එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ගිනි ගත් නැවට

එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ගිනි ගත් නැවට

*********************************************

එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ගිනි ගත් නැවට

(20.06.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ඇති වූ ගින්නෙන් මෙරට පරිසරයට සිදුවූ හානි සොයා බැලීමට දිවයිනට පැමිණ සිටින ජගත් සංවිධානයේ පරිසර වැඩසටහනේ විද්‍යාඥයින් අද (20) උදෑසන එම නෞකාව නිරීක්ෂණය කිරීම සඳහා එක්වුණා.

ඊට එම විද්‍යාඥයින් සහ සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ද එක්ව සිටියා.

ඊයේ (19) දිනයේදී එම විද්‍යාඥයින් පිරිස උස්වැටකෙයියාව වෙරළ තීරයේ නිරීක්ෂණ චාරිකාවකටද එක්ව තිබෙනවා.

තවත් මියගිය කැස්බෑවන් දෙදෙනෙකුගේ (2) සහ පිළිස්සුම් තුවාල සහිතව මියගොස් සිටි තල්මසෙකුගේ (1) සිරුරක් මඩකලපුව සහ මන්නාරම වෙරළ තීරයන්ට ගොඩගසා තිබෙනවා.

පිළිස්සුම් තුවාල සහිතව මියගිය තල්මසෙකු මන්නාරම – මුසලි – කරඩිකුලි වෙරළ තීරයට ගොඩගසා තිබියදී ඊයේ (19) පස්වරුවේ සොයාගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස ගොඩ ගසා තිබූ තල්මසා අඩි 12 ක් පමණ දිගින් යුතු වනවා.

මීට පෙරද මන්නාරම – සිලාවතුර සහ අරිප්පු යන වෙරළ තීරයට මියගිය කැස්බෑවන්ගේ සිරුරු ගොඩගසා තිබුණා.

ප්‍රදේශයේ ධීවරයන් චෝදනා කරන්නේ ගිනිගත් නෞකාවෙන් ඇතිවූ බලපෑම් හේතුවෙන් මෙම සත්වයන් මියගොස් ඇති බවටයි.

මීට අමතරව අම්පාර – පෙරියනිලාවනෙයි වෙරළ තීරයට සහ හලාවත වෙරළ තීරවලටද මියගිය කැස්බෑවන්ගේ සිරුරු ගොඩගසා තිබෙනවා.

ඊයේ (19) දිනයේදීද ස්ථාන කිහිපයක මුහුදු වෙරළට මිය ගිය කැස්බෑවුන් දස (10) දෙනෙකුගේ පමණ සිරුරු සොයා ගැනුණා.

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ තිබී ගිනි ගැනීමට ලක්වූ බහාලුමක් (කන්ටේනරයක්) උස්වැටකෙයියාව වෙරළ තීරයට අද (20) ගොඩ ගසා තිබුණා.

එමෙන්ම ගිනිගත් නෞකාව හේතුවෙන් පීඩාවට පත් ධීවරයින් පිරිසක් අද (20) දික්ඕවිට වරාය ආසන්නයේදී විරෝධතාවක නිරතවූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

******************************************

(20.06.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ ගම්පහ නගරය සහ ඒ අවට ගම්මාන රැසක් ජලයෙන් යටවූ අතර, ප්‍රදේශවාසීන් චෝදනා කළේ ඉදි කෙරෙන මධ්‍යම අධිවේගය හේතුවෙන් තම ගම්මාන යටවූ බවයි.

ඒ සමඟම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව නතර කෙරුණු අතර, ඊයේ (19) සිට යළි ඉදිකිරීම් ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් අද (20) අදාළ කොන්ත්‍රාත් සමාගමේ සේවකයින් ඉදිකිරීම් සිදුකරන අතරතුර එහි උණුසුම් තත්වයක් ඇතිවුණා.

ඒ, ප්‍රදේශවාසීන් රත්මල්විට ප්‍රදේශයේදී ඉදිකිරීම් කටයුතු සිදුකරන සේවකයින්ට විරෝධය පළ කිරීමත් සමඟයි.

******************************************

(20.06.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මාතලේ – නාවුල – කෝන්ගහවෙල රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.

අද (20) පෙරවරුවේ මෙම ගින්න හටගෙන ඇති අතර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාවුල ප්‍රාදේශීය සභාව සහ පොලීසිය එක්ව ගින්න මැඩපැත්වීමට කටයුතු කරමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පවතින දැඩි සුළං තත්වය හේතුවෙන් ගින්න පැතිරීම වේගවත් වී ඇති අතර, රක්ෂිතයේ අක්කර 30 කට පමණ ගින්න පැතිර ගොස් ඇති බව සඳහන් ෴

******************************************

(20.06.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

තෙල්දෙණිය – අඹකොටේ මහවැලි ගම්මානයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (19) සිදුවූ මෙම පහරදීමෙන් බරපතල තුවාල ලැබූ 45 හැවිරිදි පුද්ගලයා මැණික්හින්න රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පෞද්ගලික ආරවුලක් මෙම පහර දීමට හේතු වී තිබෙනවා ෴

******************************************

(20.06.2021 – 15:08 +0530 – hirunews.lk/sinhala)

අදට (20) යෙදී ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ 72 වන උපන් දිනය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පින් සුබ පැතුම් එක් කර තිබෙනවා.

ජනාධිපතිවරයා වෙත සිය අත්සනින් යුතු ලිපියක් යොමු කරමින් චීන ජනාධිපතිවරයා මෙලෙස සුබ පැතුම් එක් කර ඇති බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.

ලෝකය අභියෝගයට මුහුණ දුන් බොහෝ අවස්ථාවලදී චීනය හා ශ්‍රී ලංකාව එකිනෙකා වෙත අන්‍යන්‍යෝන්‍ය අවදානය යොමු කරමින් එක්ව එම අභියෝගයන්ට මුහුණ දුන් බව චීන ජනාධිපතිවරයා එම ලිපියේ දක්වා තිබෙනවා.

දෙරටේ සබදතා තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත්කම පෙන්වා දී ඇති චීන ජනාධිපතිවරයා මූල්‍යෝපායික වැදගත්කමකින් යුත් සබදතා තවදුරටත් වර්ධනය කිරීමට කටයුතු කිරීම තුළින් දෙරටටම වැදගත්කමකින් යුත් ප්‍රතිලාභ අත් කර දීමට කැප වන බවයි සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ ෴

******************************************

(20.06.2021 – 16:49 +0530 – hirunews.lk/sinhala)

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුට අයත් රත්ගම ප්‍රදේශයේ ඉඩමකින් පොල්ගෙඩි 10 ක් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බූස්ස ප්‍රදේශයේ පදිංචි 44 සහ 23 වන වියේ පසුවන දෙදෙනෙකු (2) වන අතර, මත්කුඩු පානයට ඇබ්බැහි වූවන් වන මොවුන් අදාළ පොල් ගෙඩි රුපියල් 450 කට පමණ අලෙවි කර ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ෴

******************************************

(20.06.2021 – 16:53 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනීමට ලක්වූ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මාතලේ – නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කෝන්ගහවෙල ප්‍රදේශයේ පිහිටි සොබා රක්ෂිතයේ ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඬ පවත්වා තිබෙනවා.

අද (20) පෙරවරුවේ මෙම ගින්න හටගෙන තිබූ අතර ඉන් අක්කර 30 කට පමණ හානි සිදුවුණා.

ප්‍රදේශයේ පවතින දැඩි සුළං තත්ත්වය සමඟ ගින්න පැතිරීම මැඬ පැවැත්වීම ප්‍රමාද වී තිබූ අතර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාවුල ප්‍රාදේශීය සභාව සහ පොලීසිය එක්වයි ගින්න මැඬ පවත්වා ඇත්තේ ෴

@@@@@@@@@@@@@@@@@

(20.06.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

සත්වයින් හරහා මිනිසුන්ට කොරෝනා වෛරසය ආසාදනය වන බවට මෙතෙක් වාර්තා වී නොමැති අතර, මෙරටට ආනයනය කරන සුරතල් සතුන් ද නිරෝධායනයට ලක් කෙරෙන බව ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

ඒ හේතුවෙන් ජනතාව අනිසි බියක් ඇති කර ගැනීම අවශ්‍ය නොවන බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ප්‍රකාශ වීමත් සමඟ ඒ පිළිබදව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා.

මෙම සිද්ධියත් සමඟ මෙම සතුන්ගේ රැකවලුන් නිරෝධායනයට යොමු කළ අතර ඔවුන්ගෙන් එක් අයෙකුට ද කොරෝනා ආසාදිත බව අනතුරුව තහවුරු වුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය එරන්දික ගුණවර්ධන මහතා කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ සිංහයාට මෙම වෛරසය ආසාදනය වී ඇත්තේ සේවකයාගෙන් බවට සැක කරන බවයි.

++++++++++++++++++++++++

(20.06.2021 – 13:20 +0530 – hirunews.lk/sinhala)

ජූනි 28 වනදා දක්වා සංචරණ සීමා ලිහිල් නොකරණ ලෙසට ඉල්ලා සිටි පසුබිමක 21 සිට 23 වනදා දක්වා සංචරණ සීමා ලිහිල් කර 23 සිට 25 වනදා දක්වා යළි පැනවීමට ගත් තීරණය පිළිබඳ තම සංවිධානය කණස්සල්ල පළ කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් කියා සිටියේ දෛනික ආසාදිතයන් 2,000 ඉක්මවීම සහ දිනකට මරණ 50 ක් පමණ වාර්තාවීම මෙන්ම මාරාන්තික ‘ඉන්දීය ඩෙල්ටා’ ප්‍රභේදය සහිත ආසාදිතයින් හමුවන තත්ත්වයක එම තීරණය ගැනීමට පාදක වූ කරුණු පිළිබඳව තමන්ට අපහැදිලිතාවක් පවතින බවයි.

එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද කොළඹ දී අද (20) මාධ්‍ය හමුවක් කැදවා තිබූ අතර ඊට එක්වෙමින් එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ප්‍රකාශ කර සිටියේ සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ ජනතාව සෞඛ්‍ය නීති රීති කඩ කරමින් හැසිරුණහොත් ඒ හරහා රෝගය තවදුරටත් ව්‍යාප්ත වී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි.

කෙසේ වෙතත් දිවයිනටම බලපා ඇති සංචරණ සීමා හෙට (21) සිට ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමඟ නිරෝධායන නීති රීති කඩ කරන්නන් සොයා පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඊයේ (19) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 424 ක්.

ඉන් අනතුරුව වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 411 ක්.

පිළියන්දළ ප්‍රදේශයේ ආසාදිතයින් 45 ක්, අවිස්සාවේල්ලෙන් රෝගීන් 42 කු වාර්තා වී තිබෙනවා.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 407 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වත්තල ප්‍රදේශයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 102 ක්.

මේ අතර උණවටුන – ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදි මුදලට ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීමේදී සිද්ධියේ අතරමැදියෙකු ලෙස ක්‍රියා කළ බව කියන ගාල්ල – කොටුව පදිංචි පුද්ගලයාගේ බැංකු ගිණුම් පරීක්ෂා කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල නියෝග කළා.

එමෙන්ම තවත් ජංගම දුරකථන අංක කිහිපයක වාර්තා ලබාගන්නා ලෙසයි ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට නියෝග ලබාදී ඇත්තේ.

පසුගිය 5 වනදා සහ හත්වන දින ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීමට බස්නාහිර පළාතේ සිට වාහනවලින් දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් පැමිණි සිද්ධියට අදාළ නියෝගය ලබාදෙනු ලැබුවේ.

+++++++++++++++++++++++++

(20.06.2021 – 14:08 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායනය වන ලෙස දැනුම්දීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට බැන තර්ජනය කළ පුද්ගලයෙකු තවලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

78 හැවිරිදි ඔහුගේ මියගිය සහෝදරයෙකු වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු නිරෝධායනය වන ලෙස දැනුම්දීම හේතුවෙන් එසේ කිරීමට නොහැකි බව පවසමින් මෙලෙස බැණවැදී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

රජයේ නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

++++++++++++++++++++++

(20.06.2021 – 15:26 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය – කුට්ටිගල පොලිස් ස්ථානයේ නිලධාරීන් 5 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ආශ්‍රිතයින් දස දෙනෙකු (10) මේ වන විටත් නිරෝධායනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි මෙලෙස ආසාදිතයින් හඳුනාගෙන ඇත්තේ.

මීට අමතරව කුට්ටිගල පොලිස් බල ප්‍රදේශයේ සිදුකරන ලද පරීක්ෂණවලින් තවත් පුද්ගලයින් 82 නෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව ද හඳුනාගෙන තිබෙනවා ෴

++++++++++++++++++++++++

(20.06.2021 – 16:11 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 1996 දෙනෙකු සුවය ලබා අද (20) රෝහල්වලින් පිටවගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ ආසාදිතයින්ගේ සීමාව ලක්ෂ දෙක ඉක්මවා ගියා.

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මේ වනවිට පුද්ගලයින් 201,389 දෙනෙකු සුවය ලබා ඇති බවයි ෴

++++++++++++++++++++++

(20.06.2021 – 16:29 +0530 – hirunews.lk/sinhala)

හෙට (21) අළුයම 4 ට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ සංචරණ සීමා ඉවත් කෙරුණ ද දිස්ත්‍රික්ක 12 ක ග්‍රාම නිලධාරී වසම් 24 ක් හුදකලා කෙරෙන බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව හෙට (21) අළුයම 4 රේ සිට බල පැවැත්වෙන පරිදි ඩෙල්ටා නව ප්‍රභේදය හඳුනා ගැනුණු දෙමටගොඩ පොලිස් වසමේ ආරාමය පෙදෙස, 66 වත්ත, කළුතර – උතුර පොලිස් වසමේ මහවස්කඩුව – දකුණ, කළුතර – දකුණ පොලිස් වසමේ මින්නේරිතැන්න සුනාමි ගම්මානය හුදෙකලා කරනු ඇති.

ගම්පහ – බියගම පොලිස් වසමේ යටියන, මීගහවත්ත පොලිස් වසමේ සියඹලාපේ වත්ත, කිරිබත්ගොඩ – නාහේන ග්‍රාම නිලධාරී වසම් මෙන්ම ගාල්ල – ඉඳුරුව පොලිස් වසමේ ගෝනගල ග්‍රාම නිලධාරී වසමේ බොල්තුඩුව ගම, මාතර – වැලිගම පොලිස් වසමේ පැලෑන දකුණ ද මෙලෙස හුදකලා කරන බවයි යුධ හමුදාපතිවරයා කියා සිටියේ.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න පොලිස් වසමේ දාපනේ, රත්නපුර පොලිස් වසමේ කැලඳගල ග්‍රාම නිලධාරී වසමේ මුල්ලෙකන්දවත්ත සහ කොට්ටල යන ග්‍රාම නිලධාරී වසම් ද හුදෙකලා කෙරෙනවා.

මාතලේ – මහවෙල පොලිස් වසමේ දෙමදඔය, නිකගොල්ල, නිකගොල්ල – උතුර, යන ග්‍රාම නිලධාරී වසම් මෙන්ම ලග්ගල පොලිස් වසමේ කිවුලවාඩිය සහ ගුරුවෙල යන ග්‍රාම නිලධාරී වසම් ද හෙට අළුයම සිට හුදෙකලා කෙරෙනු ඇති.

පුත්තලම දිස්ත්‍රික්කයේ හුදෙකලා කෙරෙනු ලබන්නේ මාදම්පේ පොලිස් වසමට අයත් මරක්කලගම ග්‍රාම නිලධාරී වසමයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගිනිගත්හේන පොලිස් වසමේ කැරොලිනා වතුයායට අයත් කඩවල වත්ත කොටස, හෙට (21) අළුයම සිට හුදෙකලා කරන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරෙයි පොලිස් වසමේ නව වලතපිටිය ගම්මානය, මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවූර් පොලිස් වසමේ එරාවූර් ග්‍රාම නිලධාරී වසම, වාලච්චේන පොලිස් වසමේ මීරවෝදි නැගෙනහිර, මීරවෝදි බටහිර, මැන්චකෝලායි බදුරිය යන ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කෙරෙනු ඇති.

යාපනය දිස්ත්‍රික්කයේ මනිපායි පොලිස් වසමේ සාවටිකඩ්ඩු ග්‍රාම නිලධාරී වසම ද මෙලෙස හුදෙකලා කරනවා.

එසේම දිස්ත්‍රික්ක 12 කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් 82 ක් ද හෙට (21) අළුයම 4 සිට හුදෙකලාභාවයෙන් ඉවත් කෙරෙනු ඇති.

කොරෝනා තුන්වන (3) රැල්ලේ ආරම්භය සමඟ මාසයක කාලයක් මුළු දිවයිනටම සංචරණ සීමා පනවා හෙටට (21) මාසයක කාලයක් සම්පූර්ණ වනවා.

මේ අතර සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන්නේදැයි සොයාබැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

හුදෙකලා කිරීමට තීරණය කර ඇති ග්‍රාම නිලධාරී වසම් සහ හුදෙකලා බව ඉවත්කරන ග්‍රාම නිලධාරී වසම් පිළිබද වැඩි විස්තර පහතින් :

හෙට (21) අලුයම හතරේ සිට හුදෙකලා බව ඉවත්කරන ග්‍රාම නිලධාරී වසම් පිළිබද විස්තර පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *