යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපය, ‘වවුනියා විශ්වවිද්‍යාලය’ බවට පත්වේ

යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපය, ‘වවුනියා විශ්වවිද්‍යාලය’ බවට පත්වේ

*********************************************

යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපය, ‘වවුනියා විශ්වවිද්‍යාලය’ බවට පත්වේ

(09.06.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala)

යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපය විශ්වවිද්‍යාලයක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ලබන අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එය, ‘වවුනියා විශ්වවිද්‍යාලය’ ලෙසයි නම් කර ඇත්තේ.

වවුනියා විශ්වවිද්‍යාලය, ව්‍යාපාර අධ්‍යාපන පීඨයකින්, ව්‍යවහාර විද්‍යා පීඨයකින් සහ තාක්ෂනික අධ්‍යයන පීඨයකින් සමන්විත විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ෴

******************************************

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට විවිධ පුද්ගලයින්ට දුරකථන ඇමතුම් ලබාදී කප්පම් ලබාගත් පිරිසක්

(08.05.2021 – 16:26 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව විවිධ පුද්ගලයින්ට පවසමින් ඔවුන්ව එම චෝදනාවලින් මුදාවාගැනීමට යැයි පවසා මුදල් ඉල්ලීම් සිදුකළ සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳ ව තොරතුරු වාර්තා වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මෙවන් ක්‍රියා සිදුකරන්නන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසය.

2019 සිදුවු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට විවිධ පුද්ගලයින්ට චෝදනා කරමින් අදාළ කණ්ඩායම විසින් දුරකථන ඇමතුම් ලබාදෙමින් එම පුද්ගලයින්ගෙන් කප්පම් මුදල් ලබාගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එලෙස කප්පම් මුදල් ලබාදුන් පුද්ගලයින්ගේ ද තොරතුරු අනාවරණය වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අදාළ සැකකරුවන් දුරකථනයෙන් පොලිස් නිලධාරීන් මෙන් කතා කර, ‘පාස්කු ප්‍රහාරයට ඔබ සම්බන්ධ බවත් එය වළක්වා ගැනීමට නම් අදාළ කප්පම් මුදල ගෙවන ලෙසත්’ දන්වා ඇත.

මෙවැනි දුරකථන ඇමතුම් බොහෝවිට ස්ථාවර දුරකථනවලට ලැබෙන බවත් එවන් ඇමතුම්වලට නොරැවටෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි ෴

******************************************

(09.06.2021 – 08:58 +0530 – hirunews.lk/sinhala)

හයිපොතයිරොයිඩිසම් (Hypothyroidism) රෝගය (තයිරොක්‌සින් අඩුවීම) සඳහා ලබාදෙන ඖෂධවල හිඟතාවක් මේ වන විට පවතින බව වාර්තාවනවා.

ආර්ජන්ටිනා රාජ්‍යයෙන් එම ඖෂධය මෙරටට ආනයනය කරන අතර, එරට නිෂ්පාදනයේ ප්‍රමාදයක් හේතුවෙන් තයිරොක්සින් රෝගය සඳහා ලබාදෙන ඖෂධ මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, ඉදිරි සති දෙක තුළ එම ඖෂධය මෙරටට ලැබෙන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදි කියා සිටියේ ෴

******************************************

(09.06.2021 – 09:04 +0530 – hirunews.lk/sinhala)

ප්‍රාථමික අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබාදීමේ සැළසුමට ගුරු වෘත්තිය සංගම් කිහිපයක් විරෝධය පළ කරනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර සඳහන් කළේ ප්‍රාථමික අංශයේ සිට උසස් පෙළ දක්වා සියලු විෂයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරීමට සිසුන්ට අවස්ථාව ලබාදීම පිළිබඳ අධ්‍යයනය කරන බවයි.

ඒ සඳහා කමිටුවක්ද පත් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය වහා හකුලා නොගන්නේ නම් ඉදිරි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවයි ලංකා ගුරු සේවා සංගමය ප්‍රකාශ කළේ.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය මේ බව සඳහන් කර තිබෙනවා.

මෙම සැළසුමට තම සංගමයද විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

2002 වසරේ සිට පාසල්වල ක්‍රියාත්මක ද්විභාෂා අධ්‍යාපනය ශක්තිමත් කිරීමට අධ්‍යාපන බලධාරීන් මේ මොහොතේ කටයුතු කළ යුතු බව ලංකා ගුරු සංගමයේ අදහසයි.

මේ අතර දිවයිනේ පවතින අයහපත් කාලගුණය නිසා පාසල් පෙළපොත් විනාශ වී ගිය දරුවන් සඳහා අලුතින් පෙළපොත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ එම දරුවන් තම පාසලේ විදුහල්පතිවරයාට ඒ සම්බන්ධයෙන් දැනුම්දීමෙන් අනතුරුව විදුහල්පතිවරුන් විසින් කොට්ඨාස සහ කලාප අධ්‍යක්ෂවරුන් මගින් අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම්දී ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇති බවයි ෴

******************************************

රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය තහනම් කිරීමට ගෙන ඇති තීරණය නිසා අනාගතයේදී ශ්‍රී ලංකාව සුවිශේෂ රටක් වේවි – මහාචාර්ය වන්ධනා ශිවා

(08.05.2021 – 13:52 +0530 – sinhala.adaderana.lk)

භූමිය පෝෂණය කරමින් මනුෂ්‍ය සංහතියට අවශ්‍ය පෝෂණය සැපයීමට කාබනික පොහොර භාවිතය හොඳම පිළිතුර බව ලොව ප්‍රකට පරිසරවේදිනියක් වන මහාචාර්ය වන්ධනා ශිවා මහත්මිය පවසයි.

ඇය ඒ බව පැවසුවේ, ‘සැමට ස්ථීර සමෘද්ධිමත් ආර්ථිකයක් සඳහා පුනර්ජනනීය කාබනික ගොවිතැන’ යන මාතෘකාව යටතේ ජාතික වැවිලි කළමනාකරණ ආයතනය මගින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඊයේ (07) සංවිධානය කළ සමුළුවක් අමතමිනි.

රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය අනාගතයේදී මෙරට ගොවියා සමෘද්ධිමත් කිරීමට සහ ශ්‍රී ලංකාව සුවිශේෂ රටක් කිරීමට හේතුවන බව ඇය පැවසුවාය.

මේ වනවිට වී ගොවිතැන හා තේ, රබර්, පොල් වැනි ආර්ථික බෝග වගාවන් සඳහා මෙන්ම එළවලු සහ පළතුරු වගාවන් සඳහා ශ්‍රී ලංකාව තුළ රසායනික පොහොර සහ කෘමි සහ පළිබෝධනාශක දියර වර්ග බහුලව භාවිත වේ.

විශේෂයෙන්ම වැඩි ඵලදාවක් අපේක්ෂාවෙන් ගොවීන් රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයට යොමුවී ඇති බව මතයක් ලෙස පිළිගනී.

නමුත් මහාචාර්ය වන්ධනා ශිවා මහත්මිය පවසන්නේ : “ඵලදාවේ ප්‍රමාණය (Quantity) පමණක් ගණනය කිරීම සාර්ථක නැහැ. නිවැරදි ලෙස විය යුත්තේ ඵලදාවේ ගුණාත්මක භාවය සහ පෝෂ්‍ය ගුණය විශේෂයෙන්ම සලකා බැලිය යුතුයි.

ඔබගේ පරිසර පද්ධතියේ විවිධත්වය වර්ධනය වනවිට ඵලදාව ඉහළ යනවා. එසේම ඔබගේ වගාව රෝග සහ පළිබෝධ උවදුරු සඳහා ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය වෙනවා. එමගින් ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. එසේම කෘෂි නිෂ්පාදන සඳහා අපනයන වෙළෙඳපොලේ හොඳ ඉල්ලුමක් ඇතිවීමෙන් රටේ ආර්ථිකයත් ශක්තිමත් වෙනවා.” යනුවෙනි.

යමෙක් තම වගාවට රසායනික පොහොර භාවිත කිරීම ආරම්භ කළහොත් ඉන් අත්මිදීමට අපහසු බව ඇය පෙන්වා දුන්නාය.

එසේම ගොවිතැන සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා භූමියේ වෙසෙන ජීවීන් විනාශ වීම, සාගරය දූෂණය වීම, ජෛව විවිධත්වයට හානි සිදුවීම, ගොවියා ණයකරුවෙක්වීම, මෙන්ම ආහාරවල ගුණාත්මකභාවය අඩුවීම වැලැක්විය නොහැකි බව ඇය කීවාය.

“අපේ ආහාරවල ගුණාත්මක භාවය දුර්වලවන විට ආහාර ඔස්සේ මිනිසාට ලැබෙන පෝෂ්‍ය පදාර්ථ අවම වෙනවා. වර්තමානයේ මිනිසා විවිධ රෝගවලට පහසුවෙන් ගොදුරුවීමට ප්‍රධාන හේතුවක් තමයි ගුණාත්මකබවින් අඩු දේ ආහාරයට ගැනීම.”

“පොළොවට රසායනික පොහොර යෙදූ විට ඉන් 20% ක් පමණයි ශාක මගින් අවශෝෂණය කරගනු ලබන්නේ. ඉතිරිය ඇළ, දොළ, ගංඟා ඔස්සේ සාගරයට මුසු වෙනවා. රසායනික පොහොර භාවිතයෙන් අපි භූමිය විතරක් නොවෙයි විනාශ කරන්නේ, අපි සාගරයත් විනාශ කරනවා. සියලුම කෘෂි රසායනික ද්‍රව්‍යවල මූලය පොසිල් ඉන්ධන. ඒ කියන්නේ අපේ විනාශය අපිම ළඟා කරගන්නවා.”

++++++++++++++

08-06-2021

******************************************

සේරුවිල විහාරාධිපති පත් කිරීමේ බලය ඇත්තේ මහනායක හිමියන්ටයි. අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහනායක හිමියන්ගෙන් නිවේදනයක්

(08.06.2021 – colombotoday.com)

සේරුවිල මංගල රජමහා විහාරය ශත වර්ෂයකට ආසන්න කාලයක් පාලනය වූයේ ද දැනට පාලනය වන්නේ ද අමරපුර ශ්‍රී කල්‍යාණවංශ නිකාය පාර්ශවය යටතේ බවත් එම නිකාය පාර්ශවයට අයත් අනෙකුත් විහාරස්ථාන වලට මෙන් සේරුවිල මංගල රජමහා විහාරයට ද විහාරාධිපති පත් කිරීමේ බලය හිමි වන්නේ එම නිකාය පාර්ශවයේ මහා නායක හිමියන්ට බවත් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ වැඩ බලන උත්තරීතර මහනායක ගන්තුනේ පූජ්‍ය අස්සජි මහ නාහිමි සඳහන් කර සිටියහ.

“චෛත්‍ය සංවර්ධන සමිතියට පැවරුණු කාර්ය භාරය චෛත්‍ය ගොඩනගා අවසන් වීමත් සමගම අවසන් වෙයි. විහාරස්ථානයේ සංවර්ධනයට සහාය විය හැකි වුවද විහාරාධිපති නම් කිරීමේ බලයක් එම සමිතියට තිබිය නොහැකිය. අතීතයෙහි එබඳු බලයක් ආරෝපණය කරගෙන තිබුණා නම් එය ක්‍රම විරෝධී ය. ලංකා ශාසනික සම්ප්‍රදායට එකඟ නැත. මෙම අවස්ථාවේ අනිවාර්යෙන්ම නිවැරදි විය යුතුය. එබැවින් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ පිළිගැනීම නිවැරදි බවත් එයම තහවුරු කළ යුතු බව ප්‍රකාශ කරමි.” යනුවෙන් අදාළ නිවේදනය මගින් පෙන්වා දෙති.

+++++++++++++

මහනායක ස්වාමින් වහන්සේත් සංඝ සභාවත් අභිබවා යමින්, සේරුවාවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ධූරය මෙවුනාමහ අසපුව සතුකරගැනීමට උත්සහ දරන බවට මේ වනවිට ආන්දෝලනයක් ඇති වෙමින් පවතී. එවන් අවස්ථාවක අද (09) පැවති මාධ්‍ය හමුවකදී මේ සියලු කාරණා පිටුපස කරණඅධි මතිඇ සලි අබ්බිරි සිටින බවට කඩුවහික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී, ත්‍රිපිටකවේදී පලානේමීවල රතනධම්ම හිමි චෝදනා කර සිටියා.

“අතිගරු ජනාධිපතිතුමාට මතක් කරන්න ඕනේ… ජනාධිපතිතුමනි, ඔබතුමාව අපි පත් කලේ බොහොම අමාරුවෙන්. සිංහල බෞද්ධයන්ව ආරක්ෂා කරන්න අපි ඔබතුමාව පත්කළේ. රැස්වීම්වල කතා කළේ… හැබැයි ඔබතුමා ළඟ ඉන්න, මේ කරණඅධි මතිඇ සලි අබ්බිරි තමයි මේවට යටින් උල්පන්දන් දෙන්නේ කියන එක වගකීමෙන් මේ වෙලාවේ කියනවා. සලි අබ්බිරි ට අයිති නෑ… අපේ ශාසනික කතිකාවන් වෙනස් කරන්න. සලි අබ්බිරි ට අයිති නෑ… දායක සභා අස්සට පැනලා ඒ කටයුතු කරන්න. සලි අබ්බිරිට අයිති නෑ… නැගෙනහිර පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති ට කතා කරලා ජේෂ්ඨ පොලිස් අධිකාරිට කතා කරලා හාමුදුරුවන් වහන්සේලාව වට කරන්න.”

“මේවා ඉතා නින්දිත වැඩ කියල සලි අබ්බිරිට මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ නිසා සලි අබ්බිරිට කියනවා තමුන්ට මේ පිනට හම්බවෙච්ච කැමතිඅම කරුණාකරලා තියාගෙන, මේ රටේ බෞද්ධයෝ කුලප්පු කර ගන්නේ නැතුව තමන්ගේ පාඩුවේ වැඩ ටික කරන්න. පත් වෙච්ච දවසේ ඉඳලා තමුන් හරි වැඩක් කරේ නෑ කියන එක විශේෂයෙන්ම මේ වෙලාවේ වගකීමෙන් යුතුව මතක් කරනවා.” යැයි අදහස් දක්වමින් ඒ හිමියෝ පැවසීය ෴

කොළ-අඹ-අද (09.06.2021)

+++++++++++++

සල්ලි බලේට සේරුවිල ගන්න දෙන්න බෑ – Truth with Chamuditha (06.06.2021)

මාරාවේසිත කිරිබත්ගොඩ වේසිපුත්‍රයා ගෙන් බුද්ධ සාසනය බේරා ගනිමු !

******************************************

‘නැගෙනහිර අපි’ සංවිධානයේ ක්‍රියාකාරිකයන් හය දෙනෙකු (6) අත් අඩංගුවට! ඉස්ලාම් අන්තවාදයට එරෙහිවීම නිසාදැයි සැකයක්!

(08.06.2021 – 20:49 +0530 – lankaleadnews.com)

සේරුවිල ප්‍රදේශයේ සිංහල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ‘නැගෙනහිර අපි’ සංවිධානයේ පුද්ගලයන් හය දෙනෙකු (6) අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අත් අඩංගුවට ගත් පිරිස් නැගෙනහිර පළාතේ සිදුවන ‘ඉස්ලාම් අන්තවාදය’ට එරෙහිව සමාජ මාධ්‍යය තුළ මත පළ කළ පුද්ගලයන් බවද වාර්තාවේ.

ඔවුන්ගේ අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ‘ලංකා ලීඩ්’ වෙත අදහස් දැක්වූ නැගෙනහිර පළාතේ ප්‍රධාන භික්ෂූන් වහන්සේ නමක් පවසා සිටියේ ජනාධිපති තුමා මේ සම්බන්ධව වහා සොයා බැලිය යුතු බවයි. ඔවුන් අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ පිහිටි ත්‍රස්ත විමර්ෂන ඒකකය විසින් බවද වාර්තා වේ ෴

******************************************

පිටරට කුණු ගෙනත් පොහොර කළොත් අති භයානකයි – මීලඟ කුමන්ත්‍රණික අපරාධය තිලක් කන්දෙගම මහතා හෙළි කරයි (09.06.2021)

******************************************

නැවේ මහා පරිසර විනාශය නැතිකරන්න අපිට තිබුණා – Talk with Chathura Express (09.06.2021)

@@@@@@@@@@@@@@@

(09.06.2021 – 08:23 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (08) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,682 ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිත සංඛ්‍යාව දෙලක්ෂ දස දහස් හයසිය හැට එක (2,10,661) දක්වා ඉහළ යනවා.

එමෙන්ම ඊයේ (08) කොරෝනා මරණ 54 ක් තහවුරු කරනු ලැබුවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,843 දක්වා ඉහළ යනවා.

මේ අතර, ස්පුට්නික් එන්නත් පළමු (1) මාත්‍රාව ලබා දුන් සියළු දෙනාට එහි දෙවන (2) මාත්‍රාව ද ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා.

එසේම ඇස්ට්‍රාසෙනෙකා දෙවන (2) මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග මෙන්ම ඇමෙරිකානු ෆයිසර් ආයතනය සමග ද සාකච්ඡා පවත්වා ඇති බවයි ඔහු සඳහන් කළේ.

රුසියාවේ නිෂ්පාදිත ස්පුටිනික් එන්නත් මාත්‍රා 65,000 ක් ද සිකුරාදා (11) මෙරටට ලැබීමට නියමිතයි ෴

+++++++++++++++++++++++

(09.06.2021 – 08:36 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා කාලය තුළ ජංගම වෙළඳුන් භාවිතා කරන තරාදි සහ කිරුම් මිනුම් උපකරණ පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ කිරුම් මිණුම් ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව මගින්.

ඒ අනුව, එහි පළමු අදියර බදුල්ල සහ මහියංගනය ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (08) ක්‍රියාත්මක කෙරුණා.

එහිදී අනාවරණය වී ඇත්තේ බොහෝ වෙළඳුන් ප්‍රමිතියෙන් තොර තරාදි වර්ග භාවිතා කරන බවටයි.

සංචරණ සීමා කාලය තුළ වෙළඳාම් කිරීමට නිකුත් කල බලපත්‍ර ප්‍රමාණයට සරිලන ජංගම වෙළඳ රථ ප්‍රමාණයක් එම කටයුතු සිදු නොකරන බවටද මෙම පරික්ෂාවේදී නිරීක්ෂණය වී තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් කිරුම් මිණුම් ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රධානී දුලිත් අශෝක මහතා සඳහන් කළේ සංචරණ සීමා කාලය තුල වෙළඳාම් කිරීමට බලපත්‍ර නිකුත් කිරීමේදී ඔවුන් භාවිතා කරන කිරුම් මිනුම් උපකරණ පිළිබඳව අවධානය යොමු කළයුතු බවයි.

සංචරණ සීමා කාලය තුල වෙළඳාම් කිරීමට සඳහා බලපත්‍ර නිකුත් කිරීම නියාමනයකින් යුතුව සිදු කළ යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++++

(09.06.2021 – 08:51 +0530 – hirunews.lk/sinhala)

2018 වර්ෂයේ කොරියාවේ රැකියා සඳහා තෝරා ගැනුනු 3500 කට අධික පිරිසක් තම රැකියා සඳහා එරටට යෑමට නොහැකිව මෙරට රැඳී සිටින බව වාර්තා වුණා.

කොරියානු රැකියා විභාග සදහා පෙනී සිට කොරියානු රැකියා ආයතන සමග ගිවිසුම් ද අත්සන් කර ඇති නමුත්, ඔවුන්ට තවමත් සිය රැකියාවන් සදහා පිටත්ව යාමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිසි වැඩපිළිවෙලක් සලසා දී නොමැති බව සඳහන්.

තමන් ලබාගෙන ඇති වීසා අයදුම්පත් කල් ඉකුත් වුවහොත් දැඩි අසීරුතාවකට මුහුණපාන බවයි කොරියානු රැකියා අපේක්ෂකයින් කිහිපදෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ෴

++++++++++++++++++++

කොවිඩ් මරණ පිළිබඳ දත්ත ඇත්ත ද?

(08.05.2021 – 19:20 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් මරණ පිළිබඳ නිවැරදි තොරතුරු හෙළිකළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසීය.

‘අද දෙරණ’ ඔස්සේ විකාශය වු BIG FOCUS වැඩසටහන සමඟ එක්වෙමින් ඇය පවසා සිටියේ, කොවිඩ් රෝගීන් මිය යන හේතුන් වෙන්වෙන් වශයෙන් පැවසිය යුතු බවය.

” ‘කොවිඩ් නිසා ඇති වෙන මරණ’, ‘කෝවිඩ් හේතුවෙන් ඇති වු සංකූලතා හේතුවෙන් ඇති වන මරණ’ යන දෙක පැහැදිලිව ලිවිය යුතුයි. මරණ සහතිකවල පවා එයට ඉඩ ප්‍රස්තාව ලබා දී තිබෙනවා. රට අඟුලු දැමීමක් නොවුනානම් අපි අඩුම තරමින් 45 සීමාවේ නැවතී සිටිනවා. මේක එතැනින් එහාට තවදුරටත් 60 -70 දක්වා දිගටම තව වැඩිවෙන්න තිබුණා.”

මේ අතර දියවැඩියාව සහ අන්තරාසර්ග රෝග පිළිබඳව විශේෂ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසා සිටියේ, කොවිඩ් රෝගීන් ලෙස හඳුනාගන්නා සෑම රෝගියෙකුගේ ම පවුලේ නොවන පුද්ගලයින් කිහිපදෙනෙක් සමාජයේ සිටිය හැකි බවය.

“3,000 ක් අපි කියන කොට 10,000 ක් පමණ තව සමාජයේ ඉන්න පුළුවන්. ඒ අයගෙන් තව තව අධික ලෙස ව්‍යාප්ත වෙන්න පුළුවන්. හම්බවුණ රෝගියාගේ ගෙදර ඉන්න අයගේ EXIT PCR කරනවා. නමුත් කර්මාන්ත ශාලාවක හරි ඔෆිස් එකක හරි හිටපු හඳුනා නොගත් දහස් ගණනකට ව්‍යාප්ත කරන්න ඉඩ තියෙනවා.”

මේ මරණ වැඩියෙන්ම සිදුවන්නේ කොවිඩ් නිසා ද?

“විශ්ලේෂණය දකින්න ඇති. දවස් දෙක තුනකට පෙර 46 දෙනෙක් මියයන කොට එයින් 18 දෙනෙක් මියයනවා ගෙදර දී. මම හිතන්නේ නෑ කාටවත් හුස්ම ගන්න අමාරු වෙලා මැරුණා කියලා. නොදැනීම එකපාරට ආව අමාරුවක් නිසා හදිසි මරණයක් ලෙස ඔවුන් මියයනවා. කොවිඩ් තමයි එහෙම වෙන්න හේතුව. මේක තමයි අපි පිළිගන්න ඕනේ. කොවිඩ් වලින් විතරක් මැරෙන ගනන ගත්තොත් මීට වඩා ගොඩක් අඩු කරලා පෙන්නන්න පුළුවන්. දත්ත වුණත් තමන්ට කැමති විදියට හැසිරුවොත් ඕනෑම අගයක් පෙන්වන්න පුළුවන් ඒ පිළිබඳ විශේෂඥයෙකුට.”

මේ අතර, ජූනි මාසයේ ගෙවුණු දින 07 තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 305 ක් බව තහවුරු කළේය.

ඒ අතරින් රෝහල්ගත කරන අවස්ථාව වනවිටත් මියගිය බවට තහවුරු කළ මරණ ගණන 19 කි.

එමෙන්ම තවත් 65 දෙනෙකුම මියගොස් තිබුණේ සිය නිවෙස් තුළදීමය.

සෙසු මරණ 221 රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර සිදුවු කොවිඩ් මරණය.

එම කොවිඩ් මරණ තවදුරටත් විශ්ලේෂණය කළහොත් ගෙවුණු සතියේ වාර්තා වූ කොවිඩ් මරණ 305 අතරින් 84 දෙනෙකුම මියගොස් ඇත්තේ නිවෙස් තුළදී හෝ රෝහල්ගත කරන අවස්ථාවේදීය.

එනම් එම සතියේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් සියයට 27.5 ක්ම සිදුව ඇත්තේ කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් නොමැතිව කොවිඩ් වෛරසය ආසාදනයෙන් වීමෙන් බව පැහැදිලි වේ.

මේ අතර, නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයේ ස්ථාපිත අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා පළමුවරට කොවිඩ් රෝගින් ඇතුළත් කරගැනීම අද (08) ආරම්භ විය.

ආසාදිතයින් සිය දෙනෙකු (100) සඳහා මෙහි ප්‍රතිකාර ලබාදීමට අපේක්ෂිතය.

මෙහිදී කොවිඩ් ප්‍රතිකාර වෙනුවෙන් රෝහලට අත්‍යවශ්‍යව තිබූ වෛද්‍ය හා සනීපාරක්ෂක උපකරණ තොගයක් මනුසත් දෙරණ හා DIALOG ආයතනය එක්ව රෝහල් අධ්‍යක්ෂවරයා වෙත පරිත්‍යාග කරනු ලැබීය.

ඉන්දියාවේ ‘නිරු ඩයමන්ඩ් කටර්ස්’ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සංජය බේඩ් මහතා විසින් මෙරට කොවිඩ් පාලන වැඩසටහනට දායකවීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමූ රුපියල් ලක්ෂ 65 ක් වටිනා පී.සී.ආර්.යන්ත්‍රයක් පරිත්‍යාගක කර තිබේ.

එම පී.සී.ආර්.යන්ත්‍රය දියතලාව මූලික රෝහලට ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

+++++++++++++++++++++++

කොවිඩ් එන්නත්කරණය, ගැබිනි මවට – BIG FOCUS (09.06.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *