සයිනොෆාම් ගත් කිහිප දෙනෙකු සංකූලතා නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට

සයිනොෆාම් ගත් කිහිප දෙනෙකු සංකූලතා නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට

*********************************************

සයිනොෆාම් ගත් කිහිප දෙනෙකු සංකූලතා නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට

(11.06.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala)

සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් කිහිපදෙනෙකු සංකූලතා ඇතිවූ බව පවසමින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වී තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ ක්ලාන්තය සහ කරකැවිල්ල වැනි රෝග ලක්ෂණ පැවති විසි දෙනෙකු (20) පමණ මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමුවී ඇති බවයි.

එසේම කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත් ලබාගත් ගැබිණි මව්වරුන්ට මේ දක්වා කිසිදු සංකූලතාවක් ඇති වූ බවට වාර්තාවී නොමැති බවයි කාසල් වීථියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයස් මහත්මිය ප්‍රකාශ කළේ.

එමෙන්ම අද (11) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1,852 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,84,090 දක්වා ඉහළ ගියා.

එසේම මෙරටින් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව අද (11) දෙදහසේ (2000) සීමාව ඉක්මවා ගියේ අද (11) දිනයේ මරණ 101 ක් වාර්තාවීමත් සමඟයි. එම මරණ අතුරින් 30 ක් නිවෙස් තුලදී සිදුව තිබෙනවා.

මෙරට කොවිඩ් මරණ දහසේ සීමාව පසුකිරීමට මාස 14 ක් පමණ ගතව ඇති නමුත් කොවිඩ් මරණ 2000 සීමාව ඉක්මවීමට ගතව ඇත්තේ දින 23 තරම් කෙටි කාලයක්.

ඒ අනුව පසුගිය මැයි 19 වනදා සිට මෙරට සිදුවී ඇති කොවිඩ් මරණවල දෛනික සාමාන්‍ය දිනකට මරණ 50 ක් ඉක්මවනවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා.

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 527 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (11) දිනයේ මෙරටින් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 2759 ක්. ශ්‍රී ලංකාවේ මේ දක්වා කොරෝනා වෛරස් ආසාදිතයන් 217,893 ක් හමුවී තිබෙනවා ෴

++++++++++++++++++++++++++

(11.06.2021 – 18:54 +0530 – hirunews.lk/sinhala)

මෙරට ත්‍රී රෝද රථ ව්‍යාපාරය විදෙස් සමාගම්වලට පාවාදී ඇති බව සමස්ත ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසනවා.

රට පුරා දැඩි ලෙස පැතිර ගොස් ඇති කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් ත්‍රී රෝද රථ රියදුරන් බරපතල ආර්ථික ගැටලු රැසකට මුහුණදී ඇති බවයි සභාපතිවරයා පවසන්නේ.

ඒ අතරවාරයේ ත්‍රී රෝද රථ රියදුරන් දඩමීමා කරගෙන මෙරට විදේශ විනිමය පිරටට ගෙනයාමේ සංවිධානාත්මක කූට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් ඔහු පවසනවා.

ජාත්‍යන්තර කුලී රථ සමාගම් මෙරට ත්‍රී රෝද රථ සම්බන්ධ කරගෙන මෙම විදේශ විනිමය ජාවාරම සිදුකරන බවයි ඔහු චෝදනා කරන්නේ.

මෙම කුලී රථ සමාගම් නිරෝධායන නීති රීතිවලට මුවාවී භාණ්ඩ ප්‍රවාහනයේ යෙදෙන බවත් අහිංසක කුලී රථ රියදුරන් නිරෝධායන නීතිවලට යටත්ව නිවෙස්වල කාලය ගෙවන බවත් ත්‍රී රෝද රථ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසනවා.

මෙලෙස නිරෝධායන නීති රීති අනුව නිවාසවල සිටින ත්‍රී රෝද රථ රියදුරන්ට රජයෙන් ද කිසිදු සහනයක් නොලැබෙන අතර අවම තරමින් ඔවුන්ට රුපියල් 5000 දීමනාව හෝ ලබාදීමට කටයුතු කළ යුතු බවටයි ඔහු පෙන්වා දෙන්නේ.

ත්‍රී රෝද රථ රියදුරන්ගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කළ සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කොට වසරක් ගත වුව ද ඔහු වෙනුවෙන් විවිධ දේශපාලනඥයින් ලබාදුන් සියලු පොරොන්දු අද වන විට ‘කඩවුණු පොරොන්දු’ බවට පත්වී ඇති බවයි ලලිත් ධර්මසේකර මහතා කියාසිටින්නේ.

එමෙන්ම මහ බැංකුවේ උපදෙස් අනුව ණය සහන සහ ලීසිං සහන ත්‍රී රෝද රථ හිමියන්ට ලබාදීමට අදාළ මූල්‍ය ආයතනවලට නියෝග සහ උපදෙස් නිකුත් කළ ද ඒවා ද ‘බීරි අලින්ට වැයූ වීණා’ මෙන් ක්‍රියාත්මක තත්වයේ නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ ෴

++++++++++++++++++++++++

(11.06.2021 – 20:01 +0530 – hirunews.lk/sinhala)

ඩිලිවරි සේවා සහ කුලී රථ සේවා සපයන මෙරට ප්‍රධාන පෙළේ ආයතන දෙකක් (2) මගින් අය කරනු ලබන මිල ගණන් ඉහළ ගොස් ඇතැයි ලැබී තිබූ පැමිණිලි සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් සිදුකර තිබෙනවා.

ඒ, පාරිභෝගික සේවා කටයුතු පිළිබඳ අධිකාරිය සම්බන්ධ කරගනිමින්.

ඒ අනුව අදාළ සේවා සපයන ආයතන ලියාපදිංචි කිරීමට මෙන්ම සාධාරණ මිල තහවුරු කිරීමට නියාමනයක් ඇති කිරීමට ද තීරණය වී ඇති අතර, කොමිස් හා ප්‍රවාහන ගාස්තු අය කිරීමේ ප්‍රතිපත්තිය සහ යම් යම් අංශවලට සාධාරණ සීමාවන් පැනවීමටද තීරණය කර තිබෙනවා.

එසේම සෞඛ්‍ය වෘත්තීය සමිති 28 ක් අද (11) උදෑසන දිවයින පුරා දියත් කල වර්ජනය හේතුවෙන් කොරෝනා මර්ධන එන්නත් ලබා ගැනීමට සහ රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා ෴

+++++++++++++++++++++++++

(11.06.2021 – 20:43 +0530 – hirunews.lk/sinhala)

තමන් සතු වී, සහල්, සීනි, බඩ ඉරිඟු, කිරිපිටි තොග පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තොග ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.

සතියක් තුළ එම තොරතුරු ලබාදෙන ලෙසයි අමාත්‍යවරයා දැනුම් දෙන්නේ.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩු කර තිබුණ ද ඇතැම් භාණ්ඩ අධික මිල ගණන් යටතේ අලෙවි වන අවස්ථා පිළිබදව වෙළද අමාත්‍යාංශය මගින් අධ්‍යයනය කර තිබෙනවා.

ඒ අනුව මිල නියාමනය කිරීමේ අරමුණෙන් මෙම පියවර ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

(12.06.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

සහල්, සීනි, කිරිපිටි සහ බඩඉරිඟු නිෂ්පාදකයින්, ආනයනය කරන්නන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන් සහ තොග වෙළඳුන් සිය තොග පිළිබඳ දත්ත දින 07 ක් තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලබාදිය යුතු බවට වන ගැසට් නිවේදන නිකුත් කර තිබෙනවා.

එමෙන්ම, එම දින 07 තුළ ඔවුන් පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචියද අනිවාර්යයෙන් ලබාගත යුතුයි.

ඒ අනුව එම අධිකාරියේ ලියාපදිංචියකින් තොරව කිසිදු සහල් නිෂ්පාදකයෙකුට හෝ වී මෝල් හිමියෙකුට තොග තබා ගැනීමට අවසර හිමිවන්නේ නැහැ.

සීනි සහ කිරිපිටි මෙන්ම බඩඉරිඟු පිළිබඳ සියලු තොරතුරුද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත නොසඟවා සැපයිය යුතු බවටද මෙම ගැසට් නිවේදන මගින් විධාන කර තිබෙනවා.

+++++++++++++++++++++

(11.06.2021 – 21:12 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලපෑමට යටත්ව ඇති බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කරනවා. උන්වහන්සේ මේ බව පැවසුවේ නාරාහේන්පිට – අභයාරාමයේ අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින්.

++++++++++++++++++++++

(11.06.2021 – 21:56 +0530 – hirunews.lk/sinhala)

අසමගිය, වෛරය හා කොවිඩ්-19 වැඩසටහනට බාධා ඇති කරන ව්‍යාජ පුවත්, ඡායාරූප, වීඩියෝ බෙදාහැරීම සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ අන්තර්ගතය පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුවේ විශේෂ අවධානය යොමුවී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියාසිටියේ වෛරී ප්‍රකාශ හා ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ නීතීඥ සංගමයේ විරෝධයක් නොමැති බවයි.

එහෙත් අව්‍යාජ විරෝධාකල්ප හා විවේචන මර්දනය කිරීම සඳහා බලධාරීන් විසින් එම නීති භාවිතා නොකරන බවට සහතික කිරීම වැදගත් බවයි අදාළ නිවේදනය මගින් පෙන්වා දෙන්නේ.

එමෙන්ම ව්‍යාජ පුවතක් වන්නේ හෝ නොවන්නේ කුමක් ද යන්න තීරණය කිරීම හා පොලිසිය ඇතුළු විධායක බලය ඇති අය පිළිබඳ සහ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හා රඳවා තබා ගැනීමට තීරණය කරනු ලබන පදනම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සැලකිලිමත් වන බව ද එමගින් සඳහන් කර තිබෙනවා.

@@@@@@@@@@@@@@@

(11.06.2021 – 19:20 +0530 – hirunews.lk/sinhala)

පාඩු ලබන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීමට වහා කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

අරලියගහ මන්දිරයේ ඊයේ (10) පැවති සාකච්ඡාවකදී හෙළි වී ඇත්තේ පසුගිය රජය සමයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඔස්සේ අත්තනෝමතික ලෙස ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇති නමුත් ඒවායෙන් ලැබිය යුතු රුපියල් බිලියන ගණනක මුදල් මේ දක්වා අය වී නොමැති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඉදිකිරීම් සඳහා ද රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය ලබාගෙන ඇති බව ද මෙහිදී හෙළි වුණා.

ඒ සඳහා ද ගෙවීම් මෙතෙක් සිදුකර නොමැති බවයි කරුණු අනාවරණ වුණේ.

එසේම සුදුසුකම් රහිත පත්වීම් සහ උසස්වීම් ලබාදීම හේතුවෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව තුළ මේ වන විට සේවක අර්බුදයක් ද හටගෙන තිබෙනවා.

******************************************

(11.06.2021 – 19:31 +0530 – hirunews.lk/sinhala)

කුඩා දරුවෙකුට මත්පැන් ලබාදුන් බවට පෑලියගොඩ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු ඇප මත මුදාහැර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවට අද (11) ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමටයි නියෝග කෙරුණේ.

සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ සිදුවීම ප්‍රචාරය වීමත් සමඟ පෑලියගොඩ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් පෑලියගොඩ – අනූවවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු තුනයි (3) මාස 9 ක් පමණ වයසැති මෙම දරුවා හඳුනා ගැනුණා.

පියා පවුල හැර යාම හේතුවෙන් ඔහු සිය මව, මිත්තණිය සහ සීයා සමඟයි ජීවත්ව ඇත්තේ.

මීට දින දෙකකට (2) පෙර සැකකරු විසින් දරුවාට මත්පැන් ලබාදී තිබූ අතර ඔහු විසින්ම එය රූගත කර සමාජ මාධ්‍යයට මුදා හැර තිබුණා.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ පෑලියගොඩ ළමා හා කාන්තා කාර්යාංශය 25 හැවිරිදි සැකකාර තරුණයා පෑලියගොඩ – නුගේ පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (10) දිනයේදියි ෴

******************************************

(11.06.2021 – 20:57 +0530 – hirunews.lk/sinhala)

වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොලැබීමෙන් මේ වනවිට ප්‍රදේශ රැසක ගොවීන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් සිය ගැටළුවට විසඳුම් ලබා දෙන ලෙසයි.

රසායනික පොහොර ආනයනය නතර කිරීමට පියවර ගැනීමත් සමග මේ වනවිට යල කන්නයේ වී වගා කරන ගොවීන් සහ වෙනත් වගාවල නිරත ගොවීන් පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි.

ඒ බොහෝ ප්‍රදේශවල වෙළෙදුන් පොහොර සඟවා තබා ගැනීම හේතුවෙන්.

යල කන්නයේ වී වගාවේ නිරත ගොවීන් පවසන්නේ පොහොර නිසි කලට නොලැබිමෙන් සිය වගා කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති බවයි.

******************************************

(11.06.2021 – 21:44 +0530 – hirunews.lk/sinhala)

‘එම්.වී. එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ හානියේ මූලික වන්දිය ලෙසට ඇමරිකානු ඩොලර් මිලියන 40 ක් අදාළ නෞකා සමාගමෙන් ඉල්ලා ඇතැයි වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

සිදුවූ හානිය වෙනුවෙන් අනෙක් තක්සේරු කටයුතු කමිටු 5 ක් මගින් සිදුකරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශකර ඇත්තේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *