අලෙවිකර ගත නොහැකි එළවළු සහ පළතුරු රජය විසින් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

අලෙවිකර ගත නොහැකි එළවළු සහ පළතුරු රජය විසින් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

*********************************************

අලෙවිකර ගත නොහැකි එළවළු සහ පළතුරු රජය විසින් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

(08.06.2021 – 10:22 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුල ගොවීන්ට අලෙවි කර ගැනීමට නොහැකි වූ එළවලු සහ පළතුරු අතිරික්ත තොග රජය විසින් මිලදී ගැනීමට තීරණය කර තිබෙනවා.

දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිසාපතිවරුන් මගින් මෙම එළවළු හා පළතුරු තොග, දිස්ත්‍රික් කමිටුවේ මිල ගණන් යටතේ මිලදී ගැනීමටයි අමාත්‍ය මණ්ඩලය එකග වී ඇත්තේ.

මෙලෙස මිලදී ගනු ලබන එළවළු සහ පළතුරු සංචරණ සීමා අවසන් වනතෙක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන, රජයේ රෝහල්, ත්‍රිවිධ හමුදාවන්, අවතැන් කඳවුරු සහ ජීවනෝපාය අහිමි පවුල් වලට වෙත නොමිලේ ලබාදීමටයි යෝජනා වී ඇත්තේ.

සංචරණ සීමා හේතුවෙන් ගොවියන් සහ පාරිභෝගිකයන් මුහුණ දී ඇති ගැටළුව හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා විසිනුයි මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර ඇත්තේ ෴

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ රේගුව විසින් රාජසන්තක කරන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලංකා සතොස ආයතනය හරහා බෙදා හැරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එලෙස ලබා ගන්නා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහන මිලකට ජනතාවට අලෙවි කිරීමටයි එහිදී තීරණය වී ඇත්තේ.

පවතින කොරෝනා වසංගත තත්ත්වය යටතේ ජනතාවට පහසු මිලට හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමේ ක්‍රමවේදය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණෙන් අමාත්‍ය මණ්ඩලය මෙම තීරණයට එළඹී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(08.06.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (07) මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,646 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 444 ක්.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (07) ආසාදිතයින් 414 ක් වාර්තා වී තිබූ අතර ඉන් වැඩිම පිරිස වන 65 වාර්තා වී තිබුණේ අවිස්සාවේල්ලෙන්.

එසේම කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන්ද ආසාදිතයින් 65 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 392 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

මේ වන විට මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 207,979 ක් ලෙසටයි.

එසේම මෙරට සමස්ථ කොරෝනා මරන සංඛ්‍යාව දැනට 1789 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සුවය ලැබු මුළු පිරිස 176,045 ක්.

හෝමාගම විවිධ සේවා සමුපකාර සමිතියට අයත්, දියගම මල්ශාලාවේ කළමනාකරු ඇතුළු 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා එම මල් ශාලාව තාවකාලිකව වසා දැමීමට ඊයේ (07) පියවර ගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

මේ හේතුවෙන් එම මල් ශාලාවේ සේවය කළ තවත් පුද්ගලයින් දසදෙනෙකු (10) මල් ශාලාව තුලම නිරෝධායනය කිරීමටත් කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබෙනවා.

මීට දින කීපයකට පෙර එම මල්ශාලාවේ කළමනාකාරවරයාට සහ රියදුරුට කොරෝනා ආසාදනය වී තිබූ අතර පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී එහි තවත් සේවකයින් පස්දෙනකුට (5) වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (07) හඳුනාගැනුනා.

ඒ අනුව එම මල් ශාලාවේ සේවය කළ සෙසු සේවකයින් දස (10) දෙනෙකු ස්වයං නිරෝධායනය කොට ආසාදිතයින් රෝහල්ගත කිරීමට පියවර ගත්තා.

මෙම මල්ශාලාවේ සේවකයින් සියලු දෙනා එකම ආරක්ෂිත ඇඳුම් කට්ටලය භාවිත කරමින් දෛනිකව අවමංගල්‍ය කටයුතු සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ අතර ඊයේ (07) ගාල්ලේදී පිටතින් පැමිණි පිරිසකට ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ 2 වන මාත්‍රාව ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට පුළුල් සංවාදයක් මතුව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අද (08) කොළඹ පැවති මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේ එන්නත් ලබාදීම සම්බන්ධයෙන් සිදුවූ ගැටලුකාරි තත්ත්වය පිලිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

++++++++++++++++++++++

(08.06.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

පවතින බරපතල කොවිඩ් 19 වසංගත තත්ත්වයේ ව්‍යාප්තියත් සමඟ පැනවූ සංචරණ සීමා ලිහිල් කිරීම විශ්ලේෂණය කර විශේෂඥ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බරපතල තත්ත්වයක් ඇති නොවන බවට තහවුරු වුවහොත් පමණක් සිදුකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

දැනට පවතින නිර්දේශයන්ට අනුව සංචරණ සීමා ලිහිල් කිරීමට නියමිතව ඇත්තේ ලබන 14 වැනිදායි.

මෙතෙක් හුදෙකලා කළ ග්‍රාමසේවා වසම්වලින් ග්‍රාම සේවා වසම් 77 ක හුදෙකලාභාවය ඉවත් කළද එම ප්‍රදේශවල ජනතාවට තවදුරටත් සංචරණය සඳහා අවසර හිමිනොවන බව හමුදාපතිවරයා පවසා සිටියා.

ඊට හේතුව ලෙස දැක්වෙන්නේ එම ප්‍රදේශවල තවදුරටත් කොවිඩ් වෛරසය පැතිරීමේ අවදානමක් පැවතීමයි.

මේ අතර ජුනි මස 10 සහ 11 වැනිදා විශ්‍රාම වැටුප් ලබාදීමේ ක්‍රියාවලිය සඳහා යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව පහසුකම් සැපයීම සඳහා වැඩ පිළිවෙලක් සකස්කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ත්‍රිවිධ හමුදාවට අයත් බස්රථ සහ ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ යොදාගනිමින් විශ්‍රාම වැටුප් ලාභීන්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට මේ අනුව කටයුතු යොදා ඇති බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

++++++++++++++++++++++++

(08.06.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala)

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර කේන්ද්‍රකොට ගෙන ඇති වී තිබෙන නව කොරෝනා පොකුර ශ්‍රී ලංකාවේ සිට නැවත එහි ගිය පුද්ගලයෙකුගෙන් ආරම්භ වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

හෝටල් නිරෝධායනයට ලක්ව සිටි ඔහුගෙන් ඉන්දියාවෙන් පළමුවෙන් සොයා ගැණුනු ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය පැතිරී ඇති බව ඕස්ට්‍රේලියානු බලධාරින් සනාථ කළා.

පසුගිය මැයි 8 වනදා මෙල්බර්න් නුවර බලා ගිය එම ශ්‍රී ලාංකිකයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වී ඇත්තේ එදිනමයි.

ඔහුගෙන් පවුල් දෙකකට (2) වෛරසය ආසාදනය වී ඇති අතර, නව පොකුර හේතුවෙන් මෙල්බන් නුවර සීමාවන් පැනවීමට ද පියවර ගැණුනා.

වයස 40 ඉක්මවූ එම ශ්‍රී ලාංකිකයා පසුගිය මැයි 14 වනදා නිරෝධායන හෝටලයේ සිට ප්‍රතිකාර පහසුකම් සහිත හෝටලයක් වෙත මාරු කර ඇති අතර, ඔහු ඉන් නික්ම ගොස් ඇත්තේ මැයි 23 වනදායි.

ඔහුගෙන් හෝටලයේ අනෙකුත් පුද්ගලයන් වෙත වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳව මේ වනවිට ඕස්ට්‍රේලියානු බලධාරින් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කළේ ෴

@@@@@@@@@@@@@@

(08.06.2021 – 10:56 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටියදී අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ දී පසුගිය 06 වනදා අත්අඩංගුවට ගැනුණු යුවළ දින 07 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඒ සැකකාරිය සහ සැකකරු ඊයේ (07) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කුඩු අංජු’ නැමැත්තාගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙක් සහ ඔහුගේ බිරිඳ පෙරේදා මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ අතුරුගිරිය පොලිසියට ලද තොරතුරකට අනුවයි.

ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අයිස් මත්ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 14 ක මුදල් සහ ඉලෙක්ට්‍රොනිකව මුදල් ගණනය කරන යන්ත්‍ර දෙකක්ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් 23 හැවිරිදි වියේ පසුවන කාන්තාව නිරූපණ ශිල්පිණියක් ලෙස කටයුතු කරන තැනැත්තියක් බවයි අනාවරණය වී ඇත්තේ.

+++++++++++++

නිලි බිරිය හා එක්ව ‘කුඩු අංජු’ගේ බාප්පාගේ පුතා දීපු සුපිරි ගේම් එක එක එලිවෙයි

(08.06.2021 – aruna.lk)

වෙළෙද දැන්වීම් හා ටෙලිනාට්‍ය නිළියක ලෙස කටයුතු කරන බිරිද සමග එක්වී කුඩු අංජුගේ කුඩු ජාවාරම් මෙහෙයවූ බව කියන සැකකරු මාසයක් ඇතුළත රුපියල් කෝටි දහයකට (10,00,00,000) ආසන්න මුදල් හෝමාගම, කොට්ටාව, මහරගම, පිළියන්දල යන ප්‍රදේශවලට බෙදාහැර ඇතැයි අතුරුගිරිය පොලිසිය හෙළි කර ගෙන ඇත.

ටෙලිනාට්‍ය නිළිය
‘කුඩු අංජු’ගේ බාප්පාගේ පුතා

ප්‍රබල අපරාධකරුවෙකු වන ‘කුඩු අංජු’ගේ බාප්පාගේ පුතා බව කියන සැකකරුට ජාවාරම මෙහෙයවීම සඳහා රුපියල් කෝටියකට (1,00,00,000) අධික පියස් වර්ගයේ මෝටර් රථයක් අංජු විසින් ලබා දී ඇති අතර එම මෝටර් රථය පන ගැන්විය හැක්කේ අංජුගේ විධානයෙන් පසුව වීම විශේෂත්වයකි. අංජුගේ විධානයක් නොමැතිව කිසිම අයුරකින් කිසිවකුටවත් මෙම මෝටර් රථය පන ගැන්විය නොහැක.

මෙම රථයෙන් ගොස් ප්‍රධාන පෙලේ සුපිරි වෙළෙදසැල් අසලදී මෙම මුදල් මෝටර්රථ වලට ලබා දෙන බව හෙළි වී ඇත.

අංජු විසින් හදුන්වා දුන් ‘මොහොමඩ් අබ්දුල්’ නැමැති අයෙකු කියන තැන්වලට ගොස් සැකකරු මෙම මුදල් ලබා දී ඇති අතර මේ වෙනුවෙන් ඔහුට මාසිකව රුපියල් අසූදහසක (80,000) වැටුපක් හා අතුරුගිරියේ මිලේනියම්සිටියේ කුලී නිවසට රුපියල් විසිපන්දහසක (25,000) මුදලක් ගෙවා ඇතිබව හෙලිවී තිබේ.

රුපියල් ලක්ෂ දාහතරක (14,00,000) මුදල් හා මත්ද්‍රව්‍ය සමග අඹු සැමි යුවල අත් අඩංගුවට ගෙන ඇත්තේ අතුරුගිරිය මිලේනියම්සිටි මෙම කුලී නිවසේදීය. මීට ඉහතදී ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේදී ගිනිඅවි ළග තබා ගැනීමේ චෝදනාවකටද මොහු අත් අඩංගුවට පත්වී ඇත.

සැකකරු සමග විවාහ වී සිටි ටෙලිනාට්‍ය නිළිය විසිතුන් (23) හැවිරිදි වියේ පසුවන අතර මොවුන් අත් අඩංගුවට පත්වු අවස්තාවේ මොවුන් සන්තකයේ තිබී මුදල් රුපියල් ලක්ෂ 14 ක් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 ක් හා මුදල් ගණින යන්ත්‍ර දෙකක් (02) හා ජංගමදුරකතන 04 පොලිස්භාරයට ගෙන ඇත.

සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රදවා ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. වැඩිදුර පරීක්ෂණ අතුරුගිරිය පොලිසිය විසින් සිදුකෙරේ.

පතිරණගේ සාලිය

******************************************

(08.06.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

පොහොර හිඟය හේතුවෙන් මේ වන විට ගොවීන් මෙන්ම තමන්ද දැඩි අසීරුතාවයට පත්ව සිටින බව පැල තවාන්කරුවන් පවසනවා.

පොළොන්නරුව -හිඟුරක්ගොඩ – සිරිකෙත සහ කුමාරගම යන ගම්මාන වල මල් වගාකරුවන් සහ කල්පිටිය දළුව, මාම්පූරිය, සින්නපාඩුව, සේතපොළ යන ගම්මාව වල ඉද්දමල් වගාකරුවන් සඳහන් කළේ පොහොර නොමැතිවීම හේතුවෙන් පැල තවාන් කිරීමේ කටයුතු සිදුකිරීමට නොහැකි බවයි.

මේ අතර මෙරට තුල කාබනික පොහොර නිෂ්පාදනය සාර්ථක ක්‍රියාවක් නොවන බව රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතා පවසනවා.

මාතර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ ඒ තුලින් මෙරට පස විනාශ වීමේ අවදානමක් පවතින බවයි.

මේ අතර ඉන්දියාවේ සිට ආනයනය ලද කරන ලද කාබනික පොහොර බහාලුම් 3 ක් රේගු භාරයේ රඳවා ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ ආනයන අපනයන පාලකවරයාගේ අනුමැතිය සහ ශාක හා නිරෝධායන අනුමැතිය ලැබෙන තෙක් එම ආනයනික කාබනික පොහොර බහාලුම් රේගුවෙන් නිදහස් නොකරන බවයි.

අදාල පොහොර අනායනය සඳහා ආනයනික බලපත්‍ර පවතින්නේද යන්න සලකා බැලීමද සිදු වන බව ඔහු ප්‍රකාශ කළා.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ එම කාබනික පොහොර බහාලුම් නිදහස් කිරීම සඳහා අදාල අංශ වල අනුමැතිය නොලැබුනහොත් ඒවා ප්‍රතිඅපනයනයට පියවර ගන්නා බවයි.

මේ අතර තිස්සමහාරාම නගරයේ පිහිටි කෘෂි රසායන අලෙවි සැලකින් රජය මගින් සහනාධාර ක්‍රමයට ලබා දෙන පොහොර රුපියල් 3,500 කට අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව අප පසුගියදා තොරතුරු අනාවරණය කල අතර ඊයේ (07) එම ගබඩාවට මුද්‍රා තැබුණා.

ඒ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් එය පරික්ෂා කිරීමෙන් අනතුරුවයි.

මේ අතර අද (08) පාර්ලිමේන්තුවේදී පොහොර ගැටලුව සම්බන්ධයෙන් උණුසුම් සංවාදයක් ඇතිවුණා.

එමෙන්ම කාබනික පොහොර භාවිතයට එළඹීමේදී පැමිණෙන අභියෝග නොතකා මහජන නියෝජිතයන් ජනතා සුබසිද්ධිය පිණිස ඉදිරියට ගමන් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් සමඟ ඊයේ (07) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් තහවුරු කර ඇති බවයි.

******************************************

(08.06.2021 – 13:52 +0530 – hirunews.lk/sinhala)

ඇල්පිටිය ප්‍රදේශයට අපනයන කෘෂි අගයදාම සංවර්ධන කර්මාන්ත කලාපයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අගය එකතු කළ නිෂ්පාදන ඉහළ නංවමින් විදේශ විනිමය ලබා ගැනීමේ අරමුණ ඇතිවයි ඇල්පිටිය මහහීන්තැන්න ප්‍රදේශයේ මෙම සංවර්ධන කර්මාන්ත කලාපයක් පිහිටුවීමට රජය තීරණය කර ඇත්තේ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව පවතින අක්කර 14 ක භූමි ප්‍රමාණයක මෙම කර්මාන්ත කලාපය පිහිටුවීමට නියමිතයි ෴

******************************************

(08.06.2021 – 13:55 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර වෙළඳ අවස්ථා වැඩි කිරීමට අවධානය යොමුව තිබෙනවා.

ඒ සඳහා එරට ව්‍යාපාරිකයින් සහ ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා පැවැත්වුණා.

ඇෆ්ගනිස්ථානයේ ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේදී පැවති මෙම හමුවේදී ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා කියා සිටියේ දෙරට අතර අපනයන උපාය මාර්ග හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා වැඩි ප්‍රතිලාභ ලබා ගැනීම කෙරෙහි අවධානයක් යොමුකළ යුතු බවයි.

දැනට ඇෆ්ගනිස්ථාන වෙළඳපොලෙහි අලෙවි වන ප්‍රමිතියෙන් අඩු නිෂ්පාදනවලට සාපේක්ෂව මෙරට උසස් තත්ත්වයේ තේ, කුරුඳු සහ කුළු බඩු වල ඉහළ ප්‍රමිතිය තානාපතිවරයා පෙන්වා දී ඇත්තේ සාම්පල ද ප්‍රදර්ශනය කරමින් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *