ජල බිල්පත් ගෙවීමට සහන කාලයක්

ජල බිල්පත් ගෙවීමට සහන කාලයක්

*********************************************

ජල බිල්පත් ගෙවීමට සහන කාලයක්

(06.06.2021 – 14:47 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා හේතුවෙන් ජල බිල්පත් ගෙවීමට නොහැකි වූ පාරිභෝගිකයින්ට ඒ සඳහා සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බව විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මසක හෝ ඊට වැඩි සාධාරණ කාලයක් ඒ සඳහා ලබාදීමට කටයුතු කරන බවයි.

මෙම සහන කාලසීමාව සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු බලැපැවැත්වෙනු ඇති.

සංචරණ සීමා හේතුවෙන් ජල මීටර් සටහන් ලබා ගැනීම ද දුෂ්කර වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

++++++++++++++++++++++++

(06.06.2021 – 14:05 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මෙරට අධ්‍යාපන කඩා වැටීමට ඉඩ නොදී එය ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පවත්වාගෙන යාමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කළේ මෙරට දරුවන් දැනුමෙන් පොහොසත් කරලීමේ අරමුණින්.

එහෙත් අන්තර්ජාල පහසුකම මෙරට සිටින සෑම දරුවෙකුටම නිසි ලෙස ලැබේද යන්න සම්බන්ධයෙන් ඇත්තේ ගැටලුවක් බව අප හිරු ප්‍රවෘත්ති හරහා අවස්ථා ගණවකදීම වාර්තා කළා.

එවැනි දුෂ්කරතා හමුවේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට වෙර දරණ තවත් දරුවන් පිරිසක් පිළිබඳව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වේලන්කටුව ගම්මානයෙන් වාර්තා වනවා.

වනඅලි තර්ජන ද හමුවේ දිවි ගෙවන මෙම දරුවන් ජීවිත අවදානම නොතකමින් රාත්‍රී කාලයේ පැල් කරා යන්නේ ඇතැම් අවස්ථාවල මෙම වේලාවට ද online පන්ති පැවැත්වීම හේතුවෙන්.

දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන මෙම ගම්වැසියන් පැවසුවේ දරුවන් වෙනුවෙන් දුරකථනයක් පවා මිලදී ගැනීමට තමන්ට හැකියාවක් නොමැති බවයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව – උඳුරුව ගොවි ගම්මානයේ දරුවන් ද දුරකථන සංඥා නිසි ලෙස නොලැබීමෙන් පත්ව ඇත්තේ ද දැඩි අසීරුතාවකටයි.

මෙම ගම්මානයේ වැසියන් ගස් මත පැල සාදා ඇත්තේ වනඅලින් එලවීමට නොව දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වෙනුවෙනුයි.

දෙහිඕවිට – මුරුත්තෙටට්ටුවේ ගම්මානය ද ඇතුළු තවත් ගම්මාන 5 ක දරුවන් මෙලෙස කඳු තරණය කරමින් දිව යන්නේ තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන්.

+++++++++++++++++++++++++

(06.06.2021 – 16:19 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1172 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 167,304 ක් ෴

අද (06) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1921 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2,04,278 ක් ෴

++++++++++++++++++

(06.06.2021 – 18:48 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මත මෙම කාලසිමාව තුළ අත්‍යවශ්‍ය සේවා සහ මානුෂිය තත්ත්වන් මත හෙට (07) දිනයේ කොළඹට පැමිණෙන රථවාහන වෙන් වෙන් වශයෙන් ස්ටිකර් අනුව වර්ග කිරිමේ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

හෙට (07) දිනයේදී වර්ණ 11 කින් යුක්ත මෙම නව ස්ටිකර් ක්‍රමවේදය හඳුන්වාදීම හේතුවෙන් කොළඹට ඇතුළු වන මාර්ගවල රථ වාහන තදබදයක් ඇතිවිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

මේ අතර, ඉදිරියේදී එන්නත්කරණ වැඩසටහන යටතේ මාතලේ, මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා සයිනොෆාම් එන්නත් මාත්‍රා 25,000 බැගින් ලබාදීමට නියමිතයි.

එමෙන්ම, නුවරඑළිය, හම්බන්තොට, අනුරාධපුර, බදුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට සයිනොෆාම් එන්නත් මාත්‍රා 50,000 බැගින් ලබාදෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

අද (06) දිනයේදී ආසාදිතයින් 1172 ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1,67,304 ක් ලෙස සටහන් වනවා.

මේ අතර, මහියංගනය නගරයේ ඇඟලු‍ම් කම්හලක් ආශ්‍රිතව හදුනාගත් ආසාදිතයින් පිරිසකගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකයකුගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු ද පොලීසිය අත්අඩංගුවට ගත්තා.

එමෙන්ම, සංචරණ සීමා පැනවීමත් සමග පීඩාවට පත් අඩුආදායම් ලාභී ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම ප්‍රදේශ කිහිපයකදී අදත් සිදුකෙරුණු අතර කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවති වැඩසටහනේදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

එසේම, සංචරණ සීමා හේතුවෙන් ජල බිල්පත් ගෙවීමට නොහැකි වූ පාරිභෝගිකයින්ට ඒ සඳහා මාසයක සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බව විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළා.

මේ අතර, කොවිඩ් ආසාදිතව මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සංචාරක බුබුළු ක්‍රමවේදය යටතේ විදෙස් සංචාරකයින් සඳහා යාල ඇතුළු සංචාරක ස්ථාන විවෘත කිරීමෙන් ශ්‍රී ලංකාව කොවිඩ් පරීක්ෂණාගාරයක් බවට ආණ්ඩුව පත්කර ඇති බවයි.

මේ අතර, මාතර – කඹුරුගමුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත දරුවෙකුගේ පළමු උපන්දිනය වෙනුවෙන් එහි සෞඛ්‍ය කාර්යමණ්ඩලය සැමරුමක් සංවිධාන කර තිබුණා.

කොවිඩ් ආසාදිතව ඔහුගේ මව, මිත්තණිය සහ වැඩිමහල් සහෝදරයාද එහි මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටිනවා.

තවත් කොරෝනා ආසාදිතයන් 1055 ක් හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව අද (06) දිනයේ හමු වූ මුළු ආසාදිතයන් ගණන 2976 ක් වනවා ෴

@@@@@@@@@@@@@@@

(06.06.2021 – 16:00 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණයෙන් නිවාස 817 කට අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ නිවාස 14 කට සම්පූර්ණයෙන්ම හානි වී ඇති බවයි.

එමෙන්ම, පවුල් 3520 කට අයත් පුද්ගලයින් 15,658 දෙනෙකු ආරක්ෂක ස්ථාන 72 ක රඳවා තිබෙනවා.

දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 84 ක පුද්ගලයින් 2,45,212 කට අයහපත් කාලගුණයෙන් මේ වනවිට බලපෑම් එල්ල වී තිබෙනවා.

කොළඹ, ගාල්ල, කළුතර, ගම්පහ, නුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යාමේ අවදානම් නිවේදන හෙට (07) පස්වරු 04:30 දක්වා දීර්ඝ කර තිබෙනවා ෴

******************************************

(06.06.2021 – 17:10 +0530 – hirunews.lk/sinhala)

දෙවනගල ප්‍රදේශයේ නිවසක් නායයාමෙන් පසු තම ආදරණීයයන් අහිමිවූ වේදනාව දරා ගැනිමට නොහැකිව සුනඛයෙකු ඉදිරිපස දෑත්වලින් පස් පසුපසට අදිමින් නිවැසියන් සෙවීමට කටයුතු කරන ආකාරය බොහෝ දෙනෙකුට සංවේදි දසුනක් වුණා.

නායයාමෙන් අතුරුදන්වූවන් නිවැසියන් සෙවීමේදී ඔවුන් සිටින දිශාව හඳුනාගැනීමට මෙම සුනඛයාගේ උදව්ව අස්වැසිල්ලක් වු බවයි මෙහෙයුම් වලට එක්වූ යුද හමුදා නිලධාරීන් සඳහන් කළේ.

සුනඛයාගේ ඇතැම් ඉඟි අනුව පස් ඉවත්කර සොයාබැලීමේදී නිවැසියන්ගේ සිරුරු හමුවී තිබුණා.

මෙම සත්වයා එම ස්ථානයෙන් ඉවත් කිරීමට බොහෝ දෙනෙකු උත්සාහ කළත් නායගිය පස් අතර තම ආදරණීයයන් ජීවතුන් අතර සිටිනවා දැයි දැනගැනීමට මේ සතාට තිබුණේ දැඩි නොඉවසිල්ලක්.

මෙම ගුණාංගයන් දුටු මෙහෙයුමට එක්ව සිටි කෑගල්ල බේරගල හමුදා කඳවුරේ සෙබළුන් විසින් ‘රයිනි’ නම් සුනඛයා එදිනම කඳවුරට රැගෙන ගියේ ඔහුගේ ළඟින් සිටි ආදරණියන් අහිමි වීම හේතුවෙන්.

දැන් රයිනිගේ නිවහන යුධ හමුදා නිවහනයි.

එනමුත් මෙම සත්වයාට වසරකට වැඩි කාලයක් තමා ළඟින්ම සිටි ආදරණීයයන් කිසි දිනක අමතක නොවෙනු ඇති.

කෙසේවෙතත් එම වේදනාව අමතක වන්නට රයිනිට අලුත් නිවහනේ හමුදා සෙබළුන්ගෙන් සෑම දිනකම ආදරය කරුණාව ලැබේවි.

අප වාර්තාකරු සඳහන් කළේ අරණායක සාමසර කන්ද නාය ගිය අවස්ථාවේද මෙවැනි අවස්ථා කිහිපයක් දැකගැනීමට හැකිවූ බවයි.

එම සුනඛයන් ද ඒ මහා විපතින් කම්පාවට ලක් ව ඒ මේ අත දුවමින් කෑ ගසමින් තම ආදරණියන් වෙනුවෙන් ඒ දිනවල හැඟුම්බර වී තිබුණා ෴

******************************************

ගම්පහ දිස්ත්‍රික්කයෙහි ගං වතුරෙන් විපතටපත් තවත් පුද්ගලයන් 27 දෙනෙකු නාවික හමුදාවෙන් බේරා ගනී

(06.06.2021 – news.navy.lk)

අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇල ප්‍රදේශයේ ඇති වී තිබෙන ගං වතුර තත්ත්වයෙන් විපතට පත්ව සිටි තවත් කුඩා ළමුන්, කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 27 දෙනෙකු අද (2021 ජුනි 06) නාවික හමුදා සහන කණ්ඩායම් විසින් මුදා ගැනීමෙන් පසු කඩිනමින් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර අවශ්‍ය සහන සැලසීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, පවතින ගං වතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්ට අයත් ගං වතුර අවදානම සහිත ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි නාවික හමුදා සහන කණ්ඩායම් 33 ක් ආපදාවට පත් මහජනතාව ඉන් මුදා ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය අනෙකුත් සහන සැලසීමේ කටයුතු වල තවදුරටත් නිරතව සිටියි.

තවද, ගං වතුරෙන් විපතට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත කඩිනමින් යොමු කිරීමට තවත් අතිරේක සහන කණ්ඩායම් සූදානම්ව තබා ඇත.

[ සේයාරූ ]

ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි ගං වතුරෙන් විපතටපත් තවත් පුද්ගලයන් 66 දෙනෙකු නාවික හමුදාවෙන් බේරා ගනී

(05.06.2021 – news.navy.lk)

අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ගං වතුර තත්ත්වයෙන් ආපදාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා මේ වන විට බස්නාහිර, දකුණ, සබරගමුව සහ වයඹ පළාත් ආවරණය වන පරිදි නාවික හමුදා සහන කණ්ඩායම් 33ක් යෙදවීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, අද (2021 ජුනි 05) සවස් භාගය වන විට නාවික හමුදා සහන කණ්ඩායම් මගින් ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක ගං වතුරෙන් විපතට පත් කුඩා ළමුන් සහ කාන්තාවන් ඇතුළු තවත් පුද්ගලයන් 66 දෙනෙකු මුදා ගැනීමට සහ අවශ්‍ය සහන සැලසීමට කටයුතු කෙරිණි.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇල ප්‍රදේශය ආශ්‍රිතව ඇති ගං වතුර තත්ත්වය හේතුවෙන් විපතට පත්ව සිටි කුඩා ළමුන් කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 61ක් ද, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයේ ගං වතුරෙන් විපතට පත් තවත් පුද්ගලයින් 05 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 66 දෙනෙකු නාවික හමුදා සහන කණ්ඩායම් විසින් කඩිනමින් මුදා ගැනීමෙන් පසු ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර අවශ්‍ය සහන සැලසීමට කටයුතු කෙරිණි.

තවද, මේ වන විට ගම්පහ, කළුතර, කොළඹ, රත්නපුර, ගාල්ල, මාතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්ට අයත් ගං වතුර අවදානම සහිත ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි මහජනතාවට සහන සැලසීම සඳහා සහන කණ්ඩායම් 33ක් නාවික හමුදාව විසින් යොදවා ඇති අතර, තවත් සහන කණ්ඩායම් 11ක් අවශ්‍යතාවය මත ස්ථානගත කිරිම සඳහා සූදානමින් තබා ඇත.

[ සේයාරූ ]

පුත්තලම් දිස්ත්‍රික්කයේ ගං වතුරෙන් විපතටපත් 29 දෙනෙකු නාවික හමුදාවෙන් බේරා ගනී

(05.06.2021 – news.navy.lk)

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ගං වතුර තත්ත්වයෙන් ආපදාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා මේ වන විට ගං වතුර අවධානම පැනනැගි ඇති බස්නාහිර, දකුණ, සබරගමුව සහ වයඹ පළාත් ආවරණය වන පරිදි නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර හා ගලවා ගැනීම් ඒකකයට අයත් කණ්ඩායම් ඇතුළු නාවික හමුදා සහන කණ්ඩායම් 16ක් යෙදවීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, පුත්තලම් දිස්ත්‍රික්කයේ ගං වතුරට කොටු වි අවධානම් තත්ත්වයේ සිටි කුඩා ළමුන් කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 29 දෙනෙක් 2021 ජුනි 04 දින මුදා ගැනීමට නාවික හමුදා සහන කණ්ඩායම් කටයුතු කෙරිණි.

ඒ අනුව පුත්තලම් දිස්ත්‍රික්කයේ කීරීයංකල්ලි, පුලිච්චිකුලම් සහ බත්තුලුඔය යන ප්‍රදේශ වල පැවති අධික වර්ෂාව හේතුවෙන් ගං වතුරට කොටු වි ජීවිත අවධානමට මුහුණ දී සිටි පවුල් 10කට අයත් එම කුඩා ළමුන්, කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 29 දෙනා නාවික හමුදා සහන කණ්ඩායම් විසින් කඩිනමින් මුදා ගැනීමෙන් පසු ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර අවශ්‍ය සහන සැලසීමට කටයුතු කෙරිණි.

එමෙන්ම ඇති වි ඇති ගං වතුර තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සදහා බස්නාහිර පළාතේ ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කය තුල ගම්පහ, ජා ඇල, රාගම, බුලත්සිංහල, පරගොඩ යන ප්‍රදේශ වල ද, දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්ට අයත් තවලම, හිනිදුම, නාගොඩ, ඒප්පල, ඇතිමලේ සහ අතුරලිය යන ප්‍රදේශ ද, වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ කිරියංකල්ලි, පුලිච්චිකුලම් සහ බත්තුලුඔය යන ප්‍රදේශ ද, සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත සහ කලවාන ප්‍රදේශද ආවරණය වන පරිදි නාවික හමුදාව විසින් සහන කණ්ඩායම් යොදවා ඇත.

තවද, අවශ්‍යතාවය මත කඩිනමින් ස්ථානගත කිරිම සඳහා නාවික හමුදාව විසින් තවත් අමතර සහන කණ්ඩායම් සුදානමින් තබා ඇත.

[ සේයාරූ ]

‘නාවික සැතපුම් 345ක් දුර මුහුදේ අනතුරට පත් ධීවරයෙකු ප්‍රතිකාර සදහා රැගෙන ඒමට නාවික හමුදා සහය’ යන සිරස් තලය යටතේ 2021 ජුනි මස 04 වන දින නිකුත් කළ පුවත හා සබැ‍ඳේ

(05.06.2021 – news.navy.lk)

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට (Great Basses) නාවික සැතපුම් 345ක් පමණ (කිලෝ මීටර් 638ක් පමණ) දුර ගැඹුරු මුහුදේදී මෙරට බහුදින යාත්‍රාවක සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් තුවාල ලබා ආසාද්‍ය තත්ත්වයේ සිටි ධීවරයා ගොඩබිමට රැගෙන විත් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව අද (2021 ජුනි 05) කටයුතු කරන ලදී.

ගැඹුරු මුහුදේ දී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් පාදයකට දැඩි ලෙස හානි වී ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ ‘දු භාෂි’ නැමැති බහු දින ධීවර යාත්‍රාවට (ලියාපදිංචි අංක IMUL-A-0928 MTR) අයත් මෙම ධීවරයා පෙර දින (2021 ජුනි 04) උදෑසන 1130ට පමණ එම ධීවර යාත්‍රාව තිබූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී ශ්‍රිලංනානෞ ‘සයුර’ නෞකාව වෙත රැගෙන ප්‍රථමාධාර ලබා දෙමින් ගොඩබිම වෙත යාත්‍රා කිරීම ආරම්භ කරන ලදී.

ඒ අනුව, ආසාද්‍ය තත්ත්වයේ පසු වූ එම ධීවරයා රැගත් ශ්‍රිලංනානෞ ‘සයුර’ නෞකාව අද (2021 ජුනි 05) දහවල් වන විට ගොඩබිම ආසන්නයට ලඟා වීමෙන් පසු දෙවුන්දර තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී වේග ප්‍රහාරක යාත්‍රාවකට මාරු කර කඩිනමින් ගාල්ල වරාය වෙත රැගෙන විත් ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

[ සේයාරූ ]

******************************************

(06.06.2021 – 18:50 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ භූගත ටැංකියකින් දැවි තෙල් කාන්දු වුවත්, අඹතලේ ජල පවිත්‍රාගාරයේ බෙදා හරින පානීය ජලයට එම දැවි තෙල් මුසුවී නොමැති බව, ජල සම්පාදන හා ජල ප්‍රවාහන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළා.

ඒ කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ භූගත ටැංකියකින් වැසි ජලයට දැවිතෙල් මිශ්‍ර වූ බවට මුලින්ම වාර්තා වූයේ පෙරේදා (04) පස්වරුවේදීයි.

තත්ත්වය බරපතලම වූයේ එම ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්වයත් සමග නිවාස තුලටද ගලාගෙන ආ දැවිතෙල් මිශ්‍ර ජලය, පානීය ජලය සපයාගන්නා ළිං වලටද එකතු වීමත් සමගයි.

ඒ අනුව ඉන්ධන අවට පරිසරය පුරා පැතිරීයාම වැලැක්වීමට නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තුමේන්තුව විශේෂ මෙහෙයුමක් අරම්භ කළා ෴

******************************************

(06.06.2021 – 18:54 +0530 – hirunews.lk/sinhala)

නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමඟ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ හට ගත් ගංවතුර තත්ත්වය තවදුරටත් අඩු වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, එම අඩුවීම මන්දගාමීව සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ. ආපදාවලින් ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 14 ක්.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 10 ක, පුද්ගලයින් 2,45,212 ක් පීඩාවට පත්ව ඇති බවයි. එසේම, පුද්ගලයින් දෙදෙනෙකු (2) අතුරුදන්ව ඇති අතර තවත් දෙදෙනෙකු (2) තුවාල ලබා තිබෙනවා.

මීට අමතරව, සුරක්ෂිත මධ්‍යස්ථාන 72 ක පුද්ගලයින් 15,658 දෙනෙකු තවදුරටත් රැදී සිටින අතර, ඔවුන් පවුල් 3520 කට අයත්.

විවෘත කර තිබූ තබ්බෝව ජලාශයේ වාන්දොරටු සියල්ල මේ වනවිට වසා දමා ඇති අතර, ඉඟිනිමිටිය හා දැදුරු ඔය යන ජලාශවල වාන්දොරටු 4 බැගින් විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඉදිරි දින කිහිපයේදී ගංවතුර තත්ත්වය පහව යනු ඇති බව ද, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර මහතා කියා සිටියා.

මේ අතර, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල අවදානම් සහිත ප්‍රදේශවලට පනවා ඇති නායයාමේ අවදානම හෙට (07) පස්වරු 04:30 දක්වා දීර්ඝ කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.

අයහපත් කාලගුණය හේතුවෙන් ගම්පහ පහත් බිම් රැසක් තවමත් ජලයෙන් යටව පවතින බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

ඒ අනුව, ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු දුම්රිය මාර්ගය ජලයෙන් යටවී ඇති අතර, ගම්පහ – ජා-ඇල මාර්ගයේ ගමනාගමනයට ද බාධා මතුව තිබෙනවා.

එසේම, ගනේමුල්ල – කඩවත මාර්ගයේ ගමනාගමනයට ද කිරිඳිවිට ප්‍රදේශයෙන් බාධා මතුව ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

අධික වර්ෂාවත් සමඟ ගම්පහ දිස්ත්‍රික්කයේ ජා-ඇල ප්‍රදේශයේ ඇති වී තිබෙන ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන් 27 දෙනෙකු නාවික හමුදා සහන කණ්ඩායම විසින් මුදා ගෙන තිබෙනවා.

ඒ අනුව, කුඩා දරුවන්, කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 27 දෙනෙකු මෙලෙස මුදාගෙන ඇති අතර ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බව සඳහන්.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ හෙට (07) දිනයේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇති බවයි.

කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් හෙට දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පැවසුවා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 16 ක් දක්වා ඉහල ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

තවත් තිදෙනෙක් (3) අතුරුදන්ව ඇති අතර දිස්ත්‍රික්ක 10 ක පුද්ගලයින් 270,912 ක් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *