තහනම් කෙරෙන පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදන දෙවන ලැයිස්තුව කඩිනමින්

තහනම් කෙරෙන පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදන දෙවන ලැයිස්තුව කඩිනමින්

*********************************************

තහනම් කෙරෙන පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදන දෙවන ලැයිස්තුව කඩිනමින්

(09.06.2021 – 11:54 +0530 – hirunews.lk/sinhala)

භාවිතයෙන් ඉවත් කිරීම සඳහා යෝජිත, පොලිතින් සහ ප්ලාස්ටික් දෙවන (2) ලැයිස්තුවත් තහනම් කිරීම කඩිනම් කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා , මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.

මාර්තු 31 සිට ක්‍රියාත්මක වන පරිදි පරිසර හානියට ඉවහල් වන නිෂ්පාදන වර්ග 5 ක් තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගත්තා.

තහනම් කිරීමට නියමිත පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදනවල දෙවන (2) ලැයිස්තුවක් ද මේ වනවිට සකස් කරමින් පවතිනවා.

කමිස ඇසුරුම් වල ඇති රඳවන, එක් වරක් පමණක් භාවිත කරන හැඳි ගෑරුප්පු, පිහි, ආහාර අසුරන, කෝප්ප සහ පිඟන්, පොලිතින් සහ ප්ලාස්ටික් වලින් සකසන පෝස්ටර්, දැන්වීම් සහ කටවුට් ඒ අතර වන බවයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ.

එක් වරක් පමණක් භාවිත කරන බීම බට, මිලිමීටර් 400 සහ 500 අතර ෂොපින් බෑග්, ග්‍රොසරි බෑග්, මෙන්ම, හඳුන්කූරු සහ පහන් තිර ඇසුරුම් සඳහා පොලිතින් යොදා ගැනීම ද තහනම් කිරීමට අපේක්ෂිතයි ෴

******************************************

(09.06.2021 – 09:22 +0530 – hirunews.lk/sinhala)

පිටකොටුව – වේල්ල විදිය ප්‍රදේශයේ සිව්මහල් ගොඩනැගිල්ලක හටගෙන තිබූ ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම නිවාදමා තිබෙනවා.

අද (09) අලුයම ඇතිවූ මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව ගිනි නිවීමේ රථ පහක් (5) යොදවා තිබුණා.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවටයි සැක කෙරෙන්නේ ෴

******************************************

(09.06.2021 – 09:24 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ආපදාවලින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පුද්ගලයින් 1,72,132 කුට තවදුරටත් බලපෑම් එල්ලවී ඇති බවයි.

එසේම පුද්ගලයින් 2,689 දෙනෙකු තවදුරටත් සුරක්ෂිත මධ්‍යස්ථානවල සිටින බවද එම මධ්‍යස්ථානය සඳහන් කළා ෴

******************************************

(09.06.2021 – 11:48 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර නගරයේ සතොස අලෙවිසැලක මත්පැන් ගබඩා කර ඇති අංශය බලහත්කාරයෙන් විවෘත කර මත්පැන් තොගයක් පැහැර ගෙන යාමේ සිද්ධියක් වාර්තා වනවා.

පෙරේදා (07) දිනයේ සතොස අලෙවිසැල වසා තිබියදී මෙම සොරකම සිදුව ඇති අතර, එහිදී ගබඩා කර තිබූ මත්පැන් විශාල තොගයක් රැගෙන ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මෙලෙස කොල්ලකෑමට ලක්ව ඇත්තේ අනුරාධපුර අංක 01 සතොස ශාඛාවේ මත්පැන් ගබඩාවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ද පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කර තිබෙනවා ෴

******************************************

(09.06.2021 – 12:49 +0530 – hirunews.lk/sinhala)

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කර තිබූ යෝජනාවට පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළ කර තිබෙනවා.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෘ විශ්‍රාම ගැනීමෙන් ඇති වූ පුරප්පාඩුව සදහායි විනිසුරු අර්ජුන ඔබේසේකර මෙලෙස නම් කර ඇත්තේ.

මෙම තීරණය ගනු ලැබුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රමුඛත්වයෙන් අද (09) පාර්ලිමේන්තුවේ පැවති පාර්ලිමේන්තු සභාවේදීයි.

එසේම, අභි‍යාචනාධිකරණයේ සභාපති ලෙස විනිසුරු කේ.පී. ප්‍රනාන්දු පත් කිරීමට ද එහි එකගතාවයට හිමිවී තිබෙනවා.

එමෙන්ම, මහාධිකරණ විනිසුරු සසී මහේන්ද්‍රන් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙසත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා පත් කිරීමටත් පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය හිමිවුණා.

[ ඊට අදාළ නිවේදනය ]

******************************************

(09.06.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

වැඩිමිලට පොහොර අලෙවි කිරීම සඳහා මාතලේ ප්‍රදේශයේ වෙළඳසැල් දෙකක (2) සඟවා තිබූ බවට සැකකෙරෙන පොහොර තොගයක් ගොවිජනතාවට බෙදා දීමට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් අද (09) පියවර ගත්තා.

කෙසේ වෙතත්, රසායනික පොහොර ආනයනය නතර කිරීමට රජය ගත් තීරණයත් සමඟ තමන් පොහොර හිඟයකට මුහුණපා ඇති බවටයි ගොවීන් චෝදනා කරන්නේ.

අද (09) මාතලේ වෙළඳසැල් දෙකක් (2) වෙත පැමිණි පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් එහි පොහොර තොග ගොවීන්ට ලබාදිය යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන්නා.

ගලේවෙල – මකුලුගස්වැව ප්‍රදේශයේ සඟවා තිබූ යූරියා පොහොර තොගයක් ඊයේ (08) රාත්‍රියේ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් විසින් සොයා ගෙන තිබුණා.

ඒ අනුව පොහොර අවශ්‍යව සිටි දේවහූව ගොවිජන ව්‍යාපාරයේ ගොවීන් පිරිසක් පොහොර මිලදී ගැනීම සඳහා වෙළඳසැල් වෙත පැමිණීමත් සමඟ නොසන්සුන්තාවයක් ද හට ගත්තා.

පසුව මකුළුගස්වැව පොලිස් මුරපොලේ නිලධාරින් පැමිණ එය පාලනය කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

මේ අතර, රජයේ අනුග්‍රහයෙන් උතුරුමැද පළාතේ කාබනික පොහොර නිෂ්පාදනය කිරිමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

එමගින් රජරට කලාපයේ ඉදිරි මහ කන්නයේ කාබනික පොහොර අවශ්‍යතාව සපුරා ගැනීමට අපේක්ෂිතයි.

ව්‍යාපෘති සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා අරමුදලෙන් අවශ්‍ය ප්‍රාග්ධනය සපයනු ඇති.

එහිදී නිෂ්පාදනය කෙරෙන කාබනික පොහොර කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මිලදී ගෙන ගොවීන් වෙත බෙදා හැරීමේ ව්‍යාපෘතියක් සැලසුම් කර තිබෙනවා.

කෘෂිකර්මාන්තය බහුලව සිදුවන අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 29 ක් ආවරණය වන පරිදි අවශ්‍ය අමුද්‍රව්‍ය එම ප්‍රදේශවලින්ම සපයාගෙන, එක් කොට්ඨාශයක අවම වශයෙන් එක් කාබනික පොහොර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, නියමු ව්‍යාපෘතියෙ අරමුණයි.

******************************************

(09.06.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

තද වැසි හේතුවෙන් ප්‍රදේශ රැසක හටගත් ගංවතුර තත්වය මේ වන විට තවදුරටත් අඩු වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීශ්වර මහතා කියා සිටියේ ඊයේ (08) රාත්‍රියේදී කැළණි ගඟේ සහ අත්තනගලු ඔයේ ඉහළ ධාරා ප්‍රදේශ වලට වැසි ඇඳ හැලුන ද එය පවතින ගංවතුර තත්ත්වය වර්ධනය වීමට හේතු නොවන බවයි.

ආපදා තත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක පවුල් 44,946 කට අයත් 1,76,419 ක් තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.

පවුල් 747 කට අයත් පුද්ගලයන් 2,905 ක් තවදුරටත් සුරක්ෂිත මධ්‍යස්ථාන තුල සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

කෙසේ වෙතත්, පැවති ගංවතුර තත්වය ක්‍රමයෙන් අඩුවීමත් සමග නිවාස හැර ආරක්ෂිත ස්ථාන වෙත ගිය ජනතාව නැවත තම නිවෙස් වෙත පැමිණමින් සිටින බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.

ආපදා තත්වයන් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

නිවාස 20 කට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 1,083 ක්.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කලේ එම නිවාස වලට වන්දි ලබාදීම සඳහා තක්සේරු වාර්තා ලබා ගැනීමේ කටයුතු ඉදිරියේදී සිදු කරන බවයි.

මේ අතර, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉඳිකිරීම් යළි සමාලෝචනය කර ඒ පිළිබද පරිසර විද්‍යාත්මක ඇගයීම් වාර්තාවක් ලබා දෙන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ව්‍යාපෘතිය භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවීමට මධ්‍යම අධිවේගී මාර්ගය හේතුවී ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මහාමාර්ග අමාත්‍යංශයේ ඊයේ (08) පැවති සාකච්ඡාවකදීයී.

මේ අතර, ඉදිරි පැය කිහිපයේදීත් බස්නාහිර සහ සබරගමුව පළාත් වලටත් ගාල්ල, මාතර සහ නුවර එළිය යන දිස්ත්‍රික්ක වලටත් මිලිමීටර 75 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ වයඹ ඌව සහ නැගෙනහිර පළාත් වලටත් සහ මහනුවර, මුලතිව් දිස්ත්‍රික්ක වලටත් වැසි ඇති විය හැකි බවයි.

******************************************

(09.06.2021 – 15:10 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව හේතුවෙන් ජීවනෝපායට බලපෑම් එල්ලවූ ධීවර ක්ෂේත්‍රයේ සියලුදෙනාට වන්දි ලබාදීමට කටයුතු කරන බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ගාලුමුවදොර අද (09) පෙරවරුවේ පැවති වැඩසටහනකින් අනතුරුවයි.

මේ අතර, නෞකාවේ සුන්බුන් හා මියගිය සමුද්‍ර ජීවින් පසුගිය දිනවල කොස්ගොඩ වෙරළ තීරය ආශ්‍රිතව දක්නට ලැබුණා.

එම වෙරළ තීරය නිරීක්ෂණය කළ ‘සාගර මිතුරු සංසදය’ එහිදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පැවැත්වුවා.

@@@@@@@@@@@@@@@

(09.06.2021 – 11:42 +0530 – hirunews.lk/sinhala)

සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී, එන්නත් ලබාදීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව, ඉදිරි දින කිහිපයේදී දිවයින පුරා ගර්භනී මාතාවන්ට කොරෝනා එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරෙනු ඇති.

මෙහි පළමු (1) අදියර යටතේ අධික රුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝග වලින් පෙලෙන ගර්භනී මව්වරුන්ට මෙලෙස එන්නත ලබාදෙන අතර, දෙවන (2) අදියරේදි අනෙකුත් ගර්භනී මව්වරුන්ට සයිනොෆාම් එන්නත් ලබාදීමට නියමිතයි.

මේ අතර, තවත් සයිනොෆාම් එන්නත් මිලියනයක් අද (09) අලුයම චීනයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවා ෴

කොවිඩ්-19 තෙවන (3) රැල්ල හේතුවෙන් මේ දක්වා ගර්භනී මව්වරුන් 09 දෙනෙකු මියගොස් තිබෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසනවා ෴

++++++++++++++++++++

(09.06.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (08) වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,682 දෙනා සමග මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 210,661 ක් දක්වා ඉහළ ගියා.

වාර්තා වූ ආසාදිතයින්ගෙන් 45 දෙනෙකු විදෙස්ගතව සිට පැමිණි පුද්ගලවයින් වන අතර සෙසු 2,637 දෙනා ‘අලු‍ත් අවුරුදු පොකුරේ’ ආසාදිතයින්.

ඒ අතරින් වැඩිම පිරිස වූ 602 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු අතර ඉන් වැඩිම පිරිස වන 174 ක් හදුනාගෙන ඇත්තේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 434 ක් වාර්තා වූ අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 270 ක්.

මේ අතර, මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙතෙක් ලබා දී ඇති පුද්ගලයින් ගණන 133,028 ක්.

ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාවද මේ දක්වා පුද්ගලයින් 64,986 දෙනෙකුට ලබාදී අවසන්.

කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 3,53,789 දෙනෙකුට ලබාදී ලබා දී තිබෙනවා.

මේ අතර, මෙතෙක් දිනකදී තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගතවූ දිනයේදී නිවේදනය කළා. එම සංඛ්‍යාව 54 ක්. ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,843 ක් දක්වා ඉහළ ගියා.

මෙම මරණ සිදුව ඇත්තේ පසුගිය මැයි 10 වැනිදා සිට ජුනි 07 දක්වා කාලය තුළදී වන අතර ඊට පිරිමි පුද්ගලයින් 32 දෙනෙක් සහ කාන්තාවන් 22 දෙනෙකු අයත්.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ ඉදිරියේදී මරණ සංඛ්‍යාව ඉහළයාම වැළැක්විමට අවශ්‍ය පියවර ක්‍රියාත්මක බවයි.

මේ අතර, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (09) පැය 4 ක පමණ වැඩවර්ජනයක නිරත වුණා.

මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වුණේ කොළඹ, කළුතර, රාගම, කෑගල්ල, හම්බන්තොට, අම්පාර, මොණරාගල, මාතලේ, කුලියාපිටිය සහ මඩකලපුව යන රෝහල් කේන්ද්‍රකරගනිමින්.

ඊට හේතුවී ඇත්තේ සියලු‍ සෞඛ්‍ය සේවකයින්ට කොවිඩ් අවදානම් දීමනාව ලබාදීම, සේවක හිඟය අඩු කිරීම ඇතුලු‍ ඉල්ලීම් කිහිපයක්.

+++++++++++++++++++++++

(09.06.2021 – 14:11 +0530 – hirunews.lk/sinhala)

පවතින කොවිඩ් තත්ත්වය ගැන දැනුවත් කෙරෙන, විශේෂ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මේ මොහොතේ පැවැත්වෙනවා.

එම සජීවි විකාශය පහතින් :

+++++++++++++++++++++++

(09.06.2021 – 14:23 +0530 – hirunews.lk/sinhala)

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා ගෙන් කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියමා අකිරා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී, ජනාධිපතිවරයා මුණ ගැසුණු අවස්ථාවේ මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

කොවිඩ් මර්දන , වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබා ගැනීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ සමුද්‍රීය අනතුරු පිළිබඳ ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාගැනීම කෙරෙහි ද ජනාධිපතිවරයා ජපාන තානාපතිවරයාගේ අවධානයට යොමු කළ බවයි ෴

++++++++++++++++++++

(09.06.2021 – 15:02 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් ගතවූ දිනයේ පුද්ගලයින් 1,034 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

ඒ අනුව සංචරණ සීමා සහ නිරෝධානයන නීතී උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් සමස්ත සංඛ්‍යාව 26,920 ක්.

සංචරණ සීමා පැනවීමත් සමඟ අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට ඇතුළු වන රථ වාහන පරීක්ෂාව කාර්යක්ෂම කිරීම සඳහා පොලිසිය විසින් කාණ්ඩ 11 ක් යටතේ වර්ණ 11 කින් නව ස්ටිකර් ක්‍රමවේදයක් මේ වන විට හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව අදත් (09) කොළඹට ඇතුළු වන රථ වාහන පරික්ෂාව සිදු වූ අයුරු දක්නට ලැබුණා.

අද (09) දිනයේත් දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම සඳහා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය අවසර ලබා දුන්නා.

කෙසේ වෙතත් පෑලියගොඩ මැනිං වෙළෙදපොළහි එළවළු මිල ඉතා ඉහල බැවින් වෙළෛදුන් එළවළු මිලදී ගැනීම අවම වී ඇති බව මැනිං පොදු වෙළෙද සමිතිය සඳහන් කළා.

පැළියගොඩ මාළු වෙළෙදපොල අදත් (09) විවෘතව පැවතියද පාරිභාගිකයින් පැමිණීමේ අඩුවක් පවතින බවට වෙළෙදුන් මැසිවිලි නගනවා.

+++++++++++++++++++++++

(09.06.2021 – 15:07 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා පරීක්ෂණ සාම්පල රැගෙන ගිය ගිලන් රථයක් කැස්බෑව ප්‍රදේශයේදී අනතුරට ලක් වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද (09) දහවල් ගිලන් රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මාර්ගය හරහා පෙරලී මෙම අනතුර සිදුව ඇති බවයි.

සිද්ධියෙන් එහි ගමන් ගත් එක් (1) අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, මේ වනවිට මාර්ගය හරහා පෙරලී ගොස් තිබූ ගිලන් රථය එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා.

++++++++++++++++++++

(09.06.2021 – 15:11 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලු විශේෂ ආර්ථික මධ්‍යස්ථාන ලබන 12 සහ 13 යන දෙදින තුල විවෘතව තැබෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ තොග වෙළඳාම සඳහා මෙලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන බවයි.

පෑලියගොඩ මැනිං වෙළඳපොල ද එම දෙදින තුල විවෘත කරන ලෙස අමාත්‍යවරයා දන්වා තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *