තවත් කොරෝනා මරණ 101 ක් – ශ්‍රී ලංකාවේ මරණ 2000 ඉක්මවයි

තවත් කොරෝනා මරණ 101 ක් – ශ්‍රී ලංකාවේ මරණ 2000 ඉක්මවයි

*********************************************

තවත් කොරෝනා මරණ 101 ක් – ශ්‍රී ලංකාවේ මරණ 2000 ඉක්මවයි

(11.06.2021 – 11:25 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 101 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම දත්ත වාර්තාවට අනුව මේ වනවිට එම සංඛ්‍යාව දැක්වෙන්නේ 2,011 ක් ලෙසටයි.

එකවර වාර්තාවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවද මෙය වනවා.

අද (11) පෙරවරුවේ දිවයිනට ලැබුණු ස්පුට්නික්-වී එන්නත් මාත්‍රා 65,000 න් 50,000 ක් පළමු (1) මාත්‍රාව ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින්ට ලබාදීමට නියමිතව තිබෙනවා.

එසේම අනෙකුත් එන්නත් මාත්‍රා 15,000 දෙවන (2) මාත්‍රාව ලෙස ගොතටුව ප්‍රදේශයේ පුද්ගලයින්ට ලබාදීමටයි නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ.

මේ අතර එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ඊයේ (10) දිනයේ සයිනොෆාම් එන්නත් පළමු (1) මාත්‍රාව සඳහා 67,615 ක් ලබාදී තිබෙනවා.

දෙවන (2) මාත්‍රාව සඳහා එම එන්නත 25,451 කට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාවද පුද්ගලයින් 342 කට ලබාදී ඇති අතර, ස්පුට්නික්-වී එන්නත ඊයේ (10) දිනයේ කිසිදු පුද්ගලයෙකුට ලබාදී නැහැ.

අවසන් වරට ස්පුට්නික්-වී එන්නත ලබාදී ඇත්තේ පසුගිය 03 වනදායි.

මේ වනවිට කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 925,242 කට ලබාදී ඇති අතර, දෙවන (2) මාත්‍රාව දී ඇත්තේ 354,993 කට පමණයි.

එසේම කොරෝනා වැළඳීම හේතුවෙන් රෝහල් ගතව සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස පූර්ණ සුවය ලැබීමෙන් පසු අද (11) රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

පසුගිය මස 23 වනදා ඔවුන්ට කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වූ අතර, අනතුරුව ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකටයි.

සුවවීමෙන් අනතුරුව රෝහලෙන් නික්මුණු විපක්ෂ නායකවරයා සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබාගැනීම සඳහා අද උදෑසන ගංඟාරාම විහාරස්ථානය වෙත පැමිණියා.

එහිදී මහා සංඝරත්නය විසින් විපක්ෂ නායකවරයාට ආශිර්වාද පතා සෙත් පිරිත් සජ්ජායනාවක්ද සිදු කර තිබෙනවා.

මේ අතර හසලක ඇඟලුම් කර්මාන්තශාලාවකින් කොරෝනා ආසාදිතයන් 90 දෙනෙකු හමුවී තිබෙනවා.

ඒ අනුව පවුල් 120 ක පුද්ගලයින් 550 ක් නිවෙස් තුළම නිරෝධායනයට ලක් කිරිමටයි පියවර ගෙන ඇත්තේ.

එසේම හැටන් – ලිදුල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් 45 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඉන් 22 ක් නානුඔය වතුයායේ නිවාස පේළියක ආසාදිතයන් බවයි ලිදුල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සඳහන් කළේ.

එසේම ඉන්දියාවේ රාමේෂ්වරම් සිට පසුගිය මාර්තු මස 12 වන දින බෝට්ටුවක් ආධාරයෙන් අනවසරයෙන් මෙරටට පැමිණි 36 හැවිරිදි පුද්ගලයකු මුල්ලායිවේලී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආගමන විගමන නීති සහ නිරෝධායන නීති කඩකරමින් රැඳී සිටියදී අත්අඩංගුවට ගත් මොහු මුලතිව් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

+++++++++++++++++++

(11.06.2021 – 12:31 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 තුන්වන (3) රැල්ල සමඟ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වෙත රජය ලබාදුන් නිර්දේශ අනුව අදාල ණය සහන පාරිභෝගිකයන් වෙත ලබානොදෙන්නේ නම් එවන් පාරිභෝගිකයන් හට සිය දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 011 247 7966 දුරකථන අංකයට ඇමතීමෙන් සිය පැමිණිලි සෘජුවම ශ්‍රී ලංකා මහබැංකුවේ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන අංශය වෙත දැනුම්දිය හැකියි.

කොවිඩ්-19 තෙවැනි රැල්ලෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා වන සහන යෝජනා ක්‍රමය :

කොවිඩ්-19 ව්‍යසනයේ තෙවැනි රැල්ල නිසා බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන් විසින් මුහුණපා ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් බලපෑම‌ට ලක්වූ ණය ගනුදෙනුකරුවන් හට පහත සඳහන් සහනයන් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (මින් ඉදිරියට බලපත්‍රලාභි බැංකු ලෙස හැඳින්වෙන) වෙත දන්වා ඇත.

සම්පුර්ණ ලිපිය (01-06-2021) (pdf file) (from cbsl.gov.lk)

++++++++++++++++++++++

(11.06.2021 – 12:33 +0530 – hirunews.lk/sinhala)

එන්නත්කරණ කටයුතුවල නිරතවෙමින් සිටි වෛද්‍යවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ ඔහු ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (11) ඉදිරිපත් කළ අවස්ථාවේයි.

ඒ අනුව කරුණු සළකා බැලූ මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන් දුරුගොඩ නියෝග කළේ රුපියල් විසි දහසක (20,000) මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය (100,000) බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත නගරාධිපතිවරයා මුදාහැරීමටයි ෴

+++++++++++++++++++

(11.06.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය වෘත්තීය සමිති 28 ක් අද (11) උදෑසන දිවයින පුරා දියත් කළ වර්ජනය හේතුවෙන් කොරෝනා මර්ධන එන්නත් ලබා ගැනීමට සහ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, හෙද හෙදියන් සහ සෞඛ්‍ය කණිෂ්ඨ කාර්ය මණ්ඩලය නියෝජනය කරන වෘත්තීය සමිති 28 ක් අද (11) පෙරවරු 8 සිට මධ්‍යහ්න 12 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කරනු ලැබුවේ වෛද්‍යවරුන්ට පමණක් ලබා දෙන දීමනා සහ වරප්‍රසාද සෞඛ්‍ය අංශයේ සෙසු වෘත්තිකයන්ට ලබා නොදීමට විරෝධය පල කරමින්.

මේ අතර එන්නත්කරණ රාජකාරීවලින් ඉවත් වී සිටින කොළඹ දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්ට සෞඛ්‍ය අමාත්‍යංශය සාකච්ඡාවක් සඳහා ආරාධනා කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ අදාල සාකච්ඡාවට සහභාගී වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සෙසු වෘත්තීය සමිති සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ඇතුලු කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් මෙලෙස එන්නත්කරණ රාජකාරීවලින් ඉවත් වී ඇත්තේ එන්නත්කරණ ක්‍රියාවලියට රාජ්‍ය නිලධාරීන් මැදිහත් වී බලපෑම් සිදු කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත යොමු කල ලිපියකට විරෝධය පළ කරමින්.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් අදාල ලිපිය ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා තෙක් රාජ්‍ය නිලධාරීන් එන්නත්කරණ රාජකාරීවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා කියා සිටියා.

+++++++++++++++++++

(11.06.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර අංක එක ලක් සතොස ශාඛාවේ මත්පැන් තොගයක් රැගෙන යාම සම්බන්ධයෙන් ලබන සතිය ඇතුළත පොලිසිය විසින් සිදුකළ විමර්ශනයේ වාර්තාව ලබා දීමට නියමිත බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මක වන මෙම කාලසීමාවේ සුරාබදු දෙපාර්තුමේන්තුව සියළු මත්පැන් අලෙවිසැල් මුද්‍රා තබා තිබියදී අනුරාධපුර අංක එක ලංකා සතොස ශාඛාවේ මත්පැන් බෝතල් තොගයක් පුද්ගලයෙකුට අලෙවි කිරීම පුවතක් හිරු ප්‍රවෘත්ති අනාවරණය කළේ පෙරේදා (09) යි.

සතොස ආයතනයේ ඉහළ බලධාරියෙකුගේ උපදෙස් මත සුරාබදු දෙපාර්තුමේන්තුවේ නිළධාරියෙකු ද පැමිණ අලෙවි මධ්‍යස්ථානයේ කළමණාකාරවරිය සහ මත්පැන් අලෙවි සැල භාරව කටයුතු කළ සේවකයා ද හවුල් කර ගනිමින් මෙම ක්‍රියාව සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය වන අවස්ථාවේ එම ගබඩාවේ ආරක්ෂක කැමරා පද්ධතිය අක්‍රිය කර හෝ අක්‍රිය වී ඇති බවයි සතොස අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ ෴

@@@@@@@@@@@@@@@

(11.06.2021 – 11:55 +0530 – hirunews.lk/sinhala)

දකුණු ආසියාවේ (*) ඉදිකළ විශාලතම වෘක්කවේද විශේෂිත රෝහල මීට ටික වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරුනා.

සම්පූර්ණයෙන්ම චීනයෙන් ලද පරිත්‍යාගයකින් ඉදිකෙරුණු මෙම ‘චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල’ වකුගඩු රෝගීන් සඳහා අවශ්‍යකරන සියලු පහසුකම්වලින් සමන්විතයි.

ඓතිහාසික පොළොන්නරුව නගරයේ පිහිටා ඇති මෙම රෝහල විවෘත කිරීමේ අවස්ථාව සඳහා මෙරට චීන තානාපති කුයි ෂේන් හොන්ග් ද එක්ව සිටියා.

* The region ‘South Asia’ consists of the countries of Afghanistan, Pakistan, India, Nepal, Bhutan, Bangladesh, the Maldives, and Sri Lanka.

චීන රජයේ පරිත්‍යාගයක් ලෙස පොළොන්නරුවේ ඉදිකළ දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ විවෘත කෙරුණා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015 වසරේදී චීනයේ සිදුකළ සංචාරයක් අතරතුර චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම රෝහල මෙරටට ඉදිකරනු ලැබුවේ.

රුපියල් කෝටි 1200 ක වියදමින් ඉදිකර ඇති මෙම රෝහල ඇඳන් 200 කින් හා රුධිර කාන්දුපෙරණ පහසුකම් සහිත ඇදන් 100 ක් මෙන්ම අධි තාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර 5 කින් හා දැඩි සත්කාර ඒකක 2 කින් සමන්විතයි.

චීන සහ ශ්‍රී ලංකා පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකෙරුණු රෝහල් සංකීර්ණය අක්කර 16 ක භූමි ප්‍රමාණයක විහිදී ඇති අතර ඉදිකිරීම් සඳහා ගතවු කාලය මාස 30 ක්.

වකුගඩු රෝගී සායන සංකීර්ණයක්, අති නවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාර හා පර්යේෂණාගාර, විකිරණ සහ සී.ටී. ස්කෑන් සේවාව සහ නවීන ශ්‍රවණාගාරයක් ද මීට අයත්.

වාහන 300 ක් නවතා තැබිය හැකි රථ ගාලක් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සෑම අයෙකුටම නේවාසිකාගාර පහසුකම් සැලසුම් කර තිබීම විශේෂත්වයක්.

******************************************

(11.06.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

සුදුකොඩි ඔසවා යටත්ව සිටි නිරායුධ පොලිස් නිලධාරීන් 600 දෙනෙකු එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය විසින් ඝාතනය කර අදට (11.06.2021) වසර 31 ක් සපිරෙනවා.

අම්පාර – කන්ජිකුඩිච්චි ආරු – රූපස්කුලම් වනය තුළදී මෙම ඝාතනය සිදුකරනු ලැබුවේ 1990 වසරේ ජූනි 11 වනදායි ෴

******************************************

(11.06.2021 – 13:04 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනීමට ලක්ව මුහුදුබත්වූ ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව අවට ප්‍රදේශයෙන් ලබා ගත් තෙල් සාම්පල නෞකාවේ තෙල් කාන්දුවකින් ඇති වූ ඉන්ධන දැයි තහවුරු කර ගැනීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පර්යේෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ (10) පස්වරුවේ එම අධිකාරියේ නිලධාරීන් අදාළ සාම්පල ලබා ගත් අතර, මේ වන විටත් ඒ පිළිබද පර්යේෂණ සිදුකරන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මුහුදුබත් වෙමින් පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් සිදුවන තෙල් කාන්දුවක් චන්ද්‍රිකා ඡායාරූප මගින් දර්ශනය වන බවට ජාත්‍යන්තර මාධ්‍ය පසුගියදා වාර්තා කළා.

මේ අතර, අදාළ නෞකාවේ තිබූ බහාලුමක කොටසක් බවට සැක කෙරෙන ලෝහ කැබැල්ලක් හලාවත – මුතුපන්තිය දූපතට ගසාගෙන විත් තිබෙනවා.

ඊයේ පස්වරුවේ වෙරළේ තිබී අදාළ ලෝහ කැබැල්ල සොයා ගත් බවයි ප්‍රදේශයේ ධීවරයින් සඳහන් කළේ.

එමෙන්ම, පොලිතින් කැට බහා තිබූ බෑගයක් ද එහිදී සොයාගෙන ඇති බව සඳහන්. අදාළ කොටස් වැඩිදුර විමර්ශන සඳහා ආරච්චිකට්ටුව පොලීසිය වෙත භාරදී තිබෙනවා.

එමෙන්ම, මෙම නෞකාවෙන් මුහුදට එක්වූ බවට සැක කෙරෙන ප්ලාස්ටික් කොටස් මන්නාරම – සිලාවතුර මුහුදු ප්‍රදේශයෙන් ද හමුවී තිබෙනවා.

වෙරළට ගොඩගසා තිබියදී සොයා ගැනුණු අදාළ ප්ලාස්ටික් කොටස්වල සාම්පල වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බවයි මන්නාරම දිස්ත්‍රික් ලේකම් ස්ටැන්ලි ද මෙල් මහතා කියා සිටියේ.

එසේම ඊයේ (10) අලුත්ගම – මොරගල්ල – වෙරළාසන්න මුහුදේ පාවෙමින් තිබියදී ගොඩට ගෙන ආ බෝයාව ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවට අයත් වූවක් ද යන්න සොයා බැලීම සඳහා බේරුවල ධීවර පරීක්ෂක කාර්යාලය මගින් නාරා ආයතනයට භාර දී තිබෙනවා.

මේ අතර, නෞකාවේ ඇති වූ හදිසි ආපදා තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘සමුද්‍ර ප්‍රහාරී, වජ්රා සහ වෙබාව්’ යන නෞකාවන් සහය ලබාදීම සම්බන්ධයෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න සිය ස්තූතිය පළ කරනු ලැබුවා.

එම සේවය අගයමින් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (10) කොළඹ වරාය පරිශ්‍රයේදී සිදුකෙරුණු බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය කියා සිටියේ ෴

+++++++++++

10-06-2021

******************************************

(11.06.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්න හේතුවෙන් පීඩාවට පත්වූ මෙරට ජනතාව සඳහා ඇමරිකාව ඩොලර් ලක්ෂයක ආධාරයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව මේ යටතේ ධීවර ජනතාවට සහ ඔවුන්ගේ පවුල්වලට කඩිනමින් උපකාර ලබාදෙනු ඇති.

ඇමරිකානු තානාපති කාර්යාල කටයුතු භාර නිලධාරී මාටින් කෙලී ප්‍රකාශ කළේ නෞකාවේ ගින්න හේතුවෙන් ඇතිවූ පාරිසරික බලපෑම්වල හානි අඩු කරගැනීම සඳහා උපකාර කිරිමට තම රට කැපවී සිටින බවයි ෴

******************************************

(11.06.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙස ඉල්ලා යුරෝපා සංගම් පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කර තිබෙනවා.

මන්ත්‍රීවරුන් 705 දෙනෙකුගෙන් සමන්විත යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 628 ක් ලැබී තිබෙනවා.

යෝජනාවට විරුද්ධව ඡන්ද 15 ක් ලැබුණු අතර, 40 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියා.

මෙම යෝජනාවෙන් ඉල්ලා ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීමෙන් පසු අවලංගු කර ජාත්‍යන්තර ත්‍රස්තවාදී පිළිවෙත් අනුගමනය කරන ත්‍රස්ත විරෝධී නීති මගින් එය ප්‍රතිස්ඨාපනය කරන ලෙසයි.

එමෙන්ම ශ්‍රී ලංකාවට ලබාදී ඇති ‘ජී.එස්.පී. ප්ලස්’ බදු සහනය තාවකාලිකව අත්හිටුවන ලෙස යුරෝපා සංගම් පාර්ලිමේන්තුව යුරෝපා සංගම් කොමිසමෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

******************************************

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පාර්ලිමේන්තුවට එන්නේ මෙන්න මේ විදියට‍ (11.06.2021)

******************************************

= එදා ඩඩ්ලි සේනානායක අද දියසේන කුමාරයා =

03.

02. https://www.youtube.com/watch?v=ZsgcRo9GfVU

01. https://www.youtube.com/watch?v=fevLnpaZxWM

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *