දරුකමට හදාගන්නා බව පවා සිසුවෙකු අපයෝජනයට ලක් කළ සැකකරුවෙකු අත්අඩංගුව

දරුකමට හදාගන්නා බව පවා සිසුවෙකු අපයෝජනයට ලක් කළ සැකකරුවෙකු අත්අඩංගුව

*********************************************

දරුකමට හදාගන්නා බව පවා සිසුවෙකු අපයෝජනයට ලක් කළ සැකකරුවෙකු අත්අඩංගුව

(16.06.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

16 හැවිරිදි පාසල් සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ 50 හැවිරිදි තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු තලංගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, දරුවාගේ පියා කළ පැමිණිල්ලකට අනුවයි.

16 හැවිරිදි අදාළ සිසුවා තම පියා සහ සහෝදර සහෝදරියන් සමඟ පුත්තලම – මදුරන්කුලිය ප්‍රදේශයේ ජීවත්ව තිබෙනවා.

මීට වසර 5 කට පෙර අධ්‍යාපනය ලබාදී දරුකමට හදාගන්නා බව පවසමින් තලවතුගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු දරුවා රැගෙන ගොස් තිබුණා.

අදාළ පුද්ගලයා තවත් දරුවෙකු සොයාදෙන ලෙස දරුවාගේ පියාගෙන් ඉල්ලීමක්ද කර ඇති අතර, දරුවා පියාට ප්‍රකාශ කර ඇත්තේ අදාළ පුද්ගලයා විසින් තමන්ට විවිධ ලිංගික හිංසනයන් සිදුකරන බවටයි.

කෙසේ වෙතත් දරුවාගේ පියා එය විශ්වාස කර නැහැ.

පසුව දරුවා තමන්ට සිදුවන ලිංගික හිංසන ජංගම දුරකථනයකින් රහසිගතව පටිගත කර තම මිතුරෙකුට යොමුකර තිබුණේ තමන් මෙම හිංසනයෙන් ගළවාගන්නා ලෙස ඉල්ලමින්.

ඒ අනුව මේ සම්බන්ධයෙන් තලංගම පොලීසියට පැමිණිලි කළ බවයි දරුවාගේ පියා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.

(01.05.2021 – 17:02 +0530 – sinhala.adaderana.lk)

අගහිඟකම් හේතුවෙන් පීඩා විඳින පවුලකින් ලබාගත් පිරිමි දරුවෙක් ව කාලයක් තිස්සේ අපයෝජනය කළ පුද්ගලයෙක් ව තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපයෝජනයට ලක් වූ දරුවා මේ වනවිට 16 හැවිරිදි වියෙහි පසුවන අතර, ඔහුගේ මිතුරෙකුද අදාළ පුද්ගලයා විසින් අපයෝජනයට ලක්කිරීමට උත්සාහ දරා තිබුණි.

එසේ අපයෝජනයට ලක්වූ දරුවා පුත්තලම, මදුරන්කුලියේ පදිංචි ව සිටින අතර ඔහුගේ මව පවුල හැරගොස් තිබුණේ මීට වසර 8 කට පමණ පෙරය.

අනතුරුව පියා සිය මිතුරෙකුගේ අනුදැනුම අනුව එම දරුවාව අධ්‍යාපනය ලබාදී හදා වඩා ගැනීම සඳහා තලවතුගොඩ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකුට භාරදී තිබුණි.

ඒ අතුරතුර තවත් දරුවෙකු සොයාදෙන ලෙස තලවතුගොඩ පදිංචි පුද්ගලයා කළ ඉල්ලීම අනුව මදුරන්කුලියේ තම මිතුරෙකුගේ වයස අවුරුදු 14 ක් වන තවත් පිරිමි දරුවෙක්ව එම පුද්ගලයාට භාරදීමට ඔවුන් කටයුතු කර තිබේ.

නමුත් එම දරුවා ඔහුගෙන් මිදී පළායෑමට සමත් විය.

ඒ අතරතුර පළමුව භාර දුන් දරුවා තමන්ට විඳීමට සිදුවන ලිංගික රහසිගතව පටිගත කර දෙවැනි දරුවාගේ ජංගම දුරකථනයට යොමු කර තිබුණි.

තම දරුවාට සිදුවූ අතවරය පිළිබඳව දරුවාගේ පියා ඊයේ (15) තලංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර, දරුවා සහ භාරකරු ඒ අනුව පොලිසියට කැඳවනු ලැබීය.

එමෙන්ම වසර 5 ක පමණ කාලයක් මෙම දරුවා ව අපයෝජනය කළ බව පැවසෙන 50 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන අද (16) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තලංගම පොලීසිය කටයුතු කළේය.

******************************************

(16.06.2021 – 17:51 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් පෙන්වා දී ඇත්තේ ඉන්ධන මිල වැඩි කිරීම අත්‍යවශ්‍ය නම් එය කළ යුතුව තිබුණේ මෙවැනි විනාශයකට ජනතාව ඇද වැටී ඇති අවස්ථාවක නොවන බවයි.

එබැවින් මෙම තීරණය සාධාරණ තීරණයක් නොවන බවට පැහැදිළි බවයි එම නිවේදනය මගින් උන්වහන්සේ ප්‍රකාශකර ඇත්තේ.

ඉන්ධන මිල වැඩි කිරීම හමුවේ බොහෝ දෙනෙකුගේ ජීවිත පීඩාවෙන් පීඩාවට පත්ව ඇති අතර එබැවින් මෙවැනි මිල වැඩි කිරීමවලින් දිලිඳු කොටස් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි උන්වහන්සේ රජයෙන් ඉල්ලා සිටින්නේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් සංචරණ සීමා පැනවීම හමුවේ තම රැකියාවල නිරතවීමට නොහැකිව සිටින ධීවර ජනතාව නෞකාව ගිනි ගැනීම හේතුවෙන් සිදුවූ පරිසර හානිය හමුවේ තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.

එමෙන්ම බස්නාහිර වෙරළ තීරයේ සමුද්‍රීය පරිසරයට සහ මත්ස්‍ය සම්පතට මෙමගින් සිදුවූ හානිය ගණනය කිරීමට ද නොහැකි තරම් බවයි කාදිනල් හිමිපාණන් සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ.

එම සියල්ලකින්ම තම රැකියාවට පහර වැදී ඇති ජනතාවට තම රැකියාවේදී භාවිත කරන භූමිතෙල්, පෙට්‍රල් සහ ඩීසල් වැනි ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ඔවුන් තුන්වැදෑරුම් විනාශයකට ගොදුරුවී සිටින බව උන්වහන්සේ ප්‍රකාශ කරනවා.

මෙය ගසින් වැටුනු මිනිසාට ගොනා ඇනීම වැනි කටුක අත්දැකීමක් බවයි කාදිනල් හිමියන් සඳහන් කරන්නේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් ද නෞකාවේ විනාශය හේතුවෙන් ද ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ද ධීවර පවුල් දහස් ගණනක් අනාථ වී සිටින අතර ඉන්ධන මිල වැඩි කිරීම තවත් විවිධ ක්ෂේත්‍රවල නියැලෙන සුලු ආදායම්ලාභී බොහෝ දෙනෙකුගේ ජීවිතවලට ද ඉමහත් පීඩාවක් ගෙනදී ඇතැයි කාදිනල් හිමියන් ප්‍රකාශ කරනවා.

මීට කලින් පැවති රජයන් සමයේදී ද මෙවැනි ඉන්ධන මිල වැඩි කළ අවස්ථාවන්හිදී ද ඉහත සඳහන් කළ ජන කොටස්වලට සහන ලබාදීමට රජයන් කටයුතු කළ ආකාරයෙන්, මානුෂීය හේතුන් මත මෙම අවස්ථාවේදී ද එදිනෙදා යමක් සොයා ගැනීම සඳහා සුලු රැකියාවල යෙදෙන විශේෂයෙන් ඉන්ධන භාවිතා කරන ජනකොටස්වලට යම් සහනයක් සැලසීමට කටයුතු කරන ලෙසටයි ජනාධිපතිවරයාගෙන් කාදිනල් හිමිපාණන් ඉල්ලා සිටින්නේ.

******************************************

(16.06.2021 – 17:50 +0530 – hirunews.lk/sinhala)

මිල ඉහළ නැංවීමකින් තොරව ගෑස් සමාගම් ලබන පාඩුව අවම කිරීම සඳහා විකල්ප යෝජනා ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

ගෑස් මිල සංශෝධනය සම්බන්ධව පත් කළ අමාත්‍ය අනු කමිටුවේ සාමාජිකයෙකු ද වන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පරිසර අමාත්‍යාංශයේ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ලාෆ් සහ ලිත්‍රෝ ගෑස් සමාගම් පිළිවෙලින් රුපියල් 700 කින් සහ රුපියල් 670 මගින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නංවන ලෙස ඉල්ලීම් කර තිබෙනවා.

එහෙත් මිල වැඩි කරන්නේ නම් එය රුපියල් 400 ක් විය යුතු බවට පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත්, මිල ඉහළ නොදමා සමාගම්වලට ලාභයක් ලැබිය හැකි විකල්ප ක්‍රියාමාර්ග යෝජනා කරන ලෙස අමාත්‍ය අනු කමිටුව දැනුම් දී ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ ෴

@@@@@@@@@@@@@@@@

(16.06.2021 – 14:06 +0530 – hirunews.lk/sinhala)

වත්මන් කොවිඩ් තත්ත්වය ගැන දැනුවත් කෙරෙන විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත්වෙනවා.

එහි සජීවි විකාශය පහතින් :

++++++++++++++++++++++

(16.06.2021 – 14:22 +0530 – hirunews.lk/sinhala)

ඇඟලුම් කම්හල් ඇතුළු රටේ ආර්ථිකයට දායක වන කර්මාන්තශාලාවලින් කොරෝනා ආසාදිත පොකුරු වාර්තා වුවද ඒවා නිසියාකාරව කළමනාකරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව කියා සිටියේ කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඊයේ (15) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 546 ක්.

ඊට අමතරව වැඩිම ආසාදිතයින් හඳුනාගෙන ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 268 ක් බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

ගම්පහින් ආසාදිතයින් 250 ක් වාර්තා වන අතර නුවරඑළියෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 162 ක්.

ඊට අමතරව මහනුවර, යාපනය, ගාල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලින් ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වනවා.

මේ අතර, වැලිසර ලය රෝහලේ සිටි කොරෝනා ආසාදිතයෙකු රෝහලෙන් පළා ගොස් තිබෙනවා.

අදාළ රෝගියා සොයා පොලීසිය සහ සෞඛ්‍ය අංශ මේ වන විටත් විමර්ශනයක් සිදුකරන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සංචරණ සීමා ක්‍රියාත්මක කාලසීමාව තුළ ඩිලිවරි සේවා සහ ජංගම වෙළඳුන්ට භාණ්ඩ බෙදාහැරීම සඳහා ලබා දී තිබූ අවසර පත්‍රයේ වලංගු කාලය ලබන 21 වනදා දක්වා දීර්ඝ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මේ අතර, හැටන් – නෝටන්බ්‍රිජ් – 4 කණුව ප්‍රදේශයේ සිසු සිසුවියන් පිරිසක් ප්‍රදේශයේ බස් නැවතුම්පොළක සිට ඔන්ලයින් ක්‍රමය හරහා ඉගෙනුම් කටයුතු සිදුකරන ආකාරයක් දක්නට ලැබුණා.

ප්‍රදේශයේ දුරකථන සංඥා නොමැතිවීම හේතුවෙනුයි ඔවුන් මෙලෙස ප්‍රදේශයේ බස් නැවතුම්පොළකට පැමිණ ඇත්තේ.

අයහපත් කාලගුණ තත්ත්වයක් පැවතිය ද අදාළ සිසුන් එම බස් නැවතුම්ළේ සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ඉගෙනුම් කටයුතු සිදුකරන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණේ.

එමෙන්ම කෑගල්ල – රුවන්වැල්ල ප්‍රදේශයේ ද සිසුන් පිරිසක් ඔන්ලයින් ක්‍රමය හරහා ඉගෙනුම් කටයුතු සිදුකිරීමට ඉතා උස ගස් මත අට්ටාල සකස් කරගෙන සිටින ආකාරයක් ද දක්නට ලැබුණා.

ඉතා අවදානම් තත්ත්වයක් යටතේ අදාළ සිසුන් මෙලෙස ගස් මත සකස් කළ අට්ටාල වලට නැග ඉගෙනුම් කටයුතු සිදුකරන්නේ ප්‍රදේශයේ දුරකථන සංඥාවල පවතින අවහිරතා හේතුවෙන්.

සෞඛ්‍ය සේවයේ නියුතු සියළු දෙනාට එන්නත්කරණය සිදුකරන ලෙස ඉල්ලමින් සහ තවත් ඉල්ලීම් 12 ක් මුල් කර ගනිමින් අද උදෑසන 8 සිට සියළු පළාත් රෝහල්වල සුළු සේවකයින් පැය 4 ක වර්ජනයක් සිදුකළා.

මේ අතර, කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අද (16) දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ක්‍රියාත්මකයි.

ඊයේ (15) පස්වරුව වන විට ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව මෙරට පුද්ගලයන් 356,232 කට ලබාදී තිබෙනවා.

සයිනොෆාම් දෙවන (2) මාත්‍රාව ඊයේ (15) දිනය තුළ පමණක් මෙරට පුද්ගලයන් 63,596 කට ලබාදී ඇති අතර මේ වන විට එම එන්නතෙහි දෙවන මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත සංඛ්‍යාව 317,431 ක්.

ස්පුට්නික් වී එන්නතෙහි දෙවන (2) මාත්‍රාව ද ඊයේ (15) පස්වරුව වන විට පුද්ගලයින් 3690 කට ලබාදී තිබෙනවා.

+++++++++++++++++++++++

(16.06.2021 – 14:56 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල් වසා දමා ඇති බැවින් මේ වනවිට දරුවන් අධ්‍යාපනය ලබන්නේ අන්තර්ජාලය ඔස්සේයි.

කෙසේ වෙතත්, අන්තර්ජාල පහසුකම් නොමැතිවීම හේතුවෙන් අධ්‍යයන කටයුතු සිදුකර ගත නොහැකිව බොහෝ ප්‍රදේශවල දරුවන් දුෂ්කරතා රැසකට මුහුණපා සිටිනවා.

කොවිඩ් වසංගතය හමුවේ දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මකව පවතින මොහොතක කලා වැව, ධාතුසේන පුර දියවර ගම්මානයේ ජනතාව මේ අයුරින් කලා වැව් ඉස්මත්තට පැමිණ ඇත්තේ නිදහස් සුවය විඳීමට නොවෙයි.

තමන්ගේ දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපන කටයුතු ලබාදීම සඳහා අවශ්‍ය දුරකථන සංඥා පහසුකම් නොමැතිවීම හේතුවෙන් ඔවුන් මෙලෙස වැව් ඉස්මත්තට පැමිණ තිබෙනවා.

නිවෙස්වල සිට දුරබැහැර ගෙවාගෙන කලා වැව් ඉස්මත්තට පැමිණෙන මෙම දරුවන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන්නේ මෙලෙසින්.

දරුවන්ට පමණක් නොව ඔවුන්ට අධ්‍යාපනය ලබා දෙන ගුරුවරුන්ද වන ලැහැබ තුළ ජංගම දුරකථන ගස්වල සවි කර ගනිමින් ඉගැන්වීම් කටයුතු සිදුකරනවා.

මව්පියන් පවසන්නේ, මේ ප්‍රදේශයේ වන අලි ද බහුලව ගැවසෙන බැවින් දරුවන්ගේ ජීවිතවලටද දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවයි.

උසස් අධ්‍යාපනය හදාරණ ඇතැම් දූ දරුවන් රාත්‍රී කාලයේදීද මෙම වන ලැහැබට පැමිණ අන්තර්ජාලය ඔස්සේ සිය අධ්‍යයන කටයුතු සිදුකරනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව දුරස්ථභාවය රඳවා ගන්නා ලෙසට බලධාරීන් උපදෙස් ලබාදී තිබුණද ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දුරකථන පහසුකම් නොමැති දරුවන්ට සිදුව ඇත්තේ එම පහසුකම ඇති දරුවන් සමඟ එකතු වී අධ්‍යාපනය ලැබීමටයි.

අවස්ථා කිහිපයකදීම තම ප්‍රදේශයට අවශ්‍ය දුරකතන සංඥා පහසුකම් ලබාදෙන ලෙස බලධාරීන්ට දැනුම් දුන්නද ඒ සඳහා විසඳුමක් නොලැබුණු බවයි ඔවුන් පවසන්නේ.

+++++++++++++++++++++

කොරියානු රැකියාලාභීන්ට කඩිනමින් එරටට යාමට පහසුකම් සපයන බවට සහතිකයක්

(16.06.2021 – 15:06 +0530 – hirunews.lk/sinhala)

දකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති මෙරට තරුණ තරුණියන්ට එරටට යාමට අවශ්‍ය පහසුකම් කඩිනමින් සපයන බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වොන්ජින් ජියොන් ප්‍රකාශ කළා.

ඒ, විදේශ අමාත්‍යවරයා සමඟ විදේශ අමාත්‍යාංශයේ අද (16) පැවති සාකච්ඡාවකදියි.

කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇතත් පවතින තත්ත්වය හමුවේ එම කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට බදුන් වී තිබෙනවා.

++++++++++++++++++++++

(16.06.2021 – 15:13 +0530 – hirunews.lk/sinhala)

මෙරටට ගෙන්වූ ස්පුට්නික් දෙවන (2) මාත්‍රා 50,000 ක් සදහා අද (16) දින භාවිත අවසරය ලබාදීමට හැකි බැවින් හෙට (17) දින එම එන්නත් තොගය මහනුවරට යැවීමට සූදානම් කර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ අනුව ස්පුට්නික් දෙවන (2) මාත්‍රාව හෙට (17) දිනයේ දී මහනුවර දිස්ත්‍රික්කයට ලබාදීමට හැකිවනු ඇති බවට ඔහු විශ්වාසය පල කළා.

මේ අතර ඊයේ (15) දිනයේදී PCR පරීක්ෂණ 18,257 හා රැපිඩ් අන්ටිජෙන් පරීක්ෂණ 3,979 සිදුකර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා කියා සිටියා.

මේ අනුව ඊයේ (15) දිනය තුල සිදුකර ඇති සමස්ත කොවිඩ් පරීක්ෂණ සංඛ්‍යාව 22,236 ක්.

මේ අනුව සිදුකෙරෙන PCR පරීක්ෂණ අඩුවීමක් කර නොමැති අතර රැපිඩ් අන්ටිජන් ප්‍රමාණය වැඩිකර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මින් ඉදිරියට නිරෝධායන වන පවුල්වල PCR පරීක්ෂණ සිදු නොකරන අතර ඒ වෙනුවට රැපිඩ් අන්ටිජන් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ.

ඒ තුලින් ඉක්මනින් රෝග ව්‍යාප්තිය දැන ගැනීමට හැකියාව තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම දිවයිනේ සියලු දිස්ත්‍රික්ක වල අහඹු පරීක්ෂණ හෙවත් රැපිඩ් ඇන්ටිජන් සංඛ්‍යාව වැඩිකරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවත් ඒ හරහා රෝගය කොතරම් දුරට සමාජයේ පැතිරී ඇත්ද යන්න පිළිබඳව ලබන සෙනසුරාදා (19) වන විට දැන ගත හැකිවනු ඇති බවත් ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ අහඹු පරීක්ෂණ වැඩි කිරීමෙන් රට ඉක්මනින් විවෘත කිරීමට ඇති හැකියාව දැනගත හැකි බවයි ෴

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1667 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 194,145 ක් ලෙසටයි ෴

++++++++++++++++++++++

(16.06.2021 – 16:11 +0530 – hirunews.lk/sinhala)

පාසල් විවෘත කිරිමට පෙර ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුලු සියලු කාර්ය මණ්ඩල සඳහා එන්නත්කරණයට එන්නත් 279,020 ක් අවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ පාසල් විවෘත කිරීමට අවශ්‍ය පසුබිම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (16) පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

++++++++++++++++++++++

(16.06.2021 – 17:47 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා තත්ත්වය හමුවේ දුෂ්කරතාවලට මුහුණ දී සිටින ජනතාවගෙන් ණය අය කර ගැනීමේදී ඔවුන් මුහුණපාන ගැටළු අවම කිරීම සඳහා සුදුසු පියවරක් අනුගමනය කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහබැංකු නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

අරලියගහ මන්දිරයේ අද (16) පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ණය ලබාදීමේදී පදිංචි නිවස ඇපයට ගැනීමෙන් ණයකරුවන්ට නිවස ද අහිමි වන අවස්ථා ඇති නිසා මානුෂීයව සලකා බලමින් එම ක්‍රමවේදය වෙනස් කිරීම කෙරෙහි අවදානය යොමු කරන ලෙසයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *