දිනක වැඩිම එන්නත්කරණය ඊයේ – 137,067 කට එන්නත්

දිනක වැඩිම එන්නත්කරණය ඊයේ – 137,067 කට එන්නත්

*********************************************

දිනක වැඩිම එන්නත්කරණය ඊයේ – 137,067 කට එන්නත්

(13.06.2021 – 09:47 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නත්කරණ වැඩසටහනට අදාළව මෙරට වැඩිම පිරිසකට එන්නත් ලබාදීම ඊයේ (12) සිදු කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (12) එලෙස එන්නත් ලබාදීමට කටයුතු කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 137,067 ක්.

මෙරටින් ඊයේ (12) තවත් කොරෝනා ආසාදිතයින් 2,354 දෙනෙකු වාර්තා වුණා.

ඔවුන් අතරින් වැඩිම සංඛ්‍යාව වූ 561 දෙනෙකු හඳුනාගෙන තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

එහිදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් නිට්ටඹුවෙන් හඳුනාගෙන තිබූ අතර එම සංඛ්‍යාව 87 ක්.

ඊට අමතරව බියගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 66 දෙනෙකු සහ මිනුවන්ගොඩින් ආසාදිතයින් 45 දෙනෙකුද ඊයේ (12) හඳුනාගෙන තිබෙනවා.

එසේම, ඊයේ (12) කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 528 ක් වාර්තා වුණා.

ඉන් 90 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ කොළඹ මහ නගර සභා සීමාවෙන්.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 313 දෙනෙකුද ඊයේ (12) හඳුනාගෙන ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

මේ අතර, තවත් කොරෝනා ආසාදිත මරණ 63 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් තහවුරු කරනු ලැබුවා.

ඒ අනුව මැයි 23 වනදා සිට 31 වනදා දක්වා කොරෝනා මරණ 12 ක් සිදුව ඇති අතර ජූනි පළමු වනදා සිට 11 වනදා දක්වා මරණ 51 ක් සිදුව ඇති බවයි රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේ.

එලෙස මිය ගිය පුද්ගලයන් අතර කාන්තාවන් 30 දෙනෙකු සිටින අතර 7 දෙනෙකු නිවෙස් වලදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යන්නේ 2,136 ක් ලෙසින්.

කොරෝනා එන්නත්කරණ වැඩසටහනට අදාළව මෙරට වැඩිම පිරිසකට එන්නත් ලබාදීම ඊයේ (12) දිනයේදී සිදු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

මේ අතර, ස්පුට්නික්-වී එන්නතේ පළමු (1) මාත්‍රාව ලබා දෙන බවට කළ දැනුම්දීමක් මත මහනුවර එන්නත් මධ්‍යස්ථානයක් වෙත පැමිණි පිරිසකට අද එය ලබා නොදෙන බවට දැනුම්දීමෙන් තමන් අපහසුතාවයට පත් වූ බවට ඔවුන් චෝදනා කළා.

එමෙන්ම, නිරෝධායන නීති උල්ලංඝනය කළ වැඩිම පිරිස ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම පිරිස 1,353 ක් වනවා.

එසේම, බස්නාහිර පළාත තුළ ඊයේ (12) සිදුකළ මෙහෙයුමකදී නිරෝධායන නීති තදබල ලෙස උල්ලංඝණය කළ 354 දෙනෙකුද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම මෙහෙයුම අද (13) දිනයේදීත් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මේ අතර, දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන 21 වනදා සඳුදා අලුයම 4 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරන්නේ එම සංචරණ සීමා දැඩිව ක්‍රියාවට නැංවිය යුතු බවයි.

මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව තොග වෙළඳාම සඳහා පමණක් ආර්ථික මධ්‍යස්ථාන අද (13) දිනයේදීත් විවෘතව තැබෙනවා.

පෑලියගොඩ මැනිං තොග වෙළඳපොලට ලැබී තිබූ එළවලු වර්ග කිහිපයකම මිල පහළ ගොස් තිබූ අතර වෙළඳුන් පැමිණීමේ අඩුවක්ද දක්නට ලැබුණා.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට අද (13) දිනයේදී මත්ස්‍ය තොග සාමාන්‍ය පරිදි ලැබී තිබුණද මාළු වර්ග කිහිපයක මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

මාළු මිලදී ගැනීමට පාරිභෝගිකයන් පැමිණීමේ අඩුවක්ද පවතින බවයි මත්ස්‍ය වෙළඳුන් සඳහන් කළේ.

+++++++++++++++++++++++++

(13.06.2021 – 10:05 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (12) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2,354 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව වූ 561 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.

එහිදී නිට්ටඹුවෙන් ආසාදිතයින් 87 දෙනෙකු වාර්තා වී තිබූ බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 528 ක් වාර්තා වුණා.

ඉන් 90 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ මහ නගර සභා සීමාවෙන්.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 313 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

එමෙන්ම, කොරෝනා එන්නත්කරණ වැඩසටහනට අදාළව වැඩිම පිරිසකට එන්නත් ලබාදී ඇත්තේ ඊයේ (12) දිනයේදීයි.

ඒ අනුව පුද්ගලයින් 137,067 දෙනෙකුට එන්නත් ලබාදීමට කටයුතු කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++++++

(13.06.2021 – 10:25 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ මැනිං තොග වෙළෙඳ පොළට දිවයිනේ සෑම පලාතකින්ම පාහේ එළවළු තොග ඉතා හොඳින් ලැබී තිබුණු බව අප වාර්තකරු පවසනවා.

මේ නිසා අද (13) දින යම් මිල පහළ යෑමකුත් දක්නට ලැබුණා.

කෙසේවෙතත් වෙළඳුන් පැවසුවේ මිල ගණන් පහළ ගිය ද සිල්ලර වෙළෙඳුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ඇති බවයි.

මැනිං වෙළඳ පොළ දිනපතා විවෘත කලහොත් එළවළු මිල ගණන් මීටත් වඩා අඩු විය හැකි බවයි තොග වෙළඳුන් පවසන්නේ.

මේ අතර ඉන්ධන මිල ඉහළ යෑම තමන්ගේ රැකියාවට ගැටළුවක් බවයි ඩිලිවරි සඳහා පැමිණි රථ වාහනවල වෙළඳුන් පැවසුවේ.

අද (13) දින පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු තොග සාමාන්‍ය පරිදි ලැබී තිබුනත් මාළු වර්ග කිහිපයක මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

මාළු මිලදී ගැනීමට පාරිභෝගිකයන් පැමිණීමේ ඉතා අඩුවක් ඇති බවයි වෙළඳුන් පවසන්නේ.

++++++++++++++++++

(13.06.2021 – 13:20 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හමුවේ රාජකාරී කටයුතුවල නිරත වන හෙද කාර්ය මණ්ඩලවල පොදු පහසුකම් ගැටළු විසඳීම, හෙද සේවාවට කලින් පොරොන්දු වූ අතුරු දීමනා ලබාදෙන ලෙස ඉල්ලමින් යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී. මැදිවත්ත කියා සිටියේ සිය ගැටළුවලට විසඳුම් නොලැබෙන්නේ නම් එළැඹෙන සතියේදී සියලු රෝහල්වල හෙද හෙදියන් සම්බන්ධ කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි ෴

@@@@@@@@@@@@@@@@

(13.06.2021 – 11:07 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායට නාවුක සැතපුම් 9.5 දුරින් ගිනි ගැනීමට ලක්වූ ‘එම්.වී එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාවේ සිදුවීම හේතුවෙන් මෙරට සමුද්‍ර ජීව සම්පතට එල්ල එල්ල කර ඇත්තේ සුළුපටු බලපෑමක් නොවේ.

ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිදි පසුගිය සති එක හමාරක (1½) පමණ කාලය ඇතුළත මිය ගිය කැස්බෑවුන් ගේ සිරුරු විශාල ප්‍රමාණයක් නැගෙනහිර (? බටහිර)වෙරළ තීරයේ තැන් තැන්වල හමුවුණා.

අද (13) උදෑසන තවත් මියගිය කැස්බෑ සිරුරක් දෙහිවල වෙරළ තීරයට ගොඩ ගසා තිබුණා.

මේ පසුගිය දින දහය (10) තුළ වාර්තා වූ 21 වැනි කැස්බෑ මරණයයි.

ඊයේ (12) සහ පෙරේදා (11) දෙදින තුළ මියගිය කැස්බෑ සිරුරු දෙකක් (2) ගාලු මුවදොරට ද ගොඩ ගසා තිබුණා.

මෙලෙස මියගොස් වෙරළට ගොඩ ගසා තිබුණු කැස්බෑ සිරුරු වනජීවී දෙපාර්තමේන්තුව රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කෙරුණ ද ඒ කිසිවකගේ වාර්තා මෙතෙක් මාධ්‍යට හෙළි වී නැහැ.

මේ අනුව මෙම අසාමාන්‍ය කැස්බෑ මරණයන්ට හේතුව මෙතෙක් පවතින්නේ අභිරහසක් ලෙසටයි.

+++++++++

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්නත් සමග ජීවනෝපාය අහිමි වූ ධීවර පවුල්වලට අනිද්දා (15) සිට රුපියල් පන්දහසේ (5000) දීමනාව ලබාදීමට බලාපොරොත්තුවන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා ෴

******************************************

හෙරොයින් සමග වැලිගමදී අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් මත්ද්‍රවශ නාශක කාර්යාංශයට

(13.06.2021 – 12:41 +0530 – hirunews.lk/sinhala)

වැලිගම – මිරිස්ස – පොල්අතුමෝදර වෙරළ තීරයේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 200 කට වැඩි වටිනාමකින් යුත් හෙරොයින් තොගය මෙරටට ගෙන්වීම පිටුපස ‘හරක් කටා’ නමින් හඳුන්වන ප්‍රබල පාතාල කල්ලි නායකයාගේ ගෝලයෙකු සිටින බවට තොරතුරු හෙළි වී තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසන්නේ මුහුදු මාර්ගයෙන් විශාල ප්‍රමාණයේ බහුදින යාත්‍රා යොදා ගනිමින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.

විශාල ප්‍රමාණයේ බහුදින ධීවර යාත්‍රා මගින් ගෙන එන මත්කුඩු පසුව මුහුද මැදදී කුඩා බෝට්ටුවලට පටවා ඇසුරුම් කර අනතුරුව බෙදා හැර ඇති බවටයි මූලික පරීක්ෂණවලදී හෙලි වී ඇත්තේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 09 දෙනා මීට පෙරද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයින් බව පොලිසිය ප්‍රකාශ කළා.

රාජ්‍ය බුද්ධි අංශය සහ නාවික හමුදාව එක්ව අද (13) අලුයම සිදුකළ මෙහෙයුමකදි කිලෝග්‍රෑම් 219 ක අධික හෙරොයින් සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

අදාළ හෙරොයින් තොගය බහුදින යාත්‍රාවක් මඟින් වැලිගම ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී ඩිංගි යාත්‍රාවකට පටවා පොල්අතුමෝදර වෙරළ තීරයේදී ගොඩබිමට ප්‍රවාහනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

කෙසේ වෙතත් රාජ්‍ය බුද්ධි අංශය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමේදි ගෑස් සිලින්ඩර සහ ගෝනි වල සූක්ෂම ලෙස සඟවා තිබු මෙම හෙරොයින් තොගය සොයා ගත්තා.

පෙරේදා (11) දිනයේදි මාතර කෝට්ටේගොඩ ධීවර වරයෙන් පිටත්ව ගොස් ඇති අදාල බහුදින ධීවර යාත්‍රාව ජාත්‍යන්තර මුහුදේදී විදේශීය ජාවාරම්කරුවන් මාර්ගයෙන් මෙම හෙරොයින් තොගය ලබා ගන්නට ඇති බවට සැක පලකරන බවයි නාවික හමුදාව සඳහන් කළේ.

වැලිගම ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 219 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 9 දෙනා වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදුන් බව නාවික හමුදාව පවසනවා ෴

++++++++++

(13.06.2021 – 17:30 +0530 – hirunews.lk/sinhala)

වැලිගම ප්‍රදේශයේදී අද (13) සොයා ගැනුණු හෙරොයින් කිලෝ 219 යි ග්‍රෑම් 200 ක තොගය ඉරාන සහ පාකිස්ථාන දේශ සීමාවේ සිට ඒවා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මේ සමඟ සැකකරුවන් 11 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම ජාවරම මෙහෙයවන ලද ප්‍රධාන පුද්ගලයා මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෙකු බවට අනාවරණය කරගෙන තිබෙනවා.

අදාළ හෙරොයින් තොගය බහුදින යාත්‍රාවක් මඟින් වැලිගම ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී ඩිංගි යාත්‍රාවකට පටවා පොල්අතුමෝදර වෙරළ තීරයේදී ගොඩබිමට ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බවටයි කරුණු අනාවරණය වුණේ.

කෙසේ වෙතත් රාජ්‍ය බුද්ධි අංශය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමේදී ගෑස් සිලින්ඩර සහ ගෝනි වල සූක්ෂම ලෙස සඟවා තිබු මෙම හෙරොයින් තොගය සොයා ගත්තා.

******************************************

(13.06.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala)

වැඩි වූ ඉන්ධන මිල යළි සංශෝධනය හෙට (14) රැස්වන කැබිනට් මණ්ඩලයේදී සලකා බැලීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ඒ, ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් පාර්ශව රැසකින් එල්ල වී ඇති විරෝධතා සැලකිල්ලට ගනිමින්.

අමාත්‍ය මණ්ඩලය හෙට (14) පස්වරු පහට (05:00) රැස්වීමටයි නියමිතව ඇත්තේ.

පෙරේදා (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය තීරණය කළා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 20 කින්, ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 23 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 07 කින්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 12 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 07 කින් ඉහළ ගියා.

ඊයේ (12) දහවල් වනවිට වාර්තා වූයේ ආණ්ඩුවේම පාර්ශව මෙම ඉන්ධන මිල වැඩි වීම යළි සංශෝධනය කරන ලෙස ඉල්ලීම් කර ඇති බවයි.

එවැනි පසුබිමක ඛනිජ තෙල් අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා.

දැනට ඉදිරිපත් වී ඇති අදහස් සියල්ල හෙට (14) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ.

මීට පෙර අමාත්‍ය මණ්ඩලය ඉන්ධන මිල වැඩි කිරීමට අනුමැතිය ලබාදී ඇති බවට වාර්තා පළ වුණා.

කෙසේ වෙතත්, ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසන්නේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබන අලාභය සැලකිල්ලට ගනිමින් ඉන්ධන මිල ඉහළ දැමීමට යෝජනාවක් ඉදිරිපත් වූ බවයි.

එම යෝජනාව මෙවැනි අවස්ථාවක ක්‍රියාත්මක කිරීම සුදුසු නොවන බව අමාත්‍ය මණ්ඩලයේදී කතාබහට ලක්වූ බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, විෂය භාර අමාත්‍යවරයාගේ වගකීමට යටත්ව එය සුදුසු පරිදි ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුව එකඟ වී තිබෙනවා.

ඉන්ධන මිල වැඩි කිරීමෙන් පසු ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇති වූ සංවාදය අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කළා.

එහි සඳහන් වුණේ ජනතාව අසීරුතාවට පත්වූ මොහොතක ඉන්ධන මිල වැඩි කිරීමට විෂය භාර අමාත්‍යවරයා ගත් තීරණයට ඔහු ඍජුව වගකිව යුතු බවයි.

එවැනි තත්ත්වයක් උද්ගත කිරීම පිළිබඳව වගකීම භාරගෙන ඔහු සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවද අදාළ නිවේදනයේ සඳහන් වුණා.

මේ අතර, පොදුජන පෙරමුණේ මෙම චෝදනාවලට පිළිතුරු දීම සඳහා ඛනිජ තෙල් විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (13) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.

මීට අමතරව ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන්ද පසුගියදා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා.

එහිදී අමාත්‍ය මණ්ඩලය එම යෝජනාව ප්‍රතික්ෂේප කළ අතර, විකල්ප යෝජනා සලකා බැලීමට පංච පුද්ගල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබෙනවා.

කෙසේ වෙතත්, ගෑස් සමාගම් ඊයේ (12) හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකට රුපියල් 500 කට වැඩි මිල වැඩිවීමක් අවශ්‍ය බවයි.

******************************************

(13.06.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදුකරන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිට වූ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

ඒ, ඊයේ (12) මහාමාර්ග අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි.

එහිදී මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල සිදුවූ බවට චෝදනා එල්ල වූ ජල ගැලීම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

එහිදී අවසන් වශයෙන් තීරණය වී ඇත්තේ මෙම අධිවේගී මාර්ගයේ ගම්පහ දිස්ත්‍රික් සීමාවේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ සැලැස්ම යළි සමාලෝචනය කිරීමටයි.

******************************************

(13.06.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළඳපොලේ රන් මිල ඉදිරි මාස කිහිපය තුළ වැඩිවීමේ ප්‍රවණතාවක් අපේක්ෂා කළ හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

ඒ, ගෝලීය උද්ධමනය අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ අගයක් ගැනීම හේතුවෙන්.

උද්ධමනය ඉහළ යෑමත් සමඟ රන් මිලෙහි වර්ධනයක් බොහෝ විට අපේක්ෂා කළ හැකියි.

සති අන්තය වනවිට ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල ඩොලර් 1876.87 ක් ලෙස සටහන් වූයේ සතිය තුළ මිලෙහි අඩුවීමක් සලකුණු කරමින්.

කෙසේ නමුත්, අමෙරිකාවේ වාර්ෂික උද්ධමනය ඉහළ යෑම වසර 13 කින් ඉහළම අගය සලකුණු කිරීම නිසා රන් මිල නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂිතයි.

ඒ අනුව නුදුරේදීම රන් අවුන්සයක් ඩොලර් 1950 ත්, ඩොලර් 1975 ත් අතර මිලක් දක්වා ඉහළ යා හැකි බව විශ්ලේෂකයින්ගේ අදහසයි ෴

******************************************

(13.06.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කරමින් විවිධ පුද්ගලයින් බිය වද්දා සිදුකරන මුදල් ලබා ගැනීමේ ජාවාරමක් පිළිබඳ වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ දුරකතන ඇමතුම් අතර තිබූ අංකයක් බව පවසමින් පසුගිය දිනක වේයන්ගොඩ මාළිගාතැන්න ප්‍රදේශයේ කාන්තාවකට කිසියම් පුද්ගලයෙක් දුරකතන ඇමතුමක් ලබා දී තිබෙනවා.

මිරිහාන පොලිසියට අනුයුක්තව සේවය කරන බුද්ධි අංශයේ උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිට ඇති එම සැකකරු මෙම මුදල් වංචාව සිදු කර ඇති බව වාර්තා වන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *