පරීක්ෂණ අවසන් වන තුරු ‘එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාවට ආරක්ෂාව

පරීක්ෂණ අවසන් වන තුරු ‘එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාවට ආරක්ෂාව

*********************************************

පරීක්ෂණ අවසන් වන තුරු ‘එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාවට ආරක්ෂාව

(07.06.2021 – 18:05 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු හත් දෙනකු (7) සැකකරුවන් වශයෙන් නම් කර අධිකරණය හමුවට කැඳවීම සඳහා නොතීසි නිකුත් කරන ලෙස කරන ලද ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

ඒ මෙම නඩුව අද (07) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අනතුරට පත් නෞකාවේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කළ ‘සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ’ කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන හෙට්ටිආරච්චි ඇතුළු හත් දෙනකු (7) සැකකරුවන් වශයෙන් නම් කර ඔවුන්ට අධිකරණය පෙනී සිටි ලෙස දන්වා නොතීසි නිකුත් කරන්නැයි ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට විරෝධය පළ කළ අදාළ නෞකාවේ කපිතාන්වරයා ඇතුළු නිලධාරීන් තුන්දෙනා (3) වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මෙම නඩුකරය විභාග වීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් එය මහාධිකරණය විසින් සිදුකළ යුතු කටයුත්තක් බවත් පෙන්වා දී තිබුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම සැකකරුවන් අධිකරණය හමුවට කැඳවීම සඳහා නොතිසි නිකුත් කිරීමට තමන්ට අධිකරණ බලයක් නොමැති බව තීන්දු කරමින් එම ඉල්ලීම ඉවත දැමූවා.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් පිළිගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය අනතුරට පත් වී තිබෙන නෞකාව තිබෙන ප්‍රදේශයට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා ලෙස නාවික හමුදාපතිවරයාට නියෝග කළා.

එමෙන්ම අදාළ අනතුර සිදුවූ වකවානුවේ නෞකාවේ කපිතාන්වරයා සහ ලාංකික නැව් නියෝජිත සමාගම අතර හුවමාරු වූ ඊමේල් පණිවිඩ පිළිබඳ පරික්ෂා කිරීමට එම ඊමේල් දත්ත ගබඩාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසද අධිකරණය අදාළ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වරයාට නියෝග කර සිටියා.

එම පැමිණිල්ල අද (07) කැඳවනු ලැබූ අවස්ථාවේදී සැක කරුවන් වශයෙන් නම් කර නොතීසි නිකුත් කර තිබූ නෞකාවේ කපිතාන්වරයා, ප්‍රධාන ඉංජිනේරුවරයා සහ දෙවන (2) ඉංජිනේරුවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න එහිදී සඳහන් කළේ ඔවුන් නිරෝධායනය ක්‍රියාවලිය සඳහා රෝහල් ගත වී සිටින බවයි. අනතුරුව පැමිණිල්ල ලබන 15 වනදා කැඳවීමට ද අධිකරණය නියම කළා.

******************************************

(07.06.2021 – 18:55 +0530 – hirunews.lk/sinhala)

හෙට (08) සහ අනිද්දා (09) දිවයිනේ නිරිත දිග ප්‍රදේශ වල යලි වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට පැනවූ නායයාමේ අවදානම ද හෙට (08) පස්වරු 04:30 දක්වා තවදුරටත් අද (07) පස්වරුවේ දීර්ඝ කෙරුණා.

ප්‍රදේශ රැසක ඇතිවූ ගංවතුර තත්වයන් ද මේ වන විට අඩු වෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියා.

ආපදාවලින් මේ වන විට පුද්ගලයන් 17 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයන් දෙදෙනෙකු (2) අතුරුදන් වී තිබෙනවා.

මේ අතර, අධික වර්ෂාවත් සමඟ සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් දැවි තෙල් වැසි ජලයට මුසුවීම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් කමිටු දෙකක් (2) පත් කර තිබෙනවා.

අයහපත් කාලගුණයෙන් සිදු වූ මරණ ගණන 19 දක්වා ඉහලට; අතුරුදහන් වීම් 1 යි, දිස්ත්‍රික්ක 10 ක 219,870 ක් පීඩාවට ෴

******************************************

(07.06.2021 – 21:05 +0530 – hirunews.lk/sinhala)

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පැට්‍රික් ද සිල්වා මහතා අද (07) පොලිස් විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරී මෙහෙයුම් ධුරයේ වැඩ භාරගනු ලැබුවා.

එම අවස්ථාවේ දර්ශන පහතින් :

******************************************

(07.06.2021 – 22:29 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් රසායනික පොහොර ආනයනය නතර කර කාබනික පොහොර භාවිතය සඳහා ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් විවිධ අදහස් පළ කළා :

+++++++++++++

කාබණික පොහොර ආනයනයේ අවදානම

(03.06.2021 – FB: Tissa Jananayake)

රසායනික පොහොර ආනයනය නැවැත්වීමට රජය ගන්නා ලද තීරණය මහත් සේ අගය කරමි. නමුත් ලංකාවේ දී ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර නිපදවීමට අවශ්‍ය දේශගුණික හා පාරිසරික තත්වයන්ද, අවශ්‍ය අමුද්‍රව්‍ය, ශ්‍රමය හා තාක්ෂණික දැනුම උපරිමයෙන් තිබියදීත් වෙනත් රටක නාගරික අපද්‍රව්‍ය වලින් නිපදවන ලද කාබනික පොහොර ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පිලිබද දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කරමි.

ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකු ලෙස එම කාබනික පොහොර සමග ශාක හෝ සතුන්ට හානි කර අප රටේ දැනට නොපවතින ව්‍යාධිජනක දිලීර සහ බැක්ටීරියා ආදිය ලංකාවට පැමිණීමේ දැඩි අවදානමක් ඇති බව පෙන්වාදෙනු කැමැත්තෙමි. එසේම ශ්‍රී ලංකාවේ පවා නාගරික කැලිකසල වල බැර ලෝහ යම් ප්‍රමාණයක් අඩංගු වන අතර විදේශ රටවල (චීනය වැනි) ඊටත් වඩා බැර ලෝහ අඩංගු විය හැකි බවද සඳහන් කරමි.

රට තුළදීම රටට අවශ්‍ය කාබනික පොහොර නිපදවීම මගින් නව ව්‍යවසායකයින්ට රැකියා අවස්ථා නිර්මාණය වන අතර රටේ මුදල් පිටරටට ඇදී යාම වළකියි. කාබනික පොහොර විදේශීය රටවලින් ආනයනය කිරීමෙන් වන්නේ කිහිප දෙනෙකුට කොමිස් මුදලක් ලැබීම සහ අපේ මුදල් විශාල වශයෙන් පිටරටවල් වලට ඇදීයාම පමණකි.

තිස්ස ජනනායක

+++++++++++++++++

ජනාධිපති තුමනි, කාබනික පොහොර විදේශයන්ගෙන් කෙසේවත් ආනයනයට ඉඩ දෙන්න එපා – ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ආයාතනය

(08.06.2021 – 06:55 +0530 – lankaleadnews.com)

‘ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ආයතනය’ යනු වෘත්තිකයන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරණ වෘත්තීය සංවිධානයකි. එම සංවිධානය දැනට ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ තුළ වෘත්තීය මට්ටමින් කටයුතු කරණ කෘෂි විද්‍යාඥයන් ඇතුළු කෘෂි නිලධාරීන්ගෙන් සමන්විත ආයාතනයකි.

එම සංවිධානය ජූනි 05 වෙනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් පවසා සිටින්නේ දියර පොහොර ලෙස හෝ ඝන ආකාරයේ පොහොර ලෙස හෝ ජෛව පොහොර ලෙස හෝ රට තුළට විදේශයන්ගෙන් පොහොර ආනයනය කිරීම කිසි ලෙසකින්වත් අනුමත නොකරණ බවයි.

එහිදී එම සංවිධානය පෙන්වා දෙන්නේ විදේශයන්ගෙන් මෙවැනි පොහොර ගෙන්වීම මගින් පසට එකතුවන බැර ලෝහ මගින් මනුෂ්‍යය ජීවිතයේ පැවැත්මට මෙන්ම අනෙකුත් ජීවීන්ගේ පැවැත්මට විශාල තර්ජනයක් සිදුවන බවයි. එහිදී ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විදේශයන්ගෙන් ආනයනය කරන පොහොර සමඟ ශ්‍රී ලංකාවේ පරිසරයට අනිවාර්යෙන්ම එකතු වන ක්ෂුද්‍ර ජීවීන් ශ්‍රී ලංකාවේ ජෛව පැවැත්මට භයානක තර්ජනයක් එල්ල කිරීමට නියමිත බවයි.

[ සම්පූර්ණ ලිපිය ] (pdf file)

+++++++++++++++

නාගරික කැලි කසල වලින් සකසා ඇතැයි සැක පොහොර ආනයන කර ඇත්තේ යකඩ වෙළෙන්දෙක්

(07.06.2021 – 21:49 +0530 – lankaleadnews.com)

‘ලංකා ලීඩ් වෙබ් අඩවිය’ ඊයේ (06) අනාවරණය කළ ඉන්දියාවෙන් ආනයනය කළ නාගරික කැලි කසල යොදා ගනිමින් නිපදවන ලදැයි සැක කෙරෙන ‘කාබනික’ පොහොර තොගය ආනයනය කර ඇත්තේ 333/1, ඕල්ඩ් මුවර් ස්ට්‍රීට් (ගල් වල පාර), කොළඹ 12 ලිපිනයේ ව්‍යාපාරික ලිපිනයක් සහිතව පවත්වාගෙන යකඩ වෙළෙන්ඳෙකු විසිනැයි කරුණු වාර්තා වේ.

මෙම ස්ථානය දීර්ඝ කලෙක සිට ව්‍යාපාර කටයුතු ලෙස පවත්වාගෙන ගොස් ඇත්තේ යකඩ වෙළෙඳාම පමණක් බවද එම ආරංචි මාර්ග පවසා සිටී. ආනයනය පාලකවරයා මෙම කසල පොහොර තොගය ගෙන්වීමට අවසර දී ඇති අතර ජාතික පොහොර ලේකම් කාර්යාලය මෙම පොහොර තොගය නිදහස් කරණ ලෙස බලපෑම් කරමින් සිටින බවද ඊයේ (06) අප විසින් වාර්තා කළෙමු.

මෙම කසල පොහොර තොගය නිදහස් කිරීමට නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන දෙපාර්තමේන්තුවේ බලධාරියාගේ අවසරය ලැබිය යුතු අතර එම අවසරය මෙතෙක් ලැබී නැති බවද වාර්තාවේ. මේ අතර වරාය ආරංචි මාර්ග පවසන්නේ අදාල පොහොර තොගය අඩංගු කන්ටෙනර් වල තිබෙන පොහොර මලු වල අඩංගු දෑ පිළිබඳව සිංහල භාෂාවෙන් මුද්‍රණය කර ඇති බවයි ෴

+++++++++++++++

කාබනික පොහොර නමින් මළපහ ගෙන්වන ජාවාරම්කරුවෝ – වෛද්‍ය වසන්ත බණ්ඩාර (06.06.2021)

******************************************

(08.06.2021 – 06:40 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති කාර්යාලයේ සහ රජයේ තවත් වෙබ් අඩවි රැසකට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට අසත්‍ය ප්‍රචාරයක් පැතිරවූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට සැකකරු විසින් අන්තර්ජාලය හරහා අසත්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර ඒ හරහා සිදුකළ විමර්ශනවලදීයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අදාල සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (07) පස්වරුවේ අත්අඩංගුවට ගැනුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වන අතර සැකකරු අද (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

සුදේව-කිංස්ලි රජයේ මාධ්‍ය ප‍්‍රධානීන් කැඳවයි.. ‘අප හිරේ ඉන්දැද්දි ඔබ සිටියේ මහරාජා ලඟ’ මාධ්‍ය ලොකෝ කිංස්ලිට කියති..

(07.06.2021 – 22:02 +0530 – lankacnews.com)

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ සුදේව හෙට්ටිආරච්චි සහ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක යන මහත්වරුන් විසින් රජයේ මාධ්‍ය ප්‍රධානීන් විශේෂ සාකච්ඡාවක් අද (07) පස්වරුවේ කැඳවනු ලැබ තිබිණි.

එහිදී ඔවුන් විසින් පෙන්වා දී ඇත්තේ රජය බලාපොරොත්තු වන තරමේ ප‍්‍රචාරයක් රාජ්‍ය මාධ්‍ය ආයතන වලින් සිදුනොවන බවත් රජයේ කටයුතු ගැන උපරිම ප‍්‍රචාරයක් බලාපොරොත්තු වන බවත්ය.

එම තත්වය ඇති කර ගැනීම සදහා රජයේ මාධ්‍ය ආයතන වැඩි අවධානක් දී කටයුතු කළ යුතු බව එහිදී පෙන්වා දී ඇත.

ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඇතුළු වූ රජයේ මාධ්‍ය ආයතන වල ප්‍රධානීන් එම හමුව සඳහා කැඳවනු ලැබ තිබිණි.

ඔවුන් දෙදෙනාගේ අදහස් දැක්වීමෙන් පසු මාධ්‍ය ප්‍රධානීන් කිහිප දෙනෙකුම ජනාධිපති මාධ්‍ය ප‍්‍රධානීන්ගේ අදහස් දැක්වීමට යම් ප්‍රතිරෝධයක් දක්වමින් අදහස් පළකර ඇතැයිද වාර්තා වෙයි.

රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානියෙකු එහිදී පෙන්වා දී ඇත්තේ තමන් ඇතුළු පිරිස පසුගිය වසර ගණනාවක් තිස්සේ වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා උපරිම කැපවීම් කල බවත් ඒ නිසාම හිරේ පවා ගිය බවත්ය.

විශේෂයෙන්ම එහිදී කිංස්ලි රත්නායක මහතාට පවසා ඇත්තේ ඔබ මහරාජා ආයතනයේ සේවය කරමින් සිටියදී අප මේ ආණ්ඩුව ගෙන ඒම සඳහා සිර ගෙවල්වල පවා සිටි බවය.

රාජ්‍ය මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ගේ මෙම ප‍්‍රතිචාර වලින් පසු කිංස්ලි රත්නායක මහතා එම ස්ථානයෙන් පිටව ගොස් ඇතැයිද වාර්තා වෙයි ෴

++++++++++++

ලෙන්චිනා මගෙ නංගියේ …..

@@@@@@@@@@@@@@@@@

(07.06.2021 – 18:44 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර ද්වීපාර්ශවික ආරක්ෂක සහයෝගිතාව තර කර ගැනීමේ පියවරක් ලෙස ප්‍රංශ නාවික හමුදාවේ 700 ක පමණ බලඇණියක් අද (07) සිට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනවා.

පසුගිය මාස 3 ක කාලයේ සාගරයේ සැරිසැරූ ඔවුන් ජපානය සහ සිංගප්පූරුව හරහා ශ්‍රී ලංකාවට අද (07) ළගා වූයේ ප්‍රංශ නාවික හමුදාවේ ටොනියාර් සහ සර්කුෆ් යන නෞකා දෙකෙන් (2).

ඔවුන් සාම්ප්‍රදායික ලෙස තූර්ය වාදන මධ්‍යයේ පිළිගත් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ.

එම නෞකා නවීන යුධ උපකරණ මෙන්ම හෙලිකොප්ටර් අංගන වලින්ද සමන්විතයි.

මීටර් 200 කට වැඩි දිගකින් යුත් එම සුපිරි යුද නෞකා සයුරේ සිට ගොඩබිම් ප්‍රහාරක මෙහෙයුම් සඳහා යොදා ගැනෙන බව සඳහන්.

ලබන 11 වනදා දක්වා දිවයිනේ රැදී සිටින මෙම ප්‍රංශ නාවිකයන් සීගිරිය, අනුරාධපුරය මෙන්ම, මින්නේරිය, යාල සහ උඩවලවේ වනෝද්‍යාන වල සංචාරයන් හි නිරත වනු ඇති.

ජෛව සුරක්ෂිත බුබුළ ක්‍රමවේදය යටතේ ඔවුන් දිවයිනේ සංචාරයක නිරත වන බව විදේශ අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම්දීමක් කර තිබෙනවා.

ප්‍රංශ සංචාරකයන් සඳහා යාල ජාතික වනෝද්‍යානය විවෘත කිරීමට ද පියවර ගන්නා බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

ප්‍රංශ, නාවිකයන්ගේ සංචාරක ක්‍රියාකාරකම් මගින් පමණක් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 125 ක පමණ මුදලක් උපයා ගැනීමට හැකිවනු ඇති බවයි කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලය සඳහන් කළේ.

මේ අතර, කොරෝනා වසංගතය හමුවේ රටපුරා සියලු ජාතික උද්‍යාන සංචාරකයන් සඳහා වසා ඇති මොහොතක ප්‍රංශ සංචාරකයන් පිරිසකට පමණක් යාල ජාතික වනෝද්‍යානය විවෘත කිරීම පිලිබඳව තම සංගමය විරෝධය පළ කරන බව යාලගම ජිප් රථ හිමියන්ගේ සංගමයේ ලේකම් සම්පත් ගලප්පත්ති මහතා කියා සිටියා.

කෙසේ නමුත්, යාල වනෝද්‍යානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ හෙට (08) පැමිණෙන ප්‍රංශ සංචාරකයන් 90 දෙනෙකු සඳහා සෆාරි ජිප් රථ 23 ක් සූදානම් කර ඇති බවයි ෴

+++++++++++++++++++++++

(07.06.2021 – 20:22 +0530 – hirunews.lk/sinhala)

විදෙස් සංචාරකයින් නවාතැන් ගන්න පළමු පෙළ හෝටල් වල සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට අවසර.

++++++++++++++++++++++

(07.06.2021 – 06:23 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීතිය කඩ කිරීම හේතුවන් ඊයේ (07) දිනයේදී පුද්ගලයින් 1,028 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

නිරෝධායන නීතිය ආරම්භ කළ ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා පුද්ගලයින් 25,886 ක් එම නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *