අන්තවාදයට උදව් කළ උප තැපැල් ස්ථානාධිපතිවරයෙකු අත්අඩංගුවට

අන්තවාදයට උදව් කළ උප තැපැල් ස්ථානාධිපතිවරයෙකු අත්අඩංගුවට

*********************************************

අන්තවාදයට උදව් කළ උප තැපැල් ස්ථානාධිපතිවරයෙකු අත්අඩංගුවට

(11.06.2021 – 06:32 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාම් හෂිම් ඇතුළු පස් (5) දෙනෙකුට 2018 වසරේ දී රැකවරණය ලබාදීමේ චෝදනාව මත මුතිලියාගම ප්‍රදේශයේ උප තැපැල් ස්ථානාධිපතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඊයේ (10) අත්අඩංගුවට ගත් මොහු කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි මොහොමදු කනීම් මොහොමදු රියල්දීන් නැමැති අයෙකු බවයි.

මීට අමතරව ආගමික අන්තවාදය පැතිරවීමට ආධාර අනුබලදීමේ සිද්ධියක් මත දැනට මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටින කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි මවුලවිවරයෙකුද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන තිබෙනවා ෴

******************************************

(11.06.2021 – 07:38 +0530 – hirunews.lk/sinhala)

කුඩා දරුවෙකු බියර් වර්ගයේ මත්පැන් අතැතිව සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසැරූ වීඩියෝව සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අදාළ සිද්ධිය රූගත කරනු ලබන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ නුගේ පාර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකු බවටයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරු අද (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

******************************************

(11.06.2021 – 08:22 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණයත් සමග මතුව ඇති පොහොර හිඟය හමුවේ තමන් ද දැඩි අසීරුතාවයට පත්ව ඇති බව නුවරඑළිය – කුඩා ඔය සහ සමන්එළිය ප්‍රදේශයේ එළවළු ගොවීන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ වෙළඳසැල් වල කෘෂි රසායනික මිල අසාමාන්‍ය ලෙස ඉහල යාම හේතුවෙන් ද තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බවයි.

මේ අතර කාබනික පොහොර භාවිතා කරවීමට ගොවීන් යොමු කිරීම සඳහා වන වැඩපිළිවල මේ වන විට ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොස්ගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෴

******************************************

(11.06.2021 – 08:23 +0530 – hirunews.lk/sinhala)

‘එම් වී එක්ස්ප්‍රෙස් පර්ල්’ නෞකාව ගිණිගැනීම හේතුවෙන් මෙරටට සිදුවූ හානියට වන්දි ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර නීති උපදේශකයන්ගේ සහය ලබා ගන්නා බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ හානි තක්සේරු කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කෙරෙන බවයි.

මේ වන විට මුහුදුබත් වෙමින් පවතින නෞකාව ආශ්‍රිත මුහුදේ නිරීක්ෂණය වී ඇති තෙල් පැල්ලම් සම්බන්ධයෙන් ද පරික්ෂණ ක්‍රියාත්මකයි.

මේ අතර, නෞකාව ගිනි ගැනීමෙන් සහ සාගරයට සිදුවූ හානිය හේතුවෙන් රැකියා අහිමි වූ ධීවරයන් සඳහා මෙතෙක් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වී නොමැති බවට සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා කොළඹදී ඊයේ (10) මාධ්‍ය හමුවක් කැඳවමින් චෝදනා කළා ෴

******************************************

(11.06.2021 – 09:21 +0530 – hirunews.lk/sinhala)

මීගහවත්ත – දෙල්ගොඩ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු (2) මියගොස් තිබෙනවා.

දෙල්ගොඩ – අළුබෝවිල මාර්ගයේ දෙල්ගොඩ දෙසට ධාවනය වු යතුරු පැදියක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (10) පස්වරුවේ මෙම අනතුර සිදුවුණා.

අනතුරෙන් මියගිය යතුරුපැදියේ ගමන් ගත් 30 හැවිරිදි පුද්ගලයා සහ 42 හැවිරිදි කාන්තාව මොරගල සහ දඹුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

@@@@@@@@@@@@@@

(11.06.2021 – 06:37 +0530 – hirunews.lk/sinhala)

ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව අලෙවි කළ ඔක්සිමීටර Oximeter තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

කොළඹ කොටහේන මැසෙන්ජර් වීදියේ මහල් නිවාසයක මෙම භාණ්ඩ අලෙවි කර තිබෙනවා.

පානදුර වලාන දූෂණ මර්දන ඒකකය සහ ඖෂධ නියාමන අධිකාරිය එක්ව මෙම වැටලීම සිදුකලා.

ශරීරයේ ඔක්සිජන් ප්‍රමාණය මැනීම සඳහා මෙම උපකරණය භාවිතා කරන අතර මේ දිනවල මෙම උපකරණ සඳහා පවතින්නේ අධික ඉල්ලුමක්.

සොයාගත් ඔක්සිමීටර කොටසක් මෙම මහල් නිවාස සංකීර්ණයේ වාහන අංගනයේ වාහන කීපයක් තුළ තිබී සොයා ගත් අතර ඉතිරි කොටස එම මහල් නිවස සංකීර්ණයේ නිවසක් පරික්ෂා කිරීමේදී සොයාගෙන තිබෙනවා.

මේවා මෙරටට ගෙන ඒමට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබා නොමැති අතර මෙම උපකරණ තත්ත්වයෙන්ද බාල ඒවා බවයි පැවසෙන්නේ.

වැටලීමේදී ඔක්සිමීටර 3400 ක් පොලිස් භාරයට ගත් අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 35 කට අධික වන බවයි ඖෂධ නියාමන අධිකාරිය කියා සිටින්නේ.

මෙම සිද්දියට සැක පිට තිදෙනෙකු (3) අත්අඩංගුවට ගත් අතර විමර්ශනවලින් අනතුරුව ඔවුන් අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතයි.

++++++++++++++++++++++

(11.06.2021 – 06:49 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික්ක 7 ක ග්‍රාම නිලධාරී වසම් 26 ක හුදෙකලාභාවයෙන් ඉවත් කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කලා.

එම ප්‍රදේශ පහතින් :

++++++++++++++++++++++++

(11.06.2021 – 07:05 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ මාත්‍රා 65,000 ක් අද (11) උදෑසන දිවයිනට ළඟාවූ බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ අදාළ එන්නත් තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට භාරදීමට පියවර ගත් බවයි.

එම එන්නත් අතරින් 15,000 ක ප්‍රමාණයක් දෙවන (2) මාත්‍රාව සඳහා යොදාගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා ෴

++++++++++++++++++++

(11.06.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසක් එන්නත්කරණ රාජකාරි කටයුතුවලින් ඉවත්ව ඇති බව තමාට දැනුම්දී ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඊයේ (10) සිට මොවුන්ට අමතරව ග්‍රාම නිලධාරිවරුන් සහ සමෘද්ධි නිලධාරිවරුන් ඇතුලු පිරිසක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරතවන බවයි.

සෞඛ්‍ය නොවන කාර්ය මණ්ඩල එන්නත්කරණ වැඩසටහනට බලපෑම් කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකර ඇති ප්‍රකාශයක් සමඟ මොවුන් මෙලෙස එන්නත්කරණ රාජකාරි කටයුතුවලින් ඉවත්වන බවට දැනුම්දී ඇති බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා තවදුරටත් කියා සිටියේ.

මේ අතර, වෛද්‍ය සේවාවේ අමතර දීමනා ඉහළ දැමීමට සාපේක්ෂව දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා අද (11) පෙරවරු 7 සිට පැය 4 ක් සේවයෙන් ඉවත්වීමේ සංකේත වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව පරිපුරක වෛද්‍ය වෘත්තියවේදින්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය ප්‍රකාශ කළා.

එසේම, වනජීවී නිළධාරීන්ට කොවිඩ් මර්ධන එන්නත මේ වන තෙක් ලබා නොදීම හේතුවෙන් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට එලඹීමට තීරණය කර ඇති බව වනජීවී නිළධාරීන්ගේ සංගමය පවසනවා.

මේ දිනවල රජය විසින් ගෙන්වනු ලබන විදේශිකයන්ගේ මාර්ග උපදේශ සේවාවන් වෙනුවෙන් (මෙම කාලසීමාව තුල සංචරණ සීමා පැවතිය ද) පැය 24 පුරා නිළධාරින් සේවය කිරීම හේතුවෙන් වනජීවි නිළධාරින් දැඩි අවධානමක් සහිතව සේවා කටයුතු වල නිරත වන බවද එම සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා සදහන් කළා.

මේ අතර ගත වු දිනයේදි නව ආසාදිතයින් 2738 දෙනෙකු හමුවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2,16,134 දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 2,715 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර විදේශයන්හි සිට පැමිණි 23 දෙනෙකුද නව ආසාදිතයන් ලෙස හඳුනාගැනුනා.

ඒ අනුව තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 31,986 ක්.

එමෙන්ම සුවය ලැබූ මුළු සංඛ්‍යාව 1,82,238 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

++++++++++++++++++++++

(11.06.2021 – 08:32 +0530 – hirunews.lk/sinhala)

ලබන සඳුදා (14) අලුයම හතරෙන් (4) පසු දැනට පවතින සංචරණ සීමා ඉවත් කළද එය සිදුවන්නේ සීමාවන්ට යටත්ව බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු අනුගමනය කළ යුතු ඉදිරි වැඩපිළිවෙළ අද (11) හෝ හෙට (12) ප්‍රකාශයට පත් කරන බවයි.

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා දීර්ඝ කරන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි යුද හමුදාපතිවරයා ඊයේ (10) පෙන්වා දුන්නේ.

සංචරණ සීමා ඉවත් කළ පසුව ද ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු වනවා.

ඒ අනුවයි ඊට අදාළ ඉදිරි වැඩපිළිවෙළ මෙලෙස අද (11) හෝ හෙට (12) ප්‍රකාශයට පත්කිරිමට නියමිතව ඇත්තේ.

මේ අතර ඊයේ (10) දිනයේ නිරෝධායන නීති සහ සංචරණ සීමා උල්ලංඝණයට කළ 1038 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++

(11.06.2021 – 09:04 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ වාහන ආනයනය සීමා කිරීම සමග මේ වන විට ජනප්‍රිය ගණයේ වාහනවල මිල ගණන් දෛනිකව සීඝ්‍රයෙන් ඉහළ යන තත්වයක් පවතින බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා කියා සිටියේ පවතින දැඩි ඉල්ලුම හමුවේ රට තුළ නව මෝටර් රථ හිඟයක් ද මතුව ඇති බවයි.

++++++++++++++++++++++

(11.06.2021 – 10:07 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (10) හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 2,738 දෙනා අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 575 දෙනෙකු වාර්තා වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එහි වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වූ 171 දෙනෙකු නිට්ටඹුව ප්‍රදේශයෙන් වාර්තාවී තිබෙනවා.

එසේම කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 339 දෙනෙකු ඊයේ (10) හඳුනාගත් බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඊට අමතරව නුවරඑළිය, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයන් 100 ඉක්මවා වාර්තා වී තිබුණා ෴

+++++++++++++++++++++

(11.06.2021 – 10:56 +0530 – hirunews.lk/sinhala)

එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ඊයේ (10) දිනයේ සයිනොෆාම් එන්නත් පළමු මාත්‍රාව සඳහා 67,615 ක් ලබාදී තිබෙනවා.

දෙවන (2) මාත්‍රාව සඳහා එම එන්නත 25,451 දෙනෙකුට ලබාදුන් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාවද පුද්ගලයින් 342 කට ඊයේ (10) ලබාදී ඇති අතර, ස්පුට්නික්-වී එන්නත ඊයේ (10) දිනයේ කිසිදු පුද්ගලයෙකුට ලබාදී නැහැ.

අවසන් වරට ස්පුට්නික්-වී එන්නත ලබාදී ඇත්තේ පසුගිය 03 වනදායි.

මේ වනවිට කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 9,25,242 කට ලබාදී ඇති අතර, දෙවන (2) මාත්‍රාව දී ඇත්තේ 3,54,993 කට පමණයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *