සංචරණ සීමා දීර්ඝ කළ හේතුව ජනපති පහදයි – කොවිඩ් නොවන මරණවල අවසන් කටයුතු ගැනත් නිලධාරීන්ට උපදෙසක්

සංචරණ සීමා දීර්ඝ කළ හේතුව ජනපති පහදයි – කොවිඩ් නොවන මරණවල අවසන් කටයුතු ගැනත් නිලධාරීන්ට උපදෙසක්

*********************************************

සංචරණ සීමා දීර්ඝ කළ හේතුව ජනපති පහදයි – කොවිඩ් නොවන මරණවල අවසන් කටයුතු ගැනත් නිලධාරීන්ට උපදෙසක්

(18.06.2021 – 17:01 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් නොවන හේතූන් මත මියයන අයගේ අවසන් කටයුතු පැය 24 ක් තුළ සිදු කිරීමට අනුමැතිය ලබාදෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදීයි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

කොවිඩ් නොවන මරණ පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමෙන් අවසන් තටයුතු සිදු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳ බොහෝ දෙනෙකුගෙන් චෝදනා එල්ලවී තිබෙනවා.

එමගින් මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් මුහුණදෙන ආර්ථික සහ දැඩි අපහසුතා සැලකිල්ලට ගනිමිනුයි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

පසුගිය 14 වනදා සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබුණ ද ජුනි 11 වනදා මරණ 101 ක් වාර්තාවූ බවට ලැබුණු දත්ත පදනම් කර ගනිමින් ලබන 21 වනදා දක්වා සංචරණ සීමා දීර්ඝ කිරීමට පියවර ගත් බව මෙම සාකච්ඡාවේදී අනාවරණ වී තිබෙනවා.

පසුව මෙම මරණ සිදුවී ඇති ආකාරය පිළිබඳ සෞඛ්‍ය සහ බුද්ධි අංශ මගින් නැවත පුලුල් විමර්ශණයක් කර ලබාගත් දත්ත පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දීර්ඝ ලෙස කරුණු පැහැදිළි කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

එහිදි අනාවරණ වී ඇත්තේ ඇතැම් මරණ පෙබරවාරි 06 සිට ජුනි 11 දක්වා මාස 4 ක කාලසීමාව තුල සිදුවී මරණ සහතික ද නිකුත් කර ඇති බවටයි.

ඇතැම් මරණ පිළිබඳ තොරතුරු අවස්ථා දෙකක (2) දී සඳහන්ව ඇති බවට ද සොයාගෙන තිබෙනවා.

ජුනි 11 වනදා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 101 ක් නොව 15 ක් පමණක් බවට සිදුකළ පුලුල් විමර්ශණයෙන් හෙළිකරගත් බවයි ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ.

දත්ත සැපයීමේ නිවැරදිවීම සහ කාලීන වීම නිවැරදි තීරණ ගැනීමට අත්‍යවශ්‍ය බව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළා.

මේ අතර මේවන විට එන්නත් මිලියන 4 කට අධික ප්‍රමාණයක් ගෙන්වා ඇතැයි මෙම සාකච්ඡාවේදී අනාවරණ වී තිබෙනවා.

ලබන ජුලි මාසයේදී අවම වශයෙන් තවත් එන්නත් මිලියන 4 ක් ලැබීමට නියමිත අතර ඒ අනුව ඉදිරි කාලය තුල ඉහළ ප්‍රතිශතයකට එන්නත් ලබාදීමේ හැකියාව ඇති බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියාසිටියේ.

මේ අතර කොවිඩ් මර්දන විශේෂ කමිටුව රැස්වූ අවස්ථාවේදී තීරණය කෙරුණේ ලබන 21 වනදා අලුයම 04 සිට සංචරණ සීමා ලිහිල් කිරීමටයි.

එහෙත් පළාත් අතර පනවා ඇති සංචරණ සීමා ලිහිල් නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජුනි මස 23 රාත්‍රී 10 සිට 25 වනදා උදෑසන 04 දක්වා පමණක් පෙර පරිදිම සංචරණ සීමා නැවත ක්‍රියාත්මක කෙරෙනු ඇති.

ජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති නීති තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කෙරෙනවා.

රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යාමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතු අතර සියලුම වෙළෙඳ සහ ආර්ථික මෙහෙයුම් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

++++++++++

++++++++++++++++++++++++++

(18.06.2021 – 17:57 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාව තුල පැතිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සියලු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ දිනවල ඉන්දියාවේ වේගයෙන් පැතිර යන මෙම වෛරසය ආසාදනය වූ පුද්ගලයන් කිහිප දෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවීමත් සමග එම ප්‍රදේශයෙන් වෛරසය පිටතට පැතිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසට අමාත්‍යවරිය උපදෙස් ලබාදී ඇත්තේ.

අද (18) පෙරවරුවේ පැවති කොවිඩ් 19 මර්දනය සඳහා වූ ක්‍රියාකාරී සමාලෝචන කමිටු රැස්වීමේදී මෙම නව වෛරස ප්‍රභේදය පැතිර යාමේ ගැටලුව පිළිබඳ දීර්ඝව සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

එහිදී තීරණය වී ඇත්තේ එම ප්‍රදේශ හුදෙකලා කර සාම්පල ලබා ගනිමින් ඩෙල්ටා වෛරසයට අදාළ පරීක්ෂණ සිදු කිරීමටයි.

එමෙන්ම ආසාදිතයන් සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් පිළිබඳ හඹාගොස් පරීක්ෂණ කිරීමට සහ ආසාදිතයන් වැඩි වශයෙන් හමුවන දිවයිනේ අනෙක් ප්‍රදේශවල ද මෙම ඩෙල්ටා ප්‍රභේදය ඇත්දැයි සොයා බැලීමට විශේෂ පරීක්ෂණ සිදු කිරීමට කටයුතු යොදන ලෙසට ද උපදෙස් දී තිබෙනවා.

මෙම පරීක්ෂණවලට අවශ්‍ය සියලුම භෞතික සහ මානව සම්පත් කඩිනමින් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙසටයි සෞඛ්‍ය අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ ෴

ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ආසාදිත තවත් 1560 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 234,624 ක් ලෙසටයි ෴

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1825 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 197,259 ක් ලෙසටයි. මෙරටින් කොරෝනා ආසාදිතයන් 234,624 ක් වාර්තාවී තිබෙනවා ෴

+++++++++++++++++++++++++

(18.06.2021 – 18:47 +0530 – hirunews.lk/sinhala)

කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයේ නිරෝධායන නීති උල්ලංඝණය කරමින් මංගල සාදයක් පැවැත්වූ පිරිසක් නිරෝධායනයට ලක්කර අධිකරණයේ නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඊයේ (17) රාත්‍රියේ නිරෝධායන නීති උල්ලංඝණය කරමින් මෙම මංගල සාදය පවත්වා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

නඩු පැවරීමට කටයුතු කර ඇත්තේ අදාළ මංගල සාදය පැවැත්වූ නිවසේ හිමිකරුට වන අතර සාදයේ බීමත්ව රැඟුම් පෑ 5 දෙනෙකු හඳුනාගෙන ඔවුන් නිරෝධායනයට ලක්කර පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මංගල උත්සවයේ දෙවන (2) දින සාදයට පොලිසියෙන් හා සෞඛ්‍ය අංශවලින් අවසර ඉල්ලා තිබුණ ද එම අවසර ලබා දී තිබුණේ නැහැ.

කෙසේ වෙතත් එම තීරණය නොසලකා මෙම පිරිස රාත්‍රී 10 න් පසුව හොර රහසේ මෙම සාදය පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ මංගල සාදය සඳහා 100 කට ආසන්න පිරිසක් එක්ව ඇතැයි සඳහන්.

ඔවුන් අතරින් සමහරෙක් සාදය අතරතුර බීමතින් මෙම අවස්ථාවේ වීඩියෝ දර්ශණ සජීවීව සමාජ මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

කල්පිටිය පොලිසිය පවසන්නේ සාදයට එක්වූ අනෙක් පිරිස සොයා ගැනීම සඳහා අදාළ වීඩියෝ දර්ශණ උපයෝගී කර ගන්නා බවයි.

+++++++++++++++++++++

(18.06.2021 – 20:02 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල සත්වෝද්‍යානයේ තෝර් නැමති සිංහයාට කොරෝනා වෛරසය ආසාදනය වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා ප්‍රකාශ කළේ දින දෙකක් (2) ඇතුළත ඒ පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරන බවයි.

2012 වසරේදී දකුණු කොරියාවෙන් මෙරටට රැගෙන ආ මෙම සිංහයාට දින කිහිපයක් තිස්සේ කැස්ස සහ උගුරේ අපහසුතා මෙන්ම ආහාර නොගැනීමේ තත්වයක් පෙන්නුම් කළ බැවින් කොරෝනා පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.

එහිදී සිංහයාට වෛරසය ආසාදිත බවටයි තහවුරු වී ඇත්තේ. ඒ අනුව 11 හැවිරිදි වියේ පසුවන තෝර් අනෙකුත් සතුන්ගෙන් වෙන් කර ප්‍රතිකාර කිරීමට පියවර ගත් බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ප්‍රතිකාර කිරීම සඳහා ඉන්දියාවේ මධ්‍යම සත්වෝද්‍යාන අධිකාරියේද උපදෙස් ලබා ගත් බවයි වනජීවී රැකවරණ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කළේ.

මෙම සිංහයාට කොරෝනා ආසාදනය වූ ආසන්න කාලසීමාව තුළ එම සත්වෝද්‍යානයේ සිටි සීබ්‍රා පැටවෙකු සහ හිපපොටේමස් සත්වයෙකුද මියගොස් ඇතැයි වාර්තාවනවා.

කෙසේ වෙතත් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කියා සිටියේ ආහාර මාර්ගයේ ඇතිවූ බැක්ටීරියා ආසාත්මිකතාවක් නිසා හිපපොටේමස් සත්ත්වයා මිය ගොස් ඇති බවයි.

සීබ්‍රා පැටවාගේ මරණයට හේතුව ආහාර මාර්ගයේ අවහිරවීමකින් ඇතිවූ ආසාදන තත්වයක් බව ඔවුන් සඳහන් කළා.

මේ අතර කොළඹ – දෙමටගොඩ ප්‍රදේශයෙන් මුල් වරට හමුවූ සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය දැනට ආසාදිතයින් වැඩි වශයෙන් හමුවන දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද පවතින්නේ ද යන්න පිළිබදව සොයා බලන ලෙස සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, අද (18) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති කොරෝනා මර්දනය සඳහා වූ ක්‍රියාකාරී සමාලෝචන කමිටු රැස්වීමේදියි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (18) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය කියා සිටියේ ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයෙන් මරණයට පත්වීම වළක්වාගැනීමට එන්නත්කරණය වැදගත් බවයි.

මේ අතර, ගාල්ල – උණවටුනේ ඇතිවූ සිද්ධියට විපක්ෂයේ දේශපාලනඥයින්ගේ සමීපතමයින් පිරිසක් සම්බන්ධ වී ඇති බවයි අද (18) පැවති සාකච්ඡාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ.

මේ අතර අද (18) දිනයේ මේ දක්වා කාලය තුළ ආසාදිතයන් 1560 දෙනෙකු අලුතින් වාර්තාවීමත් සමඟ මෙරට මුළු ආසාදිත සංඛ්‍යාව 234,624 දක්වා ඉහළ ගියා.

++++++++++++

+++++++++++++++++++++++

(18.06.2021 – 20:07 +0530 – hirunews.lk/sinhala)

මිල වැඩි කිරීමකින් තොරව ගෑස්, කිරිපිටි, සිමෙන්ති සහ කුකුළු මස් අලෙවි සමාගම් වලට සහන ලබාදිය හැකි ද යන්න තවදුරටත් රජය සලකා බලමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ එම අමාත්‍යාංශයේ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව කිරිපිටි, සීනි, බඩඉරිඟු, වී සහ සහල් තොග ගබඩා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් 300 ක් පමණ එහි ලියාපදිංචි වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

එසේ ලියාපදිංචි කර නොමැති ගබඩා සම්බන්ධයෙන් එළඹෙන සදුදා (21) සිට විමර්ශන ආරම්භ කරන බවත් එවැනි තනි පුද්ගල හෝ මහා පරිමාණ සමාගම් වලට එරෙහිව දඩ හෝ මාස 06 ක සිර දඬුවම් නියම කළ හැකි බවයි ඔහු කියා සිටියේ ෴

++++++++++++++++++

(18.06.2021 – 21:11 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිත මරණ 55 ක් වාර්තාවී තිබෙනවා. මෙම මරණ ඊයේ (17) දිනය තුල සිදුව ඇති බවටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර ඇත්තේ. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2480 ක් ලෙසටයි.

අද (18) දිනයේ තහවුරු කළ මරණ අතර අවුරුදු 30 ත් 59 ත් කාන්තාවන් 05 ක් සහ පිරිමි පුද්ගලයන් 08 ක් වනවා. අවුරුදු 60 සහ ඊට වැඩි කාන්තාවන් 18 ක් සහ පිරිමි පුද්ගලයන් 24 ක් ද මෙම මරණ අතරට අයත් ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 767 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (18) දිනයේ මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2327 ක්. ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා ආසාදිතයන් 235,391 ක් වාර්තාවී තිබෙනවා ෴

++++++++++++++++++++++

(18.06.2021 – 21:19 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් වාර්තාවන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ගෝලීය වශයෙන් ව්‍යාප්තවන ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි ප්‍රධාන විද්‍යාඥ සෞම්‍ය ස්වාමිනාතන් මේ බව ප්‍රකාශකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ෴

+++++++++++++++++++++

(19.06.2021 – 06:14 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1281 දෙනෙකු ගත වූ පැය 24 තුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මින් වැඩි පිරිසක් මාතලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිස දැක්වෙනේ 136 ක් ලෙසයි.

ඒ අනුව නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 39,592 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

+++++++++++++++++++

ගාල්ලේ දී සිදුකළ එන්නත් අවභාවිතය ට සම්බන්ධ පිරිස් ගැන හෙළිදරව්වක්

(18.05.2021 – 16:47 +0530 – sinhala.adaderana.lk)

ගාල්ලේ සිදු වූ අයථා එන්නත්කරණ වැඩසටහනට විපක්ෂයේ දේශපාලඥයින්ගේ සමීපතමයින් පිරිසක් සම්බන්ධ වී ඇතැයි තොරතුරු ලැබුණු බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පවසා සිටියේ, එන්නත්කරණ පිළිබඳ ව ජනතා විශ්වාසය බිඳදැමීම සඳහා සංවිධානාත්මක කණ්ඩායමක් විසින් එය සිදුකර ඇතැයි තොරතුරු ලැබී ඇති බවය.

උනවටුණේ පැවති එම එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයට කරුණු යොමුකර ඇති බව ද චන්න ජයසුමන මහතා කියාසිටියේය.

උනවටුණේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී බස්නාහිර පළාතෙන් පැමිණි පුද්ගලයන්ට කොවිඩ් මර්දන ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීමේ සිද්ධිය ‘අද දෙරණ උකුස්සා’ රට හමුවේ පළමුවරට අනාවරණ කළේ පසුගිය 7 වැනිදාය.

‘අද දෙරණ උකුස්සා’ගේ අනාවරණයෙන් දින දෙකකට (2) පසුව ගාල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා හා ප්‍රාදේශීය වසංගත රෝග අධ්‍යක්ෂවරයා වහාම එම තනතුරුවලින් ඉවත් කෙරුණේ මූලික පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙනි.

මේ අතර, ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා සිද්ධියට අදාළව පසුගිය 14 වන දා නියෝග කර සිටියේ, පසුගිය 5 වැනිදා සහ 7 වැනිදා අදාළ කාර්යාලයෙන් එන්නත් ලබාගත් පුද්ගලයින්ගේ නාම ලේඛනයක්, එන්නත් ලබාදුන් කාර්යාලයේ සී.සී.ටී.වී. දර්ශන සහ විමර්ශනයට අදාළව දුරකථන දත්ත ලබාදෙන ලෙසය.

අදාළ නියෝග ලබාදුන්නේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසුවය.

මේ අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු (1) මාත්‍රාව ලෙස ලබාදුන් පිරිසට දෙවන (2) මාත්‍රාව ලෙස විශේෂඥ කමිටුවේ අනුමැතිය යටතේ ෆයිසර් එන්නත ලබාදීමට සූදානම් බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, ජූනි මාසයේ දෙවැනි (2) සතියේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 6 ම නොලැබෙන්නේ නම් ඒ සඳහා ෆයිසර් එන්නත වුවත් යොදා ගැනීමට හැකි බවය.

+++++++++++++++++++++

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක්

(19.06.2021 – 06:58 +0530 – hirunews.lk/sinhala)

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඩෙංගු රෝග නිවාරණ ඒකකයේ අධ්‍යක්ෂක ලෙස මාරුකර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන අධ්‍යක්ෂක ලෙස වෛද්‍ය සමිත ගිනිගේ මහතා පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) කොවිඩ් මර්දන විශේෂ කමිටුව රැස්වුණා.

එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් අවශ්‍ය තොරතුරු ලබා නොදනෙන බවට වසංගත රෝග විද්‍යා අංශයට චෝදනා එල්ල කර සිටියා.

++++++++++++++++++++

(19.06.2021 – 07:52 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ දුම්රිය ධාවන කටයුතු ලබන 21 වනදා සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් පළාත් අතර සංචරණ සීමා පවතින හෙයින් මීට පෙර පළාත් අතර ක්‍රියාත්මක වූ ආකාරයට මෙවර ද ධාවන කටයුතු සිදු කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ.

දිවයිනටම බල පැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සීමා අනිද්දා (21) අලුයම 4 ට ඉවත් කෙරෙනවා.

කෙසේ වෙතත්, සංචරණ සීමා ඉවත් කළ ද පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති.

මේ අතර, සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ලංගම බස් රථ ධාවනයට එක් කරන ආකාරය පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා ප්‍රකාශ කළේ ෴

@@@@@@@@@@@@@@@@@

(18.06.2021 – 19:35 +0530 – hirunews.lk/sinhala)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් පසු වාර්තා වූ කැස්බෑවන්ගේ මරණවලට හේතුව සෙවීම සඳහා එම සත්ත්වයින්ගේ සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා සිංගප්පූරුවට යැවීමට පියවර ගන්නා බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා ප්‍රකාශ කළා.

මේ අතර, අදත් (18) පානදුර මුහුදු වෙරළට, මීගමුව – පෝරුතොට සහ වාද්දූව වෙරළ තීරයට මිය ගිය කැස්බෑවන්ගේ සිරුරු ගොඩ ගසා තිබුණා.

මෙලෙස කැස්බෑවන් මියගොස් ඇත්තේ මුහුදේ ඇතිවන සංසිද්ධියක් හේතුවෙන් බවටයි වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරවීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ඊයේ (17) කියා සිටියේ.

මේ අතර එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානි පිළිබඳව විදේශීය විශේෂඥයින් දැනුවත් කිරීම සඳහා රැස්වීමක් අද (18) විදේශ අමාත්‍යාංශයේදී පැවැත්වුණේ සාගර කටයුතු පරිසර හා දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් හසන්ති දිසානායක මහත්මියගේ සහ ජගත් සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර්ගේ ප්‍රධානත්වයෙන්.

ඒ සඳහා නෞකාවෙන් පරිසරයට සිදුවූ හානි තක්සේරු කිරීමට රජයට සහය වීම සඳහා පැමිණි විදේශීය විශේෂඥයන් තුන්දෙනාද (3) එක්වුණා.

මේ අතර, කොළඹ වරායේ සිට ඉන්දියාව බලා ගමන් කරමින් පවතින පෘතුගීසි ධජය සහිත බහලුම් නෞකාවක ඉන්ධන කාන්දුවක් සිදුවන බවට ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් තහවුරු කර තිබෙනවා.

එම බලකාය ප්‍රකාශ කළේ චෙන්නායි හි සිට නාවික සැතපුම් 250 ක් දුරින් වූ මුහුදු කලාපයේදී ‘එම්.වී. ඩෙවෝන්’ නැමති මෙම වෙළඳ නෞකාවෙන් ඉන්ධන කිලෝ ලීටර් 10 ක් පමණ මුහුදට කාන්දු වී ඇති බවයි.

නෞකාවේ ඉන්ධන ටැංකියේ සිදුවූ දෝෂයකින් ඉන්ධන මුහුදට නිකුත් වී ඇති නමුත් අදාළ නෞකාව බාධාවකින් තොරව සිය ගමනාන්තය වෙත ළඟා වෙමින් පවතින බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සඳහන් කළා.

******************************************

‘සාරා’ මිය ගියා දැයි සොයන්න, ත්‍රස්තවාදීන්ගේ සිරුරු ගොඩ ගැනීමට යයි

(18.06.2021 – 19:51 +0530 – hirunews.lk/sinhala)

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියාගේ බිරිඳ වන සාරා, මිය ගියේ දැයි නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක් තුළ බෝම්බ පුපුරුවාගෙන මිය ගිය ත්‍රස්තවාදීන්ගේ සිරුරු ගොඩ ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකදී මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය නීති සහය ඉල්ලා ඇති බවයි ෴

******************************************

මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට කුමක් වෙයි ද?

(18.05.2021 – 22:25 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර සිදුකිරීමට ඊබ්‍රහිම්ගේ පුත්‍රයන් දෙදෙනාට (2) නීතිවිරෝධීව මුදල් ඉපැයීමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අවස්ථාව ලබාදී ඇති බවට අනාවරණය වී ඇති බව වාර්තා වේ.

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ බව පැවසීය.

ප්‍රශ්නය – රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගත්තා. දැන් රැඳවුම් නියෝග යටතේ CID භාරෙයේ පසුවෙනවා. දැන් මේ දෙපළ ගේ පරීක්ෂණ අවසන් ද?

“ඉදිරියට තවත් කී දෙනෙකු අත්අඩංගුවට ගනී ද දන්නේ නෑ. ඒක නොකඩවා යන විමර්ශනයක්. ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යනවා. ඔහු නිදොස් නම් අනිවාර්යයෙන් ම ඔහුව නිදහස් කරයි. නැත්නම් නීතිපතිතුමාට නඩු පැවරීම සඳහා ලිපිගොනුව යොමු කරයි. ඔහුගේ සම්බන්ධය තියෙන්නේ මෙතෙන. ඒක සනාථ කරන්න සිද්ද වෙනවා. ඊබ්‍රහිම්ගේ පුත්‍රයින් දෙදෙනා (2) තමයි ෂැංග්‍රිලා එකෙයි තවත් තැනකයි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය කළේ. ඒ පුතුන් දෙදෙනාගේ (2) සමාගමට නීතිවිරෝධී ලෙස කෝටි ගණනක් මුදල් ඉපැයීමට අවස්ථාවක් ලබාදුන්නා. ඒ මුදල් තමයි සහරාන් ට දුන්නෙ. බොහෝදුරට ලක්ෂ 300 ක් පමණ. මේ ප්‍රහාරය එල්ල කිරීමට හා ඒ අදාළ කටයුතුවලට. ඒකට තමයි මම හිතන්නේ රිෂාඩ් බදියුදීන් මහතා ව අත්අඩංගුවට ගෙන තියෙන්නේ. “

මේ අතර පාස්කු ප්‍රහාරය පරීක්ෂණවලදී විවිධ අවස්ථාවල දී පුද්ගලයින් 724 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එයින් පුද්ගලයින් 227 ක් අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් තවමත් පොලීසිය භාරයේ පුද්ගලයින් 83 දෙනෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය‍.

මේ අතර සැකකරුවන් විසින් විවිධ අවස්ථාවල දී පරිහරණය කළ රුපියල් මිලියන 205 කට ආසන්න මුදල්, ස්වර්ණාභරණ සහ මැණික් ගල් ආදිය පොලිස් භාරයට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එමෙන්ම බැංකු ගිණුම් 100 කට ආසන්න ප්‍රමාණයක තිබු මුදල් රු. මි 134 ක් පමණ අක්‍රිය කර ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

******************************************

(19.06.2021 – 06:29 +0530 – hirunews.lk/sinhala)

ඇල්පිටිය, වල්අඹගල ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක තිබී දින කිහියකට පෙර මියගිය ගොස් ඇති පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (18) දහවල් සොයාගත් බව ඇල්පිටිය පොලිසිය පවසනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ 45 හැවිරිදි වියේ පසු වූ අයෙකු බවත් ඔහු දෙමව්පියන්ගෙන් වෙන්ව තනියම මෙම නිවසේ ජීවත් ඇති බවයි වාර්තා වන්නේ.

එම නිවස දෙසින් දුර්ඝන්ධයක් හමන බවට ප්‍රදේශවාසින් විසින් කරන ලද දැනුම්දීමකට අනුව කළ සොයා බැලීමේදී අදාල මළ සිරුර සොයාගැනීමට හැකිව තිබෙනවා.

පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මළ සිරුර ඇල්පිටිය රෝහල වෙත ගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴

******************************************

හෙරොයින් කිලෝ 52 ක් සමඟ SI ඇතුළු තිදෙනෙකු (3) අත්අඩංගුවට

(19.06.2021 – 06:42 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මුලස්ථානයේ අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් සිදුකරන ලද මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 52 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (3) ඊයේ (18) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර කළුතර දකුණු පොලිස් ස්ථානයට අනියුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මේ සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගත් වාහන 02 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු පළාතේ ගාල්ල, හික්කඩුව සහ බද්දේගම යන ප්‍රදේශවල සිදුකළ මෙහෙයුමකදීයි අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ලද තොරතුරකට අනුව සති තුනක (3) පමණ කාලයක් සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව දින 07 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.

******************************************

(19.06.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

වට ප්‍රමාණය අනුව පොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට අදාල ගැසට් නිවේදනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (18) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2020 වසරේ සැප්තැම්බර් 25 වන දින අංක 2194/73 දරණ ගැසට් පත්‍රය මඟින් පොල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවනු ලැබුවා.

වටප්‍රමාණය අඟල් 13 ට වැඩි පොල් රුපියල් 70 ටත්, වටප්‍රමාණය අඟල් 12 ත් 13 ත් අතර පොල් ගෙඩියක් රුපියල් 65 ටත්, වටප්‍රමාණය අඟල් 12 ට අඩු පොල් ගෙඩියක් රුපියල් 60ක් ලෙස උපරිම මිල සඳහන් කරමින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබුණා.

මේ අතර පොල් ගස් කැපීම තහනම් කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගස් හෙලීම පාලනය කිරීමේ පනතට පොල් ගසද ඇතුළත් කර ඇති අතර, මේ අනුව ඉදිරියේදී පොල් ගසක් කැපීමේදී ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් හෝ ග්‍රාම නිලධාරීවරයාගෙන් අවසර ලබාගත යුතුයි.

******************************************

(19.06.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

රථ වාහන වැරදි වලට දඩ ගෙවීමේ නව ක්‍රමවේදය ඉදිරි මාස කිහිපයේදී හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, රථ වාහන හිඟ පොලිස් ස්ථාන වෙත ත්‍රිරෝද රථ ලබාදීමට තීරණය කර ඇති අතර, එලෙස ලබාදීමට සැලසුම් කර ඇති ත්‍රිරෝද රථ 2000 න් 500 ක් පසුගිය දා මෙරටට ආනයනය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *