විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන පිරිස් සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යාවත්කාලීන කරයි

විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන පිරිස් සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යාවත්කාලීන කරයි

*********************************************

විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන පිරිස් සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යාවත්කාලීන කරයි

(06.06.2021 – 21:16 +0530 – hirunews.lk/sinhala)

විදෙස් ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස් සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යාවත්කාලීන කර තිබෙනවා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින්.

ඒ අනුව ඔවුන් පූර්ණ කොවිඩ් මර්දන එන්නත්කරණයකට ලක්ව ඇත්නම් පමණක් මෙරටට පැමිණ නිවෙස් නිරෝධායනයට අවස්ථාව හිමිවනවා.

කෙසේ වෙතත්, ඉන්දියාව, වියට්නාම, දකුණු අප්‍රිකාව සහ දකුණු අමෙරිකානු රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට අදාළවන්නේ නැහැ.

එම මාර්ගෝපදේශ මාලාව පහතින් :

+++++++++++++++++++++++

සංචරණ සීමා තව සතියකින් දීර්ඝ කරන්න – ශ්‍රී ලංකා වෛද්‍යය සංගමය

(06.06.2021 – 14:22 +0530 – lankaleadnews.com)

කොවිඩ් රෝගින් දෛනිකව වැඩිවීමත් සමග රෝග පාලනය කිරීම සදහා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍යය සංගමය ලිපියක් මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා වෛද්‍යය සංගමය පවසා සිටින්නේ සංචරණ සීම පැනවීම තුලින් යම්තාක් දුරට රෝගය පාලනය වී ඇති අතර දැනට පවතින තත්වය තුලින් යම්තාක් දුරට රෝගය පාලනය වී ඇති අතර දැනට පවතින තත්වය තුල නැවත රට විවෘත කලහොත් දැඩි සෞඛ්‍ය අවදානමක් මතුවන අතර එමගින් සෞඛ්‍ය පද්ධතිය බිදවැටීමට ලක්වන බවයි.

දැනට පනවා ඇති සංචරණ් සීමාව ලබන 14 වනදා සදුදා දිනෙන් අවසන් වීමට නියමිත අතර ශ්‍රී ලංකා වෛද්‍යය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනුයේ පනවා ඇති සංචරණ සීමා කාල සීමාව තවත් සතියකින් දීර්ඝ කරන ලෙසටය.

කෙසේ වෙතත් පවතින තත්වය පරීක්ශනය කර ලබන සිකුරාද (11 වෙනිදා) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවතින කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීමේදි අවසන් තීරණයක් ගන්නා බව ජනාධිපති කාර්යාලය සදහන් කරයි ෴

++++++++++++++++++++

(07.06.2021 – 06:16 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ගතවූ පැය 24 තුල පුද්ගලයින් 913 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා ෴

++++++++++++++++++++++

(07.06.2021 – 06:29 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයෙක් වාහනයකින් පොලීසියට රැගෙන එමින් සිටියදී අදාල පුද්ගලයා රථයෙන් බිමට පැනීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටියදී මියගොස් තිබෙනවා.

අදාල පුද්ගලයා පානදුර ප්‍රදේශයේ දී ඊයේ (06) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 48 හැවිරිදි වියේ පසුවූ අයෙක්.

සැකකරු අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක ආරම්භකර තිබෙනවා.

මියගිය පුද්ගලයා දැඩි ලෙස මත්කුඩු වලට ඇබ්බැහි වූවෙක් බවටයි අනාවරණය වී ඇත්තේ ෴

++++++++++++++++++++++++

(07.06.2021 – 06:48 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිත තවත් මරණ 46 ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුම් දෙනවා.

මෙලෙස වාර්තාවන මරණ මැයි මස 17 වනදා සිට ජුනි මස 05 වනදා දක්වා තහවුරු කරගත් මරණ බවටයි සෞඛ්‍ය අංශය දැනුම් දෙන්නේ.

කෙසේ වෙතත් ඊයේ (06) දිනයේදී කිසිඳු කොවිඩ් මරණයක් වාර්තා නොවීමද විශේෂත්වයක්.

මෙම මරණ 46 ත් සමඟ මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 1742 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

+++++++++++++++++++++++

(07.06.2021 – 07:08 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට ඇතුලුවන සේවකයන් හඳුනාගැනීමට අද (07) සිට නව ක්‍රමවේදයක් අනුගමනය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව, සංචරණ සීමා පවතින කාලසීමාව තුල කොළඹට ඇතුළු වන වාහන සඳහා නව ස්ටිකරයක් හඳුන්වාදීමට නියමිතයි.

එය අතවශ්‍ය සේවා කාණ්ඩ අනුව වර්ණ 11 කින් සමන්විත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

එලෙස හඳුන්වාදී ඇති නව ක්‍රමවේදය ඔස්සේ නම් කරන ලද රථ වාහන වෙනත් කටයුතු සඳහා භාවිතා කරන්නේ නම් ඊට එරෙහිව නිතිමය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

@@@@@@@@@@@@@@@@

(06.06.2021 – 21:36 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන රජයට චෝදනා කළත් වත්මන් රජය එක් වසරක් තුළ රුපියල් ට්‍රිලියන දෙකක (2) ණය මුදලක් ලබා ගෙන ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

******************************************

(06.06.2021 – 22:48 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ රෝහණ පුෂ්පකුමාර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මේ අතර, වැඩි මිලට පොහොර අලෙවි කළ ස්ථාන 2 ක් වැටලීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අද (06) සමත් වුණා.

අනුරාධපුර – මැදවච්චිය අංක 47 පූනෑව තුලානේ නාගදරණවැව ගොවීන් පොහොර නොමැතිකමින් දැඩි ලෙස අසරණ වී සිටිනවා.

මෙවර යල කන්නය වෙනුවෙන් වී වගා කර ඇති කුඹුරු අක්කර 400 ක් පමණ නිසි කළට පොහොර යෙදීමට නොහැකිවීම හේතුවෙන් අත්හැර දැමීමට සිදුව ඇති බවට ගොවීන් මැසිවිලි නගනවා.

+++++++++++++

06-06-2021

******************************************

කාබනික පොහොර (අසූචි යැයි සැක සිතෙන?) කන්ටේනර තුනක් (3) ඉන්දියාවෙන් කොළඹ වරායට!

(06.06.2021 – 22:40 +0530 – lankaleadnews.com)

ජනාධිපති තුමා විසින් රසායනික පොහොර තහනම ක්‍රියාත්මක කිරීමත් සමඟම ඇතිවන පොහොර හිඟය පිය වීමට කාබනික පොහොර ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් නැතැයි පවසන කණ්ඩායම් විසින් කාබනික පොහොර ලෙස හඟවා නාගරික කැලි කසල වලින් නිපද වූයේ යැයි සැක කෙරෙන කාබනික පොහොර කන්ටේනර් තුනක් (3) ඉන්දියාවෙන් කොළඹ වරායට ගොඩ බෑමට කටයුතු කර ඇති බව නිල නොවන මට්ටමින් වාර්තා වේ. ඒ සඳහා ආනයන පාලකවරයා විසින් අවසර දී ඇති බවත් මේ වන විට ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිළධාරීන් එම පොහොර තොගය නිදහස් කරණ ලෙස ශ්‍රී ලංකා රේගුවට නියෝග කර ඇති බවත් වාර්තා වේ.

කෙසේ වුවද පොහොර ලේකම් කාර්යාලයට එලෙස ආනයනික කාබනික පොහොර හෙවත් නාගරික කැලි කසල නිදහස් කරණ ලෙස රේගුවට නියෝග කිරීමට බලයක් නැති බව පවසා රේගුව විසින් එම කන්ටේනර් තුන (3) නිදහස් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තාවේ.

මේ පිළිබඳ සියළු තොරතුරු ලද සැනින් වාර්තා කිරීමට ‘ලංකා ලීඩ් වෙබ් අඩවිය’ කටයුතු කිරීමට සූදානමින් සිටී.

+++++++++++

පිටරැටියන්ගේ අසූචි වලට රජයේ පොහොර සහනාධාරය ලබා දෙන්නට කටයුතු කරමින් සිටිනවා – ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්

(06.06.2021 – 08:13 +0530 – lankaleadnews.com)

ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා කාබනික පොහොර ආනයනය කිරීමට රජය ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර සිටියේ :

“අද වනවිට රට පුරාම ආනයනික ජෛව හා කාබනික පොහොර නිසාවෙන් ඇතිවන අයහපත් ජෛව විවිධත්ව බලපෑම් පිලිබඳව කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රාමාණික විද්වතුන් ඇතුලු ජාතික සංවිධාන විසින් පුලුල් කතිකාවතක් ගොඩනගමින් තිබෙනවා. නමුත් ඒ කිසිවක් පිලිබඳව අවධානය යොමු නොකරමින් රජය ජෛව හා කාබනික පොහොර ආනයනය කිරීමට අර අදිමින් සිටිනවා.

එම ආනයනය කිරීමට සැරසෙන කාබනික පොහොර යැයි හදුන්වාදෙන පාංශු මූලද්‍රව්‍ය කිසිසේත්ම භාවිතයට නුසුදුසු විවිධාකාරයේ රසායනික ද්‍රව්‍ය අඩංගු මිනිස් අසූචි බව අප වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම චීනය වැනි රටවල මෙම මහා පරිමාණ අසූචි විවිධ රසායනික තත්වයන් යටතේ සකස්කර ඉවත්කරනු ලබන අතර ඒවා තුල බොහෝ විෂ රසායන ද්‍රව්‍යය අඩංගු වෙනවා.

වැසිකිලි පිරිසිදුකාරක රසායනික ද්‍රව්‍ය උග්‍ර විෂ සහිත වන අතර ගෘහස්ථව මේවා බොහෝසෙයින් යොදන අතර විවිධාකාරයේ විෂ සහිත ගෘහස්ථ අපද්‍රව්‍ය මිනිස් මළමූත්‍ර වල අඩංගු සේම ඒවා ඝණ අපද්‍රව්‍ය බවට පත් කිරිමේදීද යොදන රසායනික ද්‍රව්‍යයන්ද උග්‍ර වසවිෂ සහිතයි.

එවැනි තත්වයන් යටතේ මෙකී ඝණ අපද්‍රව්‍ය ලෙස සැකසූ අසූචී කිසිසේත්ම කාබනික පොහොර නොවන අතර ඒවා කාබනික පොහොර සේ සලකා මෙරට ගොවි ජනතාව ඇතුලු සමස්ථ පුරවැසියන්ම රවටා, පිටරැටියන්ගේ අසූචි වලට ‘පොහොර සහනාධාරය’ ලබාදීම පිලිබඳව ජාතික ගොවිජන එකමුතුව ලෙස අප තරයේ විරුද්ධ වනවා. මෙකී ජාවරමට එරෙහිව නීතිමය කටයුතු කිරිමට ඉදිරියේදී කටයුතු කිරිමට අපි සූදානම්.”

******************************************

මොස්කව්හි වෙසක් සැමරුම

(06.06.2021 – 16:18 +0530 – lankaleadnews.com)

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මූලිකත්වයෙන්, ශ්‍රී ලංකා ව්‍යාපාරික හා වෘත්තිකයන්ගේ සංගමයේ අනුග්‍රාහක දායකත්වයෙන් හා රුසියාවේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ සහයෝගයෙන් උතුම් වෙසක් පුන් පොහෝදින සැමරීම සඳහා උත්සව මාලාවක් සංවිධානය කරන ලදී.

2021 මැයි 26 දින තානාපති කාර්යාලයේ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් බෞද්ධ චාරිත්‍ර පැවැත්වීමෙන් සැමරුම් ඇරඹිණි. මැයි 27 වන දින මොස්කව්හි අංක 1250 දරණ පාසලෙහි රුසියානු සිසුන් සඳහා වෙසක් පහන් කූඩු නිර්මාණය කිරීමේ වැඩමුළුවක් පැවැත්වූ අතර ශ්‍රී ලංකාවේ සංස්කෘතික වටිනාකම් සහ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ඉතිහාසය පිළිබඳ ඉදිරිපත් කිරීමක් ද පැවැත්වීය.

2021 මැයි 29 වන දින, බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල මෙන්ම, සහභාගී වූ සියළු දෙනාගේ මෑතකදී මියගිය ආදරණීයයන් සිහිකරනු පිණිස ධර්ම වැඩසටහනක් සහ දානමය පිනකමක් රුසියාවේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික හා වෘත්තීය සංගමය විසින් මොස්කව්හි මියන්මාර පන්සලේදී තානාපති කාර්යාලය සමඟ එක්ව සංවිධානය කරන ලදී.

සැමරුම් උත්සවය අවසන් වූයේ එදිනම සවස තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති ධර්ම වැඩසටහන, වෙසක් කූඩු ප්‍රදර්ශනය සහ දන්සැල වැඩසටහන මෙන්ම පොත් පිරිනැමීම ඇතුලත්ව වෙසක් සැමරීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයෙනි.

මෙම අවස්ථාවට රුසියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ නියෝජිතයින්, මොස්කව් විශ්වවිද්‍යාලවල ශ්‍රී ලාංකික සිසුන්, කාම්බෝජ බෞද්ධ ප්‍රජාවේ නියෝජිතයින්, රුසියානු අමුත්තන් සහ තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය ඇතුළු 80 ක පමණ පිරිසක් සහභාගී විය.

මෙම උත්සව අවස්ථාවන් සදහා රුසියානු පෙඩරේෂනයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය එම්.ඩී ලමාවංශ , රුසියාවේ ශ්‍රී ලංකා වෙළද හා වෘතිකයන්ගේ සංගමයේ සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ , එම සංගමයේ මහ ලේකම් සමන් ජයමහ , රුසියානු බෞද්ධයන් නියෝජනය කරමින් අර්තුර් ලිපොව් සහ රීල් සොතේරාත්ද රුසියාවේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් විශාල පිරිසක්ද තානාපති කාර්‍යාලයේ සහ රුසියාවේ පදිංචි ලාංකික පවුල් වල සාමාජිකයන් විශාල පිරිසකුත් මෙම වැඩසටහන් වලට සහභාගී විය.

******************************************

(07.06.2021 – 07:20 +0530 – hirunews.lk/sinhala)

බිම්ස්ටෙක් රටවල් අතර සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගනිමින් කලාපීය අභියෝග හඳුනා ගැනීම සහ සහයෝගී වර්ධනයක් ළඟා කර ගැනීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ බිම්ස්ටෙක් සංවිධානයේ 24 වන සංවත්සරය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින්.

සමුළු 08 ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට හැකිවූ බව සඳහන් කරන ජනාධිපතිවරයා එහි ප්‍රතිඵලයක් ලෙස සාමුහිකව බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සඳහා වූ කෙටුම්පත සම්පාදනය කිරීමට හැකිවූ බව ප්‍රකාශ කරනවා.

එමගින් රාජ්‍යතාන්ත්‍රික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් වූ බව ජනාධිපතිවරයාගේ අදහසයි.

අදාළ තීරණ පස්වන (5) බිම්ස්ටෙක් සමුළුවේදී සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරනවා ෴

******************************************

(07.06.2021 – 07:24 +0530 – hirunews.lk/sinhala)

නව කැලණි පාලමේ සිට අතුරුගිරිය අධිවේගී මාර්ගය සහ කොළඹ – මහනුවර ගුවන් පාලම් ඉදිකිරීමේ උත්සවය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව අද (07) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

ඒ නව තාක්ෂණය භාවිත කරමින් අරලියගහ මන්දිරයේදී සිටයි.

කොළඹ සහ ඒ ආශ්‍රිත නගරවල මෙන්ම, දිවයිනේ අනෙකුත් ප්‍රධාන නරගවලත් අනෙකුත් ප්‍රධාන නගරවලත් පවතින අධික රථ වාහන තදබදය ඉවත් කිරීම සඳහා මෙවර අයවැයෙන් විශේෂ අවධානය යොමු කර තිබුණා.

ඒ අනුවයි අගමැතිවරයාගේ උපදෙස් මත කොළඹ – මහනුවර නගර ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිලියම් ලෙස ගුවන් පාලම් ඉදිකිරීමට සහ නව කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත අධිවේගී මාර්ගය ඉදිකිරීමටයි මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කර ඇත්තේ.

එමෙන්ම, කොහුවල මංසන්ධියෙන් ගුවන් පාලමක් ද, ගැටඹේ මංසන්ධියේ ගුවන් පාලමක්ද, කොම්පඤ්ඤ වීදිය දුම්රිය මාර්ගය හරහා විනිසුරු අක්බාර් මාවතේ ගුවන් පාලමක් මෙන්ම උත්තරානන්ද මාවතේ ගුවන් පාලමක් ද එම ගුවන් පාලම් දෙක සම්බන්ධ කිරීම සඳහා තවත් ගුවන් පාලමක් ද ඉදි කෙරෙනු ඇති.

මේ අතර, බේරේ වැව සහ කොම්පඤ්ඤවීදිය හරහා බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත සම්බන්ධ කරමින් ගුවන් පාලමක් ද ඉදිකෙරෙනවා ෴

+++++++++++

නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත ඉදිවන අධිවේගී මාර්ගය සහ කොළඹ සහ මහනුවර නගරය ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට පිලියම් ලෙස ගුවන් පාලම් 05 ක් ඉදිකිරීමේ කටයුතු අද (07) ආරම්භ කෙරුණා.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව නව තාක්ෂණය භාවිත කරමින් අරලියගහ මන්දිරයේදී සිටයි එම කටයුතු ක්‍රියාත්මක කෙරුණේ.

නව කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත ඉදිවෙන අධිවේගී මාර්ගය කිලෝමීටර් 16.4 ක දුරකින් යුක්ත වන අතර මංතීරු 04 ක් යටතේ එය ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සඳහා වැය කරන මුදල් රුපියල් බිලියන 134.9 ක්.

******************************************

(07.06.2021 – 07:33 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණ තත්වයත් සමඟ ජල මට්ටම ඉහළ ගිය කැළණි, කළු ගංඟා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම මේ වනවිට සැළකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

බොහෝ ප්‍රදේශවල ගං වතුර තත්වයේ අඩුවීමක් පවතින අතර, අද (07) දිනයේදී එම තත්වය තවදුරටත් අඩුවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර මහතා කියා සිටියේ.

කෙසේ වෙතත් ගං වතුරෙන් තර්ජනයට ලක්ව ඇති පහත්බිම්වල ජනතාව ඒ සම්බන්ධයෙන් තවදුරටත් සැළකිලිමත් විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නා.

එසේම ගංවතුර බැස ගිය පසු නැවත පදිංචිවීම සඳහා නිවාස වෙත ගමන් කිරීමේදී ද වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අදාළ ජනතාවට දැනුම් දෙන්නේ.

මේ අතර ආපදාවලින් ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 10 ක, පුද්ගලයින් 2,70,912 ක් පීඩාවට පත්ව ඇති බවයි.

එසේම, පුද්ගලයින් තුන්දෙනෙකු (3) අතුරුදන්ව ඇති අතර තවත් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මීට අමතරව, සුරක්ෂිත මධ්‍යස්ථාන 104 ක පුද්ගලයින් 26,846 දෙනෙකු තවදුරටත් රැදී සිටින අතර, ඔවුන් පවුල් 6176 කට අයත්.

මේ අතර, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල අවදානම් සහිත ප්‍රදේශවලට පනවා ඇති නායයාමේ අවදානම අද (07) පස්වරු 04:30 දක්වා දීර්ඝ කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.

අයහපත් කාලගුණය හේතුවෙන් ගම්පහ පහත් බිම් රැසක් තවමත් ජලයෙන් යටව පවතින බවයි හිරු වාර්තාකරු කියා සිටියා.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් මෙන්ම ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද (07) දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බවයි.

******************************************

(07.06.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

ගිනිගෙන මුහුදුබත් වෙමින් පවතින ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ නැවෙහි ප්‍රධාන ඉංජිනේරුවරයා සහ උප ප්‍රධාන ඉංජිනේරුවරයා ද මෙලෙස අද (07) දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බවයි.

එමෙන්ම, මෙම නෞකාව සම්බන්ධයෙන් ගන්නා නීතිමය පියවර සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය අද (07) සෙසු පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට ද නියමිත බව වාර්තා වනවා.

මේ අතර, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ අදාළ නෞකාවේ ඉන්ධන තොග පිළිබඳ වාර්තාවක් එහි කපිතාන්වරයාගෙන් ඉල්ලා සිටි බවයි.

එමෙන්ම, නැවේ වීඩියෝ දත්ත රෙකෝඩරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මේ වනවිට විමර්ශන ආරම්භ නර තිබෙනවා.

නෞකාවේ කපිතාන්වරයා, ඉන්ජිනේරුවන් දෙදෙනෙකු (2), වරාය අධිකාරියේ නිළධාරීන් ඇතුලු ප්‍රකාශ ලබාගෙන ඇති සංඛ්‍යාව විසිදෙනෙක් (20).

මේ අතර නෞකාවේ ඉන්ධන කාන්දුවක් සිදු වේදැයි පරික්ෂා කිරිම සඳහා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම අද (07) දිනයේත් විශේෂ කිමිදුම් මෙහෙයුමක් සිදු කිරිමට නියමිතයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *