලෙස අනුගමනය කරන ලෙසයි.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිය නිල ට්විටර් ගිණුමට ‘කොරෝනා කාලයේත් උපරිම ලාභ ලබමින් සිදුකරන ලීසිං ජාවාරමට එරෙහිව ඉදිරියේදී අපි පාරට බැසීමට සූදානම්’ යනුවෙන් සටහනක් එක් කර තිබෙනවා.

එමෙන්ම ඇතැම් ලීසිං සමාගම්, පවතින තත්වය වටහාගෙන ගණුදෙනුකරුවන්ගෙන් අවම පොලියක් අයකළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර, තම ජනතාවට එන්නත් බිලියනයක් ලබාදුන් ලොව පළමු රට බවට චීනය පත්ව තිබෙනවා. එය, ලොව මේ දක්වා සිදුකර ඇති එන්නත්කරණයෙන් සියයට 40 ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ ෴

++++++++++++++++++

(21.06.2021 – 06:23 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ගතවූ පැය 24 ක කාලය තුල පුද්ගලයින් 844 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව මේ දක්වා කාලය තුල මෙම නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 41,518 ක් ෴

++++++++++++++++++++

(21.06.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

මාසයකට ආසන්න කාලයක් මුළු දිවයිනටම පනවා තිබූ සංචරණ සීමා තහනම අද (21) අලුයම 4 ට ලිහිල් කෙරුණා.

කෙසේ වෙතත්, පළාත් අතර, සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක බවයි රජය ප්‍රකාශ කළේ.

අද (20) ලිහිල් කෙරුණු සංචරණ සීමා මේ මස 23 වන දා රාත්‍රී 11 සිට 25 වනදා අලුයම 4 දක්වා යළි ක්‍රියාත්මක වනු ඇති.

කෙසේ වෙතත් මුළු දිවයිනටම පනවා තිබූ සංචරණ සීමා ඉවත් කෙරුණ ද දිස්ත්‍රික්ක 12 ක ග්‍රාම නිලධාරී වසම් 24 ක් අලුයම සිට හුදකලා කෙරෙනු බවයි බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

ඊට අමතරව දිස්ත්‍රික්ක 12 කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් 82 ක් ද අද (21) සිට හුදෙකලාභාවයෙන් ඉවත් කෙරුණා.

මේ අතර සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුව අද (21) සිට ජූලි මස 05 වනදා දක්වා අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (20) පස්වරුවේ නිකුත් කෙරුණා.

ඒ අනුව බස්නාහිර පළාත තුළ සහ අනෙක් පළාත්වල ක්‍රියාත්මක කළ යුතු මාර්ගෝපදේශ එහි වෙන් වෙන් වශයෙන් දක්වා තිබෙනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කළේ අද (21) සිට ලංගම බස් රථ සීමිත ප්‍රමාණයක් පමණක් ධාවනය කරන බවයි.

කෙසේ වෙතත් අන්තර්පළාත් බස් ධාවනය සිදු නොවන බවද ඔහු ප්‍රකාශ කළා.

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ප්‍රකාශ කළේ පෞද්ගලික බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදුකරන බවයි.

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන්නේදැයි සොයාබැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++

(21.06.2021 – 06:46 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 05 ක් අද (21) අලුයම සිට හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ කලුදමද, හපුගස්තලාව, වීරපුර,‍ බෙරමණ දකුණ සහ පහළ ගොරකඔය යන ග්‍රාම සේවා වසම් මෙලෙස හුදෙකලා කළ ග්‍රාම සේවා වසම් වනවා.

මේ අතර දිස්ත්‍රික්ක 12 ක තවත් ග්‍රාම සේවා වසම් 24 ක් අද (21) උදෑසන හතරේ (04:00) සිට හුදකලා කළ අතර දිස්ත්‍රික්ක 12 ක ග්‍රාම සේවා වසම් 82 ක් හුදෙකලා බවින් නිදහස්කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (20) සඳහන් කළා ෴

@@@@@@@@@@@@@@@

මිනුවන්ගොඩ සරුංගල් ගැටුම දුර යයි – සිව්වැන්නාත් (4) ඝාතනය කෙරේ

(20.06.2021 – 19:35 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ – ගමන්ගෙදර ප්‍රදේශයේදී සරුංගල් ප්‍රශ්ණයක් මුල්කරගනිමින් තුන්දෙනෙකු (3) මියයාමේ සිද්ධියට අදාළ පාර්ශවයක තරුණයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබෙනවා.

මිනුවන්ගොඩ – කොටගෙදර ප්‍රදේශයේදී අද (20) මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 25 හැවිරිදි ‘ලක්මාල් ද සිල්වා’ හෙවත් ‘සුදූ’ නැමති පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

මොහු අද (20) පෙරවරුවේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෝටර් රථයකින් යතුරුපැදිය ගැටීමට සළස්වා තිබෙනවා. පසුව මරණකරු දිවයන අතරතුර තවත් සැකකරුවන් පිරිසක් ඔහු ලුහුබැද ගොස් මෙලෙස තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

2017 වසරේ අගෝස්තු 26 වන දා මිනුවන්ගොඩ – ගමන්ගෙදර ප්‍රදේශයේදී ‘සරුංගල් ප්‍රශ්නයක්’ මුල්කර ගනිමින් පියෙකු සහ පුතෙකු ඝාතනය කෙරුණු අතර, එම චෝදනාව සම්බන්ධයෙන් ඇප ලබා සිටි 65 හැවිරිදි පුද්ගලයෙකු 2018 වසරේ අප්‍රේල් මස 5 වන දා වෙඩි තබා ඝාතනය කෙරුණේ මිනුවන්ගොඩ – යටියන මං සන්ධියේදියි.

අද (20) ඝාතනයට ලක්වූ තරුණයා ඔහුගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු බව අනාවරණ වී තිබෙනවා.

එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි මිනුවන්ගොඩ පොලීසිය සඳහන් කළේ.

සරුංගලයක වටිනාකම ? මිනිස් ජීවිතයක වටිනාකම ? මිණීමැරීමේ, ගෙවල් ගිණි තැබීමේ පාපකර්ම වලට ලැබෙන දුක් විපාක ?

******************************************

(20.06.2021 – 19:38 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව මුහුදේ ගිලී යාමෙන් පසු බහාලුම් තුළ තිබූ අන්තරායකර ද්‍රව්‍ය පරිසරයට මුසුවීම නිසා පෘථිවියට සැලකිය යුතු හානියක් සිදුව ඇති බව ජගත් සංවිධානය පවසනවා.

එම සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරිකා හැනා සිංගර් විදෙස් මාධ්‍ය වෙත සඳහන් කළේ නෞකාවෙන් සිදුවූ හානිය ගණනය කිරීම සහ ඉන් මිදීම මෙන්ම මෙවැනි ආපදා වළක්වා ගැනීම සඳහා ජගත් සංවිධානය ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බවයි.

අදාළ නෞකාව ගිනිගෙන අදට මසක් සපිරෙන අතර, ගින්නෙන් මෙරට පරිසරයට සිදුවූ හානි සොයා බැලීමට දිවයිනට පැමිණ සිටින ජගත් සංවිධානයේ පරිසර වැඩසටහනේ විද්‍යාඥයින් අද (20) උදෑසන එම නෞකාව නිරීක්ෂණය කිරීම සඳහා එක්වුණා.

වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ නෞකාව ගිනි ගැනීමෙන් පසු ඊයේ (19) දිනය වන විට කැස්බෑවුන් 70 කට ආසන්න ප්‍රමාණයකගේ සිරුරු සහ ඩොල්ෆින් මසුන්ගේ සිරුරු 12 ක් පමණ වෙරළ තීරයන්ට ගොඩ ගසා තිබියදී සොයාගෙන ඇති බවයි.

එසේම, අදත් (20) මියගිය කැස්බෑවුන්ගේ මෙන්ම පිළිස්සුම් තුවාල සහිතව මියගොස් සිටි තල්මසෙකුගේ සිරුරක් සොයා ගනු ලැබුවා.

එමෙන්ම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබී ගිනි ගැනීමට ලක්වූ බහාලුමක් ගොඩ ගසා තිබුණේ උස්වැටකෙයියාව වෙරළ තීරයටයි.

කොළඹ – මෝදර – ලෙල්ලම ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් අද (20) දහවල් කොළඹ – මෝදර ධීවර වරාය ආසන්නයේදී විරෝධතාවක් සංවිධාන කර තිබුණේ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් සිදුවූ විනාශය හේතුවෙන් සිය ආදායම් මාර්ගවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බව පවසමින්.

ඊට සහය දැක්වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමඟ පොලීසිය සහ ඔවුන් අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.

සංචරණ සීමා කඩ කරමින් එම ස්ථානයට පැමිණීම සම්බන්ධයෙන් පොලීසිය පුබුදු ජයගොඩගෙන් කරුණු විමසා ඔහුව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළා.

මේ අතර, නෞකාවේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉල්ලීමක් කළා. ඒ, අද (20) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

******************************************

(20.06.2021 – 19:46 +0530 – hirunews.lk/sinhala)

ෆොස්ෆේට් සමාගම විමල් වීරවංශ අමාත්‍යවරයාගේ විෂය පථයෙන් ඉවත් කිරීම ආණ්ඩුවේ සිටින කුඩා පක්ෂවලට ඇති වූ පීඩනයක් ලෙස සඳහන් කළ හැකි බව ප්‍රජතන්ත්‍රවාදි වාමාංෂික පෙරමුණේ නායක, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (20) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

******************************************

(20.06.2021 – 22:12 +0530 – hirunews.lk/sinhala)

ගජමුතු හතරක් (4) රැගෙන යාමට සුදානම්වු පුද්ගලයින් දෙදෙනෙකු අද (20) හියාරේ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලදධාරීන් විසින්.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්මීමණ පොලිස් වසමේ හියාරේ කදුරුගස්හේන පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් සහ 31 හැවිරිදි පුද්ගලයෙක්.

ගාල්ල දක්ෂිණ නාවික කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් අනුවයි රත්ගම විශේෂ බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්විම සඳහා ගජමුතු හික්කඩුව වනජීවි කාර්යාලයට ලබා දී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *