රජයේ පාසල්වලටත් ප්‍රාථමික අංශයේ සිටම ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය

රජයේ පාසල්වලටත් ප්‍රාථමික අංශයේ සිටම ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය

*********************************************

රජයේ පාසල්වලටත් ප්‍රාථමික අංශයේ සිටම ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය

(04.06.2021 – 18:07 +0530 – hirunews.lk/sinhala)

පළමු (1) ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සියලු විෂයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා රජය පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විද්වත් කමිටුවක් ද පත්කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් කපිල පෙරේරා මහතා කියාසිටියේ.

මෙහි නියමු ව්‍යාපෘතියක් සඳහා නුගේගොඩ විජේරාම මහා විද්‍යාලය තෝරාගෙන තිබෙනවා.

මෙමගින් කිසිසේත් මව්බසින් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමි නොවන බවයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා පෙන්වා දුන්නේ.

මෙම වැඩපිළිවෙල සඳහා ඇති හැකියාව සොයා බැලීම වෙනුවෙන් ශක්‍යතා අධ්‍යයනයට පත් කළ කමිටුවට අධ්‍යාපන විශේෂඥයන් ඇතුලත්.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළමු (1) ශ්‍රේණියේ සිට අධ්‍යාපනය ලබාදීමේ නීතිමය තත්වය මෙන්ම විෂය මාලාව කුමන ආකාරයෙන් විය යුතු ද යන්න අදාළ කමිටුව විසින් සොයා බලනු ඇති ෴

******************************************

(04.06.2021 – 18:48 +0530 – hirunews.lk/sinhala)

මාරවිල මහවැව ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා මතුවී තිබෙනවා.

එම මාර්ගය භාවිත කරන ජනතාවට සහ රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය දැනුම්දෙන්නේ.

කොළඹ දෙස සිට හලාවත දෙසට ගමන් කරන වාහනවලට මාරවිල උඩුබද්දාව හරහා ගමන් කිරීමට හැකියාව පවතිනවා.

හලාවත සිට කොළඹට ගමන් කරන වාහන මාදම්පේ හරහා ගමන් කිරීමට හැකියාව පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

******************************************

(04.06.2021 – 19:22 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර ප්‍රදේශයේ සිදුවූ නායයාමේ සිද්ධියෙන් අතුරුදන් වූ 16 හැවිරිදි පාසල් සිසුවියගේ මළ සිරුර අද (04) දහවල් සොයා ගැණුනා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ තුවාල ලැබූ ඇගේ මව අයගම රෝහල් ප්‍රතිකාර ලබන බවයි. මෙම නායයාමේ සිද්ධියෙන් තවත් අයෙකු තවමත් අතුරුදන්ව පවතිනවා.

පුත්තලම – මාරවිල – කඩුපිටි ඔයේ පැති බැම්මක් බිඳී යාමත් සමඟ ජල පහරට හසුවූ වයස අවුරුදු 10 ක දරුවෙකු අතුරුදන්ව ඇති අතර, ඔහු මහවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 5 ක පවුල් 31,303 කට අයත් පුද්ගලයින් 130,672 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

අවතැන් කඳවුරු 27 ක ආපදාවට ලක්වූවන් 5067 දෙනෙකු රඳවා ඇති අතර, පූර්ණ හානි වූ නිවාස සංඛ්‍යාව 5 ක්.

අර්ධ හානි වූ නිවාස 317 ක් ද පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, කැළණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගා මෙන්ම අත්තනගලු ඔය ආශ්‍රිතව ද අද (04) ප්‍රදේශ කිහිපයකින් ගංවතුර තත්ත්වයන් වාර්තා වූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කොළඹ, ගම්පහ, ගාල්ල, කළුතර, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක පහත් බිම් මෙලෙස ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

නාවික හමුදාව නිවේදනය කළේ වැසි ආපදාවලින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් බස්නාහිර සහ දකුණු පළාත් ආවරණය වන පරිදි නාවික හමුදා සහන කණ්ඩායම් 13 ක් යොදවා ඇති බවයි.

මේ අතර, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සියලු ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සලසන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

අද (04) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍යවරයා ඒ බව දැනුම් දුන් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

විපතට පත්වූවන් මුදා ගැනීම හා පීඩාවට පත්වූවන්ට සහන සැලසීම අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ද දැනුම්දී තිබුණා.

ඒ අනුව, කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පැන නැගී ඇති හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා ප්‍රමුඛ එහි ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට ද අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ ජනතාවට අවශ්‍ය සහන කටයුතු සම්බන්ධීකරණය කරන ලෙසටයි.

මේ අතර, නිරිතදිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ඇදහැලෙන වැසි හෙටින් පසුව ක්‍රමයෙන් අඩුවෙතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, අද (04) රාත්‍රියේත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පවතින වැසි තත්ත්වය හමුවේ කොළඹ, ගාල්ල, කෑගල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පනවා ඇති නායයාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මකයි.

******************************************

(04.06.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකාව මුහුදු තීරයට ඇතුළු වූ ආකාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරින්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ හා ධීවරයින් පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය හා නාරා ආයතනය මෙන්ම, වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ පසුගියදා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ අදාළ නෞකාව ගිනි ගැනීම හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුව ඇති බවයි.

ඒ හේතුවෙන් ධීවරයන්ට සිය රැකියාව කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඔවුන්ගේ ජීවනෝපාය අහිමි වී ඇති අතර, මෙරට ආර්ථික, සංචාරක හා නාවික ක්ෂේත්‍රයන්ට විශාල අගතියක් සිදුව ඇති බවත්, ඔවුන් පෙන්වා දී තිබෙනවා.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ රජයේ රස පරික්ෂණ දෙපාර්තමේන්තුවේ 14 දෙනෙකුගෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සමුද්‍රාරක්ෂා නෞකාවෙන් අද (04) එම ස්ථානයට පිටත්ව ගියා.

නාවික හමුදාව සඳහන් කළේ එම පරික්ෂණ කණ්ඩායම සාගර ජල නියැදීන් ලබා ගැනීම සහ ස්ථානීය පරික්ෂණ සිදු කර ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ රජයේ රස පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් සිදු කළ එම ස්ථානිය පරික්ෂණ වාර්තා පසුව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

නෞකාවේ ගින්න හේතුවෙන් අමිල වැසි ඇති විමේ හැකියාවක් පසුගිය දින කිහිපය තුළ පැවැතිය ද මේ වනවිට එහි දුමාරයක් නොමැති වීම හේතුවෙන් අම්ල වැසි ඇති නොවන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ.

@@@@@@@@@@@@@@@@

(04.06.2021 – 18:19 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1884 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 164,281 ක් ලෙසටයි.

මේවන විට ආසාදිතයන් 29,955 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මෙරටින් හමුවී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 195,844 ක්. මරණ 1608 ක් ද වාර්තාවුණා ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2735 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 198,579 ක් ලෙසටයි ෴

පසුගිය දින 14 ක කාලය තුල දකුණු ඇමරිකාව සහ දකුණු අප්‍රිකාවේ සංචාරය කළ කිසිවෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ඇතුලු නොවීමට අවස්ථාව ලබා නොදීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා ෴

++++++++++++++++++++++++

(04.06.2021 – 18:42 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පනවා ඇති කාලය තුල බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර ලබාදීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එම කාලය තුල කල් ඉකුත්වන ආදායම් බලපත්‍රවලට සංචරණ සීමා ඉවත් කෙරෙන තෙක් දඩ මුදල් අය නොකෙරෙන බවයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සඳහන් කළේ ෴

++++++++++++++++++++++++

තරු හෝටලයේ උපන්දින සාදයට ගිය පිරිස නිරෝධායනයට රැගෙන ගිය බසය ආපසු හැරවූ බව කියන චෝදනාවට පිළිතුරක්

(04.06.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala)

තරු පන්ති හෝටලයේ පැවති උපන්දින සාදයට අදාළව අත්අඩංගුවට ගත් පිරිස නිරෝධායනයට යොමු කළ බස් රථය ආපසු හැරවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නම කියැවෙන මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ගේ මාධ්‍ය ලේකම්වරයා අද (04) පස්වරුවේ නිවේදනයක් නිකුත් කළා.

එමගින් සඳහන් කර ඇත්තේ පසුගිය දෙවනදා (02) සන්ධ්‍යාවේ මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍ය සරත් වීරසේකරට මංජු ශ්‍රී නමැති නීතිඥවරයෙකු ඇමතුමක් ලබාදී ඇති බවයි.

එමගින් සිය සේවාදායකයන් බදුල්ල නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යන බවත් ඔවුන් සතුව මූලික අවශ්‍යතා පවා නොමැති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

අනතුරුව පියුමි හංසමාලි නමැත්තිය දුරකථන ඇමතුමක් ලබාදී තමන් ඇතුළු පිරිසට අමතර ඇඳුම් ආදිය ලබා ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස පොලීසිය භාර ඇමතිවරයාගෙන් ඉල්ලා සිටි බව අදාළ මාධ්‍ය නිවේදනයේ සඳහන්.

පසුව චන්දිමාල් ජයසිංහ ද දුරකථන ඇමතුමක් ලබාදෙමින් එම ඉල්ලීම සිදුකර තිබෙනවා.

ඒ අනුව ඇමතිවරයා, පොලිස්පතිවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ඒ පිළිබඳව දැනුම්දී ඔවුන් තලංගම පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් පිරිස බස් රථයේ සිටියදීම අවශ්‍ය සුබසාධක ද්‍රව්‍ය ගෙනවිත් දීමට අවස්ථාව සලසා දී ඇති බවයි එහි දැක්වෙන්නේ.

අනතුරුව, යළි ඔවුන් පස්සර නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර, නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පන්තියේ හෝටලයක පැවැත්වූ උපන්දින සාදයකට සහභාගි වීම හේතුවෙන් අද (04) අත්අඩංගුවට ගත් 7 දෙනා ඇප මත මුදා හැරුණා.

ඒ ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වී.ප්‍රභාකරන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුව ඔවුන් සති දෙකක (2) කාල සිමාවක් සඳහා නිරෝධායනයට යොමු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

අද අත්අඩංගුවට ගත් සැකකරුවන් ද ඇතුළුව තරු පන්ති හොටලයේ සාදය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් සංඛ්‍යාව 21 ක්.

රංගන ශිල්පිනි මාධවී ඇන්තිනි, ඇයගේ සැමියා වන මිලාන් සිල්වා, රූපලාව්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහගේ මව වන කේ.ගුණවතී. චන්දිමාල්ගේ ඥාති සොයුරියක් වන අනර්කලි ආකර්ෂා, සහ ඔහුගේ රියදුරු මෙලෙස අද අත්අඩංගුවට ගත් පිරිස අතර වනවා.

මීට පෙර මෙම උපන්දින සාදය සංවිධානය කළ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ, නිරූපන ශිල්පී පියුමි හංසමාලි ඇතුළුව සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර මේ වනවිටත් ඔවුන් සති දෙකක නිරෝධායන කාලසිමාවක් සඳහා යොමු කර තිබෙනවා.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සංවිධානය කර තිබු මෙම උපන්දින සාදය පිලිබඳ මුලික පරික්ෂණ කොටුව පොලිසිය මගින් සිදු කළ අතර, එහි වැඩිදුර පරික්ෂණ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාර දි තිබෙනවා.

එමෙන්ම, පියුමි හංසමාලි ඇතුළු පිරිසක් සහභාගි වූ චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවති තරු පන්තියේ හෝටලයේ සූපවේදියෙකු ඇතුළු සේවකයන් දෙදෙනෙකුට (2) කොරෝනා ආසාදනය වී ඇති බව අද වාර්තා වුණා.

+++++++++++++++++++++++

(04.06.2021 – 19:54 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ලබා ගත් ජෛව සාමිපල 96 ක් උපයෝගි කරගනිමින් කොවිඩ් නව ප්‍රභේදය පිළිබඳ පරික්ෂණ ක්‍රියාත්මක බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසිමකදි ඔහු කියා සිටියේ ඉදිරි සති දෙක තුන (2-3) තුළ අදාළ වාර්තාව සෞඛය අමාත්‍යංශයට ලබා දෙන බවයි.

එමෙන්ම චීනයේ නිෂ්පාදිත කොවිලෝ හෙවත් සයිනෝෆාම් එන්නතේ ප්‍රතිශක්තිකරණය පිලිබඳ පරික්ෂණ වාර්තාව ද දින 10 ක් තුළ රජයට භාර දිමට සුදානම් බව අචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළා.

එසේම, රෝහල්වල සායන සඳහා සහභාගි වන රෝගීන්ගේ ඖෂධ නිවසට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා දුරකථන අංක දෙකක් හඳුන්වාදී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ 072 072 0720 සහ 072 060 6060 යන දුරකථන අමතා තැපැල් මගින් සිය ඖෂධ නිවසට ගෙන්වා ගත හැකි බවයි.

එසේම, රජයේ රෝහල් වල සායන වල ලියාපදිංචි රෝගීන් මෙම වැඩපිළිවෙල සඳහා තම ස්ථිර ලිපිනය ලබාදිය යුතුයි. එමෙන්ම, සායන සඳහා ලියාපදිංචි වී ඇති ලිපිනය ස්ථිර ලිපිනය නොවේ නම් ඒ පිළිබඳව රෝහල දැනුවත් කර තොරතුරු යාවත්කාලීන කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ.

එමෙන්ම සෞඛ්‍ය සේවකයින් පිරිසක් සත්‍යග්‍රහයක නියැලෙන කොළඹ ජාතික රෝහල ඉදිරිපිට ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් ඊයේ (03) රාත්‍රියේදී එහි අට්ටාලය ගලවා ඉවත් කර තිබෙනවා.

ඇදහැලු‍ණු අධික වර්ෂාව මධ්‍යයේ වූවද සත්‍යග්‍රහයේ නියැලෙන සෞඛ්‍ය සේවකයින් අධිකරණ නියෝගයක් මත එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසිය උත්සාහ දැරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

මේ අතර, කොරෝනා ආසාදිතයින් 1884 දෙනෙකු අද සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. සුවය ලැබූ මුළු සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 164,281 ක් ලෙසයි.

ලබන සතිය වන විට දෙවන මාත්‍රාව සඳහා එන්නත් 15,000 ක් සහ පළමු (1) මාත්‍රාව සඳහා එන්නත් 50,000 ක් ශ්‍රී ලංකාවට ලබාදෙන බව රුසියානු ස්පුට්නික් එන්තත් නිශ්පාදකයින් තහවුරු කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 663 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (04) දිනයේ මෙරටින් වාර්තාවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3398 ක්. ශ්‍රී ලංකාවෙන් මේවන විට වාර්තාවී ඇති සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 199,242 ක් වනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *