තේ කර්මාන්තය අර්බුදයක

තේ කර්මාන්තය අර්බුදයක

*********************************************

තේ කර්මාන්තය අර්බුදයක

(10.06.2021 – 08:33 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ආනයනය අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණය, මෙරට තේ කර්මාන්තය බිඳ වැටීමට හේතු වන බව කුඩා තේ වතු හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ කාබනික පොහොර පමණක් භාවිතා කරමින් තේ වතු පවත්වාගෙන යාම ගැටලු සහගත බවයි.

මේ අතර, මහනුවර – යටිනුවර ප්‍රදේශයේ තේ වගාකරුවන් මතුව ඇති පොහොර හිඟය හමුවේ දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් පරිදි පොහොර නොමැති වීමෙන් මේ වනවිට තේ පැළ විනාශ වෙමින් පවතින බවයි.

මේ අතර, මෙරට තුල පවතින කොම්පෝස්ට් පොහොර සමග නයිට්‍රජන් ජෛව පොහොර අන්තර්ගත සංයෝග එක් කිරීමෙන් මෙරට තුල සාර්ථකව කාබනික පොහොර නිෂ්පාදනය කල හැකි බව කෘෂිකර්මය පිළිබඳ ජාතික මූලික අධ්‍යන ආයතනයේ ජේෂ්ඨ පර්යේෂක මහාචාර්ය ගාමිණි සෙනෙවිරත්න මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ නවීන තාක්ෂණය සහ නවීන කෘෂිකාර්මික ක්‍රමවේද භාවිතා කරමින් එලෙස විවිධ සංයෝග මුසු කර කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ හැකියාව පිලිබද පර්යේෂණ සිදු කර ඇති බවයි ෴

******************************************

(10.06.2021 – 08:28 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ජල ටැංකිය පහළ තිබී දුර්ලභ ගණයේ වැහිලිහිණි කුඩු 150 ක් හමුවී තිබෙනවා.

ඒ, අදාළ ජල ටැංකියේ බඹර කූඩු 15 ක් පවතින බවට ලද තොරතුරක් මත ඒවා ඉවත් කිරීමට බිඟු සම්පත් සුරැකීමේ සංවිධානයේ සේවකයන් පිරිසක් එහි ගිය අවස්ථාවේදීයී.

ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණයක් වූ මෙම වැහිලිහිණි කූඩු ස්වභාවික සහ මූල්‍යමය වශයෙන් ඉහළ වටිනාකමකින් යුක්ත බව සඳහන්.

එම කූඩු තුළ සිටින වැහිලිහිණියන් අතර බඩ රතු වැහිලිහිණියා නැමැති මෙරටට ආවේණික දුර්ලභ වැහිලිහිණි විශේෂයක්ද හඳුනාගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් දෙහිවල සත්වෝද්‍යානය සහ වනජීවී දෙපාර්තමේන්තුවටද දැනුම් දුන් බවයි බිඟු සම්පත් සුරැකීමේ සංවිධානයේ ලේකම් පරිසරවේදී තිස්ස බණ්ඩාර තඹවිට මහතා කියා සිටියේ.

එමෙන්ම, ජල ටැංකිය පහළ පැවති බඹර කූඩු පමණක් ඉවත් කිරීමට පියවර ගත් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ෴

******************************************

(10.06.2021 – 10:52 +0530 – hirunews.lk/sinhala)

තලෙයි-මන්නාරම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින සුළං බලාගාරයක කේබල් සොරකම් කළ පුද්ගලයින් 07 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මීටර් 340 ක් පමණ දිග කේබල් තොගයක් මොවුන් විසින් සොරකම් කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (10) තලෙයි-මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

******************************************

(10.06.2021 – 13:50 +0530 – hirunews.lk/sinhala)

‘එම්.වී. එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදු වන්නේ දැයි සොයා බැලීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) කණ්ඩායමක්, සාම්පල ලබා ගැනීමට එම ස්ථානයට පිටත් කර යවා තිබෙනවා.

මේ අතර මුහුදුබත් වෙමින් පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් සිදුවන තෙල් කාන්දුවක් චන්ද්‍රිකා ඡායාරූප මගින් දර්ශනය වන බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සමුද්‍ර දූෂණය පිළිබඳ නිරීක්ෂණය කරන යුරෝපීය වාර්තාවක් උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය නිවේදනය කරන්නේ සාගර ජලයට මුහුදුබත් වෙමින් පවතින නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදුව ඇති බවට නිරීක්ෂණය වෙමින් පවතින බවයි. පවතින කාලගුණික තත්ත්වය මත එය තවදුරටත් ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින බව ද ඔවුන් පෙන්වා දෙනවා.

පසුගිය 19 වනදා කොළඹ වරායට නාවික සැතපුම් 9 ක් දුරින් නැංගුරම්ලා තිබියදී ගිනිගත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව මේ වනවිට මුහුදුබත් වෙමින් පවතිනවා.

එම නෞකාවේ සුන්බුන් හලාවත මුතු පන්තිය වෙරළ තීරයට සහ මාතර සිට පුත්තලම දක්වා වෙරළ තීරයන් දක්වා පසුගියදා ගොඩ ගසා තිබුණා.

එමෙන්ම, අද (10) දිනයේදී අලුත්ගම – මොරගල්ල වෙරළ තීරයට ගිනිබත් වූ නැවේ බවට සැකකෙරෙන කිලෝ 250 කට වඩා වැඩි යකඩ බෝයාවක් ගොඩගසා තිබූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මාරවිල – තුඩාව වෙරළ තීරයට මියගිය කැස්බෑවෙකු සහ නොරොච්චෝල – ඉලන්තඩිය වෙරළට මියගිය ඩොල්ෆින් මත්ස්‍යයෙකු ගොඩගසා තිබූ බවයි හිරු වාර්තාකරුවන් කියා සිටියේ ෴

******************************************

පළමු (1) ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයට ඇමති බන්දුලගේ විරෝධය

(10.06.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

පළමුවන (1) ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය, ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් තමා හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු ලෙස පැහැදිලිවම විරුද්ධත්වය පළ කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ එවැනි තීරණයක් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ද වන බවයි.

******************************************

(10.06.2021 – 14:05 +0530 – hirunews.lk/sinhala)

වැඩිමිලට අලෙවි කිරීම සඳහා ගබඩා කිහිපයක සඟවා තිබූ බවට සැකකෙරෙන තවත් පොහොර තොග ගොවිජනතාව වෙත බෙදාදීමට පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ නිලධාරින් පියවර ගෙන තිබෙනවා.

මේ අතර, ගස් ලබු සහ කෙසෙල් ගොවීන් ද දැඩි අසීරුතාවට පත්ව ඇත්තේ ඵලදාව සඳහා නිසි මිලක් නොමැතිවීම හේතුවෙන්.

පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ නිලධාරින්ට ලද තොරතුරක් මත වැඩි මිලට විකිණීම සඳහා සඟවා තිබූ බව කියන පොහොර තොගයක් හම්බන්තොට – වීරකැටිය – වෑකඳවල ප්‍රදේශයේ ගබඩාවක තිබී ඊයේ (09) සොයා ගෙන තිබෙනවා.

පොහොර තොගය එම අවස්ථාවේ සිටම ගොවීන් පාලන මිලකට නිකුත් කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් වෙළඳසැල් හිමිකරුට උපදෙස් ලබා දුන්නා.

මේ අතර, පදවිය පරාක්‍රමපුර ප්‍රදේශයේ ගොවි සංවිධාන කිහිපයක් එක්ව ගොවීන්ට වැඩිමිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව කියන පොහොර තොගයක් වැටලීමට පදවිය පොලීසිය හා පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරින් ඊයේ (09) කටයුතු කළා.

එහිදි ගොවි සංවිධාන නියෝජිතයින් පැවසුවේ පොහොර වැඩිමිලට නොව සාධාරණ මිලට ගොවීන් වෙත ලබාදීමට කටයුතු කරන බවයි.

මේ අතර, නොච්චියාගම – කටුපත්වැව ප්‍රදේශයේ ගස්ලබු ගොවීන් සිය ගැටලුව හිරු ප්‍රවෘත්ති අංශයට වෙත ඉදිරිපත් කළා.

@@@@@@@@@@@@@@

(10.06.2021 – 08:52 +0530 – hirunews.lk/sinhala)

දිනක් තුළදී වාර්තා කරන ලද වැඩිම මරණ සංඛ්‍යාව එනම් මරණ 67 ක් ඊයේ (09) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එම මරණ අතරින් 19 ක් මැයි 17 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා සිදුව ඇති අතර, ජුනි 01 වැනිදා සිට ජුනි 08 වැනිදා දක්වා සිදුව ඇති කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 48 ක්.

කෙසේ වෙතත්, ඊයේ (09) දිනයේදී කොරෝනා ආසාදිත මරණ කිසිවක් වාර්තා වී නැහැ.

නව කොරෝනා ආසාදිතයින් 2735 දෙනෙකු හමුවීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් ගණන 213,396 දක්වා ඉහළ ගියා.

මේ අතර, මෙරට පැතිරෙන ප්‍රබල කොරෝනා වෛරස කාණ්ඩ ගැන සිදුකළ පරීක්ෂණවල වාර්තාව අද (10) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලබාදීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

මෙම කාලසීමාව තුළ දරුවන්ට වැළදෙන ලෙඩ රෝගවලදී කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු බවයි ළමා රෝග පිළිබඳ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ගුවනි ලියනගේ මහත්මිය ඊයේ (09) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ෴

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්ට කොවිඩ් වෛරසය අසාදනය වී තිබෙනවා ෴

++++++++++++++++++++++

(10.06.2021 – 09:03 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති කඩකරමින් ගාලු‍ ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබා දුන් සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාතේ ප්‍රධාන සෞඛ්‍ය සේවා නිලධාරීන් දෙදෙනෙකුට (2) වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදී තිබෙනවා.

ඒ, ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්නට සහ ගාල්ල ප්‍රාදේශීය වසංගත රෝග අංශ ප්‍රධානී වෙනුර කුමාර සිංගාරච්චිට යි.

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ගාල්ල ප්‍රාදේශීය වසංගත රෝග අංශ ප්‍රධානී වෙනුර කුමාර සිංහාරච්චි, දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙනත් අංශයකට ස්ථාන මාරු කර ඇති බවයි ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මූලික විමර්ශන පැවැත්වීමෙන් පසු ඉදිරිපත් කළ නිර්දේශ අනුවයි මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ. මොවුන් දෙදෙනාට (2) එරෙහිව ඉදිරියේදී විනය පරීක්ෂණයක් ද පවත්වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

නිරෝධාන නීති කඩකරමින් ගාල්ල ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට අස්ට්‍රාසෙනිකා එන්නත් හොර රහසේ ලබා දිමේ සිද්ධීය හිරු ප්‍රවෘත්ති අංශය වාර්තා කළේ පසුගිය සඳුදා දිනයි.

පසුව ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි වැටලීම් අංශයේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් ගාල්ල ප්‍රදේශයට පිටත්ව ගියා.

ඔවුන් එම ප්‍රදේශයේ රැඳී සිටිමින් පරීක්ෂණ සිදු කරමින් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා. මෙම විමර්ශන මගින් අනාවරණය වන තොරතුරු අනුව සිද්ධියට වගකිවයුතු සියලු‍ නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

++++++++++++++++++++

(10.06.2021 – 10:08 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව – ශාන්තසෝලෙයි ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදුන් පුද්ගලයෙකු සොයා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (09) අදාළ පුද්ගලයා මුව ආවරණ නොමැතිව යතුරුපැදියකින් ගමන් කර ඇති අතර, ඊට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විරෝධය පෑමත් සමඟ මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන්.

පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් වවුනියාව පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර, ඒ අනුවයි සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙලෙස විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ ෴

+++++++++++++++++++++++

(10.06.2021 – 11:22 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 ඉන්දීය ප්‍රභේදය හෙවත් ඩෙල්ටා ඛාණ්ඩයේ දෙවැනි (2) රෝගියා මෙරටින් වාර්තා වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

මෙම අසාදිතයා වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානයකින් බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ.

මේ හැරුණු විට B.1.411 දේශීය කෝවිඩ් ප්‍රභේදය අසාදනය වූ පුද්ගලයෙක් තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා වන බවත් එම ට්විටර් පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් ෴

බ්‍රිතාන්‍ය කෙන්ට් ප්‍රාන්තයෙන් හමුවූ වේගවත් ව්‍යාප්තියක් සහිත බී.1.1.7 කොවිඩ් ප්‍රභේදය කොළඹ, මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොළ, මාතර, හබරාදුව, කරාපිටිය, රාගම ප්‍රදේශ වලින් ද හඳුනා ගැනේ ෴

+++++++++++++++++++

(10.06.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා දකුණු කොරියාව විසින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් පන් ලක්ෂයක් (5,00,000) වටිනා වෛද්‍ය උපකරණ ලබාදීමට තීරණය කර ඇති බව කොළඹ පිහිටි දකුණු කොරියානු තානාපති කාර්යාලය සඳහන් කළා.

කොරියානු තානාපති සන්තූෂ් වූන්ජින් ප්‍රකාශ කළේ ඊට පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල සහ එම උපකරණ ඇතුළත් වන බවයි.

කොවිඩ් මර්දනයට එරෙහි ක්‍රියාමාර්ග වලදී ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරන බවත්, මෙරට කොරියානු තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

පසුගිය වසරේ දෙසැම්බරයේදී ද දකුණු කොරියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් තුන් ලක්ෂයක් (3,00,000) පමණ වටිනා වෛද්‍ය උපකරණ පිරිනමනු ලැබුවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *