දැනට බලපැවැත්වෙන සංචරණ සීමා මේ මස 21 වනදා (සඳුදා) අලුයම හතරට (4) ඉවත් කරයි

දැනට බලපැවැත්වෙන සංචරණ සීමා මේ මස 21 වනදා (සඳුදා) අලුයම හතරට (4) ඉවත් කරයි

*********************************************

දැනට බලපැවැත්වෙන සංචරණ සීමා මේ මස 21 වනදා (සඳුදා) අලුයම හතරට (4) ඉවත් කරයි

(18.06.2021 – 13:31 +0530 – hirunews.lk/sinhala)

දැනට බලපැවැත්වෙන සංචරණ සීමා මේ මස 21 වනදා (සඳුදා) අලුයම හතරට (04:00) ඉවත් කර මේ මස 23 වනදා (බදාදා) රාත්‍රී 10:00 ට යළි පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව 23 වනදා රාත්‍රී 10 ට පැනවෙන සංචරණ සීමා 25 වනදා අලුයම හතර (04:00) දක්වා ක්‍රියාත්මක වනු ඇති.

මේ මස 21 වනදා අලුයම සංචරණ සීමා ඉවත් කෙරුණද පළාත් අතර, සංචරණය තහනම් බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම මහජන රැස්වීම්, පොදු ස්ථානවල රැස්වීම්, උත්සව සහ සාද තවදුරටත් තහනම් වනු ඇති ෴

++++++++++++++++++++++++

(18.06.2021 – 11:02 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ වාසය කළ සිංහයෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව වාර්තාවනවා.

මෙම සත්වයා දින 3 ක පමණ කාලයක් රෝගී තත්වයෙන් පෙළීම නිසා සිදුකළ මූලික පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ කැස්සක් සහ උගුරේ වේදනාවකින් පීඩා විඳි බවයි.

ඉන් පසුව අදාළ සිංහයාගේ සේම පටල පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට යොමුකර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකර තිබෙනවා.

එම පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ අදාළ සිංහයාට කොවිඩ්-19 වැළඳී ඇති බවටයි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිංහ දූපතේ වසර 8 කට වැඩි කළක් කල් ගෙවන ‘තෝර්’ නමැති මෙම සිංහයා 2012 වසරේදී දකුණු කොරියාවෙන් මෙරට ජාතික සත්වෝද්‍යානයට ගෙන එන ලද සත්වයෙක්.

තෝර් ගේ මෙම ආසාදිත තත්වය තහවුරු වීමත් සමඟ එම සිංහයන් භාරව සිටි රැකවලුන් තිදෙනෙකු (3) නිරෝධායනයට යොමුකිරීමට දෙහිවල ජාතික සත්වෝද්‍යාන බලධාරීන් කටයුතු කර තිබෙනවා.

තෝර් සිටි සිංහ දූපත තුළ 2021 වසරේදී ම මෙරටට ගෙනඑන ලද ‘ශීනා’ නැමැති සිංහ ධේනුව සහ තවත් සිංහයන් සිව් (4) දෙනෙකුද සිටිනවා.

එම සතුන් පිළිබඳවද PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවයි දෙහිවල සත්වෝද්‍යාන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර පසුගිය සති දෙකක (2) කාලය තුල දෙහිවල සත්වෝද්‍යානයේ වාසය කළ සීබ්‍රා පැටවෙකු සහ හිපපොටේමස් සත්වයෙකු හදිසියේ මියගියා.

සත්වෝද්‍යාන බලධාරීන් සැක පළකරන්නේ ඇතැම් විට එම සත්වයින්ට ද කොවිඩ්-19 ආසාදනය වී තිබෙන්නට ඇති බවයි.

ලොව විවිධ රටවල සත්වෝද්‍යානවල වාසය කළ සත්වයන්ට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට වරින් වර වාර්තා පළවුනා.

අසල්වැසි ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්වෝද්‍යානයක වාසය කළ ව්‍යාඝ්‍රයෙකුටද මෙලෙස කොවිඩ් ආසදානය වූ බවට තොරතුරු වාර්තා වුනා.

කෙසේ වෙතත් දෙහිවල ජාතික සත්වෝද්‍යානය සහමුලින්ම නරඹන්නන් සඳහා විවෘත කර නොමැති අවස්ථාවක මෙලෙස සතුන් හට කොවිඩ්-19 ආසාදනය වීම බරපතළ තත්වයක් බවයි සත්ව විශේෂඥයන් පවසන්නේ.

ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය නිසා දෙමටගොඩ සතියකට පෙර හුදෙකලා කළා රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන කියයි

(18.06.2021 – 13:52 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය දරුණු ඩෙල්ටා ප්‍රභේදය හමුවූ දෙමටගොඩ – ආරාමය පෙදෙස මීට සතියකට පෙර සිට හුදකලා කර තිබූ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඩෙල්ටා ප්‍රභේදය සහිත රෝගීන් වාර්තා වීමත් සමඟ ‘200 වත්ත ආරාම පෙදෙසේ’ අද (18) පෙරවරුවේ කොවිඩ් පරීක්ෂණ සිදුකිරීම ආරම්භ කළ බවයි කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදීනි දිනූකා ගුරුගේ මහත්මිය කියා සිටියේ.

ඉන්දීය දරුණු ඩෙල්ටා ප්‍රභේදය මෙරට සමාජයෙන් පළමු වරට දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඊයේ (17) ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් කොළඹ අද (18) පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ මෙම ප්‍රදේශය සතියකට පෙර සිට හුදෙකලා කර තිබූ බවයි ෴

++++++++++++++++++++++

(18.06.2021 – 11:31 +0530 – hirunews.lk/sinhala)

එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ පුද්ගලයන් 57,371 දෙනෙකුට එන්නත් ලබාදී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව 11,349 දෙනෙකුට ලබාදී ඇති අතර, දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 43,040 ක්.

කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාවද 107 දෙනෙකුට ලබාදී ඇති අතර, ස්පුට්නික් වී එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 2,875 දෙනෙකුට ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ ෴

@@@@@@@@@@@@@@@@

(18.06.2021 – 11:04 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ආසන්න වශයෙන් කිලෝමීටර් 300 ක් පමණ දුරකින් ගැඹුරු මුහුදේ රිච්ටර් මාපාංකයේ 4.8 ක් ලෙස සටහන් වූ භූමි කම්පාවක් වාර්තා වී තිබෙනවා.

භූමි කම්පා සහ ස්වභාවික ව්‍යසන සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන ‘වෝල්කැනෝ ඩිස්කවරි’ නමැති වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට මෙම භූමිකම්පාව සිදුවී ඇත්තේ මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 50 ක් ගැඹුරින්.

එහි කම්පනය ආසන්න වශයෙන් දැනෙන නගර ලෙස සඳහන් කර ඇත්තේ මඩකලපුව, කල්මුණේ, අම්පාර, එරාවූර්, ආදී නැගෙනහිර නගර කිහිපයක්.

කෙසේ වෙතත් එවැනි භූ කම්පන තත්වයක් සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශවලින් කිසිදු තොරතුරක් මේ දක්වා වාර්තා වී නෑ.

******************************************

MV X-PRESS PEARL නෞකාවේ ගින්නෙන් බලපෑමට ලක්වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ මෙහෙයුම

(18.06.2021 – news.navy.lk)

MV X-PRESS PEARL නෞකාවේ ගින්න හේතු‍වෙන් බලපෑමට ලක්වූ වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදාව අනෙකුත් පාර්ශ්වයන් හා එක්ව 2021 මැයි මස 26 වන දින ආරම්භ කළ වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම තවදුරටත් අඛණ්ඩව සිදුකරමින් පවතී.

නෞකාවේ ගින්නෙන් බලපෑමට ලක්වූ උස්වැටකෙයියාව සිට කැපුන්ගොඩ දක්වා කිලෝමීටර 09 ක වෙරළ තීරයෙහි විශාල වශයෙන් දූෂණයට ලක්වූ උස්වැටකෙයියාව, ඇලෙන්එගොඩ, සරක්කුව සහ කැපුන්ගොඩ යන වෙරළ ප්‍රදේශයන්හි නාවික හමුදාව සිදුකළ වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම මඟින් ඉවත් කරන ලද අපද්‍රව්‍ය ටොන් 1500 කට අධික ප්‍රමාණයක් මේ වන විට (2021 ජුනි 17) සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය වෙත භාරදී ඇත.

ඒ අනුව සරක්කුව සහ කැපුන්ගොඩ අතර අධික ලෙස දූෂණයට ලක්ව තිබූ වෙරළ තීරය 2021 මැයි මස 27 වන දින පැවති තත්ත්වය සහ 2021 ජුනි මස 16 වන දින වන විට පවතින තත්වය විදහා දැක්වෙන ඡායාරූප පෙල මඟින්, නාවික හමුදාවේ වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම සාර්ථක අවසානයක් දක්වා ලඟාවන ආකාරය මනාව පිළිබිඹුවේ.

සරක්කුව වෙරළ තිරය :

කැපුන්ගොඩ වෙරළ තිරය :

******************************************

(18.06.2021 – 12:16 +0530 – hirunews.lk/sinhala)

මෙරට ධීවරයන් පිරිසකට පහරදුන් බවට පළවන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඔවුන් පවසන්නේ ඉතා විනයගරුක හා වෘත්තීය හමුදාවක් වන තම නාවික හමුදාව විසින් ධීවරයන් පිරිසකට පහර දුන් බවට පළවන වාර්තා සහමුලින්ම අසත්‍ය බවයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ධීවරයින් සම්බන්ධ සියලු ගැටලු මානුෂීය ආකාරයකින් විසඳීමට ඉන්දියාව දැඩි ලෙස කැපවී සිටින බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

කෙසේ වෙතත් අප වෙත තොරතුරු වාර්තා වූයේ පසුගිය 7 වන දා වත්තල – දික්ඕවිට වරායෙන් බහුදින යාත්‍රා දෙකකින් (2) පිටත්ව ගිය ධීවරයින් පිරිසකට මෙලෙස ඉන්දීය නාවික හමුදාවෙන් පහරදීමක් සිදුව ඇති බවටයි.

අදාළ ධීවරයින් චෝදනා කළේ මත්ද්‍රව්‍ය සහ චන්ද්‍රිකා තාක්ෂණ දුරකථන ඇත්දැයි විමසමින් ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී ඉන්දීය නාවික හමුදාව විසින් තමන්ට පහරදුන් බවටයි.

ධීවරයින් 13 දෙනෙකු මෙලෙස පහර කා ඇති අතර, ඉන් 3 දෙනෙකු ඊයේ (17) දහවල් යළි දික්ඕවිට වරායට පැමිණීමෙන් පසු ගිලන් රථ මගින් මීගමුව රෝහලට ඇතුළත් කෙරුණා ෴

******************************************

(18.06.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ සිට පිටත්ව ගිය පෘතුගීසි ධජය යටතේ යාත්‍රා කෙරෙන බහාලුම් නෞකාවක් වන ‘එම්වී ඩෙවොන්’ හි ඉන්ධන කාන්දුවක් සිදුව තිබෙන බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් තහවුරු කරණවා.

මෙම ඉන්ධන කාන්දුව සිදුව ඇත්තේ එරට නැගෙනහිර මුහුදු කලාපයේදී බවයි වැඩිදුරටත් එම වාර්තා පෙන්වා දෙන්නේ.

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය පැවසුවේ චෙන්නායි හි සිට නාවික සැතපුම් 250 ක් දුරින් වූ මුහුදු කලාපයේ දී මෙම නෞකාවෙන් ඉන්ධන කිලෝ ලීටර් 10 ක් පමණ මුහුදට කාන්දුවී ඇති බවයි.

මෙම නෞකාව කොළඹ වරායේ සිට ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ හල්දියා වරාය බලා ගමන් කරමින් සිට තිබෙනවා.

නෞකාවේ ඉන්ධන ටැංකියේ ඇතිවූ කාන්දුවකින් මෙලෙස ඉන්ධන මුහුදට නිකුත් වී ඇති බවයි ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය සඳහන් කලේ.

කෙසේ වෙතත්, ‘එම්වී ඩෙවොන්’ නෞකාව බාධාවකින් තොරව සිය ගමනාන්තය දක්වා යාත්‍රා කරමින් සිටින බවත් අදාළ තත්ත්වය ගැන සියලු වගකිවයුතු අංශ වෙත දැනුම් දී ඇති බවයි ඉන්දීය වෙරළාරක්ෂක බලකාය වැඩිදුරටත් කියා සිටියේ. මෙම නෞකාව අද (18) සවස් කාලය වන විට සිය ගමනාන්තයට ළඟා වනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, කොළඹ සමුද්‍රීය මුදාගැනීමේ හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් ද නෞකාවේ තෙල් කාන්දුව පිළිබඳව ඉන්දියානු වෙරළාරක්ෂක බලකායට දැනුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.

මෙම නෞකාව බහාලුම් 382 ක සාමාන්‍ය භාණ්ඩ ටොන් 10,795 ක් රැගෙන යන අතර රටවල් කිහිපයක ජාතිකයින් ඇතුලත් කාර්ය මණ්ඩලය 17 දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *