වැලිගම දී හෙළිකරගත් හෙරොයින් ජාවාරමේ මහ මොළකරු හඳුනාගැනේ

වැලිගම දී හෙළිකරගත් හෙරොයින් ජාවාරමේ මහ මොළකරු හඳුනාගැනේ

*********************************************

වැලිගම දී හෙළිකරගත් හෙරොයින් ජාවාරමේ මහ මොළකරු හඳුනාගැනේ

(15.06.2021 – 06:39 +0530 – hirunews.lk/sinhala)

වැලිගම – මිරිස්ස – පොල්අතුමෝදර වෙරළ තීරයේදී පසුගිය ඉරිදා (13) හෙරොයින් කිලෝග්‍රෑම් 220 ක් සමඟ අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දින 07 ක් රඳවා තබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

ඒ අදාල සැකකරුවන් 11 දෙනා ඊයේ (14) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර මෙම ජාවාරමට අදාල තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) දික්වැල්ල සහ කෝට්ටේගොඩ ප්‍රදේශවලදී ඊයේ (14) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

ඔවුන් දෙදෙනා (2) මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ආධාර අනුබල දුන් දෙදෙනෙකු (2) බවට අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව මෙම සිද්ධියට මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 13 ක්.

‘නදුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෙම ජාවාරම එක්සත් අරාබි එමීර් රජයේ ඩුබායි සිට මෙහෙයවා ඇති බවට පොලිසිය මේ වනවිට කරුණු අනාවරණය කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

(15.06.2021 – 07:02 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රෙස් පර්ල්’ නෞකාවේ දේශීය ඒජන්ත සමාගමේ නියෝජිතයන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකශ සටහන් කර ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

නෞකාවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රකාශ 32 ක් සටහන් කරගෙන ඇති බවයි ඔහු කියා සිටියේ ෴

******************************************

(15.06.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහල යාම සමඟ විදුලි ගාස්තු ද, ඉහළ නැංවීමට සූදානමක් පවතින බවට ලංකා විදුලි පොදු සේවක සංගමය චෝදනා කළා.

ගාල්ල ප්‍රදේශයේදී ඊයේ (14) මාධ්‍ය හමුවක් කැඳවමිනුයි ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා විදුලි ගාස්තු සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව කියා සිටියේ.

කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලය සඳහන් කළේ එවැනි තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි ෴

******************************************

(15.06.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

විවිධ නිෂ්පාදන අඩංගු මිලිලීටර 750 ප්ලාස්ටික් බෝතල් මිලදී ගන්නා විට පාරිභෝගිකයන්ගෙන් රුපියල් 10 ක තැන්පතු මුදලක් ලබා ගැනීමට යෝජනා වී තිබෙනවා.

ඒ එම ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය සඳහා පරිසර අමාත්‍යංශය වෙත ඉදිරිපත් වී ඇති යෝජනා වලට අනුවයි.

ඒ අනුව, අදාල හිස් ප්ලාස්ටික් බෝතලය නැවත භාර දීමෙන් පසු ලබා දුන් රුපියල් 10 ක තැන්පතු මුදල යළි ලබා ගැනීමට පාරිභෝගිකයින්ට හැකි වනවා.

පරිසර අමාත්‍යාංශය සදහන් කළේ මෙම යෝජනාවට අනුව පරිසරයට මුදාහැර ඇති හිස් බෝතල් එකතු කර ලබා දීමෙන් ඕනෑම පුද්ගලයෙකුට අමතර ආදායමක් ලබා ගැනීමට ද හැකි වන බවයි.

මිලිලීටර 750 ප්ලාස්ටික් බෝතල් පරිසරයට එක්වීම වැළැක්වීම සඳහා විකල්ප වැඩ පිළිවලක් ක්‍රියාත්මක කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විසින් අදාළ නිෂ්පාදන සමාගම් වලට සහ මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දී තිබුණා.

කෙසේ වෙතත්, පරිසර අමාත්‍යංශය ප්‍රකාශ කළේ දැනට මෙරට පළාත් පාලන ආයතන සතුව ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කල හැකි කර්මාන්තශාලාවක් නොමැති බවයි.

ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදන සමාගම් එක් කර ගනිමින් ඒකාබද්ධ ප්‍රතිචක්‍රීකරණ කර්මාන්ත ශාලාවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව ඇති බව පරිසර අමාත්‍යංශය සඳහන් කළා.

මෙරට පරිසර දූෂණයට හේතුවන සැෂේ පැකට් ඇතුලු ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන කිහිපයක් මේ වන විට තහනම් කර ඇති අතර තවත් නිෂ්පාදන ලයිස්තුවක් ඉදිරියේදී තහනම් කිරීමට නියමිත බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කළේ ෴

******************************************

(15.06.2021 – 08:19 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගි මාර්ගයේ වැඩකටයුතු නවතා දැමීමට කිසිදු අවස්ථාවක තීරණයක් කර නොමැති බව මහමාර්ග අමත්‍යාංශය පවසනවා.

එහි ලේකම් ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා නිවේදනය කළේ එම අධිවේගි මාර්ගයේ කඩවත සිට මිරීගම දක්වා කොටසේ සංවර්ධන කටයුතු ද අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.

කෙසේ වෙතත්, සැලස්ම යළි සමාලෝචනය කර තීරණයකට එළඹෙන තුරු ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා සදහන් කර තිබුණා.

එහෙත්, මධ්‍යම අධිවේගි මාර්ගයේ ගම්පහ කොටසේ වැඩ තාවකාලිකව නතරකරන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ ප්‍රදේශයේ ජනතාවට අධිවේගි මාර්ගය තැනීමේ කටයුතු සිදුකිරිම නිසා යම් පීඩාකාරි තත්ත්වයක් මතුවී ඇත්නම් හා ඉදිරියේදි ඇතිවීමේ හැකියාවක් පවතිනම් ඒවා මග හරවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට තීරණය කර ඇති බවයි.

අධිවේගි මාර්ගය තැනීමට ප්‍රථම සිදුකළ ශක්‍යතා අධ්‍යනයේදී කළ ජල කළමනාකරණ අධ්‍යනය සමාලෝචනය කිරීමටත්, ජලය බැසයන බොක්කු හා පාලම් සංඛ්‍යාව හෝ ඒවායේ ප්‍රමාණ සංශෝධනය කිරීමට යෝජිත අධ්‍යනයේදී නිර්දේශ කරන්නේ නම් ඒවා ක්‍රියාත්මක කිරීමටයත් තීරණය කළ බවත් මහමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා ෴

******************************************

(15.06.2021 – 08:27 +0530 – hirunews.lk/sinhala)

2021 ජුනි 10 වන දින යුරෝපා පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සම්මත කිරීම ගැන විදේශ අමාත්‍යාංශය කනගාටුව පළ කරනවා.

‘ශ්‍රී ලංකාවේ තත්වය, විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම්’ යන මාතෘකාවෙන් යුත් යෝජනාවේ අසත්‍ය කරුණු අඩංගු වන අතර ප්‍රතිසන්ධානය හා සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව ලබා ඇති බහුවිධ ප්‍රගතිය පිළිබඳ අවබෝධයක් ලබා ගන්නා ලෙසයි විදේශ අමාත්‍යාංශය පවසන්නේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙස ඉල්ලා යුරෝපා සංගම් පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් පසුගිය 10 වනදා සම්මත කර තිබුණා.

මන්ත්‍රීවරුන් 705 දෙනෙකුගෙන් සමන්විත යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 628 ක් ලැබී තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

යෝජනාවට විරුද්ධව ඡන්ද 15 ක් ලැබුණු අතර, 40 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියා.

මෙම යෝජනාවෙන් ඉල්ලා ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීමෙන් පසු අවලංගු කර ජාත්‍යන්තර ත්‍රස්තවාදී පිළිවෙත් අනුගමනය කරන ත්‍රස්ත විරෝධී නීති මගින් එය ප්‍රතිස්ඨාපනය කරන ලෙසයි.

එමෙන්ම ශ්‍රී ලංකාවට ලබාදී ඇති ‘ජී.එස්.පී. ප්ලස්’ බදු සහනය තාවකාලිකව අත්හිටුවන ලෙස යුරෝපා සංගම් පාර්ලිමේන්තුව යුරෝපා සංගම් කොමිසමෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා ෴

******************************************

(15.06.2021 – 08:50 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – තෙල්දෙණිය – දිගන ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයකදී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් සමග දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තෙල්දෙණිය පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ රථවාහන පරීක්ෂාවකදී ජීප් රථයක තිබී අදාළ පිස්තෝලය සහ මිලිමීටර 09 වර්ගයේ උණ්ඩ 10 ක් මෙන්ම පතොරම් ගැබ් දෙකක් (2) ද ඊයේ (14) සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කළගෙඩිහේන සහ පල්ලෙවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

******************************************

(15.06.2021 – 09:15 +0530 – hirunews.lk/sinhala)

අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මුල්කරගෙන බලහත්කාරයෙන් කාන්තාවකගේ වරලස (කොණ්ඩය) කපා දැමූ තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන අධිකරණය හමුව ඉදිරිපත් කිරීමන් පසු ඇප මත මුදාහැර තිබෙනවා.

පසුගිය 13 වනදා ජනප්‍රිය වේදිකා සහ ටෙලිනාට්‍ය නිළියකගේ දියණියකගේ වරලස මෙලෙස කපා දමා ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාවන් තිදෙනෙකු (3) පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාල කාන්තාව අනියම් සම්බන්ධතාව පවත්වාගෙන ගොස් ඇති පුද්ගලයාගේ 41 හැවිරිදි බිරිඳ, ඔහුගේ 17 හැවිරිදි දියණිය සහ අනියම් සම්බන්ධතාව පවත්වාගෙන ගිය කාන්තාවගේ 30 හැවිරිදි නෑනා බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාරියන් තිදෙනා පසුගිය 13 වනදා රාත්‍රියේ පානදුර, ගොරකාන ප්‍රදේශයේ පිහිටා ඇති අදාල කාන්තාවගේ රූපලාවන්‍යාගාරයට කඩාවැදී ඇයට පහර දී ඇයගේ වරලස කපා දමා තිබුණා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අනුව ඊයේ (14) අදාල සැකකාරියන් තිදෙනා (3) අත්අඩංගුවට ගත් බවයි පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ.

අනතුරුව සැකකාරියන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇති අතර ඔවුන් දින 14 ක් නිවසේ නිරෝධායනයට යොමු කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා ෴

******************************************

(15.06.2021 – 10:29 +0530 – hirunews.lk/sinhala)

ඝාතනයට ලක්වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘දඩල්ලගේ මංජු’ හෙවත් ‘ඩී. මංජු’ නැමැත්තාගේ බිරිඳ වන ‘සුදේශිකා සඳරුවනි’, ඇගේ සොහොයුරා සහ තවත් පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය පදිංචිව සිටින වත්තල, ඔලියමුල්ල නිවස හදිසි පරීක්ෂාවකට ලක් කිරීමේදියි මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

සැකකාරිය සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 15 ක් පමණ වන හෙරොයින් ග්‍රෑම් 100 ක් සහ මිලිග්‍රෑම් 250 ක් පොලිස් භාරයට ගැනුණා.

එසේම, ඇගේ සහෝදරයා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 700 ක් සොයා ගැනුනා ෴

******************************************

(15.06.2021 – 11:01 +0530 – hirunews.lk/sinhala)

2021 ජුනි පළමුවැනිදා (01) සිට මාස අටක (8) කාලයක් සඳහා මෙරටට අවශ්‍ය කරන ඩීසල් ආනයනය කිරිමේ කොන්ත්‍රාත්තුව සිංගප්පුරුවේ ‘එම්.එස්. පෙට්‍රෝ චයිනා’ සමාගමට පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

දිගු කාලීන සැපයුම් කොන්ත්‍රාත්තුවක් වන මෙම ගිවිසුම අනුව අදාළ සමගම විසින් සාමාන්‍ය ඩීසල් බැරල් මිලියන 1.13 කට වැඩි ප්‍රමාණයක් සහ සුපිරි ඩිසල් බැරල් 206,2500 ක් මෙරටට අනයනයකරනු ඇති.

එමෙන්ම අදාළ කාල සිමාව සඳහා මෙරටට බොරතෙල් ආනයනය කිරීමේ දිගු කාලීන සැපයුම් කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත්තේ නයිජිරියානු සමාගමකටයි.

ඒ අනුව 2021 ජූනි මස 01 සිට 2022 පෙබරවාරි 28 දක්වා මස නවයක (9) කාලයක් මර්බන් බොරතෙල් ආනයනය කිරීමේ වගකීම නයිජීරියාවේ ‘එම්.එස්. කොන්සියෝ’ සමගම වෙත පැවරෙනු ඇති ෴

******************************************

(15.06.2021 – 11:04 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා මගින් පාලනයවන තෝරාගත් දිස්ත්‍රික් මහා රෝහල් සෞඛ්‍ය රේඛිය අමාත්‍යංශයේ පාලනය යටතේ වැඩි දියුණු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ඊයේ (14) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ජාතික රෝහලේ පවතින වෛද්‍ය ප්‍රතිකාර ශල්‍යාගාර සහ රසායනාගාර පහසුකම් වලට සමාන පහසුකම් වැඩි දියුණු කිරීමට යෝජිත රෝහල් තුළත් ප්‍රතිෂ්ඨාපනය කිරීමට නියමිතයි.

මේ වන විට පළාත් සභා මගින් පාලනය කෙරෙන මාතලේ, නාවලපිටිය, ඇඹිලිපිටිය, අවිස්සාවේල්ල, ගම්පහ, මන්නාරම, වවුනියාව, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික් මහා රෝහල් මෙලෙස නවීකරණය කෙරෙනු ඇති.

එමෙන්ම එම මහා රෝහල් සෞඛ්‍ය අමාත්‍යංශයේ පාලනය යටතට පත් කිරිමත්මත් මෙම කැබිනට් යෝජනාව යටතේ සිදු කෙරෙනවා ෴

******************************************

මාධ්‍යය වසන් කල දෙවනගල කඳුලු කතාවේ තිත්ත ඇත්ත (13.06.2021)

@@@@@@@@@@@@@@

(15.06.2021 – 06:19 +0530 – hirunews.lk/sinhala)

පොලිසිය විසින් නිරෝධායනයට අදාලව සිදුකළ මෙහෙයුම් වලදී අද (15) උදෑසන හයෙන් (06:00) අවසන් වූ ගතවූ පැය 24 තුල නිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1356 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සංඛ්‍යාව දැක්වෙන්නේ නිරෝධනයන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් එක් (1) දිනකදී අත්අඩංගුවට ගත් වැඩිම පිරිස ලෙසයි.

ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 33,946 ක් නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(15.06.2021 – 00:00 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් විවාහ මංගල්‍යක් පැවැත් වූ 16 දෙනෙක් නිරෝධායනයට යොමු කිරීමට යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ (14) පියවර ගෙන තිබෙනවා.

යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ මෙම විවාහ මංගල උත්සවය පවත්වා ඇති අතර ඔවුන් එම උත්සවය පැවැත්වූ නිවස තුලදීම නිරෝධායනට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

නිරෝධායන නීති අනුගමනය නොකරමින් පැවැත් වූ මෙම මංගල උත්සවය සම්බන්ධයෙන් ලද තොරතුරක් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම වැටලීම සිදුකර තිබෙනවා.

++++++++++++++++++++

(15.06.2021 – 08:08 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය සේවාවේ පමණක් දීමනා වැඩිකිරීම හේතුවෙන් සිදුවන අසාධාරණය මගහැරවීම සඳහා රුපියල් 7,500 ක දීමනාවක් අනෙකුත් පොදු සෞඛ්‍ය සේවයට ලබාදීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වන බව සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති කමිටුව පවසනවා.

ඊයේ (14) පැවති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී ද ඒ පිළිබඳව අවධානය යොමුකර ඇති බවයි එහි සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ අද (15) දිනයේ සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිත බවද ඔහු ප්‍රකාශ කළා ෴

++++++++++++++++++

(15.06.2021 – 08:38 +0530 – hirunews.lk/sinhala)

තවත් ආසාදිතයන් 2,324 දෙනෙකු ඊයේ (14) හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත අසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ විසිපන්දහස් නවසිය විසි දෙකක් (2,25,922) දක්වා දක්වා ඉහළ ගියා.

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (13) දින සිදුව ඇති බවට තහවුරු කරන ලද කොරෝනා මරණ 57 ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 2,203 ක් ලෙසයි.

ඊයේ (14) හඳුනාගත් නව ආසාදිතයන් 2,324 දෙනාගෙන් 2,259 දෙනෙකු ‘අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ’ ආශ්‍රිතයන් වනවා.

ඊට අමතරව විදේශයන් හි සිට පැමිණි 65 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනා ගැනුනා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (13) දින සිදුව ඇති බවට තහවුරු කරන ලද කොරෝනා මරණ 57 න් 32 ක් පිරිමින් වන අතර, 25 ක් කාන්තාවන්.

මියගිය වැඩිම පිරිසක් අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 33,255 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 190,464 ක්.

එමෙන්ම කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාගත නොහැකිවූ ශ්‍රී ලාංකිකයින්ට දෙවන (2) මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම සම්බන්ධයෙන් බෝවන රෝග පිළිබඳ උපදේශන කමිටුවේ අදහස කඩිනමින් දැනුම්දෙන ලෙස රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම්දී තිබෙනවා.

ඔහු කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තීකරණය පිළිබඳ විශේෂඥ කමිටුවෙන් කළ විමසීමකදී ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම පිළිබඳ කිසිදු ගැටලු‍වක් නොමැති බව ප්‍රකාශ කෙරුණු බවයි.

ගතවූ පැය විසි හතරේ (24) නිරෝධායන නීති සහ සංචරණ සීමා කඩ කළ පුද්ගලයින් 1,356 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා ෴

++++++++++++++++++

(15.06.2021 – 09:17 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 13,26,784 කට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

ඒ අනුව ඊයේ (14) දිනයේදී පමණක් එන්නතේ පළමු (1) මාත්‍රාව 31,440 කට ලබාදී තිබෙනවා.

එහි දෙවන (2) මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 66,463 ක්.

මීට අමතරව ස්පුට්නික් එන්නතේ දෙවන (2) මාත්‍රාව ඊයේ (14) පුද්ගලයින් 1,576 දෙනෙකුට ලබාදී තිබෙනවා ෴

+++++++++++++++++++++

(15.06.2021 – 10:51 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා නීතිය ක්‍රියාත්මක වෙද්දීත් ජනතාව හැසිරෙන ආකාරය අනුව එයින් සාර්ථක ප්‍රතිඵල නෙළාගත හැකි වේද යන සැකය මතු වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසනවා.

ඇය කියා සිටින්නේ මැතිවරණයකදී වයෝවෘද්ධ පුද්ගලයන්,රෝගීන් ඇදන් පුටුවල තියාගෙන ඔසවාගෙන ඡන්ද මධ්‍යස්ථාන කරා ගෙනියනවා මෙන් එන්නත ලබා ගැනීමට ද උනන්දු වන ලෙසයි.

මෙම වසංගතය පාලනය කිරීම සෞඛ්‍ය අංශයට පමණක් තනිව කළ හැකි දෙයක් නොවන බවත් ජනතා සහයෝගය ද ඉතාමත් අවශ්‍ය බවත් විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසනවා.

ඇය සඳහන් කරන්නේ තවමත් මෙහි භයානකත්වය පහව ගොස් නැති අතර සංචරණ නීති ක්‍රියාත්මක කාලය තුළ රෝගීන්ගේ සහ මරණ සංඛ්‍යාවේ අඩුවීමක් දැකගත හැකි වන්නේ ඉදිරියේදී බවයි.

ඉන්දියාවේ,ඇමෙරිකාවේ සහ එංගලන්තයේ පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය භයානක ප්‍රභේදයක් බැවින් එය අප රට තුළ පැතිර යාම වළක්වා ගැනීමට ගුවන්තොටුපොල වරාය වැනි ස්ථාන වඩාත් සුපරික්ෂාකාරීව කටයුතු කල යුතු බවටයි වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දෙන්නේ.

එමෙන්ම ධීවර කර්මාන්තයේ නිරත වන්නන් විශේෂයෙන්ම ඉන්දීය ධීවරයින් සමග සම්බන්ධ නොවී සිටීම තුළින් ද මෙම වෛරසය රට තුළට ඇතුළුවීම වළක්වා ගත හැකි බවට ඇය සඳහන් කළා.

+++++++++++++++++++++++

(15.06.2021 – 11:13 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (14) වාර්තාවූ ආසාදිතයන් අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ එම සංඛ්‍යාව 526 ක් බවයි.

ඉන් 65 දෙනෙකුම වාර්තාවී ඇත්තේ මීගහවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන අතර, රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 63 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

දොම්පේ ප්‍රදේශයෙන්ද ආසාදිතයන් 59 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, සපුගස්කන්දෙන් 43 දෙනෙකුත්, බියගමින් 42 කුත් හඳුනාගෙන ඇති බව සඳහන්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (14) ආසාදිතයන් 287 දෙනෙකු, රත්නපුරයෙන් 260 දෙනෙකු, කළුතරින් 155 දෙනෙකු සහ ගාල්ලෙන් ආසාදිතයන් 134 දෙනෙකු හඳුනාගනු ලැබුවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *