මෙරට ලාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට ලාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි

*********************************************

මෙරට ලාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි

(10.06.2021 – 14:09 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තා වූ ලාබාලතම කොරෝනා ආසාදිත මරණය ඊයේ (09) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද මරණ අතර වනවා.

පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි දින 08 ක් වයසැති බිළිඳෙකු මෙලෙස ගම්පොල මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඊට හේතු වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාවයි. මැයි 27 වැනිදා බිළිඳා මියගොස් තිබෙනවා.

මේ අතර ඉන්දියාවේ පැතිර යන ප්‍රබල ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදය වැළඳුණු තවත් ආසාදිතයෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා.

නිරෝධායන මධ්‍යස්ථානයක සිටින ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකු මෙලෙස හඳුනාගෙන ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව මෙරටින් හඳුනාගත් ඉන්දීය වෛරස් ප්‍රභේදය ආසාදනය වූ දෙවන (2) ආසාදිතයා මොහු වන අතර, මීට පෙර ගල්කිස්ස ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකින් ඉන්දීය වෛරස් ප්‍රභේදය වැළඳුණු ඉන්දියානුවෙකු හඳුනා ගැනුණා.

බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයේ පැතිර යන බී එකයි එකයි හත (B117) වෛරස් ප්‍රභේදය මෙරට තවත් ප්‍රදේශ රැසක පැතිර යන බවද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළ පරීක්ෂණය මගින් තහවුරු වී තිබෙනවා.

කොළඹ, මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොල, හබරාදූව, මාතර, කරාපිටිය සහ රාගම ප්‍රදේශවලින් බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය හඳුනාගෙන ඇති බව සඳහන්.

මීට අදාළ වාර්තාව අද (10) පෙරවරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාරදීමට කටයුතු කළ බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියේ.

මෙතෙක් දිනකදී තහවුරු කළ වැඩිම කොරෝනා මරණ වාර්තාව යළි අලු‍ත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගතවූ දිනයේදී මරණ 67 ක් නිවේදනය කළ අතර, ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,910 ක්.

ඊයේ තහවුරු කළ කොරෝනා මරණ සිදුව ඇත්තේ පසුගිය මැයි 17 වැනිදා සිට ජුනි 08 දක්වා කාලය තුළදී වන අතර ඊට පිරිමි පුද්ගලයින් 43 දෙනෙක් සහ කාන්තාවන් 24 දෙනෙක් අයත්.

එම පිරිස අතර වයස අවුරුදු 20 ත්, 29 ත් අතර දෙදෙනෙකු, වයස අවුරුදු 36 ක කාන්තාවක්, අවුරුදු 40 ත්, 49 ත් අතර තුන් දෙනෙකු සහ අවුරුදු 50 ත්, 59 ත් අතර 05 දෙනෙකු වනවා. එසේම, ඊයේ තහවුරු කරන ලද කොරෝනා මරණ අතර වයස අවුරුදු 60 ත්, 69 ත් අතර 16 දෙනෙකු, අවුරුදු 70 ත්, 79 ත් අතර 19 දෙනෙකු සහ අවුරුදු 80 ත්, 89 ත් අතර 18 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2,735 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වූ 545 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 543 දෙනෙක් වාර්තා වුණා.

කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 358 ක්.

මහනුවර, මඩකලපුව, ගාල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී තිබුණා.

මේ අතර, වවුනියාව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්ට සිදුකළ පළමු පරීක්ෂණයේදී කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති බව වාර්තා වනවා.

නව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ටද කොරෝනා ආසාදනය වී ඇති බව අද වාර්තා වුණා.

රෝගී තත්ත්වයක් මත අම්පාර මධ්‍යම කඳවුර රෝහලට ඇතුළත් කළ තරුණියකට කොරෝනා ආසාදිත බව සිදුකළ පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා.

ඒ අනුව ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා යොමු කිරීමට රෝහල කටයුතු කරන අතරතුරදී ඥාතීන් විසින් බලහත්කාරයෙන් රැගෙන යන ආකාරය දැකගත හැකි වුණා. කෙසේ වෙතත්, මේ වනවිට ඇය යළි රෝහල වෙත රැගෙනවිත් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

ගම්පොල බස් නැවතුම්පොළේ සිටි යාචකයින් පිරිසකට ඊයේ සිදුකළ කොරෝනා පරීක්ෂාවකදී 13 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් අතරින් 8 දෙනෙකු බිංගිරිය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කිරීමට පියවර ගැනුණද එම මධ්‍යස්ථානයෙන් අදාළ ආසාදිත යාචකයින් පිරිස භාරගෙන තිබුණේ නැහැ.

ඒ අනුව ඔවුන් නුවරඑළියේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුකර ඇති අතර, එම ස්ථානයෙන්ද මෙම පිරිස භාර නොගැනීම නිසා අද (10) අලු‍යම 1 ට පමණ යළි ගම්පොල ජාතික උරුම මධ්‍යස්ථාන භූමියට රැගෙනවිත් තිබෙනවා.

ඒ අතරින් තිදෙනෙකු (3) අසාධ්‍ය තත්ත්වයේ පසුවීම නිසා අද (10) පෙරවරුවේ මහනුවර රෝහල වෙත ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. කෙසේ වෙතත්, පින්නවල පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයට සෙසු ආසාදිත යාචකයන් පිරිස භාරගෙන තිබුණා.

මේ අතර, වව්නියාව – සාන්තසෝලේ ප්‍රදේශයේදී මුහුණු ආවරණ නොමැතිව යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයෙකු පරීක්ෂා කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට යතුරුපැදිකරු පහරදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පහරදීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත 25 හැවිරිදි යතුරුපැදිකරු සොයා වව්නියාව පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

මේ අතර, ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබානොදීමට විරෝධය පළකරමින් වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලේ කනිෂ්ඨ සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ උපවාසය අද (10) දෙවන (2) දිනටත් ක්‍රියාත්මකයි.

+++++++++++++++++++++++

(10.06.2021 – 14:09 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා දත්ත සලකා බලා සංචරණ සීමා සම්බන්ධයෙන් රජය ඉදිරියේදී තීන්දුවක් ගනු ඇති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා.

ඊයේ (09) ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළකරමින් ඇය සදහන් කළේ පසුගිය සතියට සාපේක්ෂව මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සහ මරණ වල සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.

එසේම සංචරන සීමා පවතින කාල සීමාවේදී එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී බල ප්‍රදේශයට අයත් මෝදර සායනය බිඳ භාණ්ඩ සොරාගත් පුද්ගලයින් දෙදෙනෙකු (2) පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් එහිදී අදාල සායනයේ පුටු 40 ක්, විදුලි පංකා දෙකක් (2), රූපවාහිනී යන්ත්‍ර දෙකක් (2) ඇතුළු දේපල සොරාගෙන ගොස් ඇති අතර සැකකරුවන් හෙරොයින් වලට ඇබ්බැහීවීවීම හේතුවෙන් බන්ධනාගාර ගතව සිට පැමිණි අය බවයි පොලීසිය සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(10.06.2021 – 14:13 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් සංචරණ සීමා ක්‍රියාත්මක වුව ද, පසුගිය මැයි මාසයේදී දිවයිනට සංචාරකයන් 1500 කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ තිබෙනවා.

ඒ අතුරෙන් බහුතරයක් චීනය, ජර්මනිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවලින් පැමිණි බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ.

කෙසේ නමුත්, අප්‍රේල් මාසයේ දිවයිනට පැමිණි 4000 ඉක්මවූ සංචාරකයන් සංඛ්‍යාව හා සසඳන විට මැයි මාසයේදී වාර්තා වන්නේ පහත වැටීමක්.

එමෙන්ම, වසරේ මුල් මාස 5 තුල දිවයිනට සංචාරකයන් 15,294 ක් පැමිණ තිබෙනවා.

එහිදී කසක්ස්ථානය, ජර්මනිය, ඉන්දියාව සහ චීනය දිවයිනට වැඩියෙන්ම සංචාරකයන් පැමිණි රටවල් ලෙස සටහන් වන බවයි සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටියේ ෴

++++++++++++++++++++++

(10.06.2021 – 15:08 +0530 – hirunews.lk/sinhala)

නව කොවිඩ් ප්‍රභේදය ගැන පැහැදිලි කරන විශේෂ මාධ්‍ය හමුවක් මේ මොහොතේ පැවැත්වෙනවා.

එහි සජීව විකාශය පහතින් :

++++++++++++++++++++++

(10.06.2021 – 15:30 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියානු ප්‍රභේදය හෙවත් ඩෙල්ටා ඛාණ්ඩයේ ආසාදිතයා වස්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකින් ලැබුණු සාම්පලයක් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

එම නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් නියැදි ගෙන්වා ගත්තේදැයි මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් ආචාර්යවරයා කියාසිටියේ තත්වය සම්බන්ධයෙන් නිරෝධායන මධ්‍යස්ථානයට දැනුම්දී අදාළ පියවර ගැනීමට උපදෙස් දුන් බවයි.

කෙසේවෙතත් ආසාදිත පුද්ගලයා තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටිනවාද එසේත් නොමැතිනම් ඔහු ඉන් ඉවත්ව ගොස් සිටිනවා ද යන්න සම්බන්ධයෙන් මෙහිදී පැහැදිළි කිරීමක් සිදු කෙරුනේ නැහැ ෴

+++++++++++++++++++++++

(10.06.2021 – 15:57 +0530 – hirunews.lk/sinhala)

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ව්‍යාප්ත වන නව කොරෝනා පොකුරට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් එරටට ගිය පුද්ගලයෙකුගෙන් නොවන බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර මහතා පවසනවා.

අද (10) පැවති මාධ්‍ය හමුවකදී ආචාර්ය ජීවන්දර මහතා කියා සිටියේ අදාළ පුද්ගලයා ශ්‍රී ලංකාව හරහා මෙල්බන් නුවරට ගිය අයෙකු බවට හඳුනා ගත් බවයි.

මේ සම්බන්දයෙන් ඕස්ට්‍රේලියානු රජයේ සෞඛ්‍ය අංශ ද දැනුවත් කර බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩි දුරටත් කියාසිටියා.

++++++++++++++++++++++++

(10.06.2021 – 15:57 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ මේ වන විට වැඩි වශයෙන් පැතිර යමින් පවතින්නේ බ්‍රිතාන්‍ය ඇල්ෆා වෛරස් ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ මේවන විට ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් පැතිර යමින් පවතින්නේ බ්‍රිතාන්‍යයේ ඇල්ෆා ප්‍රභේදය බවයි.

එය සාමාන්‍යයෙන් අනෙක් වෛරස ප්‍රභේද පැතිර යාමේ වේගයට වඩා සියයට 50 කින් වැඩි වනවා.

එබැවින් එය පැතිර යාමේ සීඝ්‍රතාවක් පෙන්නුම් කරන බවයි වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා කියාසිටියේ.

එමෙන්ම ඉන්දීය වෛරස ප්‍රභේදයේ පැතිර යාමේ වේගය සාමාන්‍ය කොවිඩ් වෛරස ප්‍රභේදවලට වඩා සියයට 100 කින් වැඩි බව ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම එම වෛරසය ආසාදනයෙන් පෙන්වන සංකූලතා වැඩි අතර වෛරසයේ ප්‍රබලත්වය ද මෙතෙක් හමුවී ඇති අනෙක් වෛරසවලට වඩා වැඩි වනවා.

එබැවින් එය ශ්‍රී ලංකාවට ඇතුලුවීම වැළැක්විය යුතු බවයි ආචාර්යවරයා කියාසිටියේ.

කෙසේ වෙතත් එය මැඩපැවැත්වීම අසීරු වී ඇත්තේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජ්‍යය වීම හේතුවෙන් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළා ෴

කොරෝනා වෛරසය ආසාදිත වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1811 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 182,238 ක් ලෙසටයි ෴

++++++++++++++++++++

(10.06.2021 – 16:11 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා වසංගතයට එරෙහි සටනට සහය දක්වමින් දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඔක්සිජන් සිලින්ඩර 150 ක් සහ ස්පන්දන ඔක්සිමීටර් 22 ක් සහිත පළමු තොගය ශ්‍රී ලංකාව වෙත එවා තිබෙනවා.

විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ දෝහා හි ශ්‍රී ලංකා තානාපති මෆාස් මොහිදීන් විසින් කරන ලද හදිසි ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම පරිත්‍යාගය දෝහා හි ශ්‍රී ලාංකිකයන් සහ එරට ව්‍යාපාරික ප්‍රජාව විසින් ලබා දී ඇති බවයි.

තානාපති කාර්යාලයේ ඉල්ලීම පරිදි මෙම භාණ්ඩ තොගය ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් නොමිලේ ප්‍රවාහනය කර තිබෙනවා.

මෙම ඔක්සිජන් සිලින්ඩර සහ ස්පන්දන ඔක්සි මීටර් තොගය විදේශ අමාත්‍යාංශයට භාරදී ඇති අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා රජයේ රෝහල් අතර බෙදා හැරීමට නියමිතයි.

++++++++++++++++++++++

(10.06.2021 – 16:13 +0530 – hirunews.lk/sinhala)

දැනට යොදා ගැනෙන කොවිඩ් මර්දන එන්නත් කිසිවක් ජීවිත කාලය පුරා ප්‍රතිශක්තිය ලබා දෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසනවා.

එමෙන්ම කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමට නම් මෙරටට සංචාරකයින් ගෙන්වා ගැනීමේදී සංචාරක අමාත්‍යාංශය සෑම විටම සෞඛ්‍ය මාර්ගෝපදේශ සමග පූර්ණ ලෙස අනුගත විය යුතු බවද ඔහු අවධාරණය කරනවා.

+++++++++++++++++++++

(10.06.2021 – 16:21 +0530 – hirunews.lk/sinhala)

දැනට කොවිඩ් මර්දන කටයුතු සඳහා ඍජුව දායකත්වයක් නොදක්වන සෞඛ්‍ය සේවකයන් එම කටයුතු සඳහා සක්‍රීය දායකත්වයක් ලබාගැනීමේ අරමුණින් ස්වේච්ඡා බලකායක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

එම අමාත්‍යංශය නිවේදනය කළේ දැනටමත් ඒ සඳහා ඉතා විශාල පිරිසක් කැමැත්ත පළකර ඇති බවයි.

ඊට ස්වේච්ඡාවෙන් තම ශ්‍රමය හා කාලය කැප කිරීමට උනන්දුවක් දක්වන රාජ්‍ය හෝ පෞද්ගලික සෞඛ්‍ය සේවයේ නියුතු සේවකයන් ගෙන් හෝ විශ්‍රාම ලත් කාර්ය මණ්ඩල සේවකයන් ගෙන් අභිමතය විමසීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වන ලෙසටයි දැනුම්දෙන්නේ.

Ministry of Health is expecting your sincere and generous contribution to the nation during this critical situation. Please come forward and extend your helping hand for fellow healthcare workers and you will be appropriately recognized by the Ministry of Health. Your submission will be considered as consented volunteering for COVID-19 related requirements.

[ අයදුම්පත්‍රය මෙතැනින් ]

++++++++++++++++++

(10.06.2021 – 17:16 +0530 – hirunews.lk/sinhala)

හෙට (11) දිනයේදී සෞඛ්‍ය වෘත්තීය සමිති 26 ක් තම ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වැඩ වර්ජනයක නිරත නිරත වීමට සැලසුම් කර තිබෙනවා.

කොවිඩ් මර්දනය කටයුතුවලදී කටයුතුවලදී පහසුකමක් වන PPE kit, මුව ආවරණ, අත් ආවරණ මෙන්ම අඛණ්ඩව සේවයේ නිරතවන සේවකයන් සඳහා ආහාර වැනි ඉල්ලීම් මුල්කර ගනිමිනුයි ඔවුන් මෙම වර්ජනයට එක්වීමට සැලසුම් කර ඇත්තේ.

හෙට (11) උදෑසන 7 සිට මධ්‍යහ්න දොළහ (12) වන තුරු මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරතවීමට ඔවුන් සුදානම් වනවා.

කෙසේ වෙතත් කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර සිදුකරන රෝහල් සහ ළමා රෝහල් 15 ක් මෙම වෘත්තීය සමිති අරගලයට එකතු නොවන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති කියාසිටියේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ වෛද්‍යවරුන්ගේ නිලය වෙනස් වුව ද රෝගය වෙනස් නොවන බවයි.

සේවකයන්ට මෙම පහසුකම් ලබාදීම මගින් මෙම වෛරස ව්‍යාප්තිය නතරකර ගැනීමට හැකි බවයි ඔහු මෙහිදී පෙන්වා දුන්නේ.

රජයේ විකිරණ හා විද්‍යා තාක්ෂණවේදී සංගමය, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය මෙන්ම රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 26 ක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් වනවා ෴

@@@@@@@@@@@@@@@

(10.06.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ තෙල් කාන්දුවක් සිදුවන්නේ දැයි සොයා බැලීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජල සාම්පල ලබාගෙන තිබෙනවා.

පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ ඒ සඳහා එම අධිකාරියේ කණ්ඩායමක් මුහුදුබත් වෙමින් පවතින නෞකාව ආසන්නයට ගොස් ඇති බවයි.

මෙම නෞකාවෙන් සිදුවිය හැකි පරිසර හානි අවදානම වසර 20 ක පමණ කාලයක් පවතිනු ඇති බව සැලකෙනවා.

එමෙන්ම, මුහුදුබත් වූ නෞකාවෙන් මෙරටට සිදුවූ පරිසර හානිය හේතුවෙන් ඊට සම්බන්ධ වූ සියලුදෙනාට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ අද (10) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ෴

******************************************

(10.06.2021 – 15:17 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දිනවලදී නිකුත් කළ පූර්ව ගංවතුර අනතුරු ඇගවීම් ඉවත් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මෝසම් වැසි සමඟ ගංගාවලින් වාර්තා වූ තරමක් ඉහළ ජල මට්ටම් මේ වනවිට සැලකිය යුතු ලෙස පහල යමින් පවතිනවා.

එම ගංගාවල ගංවතුර සම්බන්ධයෙන් වූ අවදානම් සහගත තත්ත්වය මේ වනවිට පහව යමින් පවතින නිසා, මෙම ඉවත් කිරීම් සිදුකරන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

පසුගිය පැය 24 තුල දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී නොමැති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කැළණි, කළු ගංගා මෙන්ම, අත්තනගලු ඔය සහ මහඔයේ ද්‍රෝණිවල පහළ ධාරා ප්‍රදේශයේ පහත්බිම් වල තවදුරටත් රැදී ඇති පිටාර ජලය ඉදිරි දින කිහිපයේදී ක්‍රමයෙන් බැස යනු ඇතැයි අපේක්ෂිතයි ෴

******************************************

(10.06.2021 – 16:23 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් ත්‍රිකුණාමලය කන්නියා ප්‍රදේශයේ සිදුකරගෙන යන බලපත්‍ර සහිත පස් කැපීමක් හේතුවෙන් විශාල පරිසර හානියක් මෙන්ම අනතුරුදායක තත්ත්වයක්ද මතුව තිබෙනවා.

මෙම පස් කැපීම සිදුවන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමියක වීමද විශේෂත්වයක්.

ත්‍රිකුණාමලය උණු වතුර ලිං පිහිටා තිබෙන කන්නියා ප්‍රදේශයට නුදුරින් ඉලුප්පුකුලම වැව අසල මෙම පස් කැපීම සිදු කරගෙන යනවා.

මෙම භූමිය අයත් වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි.

මෙම භූමියට ආසන්නව පිහිටා තිබෙන වල්ලූර්කොට්ටම් ගම්මානයේ වැසියන් පවසන්නේ වසර 05 ක පමණ සිට මෙම පස් කැපීම සිදු කරන බවයි.

ත්‍රිකුණාමලය – අනුරාධපුර හා ත්‍රිකුණාමලය – පුල්මුඩේ ප්‍රධාන මාර්ග යා කරමින් ඉදිකර තිබෙන මෙම මාර්ගයටද පස් කැපීම හේතුවෙන් අවදානම් තත්ත්වයක් මතුව තිබෙනවා.

අප වාර්තාකරු පැවසූවේ මෙම මාර්ගයේ මෙවැනි පස් කැපීම් සිදු කරන ස්ථාන 10 කටත් වඩා වැඩි සංඛ්‍යාවක් තිබෙන බවයි.

බලපත්‍ර කොන්දේසි උල්ලංගනය කරමින් සිදු කරගෙන යන මෙම මහා පරිමාණ පරිසර විනාශය සම්බන්ධයෙන් නිලධාරීන් ක්‍රියාත්මක නොවන්නේ කිසිවෙකුගේ හෝ බලපෑමක් මතද යන්න ගැටලුක් බව ප්‍රදේශවාසීන් පවසනවා.

******************************************

(10.06.2021 – 16:48 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව වාලච්චේන ප්‍රදේශයේ ළිඳක තිබී පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අද (10) උදෑසන මෙම සිරුර හමුවී ඇති අතර මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි අවුරුදු 4 ක් වයසැති දරුවෙක්.

දෙමව්පියන් සමග නිවසේ නිදාගෙන සිටි දරුවා පෙරදින රාත්‍රී 11 ට පමණ අතුරුදන්ව ඇතැයි සඳහන්.

පසුව දෙමව්පියන් විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ සොයා බැලීමකදීයි සිරුර හමුවී ඇත්තේ.

වාලච්චේන පොලිසිය මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

******************************************

(10.06.2021 – 17:01 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 1400 ක් පමණ වටිනා පොල්ගෙඩි 15 ක් සොරකම් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් දෙදෙනෙකු (2) ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (10) නියෝග කර තිබෙනවා.

ඒ එක් අයෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මතයි.

මෙසේ ඇප මත මුදා හැර ඇත්තේ බූස්ස ප්‍රදේශයේ පදිංචි 20 සහ 23 හැවිරිදි තරුණයින් දෙදෙනෙක් (2).

පසුගිය මස 31 වනදා බූස්ස ප්‍රදේශයේ ඉඩමකින් අදාළ පොල් ගෙඩි සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා ෴

******************************************

(10.06.2021 – 17:04 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවත්ත – විහාර මාවතේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරියක සහ එම පෙරමුණේම තවත් මන්ත්‍රීවරයෙකු අතර ගැටුමක් ඇති වී තිබෙනවා.

වැල්ලවත්ත පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ මන්ත්‍රීවරිය පිවිතුරු හෙළ උරුමය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියක් බවයි.

කෙසේ වෙතත්, දෙදෙනාම (2) තමන්ට පහරදුන් බවට පවසමින් වැල්ලවත්ත පොලීසියට පැමිණිලි ඉදිරිපත් කර ඇති බව සඳහන් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *