විදේශ කටයුතු අමාත්‍යාංශය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමක් ඉල්ලයි

විදේශ කටයුතු අමාත්‍යාංශය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමක් ඉල්ලයි

*********************************************

විදේශ කටයුතු අමාත්‍යාංශය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමක් ඉල්ලයි

(09.06.2021 – 15:14 +0530 – hirunews.lk/sinhala)

කොංග්‍රස් සභිකාවියක විසින් ඉදිරිපත් කළ මෙරට ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් සඳහා ප්‍රයෝජනවත් නොවන යෝජනාව ඉවත් කර ගැනීමට හෝ සංශෝධනය කිරීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ක්ෂණික මැදිහත්වීමක් අවශ්‍ය බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර ඇත්තේ මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාල නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී මාටින් ටී.කෙලී ඊයේ (08) හමුවූ අවස්ථාවේදියි.

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ, නියෝජිත මන්ත්‍රී ඩෙබෝරා කේ. රොස් සහ තවත් නියෝජිත මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු (4) පසුගිය මැයි 18 වැනි දින මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් අංක 413 දරණ අදාල යෝජනාව ඉදිරිපත් කළා.

අනතුරුවයි ඒ පිළිබඳ මෙරට විදේශ අමාත්‍යාංශයේ අවධානය යොමු වුණේ.

සනාථ නොකරන ලද, පදනම් විරහිත සහ අමූලික අසත්‍ය කරුණු සහ එම යෝජනාවේ අභිප්‍රාය පිළිබඳව බරපතල සැක මතු කළ ශ්‍රී ලංකා රජය එම යෝජනාවේ අන්තර්ගතය පිළිබඳව දැඩි ලෙස විරෝධය පළ කළා.

එය ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 32 ක ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කර ඇති එල්ටීටීඊ සංවිධානයේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා එක්සත් ජනපද කොන්ග්‍රසය තුළ සිටින එල්ටීටීඊ හිතවාදී කල්ලියකගේ බලපෑම මත ගෙන එන ලද්දක් බව රජයේ අදහස වුණා.

1997 සිට එක්සත් ජනපදය විසින් තහනම් කරන ලද එල්.ටී.ටී.ඊ. ය ‘සන්නද්ධ ස්වාධීන සංවිධානයකට’ සමාන කරන අදාල යෝජනාව යථාර්ථයන් වැරදි ලෙස නිරූපණය කරන බවද රජය ප්‍රකාශ කළා.

මේ අතර විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තානාපති කාර්යාල නිලධාරි මාටින් ටී.කෙලී වෙත වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවට ලබාදෙන අඛන්ඩ සහයෝගය වෙනුවෙන් ඇමෙරිකානු රජයට සහ එරට ජනතාවට ස්තුතිය පුද කරන බවයි.

කොරෝනා එන්නත් සැපයීම සඳහා වන වැඩසටහනට ශ්‍රී ලංකාව ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ද කෘතඥතාව පළ කළ විදේශ ඇමතිවරයා ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් හදිසි වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් ද කෘතවේදීත්වය පළ කර තිබෙනවා.

වෙළඳ සහ ආයෝජන කටයුතු ඇතුළු තවත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡා වූ බව ද විදේශ අමාත්‍යාංශය නිවේදනය කළා ෴

******************************************

පොලිසියෙන් මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක් – කැමරාව වහන්න තර්ජනයක්

(09.06.2021 – 15:20 +0530 – hirunews.lk/sinhala)

සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ නිරතව සිටි හිරු ප්‍රවෘත්ති ප්‍රාදේශිය වාර්තාකරුට පොලිස් සැරයන්වරයෙක් බාධා කර තිබෙනවා.

අප වාර්තාකරු එහි ගොස් තිබුණේ අනවසරයෙන් ප්‍රවාහනය කළ දර තොගයක් වන සංරක්ෂණ නිලධාරීන් භාරයට ගැනීමක් සම්බන්ධයෙන් වන ප්‍රවෘත්තියක් ආවරණය කිරීමටයි.

සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇඟලුම් කර්මාන්තශාලාවක බොයිලේරු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දර තොගයක් ඊයේ (08) මිලදී ගෙන තිබුණේ බුත්තල ප්‍රදේශයේ සිට රැගෙන ආ ලොරියකින්.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ගම්පහ දිසා වන සංරක්ෂණ ඒකකයේ නිලධාරීන් කර්මාන්තශාලා පරිශ්‍රයට පැමිණ තිබුණා.

මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ දර තොගය බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කර ඇති බවයි.

සංචරණ සීමා ක්‍රියාත්මක සමයකදී වුවත් බුත්තල සිට සීදුවට පැමිණෙන අතරතුර කිසිදු ස්ථානයකදී මෙම ලොරිය පරික්ෂාවට ලක් නොවීමත් මවිතයට කරුණක්.

දර තොගය කර්මාන්තශාලා පරිශ්‍රයෙන් පිටතට රැගෙන යාම සඳහා එහි නිලධාරීන් හා සේවකයන් බාධා කිරීම හේතුවෙන් පොලිසියේ සහය ඉල්ලා සිටීමට වන සංරක්ෂණ ඒකකයේ නිලධාරීන්ට සිදුවුණා.

ඒ අනුව එහි පැමිණි පොලිස් සැරයන්වරයෙක් සහ තවත් පුද්ගලයෙක් සිද්ධිය වාර්තා කිරීමට පැමිණ සිටි හිරු වාර්තාකරුට මෙලෙස බාධා කළා.

******************************************

(09.06.2021 – 15:25 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම ප්‍රදේශයේ අතුරු මාර්ගයක් අසල ඉඩමක පස් කැපීමක් හේතුවෙන් එම මාර්ගය භාවිත කරන තමන් ජීවිත තර්ජනයකට මුහුණ පා ඇති බව ගම්වැසියන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ එම මාර්ගයේ මේ වනවිට නායයාමේ අවදානමක් මතුව ඇති බවයි.

හෝමාගම – බටවල සම්පත් මාවත ආසන්නයෙන් ඇති පෞද්ගලික ඉඩමක මෙම පස් කැපීම සිදුව තිබෙනවා.

මෙම මාර්ගය අයත් වන්නේ හෝමාගම ප්‍රාදේශීය සභාවටයි.

අඩි 20 ක මාර්ගය අසලින්ම අඩි 70 ක් පමණ යටට වන්නට මෙම පස් කැපීම සිදුකර තිබෙනවා.

මෙම ස්ථානය රූගත කිරීමට අප වාර්තාකරු ගිය අවස්ථාවේදී එම ඉඩමේ හිමිකාරියගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් තමන් දැඩි අවදානමකට මුහුණ පා ඇති බවයි.

******************************************

(09.06.2021 – 15:35 +0530 – hirunews.lk/sinhala)

දිනෙන් දින උග්‍රවන වන අලි ගැටලුවට මෙතෙක් නිසි පිළිතුරක් ලබාදීමට බලධාරීන්ට හැකිවී නැහැ.

එවන් පසුබිමක වන අලි තර්ජනය හේතුවෙන් වගා හානි වූ සිදුවීම් දෙකක් (2) වාර්තා වුණේ වැල්ලවාය සහ පොලොන්නරුවෙන්.

******************************************

(09.06.2021 – 16:07 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ‘ලාෆ් එල්.පී.ගෑස් ගබඩා පර්යන්තයේ’ සියයට 40 ක කොටස් මිලදී ගැනීම සඳහා පැවති, රජයේ සැලසුම් ඉවත් කරගෙන ඇති බව වාර්තා වනවා.

එලෙස එම කොටස් මිලදී ගැනීමට නියමිතව තිබුණේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය සහ ලිත්‍රෝ ගෑස් සමාගම විසින්.

හම්බන්තොට ලාෆ් එල්.පී.ගබඩා පර්යන්තයෙන් එල්.පී.ගෑස් මිලදී ගැනීම තුලින් වත්මන් මට්ටමින් මිල පවත්වා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරුණා.

කෙසේ නමුත්, ලෝක වෙළඳපොලේ එල්.පී.ගෑස් මිල ඉහළ යාමේ ප්‍රවණතාව මත එය ප්‍රායෝගික නොවන බව අමාත්‍ය මණ්ඩලයේ අදහස වී තිබෙනවා.

එමෙන්ම, එකම මූලාශ්‍රයකින් එල්.පී. ගෑස් මිලදී ගැනීම සැපයුම් අවදානමක් ඇති කරන්නක් බව ඇතමුන්ගේ අදහසයි.

හම්බන්තොට ලාෆ් එල්.පී.ගෑස් ගබඩා පර්යන්තය, 2019 වසරේ මැයි මාසයේ විවෘත කෙරුණේ රුපියල් බිලියන 12 ක ආයෝජනයකින්.

කෙසේ නමුත් පසුගිය මූල්‍ය වර්ෂය තුල එය ක්‍රියාත්මක වූයේ සියයට 40 ක ධාරිතාවකින් ෴

******************************************

සරසවිවලට සිසුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

(09.06.2021 – 16:22 +0530 – hirunews.lk/sinhala)

2020 – 2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුලත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීමේ කාලය ලබන 18 වනදා දක්වා දීර්ඝ කර ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා ෴

******************************************

(09.06.2021 – 18:45 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවී ඇති බව වාර්තා වුව ද, අද (09) දිනයේ එවැන්නක් නිරීක්ෂණය නොවූ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළා.

එම අධිකාරිය හා තවත් ආයතන කිහිපයක් එක්ව අද (09) දිනයේ එම නෞකාව ආශ්‍රිත ප්‍රදේශයේ පරීක්ෂණ සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මේ බව නිරීක්ෂණය වී ඇති අතර, ඊට එක්වූ කණ්ඩායම් ජල සාම්පල ඇතුළු විවිධ සාම්පල කිහිපයක් ද ඉදිරි පරීක්ෂණ සඳහා ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා.

මේ අතර, මෙම සිද්ධියේදී ජීවනෝපායට බලපෑම් එල්ලවූ ධීවර ක්ෂේත්‍රයේ සියලු‍දෙනාට වන්දි ලබාදීමට කටයුතු කරන බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

******************************************

(09.06.2021 – 18:52 +0530 – hirunews.lk/sinhala)

මීට දශකයකට පමණ පෙර නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට ගොස් එහි සරණාගතයන් බවට පත්වූ ශ්‍රී ලාංකික දෙමළ පවුලක් මුදා හරින ලෙසට එරට රජයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

ඕස්ට්‍රේලියාවට ළගා වීමෙන් අනතුරුව, කුවින්ස්ලන්ත ප්‍රාන්තයේ බිලොයේලා හි පදිංචි වූ ඔවුන්ට කුඩා දැරියන් දෙදෙනෙකු (2) බිහිවූ අතර, ඔවුන් නම් කෙරුණේ තාර්නිකා සහ කෝපිකා ලෙසින්.

මෙම දැරියන් දෙදෙනා (2) ඇතුළත් එම පවුල 2018 වසරේදී ක්‍රිස්මස් දූපත වෙත පිටුවහල් කෙරුණේ ඔවුන්ට නීත්‍යානුකූලව ඕස්ට්‍රේලියානු භූමියේ රැදී සිටීමට අවසර හිමි නොවූ හෙයින්.

තුන් (3) හැවිරිදි තාර්නිකා සහ 6 හැවිරිදි කෝපිකා සිය ජිවිත කාලය තුල මෙතෙක් දැක ඇත්තේ ක්‍රිස්මස් දූපතේ සරණගත කඳවුරේ සීමාවන් පමණයි.

සූර්යාලෝකයට නිසි පරිදි නිරාවරණය නොවීම නිසා විටමින් ඩී ඌණතාවයෙන් පෙළුණු ඔවුන් විවිධ රෝගාබාධවලට ද ලක් වුණා.

තුන් (3) හැවිරිදි තාර්ණිකා පසුගිය දින 10 තුල රෝගී තත්ත්වයෙන් පසුවී ඇති අතර, එය උත්සන්න වීම හේතුවෙන් ඇයට සහ මව ප්‍රියා පර්ත් නුවර රෝහලකට රැගෙන යාමට ඕස්ට්‍රේලියානු බලධාරින් පියවර ගත්තා.

මොවුන්ට ඕස්ට්‍රේලියාව තුල සරණාගත තත්ත්වය ලබාදෙන ලෙස ඔවුන්ගේ නීතිඥයන් මෙන්ම එරට දෙමළ ඩයස් පෝරාව ඉල්ලා සිටියද මෙතෙක් ඊට සුබවාදී ප්‍රතිචාරයක් ලැබී නැහැ.

ඕස්ට්‍රේලියානු මාධ්‍ය පෙන්වා දෙන්නේ එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයාට ඒ සඳහා බලයක් පවතින බවයි.

තාර්නිකා සහ කෝපිකාගේ පවුලට නිදහස ලබා දෙන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ද දැවැන්ත ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා.

******************************************

(09.06.2021 – 21:06 +0530 – hirunews.lk/sinhala)

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා මිලට ගැනීම සඳහා පැවතිය යුතු බවට නිෂ්පාදකයන්ට දන්වමින් සහ එම සිලින්ඩර විකිණීම ප්‍රතික්ෂේප කිරීම වළක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

******************************************

(09.06.2021 – 21:30 +0530 – hirunews.lk/sinhala)

රජය, ඛණිජ තෙල් සංස්ථා පනත හා සම්බන්ධ සියලු කාර්යයන් පුද්ගලික අංශයට පැවරීමට රජය සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා චෝදනා කරනවා.

ඔහු මේ බව පැවසූවේ අද (09) පැවති ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

@@@@@@@@@@@@@@@

(09.06.2021 – 16:26 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ සේවයේ අවශ්‍යතාව අනුව විශ්‍රාම ගිය හෙද හෙදියන් කොන්ත්‍රාත් පදනම මත සේවයට කැඳවා ගන්නා ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට දැනුම්දී තිබෙනවා.

හෙද සේවයේ පවතින ගැටලු සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ඉල්ලීමකට අනුව පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

දිවයින පුරා හෙද හෙදියන් 34,000 ක් පමණ මේවන විට සේවයේ නිරතව සිටින අතර ඔවුන් දැනට මුහුණපා ඇති ගැටලුවලට කෙටි කාලීන හා දීර්ඝ කාලීන විසඳුම් සහ යෝජනා සාකච්ඡා කිරීම එම සාකච්ඡාවේ අරමුණයි.

හෙද හෙදියන්ට ලබාදෙන දීමනා සහ පහසුකම් ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙහිදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අදහස් පළකර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී සඳහන් කර ඇත්තේ දැනට වසරකට හෙද පුහුණුව සඳහා බඳවා ගන්නේ 2000 ක් තරම් අඩු පිරිසක් බැවින් මෙම තත්වය උද්ගතව ඇති බවයි.

මේ හේතුවෙන් දැනට එම ඒකකවල සේවය කරන නුපුහුණු හෙද හෙදියන් අදාළ ඒකකවල කටයුතු කරන කාලය ද පුහුණු කාලයට එක්කරන ලෙසටයි අග්‍රාමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ.

සංචරණ කාලසීමාව තුළ හෙද හෙදියන්ගේ ප්‍රවාහන පහසුකම් සැලසීමේ නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසට ද අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

හෙද උපාධිය ලබාදීමේ කාර්යය කඩිනම් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යවරියට දන්වා ඇත්තේ.

මේවන විට හෙද උපාධිය ලබාදීමේ කාර්යය නීති කෙටුම්පත් සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බව මෙහිදී හෙළිවූ අතර අදාළ කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට යොමු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙසට සිටි කාලසීමාවේදී හෙද හෙදියන්ගේ නිල ඇඳුම් දීමනාව ඉහළ දැමූ පසු මේ දක්වා එම දීමනාව වැඩිකර නොමැති බවයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙහිදී පෙන්වා දුන්නේ.

එම දීමනාව වැඩිකරන දෙන ලෙසට උන්වහන්සේ ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධයෙන් පොදු තීන්දුවක් ගෙන ඉදිරි අයවැය තුළින් එය ඉටුකර දිය හැකි බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියාසිටියේ ෴

++++++++++++++++++++

(09.06.2021 – 16:35 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 2168 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 180,427ක් ලෙසටයි ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2173 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 212,834 ක් ලෙසටයි ෴

+++++++++++++++++++++

(09.06.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala)

මේ දක්වා වාර්තා වු කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යා ලේඛණ වලට අනුව කෝව්ඩි අසාදිතයින්ගේ අපහැදිලි අඩුවක් දක්නට ලැබෙන බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසනවා.

අද (09) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා කියා සිටියේ දින කිහිපයකට වතාවක් කොරෝනා අසාදිතයින්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි. එය සිදු වන ආකාරය අපහැදිලි බව ඔහු සඳහන් කළා.

මේ අතර, ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා ගෙන් කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියමා අකිරා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී, ජනාධිපතිවරයා මුණ ගැසුණු අවස්ථාවේ මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

කොවිඩ් මර්දන වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබා ගැනීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, ලබන සිකුරාදා (11) තවත් රුසියානු ස්පුට්නික් එන්නත් 65,000 ක් මෙරටට ලැබිමට නියමිතයි.

ඉන් එන්නත් 15,000 ගොතටුව ප්‍රදේශයේ පුද්ගලයින්ට දෙවන (2) එන්නත මාත්‍රාව ලෙස ලබා දිමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ.

අනෙක් එන්නත් මාත්‍රා පනස් දහස (50,000) මහනුවර ප්‍රදේශයේ පුද්ගලයින්ට ලබා දෙනු ඇති.

මේ අතර, ගර්භනී මව්වරුන්ට කොරෝනා එන්නත් ලබාදීමේ කටයුතු පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී අද (09) ආරම්භ වුණා.

නුවරඑළිය සහ බදුල්ල ප්‍රදේශයේ ද එන්නත්කරණ වැඩසටහන අද (09) ආරම්භ වුණා.

එසේම, අද (09) දිනයේදි මෙරට තවත් කොරෝනා අසාදිතයින් 2168 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 1,80,427 ක් ලෙසයි.

අද (09) මේ දක්වා තවත් ආසාදිතයින් 2173 දෙනෙකු මෙරටින් හදුනා ගැනුණා. ඒ අනුව, මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 212,284 ක් ලෙසයි.

මේ අතර, කොවිඩ් වසංගතය පාලනය සඳහා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එමඟින් ඔවුන් පෙන්වා දෙන්නේ දැනට ක්‍රියාත්මක සංචරණ සීමා තවදුරටත් ප්‍රතිඵල දායක වීමට,ඒවා දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් ඇති බවයි.

පසුගිය සතිය තුළ මෙරට කොවිඩ් රෝගීන් 12% කින් සහ කොවිඩ් මරණ 28% කින් ඉහළ ගොස් ඇති බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දී තිබෙනවා.

අද (09) කොළඹ පැවැති මාධ්‍ය හමුවේදි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා කියා සිටියේ කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පිළිබඳව ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

මේ අතර, විශ්‍රාම ගිය හෙද හෙදියන් සේවා අවශ්‍යතාවය අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් ලබාදී තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කළ ඉල්ලීමකට අනුව, අග්‍රාමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

දිවයින පුරා හෙද හෙදියන් 34,000 ක් පමණ මේ වනවිට සේවයේ නිරත වන අතර ඔවුන්ගේ ගැටලු විසදීමට ද අග්‍රාමාත්‍යවරයා අවධානය යොමුකර තිබෙනවා.

මේ අතර දිවයිනේ සියලු විශේෂ ආර්ථික මධ්‍යස්ථාන ලබන 12 සහ 13 යන දෙදින තුල විවෘතව තැබෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ තොග වෙළඳාම සඳහා මෙලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන බවයි.

පෑලියගොඩ මැනිං වෙළඳපොල ද එම දෙදින (2) තුල විවෘත කරන ලෙස අමාත්‍යවරයා දන්වා තිබෙනවා.

මේ අතර 2020 / 2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම ලබන 18 වනදා දක්වා දීර්ඝ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මේ අතර, පවතින සංචරණ සිමා දිර්ඝ කිරිම සහ ඒ පිළිබඳව සලකා බැලිම සම්බන්ධයෙන් හෙට (10) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විමට ද නියමිතයි.

අද (09) දිනයේ මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 543 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (09) දිනයේ වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 2716 ක්. ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා ආසාදිතයන් 213,677 ක් හමුවී තිබෙනවා ෴

++++++++++++++++++++++++

(09.06.2021 – 19:12 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සහ ගාල්ල ප්‍රාදේශිය වසංගත රෝග අංශ ප්‍රධානියා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරු වලින් මාරු කර යවා තිබෙනවා.

ඒ හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණය කළ නිරෝධායන නීති කඩකරමින් ගාලු ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට අස්ට්‍රාසෙනිකා එන්නත් ලබා දීමේ සිද්ධියට සම්බන්ධයෙන්.

සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මූලික විමර්ශන පැවැත්වීමෙන් පසු ඉදිරිපත් කළ නිර්දේශ අනුව මෙම ක්‍රියාමාර්ගය ගත් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවා ෴

+++++++++++++++++++++++++

(09.06.2021 – 21:27 +0530 – hirunews.lk/sinhala)

විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා ගමන් කිරීමට නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.

එම පහසුකම ලබා නොගන්නා අයට විශ්‍රාමික හැඳුනුම්පත ජාතික හැඳුනුම්පත හෝ දෙපාර්තමේන්තුවෙන් එවූ කෙටි පණිවුඩය පෙන්වා ගමන් කිරීමට අවසර පවතින බවයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය නිවේදනය කළේ.

අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද (09) අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී මේබව තීරණය වී තිබෙනවා.

විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා තම නිවසේ සිට බැංකු හෝ තැපැල් කාර්යාල වෙත යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා යුද හමුදාව එක්ව සංවිධාන කර තිබෙනවා.

සියලුම රජයේ හා පෞද්ගලික බැංකු සහ තැපැල් කාර්යාල හෙට (10) සහ අනිද්දා (11) දිනවල විවෘතව තබන අතර තැපැල් කාර්යාල 12 වනදා සෙනසුරාදා ද විවෘතව තැබීමට නියමිතයි ෴

++++++++++++++++++++++

(10.06.2021 – 00:47 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ දෛනිකව වාර්තා වන කොවිඩ් මරණ වාර්තාව 09.06.2021 දින යළිත් අලුත් කරමින් මරණ 67 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 1910 ක් ලෙසටයි.

කෙසේවෙතත් මෙරටින් 09 දිනයේ කිසිදු කොවිඩ් මරණයක් වාර්තාවී නැහැ.

09.06.2021 දින තහවුරු කළ මරණ 67 න් 19 ක් සිදුවී ඇත්තේ මැයි මස 17 වනදා සිට 31 වනදා දක්වා අතර කාලය තුලදීයි.

තවත් මරණ 48 ක් මෙම මස පළමුවනදා සිට 08.06.2021 දින දක්වා සිදුවී තිබෙනවා.

09.06.2021 දින තහවුරු කළ මරණ අතර පිරිමි පුද්ගලයන් 43 ක් සහ කාන්තාවන් 24 ක් වනවා.

ඔවුන්ගෙන් 6 දෙනෙකු මියගොස් ඇත්තේ නිවසේදීයි.

රෝහල් ගත කරන අවස්ථාව වන විට මරණ 5 ක් සිදුවී තිබෙනවා.

අනෙක් මරණ 56 සිදුව ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදීයි ෴

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පසුගිය පැය 24 තුළ පුද්ගලයන් 1,057 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *