පසුගිය පැය විසිහතරේ (24) 886 නිරෝධායන නීති කඩලා

පසුගිය පැය විසිහතරේ (24) 886 නිරෝධායන නීති කඩලා

*********************************************

පසුගිය පැය විසිහතරේ (24) 886 නිරෝධායන නීති කඩලා

(04.06.2021 – 06:11 +0530 – hirunews.lk/sinhala)

පසුගිය පැය 24 ක කාලය තුළ දැනට බලපැවැත්වෙන නිරෝධායන නීති කඩකල 886 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංචරණ නීති කඩකල මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවරින් 85 ක්, මාතලෙන් 147 සහ කුලියාපිටියෙන් සිය (100) ක් වශයෙනි.

ඒ අනුව මේ දක්වා සංචරණ නීති කඩ කිරීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත් සංඛ්‍යාව 21,975 ක් දක්වා ඉහළ යනවා.

මීට අමතරව ඊයේ (03) දිනය තුළ බස්නාහිරට ඇතුළු වන සහ පිටවන ස්ථාන වලදී පුද්ගලයින් 4191 පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

මෙයින් වාහන 154 ක ගමන් කළ 275 දෙනෙකු සංචරණ සීමා උල්ලංඝනය කර පළාත් අතර ගමන් කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් නැවත ආපසු හරවා යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

එමෙන්ම ඊයේ (03) උදෑසන 06:30 සිට 09:30 දක්වා වන පැය තුනක (3) කාල සීමාව තුළ දී කොළඹ නගරයට වාහන 62,235 ක් ඇතුළු වී ඇති බව ඒ පිළිබඳව කරන ලද සමීක්ෂණයකදී හෙළි වී තිබෙනවා.

මෙහිදී කිසිදු පිළිගත හැකි අවශ්‍යතාවක් නොමැතිව කොළඹ නගරයට ඇතුළු වීමට උත්සාහ කළ වාහන සංඛ්‍යාවයි 3% පමණ වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ.

මීට අමතරව ඊයේ (03) දින කොළඹ නගරයට ඇතුළු වූ වාහන වලින් වැඩි ප්‍රතිශතයක් මූල්‍ය ආයතන වල සේවය කරන සේවක සේවිකාවන් ගේ බව මෙම සමීක්ෂණයේ දී හෙළි වී තිබෙනවා.

එම වාහන සංඛ්‍යාව 16,571. එමෙන්ම ඊයේ (03) දිනයේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයත් සේවක සේවිකාවන් රැගත් වාහන සියට දාහතරක් (14%) සහ රාජ්‍ය සේවයට අයත් සේවක සේවිකාවන් රැගත් වාහන සියයට පහළොවක් (15%) මෙලෙස කොළඹ නගරයට ඇතුළු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඊයේ (03) පළමු (1) පැය තුන ඇතුළත කොළඹ නගරයට වැඩිම වාහන සංඛ්‍යාවක් ඇතුළු වී ඇත්තේ හයිලෙවල් මාර්ගයෙන් වන අතර දෙවැනියට (2) වැඩිම වාහන සංඛ්‍යාවක් කොළඹ නගරයට ඇතුළු වී ඇත්තේ නුවර මාර්ගයෙන් ෴

+++++++++++++++++++++++

(04.06.2021 – 07:00 +0530 – hirunews.lk/sinhala)

සංස්ථා,දෙපාර්තමේන්තු, හා පෞද්ගලික ආයතන අංශ ප්‍රධානීන් ගෙන් ලබාගන්නා ලිපි අනුව සත්‍ය වශයෙන්ම සේවකයින් එම ආයතන වල සේවය කරන්නේද යන්න සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් හයක් (6) යොදවා මෙහෙයුමක් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව අද (04) දිනය තුළ විශේෂ පොලිස් කණ්ඩායම් සංස්ථා, දෙපාර්තමේන්තුව, ආයතන පරිශ්‍රයන්ට ඇතුළු වී එම ලිපි ලිපි ලේඛන අනුව සේවකයින් රාජකාරියේ නිරත වන්නේ දැයි සොයා බැලීමට නියමිතයි.

මෙම සොයා බැලීම සඳහා තොරතුරු දත්ත එක්රැස් කර ගන්නේ මාර්ග බාධකයන් හිදී ලබා ගන්නා තොරතුරු මතයි.

සංචරණ සීමා බල පැවැත්වෙන මෙම කාල සීමාව තුළ දී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් අනවශ්‍ය ගමන් සිදු කරන බවට ලැබී ඇති තොරතුරු මතයි මෙම මෙහෙයුම සිදුකිරීමට තීරණය කර ඇත්තේ.

මෙම මෙහෙයුමේ දී යම් හෙයකින් එවැනි ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර කොළඹ නගරයට ඇතුළු වී සංචරණ සීමා කඩ කරන්නන් සම්බන්ධයෙන් නිරෝධායන නීතිය අනුව ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා ෴

+++++++++++++++++++++

(04.06.2021 – 07:42 +0530 – hirunews.lk/sinhala)

දැනට බල පැවැත්වෙන නිරෝධායන සහ සංචාරණ නීතිරීති උල්ලංඝනය කරමින් ගල්කිස්ස ප්‍රදේශයේ සම්බාහන ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු (2) සහ එම ආයතනයේ සේවය කළ සේවිකාවන් සිව්දෙනෙකු (4) ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට පත්වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ නිරෝධායන නීති රීති අනුව සම්බාහන ආයතන, රාත්‍රී සමාජශාලා, වෙරළ සාද, ප්‍රිය සම්භාෂණ ආදිය පැවැත්වීම නීති විරෝධී බවයි.

+++++++++++++++++++

(04.06.2021 – 08:11 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු හෝටලයක පැවති සාදයට සහභාගී වූ බව කියන ප්‍රසිද්ධ කලා පවුලක සාමාජිකාවක් ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව අද (04) ජාතික පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

එම වාර්තාව පහතින් :

++++++++++++++++++++++

(04.06.2021 – 08:47 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර වාර්ෂික ඇසළ මංගල්‍යය සෞඛ්‍ය උපදෙස් මත චාරිත්‍රවලට පමණක් මුල්තැන දෙමින් සිදුකිරීමට අවධානය යොමුව තිබෙනවා.

ඒ, ඊයේ (03) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

රට තුළ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් බැතිමතුන්ගෙන් තොරව හුදෙකලාව චාරිත්‍රවලට පමණක් සීමාවී එය සිදු කිරීමට අපේක්ෂා කරන බවයි මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස අමරසිංහ මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව ජූලි 10 වනදා සිට 23 වනදා දක්වා අවසන් මහ පෙරහර පවත්වා 24 වනදා දිය කැපීමේ මංගල්‍යයයෙන් ඇසළ පෙරහර අවසන් කිරීමටයි අදහස් කර ඇත්තේ ෴

+++++++++++++++++++++

(04.06.2021 – 08:50 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික මධ්‍යස්ථාන අද (04) දිනයේත් තොග වෙළඳුන් සහ ජංගම වෙළෙඳසැල් පවත්වාගෙන යන වෙළෙඳුන් වෙනුවෙන් විවෘතව තැබෙනවා.

ඊයේ (03) දිනයේත් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරුණේ තොග වෙළෙඳුන් හා ජංගම වෙළෙඳුන්ට අවශ්‍ය එළවළු සහ පළතුරු මිලදී ගැනීම සඳහායි.

සංචරණ සීමා පැනවීමත් සමඟ සිල්ලර වෙළෙඳසැල් මේ වනවිට වසා දමා ඇති අතර, ඒ වෙනුවට ක්‍රියාත්මක වන්නේ ජංගම වෙළෙඳසැල් පමණයි.

ඒ අනුව බලපත්‍ර ලබාගන්නා පුද්ගලයින්ට කිසිදු බාධාවකින් තොරව ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ එළවළු තොග සහ පළතුරු තොග ලබාගෙන ජංගම අලෙවිසැල් භාවිතයෙන් අලෙවි කළ හැකියි.

ඔවුන්ට අවශ්‍ය එළවළු සහ පලතුරු මිලදී ගැනීම සඳහා ඊයේ (03) දිනයේත් දිවයිනේ බොහෝ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරුණු අතර, ඇතැම් ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු රැගෙන විකිණුම්කරුවන් පැමිණ සිටියද ගැනුම්කරුවන් පැමිණ සිටියේ ඉතා අඩු ප්‍රමාණයක්.

ඒ හේතුවෙන් එම ආර්ථික මධ්‍යස්ථානවල එළවළු තොග මිල පහත වැටී තිබුණා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (03) දින එළවළු මිල සැළකිය යුතු ලෙස පහත වැටී තිබුණා.

එහි වෙළඳ සංගමය ප්‍රකාශ කළේ ලීක්ස්, බෝංචි, කැරට් වැනි උඩරට එළවළු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 150 ත් 250 ත් අතර පැවති බවයි.

වම්බටු, මෑකරල්, කරවිල, පිපිඤ්ඤා වැනි පහත රට එළවළු කිලෝවක තොග මිල සටහන් වූයේ රුපියල් 100 ත් 150 ත් අතර අගයකයි.

අමු මිරිස් කිලෝවක් රුපියල් 190 ත් 200 ත් අතර මිලක පැවති අතර, තක්කාලි කිලෝවක් අලෙවි වුණේ 120 ත් 150 ත් අතර මිලකටයි ෴

++++++++++++++++++++++++

(04.06.2021 – 08:55 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතය හමුවේ සිය අමාත්‍යාංශ, ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් ආර්ථිකයේ සුරක්ෂිතතාවට මුල්තැන දෙමින් ඉදිරියට ගෙන යාමට වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරුන් පවසනවා.

රාජ්‍ය අමාත්‍යාංශවල ප්‍රගතිය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (03) ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවකදී විමසුමට ලක් කර තිබෙනවා.

එම අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරුන් සිය අමාත්‍යාංශය හරහා ජනතාවට සිදුකර ඇති වැඩපිළිවෙල පිළිබඳව කරුණු ඉදිරිපත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ, ඒ, රාජ්‍ය අමාත්‍යාංශ වෙත පැවරී ඇති කාර්යභාරය, ඉලක්ක සපුරාගැනීම හා ඉදිරි සැළසුම් රාජ්‍ය අමාත්‍යවරු එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@

(04.06.2021 – 06:51 +0530 – hirunews.lk/sinhala)

අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලිය බිඳ වැටීමක් නිසා, කොලොන්නාව, මොරගස්මුල්ල, රාජගිරිය සහ රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රදේශයේ ජල සැපයුමට බාධා එල්ලවී තිබෙනවා.

මෙම තත්වය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගන්නා බවයි ජලසම්පාදන මණ්ඩලය පවසන්නේ ෴

******************************************

(04.06.2021 – 06:26 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්වය තවදුරටත් පවතී යයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර සබරගමුව වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

මේ අතර බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වඩා වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකියි.

මේ අතර මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් සථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලවදී තාවකාලික තද සුළං මගින් හා අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාව ඉල්ලා සිටින්නේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද අලුයම නිකුත් කළ වර්ෂාව පිළිබඳව රතු නිවේදනය පහතින් :

දිවයින වටා මුහුදේ කාලගුණ ස්වභාවය පහතින් :

******************************************

(04.06.2021 – 07:39 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ ‘එම්.වී. එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාවේ නිරීක්ෂණ කටයුත්තක් සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් අද (04) දින එහි යාමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

පවතින කාලගුණ තත්ත්වය යහපත් වුවහොත් නාවික හමුදාවේ ද සහයෝගය ලබාගෙන මෙලෙස නෞකාව නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ.

මෙම නිරීක්ෂණ සංචාරය සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සහභාගී වීමට නියමිතය.

එමෙන්ම ඊයේ (03) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කීපයක් සටහන් කරගෙන තිබෙනවා.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට මෙම නෞකාව ගමන ආරම්භ කළ දින පටන් එම නෞකාවේ මව් සමාගම සහ මෙරට ඒජන්තවරයා අතර සිදු කළ සියලු විද්‍යුත් තැපැල් ගනුදෙනු පිළිබඳ තොරතුරු රැස්කරගෙන තිබෙනවා.

එහිදී නෞකාවේ කපිතාන්වරයා විසින් අදාල මවු සමාගමෙන් සහ මෙරට නියෝජිතයාගෙන් කළ ඉල්ලීම් සහ ඒවාට ලබාදුන් උපදෙස් පිළිබඳව විමර්ශනයක් සිදුකෙරෙනවා.

(04.06.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනීමට ලක් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකාව මුහුදු තීරයට ඇතුළු වූ ආකාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරින්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ හා ධීවරයින් පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය හා නාරා ආයතනය මෙන්ම, වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ පසුගියදා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ අදාළ නෞකාව ගිනි ගැනීම හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුව ඇති බවයි.

ඒ හේතුවෙන් ධීවරයන්ට සිය රැකියාව කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඔවුන්ගේ ජීවනෝපාය අහිමිවී ඇති අතර, මෙරට ආර්ථික, සංචාරක හා නාවික ක්ෂේත්‍රයන්ට විශාල අගතියක් සිදුව ඇති බවත්, පෙත්සම්කරුවන් පෙන්වා දී තිබෙනවා ෴

******************************************

මහමග තනිවූ කත මහවැසි මැද

(04.06.2021 – 08:33 +0530 – hirunews.lk/sinhala)

සංචාරණ සීමා ක්‍රියාත්මක අවස්ථාවේදී 70 හැවිරිදි රෝගී කාන්තාවක් මහමග දමා ගොස් සිටියදී මත්තෙගොඩ පොලිසියේ නිලධාරීන් මැදිහත් වී ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට ඊයේ (03) රාත්‍රී පියවර ගත්තා.

මෙම කාන්තාව මීට දින දෙකකට (2) පමණ පෙර හොරණ මහරගම මාර්ගයේ දීපංගොඩ ගුවන් පාලම අසලට කිසිවෙකු විසින් ගෙනවිත් දමනුලැබ ඇතැයි පැවසෙනවා.

මේ අතර ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් ගුවන් පාලම යට වැසි ජලය එක් රැස් වී, අඩි දෙකක් (2) පමණ මාර්ගය ජලයෙන් යට වී තිබෙනවා.

මේ හේතුවෙන් රෝගී කාන්තාව ඇය සතු බඩුබාහිරාදිය ද සමග ජලය මැද පුටුවක් තබාගෙන රැඳී සිට ඇති බවටයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාට ලද තොරතුරක් අනුව නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කලා.

එහිදී එම කාන්තාව තරමක අසනීප තත්ත්වයකින් පසුවන බව අනාවරණය වීමෙන් අනතුරුව 1990 සුවසැරිය ගිලන් රථයකින් ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තා.

මෙම කාන්තාව පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතය බවයි රෝහල් ප්‍රකාශකයකු පැවසූවේ.

මෙම කාන්තාව මොරටුව ප්‍රදේශයේ පදිංචි හැත්තෑ (70) හැවිරිදි අවිවාහක කාන්තාවක් බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මත්තේගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴

******************************************

(04.06.2021 – 08:55 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර ඇල්ල දේවාලය ආසන්නයේ සිදුවූ නාය යාමකින් පුද්ගලයන් තිදෙනෙකු (3) අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

******************************************

(04.06.2021 – 08:58 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයෙකු හදිසියේ මියයෑමට හේතුව අනාවරණ වී තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ ‘අයිස් මත්ද්‍රව්‍ය’ විෂවීමකින් ඔහු මරණයට පත්ව ඇති බවයි.

ඔහුගේ උදරය තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් හතරක් (4) පමණ සොයාගත් බවද පොලීසිය ප්‍රකාශ කළා.

පෙරේදා රාත්‍රියේ මෙම තරුණයා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඔහු මඩකලපුව පොලීසිය වෙත රැගෙන ගොස් සිටි අවස්ථාවේදී හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙනුයි ඊයේ (03) අලුයම රෝහලට ඇතුළත් කර ඇත්තේ.

එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පසුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ තරුණයා විසින් අයිස් මත්ද්‍රව්‍ය ගිලීම හේතුවෙන් ඒවා විෂවී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *