ලංකා ෆොස්ෆේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශයට

ලංකා ෆොස්ෆේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශයට

*********************************************

ලංකා ෆොස්ෆේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශයට

(19.06.2021 – 10:15 +0530 – hirunews.lk/sinhala)

විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරය දරණ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති ලංකා ෆොස්ෆේට් සමාගම, කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත පවරා තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (18) නිකුත් කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති ලංකා ෆොස්ෆේට් සමාගම මීට පෙර වසර ගණනාවක් පුරා පාඩු ලබමින් තිබූ අතර, එය පසුගිය වසර පහක (5) කාලය තුළ වාර්තාගත මෙහෙයුම් ලාභයක් උපයා තිබෙනවා.

ෆොස්ෆේට් සමාගම නිෂ්පාදනය කරන පොහොර වැඩසටහනක් එප්පාවල පොහොර නමින් ජනගත කිරීමටද පසුගිය කාලයේ කටයුතු කර තිබූ අතර, ජෛව හරිත ෆොස්ෆේට් නිෂ්පාදනයද ආරම්භ කිරීමටයි සැළසුම් කර තිබුණේ.

පසුගියදා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ අනූෂ පැල්පිට මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වූ අතර, ජනාධිපතිවරයා විසින් එම ධුරයට වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ රජය හඳුන්වාදී ඇති කාබනික පොහොර වැඩසටහන විධිමත් කිරීමේ අරමුණින් ලංකා ෆොස්ෆේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරා ඇති බවයි.

******************************************

(19.06.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිළවරණය ලබන 26 වන දා පැවැත්වීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ
පෙත්සමක් ගොනු කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්වරුන් කිහිප දෙනෙකු ගොනු කර ඇති මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ නිළවරණ කමිටුවේ සභාපති වෛද්‍ය මෛත්‍රී චන්ද්‍රරත්න, එම සංගමය හා එහි සාමාජිකයින් දස (10) දෙනෙකුයි.

එසේම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වත්මන් ලේකම්වරයා සමඟ එම ධුරයට තරඟ කරන වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු ද කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

ඒ, නිළවරණ කමිටු සභාපතිවරයා විසින් 2020 – 2021 වසර සඳහා ප්‍රකාශයට පත් කළ නිතරඟයෙන් තෝරා ගත් එම සංගමයේ නිලධාරීන්ගේ පත්වීම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලායි.

එම පැමිණිල්ල ලබන 21 වනදා සලකා බැලීමට නියමිතයි ෴

******************************************

(19.06.2021 – 08:03 +0530 – hirunews.lk/sinhala)

2020 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ගම්පහ දිස්ත්‍රික්කයට දැනට තිබෙන සංඛ්‍යාවට වඩා වැඩිපුර මන්ත්‍රී ධුරයක් හිමිව තිබෙනවා.

එමෙන්ම යාපනය දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධූරයක් අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 18 සිට 19 දක්වා වැඩි වී ඇති අතර යාපනය දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 07 සිට 06 දක්වා අඩු වී තිබෙනවා ෴

******************************************

(19.06.2021 – 08:16 +0530 – hirunews.lk/sinhala)

අතර මග නවතා දමා ඇති ව්‍යාපෘති කඩිනමින් අවසන් කරමින් ජල ගැලීම් නිසා ජනතාව මුහුණ දෙන ගැටළු අවම කිරීමට පළාත් පාලන ආයතන, මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සාමුහික තීන්දුවකට එළඹෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, අරලියගහ මන්දිරයේ ඊයේ (18) පැවති කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජල ගැලීම්වලට ලක්වන පහත්බිම් සඳහා විසදුම් ලබාදීමේ සාකච්ඡාවකට එක්වෙමින්.

එක් එක් ආයතන වෙත ලබා දී ඇති කාර්යයන් නිසි පරිදි ඉටුනොවීම හේතුවෙන් ජනතාව මෙන්ම රජය ද අපහසුතාවයට පත්වන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා මේ වන විට ආරම්භ කර ඇති ව්‍යාපෘති අතරගම නවතා දැමීමකින් තොරව අවසන් කිරීමට සියලු ආයතන එක්ව කටයුතු කරන ලෙස ද එහිදී බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

******************************************

(19.06.2021 – 08:19 +0530 – hirunews.lk/sinhala)

වරාය නගර ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාව අවධානයෙන් පසුවන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක අරින්දම් බග්චී ප්‍රකාශ කළා.

ඒ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සතිපතා පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ජාවේදි මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

******************************************

(19.06.2021 – 08:22 +0530 – hirunews.lk/sinhala)

මෙරට සීග්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින ආක්‍රමණශීලී ශාක වර්ග කිහිපයක් යොදා ගනිමින් අති ප්‍රබල ස්වභාවික වල් නාශකයක් නිපදවීමට පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.

වල්නාශක භාවිතය තහනම් කර ඇති පසුබිමක ගොවීන් පත්ව ඇති අසීරුතාව පිළිබදව අවධානය යොමු කරමිනුයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට තීරණය කර ඇත්තේ.

ඒ අනුව අදාළ ආක්‍රමණික ශාක බහුල වශයෙන් පවතින හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඒ සඳහා කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට ද යෝජනා වී තිබෙනවා.

ඒ අනුව හම්බන්තොට – අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊට අදාළ අද සාකච්ඡාවක් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

එසේම මෙවර මහ කන්නයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවිතැනට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය සඳහා සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපෘති ගණනාවක්ම ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි පරිසර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වුණේ ෴

******************************************

(19.06.2021 – 09:03 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 50 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 52 ක් සමඟ කළුතර දකුණ පොලීසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුලු තුන්දෙනෙකු (3) ඊයේ (18) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා, මේ වන විට ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටින නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘පානදුර සලිඳු’ නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය මෙරට බෙදා හැරීම සඳහා සම්බන්ධීකරණ සහ ප්‍රවාහන කටයුතු සිදුකර ඇති බව මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මුහුදු මාර්ග ඔස්සේ දකුණට පැමිණෙන මත්ද්‍රව්‍ය තොග දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා කොළඹට සහ අනෙකුත් ප්‍රදේශවලට බෙදාහැරීමේ කටයුතුවලට මොහු සිය නිල ඇඳුම භාවිත කරමින් සම්බන්ධ වී ඇති බවටයි මෙතෙක් කරන ලද පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ.

ඊයේ (18) රාත්‍රියේ බද්දේගම හුවමාරුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසි සැකකාර උප පොලිස් පරික්ෂකවරයා අතුරුගිරිය හුවමාරුවෙන් පිටත සිටි තවත් පුද්ගලයින් දෙදෙනකු (2) ද සම්බන්ධ කරගෙන මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම වැටලීමේදී උප පොලිස් පරීක්ෂකවරයාගේ මෝටර් රථය සහ තවත් වෑන්රථයක් ද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකළ පොලිස් කණ්ඩායමට හැකි වුණා.

මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කර දින හතක (7) කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

(19.06.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 50 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 52 ක් සමඟ අත්අඩංගුවට ගැනුණු කළුතර දකුණ පොලීසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

(19.06.2021 – 19:04 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 53 ක වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් ප්‍රවාහනය කිරීමේදී අත්අඩංගුවට ගත් කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයගෙන් රදවාගෙන ප්‍රශ්න කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (19) නියෝග කළා.

කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා (2) අතර වාප්පු ලිපිකරුවෙකු ද සිටින බවයි.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ බද්දේගම පිවිසුම අසළදී ඊයේ (18) අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා සන්තකයේ තිබී සොයාගත් මත්කුඩු තොගයේ බර කිලෝග්‍රෑම් 52 යි ග්‍රෑම් 728 ක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

******************************************

(19.06.2021 – 11:28 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය ජැටිය ආසන්නයේ ඊයේ (18) රාත්‍රියේ ජීප් රථයක් අනතුර ලක්වීමෙන් එහි රියදුරු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

ශ්‍රී ලංකා රේගුවට අයත් ජීප් රථයක් මෙලෙස ඊයේ (18) රාත්‍රී දහයට (10) පමණ වරාය ජැටියෙන් ඉවතට පැන මුහුදට වැටී ඇති බවයි වරාය පොලිසිය පැවසුවේ.

අනතුරෙන් පසු ජීප් රථය මීටර 20 ක් පමණ ගැඹුරට ජලයේ ගිලී ඇති බවයි වාර්තා වුණේ.

එලෙස ගිලුණු ජීප් රථය දොඹකරයක ආධාරයෙන් ගොඩ ගැනීම සඳහා වරාය සේවකයින්, පොලිසිය සහ නාවික හමුදාව එක්ව කටයුතු කර තිබෙනවා.

******************************************

(19.06.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීම හේතුවෙන් සිදුව ඇති පාරිසරික හානිය තක්සේරු කිරීම සඳහා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති අධිකාරියේ සහාය ඇතිව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

පරමාණුක බලශක්ති මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඊ.එම්.ආර්. තෙන්නකොන් මහතා ප්‍රකාශ කළේ පරිසර අමාත්‍යාංශය, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ නාරා ආයතනය එක්ව සිදුකරන එම ව්‍යාපෘතියට සහය ලබාදීම සඳහා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති අධිකාරියේ විශේෂඥයෙක් ද මෙරටට අනුයුක්ත කර ඇති බවයි.

මේ අතර, ආරච්චිකට්ටුව – කරුක්කුපනය වෙරළ තීරයට තවත් මියගිය කැස්බෑවකුගේ සිරුරක් අද (19) පෙරවරුවේ ගොඩගසා තිබුණා.

නෞකාවේ ගින්නෙන් පසු මේ වනවිට මියගිය කැස්බෑවන් 50 කට අධික සංඛ්‍යාවකගේ සිරුරු මෙරට වෙරළ තීරයන්ට ගොඩ ගසා ඇති බවයි වනජීවී අමාත්‍යාංශය සඳහන් කළේ.

කෙසේ වෙතත්, ජෛව සංරක්ෂණ සංගමයේ සභාපති කැස්බෑ විශේෂඥ ලලිත් ඒකනායක මහතා පෙන්වා දෙන්නේ නෞකා ගින්නෙන් පරිසරයට සිදුවු බලපෑම හේතුවෙන් කැස්බෑ බිත්තරවලට සහ බිහිවන පැටවුන්ගේ ප්‍රතිශක්තිකරණයේ අඩුවක් සිදුවිය හැකි බවයි ෴

@@@@@@@@@@@@@@@@

(19.06.2021 – 08:14 +0530 – hirunews.lk/sinhala)

ඊයේ 18 දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 2,349 දෙනෙකු හදුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,35,413 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 2,327 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 22 කු ද ආසාදිතයන් ලෙස හඳුනාගැනුනා.

ඒ අනුව තවදුරටත් රෝගීන් 35,729 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 1,97,259 ක්.

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදුවූ බවට තහවුරු කරන ලද කොරෝනා මරණ 55 ක් වාර්තා කිරීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 2,500 සීමාවට ආසන්න වුණා.

එය දැක්වුණේ 2,480 ක් ලෙසයි.

මෙලෙස මියගිය අය අතර 32 කු පිරිමි පුද්ගලයින් වන අතර, කාන්තාවන් 23 දෙනෙකුද ඊට ඇතුළත්.

මේ අතර, ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් සඳහා ගුරුවරුන්ට බලපෑම් කිරීම වහා නතර කළ යුතු බව ගුරු සංගම් 09 ක් එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

කොරෝනා ව්‍යාප්ත වී වසරකුත් මාස 03 කට අධික කාලයක් ගත වී ඇතත් දුරස්ථ ඉගැන්වීම් සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති බවයි ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++

(19.06.2021 – 09:23 +0530 – hirunews.lk/sinhala)

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (18) දිනයේ සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 34,476 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ඊට අමතරව එහි පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 22,419 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව මේ වනවිට පුද්ගලයින් 1,423,874 දෙනෙකුට ලබාදී ඇති අතර, දෙවන (2) මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 414,448 ක්.

ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 81,695 කට සහ දෙවන (2) මාත්‍රාව 11,691 කට ලබාදී තිබෙනවා.

ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව 925,242 කුට ලබාදී ඇති අතර, දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 357,868 ක්.

(19.06.2021 – 11:09 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (18) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගෙන් වැඩිම සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා. ඒ, ආසාදිතයන් 493 දෙනෙකු ලෙසයි.

වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ අවිස්සාවේල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන අතර, එම සංඛ්‍යාව 135 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 274 දෙනෙකු, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 174 ක්, කුරුණෑගලින් ආසාදිතයන් 166 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 111 දෙනෙකු බැගින් වාර්තාවී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ෴

++++++++++++++++++++++

(19.06.2021 – 10:47 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති කඩකිරීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ වතු කම්කරුවන් 12 දෙනෙකු හැටන් – වැලිඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (18) පස්වරුවේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වතු අධිකාරී කාර්යාලයට ගොස් එහි සේවකයන් කාර්යාලය සිරකර තැබීම, කර්මාන්තශාලාවේ කටයුතුවලට බාධා කිරීම සහ අධිකරණ නියෝග කඩකරමින් අයුතු ජනරාශියක සාමාජිකයින් වීම යන චෝදනා යටතේයි.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ වැලිඔය වසම, හුදෙකලා කිරීමට පියවර ගැනුනු අතර, පසුගිය 15 වනදා එය ඉවත් කිරීමෙන් පසු මෙම වතු කම්කරුවන් වතු අධිකාරී කාර්යාලයට පැමිණ එහි සේවකයන්ට බලපෑම් කර තිබෙනවා.

ඒ, මෙම හුදෙකලා කිරීම් සඳහා වතු අධිකාරීවරයා මුල් වී කටයුතු කළ බවට චෝදනා කරමින් ෴

++++++++++++++++++++++

(19.06.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික මධ්‍යස්ථාන ඉදිරියේදී දින තුනකට (3) වරක් දින දෙකක් (2) විවෘතව තැබීමට සෞඛ්‍ය අංශ අවසර ලබා දුන් බව මොණරාගල ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ජංගම වෙළඳුන් වැඩි මිල ගණන්වලට එළවළු සහ පළතුරු අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බවද ඔහු එහිදී කියා සිටියා.

ඒ හේතුවෙන් අලෙවි කරන එළවළු සහ පළතුරු මිල ගණන් ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(19.06.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා බල පැවැත්වෙන කාලසීමාවේදී තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ද අත්‍යවශ්‍ය සේවා කාණ්ඩයට ඇතුළත් කරමින් ජනාධිපති ලේකම්වරයා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන දේශීය සහ විදේශීය ලිපි, මුද්‍රිත ද්‍රව්‍ය හා පාර්සල් භාර ගැනීම, බෙදා හැරීමේ කටයුතු අත්‍යවශ්‍ය සේවා කාණ්ඩයට ඇතුළත් වනවා.

එමෙන්ම දේශීය හා විදේශීය අධිවේගි තැපැල් සේවා, ඖෂධ බෙදා හැරීමේ විශේෂ සේවා මෙන්ම මුදල් හුවමාරු කටයුතු අත්‍යවශ්‍ය සේවා යටතට පත් කර තිබෙනවා.

මේ අතර අනිද්දායින් (21) පසු දිවයිනට පනවා ඇති සංචරණ සීමා ඉවත් කෙරෙන අතර, ඒ අනුව බොහෝ රජයේ ආයතන විවෘත වුවද සීමිත සේවක සහභාගීත්වයෙන් ඒවායේ කටයුතු සිදුවනු ඇති.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු පාරිභෝගිකයින්ට විදුලි බිල්පත් ගෙවීමට හැකියාව පවතින බවයි.

ඒ අනුව බැංකු, තැපැල් කාර්යාල හෝ අනෙකුත් ක්‍රම ඔස්සේ විදුලි බිල්පත් ගෙවීමේ හැකියාව පවතිනවා.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තවදුරටත් සීමාසහිතව රාජකාරි කටයුතු සිදුකරන අතර, එම කාර්යාල වෙත මහජන පැමිණීම තවදුරටත් සීමා කෙරෙනු ඇති ෴

+++++++++++++++++++

(19.06.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පැතිර යන කොරෝනා වෛරසය සහ රජයේ අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් සඳහා රුපියල් කෝටි 20,000 ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ පරිපූරකය ලබන අඟහරුවාදා (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට අපේක්ෂා කරන බවයි.

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා අවශ්‍ය එන්නත් මිලදී ගැනීම, ඊට අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මීට අමතරව කොරෝනා වසංගතයෙන් බලපෑම් එල්ලවූ සමාජ හා ආර්ථික අංශ කෙරෙහිද අවධානයක් යොමුකරමින් මෙම මුදල් වෙන් කිරීමට තීරණය කර ඇති බවයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ.

මේ වනවිටත් රජය විසින් සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක ඉන් අපහසුතාවට පත්වූ අඩු ආදායම්ලාභීන් වෙත සහන සැළසීමේ අරමුණින් රුපියල් පන්දහසේ (5000) දීමනාවක් ද ලබාදෙමින් සිටිනවා.

කෙසේ වෙතත් තවදුරටත් එම සහන සැළසීම ආදී ඉදිරි කටයුතු සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට නුදුරු දිනකදීම ඉදිරිපත් කොට සම්මත කරගැනීම රජයේ අපේක්ෂාව වී තිබෙනවා.

ලබන 22 වනදා යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, එම සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කථානායකවරයා විසින් අනිද්දා (22) පක්ෂ නායක රැස්වීමක් ද කැඳවා තිබෙනවා ෴

@@@@@@@@@@@@@@

අපේක්ෂා රෝහල සංවර්ධනයට විරුද්ධ පුද්ගලික රෝහල් මාෆියාව – ලෝකයේ හොඳම මහ ජාතිය සිංහල බෞද්ධයා (19.06.2021)

[ https://www.facebook.com/fightcancer.lk ]

[ http://www.fightcancer.lk/ ]

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *