පශ්චාත් කොවිඩ් තත්ත්වය හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමයින් 6 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ

පශ්චාත් කොවිඩ් තත්ත්වය හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමයින් 6 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ

*********************************************

පශ්චාත් කොවිඩ් තත්ත්වය හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමයින් 6 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ

(19.06.2021 – 20:09 +0530 – hirunews.lk/sinhala)

පශ්චාත් කොවිඩ් තත්ත්වය හේතුවෙන් ‘බහු ඉන්ද්‍රිය අකර්මන්‍යතාව’ හෙවත් ‘මල්ටි සිස්ටම් ඉන්ෆ්ලෙමෙටරි සින්ඩ්‍රොම්’ රෝගයට ගොදුරු වූ ළමයින් හයදෙනෙකු (6) මේ වනවිට බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවයි එම රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර ප්‍රධාන විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා සඳහන් කළේ.

කොළඹ, රාගම, කළුබෝවිල සහ වැලිමඩ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙම රෝගීන් වාර්තා වී තිබෙනවා.

ඇස්, අක්මා, වකුගඩු ඇතුලු අවයව ගණනාවකට බලපෑ හැකි මෙම රෝගය මේ දක්වා මෙරටින් වාර්තාවී ඇත්තේ වයස අවුරුදු 8 ත් 15 ත් අතර දරුවන් අතර බවයි විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පෙන්වා දෙන්නේ.

මේ අතර දරුණු ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය හමුවූ දෙමටගොඩ – ආරාමය පාර ප්‍රදේශයේ ඊයේ (18) සිදුකළ කොරෝනා පරීක්ෂණවලින් කොරෝනා ආසාදිත 15 දෙනෙකු හමුවී තිබෙනවා.

කෙසේ වෙතත් එම නව ආසාදිතයන්ගේ ප්‍රභේදය ඉන්දීය ප්‍රභේදයදැයි තවමත් තහවුරු වී නොමැති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

මෙම ආසාදිතයන්ට පවතින්නේ ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදැයි පරීක්ෂා කිරීම සඳහා එම සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යොමු කර තිබෙනවා. එමෙන්ම ආරාමය පාර ප්‍රදේශයේ හැටහයේ වත්ත සහ දෙසීය වත්තේ ජනතාවට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම අද (19) සිදු කෙරුණා.

ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය දිවයිනට පැමිණියේ ඉන්දීය ජාතිකයන්ට මෙරට තුළ නිරෝධායනයට ඉඩ සැළසීමෙන් බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න චෝදනා කළා.

අද (19) දිනයේ මේ දක්වා කාලය තුළ නව ආසාදිතයින් 1420 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 2,36,833 ක් ලෙසයි. අද (19) දිනයේ ආසාදිතයින් 2314 දෙනෙකු සුවය ලැබීමත් සමඟ මෙරට සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව 1,99,393 ක් දක්වා ඉහල ගියා.

පවතින කොරෝනා තත්වය සහ සෞඛ්‍ය සේවකයන් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තිය සමිති 44 කගෙන් සමන්විත සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා අතර අද (19) සාකච්ඡාවක් පැවැත්වුණා.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ සීග්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා තත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (19) පැවැත්වුණේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (19) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ එය, සෞඛ්‍ය අංශය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සිදුකළ ස්ථාන මාරුවක් බවයි.

මේ අතර දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිංහයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් නිරෝධායනයට ලක් කළ රැකවලෙකුට ද කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

සිංහයාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූයේ ඊයේ (18) දිනයේදියි.

පශු වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මිනිසාගෙන් වන සතුන්ට බෝවන කොරෝනා වෛරසය බළල් කුලයේ සත්වයින්ට බෝවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි.

කොරෝනා ආසාදනය වීමේ අවදානම් සත්වයින් අතර, ප්‍රමුඛතාවයේ සිටින්නේ චිම්පන්සියා සහ ගෝරිල්ලායි.

මේ වනවිට දෙහිවල සත්වෝද්‍යානයේ වඳුරු විශේෂයකට කොරෝනා ආසාදනය වී ඇත්දැයි සෙවීමට විශේෂ අවධානය යොමුවී ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ආචාර්ය වෛද්‍ය ඩිලාන් ඒ. සතරසිංහ මහතා ප්‍රකාශ කළේ.

++++++++++++++++++++++

(19.06.2021 – 19:40 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (18) දිනයේ කොවිඩ් ආසාදිත මරණ 54 ක් සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (19) තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2534 ක් ලෙසටයි.

මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් 31 ක් සහ කාන්තාවන් 23 දෙනෙකු වනවා.

ඒ අතර අවුරුදු 30 ත් 59 ත් අතර කාන්තාවන් 4 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 5 දෙනෙකු වන බවටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත්තේ.

අවුරුදු 60 සහ ඊට වැඩි කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 25 දෙනෙකු මියගිය පිරිස අතර වනවා.

අවුරුදු 30 ට අඩු කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් ද මෙම මියගිය පිරිසට අයත් ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 749 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (19) දිනයේ මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2169 ක් වනවා. ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා ආසාදිතයන් 237,582 ක් වාර්තාවී තිබෙනවා ෴

+++++++++++++++++++

(19.06.2021 – 19:53 +0530 – hirunews.lk/sinhala)

අනිද්දා (21) දින සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කර ගනිමින් සීමාසහිතව මගී ප්‍රවාහන කටයුතු සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සංචරණ සීමා ඉවත් කෙරෙන ලබන 21 වනදා සඳුදා අලුයම 4 සිට 23 වනදින රාත්‍රී 10 දක්වා ප්‍රධාන මාර්ගවල දුම්රිය 17 ක් ධාවනයේ යෙදවීමට තීරණය කර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ.

එසේම, සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ලබන 21, 22 සහ 23 යන දින තුනෙහි මැනිං පොදු වෙළදපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට තීරණය කර ඇති බවයි මැනිං වෙළඳ සංගමයේ සහ සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක මහතා කියා සිටියේ.

++++++++++++++++++++++

(20.06.2021 – 06:25 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනාවන්ට අදාළව පුද්ගලයන් 1082 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

ඔවුන්ගෙන් වැඩි පිරිසක් අත්අඩංගුවට පත්වී ඇත්තේ මහනුවර, මාතලේ සහ කුලියාපිටිය යන ප්‍රදේශවලින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

ඔහු සඳහන් කළේ අද (19) දිනයේදීත් මෙම සංචරණ නීති බලපැවැත්වෙන බවයි.

මෙම නීති උළ්ලංඝණය කිරීමේ චෝදනාවන්ට අදාළව පසුගිය ඔක්තෝම්බර් මස 30 වනදා සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 40,674 ක්.

මේ අතර කෙසෙල්වත්ත සහ මරදාන අවට ප්‍රදේශවල පොලිසිය සිදුකළ ඩ්‍රෝන මෙහෙයුමකින් සංචරණ නීති උල්ලංඝණය කිරීමට අදාළව පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ දක්වා එම මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් සමස්ත සංඛ්‍යාව 143 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා ෴

++++++++++++++++++++

(20.06.2021 – 07:08 +0530 – hirunews.lk/sinhala)

හෙට (21) උදෑසන 4 ට අනුව සංචරණ සීමා ඉවත් කෙරුණ ද සෞඛ්‍ය නිර්දේශ තවදුරටත් බලාත්මක වන බව පොලිසිය පවසනවා.

කාර්යාල සඳහා සේවය සඳහා අවශ්‍යම අවම සේවක සංඛ්‍යාවක් ගෙන්වා ගැනීමට පියවර ගත යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීමේදී ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතු අතර මගීන් මුව ආවරණයක් පැළඳ සිටීම අනිවාර්ය වනවා.

එමෙන්ම නිරෝධායන නීතිවලට අදාළ අනෙක් නියෝග ද පිළිපැදීමට කටයුතු කළ යුතු වනවා.

පළාත් අතර සංචරණ සීමා තවදුරටත් තහනම් වන අතර පළාත් හරහා ගමන් කළ හැකි වන්නේ සුවිශේෂී කරුණක් සඳහා පමණයි.

විශේෂ චාරිකා, විනෝද චාරිකා හෝ වන්දනා ගමන් වලට තවදුරටත් අවස්ථාව හිමිවන්නේ නැහැ.

කිසියම් ආකාරයකින් පොදු ස්ථානයක සමූහයක් ලෙසට ගැවසීම, සාද හෝ ප්‍රිය සම්භාෂණ ද සපුරා තහනම් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන නිර්දේශවලට අනුගතව ජනතාව තවදුරටත් කටයුතු කළ යුතු බව ද ඔහු අවධාරණය කළා.

සිල්ලර වෙළඳසැල්, සුපිරි වෙළඳසැල් හෝ අනෙක් ආයතනවල සේවය ලබාගැනීමට පැමිණෙන ජනතාව පිළිබඳ අදාළ ආයතන බලධාරීන් විශේෂ අවදානයක් යොමු කළ යුතු අතර අදාළ ඉඩ ප්‍රමාණයට සරිලන පරිදි පමණක් පාරිභෝගිකයන් ඇතුලු කර ගත යුතු වනවා.

ඉතිරි පිරිස එම ආයතනයෙන් පිටත රැඳවිය යුතුයි.

පාරිභෝගිකයන් ඇතුළුවන ස්ථාවල අත් පිරිසිදු කිරීමට පහසුකම් සලසා තිබිය යුතු අතර උෂ්ණත්වය මැන බැලීමට ද කටයුතු කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

දිවයිනටම පනවා ඇති සංචරණ සීමා හෙට (21) අලුයම හතරට (04:00) ඉවත් කෙරෙන අතර, යළි 23 වන දා සංචරණ සීමා පනවනු ලබන්නේ රාත්‍රී 10 ටයි.

එය 25 වන දා අලුයම 4 දක්වා ක්‍රියාත්මක වනු ඇති.

මේ අතර, සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ දුම්රිය ස්ථානවල මගීන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එහි එක් අදියරක් ලෙස කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ විෂබීජ නාශක දියර ලබා ගැනීමට ස්වයංක්‍රීය උපකරණ සවි කිරීමේ ව්‍යාපෘතියක් අද සිදුකෙරෙන බව කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ වින්ග් කමාන්ඩර් මහේෂ් ගුණරත්න මහතා ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++++

(20.06.2021 – 07:38 +0530 – hirunews.lk/sinhala)

තමන්ට කොරෝනා ආසාදනය වී ඇත්නම් සුරතල් සතුන් ඇසුරු කිරීමෙන් වළකින ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

මිනිසුන්ගෙන් සතුන්ට කොරෝනා වැළදී ඇති බවට සාක්ෂි පවතින නමුත් සතුන්ගෙන් කොරෝනා වෛරසය මිනිසුන්ට බෝවී ඇති බවට මෙතෙක් නිශ්චිත සාක්ෂි ලැබී නොමැති බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ.

පසුගිය දා දෙහිවල සත්ත්ව උද්‍යානයේ තෝර් නැමති සිංහයාට කොරෝනා වැළදී ඇති බවට තහවුරු වූ අතර, සිංහ ධේනුවට කොරෝනා පරීක්ෂණයක් ඊයේ (19) සිදුකර තිබෙනවා.

වෛරස පරීක්ෂාව සඳහා සිංහයාගේ මලපහ උපයෝගී කර ගත් නමුත් සිංහ ධේනුවගෙන් ශ්ලේෂ්ම පටලයක් ලබා ගැනීමට පශු වෛද්‍යවරුන්ට හැකියාව ලැබුණු බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය කියා සිටියා.

මෙම සත්ත්වයාගේ පැටවුන් ද ඉදිරියේදී කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා.

සිංහයා රදවා ඇති ස්ථානයට යාබදව පිහිටි කූඩුවක සිටි වඳුරෙකුගේ සාම්පල ද පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේදී පරීක්ෂාවට ලක් කළ නමුත් තහවුරු වී ඇත්තේ එම සත්ත්වයාට කොරෝනා වැළදී නොමැති බවයි.

කෙසේ වෙතත්, සිංහයාට කොරෝනා වැළදුණු ආකාරය තවමත් හෙළි වී නොමැති අතර, සත්ත්වයා රැක බලා ගන්නා සත්ත්වෝද්‍යාන සේවකයින්ගෙන් වෛරසය ව්‍යාප්ත වූයේ ද යන්න පිළිබදව අධ්‍යයනයක් සිදුකරන බව පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඩිලාන් සතරසිංහ මහතා කියාසිටියා.

++++++++++++++++++++

(20.06.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදුවූ බවට තහවුරු කරන ලද නව කොරෝනා මරණ 54 ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 2,500 සීමාව ඉක්මවා ගියා. එය දැක්වුණේ 2,534 ක් ලෙසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මියගිය අයගෙන් 31 දෙනෙකු පුරුෂයින් වන අතර, කාන්තාවන් 23 දෙනෙකුද කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බවයි.

එමෙන්ම නව ආසාදිතයන් 2,248 දෙනෙකු ඊයේ (19) හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 237,661 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 2,169 දෙනෙකු ‘අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ’ ආශ්‍රිතයන් වන අතර, විදේශයන්හි සිට පැමිණි 79 දෙනෙකුද නව ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 35,788 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 199,393 ක්.

මේ අතර, වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් පැලෑන – දකුණ ග්‍රාම නිලධාරී වසමේ ජයසයුරපුර ඇතුලු ප්‍රදේශ කිහිපයකින් ආසාදිතයින් 65 දෙනෙකු අලුතින් හදුනාගෙන තිබෙනවා.

පසුගිය බදාදා සිදුකළ අහඹු කොරෝනා පරීක්ෂණ 152 කින් මෙම ආසාදිතයන් වාර්තා වී ඇති බවයි වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කළේ.

ධීවර ප්‍රජාව සිටින මෙම ප්‍රදේශයේ ආසාදිතයින් වාර්තා වීමේ සීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන අතර එය, ‘ඉන්දීය ඩෙල්ටා’ ප්‍රභේදය දැයි සැක මතුව තිබෙනවා.

මේ අතර, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ සංචරණය සීමා කිරීම, දුරස්ථභාවය පවත්වා ගැනීම, මුව ආවරණ පැළදීම වැනි සෞඛ්‍ය පුරුදු තුළින් ඕනෑම කොරෝනා ප්‍රභේදයක සීග්‍ර ව්‍යාප්තිය පාලනය කළ හැකි බවයි ෴

@@@@@@@@@@@@@@@@

(19.06.2021 – 19:49 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ඇති වූ ගින්නෙන් මෙරට පරිසරයට සිදුවූ හානි සොයා බැලීමට දිවයිනට පැමිණ සිටින ජගත් සංවිධානයේ පරිසර වැඩසටහනේ විද්‍යාඥයින් සිව් (4) දෙනා අද (19) පළමු වරට උස්වැටකෙයියාව වෙරළ තීරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් ද සහභාගි වූ අතර පසුව ඔවුන් පෞද්ගලික හෝටලයකදී සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.

මේ අතර, අද (19) දිනයේදී දිවයින වටා මුහුදු වෙරළෙන් මිය ගිය කැස්බෑවුන් දස (10) දෙනෙකුගේ පමණ සිරුරු සොයා ගැනුණා.

මඩකලපුව – කිරාන්කුලම් වෙරළට කැස්බෑවුන් 3 දෙනෙකු සහ මන්නාරම – කරඩිකුලි වෙරළට තවත් කැස්බෑවෙකුගේ (1) සිරුරු ගොඩ ගසා තිබුණා.

එසේම හලාවත – කරුකපනේ සහ උඩප්පුව මුහුදු තීරයේ තිබී කැස්බෑවුන් 5 දෙනෙකුගේ සිරුරු සොයා ගත් බවයි අප වාර්තාකරු සදහන් කළේ. එමෙන්ම අලුත්ගම – මොරගල්ල වෙරළ තීරයෙන් ද තවත් කැස්බෑ සිරුරක් (1) ගොඩ ගසා තිබුණා.

මිය ගිය ඩොල්ෆින් මස්ස්‍යයෙකුගේ (1) සිරුරක් අද (19) හමුවුණේ මාරවිල මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදියි.

******************************************

(19.06.2021 – 21:25 +0530 – hirunews.lk/sinhala)

කුළී පදනම මත මෝටර් රථ ලබාගෙන ඒවා උගස් තැබීමේ මහා පරිමාන ජාවාරමක් පිළිබඳ ‘හිරු සී.අයි.ඒ.’ තොරතුරු අනාවරණය කර ගත්තා.

පිළියන්දල, මොරටුව, පානදුර ආදී ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන එම සංවිධානාත්මක ජාවාරම්කරුවන් ගැනයි අද (19) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය.

******************************************

(20.06.2021 – 06:53 +0530 – hirunews.lk/sinhala)

පමුණුගම උස්වැටකෙයියාව ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක වැඩසිටි ස්වාමීන් වහන්සේ නමක් පහරදීමකින් ඝාතනය කර තිබෙනවා.

මෙම වැඩිහිටි නිවාසය මානසික ආබාධ සහිත පුද්ගලයන් සඳහා වෙන් කෙරුනු එකක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

සැකකරු එම වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි ජාඇල ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි අයෙක් බව සඳහන්.

එම පුද්ගලයා ද මානසික ආබාධයක් හේතුවෙන් එහි නේවාසිකව සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඊයේ (18) උදෑසන එම වැඩිහිටි නිවාසයේ ඇතිවූ සිද්ධියකදී සැකකරු මෙම හිමිනමට මුගුරකින් පහරදී ඇතැයි හෙළිවී තිබෙනවා.

සිද්ධියට අදාළව වැලිසර මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා ඇති අතර අපවත්වූ ස්වාමීන් වහන්සේගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (19) පැවැත්වීමට නියමිතයි.

මෙම වැඩිහිටි නිවාසයේ මානසික ආබාධ සහිත තවත් මානසික ආබාධ සහිත පුද්ගලයන් 18 දෙනෙකු සිටින බව සඳහන්.

එවැනි වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යාමේදී අදාළ නිර්ණායක අනුගමනය කර ඇත් ද යන්න සහ ඊට ලියාපදිංචිය ලබාගෙන ඇත් ද යන්න පිළිබඳව ද පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පමුණුගම පොලිසිය සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකරනවා ෴

******************************************

(20.06.2021 – 07:24 +0530 – hirunews.lk/sinhala)

යාපනය, මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් මුහුදු සීමාවේ දමාගොස් තිබියදී ඊයේ (19) සොයාගත් කේරළ ගංජා කිලෝ 93 ක් ගිනි තබා විනාශ කිරීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසනවා.

නාවික හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ජාවාරම්කරුවන් විසින් ගොඩබිමට ගෙන ඒමට නොහැකිව මුහුදේ අතහැර දමා තිබියදීයි ගෝනි මළු 03 ක අසුරන ලද මෙම කේරළ ගංජා සොයාගෙන තිබුනේ.

එලෙස සොයාගත් කේරළ ගංජා තොගය අධිකරණ නියෝග යටතේ ඊයේ (19) ගිනි තබා විනාශ කළ බව ද නාවික හමුදාව සඳහන් කළා.

මේ අතර හලාවත, කරුකුපනේ මුහුදු ප්‍රදේශයේ පසුගිය 18 වැනිදා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 238 ක් සොයාගෙන තිබෙනවා.

එම මුහුදු ප්‍රදේශයේ කළ මෙහෙයුමේදී සැකකටයුතු යාත්‍රාවක් පරීක්‍ෂාකර ඇති අතර එම යාත්‍රාවෙන් මුහුදට දැමූ ගෝනි මළු 05 ක පාර්සල් 98 ක් වශයෙන් අසුරා තිබූ කේරළ ගංජා තොගයක් මෙලෙස හමුවී ඇත්තේ.

අනතුරුව ඊයේ (19) අදාළ මුහුදු ප්‍රදේශයේ වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් සිදුකළ වැඩිදුර සෝදිසියකදී මුහුදේ පාවෙමින් තිබූ තවත් කේරළ ගංජා කිලෝග්රැම් 46 යි ග්‍රෑම් 800 ක් අඩංගු ගෝනියක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එම ගංජා තොගය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබෙනවා.

ඊට අමතරව මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියළි කහ කිලෝග්‍රෑම් 1234 කට අධික ප්‍රමාණයක් සහ බීඩිකොළ කිලෝ 365 කට ආසන්න ප්‍රමාණයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඇතැම් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ ගොඩබිමට ගෙන ඒමට නොහැකිව මළුවල අසුරා මුහුදේ අතහැර දමා ගොස් තිබියදියි ෴

******************************************

(20.06.2021 – 07:28 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගත් කළුතර දකුණ පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයා සහ අනෙකුත් පුද්ගලයින් දෙදෙනාගේ (2) දුරකථන සංවාද කිහිපයක් පරීක්ෂා කිරීමට අදාළ දත්ත දුරකථන සමාගම්වලින් ලබා ගැනීම සදහා අධිකරණය ඊයේ (19) අවසර ලබාදී තිබෙනවා.

අදාළ පිරිස අත්අඩංගුවට ගැනුණේ රුපියල් කෝටි 53 ක වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් ප්‍රවාහනය කිරීමේදීයි.

එසේම ඔවුන් තිදෙනා (3) ලබන 24 වන දා දක්වා රදවාගෙන ප්‍රශ්න කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඊයේ (19) අවසර ලබාදුන්නා.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ බද්දේගම පිවිසුම අසළදී පෙරේදා අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා සහ අනෙකුත් පුද්ගලයින් දෙදෙනා (2) සන්තකයේ තිබී සොයාගත් මත්කුඩු තොගයේ බර කිලෝග්‍රෑම් 52 යි ග්‍රෑම් 728 ක්.

පොලිස් නිල ඇඳුමින් සැරසී රුපියල් කෝටි 53 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් ප්‍රවාහන කළ උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු තිදෙනා ඊයේ (19) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම මත්කුඩු තොගය විදෙස් රටක රැඳී සිටින මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බවයි.

පොලිස් මූලස්ථාන අපරාධ නිවාරණ කොට්ඨාසයට තොරතුරක් ලැබී තිබුණේ පොලිස් නිලධාරියෙකු ද සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවෙමින් පවතින බවටයි.

ලද තොරතරු මත හබරාදූව, වැලිගම, හික්කඩුව සහ බද්දේගම යන ප්‍රදේශවල සති 3 ක පමණ කාලයක් තිස්සේ විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරියා පෙරේදා (18) ගාල්ල හබරාදූව ප්‍රදේශයෙන් මත්කුඩු තොගය ලබාගෙන ඇති බවට නිරීක්ෂණය කළ විමර්ශන කණ්ඩායම් ඔහු පසුපස දිගටම ලුහුබැඳ ඇත්තේ එම මත්කුඩු බෙදාහරින ආකාරය දැනගැනීම සඳහායි.

ඒ අනුව ගෝනපීනුවල ප්‍රදේශයේදී සැකකරු මත්කුඩු තොගය සමග අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු උත්සාහ කර ඇත්තේ බද්දේගම පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසීමටයි.

අදාළ මත්කුඩු තොගය වෙනත් පුද්ගලයින් දෙදෙනෙකුට (2) ලබාදීමට සැලසුම් කරතිබූ බව හෙළිකරගත් විමර්ශන නිලධාරීන් ඔවුන් දෙදෙනාද (2) අතුරුගිරිය අධිවේගී පිවිසුම ආසන්නයේදී අත්අඩංගුවට ගත්තා.

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා සතුව තිබී හෙරොයින් කිලෝ 52 යි ග්‍රෑම් 728 ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගත්තා.

සැකකරු කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු බවත් අනාවරණ වී තිබෙනවා.

ඔහු මත්කුඩු තොගය ප්‍රවාහනය කර ඇත්තේ පොලිස් නිල ඇඳුමෙන් සැරසී සිටිමින්.

අත්අඩංගුවට පත්වූ අනෙක් සැකකරුවන් අතරින් එක් (1) අයෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් වන අතර අනෙක් පුද්ගලයා ජා-ඇල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙක්.

අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ මේ වන විට විදෙස් රටකට පලාගොස් සිටින පානදුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ‘සලිඳු මල්ෂිත’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට ද වැඩිදුරටත් අනාවරණ වී තිබෙනවා.

ඔහු 2015 වසරේදී හෙරොයින් ග්‍රෑම් 15 ක් සමඟ අත්අඩංගුවට පත්ව ඇති අතර ඒවන විට ඔහුගේ වයස අවුරුදු 19 ක්.

ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ මෙම පුද්ගලයා විසින් ඔවුන්ට ඇමතුමක් ලබාගෙන ඇති අතර ඒ ඔස්සේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

පසුගිය ජනවාරි 25 වැනිදා පානදුර – කෙසෙල්වත්ත – පල්ලිමුල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන්ගත් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ද මෙහෙයවා ඇත්තේ මෙම පුද්ගලයා විසින් බවටයි තොරතරු වාර්තා වී තිබෙන්නේ.

******************************************

(20.06.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

මියන්මාරයේ හමුදා පාලනය හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්මත කර ගත් යෝජනාවට ශ්‍රී ලංකාව ද ඡන්දය ලබාදීමෙන් වැළකී සිට තිබෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේදී ඡන්දයෙන් තේරී පත්වූ අවුන්සාන් සුකීගේ නායකත්වයෙන් යුත් පාලනය පෙරළා දමා හමුදා කුමන්ත්‍රණයකින් බලය අත්පත් කර ගැනීමට එරට හමුදා පාලනය කටයුතු කළා.

හමුදා අත්අඩංගුවේ රඳවාගෙන සිටින අවුන්සාන් සුකී වැනි නායකයන් නිදහස් කිරීම සහ සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව සිදුකරන ප්‍රචණ්ඩත්වයන් අවසන් කරන ලෙස අදාළ යෝජනාවෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම මියන්මාරයට අවි ආයුධ අලෙවිය නතර කරන ලෙසත්, එමගින් ඉල්ලා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මියන්මාරයේ ප්‍රධාන අවි සැපයුම් රටවල් වන චීනය සහ රුසියාවද ඇතුලුව රටවල් 36 ක් අදාළ යෝජනාවට ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියා.

රටවල් 119 ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, විරුද්ධව ඡන්දය භාවිත කර ඇත්තේ බෙලරූස් රාජ්‍යය පමණයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *