එක්ස්ප්‍රස් පර්ල් දේශීය නියෝජිත ආයතනයේ ප්‍රධානියා අද (16) සී.අයි.ඩී.යට

එක්ස්ප්‍රස් පර්ල් දේශීය නියෝජිත ආයතනයේ ප්‍රධානියා අද (16) සී.අයි.ඩී.යට

*********************************************

එක්ස්ප්‍රස් පර්ල් දේශීය නියෝජිත ආයතනයේ ප්‍රධානියා අද (16) සී.අයි.ඩී.යට

(16.06.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනීමට ලක්වූ ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල ඊයේ (15) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ තම සේවාදායකයා අද (16) පෙරවරු 09:30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිත බවයි.

මේ අතර, නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පසු ප්‍රදේශ කිහිපයක වෙරළ තීරයට මියගිය කැස්බෑවන්ගේ සිරුරු ගොඩගැසීම අසාමාන්‍ය තත්ත්වයක් බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරන තෙක් මෙම සතුන් මිය ගියේ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීම නිසා පරිසරයට සිදුවූ හානිය නිසාද යන්න පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකයේ උසස් නිළධාරියෙකු සඳහන් කළේ.

මීගමුවේ සිට වැලිගම දක්වා මුහුදු වෙරළට ගොඩ ගැසූ කැස්බෑවුන් 30 දෙනෙකුගේ පමණ සිරුරු ඊයේ (15) වන විට සොයාගෙන තිබුණා.

එසේම එම මුහුදු තීරයට ගොඩගැසූ ඩොල්ෆින් මත්ස්‍යයින් 5 දෙනෙකුගේ සිරුරු අත්තිඩිය වනජීවී රැදවුම් මධ්‍යස්ථානය වෙත පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.

හික්කඩුව වනජීවි උද්‍යාන කාර්යාලය ප්‍රකාශ කළේ ගාල්ල – ගිංතොට මුහුදු වෙරළට, ගාල්ල – සමනල පාලම අසළ වෙරළට, කොස්ගොඩ සහ ඉදුරුව වෙරළට ගොඩ ගසා තිබූ කැස්බෑවුන් 4 දෙනෙකුගේ සිරුරු ඊයේ (15) සොයා ගත් බවයි ෴

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීම නිසා පරිසරයට සිදුවූ හානිය හේතුවෙන් බැටකෑ තමන්ට ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන්ද දැඩි බලපෑමක් සිදුව ඇති බව පවසමින් අම්බලන්ගොඩ ප්‍රදේශයේ ධීවරයින් ඊයේ (15) රාත්‍රියේ පන්දම් දල්වා අම්බලන්ගොඩ ධීවර වරාය තුළදී විරෝධතාවක නිරතවුණා ෴

******************************************

(16.06.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala)

කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට උත්සාහ කළහොත් සංචරණ සීමා නොතකා මෙරට ශිෂ්‍ය ව්‍යාපාරය පෙළ ගස්වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.

කොළඹ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැදවුම්කරු වසන්ත මුදලිගේ ප්‍රකාශ කළේ මෙම පනත් කෙටුම්පත ලබන 22 වන දා ආරක්ෂක අමාත්‍යාංශ කාරක සභාවට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ආණ්ඩුව උත්සාර දරමින් සිටින බවයි ෴

******************************************

(16.06.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ ප්‍රදේශයේ ඉදිකිරීම්වලදී ජනතා හඬට කන් නොදුනහොත් බරපතල ප්‍රති විපාක අත්විය හැකි බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

ගම්පහ – වැරැල්ලවත්ත ප්‍රදේශයේදී ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනතාව ආණ්ඩු වෙනස් කරන්නේ පසුගිය ආණ්ඩුවලින් ගනු ලැබූ වැරදි තීරණ නිවැරදි කිරීමට බැවින් වර්තමාන රජය එම වගකීම නිසි ලෙස ඉටු කළ යුතු බවයි.

පසුගිය දා ගං වතුරෙන් යට වූ ගම්පහ සහ අත්තනගල්ල නිරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවන බවයි.

නැවත ඉදිකිරීම් ඇරඹෙන්නේ සැලැස්ම යළි සමාලෝචනය කර තීරණයකට එළඹීමෙන් පසුව බවද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, නිවේදනයක් නිකුත් කරමින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ආර්. ප්‍රේමසිරි මහතා සදහන් කළේ මධ්‍යම අධිවේගි මාර්ගයේ වැඩකටයුතු නවතා දැමීමට කිසිදු අවස්ථාවක තීරණයක් කර නොමැති බවයි.

අධිවේගි මාර්ගයේ කඩවත සිට මිරීගම දක්වා කොටසේ සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බව ද ඔහු එම නිවේදනයෙන් දක්වා තිබුණා.

එහෙත් ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ ජනතාවගේ හඬට ඇහුම්කන් නොදී කටයුතු කළහොත් ඉදිකිරීම්වල නිරත කොන්ත්‍රාත්කරුවන්ට ජනතාව ප්‍රතිචාර දක්වනු ඇති බවයි ෴

******************************************

(16.06.2021 – 08:40 +0530 – hirunews.lk/sinhala)

කිලෝ 12.5 එල් පී ගෑස් සිලින්ඩර වෙළඳසැල්වල නැති බව පාරිභෝගික අධිකාරිය ලැබුණු තොරතුරක් මත ඊයේ (15) පාමංකඩ ප්‍රදේශයේ ගෑස් අලවිසැල් පරීක්ෂාවකට ලක් කෙරුණා.

එහිදී පාරිභෝගික අධිකාරියේ එක් නිලධාරීයෙකු සාමාන්‍ය පුද්ගලයකු ලෙස අදාල වෙලඳසැල් වෙත ගොස් ලොකු ප්‍රමානයේ සිලින්ඩර ඉල්ලූ විට කඩහිමියා ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර නොමැති බවයි.

පසුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සිය අනන්‍යතාව පෙන්වා වෙලඳසැල පරික්ෂා කල විටදී එම ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර 27 එම අලෙවිසැලේ තිබී සොයා ගැනුනා.

තමන් සන්තක භාණ්ඩ තබා ගෙන පාරිභෝගිකයා නොමග යැවීම වරදක් බව පෙන්වා දුන් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අදාල වෙලඳසැල් හිමියාට නඩු පැවරීමක් සිදු කලා.

මේ අනුව එම සැලේ හිමිකරු මාලිගාකන්ද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මහේස්ත්‍රාත් වරයාගේ උපදෙස් මත ඔවුන්ට ඉදිරි නීති ක්‍රියාමාර්ග ගන්න බවයි පාරිභෝගික අදිකාරියේ නිලධාරීන් කියා සිටියේ ෴

******************************************

තෙවැනි ඇසට හසුවූ මාල සොරෙක් – CCTV දර්ශන

(15.05.2021 – 21:40 +0530 – sinhala.adaderana.lk)

කිරුළපන පූර්වාරාම ප්‍රදේශයේ මාර්ගය අසල රැඳී සිටි කාන්තාවකට අයත් පවුම් 3 ක් වටිනා රන් මාලයක් ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු (2) කොල්ලකා පළා යන අයුරු අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන් වී තිබේ.

ඒ අනුව සිදු කෙරුණු විමර්ශන මත අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා (2) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කිරුළපන පොලීසිය පරීක්ෂණ පවත්වයි.

******************************************

සමාජ විරෝධී ක්‍රියා ගැන පොලීසියට තොරතුරු දුන් පවුලකට නිවස අහිමි වෙයි – දරුවාත් අතුරුදන්

(15.05.2021 – 14:16 +0530 – sinhala.adaderana.lk)

තම ගම්මානය තුළ නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ නිරත පිරිසක් පිළිබඳව පොලීසිය තොරතුරු ලබාදුන් පවුලකට අත්වූ ඉරණමක් පිළිබඳව නිවිතිගල, කිරිවත්ගල ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඒ අනුව ඔවුන්ට මේ වනවිට සිය නිවස මෙන්ම තම පුත්‍රයා ද අහිමිවී ඇත.

නිවිතිගල, කිරිවත්ගල ප්‍රදේශයේ සිදුකරගෙන ගිය නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් පිළිබඳව පසුගිය 07 වනදා එම ප්‍රදේශයේ මෙම පවුලේ සාමාජිකයින් විසින් පොලිස් විශේෂ කාර්ය බළකායට තොරතුරක් ලබාදී තිබුණි.

ඒ ප්‍රදේශයේ පොලිස් ස්ථානයට ඒ පිළිබඳව කිහිප විටක් දැනුම් දුන්නද ඉන් ප්‍රයෝජනයක් නොමැතිවීම හේතුවෙනි.

පසුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැමිණ අදාළ මත්පැන් නිෂ්පාදනය කළ ස්ථානය වටලා තිබුණි.

ඉන් මද වේලාවකට පසුව පැමිණි මත්පැන් ජාවාරම්කරුවන් පිරිසක් විසින් අදාළ තොරතුර ලබාදුන් පිරිස ජීවත් වු නිවස කඩාබිඳ දමා තිබේ.

පුද්ගලයින් 07 දෙනෙකු පමණ එලෙස නිවසට දැඩි හානි සිදුකර තිබූ අතර පසුව එම පවුලේ පිරිමි දරුවකුට පහරදීම සඳහා ඔහු පසුපස හඹාගොස් ඇත.

ඔහුගේ මව පවසන්නේ තම දරුවා මේ වනතෙක් සොයා ගැනීමට නොහැකි වූ බවය.

“අපි ඔත්තු දුන්නා කියලා අපේ ගේ කඩලා විනාශ කරලා පුතාව පන්නගෙන ගියා. අදට සතියකට වැඩියි. තාම පුතා ගෙදරට ආවේ නෑ. ඉන්නවා ද මැරුණ ද කියලවත් අපි දන්නේ නෑ. තාම පොලීසිය හොයලා දුන්නෙත් නෑ.”

නිවැසියන් විසින් මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව අදාළ පුද්ගලයන් 07 දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ද ඔවුන්ව එදිනම ඇප මත මුදාහැර තිබේ.

ඉන් පසුව ද නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවන් තම ව්‍යාපාරය සුපුරුදු පරිදි සිදුකරමින් සිටින බව වාර්තා වේ.

ඇප මත පැමිණ සිටි පිරිස නැවත එම නිවැසියන්ට මරණ තර්ජන සිදුකරමින් එම ප්‍රදේශය අතහැර යන ලෙසට පවසා තිබේ.

මේ හේතුවෙන් දැඩි අසරණ භාවයට පත්ව සිටින නිවැසියන් ඉල්ලා සිටින්නේ සිද්ධිය සමතයකට පත්කර සිය ආරක්ෂාව සලසා දෙන ලෙසය.

******************************************

(16.06.2021 – 10:07 +0530 – hirunews.lk/sinhala)

කසළ ගොඩක සිදු වූ පිපිරීමකින් මුලතිව් – පුදුකුඩිඉරිප්පු – ඉරණපලෙයි ප්‍රදේශයේදී කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

කසළ ගොඩට ගිනි තබන අවස්ථාවේ ඊයේ (15) මෙම පිපිරීම සිදු වී ඇති බවයි පුදුකුඩිඉරිප්පු පොලිසිය සඳහන් කළේ.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ 64 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය මුලතිව් රෝහලට ඇතුළත් කර තිබෙනවා. කෙසේ වෙතත් කාන්තාවගේ තත්වය බරපතල නොවන බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ ෴

******************************************

(16.06.2021 – 11:02 +0530 – hirunews.lk/sinhala)

මාතර මාකාවිට නාවිමන ප්‍රදේශයේ තෙමහල් නිවසක පවත්වාගෙන ගිය නීතිවීරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට මාතර පොලිසිය සමත්ව තිබෙනවා.

එහිදී සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු (2) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියේ ප්‍රධාන සැකකරු එක්සත් ජාතික පක්ෂයේ හිටපු පලාත් සභා මංත්‍රීවරයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

අදාළ වැටලීමේදී නීතිවිරෝධි මත්පැන් පෙරීමට භාවිත කල ගෑස් සිලින්ඩරයක් ඇතුළු ගෑස් ලිපක්, දඟර, බැරල්, පෙරුම් උපකරණ සහ ගෝඩා මිලි ලීටර් විසිපන්දහසක් (25,000) පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් තුන්වන (3) මහලේ මෙලෙස මත්පැන් පෙරීමේ කටයුතු සිදුකරගෙන ගොස් ඇති බවටයි විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

සැකකරුවන් දෙදෙනා (2) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මාතර පොලිසියේ අපරාධ විමර්ශණ අංශයයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

******************************************

(16.06.2021 – 11:19 +0530 – hirunews.lk/sinhala)

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත කැලණිතිස්සගම වේරගොඩැල්ල ප්‍රදේශයේදී නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘රණසිංහ ආරච්චිගේ ලාල් රෝහිත’ නොහොත් ‘උක්කුවා’ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 ට වැඩි ප්‍රමාණයක් සහ මුදලින් රුපියල් 16 ලක්ෂ හතළිස් දහසක්ද (16,40,000) පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කොළඹ උතුර කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් ශ්‍රීයන්ත මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුකෙරුනා.

අත්අඩංගුවට ගත් සැකකරු අද (16) දින මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

(16.06.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායට නාවික සැතපුම් 9.5 ක් දුරින් ගිනි ගැනීමට ලක්වූ ‘එම්.වී. එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන ‘සී කොන්සෝටියම්’ ආයතනයේ සභාපතිවරයා වන අර්ජුන් හෙට්ටිආරච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අද (16) දින කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

ගිනි ගැනීමට ලක්වූ ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි පැය දෙකකට (2) ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එම දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ උදෑසන 08:45 ට පමණයි.

(16.06.2021 – 13:54 +0530 – hirunews.lk/sinhala)

ලෝක මුහුදු කැස්බෑ දිනය අදට (16) යෙදී ඇති මොහොතක මෙරට මුහුදු තීරයේ කැස්බෑවන්ට අත්වී ඇති ඉරණම ඛේදනීයයි.

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීමට ලක්වීමෙන් පසුව පසුගිය දින කිහිපයේම ප්‍රදේශ රැසක මුහුදු වෙරළට කැස්බෑ සිරුරු ගොඩගසා තිබුණා.

අද (16) දිනයේත් අලුත්ගම – මොරගල්ල වෙරළ තීරයට මියගිය කැස්බෑවන් දෙදෙනෙකුගේ (2) සිරුරු ගොඩ ගසා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ වනවිට නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් පසුව මියගිය කැස්බෑවන් 50 දෙනෙකුගේ පමණ සිරුරු වෙරළ තීරයට ගොඩගසා තිබුණා.

මේ අතර, කොස්ගොඩ මුහුදු තීරයේදී ‘සාගර මිතුරු සංසදය’ විසින් විරෝධතාවක නිරත වුණේ කෙටි කාලයක් ඇතුළත මුහුදු කැස්බෑවන් විශාල පිරිසක් මිය යාම සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින්.

එමෙන්ම, අදට (16) යෙදෙන ලෝක මුහුදු කැස්බෑ දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ – ඌරවත්ත කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් මුහුදට මුදා හැරීමට ද කටයුතු කළ ආකාරය දක්නට ලැබුනා ෴

(16.06.2021 – 14:29 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද එම නෞකාවේ දේශීය නියෝජිත ‘සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ’ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (16) නියෝග කළා.

සැකකරු සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද (16) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත හමුවට ඉදිරිපත් කෙරුණා.

එහිදී සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා ඇපකරුවන් දෙදෙනාගෙන් (2) එක් අයෙකු ළඟම ඥාතියෙකු නොවිය යුතු බවට ද නියෝග කළා.

සැකකරුට විදෙස් ගමන් තහනම් කළ අධිකරණය ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසයි නියම කළේ. මොහු වෙත අලු‍තින් විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමෙන් වළකින ලෙස ද ආගමන හා විගමන පාලකවරයා වෙත නියෝග කෙරුණා.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව තුළ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් හා දුමාරයක් පිටවන බව දනිමින් ඒ බව වසන් කොට අදාළ නෞකාව දේශීය ජල තීරය තුලට පිවිසීමට මෙම සැකකරු ඇතුළු ඔහුගේ සමාගම ආධාර අනුබල දී ඇති බවයි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා කිසිදු අවස්ථාවක සත්‍ය වසන් කිරීමක් සිදුකර නොමැති බව සඳහන් කළා.

අදාළ නෞකාව මැයි මස 19 වනදා දේශීය ජල තීරය තුළට පිවිසි බවත් 20 වනදා සවස 04:30 ට පමණ හාබර් මාස්ටර්වරයාගේ නිලධාරීන් කණ්ඩායමක් නැවට ගොඩ වූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ මැද්දේගොඩ එම අවස්ථාව වනවිටත් නෞකාව තුළ ගින්නක් හටගෙන නොතිබූ බව ප්‍රකාශ කළා.

ඒ අනුව මැයි මස 20 වන දා වනවිටත් නෞකාව තුළ ගින්නත් නොතිබූ බව පැහැදිලි වී ඇති බවත් ගින්න හට ගැනීමට පෙර පැය 24 කට වැඩි කාලයක් අදාළ නෞකාව වරාය අධිකාරිය භාරයේ තිබී ඇති හෙයින් එම නෞකාව තුළ ඇති වූ අනතුරු සම්බන්ධයෙන් තම සේවාදායකයාට වගකිව නොහැකි බවත් මෙහිදී ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ අධිකරණය හමුවේ අවධාරණය කර සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා සැකකරුට ඇප නියම කරමින් යළි ලබන මස 01 වන දා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළා.

මේ අතර, නෞකාව ගිනි ගැනීම නිසා සිදුවූ පාරිසරික හානිය සහ ඉන්ධන මිල ඉහල දැමීම හේතුවෙන් අසරණව සිටින ජන කොටස් වෙත සහන සලසන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කරනවා.

ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් උන්වහන්සේ මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අද (16) පෙරවරුවේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවුණා.

එමෙන්ම අද (16) දිනයේත් මියගිය කැස්බෑවන්ගේ සිරුරු වෙරළට ගොඩ ගසා තිබුණා.

මේ අතර ‘සාගර මුහුදු මිතුරු සංසදය’ කොස්ගොඩ මුහුදු තීරයේ විරෝධතාවක නිරත වූයේ කැස්බෑ සංරක්ෂණයේ යෙදෙන පිරිස් මුහුණ දී ඇති ගැටළුවලට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ෴

++++++++++++++

******************************************

(16.06.2021 – 13:42 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි එකහමාරක් (1½) පමණ වටිනා හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් හතරදෙනෙකු (4) කහතුඩුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ මෙහෙයුම් ඒකකය සිදුකළ වැටලීමකදියි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් සතුව තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 435 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා ෴

******************************************

(16.06.2021 – 13:46 +0530 – hirunews.lk/sinhala)

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජනබලවේගය සූදානම් වනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

අදාළ විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් අත්සන් කිරීමෙන් පසු එය, කථානායකවරයා වෙත භාරදීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සඳහන් කළා ෴

@@@@@@@@@@@@@@@@@

(16.06.2021 – 08:03 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය විසි හතරේ (24) කොරෝනා මරණ 57 ක් වාර්තාවී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 2,317 ක් ලෙසයි.

නව ආසාදිතයන් 2,334 දෙනෙකු ඊයේ (15) හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,28,256 ක් දක්වා ඉහළ ගියා.

මොවුන්ගෙන් 2,275 ක් ‘අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ’ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 59 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනා ගැනුනා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 33,518 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 1,92,478 ක්.

මේ අතර දිවයිනේ සියළු පළාත් සභා රෝහල්වල අද (16) උදෑසන 8 සිට පැය 4 ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව සමස්ත ලංකා සුව සේවා සංගමය පවසනවා.

එමෙන්ම නිරෝධායන නීති කඩකළ 1,411 දෙනෙකු ගතවූ පැය විසි හතරේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ මෙය මෙතෙක් දිනයක් (1) තුළ අත්අඩංගුවට ගත් වැඩිම පිරිස බවයි ෴

+++++++++++++++++++++++++

(16.06.2021 – 08:05 +0530 – hirunews.lk/sinhala)

හෙට (17) සහ අනිද්දා (18) දෙදින තුළ දිවයිනේ සියළු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට නියමිතයි.

ඒ අනුව තොග වෙළදාම් සිදුකරන පුද්ගලයින්ට සහ ජංගම වෙළදසැල් පවත්වාගෙන යන පුද්ගලයින්ට ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ එළවළු සහ පළතුරු මිලදී ගැනීමට හැකියාව පවතිනවා.

මේ අතර අඹ කැඩීම සඳහා ගමන් කරන ලොරි රථවලට අවශ්‍ය බලපත්‍ර නිකුත් නොකිරීම හේතුවෙන් මිනුවන්ගොඩ අවට ප්‍රදේශ කිහිපයක අඹ කර්මාන්තයේ නියැලෙන පිරිස් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා ෴

+++++++++++++++++++++

(16.06.2021 – 09:49 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට රටේ පවතින සංචරණ සීමා අතරතුර මත්පැන් මාර්ගගත (Online) ක්‍රමයට අලෙවි කිරීමේ වැඩපිළිවෙල නුසුදුසු ක්‍රියාවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඔවුන් පෙන්වාදෙන්නේ එමගින් පවතින අර්බුදය තවත් උග්‍ර අතට ගමන් කරන බවයි.

මෙමගින් සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ වක්‍ර ලෙස දැඩි බලපෑමකට ලක්වන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පලකළ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ප්‍රකාශ කළේ.

ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ එමගින් ගෘහස්ථ හිංසනය වැඩිවීමේ අවධානමක් ද පවතින බවයි.

එහිදී වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා දැක්වූ අදහස් පහතින් :

++++++++++++++++++++

(16.06.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

කුවේට් රාජ්‍ය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද සෞඛ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපල වෙත එවා තිබෙනවා.

කුවේට් රාජ්‍යයේ රතු කුරුස සංවිධානය විසින් ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයට ලබා දී ඇති කිලෝග්‍රෑම් 2,486 ක් බරැති මෙම ආධාර තොගය අද (16) අලුයම 04:12 ට ජසීරා ගුවන් සේවයට අයත් ජේ. 9551 දරණ ගුවන් යානයෙන් මෙරටට එවා තිබුණා.

එම ආධාර තොගය භාරගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *