සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායම් අතර ඇති බෙදීම කොවිඩ් පාලනයට බාධාවක් – මහාචාර්ය අර්ජුන ද සිල්වා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායම් අතර ඇති බෙදීම කොවිඩ් පාලනයට බාධාවක් – මහාචාර්ය අර්ජුන ද සිල්වා

*********************************************

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායම් අතර ඇති බෙදීම කොවිඩ් පාලනයට බාධාවක් – මහාචාර්ය අර්ජුන ද සිල්වා

(17.05.2021 – 16:41 +0530 – sinhala.adaderana.lk)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායම් අතර තිබෙන බෙදීම හේතුවෙන් කොරෝනා වෛරසය පාලනයට බාධා ඇති වී තිබෙන බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

අද (17) ‘දෙරණ බිග් ෆෝකස්’ වැඩසටහන සමග සම්බන්ධවෙමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ඒ බව සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“අපෙත් ප්‍රශ්නෙ තියෙනවා. අමාත්‍යාංශ අතර සම්බන්ධතා හුඟාක් අඩුයි. මම දන්නම දෙයක් තමයි අපේ අමාත්‍යාංශ එකට වැඩ කරන්නෙ නෑ. අපේ රට ඉදිරියට යන්නෙ නැති ප්‍රධාන හේතුවක් තමයි ඒක. මේ වෙලාවෙ හරි පෞද්ගලික දේවල් පැත්තකින් තියලා රට ගැන හිතලා වැඩ කරන්න ඕනේ. සමහර අයට අමතක වෙලා තියෙන්නේ මේකෙන් අපි ඔක්කොම මැරෙනවා කියන එක. මම ආයෙත් කියන්නේ මම දකින ප්‍රධානම උවදුර තමයි අපි එකට වැඩ කරන්නේ නැති එක. අමාත්‍යාංශය තුළත් දෙපාර්තමේන්තු අතර ප්‍රශ්න. හරි විදිහෙ පරිපාලනයක් කරන්න ‘ඩේටා ශෙයා කිරීම’ අවශ්‍යයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායම් අතර සම්බන්ධීකරණය වැඩි කරන්න අවශ්‍යයි. නිවරැදි ‘ඩේටා’ ප්‍රමාදයකින් තොරව ලැබිය යුතුයි. එහෙම නැතුව පාසල් ඇරීම වගේ කරුණු ගැන හිතන්නවත් බෑ.”

“හැබැයි තව පැත්තකින් අපේ ජනතාව හැසිරෙන විදිහ වැරදියි. මොකද දැන් හදිසියෙවත් එක පාරටම රට ඇරියොත් හැමෝම එළියට බහිනවා. බටහිර රටවල ඊට වැඩිය විනයානුකූලව කරනවා. අපේ ජනතාවට පැහැදිලි ලෙස කිව්වෙ නැත්නම් මොකක් ද කළ යුතු දේ කියලා එයාලා හිතලා මතලා තීරණ ගන්න ස්වරූපය අඩුයි.”

++++++++++++++++++++++

‘මහාචාර්ය චන්නගේ රු. කෝටි 20 නිවස’ කැන්ටින් අසේලට වැලිකඩට පාර පෙන්නයි… රු. කෝටි 50 ක් වන්දි ගෙවන්න වෙයි..

(17.06.2021 – 15:00 +0530 – lankacnews.com)

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඇතුල් කෝට්ටේ ප්‍රදේශයෙන් රුපියල් මිලියන 200 ක නිවසක් මිලදීගෙන ඇති බවත්, මහාචාර්ය චන්න ජයසුමන, SPC සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ SPMC සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ යන මහත්වරු එකතුව සිනොවැක් නමින් බෙහෙතක් ගෙන්වා තෙල් කුප්පි පුරවන ආකාරයට පුරවා මිනිසුන්ගේ ජීවිත අවධානමේ හෙලන බවත් ජුනි මස 15 දින කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අසේල සම්පත් නම් අයෙකු ප්‍රකාශ කලේය.

තව ද අද සෞඛ්‍ය ඇමතිවරුන්ට රඟන්නට හැකිව ඇත්තේ එදා හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න නිර්භයව නොපැකිලව ගත් තීරණ නිසා බව ද හෙතෙම පැවසීය.

ජනාධිපති නීතීඥ V.K. චොක්සි මහතාගේ උපදෙස් පරිදි නීතීඥ අතුල ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අසේල සම්පත් යන අයට එන්තරවාසියක් යවමින් සදහන් කර ඇත්තේ මහාචාර්ය චන්න ජයසුමන මහතාට හෝ ඔහුගේ පවුලේ සමීපතමයෙකුට ඇතුල් කෝට්ටේ ප්‍රදේශයේ කිසිදු නිවසක හිමිකාරීත්වය නොමැති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවා COVID-19 සදහා සිනොවැක් එන්නත හදිසි භාවිතයට අවසර ලබා දී ඇති බවත්ය.

එන්නත්කරණ වැඩපිලිවෙල පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැට්ටවීමේ අරමුණින් හිතාමතාම ද්වේශ සහගත ලෙස මෙම ප්‍රකාශය සිදු කර ඇති හෙයින් සිදු වූ හානියට සති 2 ක් ඇතුලත රු. මිලියන 500 ක වන්දියක් ලබා දෙන ලෙසත් නොඑසේ නම් නීතිමය ක්‍රියාමාර්ගයක් මගින් එය අයකර ගන්නා බවත් ය.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පොලිස්පතිතුමාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කල අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සදහා විමර්ශනයක් ආරම්භ කර ඇත.

අසේල සම්පත් මීට පෙර කිහිප වතාවක්ම අත්අඩංගුවට ගෙන ඇති අතර රක්ෂිත බන්ධනාගාර ගතව නිදහස ලබා පැමිණ ඇත්තේ සති කිහිපයකට පෙර බව ද වාර්තා වෙයි.

-reporter

+++++++++++++++++++++

(18.06.2021 – 06:16 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති කැඩූ තවත් පුද්ගලයන් 1390 ක් පසුගිය පැය 24 තුළදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

එහිදී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටියෙන් වන අතර එම සංඛ්‍යාව 172 ක්.

එසේම මාතලේ ප්‍රදේශයෙන් 133 ක් සහ මහනුවර ප්‍රදේශයෙන් 121 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් මස සිට මේ දක්වා කාලසීමාව තුළදී නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 38,311 ක් පමණ වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

මේ අතර බස්නාහිර පළාත් සීමා මාර්ග බාධකවලදී පුද්ගලයන් 6,797 ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී පරීක්ෂාවට ලක්වූ වාහන සංඛ්‍යාව 3374 ක්.

එහිදී පළාත් සංචරණ සීමා උල්ලංඝනය කිරීමට උත්සහ කළ පුද්ගලයන් 108 කු නැවත හරවා යැවීමට කටයුතු කළ බවයි අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර අද (18) දිනයේද කොළඹ මහල් නිවාස සහ වතු නිවාස ආශ්‍රිතව නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා විශේෂ ඩ්‍රෝණ කැමරා මෙහෙයුමක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ෴

++++++++++++++++++++++

(18.06.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පවතින කාළය තුළ රෝගියෙකු රෝහල් ගතකරන මුවාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ දෙදෙනෙකු කොළඹ – නුවර මාර්ගයේ පෑලියගොඩ මයික්‍රෝහන්දිය ප්‍රදේශයේ සිදුකළ විශේෂ රථ වාහන පරික්ෂාවකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වකුගඩු අබාධයක් පවතින පුද්ගලයෙකු වාහනයේ ගමන් ගන්නා බව පවසමින් ඊට ක්ෂණික ප්‍රතිකාර ලබා ගන්නා මුවාවෙන් ඔවුන් මෙලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවයි පොලිස් මධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++++++

(18.06.2021 – 08:47 +0530 – hirunews.lk/sinhala)

දෙමටගොඩ – ආරාමය පෙදෙසෙන් ඉන්දීය දරුණු ඩෙල්ටා ප්‍රභේදය හමුවූ රෝගීන් 5 දෙනාට එය වැළදුණු ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා සඳහන් කළා.

මේ අතර ඊයේ (17) දිනයේදී මෙරටින් නව ආසාදිතයන් 2,372 ක් වාර්තාවී තිබෙනවා.

ඊයේ (17) මෙරටින් වාර්තාවූ ආසාදිතයන් 2,372 සමඟින් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 233,064 ක් ලෙස ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 2,361 දෙනෙකු ‘අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ’ ආශ්‍රිතයන් වන අතර, 11 දෙනෙකු විදේශයන් හි සිට පැමිණි අය වනවා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 35,256 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 195,434 ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (16) දින සිදුවූ බවට තහවුරු කරනු ලැබූ කොරෝනා මරණ 51 ක් වාර්තාවී තිබෙනවා.

ඉන් 31 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර, කාන්තාවන් 20 දෙනෙකුද මියගිය අය අතර සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර දෙමටගොඩ – ආරාමය පෙදෙසෙන් සොයාගත් ‘ඉන්දීය ඩෙල්ටා’ ප්‍රභේදය වැළඳුණු ආසාදිතයන් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන නොමැති බවටද අනාවරණ වී තිබෙනවා.

කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා කියා සිටියේ හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින්.

එමෙන්ම නිරෝධායන නීති කඩකළ 1,390 දෙනෙකු ගතවූ පැය විසි හතරේ (24) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++

(18.06.2021 – 10:21 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සංවිධාන කරන ලෙස බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, රාජ්‍ය පොසොන් උත්සවය සම්බන්ධයෙන් අරලියගහ මන්දරයේ ඊයේ (17) පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව සිතුල්පව්ව සහ තිස්සමහාරාම රජමහා විහාරස්ථානය මූලික කරගනිමින්ද ප්‍රධාන උත්සව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ෴

@@@@@@@@@@@@@@

ඔබටත් මෙවැනි දුරකතන ඇමතුමක් ආවාද ? – ප්‍රවේසම්වන්න !

(18.06.2021 – 07:07 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය ගැන පවසා පුද්ගලයන් බියවද්දා කප්පම් ලබාගන්නා ජාවාරමක් පිළිබඳව හිරු පුවත් ඔස්සේ අප පසුගියදිනක අනාවරණයක් සිදුකළා.

ඒ අනුව පොලිසිය විසින් සිදුකළ වැඩිදුර විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස දිවයින පුරා තවත් එවැනිම සිදුවීම් 50 කට ආසන්න ප්‍රමානයක් පිළිබඳව මේ වනවිට අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මෙවැනි ඇමතුම් බොහෝ අවස්ථාවල ලැබෙන්නේ නිවාසවල ස්ථාවර දුරකථන අංකවලට බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ දිනවල කප්පම් ලබාගැනීම සඳහා අපරාධකරුවන් විසින් මෙම නව ක්‍රමය අනුගමනය කරනු ලබන බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඊයේ (17) දිනයට පමණක් එවැනි සිදුවීම් සම්බන්ධ පැමිණිලි 3 ක් ලැබී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

එහිදී ඇමතුම ලබාදෙන පුද්ගලයා පවසන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විමර්ශනවලට කටඋත්තර ලබාගැනීමට අවශ්‍ය බවත් අපහසුතාවයක් ඇති නොවී එම තත්වයන් මගහරවා ගැනීමට තමන් ලබාදෙන බැංකු ගිණුමට මුදල් තැන්පත් කරන ලෙසයි.

කෙසේ වෙතත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ එලෙස ලැබෙන ඇමතුම් නොසලකා හරින ලෙසයි.

එවැනි ජාවාරම්කරුවන්ට හසුවී කිසිදු අවස්ථාවක මුදල් තැන්පත් කිරීමක් සිදුනොකරන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

වේයන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ එවැනි සිදුවීමක් පිළිබඳව හිරු පුවත් සිදුකළ අනාවරණය පහතින් :

******************************************

(18.06.2021 – 08:22 +0530 – hirunews.lk/sinhala)

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාව ලබන 22 වන දා කතානායකවරයා වෙත භාර දෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මේ වනවිට මන්ත්‍රීවරුන් 30 දෙනෙකු අත්සන් කර ඇති බවයි ෴

******************************************

(18.06.2021 – 08:23 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීම හේතුවෙන් සිදුවු හානියේ අවසන් වාර්තාව සකස් වන්නේ පත්කළ විශේෂඥ කමිටුවේ සියලු දත්තයන් ආර්ථික හානිය සොයන ජගත් සංවිධානයේ නියෝජිතයින්ගෙන් සමන්විත ආර්ථීක කමිටුවට යොමුකිරීමන් අනතුරුව බව මොරටුව විශ්ව විද්‍යාල පශ්චාත් අධ්‍යන අංශයේ පිඨාධිපති මහාචාර්ය අජිත් ද අල්විස් මහතා ප්‍රකාශ කළා.

ඒ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙ ගින්න හේතුවෙන් සිදුවු පාරිසරික හානිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සදහා ඊයේ (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

රසායනික ද්‍රව්‍ය බහලුම් 1500 ක් පමණ රැගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට ආසන්න මුහුදු ප්‍රදේශ කලාපයේදි පසුගිය 20 වැනිදා ගිනි ගැනීමට ලක්වු අතර ඉන් මෙරට මුහුදු ආශ්‍රීත ව ජිවත්වන කෑස්බෑවන්ට ඇතිවුයේ දැඩි තර්ජනයක්.

ශ්‍රී ලංකා මුහුද ආශ්‍රිතව ජීවත්වන කැස්බෑවන් බිත්තර දමන කාල සීමාව ලෙස සැලකෙන්නේ ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා වු කාලයයි. ඉන් අප්‍රේල් සහ මැයි මාස සැලකෙන්නේ අභිජනන ක්‍රියාවලියේ සක්‍රීයම අවධිය ලෙසයි ෴

******************************************

(18.06.2021 – 08:32 +0530 – hirunews.lk/sinhala)

බල්ලන් සහ බළලුන්ගෙන් බෝවන පණු රෝගයක් මේ දිනවල කුඩා දරුවන් අතර සුලභව දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළා.

සංචරණ සීමා හේතුවෙන් දරුවන් නිවෙස්වලටම වී සිටීම නිසා සුරතල් සතුන් සමඟ මේ දිනවල වැඩියෙන් කාලය ගත කරනවා.

‘ටෙක්සොකාරා’ නමින් හඳුන්වන මෙම රෝගී තත්වය දරුවන්ගේ සම මත පණුගෙඩි ලෙස ඇතිවන අතර, ඇතැම්විට ඒවා ඇස්, මොළය සහ පෙණහළුවලට ඇතුලුවීමෙන් බරපතල සංකූලතා ඇතිවිය හැකි බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ෴

******************************************

(18.06.2021 – 08:43 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා උල්ලංගණය කරමින් මෙවර වෛද්‍ය සංගම් නිළවරණය පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වත්මන් පරිපාලනය, කටයුතු කරමින් සිටින බවට එහි ලේකම් ධුරයට තරඟ කරන වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා චෝදනා කරනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා භාර අධ්‍යක්ෂවරයා ද වන ඔහු කොළඹ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ වෙනත් පාර්ශවයක් නිළවරණයට ඉදිරිපත් වන අවස්ථාවලදී ඔවුන්ට බාධා වන අයුරින් වත්මන් පරිපාලනය කටයුතු කරමින් සිටින බවයි.

වෛද්‍ය සංගම් නිලවරණය ලබන 26 වන දා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, එහි ලේකම් ධුරයට, නියෝජ්‍ය ලේකම් ධුරයට මෙන්ම සංස්කාරක ධුරයට දැනට එම ධුර දරන නිලධාරී කණ්ඩායමට අමතරව වෙනත් පාර්ශවවලින් ද අපේක්ෂකයින් ඉදිරිපත් වී සිටිනවා ෴

******************************************

(18.06.2021 – 10:16 +0530 – hirunews.lk/sinhala)

රජය පෙරළීම සඳහා කටයුතු කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කළා.

රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත ඊයේ (17) මෙලෙස මුදා හැරුණේ අක්මීමන – තොටගොඩ පදිංචි 28 හැවිරිදි තරුණයෙක්.

‘මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව රජය විසින් ගෙන්වාගෙන ගිල්ලවා ඇති’ බවට මෙම පුද්ගලයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇති බව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියා ෴

******************************************

(18.06.2021 – 10:26 +0530 – hirunews.lk/sinhala)

බලන්ගොඩ – රාස්සගල මාර්ගයේ ඇල්ලේවත්ත ප්‍රදේශයේදී බස් රථයක් අඩි 250 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු මියගොස් තිබෙනවා.

ඊයේ (17) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, ගිලන් රථයකින් අදාළ රියදුරු රෝහල් ගත කිරීමට රැගෙන යන අවස්ථාවේදියි ඔහු මෙලෙස මියගොස් ඇත්තේ.

ප්‍රදේශයේ තේ කර්මාන්තශාලාවකට සේවකයින් ප්‍රවාහනය කරන මෙම බස් රථය අනතුරට ලක්ව ඇත්තේ සේවකයින් නිවෙස්වලට රැගෙන ගොස් යළි පැමිණෙමින් සිටියදියි.

එම අවස්ථාවේ බස් රථයේ සිට ඇත්තේ අනතුරින් මියගිය රියදුරු පමණයි.

******************************************

2024 ජනපති වන දියසෙන් කුමරු මෙන්න – හෝමාගම වික්‍රමආරච්චි වෙදමහතාගේ ප්‍රථම හෙළිදරව්ව (17.06.2021)

https://www.youtube.com/watch?v=eWubbyfwKcU
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *