මහමෙවුනාවේ සුබෝධි හිමි සංඝ සභාවෙන් ඉවත් කළා. තවත් පියවර රාශියක් ඉදිරියේදී ගන්නවා – කල්‍යාණවංශ පාර්ශවය කියයි

මහමෙවුනාවේ සුබෝධි හිමි සංඝ සභාවෙන් ඉවත් කළා. තවත් පියවර රාශියක් ඉදිරියේදී ගන්නවා – කල්‍යාණවංශ පාර්ශවය කියයි

*********************************************

මහමෙවුනාවේ සුබෝධි හිමි සංඝ සභාවෙන් ඉවත් කළා. තවත් පියවර රාශියක් ඉදිරියේදී ගන්නවා – කල්‍යාණවංශ පාර්ශවය කියයි

(04.06.2021 – colombotoday.com)

සේරුවිල රජ මහා විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ලෙස පෙනී සිටින මහමෙවුනාවේ අලුදෙනියේ සුබෝධි හිමි අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ සංඝ සභාවෙ සාමාජිකත්වයෙන් සහ එම සංඝ සභාවේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කර ඇති බව ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ වැඩ බලන ලේඛකාධිකාරී අම්බලන්ගොඩ සුමේධානන්ද හිමි විසින් අද (04) පැවැත්වූ මාධ්‍ය හමුවකදී නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර සිටියා.

සේරුවිල රජ මහා විහාරයේ විහාරාධිපති ධූරය සම්බන්ධයෙන් විධායක සංඝ සභාවට එරෙහිව කටයුතු කරන භික්ෂූන් වහන්සේලාට ආයති සංවරයේ පිහිටුවීම සඳහා තවදුරටත් ඉඩකඩ තිබෙන බවත් එසේ නොකරන්නේනම් තවත් පියවර ඉදිරියේදී ගන්නා බවත් වැඩබලන ලේඛකාධිකාරී හිමියෝ අවධාරණය කරන ලදි.

++++++++++++++++

මහනායක හාමුදුරුවන්ට අභියෝග කිරීම දේවදත්ත සම්ප්‍රධායේ වැඩක් – සේරුවිල අත්පත්කර ගැනීමට කිරිබත්ගොඩ හිමි දේශපාලන හිතවත්කම් යොදා ගන්නවා ?

(02.06.2021 – colombotoday.com)

“යම්කිසි ස්වාමීන් වහන්සේ නමක් මහනායක හාමුදුරුවන්ට අභියෝග කරනවානම් සාමාන්‍ය ජනවහරේ අපි කියන්නේ දේවදත්ත නිකායේ කියලා. ඒකට හේතුව තමයි බුදුන්ට අභියෝග කලේ බුදුන් ළඟ මහන වෙච්ච දේව දත්ත. මහනායක හිමියන්ට අභියෝග කරනවානම් ඒක දේවදත්ත සම්ප්‍රධායේ වැඩක්.” යැයි මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ සේරුවිල මංගල රජමහා විහාරය පිළිබඳව ඇතිවී තිබෙන තත්වය පිළිබඳව කරුණු දැක්වීමට ඊයේ (01) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කලෝය.

සේරුවිල අත්පත්කරගැනීමට කිරිබත්ගොඩ ඥානානන්ද හිමි තම දේශපාලන හිතවත්කම් යොදා ගන්නවාදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ “වෙන්ඩ පුළුවන්… හැබැයි නොවිය යුත්තක්…” යැයි සඳහන් කරන ලදි.

ඓතිහාසික සේරුවිල රජ මහා විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු පුරප්පාඩු වු සේරුවිල රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති ධූරය පිළිබඳව මතභේදාත්මක තත්වයක් හටගත් බැවින් එම විහාරස්ථානයේ හිමිකාරිත්වය සතු අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ අතිගරු මහා නායක, මහා මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත පරම පූජනීය දොඩම්පහළ චන්ද්‍රසිරි මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ යටතට පත්කිරීමට එම සංඝ සභාව තීන්දු කරන ලදි.

කෙසේ වෙතත් පූජ්‍ය අලුදෙනියේ සුබෝධි හිමි නැමති භික්ෂුන් වහන්සේ විසින් තමන් වහන්සේ සේරුවිල රජමහා විහාරයේ විහාරාධිපති හිමියන් ලෙස පෙනී සිටිමින් මහනායක හිමියන් ඇතුළු තවත් භික්ෂුන් වහන්සේලා පිරිසකට බුදුන්ගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති සේරුවිල රජමහාකටයුතුවලට මැදිහත් වීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණයෙන් පසුගිය මැයි 21 වන දින තහනම් නියෝගයක් ගෙන තිබෙනවා.

මේ සිද්ධිය පිළිබඳව භික්ෂුන් වහන්සේලාගේ චෝදනාව ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතාටත් පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමිටත් එල්ල වෙමින් පවතියි.

එයට හේතුව වන්නේ පූජ්‍ය අලුදෙනියේ සුබෝධි නැමති භික්ෂුන් වහන්සේ කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ ගෝල භික්ෂුන් වහන්සේ නමක් වීම නිසාය

මහනායක හිමියන්ට විහාරයේ කටයුතුවලට මැදිහත් වීම තහනම් කල නියෝගය ලබා ගැනීම සඳහා අධිකරණයේ පෙනී සිට ඇත්තේ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ජේෂ්ඨතම කනිෂ්ඨ නීතිඥයෙක් වන සංජීව දසනායක මහතායි. අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍යධුරය භාරගැනීමෙන් පසු ඔහු පෙනී සිටි නඩු බොහොමයකට අධිකරණයේ පෙනී සිටින්නේ සංජීව දසනායක මහතායි.

පසුගිය ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා දුන් බැවින් සේරුවිල රජමහා විහාරය තමන්ට ලබා ගැනීමට උදව් කරන ලෙස කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ ඉල්ලා ඇති බවත් ජනාධිපතිවරයා මාර්ගයෙන් අලි සබ්‍රි මහතාගේ කනිෂ්ඨ නීතිඥයා ලවා මෙම තහනම් නියෝගය ලබාගෙන ඇති බවට අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ ජේෂ්ඨ සංඝ සභික හිමිවරු සැක පළකර සිටිති.

කෙසේ වෙතත් පරම පුජනීය ස්ථානයක් නීතිය අවභාවිතා කර මහනායක හිමිට පවා තර්ජනය කරමින් ලබා ගැනීමට ඉඩ නොදීමට එම හිමිවරු ඒකමතිකව අධිෂ්ඨාන කරගෙන ඇත.

අම්මා මුත්තා කලෙකදීවත් අසා නැති මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ත්‍රෛනිකායික භික්ෂුන් වහන්සේලාගේ අවධානය යොමු වී ඇති අතර සියලුම සංඝ සභා එකතුවී ඉදිරියේදී ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් මේ පිළිබඳව කරුණු විමසීමට බලාපොරොත්තුවෙන් සිටිති ෴

+++++++++++++

කිරිබත්ගොඩ CIA ඒජන්තයා ගෙන් බුද්ධ සාසනය බේරාගනිමු !

******************************************

https://www.youtube.com/watch?v=aVEUEfTyJqk
03-06-2021
05-06-2021

******************************************

(05.06.2021 – 15:30 +0530 – hirunews.lk/sinhala)

පනවා ඇති සංචරණ සිමා හමුවේ නිවසක මුළුතැන්ගෙයක් තුල නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි සැකකරුවන් තුන් දෙනෙකු (3) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ පිරිසක් නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කර ප්‍රදේශය පුරා ත්‍රී රෝද රථයකින් අලෙවි කරන බවට ගිනිගත්හේන පොලිසියට ලද තොරතුරක් මතයි අද මෙම වැටලීම සිදු කර ඇත්තේ.

එහිදී මත්පැන් මිලිලීටර් 6750 ක්, ගෝඩා මිලිලීටර් 15,750 ක් සහ නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනයට උපයෝගී කරගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් මෙම මත්පැන් පෙරා ඇසුරුම්කර ඉතා සුක්ෂම ලෙස කාලයක් තිස්සේ බෙදා හරිමින් සිට ඇති බව සඳහන්.

ඔවුන් එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 32, 35 සහ 38 යන වයස්වල පසුවනවා.

සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, ඔවුන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතයි.

******************************************

(05.06.2021 – 16:17 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික්ක 7 කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් මේ වනවිට පුද්ගලයන් 183,028 ක් පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම තත්ත්ව වාර්තා සාරාංශයේ දැක්වෙන්නේ අයහපත් කාලගුණයෙන් මේ වනවිට පුද්ගල මරණ 6 ක් වාර්තා වී ඇති බවයි.

එසේම, තවත් 5 දෙනෙකු අතුරුදන් වී ඇති බව ද එහි දැක්වෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ එම තත්ත්ව වාර්තා සාරාංශයේ වැඩිදුරටත් දැක්වෙන්නේ අවතැන් කඳවුරු 39 ක පවුල් 1275 කට අයත් පුද්ගලයින් 5375 දෙනෙකු රඳවා ඇති බවයි.

කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, කළුතර, මහනුවර, නුවරඑළිය, මාතලේ, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට තවදුරටත් නාය යෑමේ අවදානම් ඇති බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරනවා ෴

******************************************

(05.06.2021 – 18:46 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික්ක 7 කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් මේ වනවිට පුද්ගලයන් 183,038 ක් පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාවේ දැක්වෙන්නේ අයහපත් කාලගුණයෙන් මේ වනවිට පුද්ගල මරණ 6 ක් වාර්තා වී ඇති බවයි.

එසේම, තවත් 5 දෙනෙකු අතුරුදන් වී ඇති බව ද එහි සඳහන්. අවතැන් කඳවුරු 39 ක පවුල් 1275 කට අයත් පුද්ගලයින් 5375 දෙනෙකු රඳවා සිටිනවා.

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියේ කැළණි, කළු, ගිං, නිල්වලා සහ මහවැලි මෙන්ම මහඔය සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි. ඇතැම් ස්ථානවලින් ගංගා කිහිපයක් පිටාර ගලන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

ඒ අනුව, ඉදිරි පැය 12 තුල, කැළණි ගගේ ජල මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

එහි ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්. සුගීෂ්වර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ හේතුවෙන් දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, කොළොන්නාව, බියගම, කොළඹ සහ වත්තල ප්‍රදේශවල පහත්බිම් වල පවතින සුළු ගංවතුර මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බවයි.

දැනටමත්, කොළඹ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, අගලවත්ත, ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මිල්ලනිය, මධුරාවල සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කළුගං නිම්නයේ පහත් බිම්වල දැනට පවතින ගංවතුර තත්ත්වය ඉදිරි පැය 24 තුළ ද පවතිනු ඇති.

මෝල්කාව – බුලත්සිංහල මාර්ගය පරගොඩ ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ඇති අතර, බදුරලිය – හැඩිගල්ල මාර්ගය ද ජලයෙන් යටවී තිබෙනවා.

අත්තනගලු ඔය ද්‍රෝනියේ මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇළ සහ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම්වල ගංවතුර තත්ත්වය තවදුරටත් පවතිනවා.

ගම්පහ ග්‍රාම සේවා වසම් 6 ක මාර්ග මේ වනවිට ජලයෙන් යටවී ඇති අතර, ඔරුතොට – ජා-ඇල – මිරිස්වත්ත පහළ මාර්ගය ද අඩි 4 ක් පමණ ජලයෙන් වටවී ඇති බවයි වාර්තා වන්නේ.

බියගම – කැළණිය මාර්ගය රත්ගහවත්ත ප්‍රදේශයෙන් අඩි 2 ක් පමණ ජලයෙන් යටවී ඇති අතර, මිනුවන්ගොඩ – වේයන්ගොඩ මාර්ගය ද මේ වනවිට ජලයෙන් යටවයි පවතින්නේ.

එමෙන්ම, බියගම – කඩුවෙල මාර්ගය, වත්තල සහ ජා-ඇල පහත් බිම් ජලයෙන් යටව තිබෙනවා. කිරිබත්ගොඩ ප්‍රදේශයේ අතුරුමාර්ග සහ නිවාස රැසක් පසුගිය 3 වනදා සිට ජලයෙන් යටව ඇති බව වාර්තා වුණා.

මහර – අක්කර භාගය නගරය ද ජල ගැලීම් හේතුවෙන් බලපෑමට ලක්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මහඔය ද්‍රෝණියේ ජල ධාරා ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබීමත් සමඟ අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

මේ අතර, මාවනැල්ල – දෙවනගල ප්‍රදේශයේ පස්කන්දක් කඩා වැටීමෙන් අතුරුදන්ව සිටි එකම පවුලේ මව, පියා, දියණිය සහ පුතුගේ සිරුරු අද (05) පස්වරුව වනවිට සොයා ගත්තා.

එසේම, කෑගල්ල දිස්ත්‍රික්කයේ අල්ගම ප්‍රදේශයේ වැසි ආපදා හේතුවෙන් පුද්ගලයෙකු (1) ජීවිතක්ෂයට පත්වී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

එමෙන්ම, කොළඹ, ගාල්ල, කෑගල්ල, මාතර, නුවරඑළිය, මාතලේ, මහනුවර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පනවා ඇති නායයාමේ අවදානම ද තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර, මධ්‍යම කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන අධික වැසි සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටුවක් විවෘත කර තිබෙනවා.

ඒ හේතුවෙන් ජලාශ වේල්ල පහලින් කොත්මලාඔයේ දෙපස පහත්බිම්වල සිටින ජනතාව සැලකිලිමත් වන ලෙසට නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අහලකෝන් මහතා ඉල්ලීමක් කරනවා.

මේ අතර, විමලසුරේන්ද්‍ර ජලාශය ද වාන් දැමීමට පටන් ගෙන ඇති අතර, ලක්ෂපාන ජලාශයේ ද එක් (1) වාන්දොරටුවක් විවෘත කරනු ලැබුවා.

එමෙන්ම, පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු 4 ක් විවෘත කළ බව මහවැලි අධිකාරිය ප්‍රකාශ කළා. මේ නිසා පොල්ගොල්ල ජලාශයේ පහළ කොටස භාවිත කරන ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි එමගින් දැනුම් දෙන්නේ.

මීට අමතරව කුකුලේ ගඟ ජලාශය අඩි 2 බැගින් වාන්දොරටු 3 ක් විවෘත කර ඇති අතර, දැදුරු ඔය ජලාශයේ අඩි 2 බැගින් වාන්දොරටු 4 ක් විවෘත කර තිබෙනවා.

පුත්තලම – ඉගිනිමිටිය ජලාශය ද වාන්දොරටු කිහිපයක් ද මේ වනවිට විවෘතයි.

මේ අතර, නිරිතදිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක තවදුරටත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

******************************************

(05.06.2021 – 18:52 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ භූගත ටැංකියකින් වැසි ජලයට කාන්දු වූ දැවිතෙල් ඉවත් කිරීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ භූගත ටැංකියකින් වැසි ජලයට දැවිතෙල් මිශ්‍ර වූ බවට මුලින්ම වාර්තා වූයේ ඊයේ (04) පස්වරුවේදීයි.

අධික වර්ෂාපතනයත් සමග මෙම තත්වය උද්ගතව තිබුණේ පිරිපහදුවෙන් ඉවත්වන ඉන්ධන නැවත පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානයේ ඉන්ධන ගබඩාවේ ටැංකි තුලට වැසි ජලය ඇතුළු වී පිටාර ගැලීමෙන්.

පිටාර ගැලූ දැවිතෙල් හෙයියන්තුඩුව ප්‍රදේශයේ වැසි ජලයට එක්ව තිබෙන අයුරු ද අද (05) පෙරවරුව වන විට නිරීක්ෂණය වුණා.

තත්වය බරපතලම වූයේ එම ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්වයත් සමග නිවාස තුලටද ගලාගෙන ආ දැවිතෙල් මිශ්‍ර ජලය, පානීය ජලය සපයාගන්නා ළිං වලටද එකතු වීමත් සමගයි.

මෙවැනි තත්වයක් උද්ගතවද්දී තවදුරටත් ඉන්ධන අවට පරිසරය පුරා පැතිරීයාම වැලැක්වීමට නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තුමේන්තුව විශේෂ මෙහෙයුමක් අරම්භ කළා.

ඒ වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුව සතු ඉන්ධන කොටස් ජලයෙන් වෙන් කිරීමේ විශේෂිත උපකරණයක්ද යොදා ගනිමින්.

අප ප්‍රවෘත්ති කණ්ඩායම සදහන් කළේ බවුසර 15 ක් සමග මේ වන විට අදාල ස්ථානයේ සිට යන්ත්‍රයෙන් වෙන්කළ දැවිතෙල් රැගෙන පිටත්ව ගොස් ඇති බවයි.

තත්ත්වය තවදුරටත් බරපතල විය හැකි බව නාවික හමුදාව සදහන් කළේ එම ස්ථානය පූර්ණ නිරීක්ෂණයකට ලක් කිරීමෙන් පසුවයි.

දැවිතෙල් මිශ්‍රීත ජලය කැළණි ගගට එක් වුවහොත් ඉන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලට මෙන්ම, බියගම හා අඹතලේ ජල පවිත්‍රාගාර සදහා බලපෑම් ඇතිකල හැකි බව ඔවුන්ගේ මතය වුණා.

කෙසේ වෙතත් ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ විශේෂ කණ්ඩායමක් ද එම ස්ථානය නිරීක්ෂණය කළා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තිලිණ විජේතුංග කියා සිටියේ මේ දක්වා සිදුකළ නිරීක්ෂණයන්ට අනුව ජලසම්පාදන මණ්ඩලයෙන් බෙදා හරින ජලයේ ගුණාත්මකභාවයට හානියක් සිදුවී නොමැති බවයි.

******************************************

(05.06.2021 – 18:55 +0530 – hirunews.lk/sinhala)

මුහුදුබත් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් නිතීමය පියවර ගැනිම සඳහා අධිකරණ අමාත්‍යංශයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි

ශ්‍රි ලංකා වාරය අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂන අධිකාරිය ඇතුළු ඊට ආදාළ සියලු පාර්ශව සමඟ එක්ව අනිද්දා (07) පෙරවරුවේ සිය අමාත්‍යංශයේදි මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි සඳහන් කළේ.

නෞකාව සම්බන්ධයෙන් නිතිමය පියවර ගැනිම සඳහා නිතීපතිවරයා සිදු කරන පරික්ෂණයට සහය ලබා දිම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වු ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට අදාළ පුද්ගලයින් 16 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් එම නෞකාව නැංගුරම්ලා තිබූ සාගර කලාපයට දැඩි බලපෑමක් එල්ල වි තිබෙනවා. ඒ අතරින් වැඩි බලපෑමක් එල්ල වුණේ දික්ඕවිට සිට කොච්චිකඩේ දක්වා වූ වෙරළ තීරයේ පිහිටි සරක්කුව වෙරළ තීරයටයි.

පසුගිය දින කිහිපය පුරාම එම වෙරළ තීරයට නෞකාවේ සුන්බුන් සහ අපද්‍රව්‍ය ගොඩගසා තිබූ අතර, ඒවා ඉවත් කිරීමට නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඇතුළු කණ්ඩායම් කටයුතු කළා.

මාතර වැලිගම වෙරළ තීරයේ සිට පුත්තලම වෙරළ තීරය දක්වා ප්‍රදේශයට නෞකාවේ සුන්බුන් සහ අපද්‍රව්‍ය විසිර ගොස් ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂන අධිකාරිය සඳහන් කරන්නේ.

******************************************

(05.06.2021 – 19:03 +0530 – hirunews.lk/sinhala)

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගියදා දිවුරුම් දුන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත නව ආයතන කිහිපයක් වෙන් කර තිබෙනවා.

ඒ ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්.

ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, හා සියලු තොරතුරු තාක්ෂණ උද්‍යාන ඇතුළු ආයතන 6 ක් ඊට අයත් ෴

******************************************

@@@@@@@@@@@@@@@@

(05.06.2021 – 16:16 +0530 – hirunews.lk/sinhala)

ලබන 08 වනදා අලුයම 4 සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාව, එක්සත් රාජධානියට ඇතුළු වන රටවලට අදාළ රතු ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සිහිපත් කිරීමක් සිදුකළා.

එමෙන්ම, එමගින් දැනුම් දෙන්නේ අද (05), හෙට (06) සහ අනිද්දා (07) දින සඳහා ලන්ඩනය වෙත ක්‍රියාත්මක වන ශ්‍රී ලංකන් ගුවන් ගමන් වාර තුන (3) සඳහා එය බලනොපාන බවයි.

එමෙන්ම, ජුනි 8 වනදා සිට බ්‍රිතාන්‍ය පුරවැසියන් හෝ එක්සත් රාජධානියේ පදිංචිය සඳහා පුරවැසි හිමිකම් ඇති අය හැර අනෙකුත් ශ්‍රී ලාංකිකයන්ට එක්සත් රාජධානිය බලා යාමට අවසර හිමිවන්නේ නැහැ.

එමෙන්ම, ඒ සඳහා අවසරය හිමි අය ද ගුවන් ගමනට දින 3 කට පෙර කොරෝනා පරීක්ෂණයකින් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු විය යුතුයි.

එමෙන්ම, ඔවුන් බ්‍රිතාන්‍යයේ දින 14 ක කාලයක් සඳහා නිරෝධායනය වීමට හෝටලයක් වෙන් කරවා ගත යුතු අතර එහි සිදුකෙරෙන කොරෝනා පරීක්ෂණ 2 ක් සඳහා ද ඇණවුම් කළ යුතුයි ෴

+++++++++++++++++++++

(05.06.2021 – 16:58 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයට එරෙහිව කටයුතු කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව වෙත තවත් ආධාර තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

ඊට පල්ස් ඔක්සිලේටර් 1200 ක්, අනෙකුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ අයිතම 880,000 ක් අයත් වන බවයි කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ.

අදාළ වෛද්‍ය ආධාර තොගයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 6 ක්.

මීට පෙර ද එක්සත් ජනපද රජය කොරෝනා වසංගතයට ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකාව වෙත ඩොලර් මිලියන 11.3 ක ආධාර ලබාදුන් අතර, අසාධ්‍ය රෝගීන් සඳහා පරිත්‍යාග කළ වෙන්ටිලේටර් 200 ක් ද ඊට ඇතුළත්.

ශ්‍රී ලංකාවට මෙන්ම, පාකිස්ථානයට සහ මාලදිවයිනට ද ඇමෙරිකාවේ ආධාර හිමිවනවා.

+++++++++++++++++++++++++

(05.06.2021 – 17:58 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන අද (05) ලක්ෂ දෙකේ (2) සීමාව ඉක්මවා ගියා. ඒ නව ආසාදිතයින් 2280 දෙනෙකු හදුනාගැනීමත් සමඟයි. මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 201,534 ක් ලෙස මේ වනවිට සටහන් වනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාව කොරෝනා ආසාදිතයින් ලක්ෂ දෙකේ සීමාව ඉක්මවූ 78 වන රට ලෙසටයි දැක්වෙන්නේ.

අද (05) දිනයේදි ආසාදිතයින් 1851 ක් සුවය ලැබිමත් සමඟ මෙරට සුවය ලැබු පිරිස 1,66,132 දක්වා ඉහළ ගියා.

මේ අතර, කොවිඩ් ආසාදිත මෘත දේහයක් අවසන් කටයුතු සඳහා රැගෙන යමින් තිබු ගිලන් රථයකට ආරක්ෂාව සැපයු වෑන් රථයක් වටවල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන්ගත් පොලිස් නිලධාරීයෙක් අද (05) අලුයම ජීවිතක්ෂයට පත්වුණා.

පාදුක්ක සතිපොළ භූමියේ සිදුකළ කොවිඩ් පරීක්ෂණ 220 කින් 175 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව හදුනාගත් බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළා.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් සිදුකළ කොවිඩ් පරීක්ෂණ 63 කින් 23 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව හදුනාගෙන තිබෙනවා.

මේ අතර, ඉදිරියේදි මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ තුළ අවුරුදු 60 වැඩි පුද්ගලයින් සඳහා ප්‍රමුඛතාව ලබා දෙන බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ.

සංචරණ සීමා පැනවීමත් සමග පීඩාවට පත් අඩුආදායම් ලාභී ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම ප්‍රදේශ කිහිපයකදී අදත් සිදුකෙරුණා.

කොරෝනා වසංගතයට එරෙහිව කටයුතු කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව වෙත තවත් ආධාර තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

ඊට පල්ස් ඔක්සිලේටර් 1200 ක්, අනෙකුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ අයිතම අටලක්ෂ 80,000 ක් අයත් වන බවයි කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ.

අදාළ වෛද්‍ය ආධාර තොගයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 6 ක්. මීට පෙර ද එක්සත් ජනපද රජය කොරෝනා වසංගතයට ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකාව වෙත ඩොලර් මිලියන 11.3 ක ආධාර ලබාදුන් අතර, අසාධ්‍ය රෝගීන් සඳහා පරිත්‍යාග කළ වෙන්ටිලේටර් 200 ක් ද ඊට ඇතුළත්.

අද (05) ශ්‍රී ලංකාව මෙන්ම, පාකිස්ථානය සහ මාලදිවයින වෙත ද ඇමෙරිකාවේ මෙම ආධාර හිමිවනවා. මේ අතර, අදියර 4 ක් යටතේ පාසල් විවෘත කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙවැනි සාවද්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට අපේක්ෂා කරන බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *