සැලසුම් කළ පරිදි 14 වනදා සංචරණ සීමා ඉවත් කෙරේ

සැලසුම් කළ පරිදි 14 වනදා සංචරණ සීමා ඉවත් කෙරේ

*********************************************

සැලසුම් කළ පරිදි 14 වනදා සංචරණ සීමා ඉවත් කෙරේ

(10.06.2021 – 18:13 +0530 – hirunews.lk/sinhala)

මීට පෙර තීරණය කළ පරිදි ලබන 14 වනදා සංචරණ සීමා ඉවත් කෙරෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව එදින අලුයම 4 ට සංචරණ සීමා ඉවත් කෙරෙනු ඇති.

සංචරණ සීමා යළි දීර්ඝ කරන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2142 ක් හමුවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 215,538 ක් ලෙසටයි ෴

+++++++++++++++++++++++

(10.06.2021 – 19:06 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ව්‍යාප්තියත් සමග පීඩාවට පත්ව ඇති දෛනිකව ආදායම් උපයන ජනතාවට සහනයක් සැලසීම අරමුණු කර ගනිමින් කොරෝනා වෛරස් රෝගය පිළිබඳ තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි පවසනවා.

ඒ අනුව, පනත් කෙටුම්පත පිළිබඳ ගැටලු ඇත්නම් සතියක කාලයක් තුල අධිකරණය හමුවේ පෙත්සම් ගොනුකළ හැකියි.

යම් පෙත්සමක් ඉදිරිපත් වුවහොත් උපරිම වශයෙන් සති 3 ක් ඇතුළත ඒ පිළිබඳව අධිකරණය විසින් දැනුම් දෙනු ලබනවා.

කෙසේ වෙතත්, සතියක කාලයක් තුල මෙම පනත සඳහා පෙත්සමක් ඉදිරිපත් නොවුවහොත්, එය දෙවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.

අධිකරණ කටයුතු සිදුකිරීම, ණය සහන ක්‍රියාත්මක වීමේදී බලපාන නීතිමය තත්ත්වය, ව්‍යාපාර රැස්වීම් ඇතුළු අවස්ථාවක් හා සම්බන්ධ ගිවිසුමක් ක්‍රියාත්මක වීම සහ සංචාරක කර්මාන්තය සම්බන්ධ ගිවිසුම් ක්‍රියාත්මක වීම මෙම පනත මගින් ආවරණය වන ක්ෂේත්‍රයි.

මේ අතර, කොරෝනා වසංගතයේ තුන්වන රැල්ලෙන් පීඩාවට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ගේ ණය පහසුකම් සඳහා ලබාදී ඇති සහන තවදුරටත් දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා මහබැංකුව සියලුම බලපත්‍රලාභී බැංකු නොවන මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම් වෙත දැනුම් දෙනවා.

ඒ අනුව, එලෙස පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් ලබා ගත් ණය ආපසු ගෙවීමේ කාලය පිළිගත හැකි නැවත අය කරගැනීමේ සැලැස්මක් මත දීර්ඝ කරන ලෙසයි දන්වා ඇත්තේ.

මැයි 15 වනදා වනවිට සක්‍රියව පැවති මූල්‍ය පහසුකම්, අගෝස්තු 31 වනදා දක්වා මෙලෙස සහන ලබාදීමට සලකා බලන ලෙස ඉල්ලා තිබෙනවා.

එමෙන්ම, සහන කාලය තුල දඩ පොලී හෝ දින 10 ක කාලයක් දක්වා ප්‍රමාදවී ගෙවීම් සඳහා ගාස්තු අය නොකරන ලෙසත්, මහබැංකුව බැංකු නොවන මූල්‍ය ආයතන සහ ලීසිං සමාගම් වෙත නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන්.

මීට අමතරව, මේ වසරේ ජුනි 30 වනදා දක්වා ක්‍රෙඩිට් කාඩ් සහ අනෙකුත් ණය පහසුකම් සඳහා ප්‍රමාද ගාස්තු අය නොකරන ලෙස එමගින් දැනුම්දී තිබෙනවා.

අදාළ සහන සඳහා සුදුසුකම් ලබන ණය ලාභීන් ජූලි 15 වනදාට පෙර ලිඛිතව හෝ විද්‍යුත් මාධ්‍යයෙන් ඒ සඳහා ඉල්ලුම් කරන ලෙස ශ්‍රී ලංකා මහබැංකුව දැනුම් දෙනවා ෴

++++++++++++++++++++++++

(10.06.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සංචරණ සීමා පනවා තිබියදී මත්පැන් බෝතල් 800 ක් පුද්ගලයකුට අලෙවි කළ අනුරාධපුර අංක එක ලංකා සතොස ශාඛාවේ රට බීම ගබඩාවේ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය මේ වන විට අක්‍රීය කර හෝ අක්‍රීය වී ඇති බව ලංකා සතොස අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

එය එසේ වන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක්ද ආරම්භ කර ඇති පසුබිමකයි.

සංචරණ සීමා ක්‍රියාත්මක වන මෙම කාලසීමාවේ සුරාබදු දෙපාර්තමේන්තුව සියළු මත්පැන් අලෙවිසැල් මුද්‍රා තබා තිබෙනවා.

එවැනි අවස්ථාවක අනුරාධපුර නගරයේ පිහිටි ලංකා සතොස අලෙවිසැලේ මත්පැන් ගබඩාවෙන් මත්පැන් තොගයක් රැගෙන යාමේ පුවත හිරු ප්‍රවෘත්ති අණාවරණය කලේ ඊයේ (09) දිනයේදියි.

සතොස ආයතනයේ ඉහල බලධාරියකුගේ උපදෙස් මත සුරාබදු දෙපාර්තමේන්තුවේ නිළධාරියකු ද පැමිණ එම අලෙවි මධ්‍යස්ථානයේ කළමණාකාරවරිය සහ මත්පැන් අලෙවි සැල බාරව කටයුතු කළ සේවකයාද හවුල්කර ගනිමින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවට අප ඊයේ (09) වාර්තා කළා.

කෙසේ වෙතත්, ලංකා සතොස ආයතනයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කළේ නිළ ඇදුමකින් සැරසුනු පුද්ගලයකු වාහනයකින් පැමිණ අදාල ලංකා ස.තො.ස. ගබඩාවේ සේවකයන් කිහිපදෙනෙකුගේද සහයෝගයෙන් ගබඩාව විවෘත කර මත්පැන් බෝතල් තොගය රැගෙන ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධීය වන අවස්ථාවේ එම ශාඛාවේ ආරක්ෂක කැමරා පද්ධතිය අක්‍රීය කර හෝ අක්‍රීය වී ඇති බවයි සතොස අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ දුරකතන ඇමතුමකට අනුව සිය දෙපාර්තමේන්තුවේද නිලධාරියෙකුගේද මැදිහත්වීමෙන් මෙම මත්පැන් තොගය ආරක්ෂක අංශ සාමාජිකයෙකුට ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත්, ඊට අදාළ මුදල සතොස වෙත පියවා ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළා.

මෙම කටයුත්ත සිදුවන අවස්ථාවේ එහි සිටි වෙනත් අයෙකුද මත්පැන් බෝතල් කිහිපයක් ඉල්ලා ඇති බව සඳහන්. ඊට එකඟතාවය පළ වී නොමැති අතර, ඔහු මෙම කාරණය පිටස්තර පාර්ශවයකට පවසා ඇති බවට සැක පළ කරන බවද සුරාබදු දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියා සිටියා.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එහි වාර්තාව වෙළඳ අමාත්‍යවරයාට සහ ලංකා සතොස සභාපතිවරයාට ලබාදීමට නියමිත බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

++++++++++++++++++++++

(10.06.2021 – 19:48 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ආශ්‍රිතව මීට පෙර වාර්තා වූ මෙරටට ආවේණික වූ කොරෝනා ප්‍රභේදය මේ වනවිට යටපත් වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියේ බ්‍රිතාන්‍යයේ ‘බී එකයි එකයි හත’ වෛරස් ප්‍රභේදය මෙරට තුළ වැඩි වශයෙන් මේ වනවිට වාර්තා වන බවයි.

ඔවුන් පසුගිය මාසයට අදාළව සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව කොළඹට අමතරව මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොල, හබරාදූව, මාතර, කරාපිටිය, මහනුවර සහ රාගම ප්‍රදේශවලින් බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය හඳුනාගෙන ඇති බව සඳහන්.

එසේම, මෙරට එන්නත්කරණ වැඩසටහනට අදාළව සිදුකෙරෙන ඇස්ට්‍රාසෙනෙකා, ස්පුට්නික් සහ සයිනොෆාම් එන්නත් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙන වෙනම පර්යේෂණ තුනක් (3) සිදුකරන බවද ඔහු කියා සිටියා.

ඔස්ට්‍ර්ලියාවේ මෙල්බර්න් නුවර කේන්ද්‍ර කරගෙන හට ගෙන ඇති නව කොරෝනා පොකුර නිර්මාණය වී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ රැදී සිට එහි ගිය අයෙකුගෙන් නොව ශ්‍රී ලංකාව හරහා එහි ගිය පුද්ගලයෙකුගෙන් බවට අනාවරණ වී තිබෙනවා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට 2000 කට ආසන්න වී තිබෙනවා.

නමුත් දෛනිකව වාර්තා වන කොවිඩ් මරණ සම්බන්ධයෙන් ජනතාවට පවතින්නේ අපැහැදිලි තත්ත්වයක්.

ඊට හේතු වී ඇත්තේ ඇතැම් කොවිඩ් මරණ එය සිදුවූ දිනයේම වාර්තා නොවී දින කිහිපයකට පසු තහවුරු කිරීම හේතුවෙන්.

මේ අතර, කොරෝනා මර්දන කටයුතු සඳහා දැනට සෘජු දායකත්වයක් නොදක්වන සෞඛ්‍ය සේවකයන් එම කටයුතු සඳහා සක්‍රිය දායකත්වයක් ලබා ගැනීමේ අරමුණින් ස්වේච්ඡා බලකායක් ස්ථාපිත කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

මේ අතර, කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1811 දෙනෙකු සුවය ලබා අද රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු සංඛ්‍යාව දැනට දැක්වෙන්නේ එක්ලක්ෂ 82,238 ක් ලෙසයි.

මේ අතර, කොස් ගසකින් ඇද වැටී සුෂුම්නාවට හානි සිදුව තිබූ කොරෝනා ආසාදිත 60 හැවිරිදි පුද්ගලයෙකු නිර්වින්දනය කර සාර්ථකව සැත්කමක් සිදුකර තිබෙනවා.

ඒ, මහනුවර ජාතික රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුනන්ද උඩගෙදර මහතා ඇතුළු කණ්ඩායම විසින්.

++++++++++++++++++++++++++

(10.06.2021 – 20:42 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය නිර්දේශවලට අනුව කොවිඩ්-19 ලෝක තත්වය සලකා බලා එන්නත්කරණයට 03 වන මාත්‍රාවක් අවශ්‍යනම් එය දැන්ම ඇනවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ලොව ප්‍රධාන පෙලේ රටවල් ගණනාවක් තුන්වන (3) මාත්‍රාව සඳහා එන්නත් මේවන විටත් ඇණවුම් කර ඇති අතර ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ විශේෂ අවදානයක් යොමු කරමින් තුන්වන (3) මාත්‍රාව සඳහා සූදානම් විය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ.

ලොව පුරා සියලු රටවලින් එන්නත් සඳහා විශාල ඉල්ලුමක් පවතිනවා.

එම තරගකාරී තත්වය තුළ වැඩි එන්නත් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා රටවල් රැසක නායකයන් සමග සාකච්ඡා කර සහය ඉල්ලා සිටි බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියාසිටියේ.

ඒ අනුව ඉතා අසීරුවෙන් ලබාගත් එන්නත් විනිවිදභාවයකින් හා විධිමත්ව ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

මේවන විට එන්නත් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බැවින් වයස අවුරුදු 60 ට වැඩි සියලුදෙනාට සහ හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ට ද කඩිනමින් ඉන්නත ලබාදීමේ අවශ්‍යතාව ඔහු පෙන්වාදී තිබෙනවා.

ඊට සමගාමීව බෝ නොවන රෝගවලින් පෙළෙන සියලුදෙනාට ද එන්නත ලබාදීමට පියවර ගන්නා ලෙසටයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ.

වැඩි පිරිසකට එන්නත් ලබාදීමෙන් කොවිඩ් වසංගතය පැතිර යාම සහ ආසාදිතයන් අසාධ්‍ය තත්වයට පත්වීම වළක්වාගත හැකි බවයි කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (10) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ.

විධිමත් එන්නත්කරණයට සහ එන්නත් ලබාගන්නා සියලුදෙනා පිළිබඳ දත්ත එක්රැස් කිරීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විශේෂ මෘදුකාංගයක් නිර්මාණය කර තිබෙනවා.

එමගින් ග්‍රාමසේවා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් ඉන්නත ලබාගැනීමට දිනයක් සහ වේලාවක් පහසුවෙන් වෙන්කර ගැනීමට ද හැකියි.

මේවන විට එන්නත් ලබාගෙන ඇති සහ ඉදිරියට ලබාගන්නා සියලුදෙනා පිළිබඳ තොරතුරු ඊට ඇතුලත් කිරීම සහ එන්නත්කරණය පිළිබඳ ජාත්‍යන්තරය පිළිගන්නා සහතිකයක් නිකුත් කිරීමට ද රජය අපේක්ෂා කරනවා.

කොවිඩ් නොවන මරණ පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමෙන් අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව බොහෝ දෙනාගෙන් චෝදනා එල්ලවී තිබෙන බවයි මෙම සාකච්ඡාවේදී හෙළිවුයේ.

එය සැළකිල්ලට ගෙන වෙනත් හේතූන් මත මියයන අයගේ අවසන් කටයුතු පැය 24 ක් ඇතුළත සිදු කිරීමට පියවර ගැනීමට ද කොවිඩ් විශේෂ කමිටුව තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 573 ක් හමුවී තිබෙනවා. ඒ අනුව අද දිනය තුල මෙරටින් ආසාදිතයන් 2715 ක් හඳුනාගනු ලැබුවා ෴

නිරෝධායන නීතිය උල්ලංඝනය කළ තවත් 1038 ක් 10.06.2021 දිනයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++++++

(10.06.2021 – 21:45 +0530 – hirunews.lk/sinhala)

මුහුණු ආවරණ නොපැලඳීම පිළිබඳ ප්‍රශ්න කල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයකුට පහර දුන් 25 හැවිරිදි පුද්ගලයා වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වවුනියාවේ සන්තසෝලායි ප්‍රදේශයේදීයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ යතුරුපැදියක ගමන් කරමින් සිටියදී මුහුණු ආවරණයක් පැළඳ නොසිටීම සම්බන්ධයෙන් PHI නිලධාරියා සැකකරුගෙන් ප්‍රශ්න කර ඇති බවයි.

එහිදී කෝපයට පත් අදාළ පුද්ගලයා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයාට පහර දී තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

මෙලෙස සෞඛ්‍ය සේවකයින්ගේ රාජකාරිවලට බාධා කරන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියාසිටියේ.

@@@@@@@@@@@@@@@@

(10.06.2021 – 19:15 +0530 – hirunews.lk/sinhala)

කුඩා දරුවෙකුද යොදා ගනිමින් සුඛෝපභෝගී වාහනයකින් මහනුවර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හරිමින් සිටි යුවලක් අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලීසිය අද (10) සමත් වුණා.

මහනුවර – ලුවී පීරිස් මාවතේදී සිදුකළ එම වැටලීමේදී රුපියල් ලක්ෂ 22 කට ආසන්න මුදල් සහ මත්කුඩු ග්‍රෑම් 60 ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

සංචරණ සීමා පනවා තිබෙන නිසා, පොලිස් මාර්ග බාධක වලදී මෙම යුවල ප්‍රකාශ කර ඇත්තේ දැඩි අසනීප තත්ත්වයෙන් පසුවන තම 5 හැවිරිදි දරුවා රෝහල් ගත කිරීමට රැගෙන යන බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 29 හැවිරිදි අයෙකු වන අතර කාන්තාව ඔහුගේ අනියම් බිරිඳ බවට සැලකෙනවා.

අදාළ දරුවා එම කාන්තාවගේ පළමු විවාහයේ දරුවෙකු බවටයි අනාවරණ වී ඇත්තේ ෴

******************************************

(10.06.2021 – 19:25 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ තෙල් කාන්දුවක් සිදුවන්නේ දැයි සොයා බැලීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජල සාම්පල ලබාගෙන තිබෙනවා.

පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ ඒ සඳහා එම අධිකාරියේ කණ්ඩායමක් මුහුදුබත් වෙමින් පවතින නෞකාව ආසන්නයට ගොස් ඇති බවයි.

මෙම නෞකාවෙන් සිදුවිය හැකි පරිසර හානි අවදානම වසර 20 ක පමණ කාලයක් පවතිනු ඇති බව සැලකෙනවා.

එමෙන්ම, මුහුදුබත් වූ නෞකාවෙන් මෙරටට සිදුවූ පරිසර හානිය හේතුවෙන් ඊට සම්බන්ධ වූ සියලුදෙනාට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ අද (10) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

එමෙන්ම, නිවේදනයක් නිකුත් කරමින් නාරා ආයතනය පෙන්වා දුන්නේ මෙම නෞකාවට අදාළ පර්යේෂණ කටයුතු මෙහෙයවීම තම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මෙහෙයවීම මත සිදුකරන බවයි.

එමෙන්ම, අද (10) දිනයේදී අලුත්ගම – මොරගල්ල වෙරළ තීරයට මුහුදුබත් වූ නෞකාවේ යැයි සැක කරන කිලෝ 250 කට වඩා වැඩි යකඩ බෝයාවක් ගොඩගසා තිබූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මාරවිල – තුඩාව වෙරළ තීරයට මියගිය කැස්බෑවෙකු සහ නොරොච්චෝල – ඉලන්තඩිය වෙරළට මියගිය ඩොල්ෆින් මත්ස්‍යයෙකු ගොඩගසා තිබූ බව ද වාර්තා වුණා.

******************************************

(10.06.2021 – 19:52 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා ළමා ශ්‍රමිකයන් දශක දෙකකට (2) පසු මිලියන 160 ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ජගත් සංවිධානය පවසනවා.

එහි නියෝජිත ආයතන වූ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය සහ ලෝක කම්කරු සංවිධානය පෙන්වා දෙන්නේ පසුගිය සිව් (4) වසර තුල පමණක් ළමයින් මිලියන 8.4 ක් ගෝලීය ශ්‍රම බලකායට එක්වී ඇති බවයි.

එමෙන්ම, කොරෝනා වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස ලබන වසර අවසන් වනවිට තවත් ළමයින් මිලියන 9 ක් ශ්‍රමිකයන් බවට පත්වනු ඇති බවයි එමගින් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ ෴

******************************************

(10.06.2021 – 20:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකිකයෙකු වන ආචාර්ය ජෝර්ජ් ඊ ගේබ්‍රියල් අමරිකානු ධවල මන්දිර සමාජිකත්ව වැඩසටහන සඳහා වන ජනාධිපති කොමිසමට පත් කිරීමට අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබෙනවා.

කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන ආචාර්ය ජෝර්ජ් ඊ ගේබ්‍රියල් වසර 40 කට අධික අත්දැකීම් ඇති ප්‍රවීණ අධ්‍යාපනඥයෙක්.

මීට දශක දෙක හමාරකට පෙර අමරිකාවට සංක්‍රමණය වූ ආචාර්ය ජෝර්ජ් ඊ ගේබ්‍රියල් ආර්ථික විද්‍යාව සහ සමාජ විද්‍යාව යන විෂයන් සම්බන්ධයෙන් ආචාර්ය උපාධිය ලබා ගෙන ඇත්තේ ටෙනසි හි වැන්ඩබිල්ට් විශ්වවිද්‍යාලයෙන්.

අමරිකානු ජනපති කොමිසමකට පත් කෙරුණු ශ්‍රී ලාංකික පසුබිමක් සහිත පළමු පුද්ගලයා ඔහුයි ෴

******************************************

(10.06.2021 – 20:29 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, ද්වීපාර්ශවික වශයෙන් ආර්ථික සහ වානිජ සහයෝගිතාව තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට අවධානය යොමුකළ හැකි බව මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ ප්‍රකාශ කළා.

ඒ ශ්‍රී ලංකා ආයෝජන සංසදයේදී අදහස් දක්වමින්.

වරාය, නාවික කටයුතු, බලශක්ති, තොරතුරු තාක්ෂණ, සංචාරක, කර්මාන්ත, ප්‍රවාහන, දේපල වෙළඳාම්, සෞඛ්‍ය, අධ්‍යාපන මෙන්ම, කෘෂිකර්ම යන ක්ෂේත්‍රයන්වල සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගත හැකි බවයි ඔහු එහිදී කියා සිටියේ.

ආර්ථික අන්තර් ක්‍රියා ප්‍රවර්ධනයට, ස්ථායි සහ පුරෝකතනය කළ හැකි ප්‍රතිපත්ති ඉතා වැදගත් බව ද ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

******************************************

(10.06.2021 – 21:38 +0530 – hirunews.lk/sinhala)

ලිට්රෝ සමාගම ඕමාන් සමාගමක් හරහා අලාභ සහිතව මෙරටට ගෑස් ගෙන්වන බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අනාවරණ කරනවා.

කොළඹ අද (10) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ පැවසුවේ ඊට ආගමික අන්තවාදී කණ්ඩායමක් සම්බන්ධ බවයි.

මේ අතර රසායනික පොහොර ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් ද පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් එහිදී අදහස් පළ කළා.

******************************************

රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහි වෙමු – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

(10.06.2021 – 21:47 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සම්පත් විකිණීමට තමන් තරයේ විරුද්ධ බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *