දකුණු මුහුදේ මෙහෙයුමකින් හෙරොයින් කිලෝ 200 ක් හමුවෙයි – සැකකරුවන් 9 ක් අත්අඩංගුවට

දකුණු මුහුදේ මෙහෙයුමකින් හෙරොයින් කිලෝ 200 ක් හමුවෙයි – සැකකරුවන් 9 ක් අත්අඩංගුවට

*********************************************

දකුණු මුහුදේ මෙහෙයුමකින් හෙරොයින් කිලෝ 200 ක් හමුවෙයි – සැකකරුවන් 9 ක් අත්අඩංගුවට

(13.06.2021 – 06:30 +0530 – hirunews.lk/sinhala)

දකුණු මුහුදු තීරයේ කළ වැටලීමකින් බහුදින ධීවර යාත්‍රාවක තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200 ක් සොයාගෙන තිබෙනවා.

අද (13) අලුයම වැලිගම පොල්අතුමෝදර ප්‍රදේශයේදීයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

ගෑස් සිලින්ඩර් සහ ගෝනිවල අසුරා මෙම මත්ද්‍රව්‍ය රැගෙන විත් තිබෙනවා.

රාජ්‍ය බුද්ධි සේවයට ලැබුනු තොරතුරකට අනුව නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් හෙරොයින් සඟවා තිබූ කුඩා යාත්‍රාවක සිටි පුද්ගලයින් 06 දෙනෙකු සහ යාත්‍රාව අසල වෙරළ තීරයේ සිටි තවත් තුන් දෙනෙකු (3) අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියා සිටියා.

++++++++++++

+++++++++++++++

(13.06.2021 – 09:42 +0530 – hirunews.lk/sinhala)

වැලිගම පොල්අතුමෝදර ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමෙන් සොයාගත් හෙරොයින් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 1758 කට (රු. කෝටි 175.8) අධික බව නාවික හමුදාව පවසනවා.

මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කරමින් තිබියදීයි මෙම හෙරොයින් තොගය අද (13) අලුයම සැකකරුවන් 9 දෙනෙකු ද සමග අත්අඩංගුවට ගැනුනේ.

රාජ්‍ය බුද්ධි සේවයට ලැබුනු තොරතුරකට අනුව නාවික හමුදාව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ වෙරළාරක්ෂක බලකාය එක්ව ඊයේ (12) රාත්‍රියේ සිට මෙම මෙහෙයුම සිදුකර තිබුණා.

අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ 219 යි ග්‍රෑම් 800 ක්.

බහුදින ධීවර යාත්‍රාවක් මගින් වැලිගම ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට රැගෙන විත් පසුව ඩිංගි යාත්‍රාවක් යොදා ගනිමින් පොල්අතුමෝදර ප්‍රදේශයෙන් ගොඩබිමට ප්‍රවාහනය කර සැඟවීමටයි උත්සාහ කර ඇත්තේ.

මෙහිදී උර සහ ගෑස් සිලින්ඩර් තුල සූක්ෂම ලෙසට අසුරා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ආරක්ෂක අංශ විසින් සොයාගනු ලැබුවා.

බහුදින යාත්‍රාව, ඩිංගි යාත්‍රාව සහ එම යාත්‍රාවන්හි සිටි ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 9 දෙනෙකුයි සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව පසුගිය මැයි මස 11 වනදා මාතර කොට්ටේගොඩ ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇති අතර ජාත්‍යන්තර මුහුදේදී විදේශීය ජාවාරම්කරුවන් මාර්ගයෙන් මත්ද්‍රව්‍ය තොගය බහුදින ධීවර යාත්‍රාව වෙත ලබාගන්නට ඇති බවට සැක කෙරෙනවා.

කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් මෙන්නම ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කළ මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 ත් 43 ත් අතර පසුවනවා.

ඔවුන් වැලිගම, අහංගම, දික්වැල්ල, කොට්ටේගොඩ, ඉහළවත්ත, මිරිස්ස, පොල්අතුමෝදර සහ පිළියන්දල ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් සහ හෙරොයින් සම්බන්ධ වැඩිදුර විමර්ශණ කටයුතු නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකරමින් පවතිනවා.

******************************************

(12.06.2021 – 19:36 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 7 ක ජල සැපයුම සහ සනීපාරක්ෂක පහසුකම් පුළුල් කිරීම සඳහා අතිරේක මූල්‍ය පහසුකම් සැපයීමට ලෝක බැංකුව සූදානම් වනවා.

අදාළ යෝජනාවට ලෝක බැංකු විධායක මණ්ඩලයේ අනුමැතිය ද හිමිව ඇති බව සඳහන්.

ව්‍යාපෘතිය මගින් බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල ජනගහනය වැඩි ප්‍රදේශ ඉලක්ක කරගෙන ජල සැපයුම් සහ සනීපාරක්ෂක සේවා පුළුල් කිරීමේ කටයුතු සිදුකෙරෙනු ඇති.

මෙය ලෝක බැංකුව, ශ්‍රී ලංකාවට එලෙස අරමුදල් සපයන 3 වන අවස්ථාවයි ෴

******************************************

(13.06.2021 – 07:20 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් ‘කරුපයියා බාලන්’ නොහොත් ‘තෙල් බාලා’ නැමති සංවිධානාත්මක අපරාධකරුගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘කරුපයියා නිර්මලා’ නම් සැකකාරිය 41 හැවිරිදි අයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

එම කාන්තාව මෙරට අපරාධ රැසකින් පසු ඉන්දියාවට පළාගොස් සිටින ‘තෙල් බාලා’ නම් සැකකරුගේ දියණිය බවට හෙළිකරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ මෙම සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 50 ක් ද සොයාගෙන ඇති බවයි.

අදාළ කාන්තාව විමර්ශන සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී තිබෙනවා.

මෙම සැකකාරියගේ පියා වන ‘තෙල් බාලා’ නම් සැකකරු මෙරට සිදුකළ අපරාධ රැසකින් පසු මීට වසර 15 කට පමණ පෙර ඉන්දියාවට පළාගොස් ඇති අතර අනතුරුව මීට වසර තුනකට (3) පමණ පෙර ඔහු තමිල්නාඩුවේදී මරණයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ ෴

******************************************

(13.06.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

අද (13) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති වනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30 ක් 40 ක් පමණ වන අතර එය පැයට කිලෝමීටර් 50 ක් පමණ දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

මේ අතර, වයඹ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩුපීඩන කලාපය ඉදිරි පැය 24 තුළ තවදුරටත් වර්ධනය වනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසයි ඔවුන් දැනුම්දෙන්නේ ෴

******************************************

(13.06.2021 – 08:32 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල වැඩිකිරීමේ වගකීම භාරගෙන විෂය භාර අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නිකුත් කළ නිවේදනය පිළිබඳ අද (13) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා පිළිතුරු දෙන බව අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා.

ඉන්ධන මිල ඉහල දැමිම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සෘජුව වගකිව යුතු බැවින් එවැනි තත්ත්වයක් උද්ගත කිරීම පිළිබදව සම්පුර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කළේ.

ඒ, එහි ප්‍රධාන ලේකම් නිතිඥ සාගර කාරියවසම්ගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින්.

කොරෝනා අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනතාව තවත් අසීරුතාවට පත්වන අකාරයේ තීරණයක් ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති තත්ත්වයට රජය පත්කිරීම ගැන දැඩි අවධානය යොමු ඇති බවයි එහි දැක්වෙන්නේ.

වුවමනාවෙන්ම පක්ෂය සහ එහි නායකයන් අප්‍රසාදයට පත්කිරීම උදෙසා මෙවැනි තත්ත්වයක් ඇති කරන්නේ දැයි සාධාරණ සැකයක් පවතින බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඉහළ දැමූ තෙල් මිල සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ සංවාදයක් ඇතිව තිබෙන බව ඊයේ (12) දිනයේම හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුනා.

ඉන්ධන මිල සංශෝධනයට සහනයක් ලබාදිය හැකි ද යන්න පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වෙමින් පැවති අතර මෙතෙක් ඒ පිළිබද අවසන් තීරණයක් ගෙන නැහැ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කළා.

තෙල්මිල ඉහල නැංවීමට ගත් අත්තනොමතික තීන්දුව ආපසු හැරවීම මිස ආණ්ඩුවට ගැලවීමේ කිසිදු ක්‍රියාමාර්ගයක් නොමැති බවයි විපක්ෂ නායකවරයා එහිදී ප්‍රකාශ කළේ.

එසේම, ඔහු එහිදී ආණ්ඩුවෙන් සහ පොදුජන පෙරමුණෙන් ප්‍රශ්න කිහිපයක් විමසා ඇති අතර, තෙල් මිල ඉහල දැමිමේ තීන්දුව එක් අමාත්‍යවරයෙකු විසින් හිතු මනාපයට ගත්තේ කෙසේ ද යන්න විමසා තිබෙනවා.

සාමාන්‍යයෙන් මෙවැනි තීන්දු ගනු ලබන්නේ කැබිනට් මණ්ඩලය විසින්ද ගනු ලබන තීන්දු ප්‍රාකාරව බැවින් අදාල තීන්දුවට එක් අමාත්‍යවරයෙකු චුදිතයෙකු වන්නේ කෙසේ දැයි විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් විමසා සිටියා.

@@@@@@@@@@@@@@

(12.06.2021 – 20:29 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 707 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරටින් අද (12) දවස තුල හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2340 ක් ෴

+++++++++++++++++++++++

(13.06.2021 – 06:37 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගතවූ දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 63 ක් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2136 ක් ලෙසටයි.

ඊයේ (12) දිනයේ තහවුරු කළ මරණවලින් 13 ක් සිදුවී ඇත්තේ මැයි මස 23 වනදා සිට මැයි මස 31 වනදා දක්වා කාලය තුලයි.

මෙම මස පළමුවනදා සිට පෙරේදා (11) දිනය දක්වා සිදුවූ මරණ 51 ක් ද කොවිඩ් ආසාදිත මරණ වශයෙන් තහවුරු කර තිබෙනවා.

කෙසේවෙතත් ඊයේ (12) දිනයේ මෙරටින් කොවිඩ් මරණ වාර්තාවී නොමැති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියාසිටියේ.

ඊයේ (12) තහවුරු කළ මරණ 63 අතරට කාන්තාවන් 30 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 33 දෙනෙකු වනවා.

ඔවුන්ගෙන් 07 දෙනෙකු නිවසේදී මියගොස් ඇති අතර රෝහල් ගතකරන අවස්ථාව වන විට මියගිය සංඛ්‍යාව 09 ක්.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර 47 දෙනෙකු මියගොස් තිබෙනවා.

මේ අතර නව අසාදිතයින් 2354 දෙනෙකු ඊයේ (12) වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,21,277 දක්වා ඉහළ ගියා.

ඊයේ (12) වාර්තා වූ ආසාදිතයින් අතරින් 14 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වන අතර, අනෙක් ආසාදිතයින් 2,340 දෙනා ‘අලුත් අවුරුදු කොරෝනා පොකුරේ’ ආසාදිතයින්.

මේ වනවිට රෝහල්ගතව ආසාදිතයින් 32,688 ක් ප්‍රතිකාර ලබන අතර, සම්පූර්ණයෙන්ම සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 186,516 ක්.

මේ අතර, කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 1,269,157 දෙනෙකුට ලබාදී තිබෙනවා.

එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 154,640 ක්.

එසේම, කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 925,242 දෙනෙකුට ලබාදී ඇති අතර, පුද්ගලයින් 355,358 දෙනෙකුට එහි දෙවන (2) මාත්‍රාව ලබාදී තිබෙනවා.

රුසියානු ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 64,986 දෙනෙකුට මේ වනවිට ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

එහි දෙවන (2) මාත්‍රාව ලබාදීම අද (13) ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් එම කටයුතු ආරම්භ කරන බවයි.

සියලුම වෙළඳ කලාප සේවක සේවිකාවන් සදහා එන්නත් ලබාදීම ලබන මස මුල් සතියේ ආරම්භ කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළා.

මේ අතර, නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 1,353 දෙනෙකු ඊයේ (12) දිනය තුළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ එය දිනකදී නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් වැඩිම සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත් අවස්ථාව බවයි.

+++++++++++++++++++

(13.06.2021 – 06:57 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත ගතවූ පැය 24 ක කාලය තුල පොලිසිය විසින් සැකකරුවන් 1353 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිරෝධායන නීති ක්‍රියාත්මක වීම ආරම්භ වූ පසුගිය 2020 වසරේ මාර්තු මස 20 වනදායින් පසු එක් (1) දිනක් තුලදී අත්අඩංගුවට ගත් වැඩිම පිරිස මෙය බවයි පොලිසිය කියාසිටියේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනා මත ඊයේ (12) දිනය දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 31,395 ක් බවයි.

මේ අතර රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේදී පොලිසිය විශේෂ ඩ්‍රෝන මෙහෙයුමක් සිදුකර ඇති අතර එහිදී ද පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර බස්නාහිර පළාත තුල ඊයේ (12) පැය 4ක් තුල සිදුකළ විශේෂ මෙහෙයුමකින් නිරෝධායන නීති උල්ලංඝණය කළ 354 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (12) උදෑසන 10 සිට 12 දක්වා සහ සවස 3 සිට 5 දක්වායි මෙහෙයුම සිදුකර ඇත්තේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ පුද්ගලයන් 11,723 ක් මෙහිදී පරීක්ෂාවට ලක්කර බවයි.

අත්අඩංගුවට ගත් පිරිසගෙන් වැඩිම සංඛ්‍යාවක් අත්අඩංගුවට පත්වී ඇත්තේ කැළණිය ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 75 ක්.

ගම්පහ ප්‍රදේශයෙන් 68 ක් සහ මැද කොළඹ ප්‍රදේශයෙන් 56 ක් අත්අඩංගුවට පත්වී තිබෙනවා.

වාහන 218 ක් ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අද (13) දිනයේදීත් බස්නාහිර පළාත ආවරණය කරමින් මෙම මෙහෙයුම සිදු කිරීමට නියමිතයි.

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් කොළඹ ප්‍රදේශයේ අනවසරයෙන් සැරිසරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම මෙහි අරමුණ බවයි පොලිසිය කියාසිටියේ ෴

++++++++++++++++++++++

(13.06.2021 – 08:28 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයත් සමඟ මෙරට ක්‍රියාත්මක වන මාර්ගගත හෙවත් ඔන්ලයින් අධ්‍යාපනය සියයට 60 කින් අසාර්ථක බව ලංකා ගුරු සංගමය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ රජය මගින් ඉදිරිපත් කර ඇති මාර්ගෝපදේශ මගින් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදයේ පවතින ප්‍රායෝගික ගැටලු නිරාකරණය සඳහා විසඳුම් ලබාදී නොමැති බවයි.

මේ අතර, බිබිල – ලුණුගල – පල්ලෙකුරුව ප්‍රදේශයට අන්තර්ජාල සංඥා නොමැති වීමෙන් පාසල් සිසුන්ට ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබා ගැනීමේ දුෂ්කරතා රැසක් පවතින බව ප්‍රදේශවාසීන් පෙන්වා දුන්නා.

අන්තර්ජාල සංඥා ලබා ගැනීම සඳහා දරුවන්ට උස්බිම් වල පිහිටි කැලෑබද ප්‍රදේශවලට යාමට හෝ ගස් මත නැගීමට පවා සිදුව ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

මේ අතර, ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අධ්‍යයන කටයුතු වල නිරත වන රටේ සියලුම දරුවන්ට අන්තර්ජාල සේවා ගාස්තුවකින් තොරව ඊ-තක්සලාව හරහා නොමිලේ අධ්‍යාපන වරම් ලබාදීමේ ව්‍යාපෘතිය කඩිනම් කරන ලෙසට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊ-තක්සලාව සදහා නව ක්‍රමවේදයක් හදුන්වාදීම සදහා අරලිය ගහ මන්දිරයේ ඊයේ (12) පැවති සාකච්ජාවකට එක්වෙමින් ෴

+++++++++++++++++++++++

(13.06.2021 – 08:35 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුල ගම්මානවල ඉහල මිල ගණන්වලට වෙළඳාම් සිදු කරන ජංගම වෙළඳුන් පරීක්ෂා කිරීම සඳහා වැටලීම් ආරම්භ කර තිබෙනවා.

ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින්.

එම අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාල වෙළඳුන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *