දින 26 කට පසු පිලියන්දල නගරය යළි විවෘතයි

දින 26 කට පසු පිලියන්දල නගරය යළි විවෘතයි

*********************************************

දින 26 කට පසු පිලියන්දල නගරය යළි විවෘතයි

(07.06.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

සමාජයේ ආන්දෝලනයකට ලක්වූ පිළියන්දල පොලිස් වසම දින 26 පසු අද (07) නැවතත් හුදකලා බවින් නිදහස් කෙරුණා.

එම පොලිස් වසම ඇතුළු රත්නපුර, ගම්පහ, නුවරඑළිය, ත්‍රිකුණාමලය, මාතලේ, මුලතිව්, යාපනය, මඩකලපුව, කළුතර, සහ ගාල්ල දිස්ත්‍රික්කවල ග්‍රාම නිළධාරි වසම් 75 ක් දිවයින පුරා ක්‍රියාත්මක වන සංචරණ සීමාවලට යටත්ව හුදෙකලාභාවයෙන් නිදහස් කළ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

එසේම, ඊයේ (06) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ආසාදිතයින් 2,976 අතරින් වැඩිම පිරිස වන 805 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

ඒ අතරින් වැඩිම පිරිස බියගම ප්‍රදේශයෙන් හදුනාගෙන ඇති අතර එම ගණන 155 ක්.

එහිදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 589 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර, ඉන් 187 දෙනෙකුම වාර්තා වුණේ අවිස්සාවේල්ල ප්‍රදේශයෙන්.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 300 දෙනෙකු සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 128 හඳුනා ගෙන බවයි කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 205,333 ක් දක්වා ඉහළ ගියා.

තවත් කොවිඩ් මරණ 46 ක් අද වාර්තා වීමත් සමඟ මෙරට මුළු මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1,742 ක් ලෙසයි.

එමෙන්ම, මේ වනවිට මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 353,302 දෙනෙකුට ලබාදී ඇති අතර ස්පුට්නික් වී එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 64,986 දෙනෙකුට ලබාදී අවසන්.

සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව මෙතෙක් ලබා දී ඇති පුද්ගලයින් ගණන 957,959 ක්.

එන්නත්කරණ ක්‍රියාවලියේ ප්‍රමුඛතාවය ලබාදීම සම්බන්ධයෙන් තවදුරටත් බරපතල ගැටලු පවතින බව මහජන පරික්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

මේ අතර දිවයින පුරා සිටින ගැබිණි මව්වරුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

එම කටයුතු අනිද්දා (09) සිට ආරම්භ කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ.

එමෙන්ම රුපියල් 5000 දීමනාව තමන්ට ලබා දෙන ලෙසට සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය රජයෙන් ඉල්ලිමක් කළා.

දිවයින පුරා සංචරණ සිමා පැනවීමත් සමඟ කෘෂි නිෂ්පාදන සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා දුම්රිය සාර්ථක ලෙස යොදා ගත හැකි බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කළා.

+++++++++++++++++++

(07.06.2021 – 12:38 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික්ක 12 ක වැඩිහිටියන්, ගැබිණි මව්වරුන් හා ක්ෂේත්‍ර නිලධාරින් එන්නත්කරණය සඳහා සයිනොෆාම් එන්නත් 450,000 ක් වෙන් කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ ඊයේ (06) දිවයිනට රැගෙන ආ සයිනොෆාම් එන්නත් ලක්ෂ 10 න් කොටසක් මෙලෙස වෙන් කෙරෙන බවයි.

එම එන්නත් බෙදා හැරීම ද අද (07) ආරම්භ කෙරුණා ෴

++++++++++++++++++++

(07.06.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වීම හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතා නිසා අද (07) දින සිට ඉදිරි සතියක කාලයක් පුරා මෙරට ප්‍රධාන පෙලේ පෞද්ගලික බැංකු කිහිපයක් සිය ගනුදෙනු කටයුතු අත්හිටුවා තිබෙනවා.

ඔවුන් මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ එළඹ ඇති දුෂ්කර කාලසීමාව තුල සිය මුල්‍ය ගනුදෙනු අන්තර්ජාල බැංකු පහසුකම් සහ ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර හරහා සිදුකර ගන්නා ලෙසයි.

මේ අනුව සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව සහ එන්.ඩී.බී. බැංකුව ඉදිරි සතියම වසා දැමෙන බව නිවේදනය කර ඇති අතර හැටන් නැෂනල් බැංකුව අද (07) සහ හෙට (08) යන දෙදින තුල වසා තැබෙනු ඇති.

මේ අතර සෙලාන් බැංකුව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරන්නේ ඔවුන්ගේ තෝරාගත් ශාඛා කිහිපයක් සීමිත පැය ගණනාවකට පමණක් විවෘතව තැබෙන බවයි.

කෙසේ වෙතත් රාජ්‍ය බැංකු කිසිවක් පවතින සංචරණ කාල සීමාව තුල වසා තැබෙන හෝ සේවා සැපයීම් සීමා කෙරෙන බව මෙතෙක් දැනුම් දී නැහැ ෴

නිරෝධායන රෙගුලාසිවලට යටත්ව සිය බැංකු, ගණුදෙනුකරුවන්ට විවෘතව තබන ලෙස දන්වමින්, බැංකු ප්‍රධානීන්ට මහබැංකුවෙන් චක්‍රලේඛයක් ෴

+++++++++++++++++++++++++

(07.06.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට ඇතුලුවන වාහන සඳහා නව ක්‍රමවේදයක් ඔස්සේ ස්ටිකරයක් හඳුන්වාදීමේ අද (07) සිදුකෙරුණා.

ඒ අනුව ක්ෂේත්‍ර 11 ක් මුල් කර ගනිමින් වර්ණ 11 කින් යුත් ස්ටිකරයක් ඇලවීම මෙලෙස ක්‍රියාත්මක කෙරුණේ කොළඹට ඇතුළු වන ස්ථාන 52 කදීයි.

කොළඹට දෛනිකව පැමිණෙන වාහන සංඛ්‍යාව සීමා වී ඇති නමුත් අත්‍යාවශ්‍ය සේවාවන්ට පැමිණෙන පුද්ගලයින්ට සිදුවන අපහසුතාවයන් මඟ හැරීම සඳහායි පොලීසිය විසින් මෙම ක්‍රමවේදය හඳුන්වාදී ඇත්තේ.

ඒ අනුව, ප්‍රමාදයකින් තොරව රාජකාරි සඳහා වාර්තා කරන පුද්ගලයන්ට මෙම නව ක්‍රමවේදයෙන් පහසුවක් ඇතිවේයැයි අපේක්ෂා කරනවා.

සෞඛ්‍ය සේවා සඳහා කොළ වර්ණය ද, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සඳහා නිල් වර්ණය ද, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමට රතු වර්ණය ද, අත්‍යාවශ්‍ය සේවා සැපයීමට කහ වර්ණය ද යොදා ගෙන තිබෙනවා.

මීට අමතරව, රාජ්‍ය අංශයේ රාජකාරි සඳහා රෝස වර්ණය ද, ආනයන අපනයන භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුඹුරු වර්ණය ද, පිසූ ආහාර ප්‍රවාහනයට අළු වර්ණය ද, පුද්ගලික අංශයේ රැකියා, බැංකු සහ මූල්‍ය ආයතනය ඇතුළු දම් වර්ණය ද යොදා ගෙන තිබෙනවා.

සන්නිවේදන සහ මාධ්‍ය ආයතන සඳහා තැඹිලි වර්ණය ද, විදේශගත වීම සඳහා සුදු වර්ණය ද, මානුෂීය හේතුන් මත රෝගීන් ප්‍රවාහනය, රෝගීන් බැලීම, අවමංගල්‍ය හෝ වෙනත් කටයුතු සඳහා කළු වර්ණය ද වාහනවල අලවනු ලැබුවා.

මේ අතර, මෙම ක්‍රමවේදය අද (07) දිනයේ සාර්ථකව ක්‍රියාත්මක වුණත්, ඇතැම් ස්ථානවල ස්ටිකර්වල හිඟතාවයක් ද පැවති බව වාර්තා වුණා.

උදෑසන කාලයේ මෙම ස්ටිකරය අලවන ස්ථානයේ යම් වාහන තදබදයක් හටගෙන තිබුණා.

++++++++++++++++++++

(07.06.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්ත්වය හමුවේ පාසල් ආරම්භ කිරීම පිලිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සූම් තාක්ෂණය ඔස්සේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ෴

++++++++++++++++++

(07.06.2021 – 14:32 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා සහ ඩෙංගු මර්දනය ඇතුළු රජයේ කටයුතු වලට බාධාවක් වන අයුරින් ඍණාත්මක සහ අසත්‍ය පුවත් අන්තර්ජාලයේ හෝ සමාජ මාධ්‍ය හරහා පළ කරන හා බෙදා හරින පුද්ගලයින් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එහි පරිගණක අපරාධ ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් මේ සඳහා අද (07) සිට යොදවා ඇති බවයි ෴

++++++++++++++++++++

(07.06.2021 – 14:45 +0530 – hirunews.lk/sinhala)

ගර්භණී මවුවරුන් සඳහා සයිනොෆාම් එන්නත නිර්දේශ කර ඇති බවත්, එය ලබාදීම ජුනි 9 සිට කොළඹ-පිළියන්දල ප්‍රදේශයෙන් අරඹන බවත්, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

+++++++++++++++++++++++

(07.06.2021 – 16:04 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 5000 දීමනාව තමන්ට ලබානොදුන් බවට පවසා රත්නපුර – කොලොන්න – කැම්පනේ ග්‍රාම නිලධාරි වසමේ කාන්තාවක් එහි සමෘද්ධි නිලධාරිනියකට පහරදී තිබෙනවා.

ප්‍රදේශයේ විහාරස්ථානයක මෙම 5000 මුදල් ලබාදී ඇති අතර මෙම කාන්තාවට එම මුදල ලබානොදීම හේතුවෙන් ඇය මුගුරකින් මෙම නිලධාරිනියට පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඇය ප්‍රතිකාර සඳහා කොළොන්න මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

එසේම, මාතලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු විසින් සිදුකළේ යැයි කියන පහරදීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කර තිබෙනවා.

අදාළ පුද්ගලයා විසින් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් රුපියල් 5000 දීමනාව තමන්ට නොදන්වා ඉල්ලා ඇති බව පවසමින් මන්ත්‍රීවරයා මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, සෞඛ්‍ය නීතිරීති උල්ලංඝනය කරමින් සූදු ක්‍රීඩාවේ නිරත වූ පුද්ගලයින් 8 දෙනෙකු ආරච්චිකට්ටුව – වයිරන්කට්ටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව ඔවුන් ඇප මත මුදා හැර ඇති අතර, නිරෝධායන පනත යටතේ ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නඩු පවරන බව පොලීසිය සඳහන් කළා ෴

++++++++++++++++++++++

(07.06.2021 – 16:58 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට ඇතුලුවන වාහන සඳහා හෙට (08) සහ අනිද්දා (09) දිනවලදීත් ස්ටිකර් ලබාගත හැකි බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ අද (07) දිනයේදී මෙම ස්ටිකර් 70,000 කට ආසන්න සංඛ්‍යාවක් අත්‍යාවශ්‍ය සේවා වාහන වෙත ලබාදුන් බවයි.

සංචරණ සීමා පවතින කාලයේ කොළඹට ඇතුළු වන වාහන සඳහා නව ක්‍රමවේදයක් ඔස්සේ ස්ටිකරයක් හඳුන්වාදීමේ වැඩසටහන අද (07) පෙරවරුවේ ආරම්භ කරනු ලැබුවේ ක්ෂේත්‍ර 11 ක් මුල් කර ගනිමින්.

එහිදී අදාළ ක්ෂේත්‍ර මූලික කර ගනිමින් වර්ණ 11 කින් යුත් ස්ටිකර ලබාදීමටයි පොලීසිය කටයුතු කළේ.

කොළඹට ඇතුළු වන ස්ථාන 52 කදී එම කටයුතු සිදුකෙරෙනවා.

කොළඹට දෛනිකව පැමිණෙන වාහන සංඛ්‍යාව සීමා වී ඇති නමුත් අත්‍යාවශ්‍ය සේවාවන්ට පැමිණෙන පුද්ගලයින්ට සිදුවන අපහසුතාවයන් මඟ හැරීම සඳහායි පොලීසිය විසින් මෙම ක්‍රමවේදය හඳුන්වාදී ඇත්තේ.

ඒ අනුව, ප්‍රමාදයකින් තොරව රාජකාරි සඳහා වාර්තා කරන පුද්ගලයන්ට මෙම නව ක්‍රමවේදයෙන් පහසුවක් ඇතිවේයැයි අපේක්ෂා කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කළේ මෙම ස්ටිකර් අලවා තිබුණ ද, යම් සැක සහිත වාහන අහඹු පරීක්ෂාවන් සිදුකිරීමට ආරක්ෂක අංශවලට කිසිදු බාධාවක් නොමැති බවයි.

තොග වෙළඳාම සඳහා සියලුම ආර්ථික මධ්‍යස්ථාන හෙට (08) සහ (09) යන දෙදින පුරා විවෘත වේ ෴

++++++++++++++++++++++

(07.06.2021 – 17:38 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව මාතලේ, නුවරඑළිය, කෑගල්ල, ත්‍රිකුණාමලය, හම්බන්තොට, බදුල්ල, අනුරාධපුර, පුත්තලම, අම්පාර, මඩකලපුව, මොනරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලදී සයිනොෆාම් එන්නත ලබාදීම හෙට(08) ආරම්භ කරන බව යුධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මෙම දිස්ත්‍රික්කවල එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කෙරෙන්නේ ඊයේ (06) උදෑසන මෙරටට රැගෙන ආ සයිනොෆාම් එන්නත් මිලියනයක් හාවිතයෙන්.

තවත් සයිනොෆාම් එන්නත් මිලියනයක් ලබන 09 වැනිදා මෙරටට රැගෙන ඒමට නියමිතයි.

එම එන්නත් බස්නාහිර, කුරුණෑගල, රත්නපුර, යාපනය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මැයි මස එන්නත් ලබාගත් පිරිසට දෙවන (2) මාත්‍රාව වශයෙන් ලබා දීමට නියමිතයි.

එසේම හෙට (08) සිට දිස්ත්‍රික්ක 12 ක් ආවරණය කරමින් සිදුකරන එන්නත්කරණ වැඩසටහන්වලදී වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ට පුරවැසියන්ට, කොරෝනා මර්ධන වැඩපිලිවෙලේ ඉදිරිපෙළ කටයුතු කරන රජයේ සේවකයින්ට, ඇඟළුම් කම්හල් සේවකයින්ට සහ සංකූලතා නොපෙන්වන ගර්භනී කාන්තාවන්ට ප්‍රමුඛතාවය ලබාදෙනු ඇති.

එසේම කොවිඩ්-19 වෛරසය පැතිරීම පාලනය කිරීමට ගතයුතු සියලුම ක්‍රියාමාර්ග මේවන විට සෞඛ්‍ය විශේෂඥයින්ගේ නිර්දේශවලට අනුකූලව ගෙන ඇතත් දිනකට ආසාදිතයින් තුන්දහසකට (3000) ආසන්න සංඛ්‍යාවක් වාර්තාවීම සැලකිය යුතු තත්ත්වයක් බවයි යුධ හමුදාපතිවරයා පවසන්නේ.

එසේම රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් සමඟ සාකච්ඡා කර සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුව සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න තීරණය කරන බවත් යුධ හමුදාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

තවත් කොවිඩ් ආසාදිතයින් 1,960 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා ෴

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1670 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 176,045 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයන් 650 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් අද (07) වාර්තා වුණු සමස්ත ආසාදිතයන් ගණන 2610 ක් ෴

තවත් කොරෝනා මරණ 47 ක් වාර්තා වනවා. ඒ අනුව මේ දක්වා කොරෝනා හේතුවන් මිය ගිය මුළු ගණන 1789 ක් වනවා ෴

@@@@@@@@@@@@@@@@@

(07.06.2021 – 12:23 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ චීන වරයා කදවුරෙන් ගුවන් ගත කෙරුණු නියමුවන්ගේ මූලික පුහුණුව සඳහා භාවිතා කරන ‘සෙස්නා 150’ ගුවන් යානයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ත්‍රිකුණාමලයේ නිලවේලි වෙරළ ආසන්නයේ පිහිටි ඉරාක්කන්ඩි ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදු කර තිබෙනවා.

මෙම හදිස්සි ගොඩ බෑම අද (07) උදෑසන 10:48 ට පමණ සිදු කල බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක බල ඝන නායක දුශාන් විජේසිංහ මහතා පවසන්නේ.

කෙසේ වෙතත් මෙම හදිසි ගොඩ බෑම හේතුවෙන් ගුවන් නියමුවන් දෙදෙනාට (2) අනතුරක් සිදු වී නොමැති අතර ඔවුන්ගේ දක්ෂතාව හේතුවෙන් සිදු වීමට අනතුරක් වලක්වා ගැනීමට හැකි වූ බවයි මාධ්‍ය ප්‍රකාශක වරයා පවසන්නේ.

A Cessna 150 training aircraft made an emergency landing a short while ago at Irrakkakandi located north of Nilaweli. The landing was done due to a technical fault of the aircraft. The crew consisting of two pilots and the aircraft have not sustained any injuries or damages.
(07.06.2021 – FB : Sri Lanka Air Force)

(07.06.2021 – 17:11 +0530 – hirunews.lk/sinhala)

මීට සුළු වෙලාවකට පෙර එම ගුවන් යානයේ ඇති වූ කාර්මික දෝෂය අලුත් වැඩියා කොට නැවත ගුවන් ගත කර බව ගුවන් හමුදාව සඳහන් කළා.

******************************************

(07.06.2021 – 13:20 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ වාණිජ වැදගත්කමක් ඇති ස්ථානවල පිහිටි ඉඩම්වි කුණා දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණ ONLINE තාක්ෂණය ඔස්සේ සංවිධාන කළ සම්මන්ත්‍රණයක් අමතමින්.

******************************************

(07.06.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණය නිසා ඇතිවූ ආපදාවලින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ තවත් පුද්ගලයන් දෙදෙනෙකු (2) අතුරුදන් වී ඇති බවයි.

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 10 ක පවුල් 67,613 කට අයත් පුද්ගලයන් 2,71,110 කට බලපෑම් එල්ලවී තිබෙනවා.

අයහපත් කාලගුණය නිසා ඇතිවූ සිද්ධීන්වලදී තුවාල ලබා ඇති පුද්ගලයන් සංඛ්‍යාව 05 ක්.

ආපදා තත්වයන් හේතුවෙන් නිවාස 17 කට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 978 ක්.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන 106 ක් තුල පුද්ගලයන් 26,806 ක් රඳවා ඇති බවයි.

අයහපත් කාලගුණයේ බලපෑම හේතුවෙන් ඥාති නිවෙස්වල සිටින සංඛ්‍යාව 22,975 ක්.

මේ අතර තද වැසි සහිත තත්වය සමග ජල මට්ටම ඉහළ ගිය ජලාශ රැසක මේ වන විට යථා තත්වයට පත්වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ ඒ අනුව වාරි ජලාශ වල විවෘත කල වාන් දොරටු යලි ක්‍රමයෙන් වසා දැමීමට පියවර ගෙන ඇති බවයි.

අයහපත් කාලගුණ තත්වයත් සමඟ ජල මට්ටම ඉහළ ගිය කැළණි, කළු ගංඟා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම්ද මේ වනවිට සැළකිය යුතු ලෙස පහළ යමින් පවතිනවා.

බොහෝ ප්‍රදේශවල ගං වතුර තත්වයේ අඩුවීමක් පැවතියද ගං වතුරෙන් තර්ජනයට ලක්ව ඇති පහත්බිම්වල ජනතාව ඒ සම්බන්ධයෙන් තවදුරටත් සැළකිලිමත් විය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල අවදානම් සහිත ප්‍රදේශවලට පනවා ඇති නායයාමේ අවදානම අද (07) පස්වරු 04:30 දක්වා දීර්ඝ කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.

එමෙන්ම, අද (07) දිනය තුල දිවයින පුරා වැසි තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.

******************************************

(07.06.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

​සීනි නිෂ්පාදනයෙන් ඉවතලන අපද්‍රව්‍ය යොදා ගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ලංකා සීනි සමාගම ආරම්භ කර තිබෙනවා.

සමාගමට අයත් උක් වගා බිම් අක්කර 35,000 ක් සඳහා සම්පූර්ණ පොහොර අවශ්‍යතාව සැපිරීම මෙහි ඉලක්කයයි.

ලංකා සීනි සමාගමේ පැල්වත්ත සහ සෙවනගල කර්මාන්තශාලා ද්විත්වයේ උක් වගා බිම් සඳහා රසායනික පෙහොර යෙදීමට වාර්ෂිකව වැය කරන මුදල රුපියල් කෝටි 25 කට ආසන්නයි.

එම තත්ත්වය තුළ කොම්පොස්ට් නිපදවිය හැකි සීනි නිෂ්පාදනයෙන් ඉවතලන අපද්‍රව්‍ය මේ දක්වා නිසි ප්‍රයෝජනයකට නොගෙන අවිධිමත් ලෙස බැහැර කර තිබුණා.

රසායනික පොහොර තහනම් කිරීමේ රජයේ තීරණයත් සමඟ අපද්‍රව්‍ය කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා යොදා ගනිමින් වගාකරුවන් සඳහා කාබනික පොහොර යෙදීම කෙරෙහි සීනි සමාගමේ අවධානය යොමුව තිබෙනවා.

සීනි නිෂ්පාදනයේ අපද්‍රව්‍ය යොදාගනිමින් කොම්පෝස්ට් නිපදවීමේ අංගනයක් මේවන විට සෙවනගල කර්මාන්තශාලා පරිශ්‍රයේ ඉදිකෙරෙමින් පවතිනවා.

සෙවනගල සහ පැල්වත්ත කර්මාන්ත ශාලා ද්විත්වයේම අපද්‍රව්‍ය යොදා ගනිමින් දිනකට කොම්පෝස්ට් මෙට්‍රික් ටොන් 100 නිෂ්පාදනය කිරීම සමාගමේ ඉලක්කයයි.

මෙම කටයුතු නිරීක්ෂණය කිරීමට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කර්මාන්තශාලා පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාව නිරත වුණා.

******************************************

(07.06.2021 – 14:04 +0530 – hirunews.lk/sinhala)

මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ මැදිරිගිරියේ සිදුකෙරෙන නැවත පදිංචි කිරීමේ කටයුතු වෙනුවෙන් වනාන්තර හෙළිපෙහෙළි කිරීමේදී කොන්ත්‍රාත්කරුවෙකු කොන්දේසි උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වනවා.

ප්‍රදේශය භාර වන නිලධාරීන් පවසන්නේ මේ හේතුවෙන් රජයට උපයා ගැනීමට හැකිව තිබූ විශාල මුදලක් අහිමි වී ඇති බවයි.

මොරගහකන්ද – කළුගල ව්‍යාපෘතිය යටතේ ඉඩම් අහිමි පිරිස නැවත පදිංචි කිරීම සඳහා බිසෝපුරට යාබද නබඩවැව ප්‍රදේශය තෝරා ගෙන තිබුණා.

එම ප්‍රදේශයේ හෙක්ටයාර 80 කට ආසන්න ප්‍රමාණයක් හෙළිපෙහෙළි කිරීමේ කටයුතු අරම්භ කර තිබුණේ ඒ අනුවයි.

වසර දෙතුන්සීයක් පමණ පැරණි පළු, වීර, කළුමැදිරිය, හල්මිල්ල, කටකෑළිය වැනි දැවමය වටිනාකමක් ඇති දුර්ලභ ශාකවර්ග වලින් සමන්විත එම ප්‍රදේශයේ විනාශ වී ඇති අයුරු දක්නට ලැබුනා.

ව්‍යාපෘතිය කඩිනම් කිරීමේ අරමුණින් කොන්ත්‍රාත්කරුවන් දැව ගිනි තබා විනාශ කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

රටක ඉදිරි ගමන සඳහා සංවර්ධන කටයුතු සිදුකළ යුතු නමුත්, එය අවම පරිසර හානියකින් සිදුකළ යුතු බව අප සැම සිතට ගතයුතු කරුණක්.

******************************************

(07.06.2021 – 15:28 +0530 – hirunews.lk/sinhala)

යාපනය – වැල්වැටිතුරෙයි – උරිකාඩු ප්‍රදේශයේ සුසාන භූමියක කැණීම් සිදුකර එහි තැන්පත් කල මෘත දේහවල රන් ආභරණ පවතින්නේදැයි සෙවූ පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අදාල සැකකරුවන් දෙදෙනා (2) දින ගණනාවක් පුරා රාත්‍රී කාලයේදී මෙලෙස සුසාන භූමිය හෑරීමේ කටයුතු සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ලක්ව ඇත්තේ යාපනය – වැල්වැටිතුරෙයි – ආදි කෝවිල් ප්‍රදේශයේ පදිංචි 48 සහ 51 යන වයස් වල පසුවන පුද්ගලයන් දෙදෙනෙක් (2).

ඔවුන් අද (07) පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

(07.06.2021 – 16:43 +0530 – hirunews.lk/sinhala)

කිසිදු සැලසුම් සහගත වැඩ පිළිවෙලක් නොමැතිව රසායනික පොහොර තහනම තුලින් ආණ්ඩුවේ අරමුණ මිනිසුන් ජීවත් කරවීම නොව, මිනිසුන් නොමරා මැරීම බව නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ආණ්ඩුව විසින් කඩිමුඩියේ හිතුවක්කාරී ලෙස ගනු ලැබූ මෙම තීන්දුව හේතුවෙන් රට තුල ආහාර හිගයක් ඇතිවීම සහ එය බිහිසුණු සාගතයක් දක්වා වර්ධනය වීම නොවැලක්විය හැකි බව ඔහු සඳහන් කරනවා.

කාබනික පොහොර භාවිතය වර්ධනය කිරීම සම්බන්දයෙන් අප තුල කිසිදු විරෝධයක් නොමැති අතර , එහෙත් ඉතා අදුරදර්ශී ලෙස ගනු ලැබූ මෙම රසායනික පොහොර තහනම මෙරට සමස්ත ජන ජීවිත වලට එල්ල කරන මරු පහරෙහි තරම ආණ්ඩුවට වැඩි කලක් යන්නට පෙර විඳීමට සිදුවනු ඇති.

මේ වන විටත් පොහොර තහනමේ අහිත කර ප්‍රතිපල දක්නට ලැබෙන අතර මේ හේතුවෙන් ගොවීන් අසරණ තත්වයට පත්ව ඇති බව ඔහු එම නිවේදනයන් වැඩි දුරටත් පෙන්වා දෙනවා.

එම නිවේදනය පහතින් :

******************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *