ඌව, දකුණ සහ මධ්‍යම වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවයි

ඌව, දකුණ සහ මධ්‍යම වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවයි

*********************************************

ඌව, දකුණ සහ මධ්‍යම වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවයි

(14.06.2021 – 16:18 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය හේතුවෙන් ඌව, දකුණ සහ මධ්‍යම පළාත් තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවා තිබෙනවා.

ආරක්ෂාකාරී පියවරක් ලෙස ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයක් ලෙස ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ අංශය සැලකෙන බැවින් ඒ පිළිබදව සලකා බලමිනුයි අදාළ තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව මධ්‍යම සහ දකුණු පළාත්වල ජුනි 30 වන දා දක්වා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එසේම, ඌව පලාතේ ජූලි මස 16 වනදා දක්වා එලෙස වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවතාලිකව අත්හිටුවා තිබෙනවා.

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති කාලය සඳහා දඩ අය නොකිරීමට තීරණය කර ඇති බව සඳහන් ෴

++++++++++++++++++++++

(14.06.2021 – 15:09 +0530 – hirunews.lk/sinhala)

සුපිරි වෙළඳසැල් මගින් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මත්පැන් මිලදී ගත හැකි බවට පැතිර යන ප්‍රචාරයන් පදනම් විරහිත බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++

(14.06.2021 – 15:43 +0530 – hirunews.lk/sinhala)

හිරු ප්‍රවෘත්ති මගින් අනාවරණ කළ බස්නාහිර පළාතේ සිට උණවටුනේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පැමිණ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ගේ නාම ලේඛනය, පොලීසියට ලබාදෙන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (14) නියෝග කළා.

ඒ දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙතයි.

ඊට අමතරව, විනිසුරුවරයා නියෝග කළේ උණවටුන ඖෂධ ගබඩාවට ලැබුණු එන්නත් ප්‍රමාණය සහ ඉතිරි වූ එන්නත් පිළිබඳව ද තොරතුරු ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලබාදෙන ලෙසයි.

අදාළ සිදුවීම සිදුවූ පසුගිය 5 වනදා සහ 7 වනදා එම ස්ථානයේ සී.සී.ටී.වී. දර්ශන ද පොලීසියට ලබාදෙන ලෙස මෙහිදී විනිසුරුවරයා නියෝග කළා.

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලයේදී මෙලෙස කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදුන් බවට ප්‍රදේශවාසීන් චෝදනා කළ අතර, පසුව ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති තුළින් දිගින් දිගටම කරුණු අනාවරණ කළා.

+++++++++++++++++++++++

(14.06.2021 – 16:35 +0530 – hirunews.lk/sinhala)

තමන්ට මේ වනවිට අවම සෞඛ්‍ය පහසුකම්වත් නොලැබෙන බවට කහවත්ත වැල්අඳුර විද්‍යා පීඨයේ ස්ථාපිත කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් පවසනවා.

ඔවුන් ජංගම දුරකතනයක් මගින් එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තත්වය පිළිබඳව දර්ශන සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මගින් නිකුත් කරමින් පවසා සිටින්නේ මේ වනවිට තමන්ට පිටතින් කිසිදු භාණ්ඩයක් ලබාගැනීමටද අවසර හිමි නොවන බවයි.

එසේම ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සිටින ස්ථානවලටම නව රෝගීන් ගෙනවිත් දැමීම මගින් තමන්ගේ ජීවිත දැඩි අවදානමක පවතින බවටත් ඔවුන් එම වීඩියෝව මගින් චෝදනා කරනවා.

එසේම එම වීඩියෝව මගින් ඔවුන් පෙන්වාදෙන්නේ තමන්ට නිසි පරිදි සනීපාරක්ෂක පහසුකම් පවා මේ වනවිට නොලැබෙන බවයි.

ඒ එම මධ්‍යස්ථානයේ වැසිකිළි පද්ධතිය, පොදු පහසුකම් ස්ථාන කිසිදු අයුරකින් පිරිසිදු කිරීමක් හෝ විෂබීජහරණය සිදුනොකිරීම හේතුවෙන්.

අදාල මධ්‍යස්ථානයේ සිට ජංගම දුරකථනයකින් පටිගත කළ දර්ශන පහතින් :

+++++++++++++++++++++++

(14.06.2021 – 17:17 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පැනවීමත් සමඟ විවිධ ප්‍රදේශවල ගොවීන් තම අස්වැන්න වෙළඳපොලට රැගෙනයාමට නොහැකිව අසරණව සිටින්නේ තමන්ට නිසි ප්‍රවාහන පහසුකම් සපයාගැනීමට නොහැකිවීම හේතුවෙන්.

කෙසේ වෙතත් සංචරණ සීමා පැවතියද ගොවීන්ගේ අස්වැන්න වෙළඳපොලට රැගෙන යාමට අවසර ලබා දී තිබෙනවා.

එලෙස තම යතුරුපැදියෙන් අස්වැන්න වෙළඳපොලට රැගෙන යමින් සිටි පුද්ගලයෙකු මහමගදී අසරණභාවයට පත්වන්නේ යතුරු පැදියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන්.

එම අවස්ථාවේ සංචරණ සීමා රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් සිදුකළ අපූරු වැඩක් ගැන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.

එහිදී ඔවුන් මුර සංචාරය මදකට නවතා මෙලෙස අසරණ වූ පුද්ගලයාගේ යතුරුපැදියේ කාර්මික දෝෂය සකස්කර නැවත ඔහුට ගමන්කිරීමට පහසුකම් සලසා දෙනවා.

මෙලෙස එම යතුරුපැදිය සකස්කිරීමට මහමගදී කටයුතු කරන්නේ මඩකලපුව කලවංචිකුඩි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් බවටයි තොරතුරු වාර්තාවන්නේ.

එම අවස්ථාවේ ඡායාරූප :

@@@@@@@@@@@@@@

(14.06.2021 – 15:15 +0530 – hirunews.lk/sinhala)

පරිපූරක වෘත්තීය සේවාවේ අනුස්ථාපන සහ සමායෝජන පාඨමාලාවන් සඳහා උපාධිධාරින් බඳවා ගැනීම වෙනුවෙන් අයදුම්පත් කැඳවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

අදාළ අයදුම්පත් ජුනි 25 වනදාට පෙර යොමුකළ යුතුයි.

වෛද්‍ය රසායනාගාර කාර්මික, විද්‍යාඥ, ඖෂධවේදී, විකිරණ ශිල්පී, භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක යන අනුස්ථාපන සහ සමායෝජන පාඨමාලාවන් සඳහායි මෙලෙස උපාධිධාරින් බඳවා ගැනෙන්නේ ෴

******************************************

(14.06.2021 – 16:10 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර තත්වය පාලනය කිරීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වැඩ පිළිවෙළක් සකසන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (14) නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර තත්වය පාලනය කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ගම්පහ පැවති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

නැවත ගංවතුර තත්වයක් ඇතිවීම වැළක්වීම සඳහා හැකි ඉක්මනින් ජලය බැස යන ජල බස්නා, ඇළවේලි සුද්ධ පවිත්‍ර කළ යුතුව ඇතැයි මෙහිදී නිලධාරීන් පෙන්වා දුන් අතර එම වැඩපිළිවෙළ හෙට සිට අරඹන ලෙස වාරිමාර්ග, මහා මාර්ග හා ඉඩම් ගොඩකිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දුන් අමාත්‍යවරයා ඒ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන වල සහය ලබා දෙන ලෙස පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දන්වනු ලැබුවා.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ නැවත මෙවැනි ගංවතුර තත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු දීර්ඝකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේදී ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ ගංවතුර තත්වයකට මුහුණ දුන් නමුත් ඊට ප්‍රධාන හේතුව මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නොවන බව මහාමාර්ග හා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථා නිලධාරීන් සඳහන් කළා.

නමුත් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා සකස් කර ඇති සේවා සැපයුම් මාර්ගවලින් යම් බලපෑමක් සිදු වූ බව බවද පෙන්වාදුන් නිලධාරීන් සඳහන් කළේ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් වීමත් සමග එම සේවා සැපයුම් මාර්ග ඉවත් කරන බැවින් ඉදිරියේදී එවැනි ගැටලුවක් ඇති නොවන බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළ ජල බස්නා ස්ථාන ඇතුළු ජල බස්නා හා ඇළ වේලි වසර දහයකට ආසන්න කාලයක් සුද්ද පවිත්‍ර නොකිරීම මෙම තත්වයට දැඩිව බලපා තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජලය බැස යන අත්තනගලු ඔය, දී ඇලි ඔය, ඌරුවල් ඔය යන ප්‍රධාන ඇළ මාර්ග සහ යාරු ඇල, කලු ඇල ආදී ජල බස්නා මේ අතර ප්‍රධාන තැනක් ගනු ලබනවා.

සමහර ස්ථානවල ජලය බැස යාමට තරම් ප්‍රමාණවත් ජල බස්නා නොමැති කමද මෙම තත්වයට හේතු වී ඇතැයි ද එම නිලධාරීහු පෙන්වා දුන්නා.

ගංවතුර තත්වයට මුහුණ දුන් ප්‍රදේශවාසීන්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටි අතර අධිවේගී මාර්ගයේ පෙර සැලසුම අනුව යමින් කුළුණු මතින් අධිවේගී මාර්ගය ඉදිකිරීමට යෝජිතව තිබූ ස්ථාන ඒ අයුරින්ම ඉදි කිරීම සුදුසු බව ඔවුහු පැවසූවා.

මේ සම්බන්ධයෙන් ඇතැම් නිලධාරීන් ඉදිරිපත් කරන කරුණු ආණ්ඩුව නොමඟ යැවීම සඳහා හේතුවී ඇතැයි ද ඔවුන් මෙහිදී පෙන්වා දුන්නා.

මේ වන විටත් අධිවේගී මාර්ගයේ සැලසුම නැවත සමාලෝචනය කිරීම අරඹා ඇති බැවින් අවශ්‍යතාවය අනුව ඉදිරියේදී එවැනි පියවර ගැනීමට වුවද රජය සූදානම් බව මෙහිදී මහමාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සඳහන් කළා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඉදිකිරීම් කඩිනමින් අවසන් කළ යුතුව ඇති බව පෙන්වා දුන් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ඉදිරි සති දෙකක (2) කාලය ඇතුලත ගංවතුර තත්වය පාලනය කිරීම සඳහා ගත යුතු දීර්ඝකාලීන වැඩපිළිවෙල සකස් කර ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

එම සති දෙකක කාලය අවසන් වූ වහාම මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සමග සාකච්ඡා කර ගංවතුර තත්වය පාලනය කිරීම සඳහා ඉදිරිපත් කරන දීර්ඝකාලීන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද වැඩිදුරටත් පැවසුවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 422 කට මෙවර ගංවතුර තත්වයෙන් බලපෑම් ඇතිවුණා.

පවුල් 39742 ක පුද්ගලයින් 161,383 ක් පීඩාවට පත්වූ අතර මරණ දෙකක් වාර්තා වුණා.

ග්‍රාම නිලධාරී වසම් 32ක තවමත් ගංවතුර තත්වය පවතින අතර එම ග්‍රාම නිලධාරී වසම් වල පවුල් 3195ක පුද්ගලයින් 12,544 ක් සඳහා සහන සැලසීම නොකඩවා සිදු කෙරනවා.

ඒ සඳහා ඉකුත් සතිය තුළ රුපියල් කෝටි හයකට (6) ආසන්න මුදලක් වැය කර තිබුණා ෴

******************************************

(14.06.2021 – 17:14 +0530 – hirunews.lk/sinhala)

අභියෝගාත්මක අවස්ථාවල ඉන්ධන මිල වැඩි කිරීම වැනි ජනප්‍රිය නොවන තීන්දු ගැනීමට සිදුවන අතර, එවැනි තීරණවලට අභියෝග කිරීමේ කල්ලිවාදි ප්‍රවණතා පරාජය කළ යුතු බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 8 ක් ප්‍රකාශ කරනවා.

ඒ, ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්.

අපේ ජනබල පක්ෂය වෙනුවෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණ ප්‍රධාන ලේකම් අමාත්‍ය වාසුදේව නානායක්කාර, ලංකා සම සමාජ පක්ෂය වෙනුවෙන් මහාචාර්ය තිස්ස විතාරණ මෙන්ම, ජාතික කොංග්‍රසය වෙනුවෙන් ඒ.එල්.එම්.අතාවුල්ලා යන මහත්වරු ඊට අත්සන් තබා තිබෙනවා.

ශ්‍රී ලංකා මහජන පක්ෂය වෙනුවෙන් අසංක නවරත්න, එක්සත් මහජන පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් ජී. වීරසිංහ යන මහත්වරු එම නිවේදනයට අත්සන් තබා තිබෙනවා.

එහි දැක්වෙන්නේ ජනතාව සහ ආණ්ඩුව යන අංශ දෙකම අභියෝගාත්මක ඉරණමකට මුහුණපා සිටින මෙවැනි අවස්ථාවක කවර ආණ්ඩුවකට වුව ද, ජනප්‍රිය නොවන තීරණ ගැනීමට සිදුවන බවයි.

එබඳු තීරණයකින් පීඩාවට පත්වන අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීම අත්‍යාවශ්‍ය වන අතර, ඒ සඳහා සුදුසු යෝජනාවලියක් ඉදිරියේදී ජනාධිපතිවරයාට ලබාදෙන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත්, ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීරණය බලශක්ති අමාත්‍යවරයාගේ කරමත පැටවීමට දරණ වෑයම ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරන ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා අදාළ තීරණ අභියෝගයට ලක් කරමින් ආණ්ඩුව තුල කල්ලිවාදයක් පවතින බවට යන කුකුස ජනතාව ඉදිරියේ තබා ඇති බව ද ප්‍රකාශ කරනවා.

මෙවැනි පරිණත නොවන ක්‍රියාවන් නිසා ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටීමට හේතුවන බව පෙන්වා දෙන අදාළ දේශපාලන පක්ෂ මෙම කල්ලිවාදි ප්‍රවණතාව වහා පරාජය කිරීම ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වගකීම බවයි සඳහන් කරන්නේ.

මේ අතර, වැඩි වූ ඉන්ධන මිල යළි සංශෝධනය කිරීමේ හැකියාව පිළිබඳව අද දිනයේදී අමාත්‍ය මණ්ඩල හමුවේදී සලකා බැලීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග අනාවරණ කළා.

එම අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ වනවිට පැවැත්වෙනවා.

එම නිවේදනය පහතින් :

******************************************

(14.06.2021 – 17:38 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය ආසන්නයේ ගිනිගැනීමට ලක්වූ ‘MV එක්ස්ප්‍රෙස් පර්ල්’ නෞකාවේ රුසියානු ජාතික කපිතාන්වරයා රුපියල් මිලියන දෙකක (2) පෞද්ගලික ඇප මත මුදාහැරීමට කොළඹ අංක 1 ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (14) නියෝග කළා.

නෞකාවේ ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ‘MV එක්ස්ප්‍රෙස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.

සිංගප්පූරුවේ සිට කොළඹ වරාය බලා අන්තරයාකාර භාණ්ඩ සහ තවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන පැමිණි ‘MV එක්ස්ප්‍රෙස් පර්ල්’ නෞකාව ගිනිගැනීමට ලක්වුණේ පසුගිය මැයි මස 20 වනදායි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මැයි මස 23 වනදා කොළඹ වරාය පොලිසියේ පැමිණිල්ලක් ගොනුකළා.

ඒ අනුව සිදුකළ පරීක්ෂණ අනුවයි ඉදිරි පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරකෙරුනේ.

ඒ අනුව පසුගිය මැයි 31 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කණ්ඩායමක් විසින් නෞකාවේ කපිතාන්වරයා, ප්‍රධාන නිලධාරීවරයා සහ ඉංජිනේරුවරයාගෙන් පැය 14 කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තා.

ඒ ඔවුන් ඒ වනවිට නිරෝධායනය වෙමින් සිටි හෝටලය තුලදීයි.

ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රුසියානු ජාතික කපිතාන්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගත්තා.

අනතුරුව ඔහු අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තොටවත්ත හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී නියෝග කෙරුණේ රුපියල් මිලියන 2 ක පෞද්ගලික බැඳුම්කරයක් මත කපිතාන්වරයා මුදා හැරීමටයි.

ඔහුට විදේශගත වීම තහනම් කිරීමට ද අධිකරණය පියවර ගත්තා.

මේ අතර, මුහුදු බත්වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති ධීවර ජනතාවට වන්දි ලබාදෙන තෙක් ඔවුන්ට රුපියල් 5000 දිමනාව ලබා දිම ආරම්භ වී තිබෙනවා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ ඒ සඳහා රුපියල් ලක්ෂ 495 වෙන් කර ඇති බවයි.

මේ අතර, අදත් කළුතර කැලිඩෝ වෙරළ තීරයට මියගිය ඩොල්ෆින් මත්ස්‍යයෙකුගේ සිරුරක් ගොඩගසා තිබුණා.

අද (14) අළුත්ගම – මොරගල්ල වෙරළ තීරයේ තිබී කැස්බෑ මළ සිරුරක් හමුවූ අතර, ඒ අනුව ගත වූ දින 11 තුල මියගිය කැස්බෑවන් 26 දෙනෙකු මෙරට වෙරළ තීරයට ගොඩ ගසා තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *