තම ජීවිතය පරදුවට තබා, කිඹුලාගේ ග්‍රහණයේ සිටි 70 හැවිරිදි අයෙකුගේ ජීවිතය බේරාගත් බෝසත් හාමුදුරුවෝ

තම ජීවිතය පරදුවට තබා, කිඹුලාගේ ග්‍රහණයේ සිටි 70 හැවිරිදි අයෙකුගේ ජීවිතය බේරාගත් බෝසත් හාමුදුරුවෝ

*********************************************

තම ජීවිතය පරදුවට තබා, කිඹුලාගේ ග්‍රහණයේ සිටි 70 හැවිරිදි අයෙකුගේ ජීවිතය බේරාගත් බෝසත් හාමුදුරුවෝ

(07.06.2021 – colombotoday.com)

කහටගස්දිගිලිය, දියමයිලගස්වැව, වැවේ දිය නාමින් සිටි 70 හැවිරිදි පුද්ගලයෙකුට කිඹුලෙකු විසින් පහර දී ඇදගෙන යාමට උත්සහ දැරූ අවස්ථාවේදී එම ගමේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ නමක් දියට පැන කිඹුලා සමග පොර බඳිමින් පහර කෑ පුද්ගලයා බේරාගෙන ඇති බව කහටගස්දිගිලිය පොලිසිය සඳහන් කරයි.

දියමයිලගස්වැව ශ්‍රී ධර්මරාජ විහාරස්තානයේ 30 හැවිරිදි, පූජ්‍ය පැල්ලන්දෙනියේ පියනන්ද හිමි සහ 70 හැවිරිදි දියමයිලගස්වැව පදිංචි ජේ.එම්. විජේරත්න මහතා දියමයිලගස්වැව වැවේ ඊයේ (07) උදෑසන දිය නාමින් සිට ඇත. ස්වාමීන් වහන්සේ දිය නා අවසන් වී නැවත විහාරස්ථානයට පැමිණීමට සූදානම් වෙමින් සිටියදී වැවේ නාමින් සිටි විජේරත්න මහතා හට මෙම කිඹුල් ප්‍රහාරය එල්ල වී ඇත. කිඹුලා විසින් මෙම පුද්ගලයා ඇදගෙන යමින් සිටියදී මෙම ‍භික්ෂුන් වහන්සේ වැවට පැන කිඹුලා සමග පොර බදිමින් විජේරත්න මහතාව එම අවස්ථාවේ බේරා ගෙන ඇත.

අනතුරුව ප්‍රදේශවාසීන්ගේ සහය ඇතුව මෙම පුද්ගලයව රෝහල් ගත කර ඇත. සිදුවූ කිඹුල් ප්‍රහාරය හමුවේ විජේරත්න මහතාගේ පාදයකට බරපතල තුවාල සිදු වී අනුරාධුපුර ශීක්ෂණ රෝහලේ මේ වන විට ප්‍රථිකාර ලබමින් සිටි. එම අවස්ථාවට මුහුණ දුන් ස්වාමීන් වහන්සේට කිසිදු අනතුරක් මෙහිදී සිදුව නොමැති බව උන්වහන්සේ පැවසීය.

මෙම නිර්භීත ක්‍රියාවෙන් ජීවිතයක් බේරාගැනීම නිසා, කහටගස්දිගිලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එස්. අබේසේකර මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් ඊයේ (07) දහවල් දියමයිලගස්වැව විහාරස්ථානයට ගොස් ස්වාමීන් වහන්සේ බැහැ දැක එම හිමි නමට ප්‍රශංසා කලා.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

******************************************

නැවට වෙච්ච දේ සරල සිංහලෙන්…

(04.06.2021 – FB: හැදෙන රට – Hadena Rata)

******************************************

(08.06.2021 – 07:06 +0530 – hirunews.lk/sinhala)

ගෙලබැඳි රන්මාල කොල්ලකෑම් වල නිරත වූ සැකකරුවන් දෙදෙනෙක් (2) කඩවත, එඬේරමුල්ල ප්‍රදේශයේදී ඊයේ (07) කඩවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රන්මාල කොල්ලකෑම් වල නිරතවන කල්ලියක සාමාජිකයින් වන මොවුන් දෙදෙනා වයස අවුරුදු 26 සහ 28 යන වයස්වල පසුවන්නන්.

සැකකරුවෙන් ගමන් ගත් යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇති අතර එය අංක තහඩු 03 ක් යෙදිය හැකි ආකාරයට සකසා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මොවුන් සන්තකයේ තිබී ජීව අත්බෝම්බයක්, හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 04 ක් සහ රාගම සහ කඳාන යන ප්‍රදේශවලින් කොල්ලකන ලද රන්මාල දෙකක් (2) ද පොලිසියට සොයා ගැනීමට හැකි වුණා.

මේ සම්බන්ධයෙන් කඩවත පොලිසිය විසින් තවදුරටත් පරීක්ෂණ පවත්වනවා ෴

******************************************

(08.06.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

ගිණි ගැනීමට ලක්ව මේ වන විට ගිලෙමින් පවතින ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් තෙල් කාන්දුවීමේ තත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බව නාවික හමුදාව පවසනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ නාවික හමුදා කිමිදුම්කරුවන් නෞකාව ආසන්නයට ගොස් සිදුකරන තත්ත්ව පරීක්ෂා කටයුතු ඊයේ (07) දිනයේත් සිදු කළ බවයි.

කෙසේ වෙතත්, පැවති තද වැසි සහ සුළං සහිත අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් කිමිදුම්කරුවන්ට නෞකාව වෙත ගමන් කිරීමට බාධා එල්ල වී තිබෙනවා.

මේ අතර ඊයේ (07) දිනයේදීත් වාද්දුව, මොරටුව, මීගමුව ඇතුලු දිවයින වටා ඇතැම් වෙරළ තීර වලට මියගිය කැස්බෑවුන් සහ ඩොල්ෆින් මත්ස්‍යයින් වැනි මුහුදු ජීවින් ගොඩා ගසා සිටි බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන මහතා කියා සිටියේ මියගිය එම ජීවීන්ගේ මරණ පරීක්ෂණ සිදු කළ යුතු බවයි.

******************************************

(08.06.2021 – 08:02 +0530 – hirunews.lk/sinhala)

අද (08) සහ හෙට (09) දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල යළි වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහිදී ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි අතර, වයඹ පළාතේ මෙන්ම කොළඹ, කෑගල්ල, ගම්පහ, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලට මිලිමීටර 75 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම ගාල්ල, කළුතර, මහනුවර, මාතලේ, යන දිස්ත්‍රික්කවලට පැනවූ නායයෑමේ අවදානම ද අද (08) පස්වරු 04:30 දක්වා තවදුරටත් ඊයේ (07) පස්වරුවේ දීර්ඝ කෙරුණා.

ප්‍රදේශ රැසක ඇතිවූ ගංවතුර තත්වයන් ද මේ වන විට අඩු වෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියා.

ආපදාවලින් මේ වන විට පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් තවත් එක් අයෙකු පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 2,19,000 කට අධික පිරිසක් පීඩාවට පත් වුණා.

******************************************

(08.06.2021 – 08:08 +0530 – hirunews.lk/sinhala)

අධික වර්ෂාවත් සමඟ සපුගස්කන්ද තෙල් පිරිපහදුව තුල දැවි තෙල්, ජලයට මිශ්‍ර වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කල කමිටු 02 අද (08) රැස්වීමට නියමිතයි.

එහි එක් කමිටුවක සභාපති උපුල් විජේසේකර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ මෙම කමිටු 02 මගින් නිර්දේශ සහිත වාර්තා ඉදිරි දින 14 තුල බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත ලබාදීමට කටයුතු කරන බවයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව තුලදී පසුගියදා දැවි තෙල්, ජලයට මිශ්‍ර වීමක් සිදුවුනේ පවිත්‍රාගාර පද්ධතියක් වැසි ජලයෙන් පිරී පිටාර ගැලීම හේතුවෙන්.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කමිටු 02 ක් පත් කිරීමටයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ (07) පියවර ගත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් පවත්වා එවැනි තත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු අනාවරණය කර ගැනීම සඳහා මෙන්ම එවැනි තත්වයක් යළි ඇති නොවීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා සාමාජිකයන් සිව් (4) දෙනෙකුගෙන් යුක්තව එක් කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් උපුල් විජේසේකර මහතාගේ සභාපතීත්වයෙන්.

බලශක්ති අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නයනා ඊ සේනාරත්න, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙහෙයුම් කළමනාකරු මේනක ජීවසිරි සහ නීතීඥ භූපති කහතුඩුව යන මහත්ම මහත්මීන් එහි සෙසු සාමාජිකයන් වනවා.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර වයි.ඒ.බී.එස්. ප්‍රියංකර මහතාගේ සභාපතීත්වයෙන් යුත් අනෙක් කමිටුව පත් කර ඇත්තේ සිද්ධියෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් වන්දි ලබා දීම සඳහායි.

සපුගස්කන්ද පිරිපහදුවේ කළමනාකරු පී.එෆ්.ඩබ්ලිව්. දයානාත් මහතා සහ වරලත් තක්සේරුකරු තාරක වේරගොඩ මහතා ද එම කමිටුවේ සාමාජිකත්වය දරනවා ෴

******************************************

(08.06.2021 – 08:19 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා මිනිස් ක්‍රියාකාරකම් සීමාවුවද වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණ ඇති බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.

මීට වසර 63 කට පෙර වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ගණනය කිරීම ආරම්භ කළදා පටන් එහි ඉහළම අගයක් පසුගිය මැයි මාසයේදී වාර්තා වී තිබෙනවා.

ඇමරිකානු ජාතික සාගර හා වායුගෝලය පිළිබඳ පරිපාලන ආයතනය හෙවත් නෝවා, හවායි දිවයිනේ පවත්වාගෙන යන කාලගුණ මධ්‍යස්ථානය මගින් මෙම දත්ත ලබාගෙන ඇති බව සඳහන්.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ පසුගිය මාසයේ එහි කාබන්ඩයොක්සයිඩ් අංශු ප්‍රමාණය මිලියනයකට 419 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මිනිසා විසින් වසරකදී වායුගෝලයට එක් කරන කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය මෙට්‍රික් ටොන් බිලියන 40 කට ආසන්නයි.

එවැනි තත්ත්වයක් මීට පෙර පැවතුණේ මීට වසර මිලියන 04 කට පෙර සාගර ජල මට්ටම අදට වඩා මීටර 24 ක් ඉහළින් පැවති තත්වයකදී බව විද්‍යාඥයන්ගේ අදහසයි.

එහිදී පෘථිවියේ උෂ්ණත්වය කාර්මික විප්ලවය සමයේ පැවති මට්ටමට වඩා ෆැරන්හයිට් අංශක හතක් (7) ඉහළින් සටහන්වී තිබෙනවා.

ගෝලීය වසංගතය නිසා මිනිස් ක්‍රියාකාරකම් අඩුවුවද ලැව්ගිනි මෙන්ම වායුගෝලයේ කාබන්වල ස්වභාවික ක්‍රියාකාරීත්වය නිසාද මෙම තත්වය ඇතිවිය හැකි බව විද්‍යාඥයන්ගේ අදහසයි ෴

******************************************

(08.06.2021 – 08:54 +0530 – hirunews.lk/sinhala)

කල්පිටිය – කල්කුඩා ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) ගෙන් රුපියල් ලක්ෂයක (100,000) කප්පම් මුදලක් ඉල්ලා සිටීම සහ කොල්ලකෑමට තැත්කිරීම සම්බන්ධයෙන් ගුවන් හමුදා සෙබළුන් තුන්දෙනෙකු (3) පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ සැකකරුවන් පාලවිය ගුවන් හමුදා අනුඛණ්ඩයට අයත්ව රාජකාරි සිදුකර ඇති බවයි ෴

@@@@@@@@@@@@@@@@

කොළඹ බලවත්තු ගාල්ලට ගිහින් ඇස්ට්‍රා සෙනිකා දෙවැනි මාත්‍රාව ගනිති

(07.06.2021 – ada.lk)

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල සිට පැමිණෙන පුද්ගලයන් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ (2) දෙවැනි මාත්‍රාව ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී ලබාදීම අද (07) දිනයේ දී ද සිදුවෙමින් පැවතිණ.

මේ සඳහා බස්නාහිර පළාතේ ලියාපදිංචිය සහිත වාහන සිය ගණනක් පැමිණ තිබූ අතර විශාල පිරිසක් එන්නත් ලබාගැනීම සඳහා පෝළිමේ සිටියහ.

එන්නත් ලබාගැනීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකු, පොලිස් නිලධාරින් කිහිප දෙනකු ද පැමිණ සිටි අතර වැඩි පිරිසක් ව්‍යාපාරිකයෝ සහ වෛද්‍ය පවුල්වලට සම්බන්ධ ඥාතින් බව ඔවුන්ගේ කතා බහෙන් පැහැදිලි විය.

පැමිණ සිටි පිරිස අතරින් බොහෝ දෙනකු කියා සිටියේ දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවන විට පළමු එන්නත ලබාගෙන ඇති කාඩ්පත පෙන්වා ඇතුළුවන බවයි.

දැඩි සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක දී ‍පළාත් අතර මෙලෙස සුපිරි වාහන ගමන් කිරීම පිළිබඳ අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසූ විට එහි නිලධාරියකු කියා සිටියේ එම පුද්ගලයන් පැමිණ ඇත්තේ මීට පෙර එන්නත් කරන ලද පත්‍රිකාව පෙන්වා දෙවැනි (2) එන්නත් මාත්‍රාව ලබාගැනීම සඳහා ගාල්ලට යන බව පවසමින් යැයි හබරාදුව පොලිස් ස්ථානයෙන් දැනුම් දුන් බවයි.

මෙම එන්නත් කිරීම සිදුකරන ලද්දේ ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි මහතාගේ මෙහෙයවීමෙනි.

මේ සම්බන්ධව අප ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න මහතාගෙන් විමසූ විට හෙතෙම මෙසේ පැවසීය :

“ගාල්ලට ලැබුණු එන්නත් වලින් අපි එන්නත් ලබාදුන්නේ දෙවැනි (2) මාත්‍රාව දීමටත් ඉතුරු කරගෙන. ඒ නිසා අපිට තොග ඉතිරි වුණා. රටේ ඕනෑම තැනක ඉන්න පුද්ගලයකුට ඇස්ට්‍රාසෙනිකා පළමු (1) මාත්‍රාව ගත්තනම් දෙවැනි (2) මාත්‍රාව ගැනීමේ හිමිකමක් තියෙනවා. අපිට ඒ අය පදිංචි කොතැනට ද මොන පළාතෙ ද මොනවද කරන්නේ කියලා අදාල නැහැ. අපිට කතා කරලා ආවොත් අපි ඇස්ට්‍රාසෙනිකා පළමු (1) මාත්‍රාව ගත්තු අයට එන්නත ලබාදෙනවා. ඒක ඔවුන්ගේ හිමිකමක්. මේ එන්නත් අපි හොර පාරේ යැව්වේ නැහැ. සල්ලිවලට විකුණලා නෑ. ඊයේ (06) අපි 1000 කට විතර එන්නත් දුන්නා. අදත් මේ එන්නත් දෙනවා. අපි ළඟ ප්‍රමාණවත් තොග තිබෙනවා.”

කෙසේවුවද ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබා නොගත් බොහෝ පිරිසක් ගාල්ල දිස්ත්‍රික්කයේ සිටින අතර ඔවුන්ට එන්නත ලබාගත හැකිදැයි විමසීම් කිරීමේදී දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් පවසා ඇත්තේ එන්නත් විද අවසන් බවයි.

මෙම එන්නත් කිරීමේ වැඩසටහන පිළිබඳ අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු පැවසූයේ මෙවැනි එන්නත් කිරීමක් පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිසේත්ම දැනුම්වත්ව නැති බවයි.

එමෙන්ම ඇස්ට්‍රාසෙනිකා එන්නත් සියල්ල අවසන් වී ඇතිබව පමණක් සෞඛ්‍ය අමාත්‍යාංශය දැන සිටි බවත් ගාල්ලේ එම එන්නතේ අතිරික්ත තොග ඉතිරිව තිබෙන බව කිසිසේත්ම නොදන්නා බවත් එම ප්‍රකාශකයා කීවේය.

සිරංගිකා ලොකුකරවිට

++++++++++++

++++++++++++++++++++++

(08.06.2021 – 07:21 +0530 – hirunews.lk/sinhala)

විශ්‍රාම වැටුප් ගෙවීම අනිද්දා (10) දිනයේ සිදු කෙරෙන අතර, ඒ සඳහා විශ්‍රාමිකයන් අදාළ බැංකු වෙත රැගෙන යාමට ත්‍රිවිධ හමුදාව කටයුතු යොදා ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් ඒ සඳහා කටයුතු කෙරෙන අතර, අදාළ බැංකු එදින විවෘතව තැබෙනු ඇති.

කොරෝනා වසංගතය හේතුවෙන් සංචරණ සීමා පැනවුවද අත්‍යවශ්‍ය කටයුතු සඳහා බැංකු සේවා අඛණ්ඩව පවත්වාගත යුතු බවට මහ බැංකුව සියලුම බලපත්‍රලාභී බැංකු වෙත දැනුම්දීමක්ද සිදුකර තිබෙනවා ෴

+++++++++++++++++++++

(08.06.2021 – 07:35 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට ඇතුලුවන වාහන සඳහා අද (08) සහ හෙට (09) දිනවලදීත් ස්ටිකර් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ ඊයේ (07) දිනයේදී මෙම ස්ටිකර් 70,000 කට ආසන්න සංඛ්‍යාවක් අත්‍යාවශ්‍ය සේවා වාහන වෙත ලබාදුන් බවයි.

සංචරණ සීමා පවතින කාලය තුල කොළඹට ඇතුළු වන වාහන සඳහා නව ක්‍රමවේදයක් ඔස්සේ ස්ටිකරයක් හඳුන්වාදීමේ වැඩසටහන ඊයේ (07) උදෑසන සිට ආරම්භ කෙරුණු අතර ඒ ක්ෂේත්‍ර 11 ක් මුල් කර ගනිමින්.

එහිදී අදාළ ක්ෂේත්‍ර මූලික කර ගනිමින් වර්ණ 11 කින් යුත් ස්ටිකර කොළඹට ඇතුළු වන ස්ථාන 52 කදී ලබාදීමටයි පොලීසිය කටයුතු කළේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ මෙම ස්ටිකර් අලවා තිබුණ ද, යම් සැක සහිත වාහන අහඹු පරීක්ෂාවන් සිදුකිරීමට ආරක්ෂක අංශවලට කිසිදු බාධාවක් නොමැති බවයි.

මේ අතර අදාළ ස්ටිකරයෙන් ලැබෙන අවසරය අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි දඬුවම් ක්‍රියාත්මක කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

(08.06.2021 – 12:38 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පවතින කාලසීමාවේදී හෝමාගම, ගැමුණු මාවත ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පොලිසිය විසින් වටලා තිබෙනවා.

එහිදී ගෝඩා මිලි ලීටර් 610,000 ක්, කසිප්පු බෝතල් 32 ක් ඇතුළුව කසිප්පු නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ රැසක්ද පොලිස් භාරයට ගැනුණා.

මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය පුද්ගලයා මාළු වෙළඳාම් කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා බලපත්‍රයක් ලබාගෙන මාළු වෙළඳාම් කරන මුවාවෙන් සංචරණ සීමා පවතින කාලසීමාව තුල කසිප්පු බෙදාහැර ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී අත්අඩංගුවට ගැනුණු 51 හැවිරිදි සැකකරු අද (08) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

+++++++++++++++++++++

(08.06.2021 – 07:45 +0530 – hirunews.lk/sinhala)

ගත වු දිනයේදි නව ආසාදිතයින් 2,646 හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් ගණන 207,979 දක්වා ඉහළ ගියා.

තවත් කොරෝනා මරණ 47 ක් ඊයේ (07) තහවුරු කිරීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,789 දක්වා ඉහළ ගියා.

පසුගිය මැයි 17 වනදා සිට ජූනි හයවනදා (06) දක්වා එම මරණ සිදුව ඇති අතර, කාන්තාවන් 21 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 26 දෙනෙකු ඊට ඇතුළත්.

එමෙන්ම රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 35 දෙනෙකු එලෙස මියගොස් ඇති අතර, නිවසේදී මියගිය සංඛ්‍යාව 09 ක්.

තවත් තුන්දෙනෙකු (3) මියගොස් ඇත්තේ රෝහල් ගතකරන විටයි.

මේ අතර සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම අද (08) සිට ආරම්භ කිරීමට නියමිතයි.

එමෙන්ම දිවයින පුරා සංචරණ සීමා පැනවීමත් සමඟ නිවෙස් වලට වි ආතතියට පත්ව සිටින දරුවන් පරිසරයට යොමු කරන ලෙසට වෛද්‍යවරුන් ඉල්ලීමක් කරනවා.

මෙම සංචරණ සීමා කාලය දෙමාපියන් සහ දරුවන් අතර බැඳීම තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාවක් කර ගත යුතු බවයි විශේෂඥ වෛද්‍ය ආසිරි හේවා මල්ලගේ මහතා ඊයේ (07) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි කියා සිටියේ.

මෙවර උසස් පෙළ විභාගය සැලසුම් කිරීමේදී සහ ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී වෙනත් වසරවලට වඩා විශේෂත්වයකින් යුතුව, සිසුන්ට අසාධාරණයක් සිදු නොවන පරිදි කටයුතු කළයුතු බව ලංකා ගුරුසේවා සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ කොරෝනා වසංගතය හේතුවෙන් උසස් පෙළ සිසුන් දැඩි අර්බුද රැසකට මුහුණ දී සිටින බවයි.

මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර නිරෝධායන නීති උල්ලංඝණය කළ යාපනය මුහම්මදියියා පල්ලියේ භාරකරු ඇතුළු සියලු දෙනාගේ පරිපාලන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

මෙම පල්ලියේ සභාපතිවරයා ඇතුළු පාලකයන් නිරෝධායන නිති උල්ලංඝණය කළ ඇති බවට තහවුරුවීම හේතුවෙනුයි මෙම තීරණය වකුෆ් සභාව ගෙන ඇත්තේ.

මේ අතර විදෙස් සංචාරකයින් නවාතැන් ගන්නා සුරක්ෂිත පළමු පෙළ හෝටල් වල සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරිමට අවසර ලබා දි තිබෙනවා.

++++++++++++++++++++

(08.06.2021 – 09:54 +0530 – hirunews.lk/sinhala)

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ 2 වන මාත්‍රාව ලබා දීම අද (08) කොළඹ ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් ආරම්භ කෙරුණා.

සයිනොෆාම් පළමු (1) එන්නත් මාත්‍රාව නැගෙනහිර පළාතේ ලබාදීම ද අද (08) ආරම්භ කෙරුණා.

කොළඹ දිස්ත්‍රික්කය තුල සයිනොෆාම් පලමු මාත්‍රාව ලබාගත් 90,000 කට පමණ මෙලෙස දෙවන (2) මාත්‍රාව ලබාදීමට නියමිතයි.

මේ අතර කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලෙන් සයිනොෆාම් පළමු (1) මාත්‍රාව ලබා ගත් අයට එහි 2 වන මාත්‍රාව ලබා ගැනීමට අංකයක් ලබා ගැනීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

මේ අතර නැගෙනහිර පළාත තුල සයිනොෆාම් පළමු (1) මාත්‍රාව ලබා දීම මඩකලපුව හා ත්‍රීකුණාමලය දිස්ත්‍රික්ක වලදී අද (08) ආරම්භ කල බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *