නිවෙස් තුල සිදුවන කොරෝනා මරණ අඩුවෙයි

නිවෙස් තුල සිදුවන කොරෝනා මරණ අඩුවෙයි

*********************************************

නිවෙස් තුල සිදුවන කොරෝනා මරණ අඩුවෙයි

(12.06.2021 – 12:52 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (11) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2789 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 741 දෙනා අතර කටාන ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් 122 දෙනෙකු සහ කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් 117 දෙනෙකු වන බවයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (11) දිනයේදී කොරෝනා ආසාදිතයින් 505 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 397 දෙනෙකු හඳුනාගෙන තිබුණා.

කළුතර, කුරුණෑගල, මහනුවර යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 100 දෙනෙකු ඉක්මවා හඳුනාගෙන ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (12) අලු‍යම තහවුරු කළ මරණ 62 න් 07ක් සිදුව ඇත්තේ පසුගිය මැයි 08 සිට මැයි 31 දක්වා කාලය තුළදීයි.

ජුනි 01 සිට ජුනි 10 දක්වා කාලය තුළදී සිදුවූ මරණ 55 ක්ද අද (12) අලු‍යම නිකුත් කළ නිවේදනයට ඇතුළත්.

මිය ගිය හැට දෙදෙනා (62) අතරට පිරිමි පුද්ගලයින් 35 දෙනෙක් සහ කාන්තාවන් 27 දෙනෙක් අයත් වනවා.

නව මරණ 62 සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2,073 ක් දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළද වසංගත රෝග විද්‍යාංශයේ වෙබ් අඩවිය එය දක්වා ඇත්තේ 1985 ක් ලෙසයි.

ඒ ඊයේ (11) දිනයට වෙබ් අඩවිය යාවත්කාලීන කළ බව දක්වමින්.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ නිවෙස් තුල සිදුවන කොරෝනා මරණ වල අඩුවීමක් මේ වනවිට දක්නට ලැබෙන බවයි.

කොරෝනා මර්දන එන්නත්කරණ කටයුතු අදත් ක්‍රියාත්මක අතර බියගම මූලික රෝහල් පරිශ්‍රයේ පැවති එන්නත්කරණ කටයුතු සඳහා ජනතාව විශාල වශයෙන් පැමිණ සිටින ආකාරය දැකගත හැකිවුණා.

ඔවුන් චෝදනා කළේ, ඊයේ (11) පැවති සෞඛ්‍ය සේවක වර්ජනය නිසා එන්නත් ලබාගැනීමට නොහැකි වූ නිසා ඒ සඳහා අද (12) පැමිණියත් මේ වනවිට යළි අපහසුතාවලට මුහුණ දී ඇති බවයි.

ත්‍රිකුණාමලය, අම්පාර, හම්බන්තොට සහ බදුල්ල දිස්ත්‍රික්කවල සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදීම අද (12) සිදුකෙරෙන අතර එහි දෙවන (2) මාත්‍රාව ලබාදීමේ කටයුතු කොළඹ දිස්ත්‍රික්කයේ මාලිගාවත්ත, වැල්ලවත්ත, මට්ටක්කුලිය, කිරුළපන, බෙත්තාරාම සහ පිළියන්දල යන ප්‍රදේශවලදී ක්‍රියාත්මකයි.

කොරෝනා එන්නත්කරණ වැඩසටහනට අදාළව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 12,09,276 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 78,025 ක්.

එසේම, කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 9,25,242 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 64,986 ක්.

මේ අතර, අද (12) සහ හෙට (13) දින දෙක තුළ දිවයිනේ සියළු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාම් සඳහා පමණක් විවෘතව තැබෙනවා.

ඒ අනුව තොග වෙළදුන්ට මෙන්ම ජංගම වෙළදසැල් පවත්වාගෙන යන පුද්ගලයින්ට ද ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ එළවළු සහ පළතුරු මිලදී ගැනීමට හැකියි.

දිවයිනට පනවා තිබූ සංචරණ සීමා අනිද්දා (14) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ලබන 21 වනදා දක්වා සංචරණ සීමා දීර්ඝ කරන බවයි.

නිරෝධායන නීති කඩකළ තවත් පුද්ගලයින් 1,027 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සංචරණ සීමා පැනවීමෙන් පසු ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 30,042 ක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ඉදිරි කාලසීමාව තුළද අඛණ්ඩව නිරෝධායන නීති කඩකරන්නන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 1633 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරටින් මෙතෙක් හමුවී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 220,556 ක් ලෙසටයි ෴

++++++++++++++++++++++

(12.06.2021 – 15:10 +0530 – hirunews.lk/sinhala)

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා අතර පරතරය කඩිනමින් වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ඉන්දීය රජයේ එන්නත්කරණය පිළිබඳ තාක්ෂණික උපදේශක කමිටුවේ වෛද්‍ය වී.කේ.පෝල් පවසනවා.

කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා අතර, පරතරය මාස තුන හතරක් (3-4) දක්වා දිගු කිරීම පිලිබඳව එන්.ඩී.ටී.වී. පුවත් සේවාව ඇමෙරිකානු වසංගත රෝග විද්‍යා ප්‍රධානී වෛද්‍ය අන්තනී පවුචිගෙන් සිදුකළ විමසීමකදී පවසා තිබුණේ එලෙස පරතරය දිගු කිරීම වෙනත් ප්‍රභේදවලට ගොදුරු වීමේ අවදානම ඉහළ නැංවිය හැකි බවයි.

කෙසේ නමුත්, ඊට පිළිතුරු දෙමින් වෛද්‍ය වී.කේ.පෝල් සඳහන් කළේ කොවිෂීල්ඩ් එන්නතෙහි මාත්‍රා අතර පරතරය පිළිබඳ උපකල්පනයන් සමබරතාවකින් යුක්ත විය යුතු බවයි.

එක් එන්නත් මාත්‍රාවක් ලැබූ අයගේ අවදානමට වඩා පළමු (1) මාත්‍රාව වැඩි පිරිසකට ලබාදීමෙන් කොරෝනා ආසාදනය වීමේ අවදානම අවම කළ හැකි බව ඔහුගේ අදහසයි.

මේ අතර ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හර්ෂ් වර්ධන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉන්දියාවේ කොවිෂීල්ඩ් මාත්‍රාව අතර පරතරය ඉහළ නැංවීමේ තීරණය විද්‍යාත්මක අධ්‍යයනයන් මත පදනම් වූවක් බවයි ෴

+++++++++++++++++++++

(12.06.2021 – 15:30 +0530 – hirunews.lk/sinhala)

වී, සහල්, සීනි, කිරිපිටි සහ බඩඉරිඟු නිෂ්පාදකයින්, ආනයනය කරන්නන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන් සහ තොග වෙළඳුන් සිය තොග පිළිබඳ දත්ත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වෙබ් අඩවියට ඇතුළත් කිරීමට හා යාවත්කාලීන කිරීමට ලබන සඳුදා (14) සිට අවස්ථාව හිමිවනවා.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ http://www.caa.gov.lk/ වෙබ් අඩවියට පිවිස ඒ සඳහා අවස්ථාව පවතින බවයි.

අදාළ තොග පිළිබඳ දත්ත දින 7 ක් ඇතුළත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම්දී ලියාපදිංචි විය යුතු බව දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.

එමෙන්ම, එම දින 07 තුළ ඔවුන් පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචියද අනිවාර්යයෙන් ලබාගත යුතුයි.

ඒ අනුව එම අධිකාරියේ ලියාපදිංචියකින් තොරව කිසිදු සහල් නිෂ්පාදකයෙකුට හෝ වී මෝල් හිමියෙකුට තොග තබා ගැනීමට අවසර හිමිවන්නේ නැහැ.

සීනි සහ කිරිපිටි මෙන්ම බඩඉරිඟු පිළිබඳ සියලු තොරතුරුද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත නොසඟවා සැපයිය යුතු බවටද මෙම ගැසට් නිවේදන මගින් විධාන කර තිබෙනවා.

[ Warehouses Registration ]

++++++++++++++++++++++

(12.06.2021 – 15:40 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 2426 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 186,516 ක් ලෙසටයි.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත්කරණ ක්‍රියාවලියෙන් ඉවත්වූ රාජ්‍ය සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය ලේකම් වෙත යොමු කෙරුණු ලිපියක් පදනම් කොටගෙන කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත්කරණ ක්‍රීයාවලියෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එලඹි ප්‍රාදේශීය ලේකම්වරුන් සහා සියළුම සංවර්ධන නිළධාරීන් අද (12) සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ සාකච්ඡාවක නිරත වුණා.

එහිදී එකඟතාවයකට පැමිණීම හේතුවෙන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළ බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සදහන් කළේ ෴

+++++++++++++++++++++

(12.06.2021 – 16:48 +0530 – hirunews.lk/sinhala)

සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව සඳහා අවශ්‍ය එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති බැවින් ජනතාව අනවශ්‍ය ලෙස බිය නොවිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරනවා.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම සඳහා එන්නත් 1,550,000 ක් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති බවයි.

ඒ අනුව, අදාළ දිනයේදී එන්නත් මධ්‍යස්ථානයට ගොස් එම එන්නත ලබා ගැනීමට හැකියාව පවතින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේ.

එමෙන්ම ස්පුට්නික් එන්නත ලබාදුන් 15,000 ක පිරිසට අවශ්‍ය දෙවන (2) මාත්‍රාව ද සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබී ඇති බැවින් සෞඛ්‍ය නිලධාරීන් දන්වා ඇති පරිදි අදාළ දිනවලදී නියමිත මධ්‍යස්ථානයට ගොස් එන්නත ලබාගත හැකි බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

මේ අතර, රාජ්‍ය සේවයේ තනතුරුවලට බඳවා ගැනීමේ තරග විභාග සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය ලබන මස 15 වනදා දක්වා දීර්ඝ කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා ෴

++++++++++++++++++++

(12.06.2021 – 19:16 +0530 – hirunews.lk/sinhala)

කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මකවීමේදී රජයේ වෛද්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් අතර මතුවූ අනවබෝධය හේතුවෙන් මතුවූ ගැටලු‍ පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද (12) පැවැත්වුණා.

එහිදී එකඟතාව පළ වී ඇත්තේ දෙපාර්ශවයේ පැවති අනවබෝධය නිරාකරණය කොට එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙන යාමටයි.

ඒ අනුව රාජ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළ බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා කියා සිටියා.

මේ අතර සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව සඳහා අවශ්‍ය එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති බැවින් ජනතාව අනවශ්‍ය ලෙස බිය නොවිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරනවා.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම සඳහා එන්නත් 15,50,000 ක් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින බවයි.

කොරෝනා මර්දන එන්නත්කරණ කටයුතු ප්‍රදේශ කිහිපයක අදත් (12) ක්‍රියාත්මක වූ අතර මතුගම තඹරැටිය ග්‍රාම සේවා වසමේ ගම්වාසීන්, පවත්නා සංචරණ සීමාවලට අනුගත වෙමින් තම නිවෙස් ඉදිරිපිටට පැමිණ අද (12) විරෝධතාවක නිරත වුණේ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත මරණ කිහිපයක් වාර්තා වීම නිසා වහාම එන්නත් ලබා දෙන ලෙස ඉල්ලමින්.

ත්‍රිකුණාමලය, අම්පාර, හම්බන්තොට සහ බදුල්ල දිස්ත්‍රික්කවල සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අද (12) සිදුකෙරුණු අතර එහි දෙවන (2) මාත්‍රාව ලබාදීමේ කටයුතු කොළඹ දිස්ත්‍රික්කයේ මාලිගාවත්ත, වැල්ලවත්ත, මට්ටක්කුලිය, කිරුළපන, ඛෙත්තාරාම සහ පිළියන්දල යන ප්‍රදේශවලදී ක්‍රියාත්මක වුණා.

මේ අතර, තවත් කොරෝනා ආසාදිතයින් 2,426 දෙනෙකු අද (12) සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,86,516 දක්වා ඉහළ ගියා.

රත්නපුර පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් 29 දෙනෙකුද ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබෙනවා.

ඔවුන්ගේ ආශ්‍රිතයින් 101 දෙනෙකුට අද (12) කොරෝනා පරීක්ෂණ සිදු කර ඇති අතර ඒවායෙහි ප්‍රතිඵල ලැබීමට නියමිතයි.

මේ අතර, කොළඹ නගරය ආශ්‍රිතව ජනතාව බහුලව වෙසෙන ප්‍රදේශවල සහ අතුරු මාර්ග කේන්ද්‍රකරගනිමින් පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාසය අද (12) විශේෂ ඩ්‍රෝන මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.

දිවයිනටම පනවා තිබූ සංචරණ සීමා ලබන 21 වනදා දක්වා දීර්ඝ කෙරුණු අතර දිවයිනේ සියළු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාම් සඳහා පමණක් අද (12) සහ හෙට (13) දින දෙකේ (2) විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෑලියගොඩ මැනිං වෙළඳපොලද දින 3 කට පසු අද (12) පෙරවරුවේ විවෘත කෙරුණා.

කෙසේ වෙතත් එහි පැමිණි වෙළෙදුන් චෝදනා කළේ එළවලු‍ මිල ගණන් ඉහළ ගොස් ඇති බවටයි.

@@@@@@@@@@@@@@

(12.06.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර නොලැබීමෙන් මේ වනවිට ප්‍රදේශ රැසක ගොවීන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ සිය ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසයි.

මැදිරිගිරිය ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් ගොවීන් කොටසකට පමණක් පොහොර ලබාදීමට විරෝධය පළ කරමින් මින්නේරිය, හිගුරක්ගොඩ, කුසුම්පොකුණ ගම්මානයේ ගොවීන් සිය කුඹුරුවලදී උද්ඝෝෂණයක නිරත වුණා.

******************************************

(12.06.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධීව කැනඩාවට යාම සඳහා ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙකු කර්නාටක සහ තමිල්නාඩු පොලිසී විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

එහිදී 38 දෙනෙකු කර්නාටක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර තමිල්නාඩුවේ – මදුරෙයි හිදී තවත් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඔවුන්ට පහසුකම් සැලසූ පුද්ගලයින් 07 දෙනෙකු ද එහිදී අත්අඩංගුවට ගැණුනු බවයි.

පොලිසීය ප්‍රකාශ කර ඇත්තේ මෙම පිරිස කැනඩාවට රැගෙන යාම සඳහා ජාවාරම්කරුවන් එක් අයෙකුගෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 5 ත් 10 ත් අතර මුදලක් ලබාගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් 65 දෙනා අතර කාන්තාවන් 40 දෙනෙකු සිටින බව සඳහන් ෴

******************************************

(12.06.2021 – 14:34 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි පැය කිහිපයේදී මීගමුව සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශ සහ දකුණු මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දී සිටිනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60 ක් පමණ වන තද සුළං ඇතිවිය හැකි බවයි ෴

******************************************

(12.06.2021 – 14:40 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් ජාවාරමේ යෙදුණු පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සිදුකළ වැටලීම්වලදීයි. ඉන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල මල්ලවපිටිය ප්‍රදේශයේදී වන අතර, ඔහු සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 102 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, පෑලියගොඩ – මයික්‍රෝ හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරමේ යෙදුණු තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

බොරැල්ල සහ කොල්ලුපිටිය ප්‍රදේශවලදීද හෙරොයින් අලෙවියේ යෙදුණු තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා ෴

******************************************

(12.06.2021 – 14:53 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 05 වනදා සහ 07 වනදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූවෙන් පිටවූ වාහනවල තොරතුරු ඇතුළත් සී.සී.ටී.වී. දර්ශන, ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලබා දෙන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, හිරු ප්‍රවෘත්ති තුළින් අනාවරණ කළ, බස්නාහිර පළාතෙන් විශාල පිරිසක් ගාල්ලට පැමිණ එන්නත් ලබා ගැනීමේ සිද්ධියට අදාළවයි.

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලයේදී මෙලෙස කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදුන් බවට ප්‍රදේශවාසීන් චෝදනා කළ අතර, පසුව ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති තුළින් දිගිනි දිගටම අනාවරණ කළා.

අනතුරුව පරීක්ෂණයක් ආරම්භ කළ ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය අධිකරණයට කරුණු වාර්තා කරමින් මෙලෙස සී.සී.ටී.වී. දර්ශන ලබාගැනීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළා ෴

******************************************

(12.06.2021 – 16:19 +0530 – hirunews.lk/sinhala)

අද (12) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 කට වැඩි තරමක් තද වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30 ක් 40 ක් පමණ වන අතර එය පැයට කිලෝමීටර් 50 ක් පමණ දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ ෴

******************************************

(12.06.2021 – 18:25 +0530 – hirunews.lk/sinhala)

කොළඹ 07 කුරුඳුවත්ත මේට්ලන්ඩ් පෙදෙසේදී මෝටර් රථයක් අවන්හලක ගැටී අනතුරට ලක්වන ආකාරය CCTV කැමරාවක සටහන්වී තිබෙනවා.

ඊයේ (11) පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේවෙතත් මෙම මෝටර් රථ අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර අදාළ අවන්හලට අලාභ හානි සිදුව තිබෙනවා.

41 හැවිරිදි නීතිඥවරියක් අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය ධාවනය කර ඇති අතර ඇයගේ සැමියා ද එහි ගමන් කර ඇතැයි සඳහන්.

මේට්ලන්ඩ් පෙදෙසේ සිට පැමිණි මෝටර් රථය කඩුවෙල කොල්ලුපිටිය බස් මාර්ගයට පිවිසෙන අවස්ථාවේ තවත් මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරක් සමගයි නීතිඥවරිය පැදවූ මෝටර් රථය අවහන්හලේ ගැටී ඇත්තේ.

කෙසේවෙතත් මෙම CCTV දර්ශණයසමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ අවුරුදු 15 ක දැරියක් මෙම මෝටර් රථය ධාවනය කර ඇති බවයි.

සිද්ධියට අදාළව පොලිස් භාරයට ගත් නීතිඥවරිය සහ අනතුරට සම්බන්ධ අනෙක් මෝටර් රථයේ රියදුරා විමර්ශණවලින් අනතුරුව පොලිසියෙන් පිටවගොස් තිබෙනවා.

******************************************

(12.06.2021 – 19:10 +0530 – hirunews.lk/sinhala)

ඉහළ දැමූ තෙල් මිල සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ සංවාදයක් ඇතිව තිබෙනවා.

ඒ පාර්ශව කිහිපයකින් ඉදිරිපත්ව ඇති අදහස් සැලකිල්ලට ගනිමින්.

ආණ්ඩුවේ ඉහළ පෙලේ ආරංචි මාර්ග සඳහන් කළේ ඊයේ (11) සිදුකෙරුණු ඉන්ධන මිල සංශෝධනයට සහනයක් ලබාදිය හැකි ද යන්න පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වෙමින් පවතින බවයි.

අද (12) දිනයේ ද ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ඒ පිළිබඳ සාකච්ඡා කිහිපයක් පැවති බවයි වාර්තා වන්නේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ නංවන බව රජය නිවේදනය කළා.

ඒ සිපෙට්කෝ පිරවුම්හල්වල ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23 කින්, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 07 කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 12 කින් ලෙසයි.

එමෙන්ම, භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 07 කින් ද ඉහළ දැමුණා.

රජයේ මෙම තීරණයත් සමඟ ප්‍රවාහන, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බේකරි නිෂ්පාදන ඇතුලු ක්ෂේත්‍ර කිහිපයක දැඩි සංවාදයක් ඇතිවූයේ මිල ඉහළ නැංවීම සම්බන්ධවයි.

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා සහ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට මේ සඳහා යම් සහනයක් අවශ්‍ය බවයි.

එමෙන්ම, සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ ලේකම් ටී.ආර්.ආර්. පල්ලි මහතා සහ සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති චිරත්න අමරසිංහ මහතා ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව සහන සැලසීමට පියවර ගත යුතු බව පෙන්වා දුන්නා.

බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ද සඳහන් කළේ ඉන්ධන මිල ඉහළ යාම සිය නිෂ්පාද කෙරෙහි ද බලපාන බවයි.

මේ අතර, ගෑස් මිල රුපියල් 700 කින් නැංවීමට සමාගම් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර සහල්, සීනි, කිරිපිටි සහ බඩඉරිඟු තොග සැඟවීම වළක්වාලමින් රජය අද ගැසට් නිවේදන 3 ක් ද නිකුත් කළා.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මේ සති අන්තය වනවිට සටහන් වූයේ 2019 වසරේ මැයි මාසයෙන් පසු ඉහළම මිළ ලෙසින්. එහි බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72 යි ශත 69 ක් වූ අතර, ඇමෙරිකානු ඩබ්ලිව්. ටී අයි තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 70 යි ශත 91 ක් ලෙසයි.

ගෝල්ඩ්මන් – සාච් ඇමෙරිකානු ආයෝජන බැංකු පුරෝකතනයට අනුව, මෙම ගිම්හානයේදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 දක්වා ඉහළ යා හැකියි.

ආර්ථික විශ්ලේෂක ඉම්රාන් ෆුර්කාන් පවසන්නේ පසුගිය වසරේ මාර්තු මාසයේ සිට ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බවයි.

******************************************

(12.06.2021 – 19:20 +0530 – hirunews.lk/sinhala)

මුහුදුබත් වෙමින් පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් තෙල් හෝ රසායනික ද්‍රව්‍යයක් මෙතෙක් සාගරයට මුසු වී නොමැති බවට නාරා ආයතනය හා පරමාණු බලශක්ති අධිකාරිය මගින් තහවුරු කර තිබෙනවා.

ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා මේ බව ප්‍රකාශ කළේ ධීවර සමිති නියෝජිතයින් සමග මීගමුව ප්‍රදේශයේ අද (12) පැවති සාකච්ඡාවකදීයි.

මීගමුව කලපුවෙහි ධීවර කටයුතු සිදු කිරීමට අද (12) සිට යලි අවසර ලබා දෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියා. ඔහු සඳහන් කලේ මේ වන විට තහනම් කර ඇති සෙසු මුහුදු කලාපද ධීවර කටයුතු සඳහා කොටස් වශයෙන් ක්‍රමයෙන් නිදහස් කිරීමට කඩිනමින් කටයුතු කරන බවයි.

නෞකාවේ ගිණි ගැනීම හේතුවෙන් රැකියා අහිමිවූ ධීවරයන්ට රුපියල් පන්දහසේ (5000) දීමනාව අද (12) සිට ලබා දෙන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් මේ වන විට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

අද (12) පැවති සාකච්ඡවේදී අමාත්‍යවරයා සඳහන් කලේ රැකියා අහිමි වීම සමග සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ලබා දෙන තෙක් ඔවුන්ට එම දීමනාව ලබා දෙන බවයි.

මේ අතර ධිවර ජනතාවට ඉන්ධන සහනයන් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා එහිදී ප්‍රකාශ කලා.

ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි.

ගිලාබත්වෙමින් පවතින ‘එම් වී එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව සහ ධීවරයන්ට සහන ලබා දීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ද, ඊයේ (11) අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණා.

එහිදී අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබුණේ සුදුසු නිර්දේශ ලබාගෙන නිසි ලෙස පරීක්ෂා කිරීමෙන් අනතුරුව පානදුර සිට මීගමුව දක්වා මුහුදු තීරයේ ධීවර කටයුතු සඳහා අවසර ලබාදීමට පියවර ගන්නා ලෙසයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *