කොරෝනා මරණවලින් සියයට 84 ක් බෝ නොවන රෝගවලින් පෙළෙන්නන්

කොරෝනා මරණවලින් සියයට 84 ක් බෝ නොවන රෝගවලින් පෙළෙන්නන්

*********************************************

කොරෝනා මරණවලින් සියයට 84 ක් බෝ නොවන රෝගවලින් පෙළෙන්නන්

(03.06.2021 – 19:38 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව මියගොස් ඇති පුද්ගලයින්ගෙන් සියයට 84 ක්ම බෝ නොවන රෝගවලින් පෙලුනු පුද්ගලයන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ අතර කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන (2) මාත්‍රාව ලෙස රුසියාවේ ස්පුට්නික් එන්නත ලබාදිය හැකිද යන්න සොයාබැලීමට සායනික පරීක්ෂණ සිදුකරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලෙස ස්පුට්නික් එන්නත ලබාගැනීමට ඇති ශක්‍යතාව ඉහළ අගයක පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මතය වී තිබෙනවා.

කෙසේ වෙතත් එය තහවුරු කරගැනීම සඳහා පිළිගත් සායනික පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි එම සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කියා සිටියේ.

මේ අතර පවතින කොරෝනා තත්වය හමුවේ සේවය කිරීමේදී මුහුණදෙන ගැටළුවලට විසඳුම් ඇතුලු ඉල්ලීම් 15 ක් මුල් කරගනිමින් රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින්, හෙද හෙදියන්, රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුලු ක්‍ෂේත්‍ර රැසක සෞඛ්‍ය නිලධාරීන් අද (03) පෙරවරුවේ පැය හතරක (4) කාලයක් සංකේත වැඩවර්ජනයක නිරතවුණා. එම වැඩවර්ජනය හේතුවෙන් දුෂ්කරතාවට පත් රෝගීන් කිහිපදෙනෙකු මෙලෙස අදහස් පළ කළා.

එමෙන්ම දිවයින පුරා තවත් රෝහල් ඉදිරිපිට අද (03) දහවල් විරෝධතාද සංවිධාන කර තිබුණා.

මේ අතර මාස දෙකක (2) පමණ කාලයක් එකදු නිවාඩුවක් හෝ නොලබා නේවාසික කොරෝනා රෝගීන්ට ඇප උපස්ථාන කරන රෝහල් සුළු සේවකයෙකු පිළිබඳ පුවතක් දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලෙන් වාර්තාවුණා.

යූ.ඩී.ඒ. ප්‍රේමකුමාර නම් ඔහු වසර ගණනාවක් තිස්සේ රෝහල් සුළු සේවකයෙකු ලෙස කටයුතු කරන අතර, කොරෝනා වසංගතය ආරම්භයේ සිටම මේ දක්වා දඹුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ කොවිඩ් ප්‍රතිකාර අංශයේ සේවය කරනු ලබනවා.

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2622 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 195,169 ක් ලෙසටයි ෴

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1683 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 162397 ක් ෴

++++++++++++++++++++

(03.06.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පැනවූ පසුගිය මැයි මස 22 වනදා සිට ඊයේ (02) දිනය දක්වා දින 12 ක කාලය තුළ ආසාදිතයන් 34,214 දෙනෙකු වාර්තාවී තිබෙනවා. සංචරණ සීමා පනවා තිබුණද විශාල පිරිසක් ගමනාගමනයේ යෙදෙන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ.

මේ අතර නිරෝධායන නීතිවලට පටහැනිව මහනුවර – කටුගස්තොට – රණවන පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ශිෂ්‍ය නේවාසික කඳවුරක් සෞඛ්‍ය අංශ සහ පොලීසිය එක්ව වටලා තිබෙනවා.

එහිදි අනාවරණ වී ඇත්තේ ශිෂ්‍යයෙකුට කොරෝනා වෛරසයද ආසාදනය වී රෝහල් ගතකර ඇති බවයි.

ඒ අනුව එහි සිටි සිසු සිසුවියන් 50 දෙනෙකු සහ පරිපාලන අංශයේ අටදෙනෙකු (8) දින 14 ක කාලයක් සඳහා නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කළ බව පොලිසිය ප්‍රකාශ කළා.

එමෙන්ම හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් එකම බස් රථයේ ගමන් ගත් 18 දෙනෙකු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.

හපුතලේ සිට බලංගොඩට එකම බස් රථයකින් ගමන් ගත් ඇඟළුම් කර්මාන්තශාලා සේවක සේවිකාවන් පිරිසක් මෙලෙස ආසාදිත බවටයි හඳුනාගෙන ඇත්තේ.

බස් රථයේ ගමන් ගත් තවත් 15 දෙනෙකුට සිදුකළ කොරෝනා පරීක්ෂණයේදී ආසාදිත නොවන බවට හඳුනාගැනුනද ඔවුන් දින 14 ක නිරෝධායනයට යොමුකළ බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

අද (03) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 642 ක් හඳුනා ගැනීමත් සමග මෙරටින් අද (03) දිනයේ වාර්තාවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව තුන්දහසේ (3000) සීමාව ඉක්මවා ගියා. අද (03) වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 3264 ක් ෴

+++++++++++++++++

(03.06.2021 – 21:19 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් කොළඹ ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් විද්‍යාත්මක සහ තාක්ෂණික සාක්ෂි විමර්ශණය කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී තිබෙනවා.

මෙම උපන්දින සාදය පැවැත්වූ හෝටලයේ සී.සී.ටී.වී. දර්ශණ මෙන්ම ඊට අදාළ අනෙක් දත්ත සම්බන්ධව තොරතුරු ලබාගැනීමයි කොළඹ අපරාධ කොට්ඨාශයට පවරා ඇත්තේ.

කෙසේවෙතත් මෙම සිද්ධියට අදාළ අනෙක් පරීක්ෂණ කටයුතු කොළඹ කොටුව පොලිසිය මගින් සිදුකරනු ලබනවා ෴

++++++++++++++++++++

(03.06.2021 – 22:13 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ආසාදිත තවත් මරණ 42 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1608 ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (03) දිනයේ තහවුරු කළ මෙම මරණ අතරින් 3 ක් අද සිදුවූ ඒවායි.

අනෙක් මරණ 39 සිදුවී ඇත්තේ මැයි මස 11 වනදා සිට ඊයේ (02) දිනය දක්වායි.

අද (03) තහවුරු කළ මෙම මරණ අතරට කාන්තාවන් 17 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 25 දෙනෙකු වනවා.

ඉන් පුද්ගලයන් 8 දෙනෙකු නිවසේදී මියගොස් ඇති අතර රෝහල් ගතකරන අවස්ථාව වන විට මියගිය සංඛ්‍යාව 3 ක්.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර 31 දෙනෙකු මරණයට පත්වී තිබෙනවා.

මෙරටින් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 195,844 ක් හමුවී ඇති අතර ඉන් 31,839 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 162,397 ක්.

++++++++++++++++++++

(03.06.2021 – 23:22 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ බ්‍රිතාන්‍ය විසින් ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 7 ක් සම්බන්ධයෙන් රතු නිවේදනයක් “red list” නිකුත් කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානය, බහරේන්, කොස්ටාරිකා, ඊජිප්තුව, සුඩානය සහ ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබෑගෝ මෙම රටවල්වලට අයත්.

ඒ අනුව ශ්‍රී ලංකාවේ හෝ නම් කර ඇති අනෙක් රටවල සිට කිසියම් අයෙකු බ්‍රිතාන්‍යයට පැමිණෙන්නේ නම් ඔවුන් අනිවාර්යෙන් හෝටලයක නිරෝධායනයට ලක්විය යුතු වනවා.

මෙම අවදානම් නිවේදනය ජුනි 8 වනදා උදෑසන 4 සිට බලපැවැත්වෙනු ඇති ෴

@@@@@@@@@@@@@@@

(03.06.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මාසයේදී දිවයිනේ බොහෝ දිස්ත්‍රික්කවලට අපේක්ෂා කළ මට්ටමට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

අන්තර් මෝසම්, පෙර මෝසම් වැසි විශාල වශයෙන් ලැබීම ඊට හේතුව බවයි එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා ආචාර්ය ශිරෝමණී ජයවර්ධන මහත්මිය කියා සිටියේ.

කෙසේ වෙතත් ත්‍රිකුණාමලය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට අපේක්ෂා කළ වර්ෂාවට වඩා අඩු වර්ෂාපතනයක් එම මාසයේදී ලැබී තිබෙනවා.

මේ අතර අද (03) රාත්‍රී කාලයේදීත් බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 150 ට වැඩි ඉතා තද වැසි අපේක්ෂා කරනවා.

අද (03) උදෑසන 08:30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 327 ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තාවි ඇති අතර, නිට්ටඹුවට මිලිමීටර 233.7 ක්, හංවැල්ලට මිලිමීටර 207.5 ක්, කිරිඳිවැල ප්‍රදේශයට මිලිමීටර 203 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

එමෙන්ම පාදුක්කට මිලිමීටර 190.2 ක් සහ පස්යාල ප්‍රදේශයට 169.3 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පවතින අධික වැසි හේතුවෙන් පහත් බිම් රැසක් ද ජලයෙන් යටවී තිබෙනවා.

බුලත්සිංහල – මෝල්කාව මාර්ගයේ පරගොඩ සහ යටගම්පිටිය ප්‍රදේශ ජලයෙන් යට වී තිබෙනවා. එසේම පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මිදලන ප්‍රදේශයද ජලයෙන් යටව ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එසේම මීරිගම, රද්දල්ගොඩ, තිරුවානවත්ත, ගම්මානයේ නිවාස කිහිපයක් ද ජලයෙන් යටවී තිබෙනවා.

අත්තනගලු ඔයේ ශාඛාවක් වන දීඇල්ලේඔය පිටාර ගැලීම හේතුවෙන් වේයන්ගොඩ ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් ද ජලයෙන් යට වුණා.

කළු ගඟ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පහත් බිම්වල වාසය කරන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර මහතා කියා සිටියේ.

එසේම පවතින වැසි තත්වය හේතුවෙන් කෑගල්ල, කොළඹ, ගාල්ල, කළුතර, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑමේ අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි.

******************************************

(03.06.2021 – 19:21 +0530 – hirunews.lk/sinhala)

ගිනිගැනීමෙන් පසු මුහුදුබත් වූ ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ සියලු තොරතුරු සටහන් වී ඇති දත්ත රෙකෝඩරය සොයා නාවික හමුදාවේ සහයෙන් ගළවා ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට භාරදීමට අපේක්ෂා කරන බව වෙළද නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් සෙනෙවිරත්න මහතා සඳහන් කළා.

නෞකාව පිළිබඳව දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

කොළඹ වරායට නුදුරෙන් නැංගුරම් ලා තිබියදී මෙම නෞකාවේ ගින්න හටගනු ලැබුවේ පසුගිය විසි වනදා (29) යි. එම ගින්න දින දොළහක් (12) පුරාවට පැවතුනු අතර ඊයේ (02) නෞකාව මුහුදුබත් වුණා.

කෙසේ වෙතත් නෞකාව මෙරටට පැමිණි පසුගිය 19 වනදා අරාබි මුහුදේ පැවති සුළි කුණාටු තත්වය හේතුවෙන් කොළඹ වරායේ කටයුතුවලටද බලපෑම් එල්ලවූ බවයි මෙම මාධ්‍ය හමුවට එක්වූ වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතා සඳහන් කළේ.

නෞකාවෙන් සිදුවූ පරිසර හානි පිළිබඳ විමර්ශනය කිරීමට නාරා ආයතනය පානදුර සිට මාරවිල දක්වා මුහුදු තීරයේ ස්ථාන 17 ක මුහුදු ජලය පරික්ෂාවට ලක්කර තිබෙනවා.

ඊට අමතරව නෞකාව අසලින්ද ජල සාම්පල් කිහිපයක් ලබාගෙන ඇති බවයි එම ආයතනය සඳහන් කළේ. එමෙන්ම වෙරළ තීරයට ගොඩගසා තිබූ මසුන්ද ඔවුනගේ පරික්ෂාවට ලක් වුණා.

මේ අතර නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරත සමාගම දැනුම් දී තිබුණේ ගින්නත් සමග එහි ඉන්ධන ද දැවී ගොස් ඇති බවයි.

ඒ අනුව නාවික හමුදාවේ 9 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් මුහුදුබත් වෙමින් පවතින නෞකාව ආශ්‍රිත මුහුදු පත්ල පරීක්ෂා කළද අදාල ප්‍රදේශයේ පවතින අපැහැදිළි තත්වය හේතුවෙන් එය සාර්ථක වී නැහැ.

එසේම යම් හෙයකින් තෙල් කාන්දුවක් සිදු වූවහොත් එය පාලනය කිරීම සඳහා පාලන බෝයාවක් සූදානම් කර ඇති බවයි නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර උණවටුන වෙරළට ගොඩ ගසා තිබූ මියගිය කැස්බෑවාගේ මරණයට හේතුව ගිනි ගත් නැවේ රසායන ද්‍රව්‍ය විෂවීමක් දැයි සොයා බැලීම සඳහා කැස්බෑවාගේ සිරුර අත්තිඩිය වනජීවි පශු වෛද්‍ය කාර්යාලයට යොමුකරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් සංජීවනී පතිරණ නියෝග කළා.

ඒ, හික්කඩුව වනජීවි කාර්යාලය විසින් කළ කරුණු දැක්වීමක් අද සළකා බැලීමෙන් අනතුරුවයි.

මුහුදුබත් වෙමින් පවතින පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳව සහ වන්දි ලබාගැනීමේ හැකියාව සම්බන්ධයෙන් මහා සංඝරත්නය මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ද අද (03) විවිධ අදහස් පළ කළා.

******************************************

(03.06.2021 – 20:05 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ දැවැන්තම ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන සපුගස්කන්ද තෙල් පිරිපහදු අංගනය සඳහා විදේශ ආයෝජන ලබාගැනීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළා.

ඔහු පැවසුවේ කිසිසේත් එම ව්‍යාපෘතිය පෞද්ගලීකරණය නොකරන බවයි.

******************************************

(03.06.2021 – 22:34 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ නිරිතදිග කොටසේ ප්‍රදේශ රැසකට බලපෑම් කර ඇති වැසි තත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටයි මෙම වැසි තත්වයෙන් බලපෑම් එල්ලවී ඇත්තේ.

මෙම වර්ෂාව අද (03) රාත්‍රියේ සහ හෙට (04) දිනයේත් පැවතිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ද ඇතිවිය හැකියි.

අද (03) පෙරවරු 08:30 සිට රාත්‍රී 10 දක්වා ගතවූ කාලය තුල වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ හොරණ ප්‍රදේශටයි. එය මිලිමීටර් 145.5 ක්. මිනුවන්ගොඩ ප්‍රදේශයට මිලිමීටර් 141.5 ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර බණ්ඩාරගමට මිලිමීටර් 139.5 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. අදාළ කාලය තුල යක්කල ප්‍රදේශයට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 136.5 ක්. කටුනායක ප්‍රදේශයට මිලිමීටර් 133.6 ක සහ ඇහැලියගොඩ ප්‍රදේශයට මිලිමීටර් 112 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *