ලක්ෂ 30 ක හෙරොයින් සමග කාන්තාවක් ඇතුලු 5 ක් අත්අඩංගුවට

ලක්ෂ 30 ක හෙරොයින් සමග කාන්තාවක් ඇතුලු 5 ක් අත්අඩංගුවට

*********************************************

ලක්ෂ 30 ක හෙරොයින් සමග කාන්තාවක් ඇතුලු 5 ක් අත්අඩංගුවට

(06.06.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 30 කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් සමග කාන්තාවක් ඇතුලු 5 දෙනෙකු සියඹලාන්ඩුව හැඩඔය පාලම අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ සිට සියඹලාන්ඩුව දෙසට ගමන් කරන වෑන් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරකට අනුවයි අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ඊයේ (05) මෙම වැටලීම සිදුකර ඇත්තේ.

මාර්ග බාධක යොදා සිදුකළ පරීක්ෂාවේදී සැකකරුවන් 3 දෙනෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 151 ක් සොයාගෙන තිබෙනවා.

වෑන් රථයේ රියදුරා සහ එහි ගමන් කළ කාන්තාව හෙරොයින් ජාවාරමට අනුබල දීම සම්බන්ධයෙනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අවුරුදු 23, 51, 54, 60 සහ 61 වයස්වල සැකකරුවන් පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

ඔවුන් අද (06) සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය වැඩිදුර විමර්ශණ සිදුකරනවා.

******************************************

(06.06.2021 – 08:16 +0530 – hirunews.lk/sinhala)

රත්ගම – කන්දේගොඩ ප්‍රදේශයේදී ඊයේ (05) රාත්‍රියේ පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු රත්ගම – පන්විල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක්.

මොහු මාර්ගයේ ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණ වෙඩි තැබීම සිදුකර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

******************************************

(06.06.2021 – 09:06 +0530 – hirunews.lk/sinhala)

සූරියවැව බැද්දෙවැවදී ගිණි අවියක් පෙන්වා අවුරුදු 06 ක දැරියක් පැහැර ගත් බව කියන සිද්ධියට අදාළව දැරියගේ පියා හා බාප්පා සූරියවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙක (2) බැගින් වු ශරීර ඇප හතරක් (4) මත නිදහස් කරන ලෙසටයි නියෝග කර ඇත්තේ.

ඉදිරි නඩු දිනයේ යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද හම්බන්තොට වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඊයේ (05) නියෝග කර තිබෙනවා.

මෙලෙස ඇප මත නිදහස් කෙරුණේ දැරියගේ පියා වන 32 හැවිරිදි අයෙක් සහ ඔහුගේ බාල සොහොයුරායි.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා විසින් ඉදිරිපත් කල කරුණු සළකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත්වරයා දැරිය පියා බාරයේම තබාගැනිමට ද අවසර ලබාදී තිබෙනවා.

මෙම දැරිය යතුරුපැදිවලන් පැමිණි පුද්ගලයන් සිව් (4) දෙනෙකු විසින් ගිණි අවියක් පෙන්වා පසුගිය 04 වනදා අළුයම පැහැරගෙන ගිය බවටයි දැරියගේ පියා විසින් සූරියවැව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ.

ඒ අනුව පරික්ෂණ ආරම්භ කෙරුණු අතර එහිදී පියාගෙන් සිද්ධිය පිළිබඳව සිදුකල ප්‍රශ්ණ කිරීමේදී ලබා දී ඇති පරස්පරවිරෝධී ප්‍රකාශ හේතුවෙන් පොලිසිය දැරියගේ පියා සහ ඔහුගේ බාල සොහොයුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනාගෙන් (2) සිදුකල ප්‍රශ්ණ කිරීමේදි අනාවරණය වී ඇත්තේ දැරිය පැහැර ගැනීමේ සිද්ධිය සම්පුර්ණයෙන්ම පියා සහ පියාගේ බාල සොහොයුරා විසින් නිර්මාණය කල සිදුවිමක් බවයි.

මීට මාස එක හමාරකට (1½) පමණ පෙර දැරියගේ මව වෙනත් විවාහයක් කරගෙන යාම හේතුවෙන් ඇය පොලිසියට ගෙන්වා ගැනීම හා මෙම පැහැර ගැනීමේ සිද්ධියට බිරිඳ හසුකිරීම ඔවුන්ගේ අරමුණ වී ඇතැයි සඳහන්.

සැකකරුගෙන් වැඩිදුරටත් සිදුකල ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වී ඇත්තේ 03 වන දින තම දැරිය සූරියවැව පිහිටි ඥාති වරයෙකුගේ නිවසේ නතරකර ඇති අතර, පසුව 04 දින අළුයම මෙම පැහැර ගැනීම සිදුවු බවට පොලීසියට පැමිණිලි කළ බවයි.

පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකාර පියා 04 දින උදෑසන දැරිය නවතා තිබූ ඥාති නිවසින් රැගෙන හම්බන්තොට රෝහල අසලට ගොස් දික්වැල්ල දොඩම්පහල ප්‍රදේශයේ පදිංචි බිරිදගේ ඥාති වරයෙකුගේ නිවසට යවා ඇතැයි ද පොලිසිය හෙළිකරගෙන තිබෙනවා.

ඒ අනුව සිදුකල පොලිස් විමර්ශණවලදී සැකකාර පියා සහ ඔහුගේ බාල සොහොයුරා එක්ව මෙම සිදුවිම නිර්මාණය කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් හම්බන්තොට වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගැනිම හේතුවෙන් මෙලෙස ශරීර ඇප මත නිදහස් කර තිබෙනවා ෴

******************************************

(06.06.2021 – 09:10 +0530 – hirunews.lk/sinhala)

පූගොඩ – ගල්පොතුගොඩ ප්‍රදේශයේදී ගංවතුරේ ටියුබයක් ආධාරයෙන් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු එම ටියුබය පෙරළී දියේ ගිලී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (05) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය පැවසුවේ ෴

******************************************

(06.06.2021 – 09:23 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධීව උතුරු මුහුදේ මුහුදු කූඩැල්ලන් සහ මසුන් ඇල්ලීමේ නිරතවූ පුද්ගලයන් 29 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව විසින් කළ මෙහෙයුමකින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර විමර්ශණ සඳහා සැකකරුවන් යාපනය ධීවර පරීක්ෂක කාර්යාලයටයි භාරදී ඇත්තේ.

නීති විරෝධීව කිමිදුම් උපකරණ යොදා ගනිමින් මෙම පුද්ගලයන් මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේ නිරතව ඇතැයි සඳහන්.

ඔවුන් සතුව තිබූ කිමිදුම් උපකරණ සහ බෝට්ටු 11 ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් මන්නාරම සහ කල්පිටිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 25 ත් 55 ත් අතර වයස්වල පසුවන පුද්ගලයන්.

සැකකරුවන් නිරෝධායනයට යොමුකර ඇති අතර නිරෝධායනයෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නාවික හමුදාව සහ යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය විමර්ශණ සිදුකරනවා ෴

******************************************

(06.06.2021 – 09:27 +0530 – hirunews.lk/sinhala)

නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමඟ ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 10 ක, පුද්ගලයින් 245,212 ක් පීඩාවට පත්ව ඇති බවයි.

එසේම, පුද්ගලයින් දෙදෙනෙකු (2) අතුරුදන්ව ඇති අතර තවත් දෙදෙනෙකු (2) තුවාල ලබා ඇතැයි ද එහි සඳහන්.

සුරක්ෂිත මධ්‍යස්ථාන 72 ක පුද්ගලයින් 15,658 දෙනෙකු රැදි සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

මේ අතර, වර්ෂාව අඩුවීමත් සමඟ මේ වනවිට එම ජලය බැස යමින් පවතින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, ගම්පහ, ජා-ඇල සහ වත්තල යන ප්‍රදේශවල ඇතැම් ස්ථාන තවමත් ජලයෙන් යටවයි පවතින්නේ.

වැසි අඩුවීම හමුවේ දිවයිනේ බොහෝ ජලාශ වාන් දැමීම මේ වනවිට අවම තත්ත්වයකට පත්ව ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේ වෙතත්, දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු 8 න් 4 ක් මේ වනවිට විවෘතව පවතින අතර, දැදුරු ඔය දෙපස ජිවත් වන ජනතාවට දැනුම් දෙන්නේ ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසටයි.

පවතින ගංවතුර තත්ත්වය අද (06) දිනයෙන් පසුව ක්‍රමයෙන් බැස යනු ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පුරෝකතනය කරනවා.

මේ අතර, පූගොඩ – ගල්පොතුගොඩ ප්‍රදේශයේදී ගංවතුරේ ටියුබයක් ආධාරයෙන් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු එම ටියුබය පෙරළී දියේ ගිලී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (05) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය පැවසුවේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ වැසි තත්ත්වය තවදුරටත් අඩුවෙමින් පැවතිය ද දිවයිනේ නිරිත දිග කොටසට තැනින් තැන වැසි ඇතිවිය හැකි බවයි.

******************************************

(06.06.2021 – 11:58 +0530 – hirunews.lk/sinhala)

හොරොව්පතාන වලහවිද්දවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් දළ ඇතෙකු මියගොස් තිබෙනවා.

විදුලිසැර වැදීමට සලස්වා ඇතා ඝාතනය කළ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අඩි 8 හමාරකට වඩා උසින් යුත් මෙම ඇතාගේ වයස අවුරුදු 20 ක් පමණ වන බවටයි විශ්වාස කෙරෙන්නේ.

මෙම ඇතා ඝාතනයට සම්බන්ධ සැකකරුගේ නිවසේ සිට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැන් ද සොයාගෙන තිබෙනවා.

සැකකරු ඊයේ (05) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදාහැර තිබෙනවා.

ලබන සැප්තැම්බර් මස 14 වනදා නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි ඔහුට නියෝග කර ඇත්තේ.

මියගිය ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) සිදු කිරීමට නියමිතයි.

******************************************

(06.06.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ.ජයසිංහ මහතා පත් කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත් කළ රෝහණ පුෂ්පකුමාර පෞද්ගලික හේතූන් මත එම ධුරයෙන් ඉවත්වී ඇති බවයි.

මේ නිසා වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ.ජයසිංහ මහතා එම ධුරයට පත් කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(06.06.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව – ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මාන කිහිපයක ලොකු ලූණු ගොවීන් සිය වගාවන් සිදුකර ගැනීමට පොහොර නොමැති වීම නිසා ගැටලු රැසකට මුහුණ දී සිටිනවා.

එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිකපිටිය, කෝට්ටපිටිය, අතරගල්වැව, ජයසිරිපුර යන ප්‍රදේශවල ගොවීන් යල කන්නය සඳහා ලොකු ලූණු වගා කරන බව සඳහන්.

මේ වනවිට බිම් සකස් කර ඇති වගාව සඳහා ලොකු ලූණු බීජ තවාන් කිරීමට කැට පොහොර සහ මඩ පොහොර නොමැතිවීම හේතුවෙන් තමන් ගැටලු රැසකට මුහුණදී ඇති බව ගොවීන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

******************************************

(06.06.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

2022 වසරේ සිට පළමු (1) ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමේදි එක් පන්තියක සිසුන් සංඛ්‍යාව 45 දක්වා ඉහළ නැංවීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කිරිමට ලංකා ගුරු සංගමය තිරණය කර තිබෙනවා.

එහි ප්‍රධාන ලේකම් ඡෝශප් ස්ටාලින් මහතා සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ එම තීරණය මීට පෙර ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය උල්ලංඝනය කිරීමක් බවයි ෴

@@@@@@@@@@@@@@@@

(06.06.2021 – 10:19 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍ර නොමැතිව ප්‍රතිශක්තිකරණ ඖෂධයක් ලෙස හැඳින්වෙන නිෂ්පාදනයක් අලෙවි කළ පුද්ගලයෙකු බටපොල – ඉලුක්පිටිය ප්‍රදේශයේදී දේශීය වෛද්‍ය ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් සිය භාරයට ගෙන පොලීසියට භාරදී තිබෙනවා.

මොහු 50 හැවිරිදි බටපොල – එගොඩාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු මෙම නිෂ්පාදනය ජනතාවට අලෙවි කර මුදල් ලබාගෙන ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

+++++++++++++++++++++++

(06.06.2021 – 11:06 +0530 – hirunews.lk/sinhala)

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 10 ක් අද (06) අලුයම දිවයිනට ළඟා වුණා.

චීනයේ බීජිං සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 869 ගුවන් යානයෙන් අද (06) අලුයම 05:10 ට පමණ එම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපල වෙත රැගෙන එනු ලැබුවා.

අද (06) රැගෙන ආ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට භාර දුන්නා.

මේ අතර, සයිනොෆාම් එන්නත ලබා ගත් කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ජනතාවට එහි දෙවන (2) මාත්‍රාව ලබාදෙන ස්ථානය, දිනය සහ වේලාව කෙටි පණිවුඩයක් මගින් දන්වන බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුනි මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව, කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුල එන්නත් කිරීමේ කටයුතු ද අනිද්දා (08) සිට ආරම්භ කරන බවයි.

දිවයින පුරාම සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම අනිද්දා (08) සිට ද ආරම්භ කෙරෙනවා.

මේ වන විට මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 353,156 දෙනෙකුට ලබාදී ඇති අතර සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ද පුද්ගලයින් 953,480 දෙනෙකුට ලබාදී අවසන්.

ස්පුට්නික්-වී එන්නතේ පළමු (1) මාත්‍රාව මෙතෙක් ලබා දී ඇති පුද්ගලයින් ගණන 64,986 ක්.

එසේම ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගතවූ දිනයේ තහවුරු කළ මරණ 40 අතරින් එක් මරණයක් සිදුව ඇත්තේ ඊයේ (05) දිනයේ වන අතර සෙසු මරණ 39 සිදුව ඇත්තේ පසුගිය මැයි 21 සිට ජුනි 04 දක්වා කාලය තුළදීයි.

ඒ අතර පිරිමි පුද්ගලයින් 23 ක් සහ කාන්තාවන් 17 දෙනෙකු වන අතර මරණ 09 ක්ම නිවෙස් තුළදී සිදුව තිබෙනවා.

ඊයේ (05) වාර්තා වූ මරණ 40 සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,696 ක් දක්වා ඉහළ ගියා.

ගතවූ දිනයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 3,103 දෙනා සමග මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 202,357 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වාර්තා වූ ආසාදිතයින් අතරින් 09 දෙනෙක් විදේශගතව සිට පැමිණි පුද්ගලයින් වන අතර සෙසු 3,094 දෙනා ‘අලු‍ත් අවුරුදු කොවිඩ් පොකුරේ’ ආසාදිතයින්.

ඒ අනුව පසුගිය අප්‍රේල් 15 වැනිදායින් පසු නිර්මාණය වූ අලු‍ත් අවුරුදු කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන මේ වනවිට දැක්වෙන්නේ 105,026 ක් ලෙසයි.

ගෙවුණු දිනයේ හඳුනා ගත් ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස වූ 828 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.

ඒ අතරින් 170 දෙනෙකුම හදුනාගෙන ඇත්තේ කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 544 දෙනෙක් වාර්තා වූ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 255 දෙනෙක් මෙන්ම මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 224 ක් වාර්තා වුණා.

කළුතර, මහනුවර, ගාල්ල, අම්පාර, මඩකලපුව සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලින්ද 100 ඉක්මවා ආසාදිතයින් වාර්තා වී තිබුණා.

මේ අතර, ආරච්චිකට්ටුව පොලීස් ස්ථානයේ නිලධාරීන් 05 දෙනෙකුට කොවිඩ් ආසදිත බව හඳුනා ගෙන ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා සෞඛ්‍ය අංශ විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම, නුවරඑළිය නානුඔය රඳැල්ල ක්‍රීඩාංගණයට යාබදව හරිතාගාරවල පවත්වාගෙන යන ස්ට්‍රෝබෙරි වගා ගොවිපොලක නිලධාරීන් සහ සේවකයින් 10 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.

මේ අතර, නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 995 දෙනෙකු ගතවූ දිනය තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් වසා දැමුණු යාල වනෝද්‍යානය ලබන 08 වනදා ප්‍රංශ නාවික හමුදාවේ කණ්ඩායමක් සඳහා විවෘත වන බව වනජිවි දෙපාර්තමේන්තුව සඳහන් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *