ඇමති ගම්මන්පිලගෙන් සාගර කාරියවසම්ට අභියෝගයක්

ඇමති ගම්මන්පිලගෙන් සාගර කාරියවසම්ට අභියෝගයක්

*********************************************

ඇමති ගම්මන්පිලගෙන් සාගර කාරියවසම්ට අභියෝගයක්

(13.06.2021 – 16:56 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලා අස්විය යුත්තේ කවුරුන්දැයි යන්න ජනතාව තීරණය කරනු ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඉන්ධන මිල වැඩි කිරීමේ වගකීම භාරගෙන අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් ඊයේ (12) නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

ඊට පිළිතුරු ලබාදීම සඳහා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (13) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

පෙරේදා (11) මධ්‍යම රාත්‍රියේ සිට රජය ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කරනු ලැබුවා.

මෙම තීරණයෙන් පසුව ආණ්ඩුව අභ්‍යන්තරයේ එය යළි සංශෝධනය කිරීම පිළිබඳව සංවාදයක් ඇතිවුණා.

එවැනි පසුබිමකදී ඊයේ (12) පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලිපි ශීර්ෂය යටතේ එහි ලේකම් නීතිඥ සාගර කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනතාව අපහසුතාවයට පත්කරමින් ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් වගකීම විෂය භාර අමාත්‍යවරයා භාරගත යුතු බවයි.

එසේම, ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවටද ඔහු ප්‍රකාශ කළා.

පොදුජන පෙරමුණු ලේකම්වරයාගේ ආන්දෝලනාත්මක නිවේදනයෙන් පසු අද (13) පෙරවරුවේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේදී ආණ්ඩුවේ පක්ෂ කිහිපයක නායකයින්ගේ හමුවක් පවත්වා තිබෙනවා.

එහිදී මෙම තත්ත්වය පිළිබඳව සාකච්ඡා වී ඇති අතර, පසුව අදහස් දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ උදය ගම්මන්පිල අමාත්‍යවරයාට සහයෝගය පළ කිරීමට තීරණය වූ බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාද නිවේදනයක් නිකුත් කර තිබුණා.

එමඟින් ඔහු සඳහන් කළේ ඉන්ධන මිල වැඩි කිරීමේ තීන්දුව ගත්තේ කවුරුන්දැයි නොදන්නා තරමට ආණ්ඩුව අභ්‍යන්තර බල අරගලයට මැදිව සිටින බවයි.

අරගලයේ වින්දිතයින් බවට ජනතාව පත්කොට ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් ආණ්ඩුවේ තෙල් මිල ඉහළ දැමීමේ තීරණය හකුලා ගන්නා ලෙසයි විපක්ෂ නායකවරයා සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ.

(13.06.2021 – 17:16 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ගණන් වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිලිවෙලක එක් ප්‍රධාන සාධකයක් පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

එය රටේ බැංකු පද්ධතිය ශක්තිමත් කර අඩු පොලී අනුපාත පවත්වා ගැනීමටත්, විදේශ විනිමය වියදම් අඩුකර විනිමය අනුපාත ශක්තිමත් කර ගැනීමටත්, සෞඛ්‍ය හා සුබසාධනය සුරක්ෂිත කර ගැනීමටත්, ආනයන මත රඳා පවතින පරිභෝජන ආර්ථිකය දේශීය නිෂ්පාදන මත රඳා පවතින ආයෝජන සහ පරිභෝජන ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීමටත් ගත් තීරණයක් බව එහි සඳහන්.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතු ගණනාවක් පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍යවරයා සහ විෂය භාර ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුවේදී අවධානය යොමු වූ බවයි.

බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 70 ඉක්මවා ඇති අතර, ශ්‍රී ලංකාව ඉන්ධන ආනයනය සඳහා විශාල විදේශ විනිමයක් දරන රටක් බවද ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරනවා.

තෙල් ආනයනය සඳහා වාර්ෂිකව වැයවන මුදල පිළිබඳවද එම නිවේදනයේ කරුණු සඳහන් වන අතර, ආනයන මත රඳා පවතින පරිභෝජන රටාව නිෂ්පාදන මත පරිභෝජන කරන තත්ත්වයට පරිවර්තනය කළ යුතු බවද එහි දැක්වෙනවා.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයක් වශයෙන් පවතින නිසා ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට රුපියල් බිලියන 652 ක ණය ගෙවීමට සිදුව ඇති බවද එහි දැක්වෙන තවත් කරුණක්.

ඒ අනුව පෞද්ගලික සහ පොදු ප්‍රවාහන සේවා සඳහා ඉන්ධන භාවිතය අඩුකළ යුතු අතර, ඉලෙක්ට්‍රික් වාහන භාවිතය ප්‍රචලිත කිරීම වැනි කරුණු තුළින් ප්‍රවාහන පිරිවැය ස්ථාවර කරගත හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

දේශගුණික තත්ත්වයන්ට මුහුණදෙන හරිත ආර්ථිකයක් කරා වන ජාතික සංවර්ධන වැඩසටහනට අනුව පොහොර, ඉන්ධන, වන සම්පත් සහ කැලිකසල ජන ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නංවන අයුරින් කළමනාකරණය කළ යුතු බවයි එහි සඳහන් වන්නේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ධන පරිභෝජනය අවම කර පුනර්ජනනීය බලශක්ති ජනනය කඩිනම් කිරීමට රජය කටයුතු කරමින් සිටින අතර සූර්ය තාප විදුලි නිෂ්පාදන කට්ටල ලබාදීමේ කටයුතු පිළිබඳවද එහි කරුණු දැක්වෙනවා ෴

++++++++++

(13.06.2021 – 17:10 +0530 – hirunews.lk/sinhala)

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේ විශේෂ සාකච්ඡාවක් අද (13) පැවැත් වුණා.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිය පාර්ශ්වන්ගේ සම්පූර්ණ සහාය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත දක්වන බවයි.

******************************************

(13.06.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ආනයනය නතර කිරීමට රජය ගත් තීරණයත් සමග තම වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොමැතිව තමන් පීඩාවට පත්ව ඇතැයි පොළොන්නරුව ගොවීන් පවසනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවි පවුල් 500 ක් පමණ ජීවත් වන බකමූණ සිරිකඳුයාය ප්‍රදේශයේ ගොවීන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ග වන්නේ කුඹුරු ගොවිතැන හා ගොඩ බෝග වගාවයි.

රසායනික පොහොර ආනයනය නතර කිරීමට රජය ගත් තීරණයත් සමග තම වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොමැතිව ප්‍රදේශයේ බඩඉරිඟු ගොවීන් දැඩි ලෙස අසීරුතාවට පත්ව සිටිනවා.

ගොවීන් පවසන්නේ තම වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොලැබීම නිසා අස්වැන්න නෙලීමට ආසන්නව තිබෙන වගා කොටු අත්හැර දැමීමට මේ වනවිට සිදුව ඇති බවයි.

එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් සරු බිම බෙදුම්ඇල ගොවි සංවිධානය මෙවර යල කන්නය යටතේ වගාකරන ලද බී ලූනු වගාවන් සඳහා මෙතෙක් කිසිඳු පොහොර වර්ගයක් නොලැබීමෙන් වගා කටයුතු සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි වගාකරුවන් පවසනවා.

ගොවීන් පවසන්නේ මෙවර යල කන්නය යටතේ ගොවීන් 150 දෙනෙකු පමණ අක්කර 200 කට වැඩි ප්‍රමාණයක බී ලූනු වගා කළද මේ වන විට තවාන් දමා ඇති බී ලූනු පැලද පොහොර නොමැතිව වර්ධනය බාලවී ඇති බවටයි.

******************************************

(13.06.2021 – 17:20 +0530 – hirunews.lk/sinhala)

කළුතර බන්ධනාගාරයේ සීමා තාප්පයට ඉහළින් විසි කරන ලද තහනම් ද්‍රව්‍ය පාර්සලයක් අද (13) දින රාජකාරි කළ බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

අදාල පාර්සලයේ තිබී හෙරොයින් යැයි සැක කළ හැකි ග්‍රෑම් 19 ක් බරැති කුඩා පැකට් 16 ක් සොයා ගැනුනා.

අත්අඩංගුවට ගත් පාර්සලය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කළුතර උතුර පොලිස් ස්ථානය වෙත බාර දී තිබෙනවා.

මේ අතර කළුතර බන්ධනාගාර තාප්පය අසලට පැමිණි නාදුනන පුද්ගලයෙක් බන්ධනාගාර නිලධාරීන් දැක පැමිණි පාපැදියත් දමා පලා ගිය පුවතක් වාර්තා වනවා.

ඊයේ (12) දින සවස් කාලයේ පිටස්තර පුද්ගලයෙක් පාපැදියකින් කළුතර බන්ධනාගාරයේ තාප්පය අසලට පැමිණ සැක කටයුතු ලෙස හැසිරෙමින් සිටි තිබෙනවා .

එදින රාජකාරි කළ බන්ධනාගාර නිලධාරීන් එම පුද්ගලයා පිලිබඳ සැක මතු වී ඔහු අල්ලා ගැනීම සඳහා උත්සාහ දැරූ අවස්ථාවේදී සැකකරු පාපැදියත් දමා දිවගොස් බන්ධනාගාරය පිටුපස ඇති මඩ වගුරකට බැස පලා ගිය බවයි වාර්තා වන්නේ.

ඔහු ලුහු බැදි බන්ධනාගාර නිලධාරීන් පැවති අධික වර්ෂාවත් සමග මඩවගුරට බැසීම අනතුරුදායක නිසා එම පුද්ගලයා අල්ලා ගැනිමේ උත්සාහය ව්‍යර්ථ වුණා.

කෙසේ වෙතත් මෙම සිදුවිම සමිබන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු පැමිණි පාපැදිය කළුතර උතුරු පොලිසිය වෙත භාර දී තිබෙනවා.

******************************************

(13.06.2021 – 18:52 +0530 – hirunews.lk/sinhala)

ගෑස් මිල ඉහළ නැංවීමට කිසිදු තිරණයක් රජය ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළා.

කොළඹ අද (13) පැවැති මාධ්‍ය හමුවකදි රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ ගැස් මිල සම්බන්ධයෙන් එම සමාගම් මුහුණ දි ඇති මුල්‍ය අර්බුදය විසදිම සඳහා ඊට අදාළ නිසි නිර්දේශ ඇමති අනුකාරක සභාව රැස්වි ඉදිරියේදි අමාත්‍ය මණ්ඩලයට යොමු කරන බවයි.

******************************************

(13.06.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala)

මළ අපවහන පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (14) උදෑසන සිට ගාලු පාරේ වැල්ලවත්තේ සිට කොළඹ දෙසට මංතීරුවේ වාහන ධාවනය සීමා කෙරේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පත් අජිත් රෝහණ මහතා රියදුරන්ට දැනුම් දෙන්නේ ඒ සදහා මුහුදු මාවත ඇතුළු විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි ෴

******************************************

(13.06.2021 – 21:24 +0530 – hirunews.lk/sinhala)

වැඩි වූ ඉන්ධන මිල සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ දේශපාලන වේදිකාව තුල පක්ෂ විපක්ෂව පළවූ අදහස්.

******************************************

(13.06.2021 – 21:28 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අදාලව නිකුත් කර ඇති නාය යෑමේ අවදානම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා ෴

******************************************

(13.06.2021 – 22:41 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුහුදු තීරයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වීමෙන් පසු මෙරට වෙරළ තීරයට ගොඩ ගැසූ 24 වැනි කැස්බෑ සිරුර ද අද (13) හමුවුණා.

කෙසේ වෙතත් දිගින් දිගටම කැස්බෑවුන් මිය යෑමට නිශ්චිත හේතුව අණාවරණ කර ගැනීමට බලධාරීන්ට මෙතෙක් හැකියාවක් ලැබී නැහැ.

කොළඹ වරායට නාවුක සැතපුම් 9.5 දුරින් ගිනි ගැනීමට ලක්වූ ‘එම්.වී එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාවේ සිදුවීම හේතුවෙන් මෙරට සමුද්‍ර ජීව සම්පතට එල්ල වී ඇත්තේ සුළුපටු බලපෑමක් නොවේ.

ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස පසුගිය සති එක හමාරක (1½) පමණ කාලය ඇතුළත පමණක් මියගිය කැස්බෑවුන්ගේ සිරුරු 24 ක් වෙරළ තීරයේ විවිධ ස්ථානවලින් හමුවුණා.

අද (13) උදෑසන දෙහිවල සහ බම්බලපිටිය වෙරළ තීරයට මියගිය තවත් කැස්බෑවන් දෙදෙනෙකුගේ (2) සිරුරුගොඩ ගසා තිබුණා.

++++++++

******************************************

අධික වේගයෙන් ධාවනය කළ ඩිෆෙන්ඩර් රථයක් පෙරළෙයි

(13.05.2021 – 12:21 +0530 – sinhala.adaderana.lk)

අධික වේගයෙන් ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයක් වේගය පාලනය කරගත නොහැකිව පෙරළී යෑමෙන් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරුපැදි දෙකක් (2) සහ තවත් මෝටර් රථයකට (1) හානි සිදුව තිබේ.

ඩිෆෙන්ඩර් රථය පෙරළී යෑමෙන් මාර්ග සංඥා පුවරුවක් සහ අසල තිබූ වෙළෙඳ සැලකට ද හානි සිදුවිය.

මහියංගනය 20 කණුව ප්‍රදේශයේදී ඊයේ (12) සවස එම අනතුරු සිදුව ඇත.

අනතුරෙන් තුවාල ලැබූ 5 දෙනෙකු මහියංගනය රෝහලට ඇතුළත් කර තිබේ.

******************************************

මිනිස්සු ඉල්ලන්නේ ඥානසාර හාමුදුරුවෝ – රතන හිමි බෞද්ධයා නැතිකරන කුමන්ත්‍රණයක

(13.06.2021 – colombotoday.com)

මිනිස්සු ඉල්ලන්නේ ඥානසාර හාමුදුරුවෝ බවත් රතන හිමි බෞද්ධයා නැතිකරන කුමන්ත්‍රණයක යෙදී සිටින බවත් අද (13) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කර සිටිනවා.

තමන් කවුද යන්න රතන හිමි හොදින්ම දන්නා බව පැවසු සභාපතිවරයා පොරෝගම සඳහම් සෙවනේ ඇතුළු රතන හාමුදුරුවන්ගේ පැටිකිරිය ඉදිරියේදී එළිකරන බවත් ඊට පෙර ඉල්ලා අස්වී රටේ බෞද්ධයාගේ බලාපොරොත්තුව වන ඥානසාර හිමියන්ට අවස්ථාව ලබා දෙන ලෙසත් වැඩිදුරටත් සඳහන් කරන ලදි.

++++++++++++++

(රතනගෙ සූත්තරේ)

@@@@@@@@@@@@@@

(13.06.2021 – 15:33 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 2031 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 188,547 ක් ලෙසටයි ෴

තවත් කොරෝනා ආසාදිතයින් 1886 ක් මෙරටින් හඳුනාගෙන තිබෙනවා ෴

++++++++++++++++++++

(13.06.2021 – 19:03 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නත් ලබාදිම සහ කොරෝනා ව්‍යාප්තිය හමුවේ අමතර රාජකාරී සඳහා අතුරු දීමනා ලබාදිම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා හෙද සංගමය ඉදිරි සතිය තුළ යළි වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත විමට තිරණය කර තිබෙනවා.

මිට පෙර අවස්ථාවකද සමස්ත ලංකා හෙද සංගමය අසනිප නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වුව ද ඊට විසදුම් ලැබුනේ නැහැ.

මේ අතර ස්පුට්නික්-වී එන්නතේ පළමු (1) මාත්‍රාව අද (13) මහනුවර ප්‍රදේශයේ එන්නත් මධ්‍යස්ථානයක් වෙත ලබා දෙන බවට ජනතාවට දැනුම් දිමත් සමඟ එය සිදු කිරිමට නොහැකි විම නිසා ඉන් අපහසුතාවයට පත් ජනතාව සෞඛ්‍ය නිලධාරින්ට චෝදනා එල්ල කළා.

කෙසේ වෙතත්, පසුව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ලබන 16, 17 යන දෙදින යළි එම පිරිසට ස්පුට්නික්-වී එන්නතේ පළමු (1) මාත්‍රාව ලබා දෙන බවයි.

කොරෝනා එන්නත්කරණ වැඩසටහනට අදාළව මෙරට වැඩිම පිරිසකට එන්නත් ලබාදීම ඊයේ (12) දිනයේදී සිදුකළ අතර, එහිදී එන්නත් ලබාදුන් සංඛ්‍යාව 1,37,067 ක්.

ආසාදිතයින් 2,031 ක් අද (13) සුවය ලබා නිවෙස් වෙත පිටව ගියා. එසේම, අද (13) දිනයේදී ආසාදිතයින් 1,886 දෙනෙකු හඳුනාගත් අතර, ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,23,163 ක්.

තවත් කොරෝනා ආසාදිතයින් 443 ක් මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (13) දිනයේ වාර්තා වූ මුළු ආසාදිතයින් ගණන 2,329 ක් වනවා ෴

+++++++++++++++++++++

කොරියානු විභාගය සමත් පිරිස රැකියා අහිමිවීමේ අවදානමක

(13.05.2021 – 14:15 +0530 – sinhala.adaderana.lk)

පවතින තත්ත්වය මත කොරියාවට යෑමට නොහැකිවීම හේතුවෙන් කොරියානු රජය සමග සාකච්ඡා කර තම රැකියා බලාපොරොත්තු ඉටුකර දෙන ලෙස මෙරට කොරියානු විභාගය සමත් පුද්ගලයින් රජයෙන් ඉල්ලීමක් කරයි.

කොරියානු රැකියා සිහින දකින්නන්ගේ එකමුතුව ලෙස ඔවුන් මාධ්‍ය හමුවක් පවත්වමින් එම ඉල්ලීම සිදුකර තිබේ.

කොරියානු රැකියා සිහින දකින්නන්ගේ එකමුතුවේ කැඳවුම්කරු රංග ගඟබඩගේ මහතා සඳහන් කළේ, “මේ වනවිට කොරියානු රජයෙන් රැකියා ලාභීන් 1600 කට අධික පිරිසකට සේවා ගිවිසුම් ඇවිත් තියෙනවා. මේ 1600 ට මෙරට රජයෙන් කිසිම වැඩපිළිවෙලක් නෑ. එහෙත් රටවල් 4 කින් කොරියාවට ශ්‍රමිකයින් ගන්නවා.”

එහි ලේකම් කසුන් නිමංක මහතා සඳහන් කළේ, “තවත් මාස කිහිපයකින් ඔවුන් ලේඛණවලින් ඉවත්වීමේ අවධානමක් තියෙනවා. අපේ පිරිස ගොඩක් අය ඉඩම් උකස් තියලා ගෙවල් බැංකුවලට තියලා තමයි සල්ලි හොයාගෙන කළේ. ඒ සේරම දැන් අපතේ යන බවක් පේන්නෙ. ආණ්ඩුවෙන් ඉල්ලන්නේ කොරියානු රජය සමග සාකච්ඡා කරලා අපිට විසඳුමක් දෙන්න කියලා,” යනුවෙනි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *