අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ස්ථාවරව පවත්වා ගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නවා – වෙළඳ ඇමති

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ස්ථාවරව පවත්වා ගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නවා – වෙළඳ ඇමති

*********************************************

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ස්ථාවරව පවත්වා ගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නවා – වෙළඳ ඇමති

(17.06.2021 – 17:39 +0530 – hirunews.lk/sinhala)

ලෝක ආර්ථික බලපෑම් හමුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ස්ථාවරව පවත්වා ගැනීමට හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඔරුගොඩවත්ත සතොස ගබඩා සංකීර්ණයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලත් සහන මලු බෙදාහැරීමේ ක්‍රියාවලිය නිරීක්ෂණයකට එක්වෙමිනුයි ඔහු මේබව කියාසිටියේ.

සමස්ත ලෝකයේම සැපයුම් ජාලය සඳහා වන පිරිවැය සියයට 300 කින් පමණ වැඩි වී ඇති මෙම අවස්ථාවේ මෙරට ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව හා අවම මිල ගණන් යටතේ පවත්වා ගැනීමට ජනාධිපතිවරයා ඇතුලු වත්මන් රජය කටයුතු යොදා ඇතැයි ද ඔහු පෙන්වා දුන්නා.

අමාත්‍යවරයා එහිදී කියාසිටියේ සියලුම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වීම සඳහා එම ආනයනකරුවන් වෙත අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි.

මෙම අවස්ථාවේදී ලෝක ආර්ථික අර්බුදය භාණ්ඩ සැපයුම් ක්‍රියවලියේ අර්බුදය වැනි අතිශය සංකීර්ණ තත්වයන් සඳහා මුහුණපාන රටක් වශයෙන් මෙරට වෙළඳපොල තුල හිඟයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ පවත්වා ගැනීමටත් පාරිභෝගිකයාට කිසිදු බලපෑමක් ඇති නොවන අයුරින් මිල පවත්වා ගැනීමටත් රජය දැඩි උත්සාහයක නිරතවන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ලෝක වෙළඳපොලේ ඉහළ යමින් පවතින මිල ගණන් මෙන්ම කොවිඩ් ව්‍යාප්තිය හමුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට වන පිරිවැය හේතුවෙන් ඍජු ආනයනකරුවන් ගැටලු රැසකට මුහුණපා තිබෙනවා.

මේ හේතුවෙන් ඔවුන් සමග සාකච්ඡා කර මිල වැඩිවීමක් අවශ්‍ය වන භාණ්ඩ තෝරාගෙන එම භාණ්ඩ මිල අවම මිල ගණන් යටතේ පවත්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියාසිටියා.

මෙහිදී ගෑස් මිල සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් වෙළඳ අමාත්‍යවරයා කියාසිටියේ ලෝක වෙළඳපොල තත්වය සලකා ලබමින් ගෑස් මිල වැඩි කිරීමට මෙරට ගෑස් සමාගම් විසින් ඉල්ලුම් කර ඇති බවයි.

කෙසේවෙතත් අවම පිරිවැයක් දරමින් ජනතාවට ගෑස් නිෂ්පාදන ලබාදීම සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ජනාධිපතිවරයා අවශ්‍ය උපදෙස් ලබාදී ඇතැයි ද ඔහු සඳහන් කළා.

ඒ අනුව තම සභාපතීත්වය යටතේ වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර, උදය ගම්මන්පිළ, කෙහෙළිය රඹුක්වැල්ල යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත කැබිනට් අනුකාරක සභාවක් විසින් ගෑස් මිල අවම මිලකට පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකරන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියාසිටියා ෴

(17.06.2021 – 19:16 +0530 – hirunews.lk/sinhala)

සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දමන ලෙස ආනයනකරුවන් විසින් ඉල්ලීම් කර ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

මේ අතර කිරිපිටි ආනයනකරුවන්ගේ එකමුතුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ කිරිපිටි කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 350 කින් ඉහළ දමන ලෙසයි.

මෙරට මාසික කිරිපිටි පරිභෝජනය ටොන් 7,500 ත් 8,000 ත් අතර ප්‍රමාණයක පවතින අතර, ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල ඉහළ යාම, නැව් ගාස්තු ඉහළ යාම හේතුවෙන් කිරිපිටි ආනයනය සඳහා ඉහළ පිරිවැයක් දැරීමට සිදුවී ඇති බව ඔවුන් අදාළ ලිපියේ දක්වා තිබෙනවා.

කිරිපිටි තොඟ ප්‍රමාණවත් වන්නේ තවත් සති 4 ත් 6 ත් අතර කාලයකට පමණක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකේ (1) පැකට්ටුවක් රුපියල් 350 කින්ද, ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 140 කින්ද ඉහළ දමන ලෙස කිරිපිටි ආනයනකරුවන් ඉල්ලා තිබෙනවා.

කිරිපිටි කිලෝවක පැකට්ටුවක් මේ වනවිට රුපියල් 945 ක මිලකට අලෙවි වන අතර, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල වන්නේ රුපියල් 380 ක්.

මේ අතර වෙළඳපලේ එළවළු මිලද මේ වනවිට සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සහ පෑලියගොඩ මැනිං වෙළඳපොලේ අද එළවළු රැසක කිලෝග්‍රෑමයක තොග මිල පැවතුණේ රුපියල් 200 ත් 250 ත් අතර මිලකටයි.

වෙළඳපොලේ සහල් මිල ගණන්ද මේ වනවිට සැළකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

පසුගියදා ගෑස් සමාගම් ද ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500 කින් පමණ ඉහළ දමන ලෙස පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබුණා.

මෙලෙස මිල වැඩි කිරීමේ යෝජනා සම්බන්ධයෙන් අද (17) වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.

ඒ, නිරෝධායනය වන පවුල් සඳහා කොළඹ මහ නගර සභාවේ ප්‍රතිපාදන මත සකස් කරන බඩු මලු පිළිබඳ සොයාබැලීමට ඔරුගොඩවත්ත සතොස ගබඩා සංකීර්ණය වෙත පැමිණි අවස්ථාවේයි ෴

******************************************

(17.06.2021 – 17:54 +0530 – hirunews.lk/sinhala)

නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන රන්මල් කොඩිතුවක්කු, කිත්සිරි ජයලත් සහ රාජිත ශ්‍රී ධම්මින්ද යන මහත්වරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබෙනවා.

මෙම නිලධාරීන් තිදෙනාම 1999 වසරේදී සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස ඍජුව පොලිස් සේවයට එක්වූවන්.

එම කණ්ඩායමේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන සජීව මැදවත්ත මහතා, සංජීව ධර්මරත්න මහතා සහ දැනට වැඩ තහනමකට ලක්ව සිටින නාලක ද සිල්වා ද සිටියා.

මේ අතරින් රන්මල් කොඩිතුවක්කු මහතා 1996 සිට 2000 වසර දක්වා පොලිස්පති ධුරය හෙබවූ ලකී කොඩිතුවක්කු මහතාගේ පුත්‍රයායි ෴

******************************************

(17.06.2021 – 19:20 +0530 – hirunews.lk/sinhala)

පෙර පාසල තරඟකාරී අධ්‍යාපනය ලබාදෙන තවත් එක් පාසලක් බවට පත් නොකර දරුවන්ට පරිසරය විඳීමට ඉඩ ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළා.

ඒ, අරලියගහ මන්දිරයේදී අද (17) පැවති පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2500 ක මාසික දීමනාවක් ලබාදීමේ ගුරු අභිමානී ජාතික උත්සවයට එක්වෙමින්.

මෙහිදී සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයක ස්ථාපිත කෙරෙන සෞභ්‍යාග්‍යයේ පෙර පාසල ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 25 ක සහ පෙර පාසල් 1500 ක යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ලබාදෙන රුපියල් ලක්ෂ 6 ක මුදල් ප්‍රදානය කිරීම ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදුවුණා ෴

******************************************

ධීවරයින් පිරිසකට ඉන්දීය නාවික හමුදාවෙන් ප්‍රහාරයක්

(17.06.2021 – 19:26 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 07 වන දා වත්තල – දික්ඕවිට වරායෙන් බහුදින යාත්‍රා දෙකකින් (2) පිටත්ව ගිය ධීවරයින් පිරිසකට පහරදීමක් සිදුව තිබෙනවා.

අදාළ ධීවරයින් චෝදනා කළේ ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී ඉන්දීය නාවික හමුදාව විසින් තමන්ට පහර දුන් බවයි.

ධීවරයින් 13 දෙනෙකු මෙලෙස පහර කා ඇති අතර, ඉන් 3 දෙනෙකු අද (17) දහවල් යළි දික්ඕවිට වරායට පැමිණීමෙන් පසු ගිලන් රථ මගින් මීගමුව රෝහලට ඇතුළත් කෙරුණා ෴

(17.05.2021 – 19:14 +0530 – sinhala.adaderana.lk)

ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමට ගිය මෙරට ධීවරයින් පිරිසක් දරුණු ලෙස පහරකෑමකට ලක්ව තිබේ.

ධීවරයින් පවසන්නේ මත්ද්‍රව්‍ය ඉල්ලා ඉන්දීය නාවික හමුදා නිලධාරීන් විසින් තමන්ට පැය කිහිපයක් තිස්සේ පහරදුන් බවය.

අද (17) පස්වරුවේ ප්‍රහාරයට ලක්වූ ධීවරයින් රැගත් යාත්‍රා දෙක (2) දික්ඕවිට වරායට සේන්දු වුණි.

අප වාර්තාකරු පැවසුවේ, එහිදී දරුණු ලෙස පහරකෑම්වලට ලක්වූ තිදෙනකු (3) මීගමුව මහ රෝහලට රැගෙන ගිය බවය.

සිද්ධියට මුහුණදුන් ධීවරයින් රැගත් බහුදින යාත්‍රා දෙක (2) දික්ඕවිට ධීවර වරායෙන් මුහුදු ගොස් තිබුණේ මැයි මස 07 වැනිදාය.

එම යාත්‍රා දෙකේ (2) ගමන් ගත් ධීවරයින් සංඛ්‍යාව 13 කි.

ධීවරයින් පවසන්නේ, පසුගිය 4 වැනිදා යාත්‍රා දෙකට (2) ගොඩ වූ ඉන්දීය නාවික සෙබළුන් පිරිසක් තමන්ට පහරදුන් බවය.

පහරදීමෙන් පසුව යාත්‍රාවේ තිබූ පටිගත කිරීම් උපකරණ පවා කඩා දැමූ බව ධීවරයින් පවසයි.

******************************************

(17.06.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

ලිට්රෝ ගෑස් සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

ඒ, පසුගිය දා කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ වෙළදසැලක කළ වැටලීමකදී කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය වෙනුවට ලීටර 18 ලෙස සඳහන් කළ ගෑස් සිලින්ඩර අලෙවි කිරීම සම්බන්ධයෙන්.

පාරිභෝගිකයින් නොමඟ යැවීම, විකිණීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් අදාළ සමාගමට මෙන්ම, ඒවා අලෙවි කළ වෙළදසැල් හිමියාට ද මෙලෙස නඩු පවරා තිබෙනවා.

රුපියල් 1493 කට අලෙවි කළ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය වෙනුවට ලිට්රෝ ගෑස් සමාගම රුපියල් 98 ක මුදලක් අඩු කර එනම් රුපියල් 1395 ක මිලකට ලීටර 18 ගෑස් සිලින්ඩරයක් හඳුන්වා දී තිබුණා.

පාරිභෝගිකයන් චෝදනා කළේ මෙම ගෑස් සිලින්ඩරය නියමිත බරින් නොමැති බවටයි.

ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති ඔස්සේ දිගින් දිගටම කරුණු අනාවරණය කළ අතර ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ සමාගමට දැනුම් දුන්නේ ලීටර 18 ගෑස් සිලින්ඩරය වෙළඳපොළෙන් ඉවත් කර පැරණි කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය නිකුත් කරන ලෙසටයි.

එහෙත් එම කටයුත්ත අදාළ සමාගම මෙතෙක් ඉටු කර නොමැති අතර දැනටත් වෙළඳපොළේ පවතින්නේ ලීටර 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයයි ෴

******************************************

(17.06.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව මත මේ වන විට පවතින බහලුම් ඉවත් නොකළහොත් සිදුවන පාරිසරික හානිය වඩාත් භයානක විය හැකි බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.

පසුගිය මස 20 වන දා ඇති වූ ගිනි ගැනීමෙන් අනතුරුව මෙම නෞකාව මුහුදුබත් වූ අතර, එදින සිට මේ දක්වා කාලය තුළ කැස්බෑවන් 50 කට ආසන්න සංඛ්‍යාවකගේ සිරුරු දිවයින පුරා වෙරළ තීර වෙත ගොඩගසා තිබුණා.

මාධ්‍ය හමුවට එක්වූ පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ නෞකාවේ ගින්නේ තාපයෙන් සහ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් කැස්බෑවුන් මිය ගොස් ඇති බවයි ෴

++++++++++

******************************************

කොරියාවේ රැකියා සඳහා යෑමට අපේක්ෂාවෙන් සිටින පිරිසට දැනුම්දීමක්

(17.05.2021 – 17:19 +0530 – sinhala.adaderana.lk)

කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති මෙරට තරුණ තරුණියන් සඳහා එරටට යෑමට අවශ්‍ය පහසුකම් කඩිනමින් සපයන බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වොන්ජින් ජියෝන් මහතා (Woonjin Jeong) විදේශ අමාත්‍යවරයාට පවසා තිබේ.

කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති තරුණ පිරිස මුහුණ දී ඇති ප්‍රමාදය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පැවැති සාකච්ඡාවකදී එරට තානාපතිවරයා මේ බව සඳහන් කර ඇත.

විදේශ අමාත්‍යංශයේදී අදාළ සාකච්ඡාව පැවැත්විණි.

මෙහිදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇත්තේ, කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති පිරිස දීර්ඝ කාලයක් තිස්සේ එහි රැකියා සඳහා පිටත්ව යෑමට අපේක්ෂාවෙන් සිටින නමුත්, කොවිඩ් වසංගත තත්ත්වය නිසා එය දිනෙන් දින මඟ හැරි ගොස් ඇති බවය.

මේ නිසා ඔවුන් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බව ද අමාත්‍යවරයා පවසා තිබේ.

මෙහිදී කොරියානු රජයේ ස්ථාවරය පැහැදිලි කළ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිවරයා පෙන්වා දී ඇත්තේ, කොරියානු රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති සියලු දෙනාටම එම රැකියා අවස්ථා සලසා දීමට සැලසුම් කර ඇති බවය. කොවිඩ් වසංගත තත්ත්වය නිසා එම අවස්ථා ලබා දීමේ යම් ප්‍රමාදයක් ඇති නමුත් හැකි පළමු අවස්ථාවේම ඔවුන්ව කොරියාවට පිටත් කිරීමට තමන් අවධානයෙන් සිටින බවද පෙන්වා දී ඇත ෴

@@@@@@@@@@@@@@@@

තහනම අස්සේ මත්පැන් අලෙවි කළ සුපිරි වෙළඳසැල

(17.06.2021 – 18:31 +0530 – hirunews.lk/sinhala)

රට පුරා සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ්-19 වසංගත රෝග තත්වය මර්දනය කිරීමේ අරමුණින් දැඩි අඛණ්ඩ සංචරණ සීමා පනවා මේවන විට සති 3 කට ආසන්න කාලයක් ගතවී අවසන්.

එදිනෙදා පාරිභෝගික භාණ්ඩ අලෙවිය සඳහා ජංගම රථවලට අවසර හිමිවූ අතර ඒ හරහා එදිනෙදා පාරිභෝගික අවශ්‍යතාවන් සම්පූර්ණ කෙරුණා.

නමුත් සංචරණ සීමා මුල් අවදියේදී විවෘතව තැබුණු මත්පැන් අලෙවිසල් සහ මත්පැන් අලෙවිය සහමුලින්ම නවතා දැමීමට රජය තීරණය කළේ ලද වෛද්‍ය නිර්දේශ සහ පාලනයකින් තොරව සිදුවූ ජනතා ඒකරාශී වීම් වළක්වා ගැනීමටයි.

මෙම තීරණයත් සමග නීති විරෝධී මත්පැන් අලෙවිය හොර රහසේ සිදු කෙරුණු අතර ඒ හරහා බරපතල සමාජ ගැටලුවක් ද නිර්මාණය කෙරුණා.

මීට පිළියමක් ලෙසට සහ රජයට දිනපතා අහිමිවන අති විශාල බදු ආදායමක් නැවත අයකර ගැනීමේ චේතනාවෙන් සුරාබදු දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යංශය එක්ව මාර්ගගත හෙවත් ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමේ සැලසුමක් ගෙන ආවා.

සුරාබදු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමට මුදල් අමාත්‍යංශය ප්‍රතිපත්තිමය එකගතාව පළ කිරීමත් සමගම මාර්ගගත ක්‍රමවේදයන්ට මත්පැන් අලෙවි කිරීම යථාර්තයක් වන ලකුණු පෙනෙන්නට තිබුණා.

නමුත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණු අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කෙරුණේ එයට එරෙහිව නැගුණු දැඩි විරෝධයත් සැලකිල්ලට ගනිමින්.

කරුණු මෙසේ පවතිද්දී දිවයින පුරා සුරාසැල් සුරාබදු දෙපාර්තමේන්තුව විසින්ම මුද්‍රා තබා වසා දමා තිබෙන පසුබිමක් තුල කොළඹ නගර මධ්‍යයේ පිහිටි සුපිරි වෙළඳසැලක පෙරේදා දින සිදුවූ මත්පැන් ගනුදෙනුවක් පිළිබඳ සාක්ෂියක් අපට ලැබී තිබෙනවා.

ඒ අනුව අදාළ මිලදී ගැනීම සිදුවී ඇත්තේ පස්වරු 01:53 ටයි. මෙම මිලදී ගැනීමට විස්කි බෝතල් තුනක් (3) සහ මිලිලීටර් 500 බීර කෑන් 5 ක් ඇතුලත්ව තිබෙනවා.

ඒ සඳහා අදාළ සුපිරි වෙළඳසැල විස්කි බෝතල් තුන (3) වෙනුවෙන් රුපියල් 7110 කුත් බීර කෑන් 5 වෙනුවෙන් රුපියල් 1500 කුත් අයකර තිබෙනවා.

රට පුරා සුරාසැල් වසා තිබියදී මත්පැන් අලෙවිය සඳහා බරපතල සීමා පනවා තිබියදී මෙන්ම සුපිරි වෙළඳසැල් විවෘත කිරීමට අවසර නොමැති තත්වයක් තුල මෙම ගනුදෙනුව සිදුවූයේ කෙසේ ද ?

ජාලගත ක්‍රමයට මත්පැන් අලෙවියට සැරසෙන සහ ඒ සඳහා දැඩි උනන්දුවක් දක්වන සුරාබදු නිලධාරීන් මේ පිළිබඳ සොයා බැලීමක් සිදු කළ යුතු නොවන්නේ ද ?

රටේ පවතින නීතිය සුපිරි පැළැන්තියේ කිහිප දෙනෙකුට මෙලෙස නැවිය හැකි ද අදාළ බලධාරීන්ගෙන් හිරු ප්‍රවෘත්ති උත්තර බලාපොරොත්තුවෙන් සිටී.

++++++++++++++++++++++++

(17.06.2021 – 18:48 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 1,835 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් හමු වූ මුළු ආසාදිතයන් ගණන 232,527 ක් ෴

++++++++++++++++++++++++

(17.06.2021 – 19:11 +0530 – hirunews.lk/sinhala)

සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඉන්දීය ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිත 5 දෙනෙකු සමාජයෙන් පළමුවරට හඳුනාගෙන තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ සිදුකරන ලද අහඹු පරීක්ෂණවලින් ඔවුන් හඳුනා ගැනීමයි.

අදාළ ආසාදිතයින් 5 දෙනා දෙමටගොඩ – ආරාමය පෙදෙසෙන් සොයාගෙන තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ බ්‍රිතාන්‍යයේ ඇල්ෆා ප්‍රභේදය ආසාදනය වූ තවත් 8 දෙනෙකු කරාපිටිය, මඩකලපුව, කොළඹ-6, කොළඹ-8 සහ කොළඹ-10 ප්‍රදේශවලින් හදුනාගෙන ඇති බවයි.

ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය බ්‍රිතාන්‍ය ඇල්ෆා ප්‍රභේදයට වඩා සියයට 50 කින් පැතිරීම වේගවත් බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

මේ අතර, ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදයේ නව විකෘති ප්‍රභේදයක් ලොව පුරා පැතිර යන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා. ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා සීග්‍රයෙන් මෙම ප්‍රභේදය පැතිර යන අතර, එය නම් කර ඇත්තේ ඒ – වයි – එක (AY.1) හෙවත් ‘ඩෙල්ටා ප්ලස්’ යන නමින්.

අදාළ ප්‍රභේදය වැළදුණු රෝගීන් 63 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, පසුගිය 11 වන දා ඉන්දියාව නිකුත් කළ වාර්තාවේ දැක්වුණේ අදාළ ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් 6 දෙනෙකු එරටින් වාර්තා වී ඇති බවයි.

මේ අතර, හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තිබූ රුපියල් 90,000 ක් පමණ වටිනා සයිනොෆාම් එන්නත් 30 ක් තොගයක් එහි රියදුරෙකු සහ සුළු සේවකයෙකු විසින් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ බව කියන රියදුරා සහ සුළු සේවකයාගෙන් පොලීසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා.

මේ අතර, අද (17) දිනයේත් එන්නත්කරණ වැඩසටහන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ක්‍රියාත්මක කෙරුණා.

මාතලේ – පළාපත්වල ඇගලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 50 ක් පමණ ක්ලාන්තය, වමනය ඇතුළු සංකූලතා හේතුවෙන් මාතලේ දිස්ත්‍රික් මහරෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඔවුන්ට ඊයේ (17) දිනයේ සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදී ඇති අතර, මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා සදහන් කළේ එලෙස සංකූලතා ඇතිවීමට එන්නතෙහි කිසිදු බලපෑමක් නොමැති බවයි.

මේ අතර, ඔන්ලයින් ක්‍රමවේදයට මත්පැන් අලෙවියට අවසරයක් නොමැති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

අද (17) දිනයේත් කොරෝනා ආසාදිතයින් 1289 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර මේ වන විට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 95,434 ක්.

අද (17) දිනයේ මේ දක්වා ආසාදිතයින් 1835 අලුතින් වාර්තා වී ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තා වී තිබෙනවා ෴

අද (17) දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 526 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් අද (17) දිනයේ හමු වූ මුළු ආසාදිතයන් ගණන 2361 ක් ෴

++++++++++++++++++++++

(17.06.2021 – 20:30 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාවේදී සාමාන්‍ය ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන භාණ්ඩ හා සේවා සැපයීම සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ අණ පරිදි නිකුත්කර ඇති මෙම ගැසට් නිවේදනයේ මූලික භාණ්ඩ හා සේවා වර්ගීකරණයන් 10 ක් ඇතුලත්.

ඒ අතරට වරාය, පෙට්‍රෝලියම් නිෂ්පාදන, රේගුව, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුලු ප්‍රවාහන ප්‍රධානයි.

මේ හැරුණුවිට සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුලු පරිපාලන ඒකක ද මහබැංකුව ඇතුලු සියලු රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා කටයුතු ද සමූපකාර සතොස ආදී ජනතාවට ආහාර පාන ද්‍රව්‍ය සහ අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය සැපයීමට අදාළවන ආයතන ද මෙම ගැසට් නිවේදනයෙන් ආවරණය කෙරෙනවා.

ඊට අමතරව පළාත් සභා යටතේ වන රජයේ කාර්යාල මගින් සිදු කළ යුතු අත්‍යවශ්‍ය සේවාවන් ද මෙම ගැසට් නිවේදනයෙන් ආවරණය කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය පහතින් :

@@@@@@@@@@@@@

මර්වින් පෙරේරා සූරීන්ගේ ‘පබසර රන් පබළු’ නම් ගීතයට අපූරු නවතාවයක් ඕෂිනි හේරත් ගෙන්

(14.06.2021 – 13:08 +0530 – lankaleadnews.com)

ඕෂිනි හේරත් නම් නවක ගායිකාවක විසින් ඇගේ මුහුණු පොතේ ඇය ගැයූ අපූරු ගීත එකතුවක් ගොනු කර තිබෙනවා. එම ගීත අතරින් නැසී ගිය අසාහය ගායන ශිල්පී මර්වින් පෙරේරා සූරීන්ගේ ‘පබසර රන් පබළු’ නම් ගීතයට අපූරු නවතාවයක් එකතු කර තිබෙනවා. ‘ලංකා ලීඩ්’ පාඨකයන්ගේ රසවින්දනය පිණිසත් ඇගේ උත්සාහය අගයනු පිණිසත් මෙසේ ප්‍රචාරය කරමු.

• Maxwell Perera : Pre recorded, but nice voice and playing.
• Sandaru Hettiarachchi : When I closely look at the final part there is a difference between music and guitar part.

@@@@@@@@@@@@@@

ඩොලර් 10 න් පටන් ගෙන ඩොලර් මිලියන 10 ක ව්‍යාපාර කරන දේශීය දේ ලෝකයට ගෙනියන ලංකාවේ චානක (14.06.2021)

(චානක කුරේරා චමුදිත සමරවික්‍රම සමග)

https://chasorganics.com/
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *