ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවේ – කැළණි, කළු, නිල්වලා, ගිං ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම තවදුරටත් ඉහළට

ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවේ – කැළණි, කළු, නිල්වලා, ගිං ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම තවදුරටත් ඉහළට

*********************************************

ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවේ – කැළණි, කළු, නිල්වලා, ගිං ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම තවදුරටත් ඉහළට

(04.06.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක රැසකට මේ වනවිට බලපෑම් එල්ලවී තිබෙනවා.

ගංගා කිහිපයක, ජල මට්ටම ද ඉහළ යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

මේ අතර, රත්නපුර ප්‍රදේශයේ ඇල්ලේ දේවාලය අසළ නාය යෑමකින් පුද්ගලයින් තුන්දෙනෙකු (3) අතුරුදන් වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා සඳහන් කළා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය කිහිපය තුල තවදුරටත් වැසි ඇතිවනු ඇති.

ගත වූ දිනය තුල උපරිම වර්ෂාපතනය දුම්මලසූරිය ප්‍රදේශයෙන් වාර්තා වන අතර, එහි අගය මිලිමීටර් 346.7 ක්.

කරඳන ප්‍රදේශයෙන් මිලිමීටර් 316.5 ක වර්ෂාපතනයක් වාර්තා වන අතර, ඇහැලියගොඩ ප්‍රදේශයෙන් වාර්තා වන වර්ෂාපතන අගය මිලිමීටර් 311.5 ක්.

එසේම, ඉංගිරිය, කටුනායක, මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශ රැසකින් අධික වැසි තත්ත්වයන් වාර්තා වුණා.

අධික වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයක පහත් බිම් ඊයේ (03) රාත්‍රියේ ජලයෙන් යටවූ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, මහරගම, කඩුවෙල, ජයවර්ධනපුර ඇතුලු තවත් ප්‍රදේශ කිහිපයක් ඊට අයත්.

එසේම, කැලණිය, කිරිබත්ගොඩ , පැලියගොඩ ඇතුලු බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

බියගම – කඩුවෙල මාර්ගය ජලයෙන් යටවීම නිසා අධිවේගී මාර්ගයේ කඩවත දෙස සිට පැමිණෙන සැහැල්ලු වාහනවලට කඩුවෙල හුවමාරුවෙන් පිටවීමට බාධා මතුවුණා.

ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක් මේ වන විට ජලයෙන් යටවී ඇති බවයි හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.

මේ වනවිටත් කළු, කැළණි, නිල්වලා, ගිං ගංගා වල සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ යමින් පවතින අතර, දැදුරු ඔය සහ තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබෙනවා.

එම ගංගා සහ ජලාශ අවට පහත් බිම්වල ජනතාව ගංවතුර අවදානම පිළිබඳව සැලකිල්ලෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

කළුගඟේ ජල මට්ටම ඉහළයාමෙන් ඉංගිරිය, හොරණ, බුලත්සිංහල, අගලවත්ත, මදුරාවල, මිල්ලනිය සහ පාලින්දනුවර පහත් බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

එසේම, ගිංගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ තවලම, හිනිදුම සහ නෙලුව අවට පහත් බිම් ජලයෙන් යටවී තිබෙනවා.

මේ අතර, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් 44,000 කට විදුලි සැපයුම විසන්ධි වි ඇති බව විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළා.

කුලියාපිටිය, කුරුණැගල, හොරණ, මතුගම, නාරම්මල, දඹුල්ල, අකුරුස්ස, සහ කෑගල්ල යන ප්‍රදේශ වලට මෙලෙස විදුලිය බිඳ වැටි ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිටත් අදාළ ප්‍රදේශ වල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කරමින් පවතිනවා.

******************************************

(04.06.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

හලාවත රෝහලේ මෘත ශරීරාගාරයෙන් මෘත ශරීර 2 ක් මාරු කර නිකුත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ එක් පාර්ශවයක ඥාතීන් අදාල දේහය තම ඥාතියාගේ දේහය නොවන බවට හඳුනාගෙන පොලීසිය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස මාරු වී ඇත්තේ යතුරු පැදි අනතුරකින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය හොරණ – උඩාඋදුව – වලව්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි පුද්ගලයකුගේ දේහයක් සහ අක්මා රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය ආරච්චිකට්ටුව – බංගදෙණිය – කරුක්කුපනය ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලයකුගේ දේහයක්.

මෘත ශරීර දෙකම (2) සමාන දේහ ලක්ෂණ වලින් යුක්ත වීම හේතුවෙන් රෝගී තත්වය හේතුවෙන් මියගිය පුද්ගලයාගේ ඥාතීන් යතුරුපැදි අනතුරින් මියගිය පුද්ගලයාගේ දේහය තම ඥාතියාගේ දේහය ලෙස හදුනාගෙන රැගෙන ගොස් භූමදාන කටයුතුද සිදු කර තිබෙනවා.

කෙසේ වෙතත්, යතුරු පැදි අනතුරෙන් මියගිය පුද්ගලයාගේ ඥාතීන් පවසා ඇත්තේ ඔවුන්ට මෘත ශරීරාගාරයෙන් නිකුත් කිරීමට සූදානම් වූ මෘත ශරීරය තම ඥාතියාගේ දේහය නොවන බවයි.

ඉන් අනතුරුව වහාම තම මියගිය ඥාතියාගේ මෘත ශරීරය සොයා දෙන ලෙස ඔවුන් රෝහල් බළධාරීන්ට දන්වා තිබෙනවා.

මේ අතර, අනෙක් පාර්ශවයේ ඥාතීන්ද තමන් භූමදානය කර ඇත්තේ තම ඥාතියාගේ දේහය නොවන බවට හදුනාගෙන ඇත්තේ ඊයේ (03) එහි මරණ පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසුවයි.

සිදුකල මූලික පරීක්ෂණ වලදී අදාල මෘත දේහ දෙක (2) මාරුවී ඇති බව අනාවරණය වී අතර ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අද (04) හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි.

එහිදී භූමදානය කල දේහය යළි ගොඩගෙන ඥාතීන් වෙත භාරදීම සඳහා නියෝගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව පොලීසිය සඳහන් කළා ෴

******************************************

(04.06.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනිමට ලක් වි මේවනවිට මුහුදුබත් වෙමින් පවතින ‘එක්ස්ප්‍රෙස් පර්ල්’ නෞකාව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරිම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් කණ්ඩායමක් අද (04) පෙරවරුවේ එම නෞකාව තිබෙන ස්ථානයට ළඟා වුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 10 දෙනෙකුගෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් ‘එක්ස්ප්‍රෙස් පර්ල්’ නෞකාව නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ‘සාමආරක්ෂා’ නෞකාවෙන් පිටත්ව ගිය බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

නෞකාවේ ගින්න සම්බන්ධයෙන් එහි කාර්ය මණ්ඩලයේ 13 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඊට නෞකාවේ කපිතාන්වරයා හා ප්‍රධාන ඉංජිනේරුවරයා ද ඇතුළත්.

මේ අතර, නෞකාවේ ගින්නෙන් සමුද්‍ර පරිසරයට හා ජීවින්ට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ආයතනය ලබාගත් සාම්පල පරීක්ෂා කිරීම් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මෙම සාම්පල පානදුර සිට මාරවිල දක්වා මුහුදු තීරයේ ස්ථාන 17 කින්, මීගමුව කලපුවෙන් සහ නෞකාව අසළ ස්ථාන 4 කින් ලබාගත් බවයි ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ පරිසර අංශයේ විද්‍යාඥ ආචාර්ය දීප්ත අමරතුංග මහතා සඳහන් කළේ.

මේ අතර, ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව හිමි ‘එක්ස්ප්‍රෙස් ෆීඩර්ස්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ෂමුවෙල් යොස්කොවිට්ස් සිද්ධිය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින් සමාව අයැද තිබෙනවා.

සිංගප්පූරු මාධ්‍යයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ නෞකාව ගිනිගෙන මුහුදුබත් වීම නිසා සිදුවූ පරිසර හානියට මෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිකා වෘත්තීන්ට එල්ල වූ බලපෑම පිළිබඳව සමාව අයැද සිටින බවයි.

එමෙන්ම, පාරිසරික හානිය අවම කරලීම සඳහා ශ්‍රී ලංකා බලධාරින් සමඟ කටයුතු කරන බවත්, වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම් සඳහා බර යන්ත්‍රෝපකරණ ලබා දෙන බවත් ඔහු කියා සිටියා.

බහාලුම් 1486 ක් රැගත් නෞකාව මේ වනවිට මීටර් 21 ක් ගැඹුරු මුහුදු පත්ලේ රැදී තිබෙන බවයි ඔහු කියා සිටියේ.

තත්ත්වය අධීක්ෂණය සහ ඇගයීම සඳහා කණ්ඩායමක් යොදවා ඇති අතර, තෙල් කාන්දුවක් ඇතිවුවහොත් එය කඩිනමින් හඳුනාගෙන නිසි පිලියම් යෙදීමට කටයුතු කරන බවත්, නෞකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ නමුත්, ඊයේ (03) සන්ධ්‍යාව වනතුරු තෙල් කාන්දුවක් වාර්තා නොවූ බවයි ‘එක්ස්ප්‍රස් ෆීඩර්ස්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ෂමුවෙල් යොස්කොවිට්ස් සඳහන් කළේ.

******************************************

රත්නපුර නායයාමෙන් අතුරුදන් වූ සිසුවියගේ සිරුර සොයාගනී

(04.06.2021 – 13:35 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර ප්‍රදේශයේ සිදුවූ නායයාමේ සිද්ධියෙන් අතුරුදන් වූ පාසල් සිසුවියගේ මළ සිරුර සොයා ගෙන තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අද (04) පෙරවරුවේ සිදුකළ මෙහෙයුම් වලදී අදාළ 16 හැවිරිදි සිසුවියගේ සිරුර සොයා ගත් බවයි.

තුවාල ලැබූ ඇගේ මව රෝහල් ගත කර තිබෙනවා.

මෙම නායයාමේ සිද්ධියෙන් තවත් අයෙකු (1) තවමත් අතුරුදන්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

******************************************

(04.06.2021 – 13:51 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ආනයනය නතර කිරීමට රජය ගත් තීරණයත් සමග එකවර කාබනික පොහොර සඳහා යොමුවීමත් සමඟ තම ජීවනෝපායන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවට ගොවීන් චෝදනා කරනවා.

කහටගස්දිගිලිය කුඩාපට්ටිය දිවුල්වැල ව්‍යාපාරයේ අක්කර 550 ක් පමණ වන කුඹුරු සඳහා මෙතෙක් පොහොර නොලැබීම හේතුවෙන් එම ප්‍රදේශයේ ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.

එමෙන්ම රසායනික පොහොර නොමැති වීමෙන් පුත්තලම ඉඟිනිමිටිය ව්‍යාපරය යටතේ වගාකටයුතු සිදුකරන ගොවීන්ද සිය කුඹුරුවලට බැස උද්ඝෝෂණයක නිරතවෙමින් කියා පැවසුවේ තමන් ගැටලු රැසකට මුහුණ දී ඇති බවයි.

එම ගොවීන් පවසන්නේ අක්කර 6,000 ක පමණ වගා කටයුතු සිදු කළද අක්කර 2,500 කට ආසන්න කුඹුරු ප්‍රමාණයකට මෙතෙක් කිසිදු පොහොරක් නොලැබීමෙන් එම වගාවන් විනාශ වෙමින් පවතින බවයි.

එප්පාවෙල කටියාව යාය 2 ක ප්‍රදේශයේ ගොවීන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේද වී වගාවයි.

එම කුඹුරු සඳහා පොහොර නොලැබීම හේතුවෙන් වගාවන් විනාශවෙමින් පවතින බව පවසා එප්පාවල සුවසෙත ගොවීන් පිරිසක් කුඹුරුවලට බැස උද්ඝොෂණයක නිරත වුණා.

ගොවීන් පවසන්නේ අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිඳු සහනාධාරයක් නොලැබුණු බවයි.

@@@@@@@@@@@@@@@@@@

(04.06.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala)

ගතවූ දිනයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 3,297 දෙනා අතරින් වැඩිම පිරිස වන 648 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 630 දෙනෙක් හඳුනා ගෙන ඇති අතර ඉන් වැඩිම පිරිස වන 155 දෙනෙක් වාර්තා වන්නේ කොළඹ මහා නගර සභා සිමාවෙන්.

එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 409 දෙනෙක් හදුනා ගෙන ඇති බවයි කොව්ඩි-19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

බදුල්ල, ගාල්ල, මාතර, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලින්ද ආසාදිතයින් 100 ඉක්මවා හදුනා ගෙන තිබෙනවා.

වාර්තා වූ ආසාදිතයින් අතරින් 33 දෙනෙක් විදේශගතව සිට පැමිණි පුද්ගලයින්.

ඊයේ (03) දිනයේ හදුනා ගත් නව ආසාදිතයින් සමඟ මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 195,844 ක් දක්වා ඉහළ ගියා.

ගතවූ දිනයේ කොරෝනා මරණ 42 වාර්තා විමත් සමඟ මෙරට මුළු මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1,608 ක් ලෙසයි.

නව කොරෝනා මරණ 42 අතරින් 03 ක් ඊයේ (03) දිනයේදි සිදුවි ඇති අතර අනෙක් මරණ 39 සිදුව ඇත්තේ පසුගිය මැයි 11 සිට ජුනි 02 දක්වා කාලය තුළදී බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

ඒ අතර පිරිමි පුද්ගලයින් 25 ක් සහ කාන්තාවන් 17 දෙනෙකු වනවා.

මේ අතර, හැටන් – කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් තලවකැලේ කටුකැලේ වතුයායේ එකම පවුලේ 13 දෙනෙකු ඇතුළු කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ 24 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව සිදුකළ කොවිඩ් පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා.

එසේම, මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 350,958 දෙනෙකුට මේ වන විට ලබාදී ඇති අතර සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ද පුද්ගලයින් 891,630 දෙනෙකුට ලබාදී අවසන්.

ස්පුට්නික්-වී එන්නතේ පළමු (1) මාත්‍රාව මෙතෙක් ලබා දී ඇති පුද්ගලයින් ගණන 64,986 ක්.

මේ අතර, ගත වු පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයන් 886 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා එලෙස නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 21,975 දක්වා ඉහළ ගියා.

අත්‍යවශ්‍ය සේවා වල නිරත වන පුද්ගලයන් කොළඹට ඇතුල් විමෙන් පසු ඔවුන් පවසන ස්ථාන වල නිශ්චිත වශයෙන්ම සේවය කරන්නේ දැයි සොයා බැලිමේ මෙහෙයුමක් අද (04) සිට ක්‍රියාත්මක වුණා.

ඒ සඳහා පොලිස් කණ්ඩායම් 6 ක් යොදවා ඇති බවයි පොලිස් මුලස්ථානය සඳහන් කළේ.

++++++++++++++++++++++++

OT පැය 448 යි ගෙවීම 150 යි – සුවයට දිවියම කැපකළ සුව විරුවෙක්

(04.06.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉටු කරන සේවාව සුළු පටු නැහැ.

මේ දඹුල්ල රෝහලෙන් වාර්තා වූ එවන් සෞඛ්‍ය සේවකයෙකුගේ අමිල මෙහෙවර ගැන පුවතක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *