ගම්මන්පිළට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගැනීම ඇරඹේ – මතයේ වෙනසක් නැතැයි පොහොට්ටුවේ ලේකම් කියයි

ගම්මන්පිළට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගැනීම ඇරඹේ – මතයේ වෙනසක් නැතැයි පොහොට්ටුවේ ලේකම් කියයි

*********************************************

ගම්මන්පිළට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගැනීම ඇරඹේ – මතයේ වෙනසක් නැතැයි පොහොට්ටුවේ ලේකම් කියයි

(16.06.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවකට අත්සන් ලබා ගැනීම අද (16) ආරම්භ වුණා.

සමගි ජන බලවේගය විසින් කථානායකවරයා වෙත මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරියේදී භාරදීමට නියමිත අතර මේ වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 22 නෙකු ඊට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ විශ්වාසභංග යෝජනාව මගින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා ගණන 10 ක්.

ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, මහලේකම්වරයා විසින් ලිඛිතව සඳහන් කර ඇති පරිදි අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව උදය ගම්මන්පිල මහතා විසින් ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලඝනය කිරීම, ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල ඉතා අධික ලෙස පහළ වැටුණු වසර එක හමාරක කාලය තුළ ඛනිජ තෙල් සංස්ථාව ලැබූ ලාභය පාර්ලිමේන්තුවට සහ ජනතාවට වසන් කිරීම, ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල අඩුවීම මත අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩුකරමින් ජනතාවට ලබා දෙන බවට දුන් පොරොන්දුව ඉටු නොකිරීම, ඉන්ධන මිල ස්ථාවර කිරීම සඳහා පිහිටුවූ අරමුදලට කුමක් සිදු වූයේද යන්න පාර්ලිමේන්තුව සහ ජනතාව දැනුවත් කිරීමට අපොහොසත් වීම, ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව සියලු‍ පාරිභෝජන භාණ්ඩ මිල ඉහළ යාමෙන් කොවිඩ් උවදුරෙන් පීඩාවට පත් ජනතාව තවදුරටත් ආර්ථික වශයෙන් පීඩාවට පත්වීම යන කරුණු ඊට ඇතුළත්.

මේ අතර, නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවැති පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවකට එක්වීම සඳහා පැමිණි එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසුවේ ඉන්ධන මිල සම්බන්ධයෙන් තමන් යොමුකළ ලිපිය පිළිබඳ ස්ථාවරයේ වෙනසක් නොමැති බවයි.

++++++++++++

******************************************

(16.06.2021 – 18:03 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුලු සැකකරුවන් දෙදෙනා (2) ලබන 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ අභියාචනාධිකරණ ඇප කොන්දේසි ලිඛිතව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට නොලැබීම හේතුවෙන්.

මාස 10 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද (16) පෙරවරුවේ නියම කළා.

ඒ දැඩි ඇප කොන්දේසි යටතේයි.

නීතිඥයෙකු මාර්ගයෙන් ගොනු කර තිබූ ප්‍රතිශෝධන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කොට තීන්දුව දෙමින් නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

ඒ අනුව ශානි අබේසේකර ඇතුලු සැකකරුවන් දෙදෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හරින ලෙසයි නියෝග කෙරුණේ.

සැකකරුවන් විසින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු අතර අධිකරණයේ අනුමැතියකින් තොරව විදේශත වීම ද තහනම් කෙරුණා.

සැකකරුවන් පදිංචිව සිටින ලිපින වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුම්වත් කළ යුතු බවටයි ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල නියෝග කළේ.

ඇප නියෝගය ප්‍රකාශයට පත්කළ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණරත්න, ශානි අබේසේකර ඇතුලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන මාස 10 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියද මොවුන් සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට එල්ල කරන චෝදනා සනාථ කළ හැකි ප්‍රමාණවත් කරුණු මෙම ප්‍රතිශෝධන නඩු විභාගයේදී ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වූ බව සඳහන් කළා.

මෙම නඩු තීන්දුවේ පිටපතක් ගම්පහ මහාධිකරණය වෙත යොමු කරන ලෙසද විනිසුරු මඩුල්ල අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළා.

කෙසේවෙතත් අදාළ ඇප කොන්දේසි ලිඛිතව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට නොලැබීම හේතුවෙන් ඔවුන් ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව පැවති නඩුවකදී අසත්‍ය සාක්ෂි නිර්මාණය කර එම නඩුවට නීති විරෝධී ලෙස ගිනි අවි හඳුන්වා දුන් බවට චෝදනා කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගර ගත කර තිබුණා.

එම අධිකරණය මගින් මොවුන් ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කළ අතර ඊට එරෙහිව සැකකරුවන් ගම්පහ මහාධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධිත පෙත්සම ද එම මහාධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

******************************************

(16.06.2021 – 19:26 +0530 – hirunews.lk/sinhala)

වික්ටෝරියා ජලාශයට පහළ රක්ෂිත ප්‍රදේශයේ රිච්ටර් පරිමාණයේ ඒකක 1.8 ත් 2 ත් අතර සුලු භූ චලනයක් සිදුව තිබෙනවා.

එහි බලපෑම පස්සර ලුණුගල ප්‍රදේශයට ද දැනී ඇති බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ ෴

******************************************

(16.06.2021 – 20:35 +0530 – hirunews.lk/sinhala)

කොළඹ 02 මැලේ වීදියේ පිහිටි පැරණි ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මීට ටික වේලාවකට පෙර මෙම අනතුර සිදුව ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් නොමැති බවයි වාර්තා වන්නේ.

******************************************

ගංවතුර මැද සිය ගැබිනි බිරිඳව ඔසවාගෙන රෝහලට ගිය සැමියාට නන් දෙසින් උදව්

(16.05.2021 – 19:43 +0530 – sinhala.adaderana.lk)

ගං වතුර තත්ත්වය හේතුවෙන් තම ගැබිනි බිරිඳ කිලෝමීටර් 22 ක දුරක් රෝහලක් වෙත ඔසවාගෙන රැගෙන ගිය සැමියා පිළිබඳ ‘අද දෙරණ’ පසුගියදා වාර්තා කළේය.

ඒ අනුව ඔවුන් පදිංචි නිවස වෙත අද (16) පැමිණි පරිත්‍යාගශීලීන් පිරිසක් එම යුවල විසින් වතු කාර්යාලයට ගෙවිය යුතුව තිබූ රුපියල් 65,000 ක ණය මුදල ගෙවා දැමීමට කටයුතු කර තිබුණි.

තවත් ද්‍රව්‍යාමය ආධාර රැසක් ලබාදීමට ද කටයුතු කර තිබේ.

මේ අතර ඔවුන්ට හැකි ඕනෑම කාලයක් පදිංචිව සිටීමට නිවසක් ලබාදීමට ද එක් පරිත්‍යාගශීලියෙක් කටයුතු කර තිබුණි.

සුරේෂ් කුමාර මහතා ජීවත් වන්නේ, ගාල්ල හිනිදුම ප්‍රදේශයේ ය.

පසුගියදා පැවැති ගංවතුර තත්ත්වයක් සමග මොහු ජීවත්වන කොඩිකන්ද ගමත් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට විය.

මේ අතර වාරයේ 7 මස් වියැති ගැබිණියක් වූ කුමාරගේ බිරිඳ හදිසියේ අසනීප වී තිබුණි.

එහිදී ඇය තම ස්වාමි පුරුෂයාට පවසා ඇත්තේ ‘තම කුස තුළ සිටින දරුවා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන’ බවය.

පවුල් සෞඛ්‍ය සේවිකාව ඇමතූ ඔවුන්ට ලැබුණු උපදෙස වූයේ පැය 5 ක් ඇතුළත ඇය රෝහල් ගතකරන ලෙසය.

හතර වටින්ම ජලයෙන් යටවී ඇති අවස්ථාවක කුමාර සිය බිරිඳ රෝහල් ගතකරන්නේ කෙසේද?

නමුත්, තම බිරිඳටත්, මෙලොව එළිය නොදුටු දරුවාටත් ගැනත් කල්පනා කළ කුමාර තීරණය කළේ තම බිරිඳව ඔසවාගෙන රෝහල වෙත ගෙන යාමට ය.

හිනිදුම රෝහල පිහිටා ඇත්තේ ඔහුගේ නිවසේ සිට කිලෝ මීටර් 4 ක් ඈතිනි.

නමුත් එම රෝහලට සිය බිරිඳව ඇතුළත් කිරීමට ඔහුට නොහැකි විනි.

ඒ අනුව යළි බිරිඳ ඔසවා ගන්නා කුමාර කිලෝමීටර් 18 ක් දුරින් පිහිටි උඩුගම රෝහල වෙත ගමන් කිරීම ඇරඹීය.

පැය කිහිපයක අතිශය දුෂ්කර ගමනක් ගෙවා දැමූ මොවුන් දෙපල අවසානයේ උඩුගම රෝහල වෙත පැමිණීමට සමත් විය.

පසුව එම රෝහල විසින් ඇය ව කිලෝමීටර් 35 ක් පමණ දුරින් පිහිටි ගාල්ල මහ මෝදර රෝහලට රැගෙන එනු ලැබීය.

එහිදී අවශ්‍ය ප්‍රතිකාර සහ ස්කෑන් පරීක්ෂණ වලින් අනතුරුව වෛද්‍යවරු පවසා ඇත්තේ ගර්භණී කාන්තාවට සහ ඇගේ නූපන් දරුවාට හානියක් වී නොමැති බවය.

එම සිද්ධිය සමාජය තුළ දැඩි අවධානයක් ගත් කරුණක් බවට පත්ව තිබුණි.

******************************************

මුහුදු ජලයෙන් ඉන්ධන ඉවත්කිරීමට නව ක්‍රමයක්

(16.05.2021 – 13:37 +0530 – sinhala.adaderana.lk)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදට මිශ්‍ර වන ඉන්ධන හා රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයෙන් ඉවත් කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගෙන තිබේ.

එහි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා සඳහන් කළේ, බෝගල පතලේ මිනිරන් ලබාගෙන එම මිනිරන් ව්‍යුහය වෙනස් කොට පැතලි මෙට්ට ආකාරයෙන් සකසා ඇති බවය.

ඒ අනුව මිනිරන් ග්‍රෑම් එකකට කාන්දු වී ඇති ඉන්ධන ග්‍රෑම් 120 ක් පමණ උරාගත හැකි ආකාරයට එම ක්‍රමවේදය සකසා තිබේ.

“මේ ක්‍රමවේදය හරහා පරිසර හානිය අවම කරගැනීමටත් හැකි වෙනවා. ඒ වගේම තෙල් කාන්දුව වළක්වා ගැනීමටත් කාන්දු වූ තෙල් එකතු කරගැනීමටත් අපි පර්යේෂණ මගින් ක්‍රම දියුණු කරලා තියෙනවා. මේ ක්‍රමය ඔස්සේ ඒ තෙල් එකතු කරලා මිරිකලා නැවත ප්‍රයෝජනයට ගන්නත් පුළුවන්” යනුවෙන් මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි මහතා අද (16) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

කොළඹ වරායට නුදුරු මුහුදේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මෙරට සමූද්‍රීය පරිසර පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වුණි.

නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පසු ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ සිටි මසුන් රැසක් විවිධ අවස්ථාවලදී මියගොස් ඇති සිද්ධි වාර්තා විය.

අද (16) දිනයේත් මියගිය මුහුදු ජීවීන්ගේ සිරුරු රැසක් දිවයිනේ වෙරළ තීර කිහිපයකටම ගොඩ ගසා තිබුණි.

මේ අතර නැව ගිනි ගැනීමේ සිදුවීමෙන් පසුව නැවත දැනුම්දෙන තුරු මීගමුව අවට මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙසට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ධීවර ජනතාවට දැනුම් දී තිබුණි.

කෙසේ නමුත් එම උපදෙස් පිළිනොපදිමින් උස්වැටකෙයියාව ධීවරයින් ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් තිබේ.

ඔවුන් චෝදනා කරන්නේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් විනාශ වූ බහාලුම් කැබලි මුහුදු පතුලේ තිබි තම දැල්වල පැටලීම හේතුවෙන් දැල් ඉරීමට ලක්ව ඇති බවය.

@@@@@@@@@@@@@@@

(16.06.2021 – 18:29 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1631 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 229,887 ක් ලෙසටයි ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 788 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (16) දිනයේ මෙතෙක් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 2,419 ක් ලෙසටයි ෴

++++++++++++++++++++++

(16.06.2021 – 18:42 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ අත්හිටුවා තිබූ වයඹ පළාතේ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන 30 වනදා දක්වා යළි දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව මෙම කාලසීමාව තුල කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර සඳහා නැවත ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී අගෝස්තු මස 31 වනදා දක්වා දඩ මුදලක් අය නොකෙරෙන බවයි වයඹ පළාත් ප්‍රධාන ලේකම් පී බී එම් සිරිසේන මහතා කියාසිටියේ.

එමෙන්ම අන්තර්ජාලය මගින් ලබාගනු ලබන ආදායම් බලපත්‍ර සඳහා වන තාවකාලික ආදායම් බලපත්‍රවල වලංගු කාලය දින 60 කින් දීර්ඝ කිරීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළා ෴

++++++++++++++++++++++

(16.06.2021 – 19:39 +0530 – hirunews.lk/sinhala)

දැනට පනවා ඇති සංචරණ සීමාවන්හි සාර්ථකත්වය සොයාබැලීම සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සමාජයේ අහඹු කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ එහි කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම, සංචරණය සීමා හේතුවෙන් කොළඹ නගරයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය වී ඇති බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය ප්‍රකාශ කළා. ඒ අද (16) පැවති භාණ්ඩ බෙදාදීමේ අවස්ථාවකට එක්වෙමින්.

+++++++++++++++++++++++

(16.06.2021 – 21:59 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (15) දිනයේ කොවිඩ් ආසාදිත මරණ 59 ක් සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (16) තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2374 ක් ලෙසටයි.

මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් 31 ක් සහ කාන්තාවන් 28 දෙනෙකු වනවා.

ඒ අතර වයස අවුරුදු 30 ට අඩු එක් (1) පිරිමි පුද්ගලයෙකු වනවා.

අවුරුදු 30 ත් 59 ත් අතර කාන්තාවන් 7 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 17 දෙනෙකු වන බවටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත්තේ.

අවුරුදු 60 සහ ඊට වැඩි කාන්තාවන් 21 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 17 දෙනෙකු මියගිය පිරිස අතර වනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *