කොවිඩ් එන්නත ලබන ගර්භණී කාන්තාවන් ට වැදගත් පණිවුඩයක්

කොවිඩ් එන්නත ලබන ගර්භණී කාන්තාවන් ට වැදගත් පණිවුඩයක්

*********************************************

කොවිඩ් එන්නත ලබන ගර්භණී කාන්තාවන් ට වැදගත් පණිවුඩයක්

(09.05.2021 – 18:30 +0530 – sinhala.adaderana.lk)

ගර්භණී කාන්තාවන් ට කොවිඩ් එන්නත ලබාදීමේදී අනිවාර්යයෙන් ම විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ එය සිදුකළ යුතු බව වෛද්‍යවරු පෙන්වා දෙති.

‘අද දෙරණ’ ඔස්සේ විකාශය වු ‘BIG FOCUS’ වැඩසටහනට එක්වෙමින් නැගෙනහිර කොළඹ මුලික රෝහලේ, ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ මහතා පවසා සිටියේ, කොවිඩ් හේතුවෙන් විශාල බලපෑමක් මවට හා දරුවාට එල්ල වන බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය මයුරමාන දෙවොලගේ මහතා :

“ගර්භණීතාවයන් 100 ක් අද දිනයේ ඇති වුවහොත්, ඒ සියල්ලම බබෙක් ලැබෙන මට්ටමට යන්නේ නෑ. සියයට 15 – 20 ත් අතර ප්‍රමාණයක ගර්භණී තත්ත්වයන් අතරමැද දී නැති වෙනවා. අපි හිතමු සති ගාණනකින් ගැබ් ගත්ත මවකට අපි එන්නත දෙනවා. ඉන් අනතුරුව දින ගණනකින් බබා නැති වෙනවා. සමහරු කියන්න පුළුවන් වැක්සින් එක ගහලා මගේ බබත් නැතිවුණා කියලා. මේ වගේ පණිවුඩයක් සමාජයට යන්න තියෙන තැන නවත්වන්න තමයි අපි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ කරන්නේ.”

සයිනොෆාම් එන්නත පමණක් ද ගැබිනි මව්වරුන්ට සුදුසු ? නැතිනම් අනෙක් එන්නත් වර්ගත් ඒ සඳහා ආරක්ෂිත ද ?

මෙයට පිළිතුරු දෙමින් නැගෙනහිර කොළඹ මුලික රෝහලේ, ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අචින්ත දිසානායක මහතා පවසා සිටියේ, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවමත් අනුමැතිය ලැබී ඇත්තේ එම එන්නත සඳහා පමණක් බවය.

ගර්භණී තත්ත්වයට පත්වීමට අපේක්ෂා කරන හා කිරි ලබාදෙන මව්වරුන්ට එන්නත් ලබාගැනීම සුදුසු ද?

“කිසිදු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ.”

+++++++++++++++++++++

නාන කාමරයෙන් මතු වු කොවිඩ් එන්නත්

(09.05.2021 – 19:33 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් මර්දන එන්නත්කරණය සම්බන්ධයෙන් ගම්පහ වතුපිටිවල රෝහලේ අද (09) නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.

එය තවත් උණුසුම් වූයේ රෝහලේ නාන කාමරයකින් කොවිෂීල්ඩ් එන්නත් තොගයක් හමුවීමත් සමගින්ය.

වතුපිටිවල රෝහලේ සේවය කරන විවිධ ශ්‍රේණිවලට අයත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සාමාජිකයින්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි (2) මාත්‍රාව ලබාදීමට අද (09) සැලසුම් කර තිබිය දී ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා එම එන්නත් තොග වහාම ක්‍රියාත්මක වන පරිදි ආපසු ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ.

දෙවන (2) මාත්‍රාව ලබාගැනීමට පැමිණි සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පවුල්වල සාමාජිකයින්ට මේ නිසා ආපසු හැරීයාමට සිදුවිය.

“උදේ 7ට විතර ආපු ගමන් තාමත් නෑ ඉතින්. විදින්නේ නෑ කියනවා.”

එම සිද්ධියට රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් දැඩි විරෝධයක් පළ කළේය.

“අපේ ළඟම ඥාතීන් ඔක්කෝම ටික මේ වන විට පොදු ප්‍රවාහනයක් නොමැති කාලයක තමන්ගේ පෞද්ගලික වියදම් දරාගෙන අපේ රෝහලට ගෙන්නුවා. ගෙන්වලා පැයක් ඇතුළත කියනවා අද විදින්න විදියක් නෑ; ප්‍රාදේශීය සේවා සෞඛ්‍ය අධ්‍යක්ෂකගේ අනුමැතිය ඕනේ කියලා. ඒ නිසා අපි සියලුම ක්ෂේත්‍ර එකතුවෙලා තමන්ගේ රාජකාරීවලින් ඉවත් වෙනවා.”

මේ අතර භාවිතයට ගන්නා ලද කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා අඩංගු කුප්පි 200 කට ආසන්න ප්‍රමාණයක් වතුපිටිවල රෝහලේ නාන කාමරයක තිබී සොයාගත් බව එහි කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් අනාවරණය කළේය.

මේ පිළිබඳව අපි වතුපිටිවල රෝහලෙන් විමසීමක් කළේය.

ඒවා පළමු (1) එන්නත් මාත්‍රාව ලබාදීමේ දී එක් කුප්පියකින් 10 දෙනෙකුට ලබාදුන් පසුව ඉතිරි වු කොටස් බවත් තවත් සම්පුර්ණ එන්නත් කුප්පි දෙකක් (2) ප්‍රවාහනයේ දී නියමිත තාක්ෂණික කාරණා සම්පුර්ණ නොවීම හේතුවෙන් ඉතිරි වු ඒවා බවත් එම රෝහලේ ප්‍රකාශකයා පැවසීය.

පසුගිය මාර්තු මස පළමු (1) මාත්‍රාව ලබාදීමෙන් පසු ඉතිරි වු මෙම එන්නත් කුප්පි විනාශ කිරීම සඳහා ගබඩා කර තිබු ඒවා බවත් මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයට ලිඛිතව දැනුම් දුන් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

++++++++++++++++++++++

(10.06.2021 – 06:17 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 1,057 දෙනෙකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 27,977 ක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම, බස්නාහිර පළාතට ඇතුළුවීමට සහ පිටවීමට තැත්කළ පුද්ගලයින් 66 දෙනෙකු යළි හරවා යැවූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා ෴

+++++++++++++++++++++

(10.06.2021 – 06:50 +0530 – hirunews.lk/sinhala)

විශ්‍රාම වැටුප් ලබාදීම අද (09) සිට ආරම්භ වන අතර එය අද (10), හෙට (11) සහ අනිද්දා (12) යන දින වල අදාල මුල්‍ය ආයතන සහ තැපැල් කාර්යාල වලින් ලබා ගත හැකියි.

ඒ අනුව විශ්‍රාම වැටුප් ලබාගැනීමට යන පුද්ගලයින්ට අවසර පත්‍ර අවශ්‍ය නොවන අතර එසේ යාමට නොහැකි පුද්ගලයින්ට ගමන් කිරීමට නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.

මේ අතර සියලුම රජයේ හා පෞද්ගලික බැංකු සහ තැපැල් කාර්යාල අද (10) සහ හෙට (11) දිනවල විවෘතව තබන අතර තැපැල් කාර්යාල 12 වන සෙනසුරාදා ද විවෘතව තැබීමට නියමිතයි.

විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා විශ්‍රාමික හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත හෝ දුරකතනයට එවා ඇති කෙටි පණිවුඩය සංචරණ අවසර පතක් ලෙස භාවිත කළ හැකි බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය පවසනවා.

එමඟින් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ අද (10) සහ හෙට (11) සියලුම රජයේ සහ පෞද්ගලික බැංකු මෙන්ම තැපැල් කාර්යාලද ඒ සඳහා විවෘතව තැබිය යුතු බවයි.

එමෙන්ම, අනිද්දා (12) දිනයේදීද සියලුම තැපැල් කාර්යාල විවෘතව තැබෙනු ඇති.

මේ අතර, විශ්‍රාම වැටුප් සහ මහජන ආධාර ලබාදෙන අද (10) සහ හෙට (11), ඒ සඳහා වන ප්‍රවාහන කටයුතු වෙනුවෙන් පමණක් විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළා.

ඒ සදහා බස් රථ 2750 ක් පමණ දිවයින පුරා යෙදවීමට පියවර ගෙන ඇති අතර ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ යුද හමුදාවට අවශ්‍ය බස්රථ ප්‍රාදේශීය ඩිපෝවලින් ලබා ගැනීමට හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ෴

@@@@@@@@@@@@@

නව තාක්ෂණය යොදාගෙන රට තුළ සම්පූර්ණයෙන් කාබනික ගොවිතැන කිරීමේ හැකියාව පවතිනවා – වෛද්‍ය පාදෙණිය

(09.05.2021 – 20:11 +0530 – sinhala.adaderana.lk)

රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට රජය තීරණය කිරීමත් සමඟ වගාවන් සිදුකිරීමට නොහැකිව තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවට දිවයිනේ ප්‍රදේශ බොහෝමයක වී, තේ, එළවළු ගොවීන් රැසක් අදත් මැසිවිලි නැගීය.

අනුරාධපුර නොච්චියාගම ළිඳවැව රූකඩ ප්‍රදේශයේ වී ගොවීන් පවසන්නේ මෙම තත්ත්වයෙන් තමන් දැඩිව පීඩාවට පත්ව ඇති බවය.

තේ වගාවට යොදන පොහොර හිඟවීමෙන් හිනිදුමපත්තුවේ සහ මොරවක්කෝරළේ කුඩා තේ වතු හිමියන් ද දැඩි අපහසුතාවකට පත්ව සිටී.

රසායනික පොහොර නොමැතිකමින් පොළොන්නරුව ඇලහැර බටුහේන ගඟේයාය ප්‍රදේශයේ ලොකු ලූනූ ගොවීන්ද දැඩි පීඩාවට පත්ව ඇති බව අප වාර්තාකරු පැවසීය.

මෙවන් තත්ත්වයක් තුළ කෘත්‍රිම පොහොර හිඟයක් මවා පාමින් රජයේ සහනාධාර පොහොර සඟවා වැඩි මිලට අලෙවි කළ වෙළෙඳසැල් වැටලීමට මාතලේ පාරිබෝගික සේවා නිලධාරීන් අද (09) මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

දඹුල්ල ගලේවෙල ප්‍රදේශයේ එවැනි ස්ථාන දෙකක (2) තිබූ පොහොර පාලන මිලට ගොවීන්ට නිකුත් කිරීමට පසුව එම නිලධාරීන් පියවර ගත්තේය.

එමෙන්ම වැඩි මිලට පොහොර අලෙවි කළ වීරකැටිය වෑකඳවල ප්‍රදේශයේ පොහොර ගබඩාවක් ද හම්බන්තොට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් අද (09) පස්වරුවේ වටලනු ලැබීය.

මේ අතර නව තාක්ෂණය යොදා ගනිමින් මෙරට තුළ සම්පූර්ණයෙන් කාබනිකව ගොවිතැන් කිරීමේ හැකියාව පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසීය.

******************************************

ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික වර්ධනයට කොළඹ වරාය නගරය වැදගත් – රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්

(09.05.2021 – 13:49 +0530 – sinhala.adaderana.lk)

ඩොලර් බිලියන 80 ක් පමණ වන ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉදිරි වසරවලදී ‘කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන්’ සැලකිය යුතු දායකත්වයක් ලැබෙතැයි රජය අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඒ බව පැවසුවේ ‘ශ්‍රී ලංකා ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් 2021’ අමතමිනි.

අද (09) එම ආයෝජන සමුළුවේ තෙවන (3) දිනය වේ.

එහිදී රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා පැවසුවේ :
“වරාය නගරය ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක ඉදි කිරීමට තිබුණා. ඒත් එය පිහිටුවන්න තීරණය වුණේ කොළඹ නගරය ආසන්නයෙන්. මොකද රටට වැඩිම ප්‍රතිලාභයක් ලැබෙන්නේ වරාය නගරය එතන පිහිටුවීමෙන්. අපි එය කළා. සැලසුම් අවසන් කළා. අදාළ නීති සම්මත කරගත්තා. යටිතළ පහසුකම් සම්පූර්ණ කරමින් ඉන්නවා. අපිට දැන් අවශ්‍ය ඒ වෙත ක්‍රමාණුකූල ආයෝජන ගලා ඒමක් සඳහා සුදුසු අවස්ථා නිර්මාණය කිරීම. ඉන් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට අඩු තරමේ අමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක දායකත්වයක් හිමිවෙතැයි අපේක්ෂා කරනවා. ඉන් මුල් වසර කිහිපයේදී රටේ අමෙරිකානු ඩොලර් බිලියන 80 ක ආර්ථිකයට දායකත්වයක් ලැබේවි. සමහර විට ඉන් පසු වසර 5, 6 කදි ඒ මගින් අමෙරිකානු ඩොලර් බිලියන 15 ක පමණ දායකත්වයක් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට හිමිවේවි. අපිට එය සාර්ථක කරගන්න පුළුවන් වුණොත්, අපිට මෙරට මූලික සාර්ව ආර්ථිකය වේගයෙන් වෙනස්වනවා දැකගන්න පුළුවන් වේවි. මම ඔබ සියලුදෙනාට ආරාධනා කරනවා. කරුණාකරලා එන්න. වරාය නගරය සතු ශක්‍යතාව හඳුනාගන්න. එය දියුණුවන ආසියාවේ එක් වැදගත් කොටසක්. එය මඟහැරගන්න එපා,” යනුවෙනි.

******************************************

ශ්‍රී ලංකාව තුළ ඛනිජවැලි ආශ්‍රිත වටිනාකම් එකතු කළ ව්‍යාපාර සඳහා රුසියාවට ඇරයුම්!

(09.06.2021 – 14:23 +0530 – lankaleadnews.com)

ශ්‍රී ලංකාව තුළ ඛනිජ වැලි ආශ්‍රිත වටිනාකම් එකතු කළ කර්මාන්ත ඇරඹීම සදහා ලොව ඛනිජ වැලි ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහළම තාක්ෂණයෙන් යුත් රුසියාවට ඇරයුම් කළ බවත් ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ඔවුනට සැපයීමට එකඟ වූ බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ පැවැති ‘24 වැනි ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුව’ට සහභාගි වී සිටිය දී වීරවංශ අමාත්‍යවරයා ඒහා සමගාමීව රුසියානු රජයේ කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවට පැමිණ තිබේ.

එසේම ශ්‍රී ලංකාව තුළ බර යන්ත්‍රෝපකරණ නිෂ්පාදනාගාරයක් අරඹා නිදහස් වෙළඳ ගිවිසුම් ද යොදා ගනිමින් එම නිෂ්පාදන ඉන්දියාව ඇතුළු දකුණු ආසියානු රටවලට අපනයනය කිරීමේ හැකියාව පිළිබඳව ද රුසියානු රජයේ නියෝජිතයන් සමග මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ.

තවද තේ, රබර් වැනි අපනයනයන්ට අමතරව ශ්‍රී ලංකාවෙන් රුසියාවට සිදු කෙරෙන අපනයන ප්‍රමාණය වැඩි කර ගැනීමට මෙම සාකච්ඡාව ඉවහල් වූ බවත් ඒ අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තත්ත්වයෙන් ඉහළ සිය නිෂ්පාදන රුසියාවට අපනයනය සඳහා ඉඩකඩ විවර වනු ඇති බවත් එය මෙරට ව්‍යවසායකයන්ට ලැබුණු අනගි අවස්ථාවක් බවත් කර්මාන්ත අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙහිදී ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන ඔන්ලයින් ක්‍රමවේදයක් ඔස්සේ රුසියානු ඉහළ පෙළේ වෙළෙඳ ව්‍යාපාරිකයන් පිරිසක් වෙත ප්‍රදර්ශනය කර ඔවුන්ගේ අනුමැතිය ලබාගැනීම මසක් ඇතුළත සිදු කිරීමට නියමිත ය.

මෙම සාකච්ඡාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, කර්මාන්ත අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාව රජය වෙනුවෙන් එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය
2021.06.08

******************************************

(10.06.2021 – 07:51 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායට නාවික සැතපුම් 9.5 ක් දුරින් ගිනිගැනීමට ලක්වූ MV XPress Pearl නෞකාවෙන් සිදුවන තෙල් කාන්දුවක් බවට සැකකළ හැකි යමක් දර්ශනය වන බව සමුද්‍ර දූෂණය පිළිබඳව නිරීක්ෂණය කරන යුරෝපීය Marine Pollution Surveillance Report නමැති වාර්තාවක් පෙන්වා දෙනවා.

මෙම දත්ත සඳහා අදාළ වාර්තාව උපයෝගී කරගෙන ඇත්තේ සාගර කලාපයන්හි සිදුවන දේශගුණික වෙනස්කම් නිරීක්ෂණය සහ කළමනාකරණය කිරීමට භාවිත කරන චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක්.

එම වාර්තාවෙන් ඔවුන් පෙන්වාදෙන්නේ මෙම තෙල් බවට සැකකළහැකි පැල්ලම කිලෝමීටර් තුන් කාලක (¾) පමණ ප්‍රදේශයක් පුරා පැතිරී ඇති බවයි.

එය පවතින සුළං තත්වයත් සමඟ තවදුරටත් ව්‍යාප්ත විය හැකි බවත් එම වාර්තාවෙන් පෙන්වාදෙනවා.

ඔවුන් පවසන්නේ නැව ස්ථානගතව ඇති ප්‍රදේශය අවට නාවික සැතපුම් 12 ක් පමණ දුරට මෙය ව්‍යාප්තවිය හැකි බවටයි.

එමෙන්ම එම තෙල් පැල්ලම නැව ස්ථානගතව ඇති ප්‍රදේශයේ සිට උතුරු සහ වයඹ දිශානතිය ඉලක්කරගෙන නාවික සැතපුම් 3 කට ආසන්න දුරකට සිහින් රේඛාවක් මෙන් පැතිර ගොස් ඇති බවයි.

එමෙන්ම එය ප්‍රදේශය අවට පවතින සුළං තත්වය හේතුවෙන් වරින් වර වෙනස්වන බවත් මෙම චන්ද්‍රිකා ගන්නා අවස්ථාවේදී වාර්තා වූ සුළං වේගය පැයට නාවික සැතපුම් 12 ක් ලෙසින් වාර්තා වූ බවත් එහි සඳහන් වනවා.

******************************************

(10.06.2021 – 08:23 +0530 – hirunews.lk/sinhala)

උතුරු සහ උතුරු මැද නාවික විධානයන්හි සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධීව අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 4,040 ක් සමඟ සැකකරුවන් 45 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් සමඟ කිමිදුම් උපකරණ තොගයක් ද සිය භාරයට ගනු ලැබූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

උතුරු මැද නාවික විධානය, වලෙයිපාඩු මුහුදු ප්‍රදේශයේ සහ කිරන්චි ප්‍රදේශයේත්, උතුරු නාවික විධානය මඟින් වෙත්තලකේනි, නගර්කෝවිල් සහ පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍ර‍දේශවල සිදුකළ මෙහෙයුම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරුවන් 23 ත් 57 ත් අතර වයස්වල පසුවන කල්පිටිය, වංකාලේ, වෙත්තලකේනි, මන්නාරම, පූනරීන්, නොරෝච්චෝලේ, අලියාවලෙයි, පල්ලවරායන්කට්ටු, කුමුලමුනයි, වෙරවිල් සහ මුල්ලියන් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්.

ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කිළිනොච්චි සහ යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත භාරදීමට කටයුතු කළ බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *