අස්වැන්න මිලදී ගෙන ජනතාවට නොමිලේ ලබාදෙන්න රජයේ සූදානමක්

අස්වැන්න මිලදී ගෙන ජනතාවට නොමිලේ ලබාදෙන්න රජයේ සූදානමක්

*********************************************

අස්වැන්න මිලදී ගෙන ජනතාවට නොමිලේ ලබාදෙන්න රජයේ සූදානමක්

(03.06.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පැවතීමත් සමඟ අර්බුදයට ලක්ව ඇති ඇතැම් ගොවීන්ගේ අස්වැන්න මිලදී ගෙන මහජනතාවට නොමිලේ ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වගා කර ඇති පැපොල්, කෙසෙල්, මඤ්ඤොක්කා, පළතුරු, එළවළු අස්වනු නෙලා ගත්ත ද ඒවා බෙදා හැරීම සඳහා ගැණුම්කරුවන්ට පැමිණීමට ඇති අපහසුව සලකායි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව ජනතාවට මෙන්ම කොරෝනා වසංගතය මැඬ පැවැත්වීම සඳහා කැපවී සිටින සෞඛ්‍ය, ආරක්ෂක ඇතුලු අනෙකුත් කාර්ය මණ්ඩලයට ඒවා නොමිලේ බෙදාදීමට වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබෙනවා ෴

++++++++++++++++++++++

(03.06.2021 – 13:38 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘත කිරීමත් සමග එළවළු මිල සැළකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා.

එහි වෙළඳ සංගමය ප්‍රකාශ කළේ දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම එළවළු රැගත් ලොරි රථ අද (03) දිනයේ ආර්ථීක මධ්‍යස්ථානය වෙත පැමිණි බවයි.

ලීක්ස්, බෝංචි, කැරට් වැනි උඩරට එළවළු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 150 ත් 250 ත් අතර පැවති අතර, වම්බටු, මෑකරල්, කරවිල, පිපිඤ්ඤා වැනි පහත රට එළවළු කිලෝවක තොග මිල සටහන් වූයේ රුපියල් 100 ත් 150 ත් අතර අගයකයි.

අමු මිරිස් කිලෝවක් රුපියල් 190 ත් 200 ත් අතර මිලක පැවති අතර, තක්කාලි කිලෝවක් අලෙවි වුණේ 120 ත් 150 ත් අතර මිලකටයි.

මේ අතර, පෑලියගොඩ මත්ස්‍ය වෙළදපළ ද තොග වෙළදාම සඳහා අද (03) පෙරවරුවේ විවෘත වුවද භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණෙන තොග වෙළදුන්ගේ අඩුවක් දක්නට ලැබුණා.

එසේම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට ද අද (03) දිනයේ එළවළු සහ පළතුරු තොග පැමිණෙන අයුරු දක්නට ලැබුණු අතර උදෑසන 08:30 පමණ වන විට එළවළු කිලෝ 30,000 කට ආසන්න ප්‍රමාණයක් සහ පළතුරු කිලෝ 10,000 ක් පමණ ලැබී තිබූ බවයි වාර්තා වූයේ ෴

+++++++++++++++++++++++

(03.06.2021 – 15:01 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වූ ප්‍රමුඛතම ක්ෂේත්‍රයක් වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයයි.

එවන් පසුබිමක කැලෑ තරණය කරමින් ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය හැදෑරීමට සිදුව ඇති දරුවන් පිරිසක් පිළිබඳ පුවතක් මොණරාගල – බටුගම්මන ප්‍රදේශයෙන් වාර්තා වුණා.

කොවිඩ් තත්ත්වය මත පාසල් අධ්‍යාපන කටයුතු අත්හිටුවීමට සිදුවීම හේතුවෙන් ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදුකිරීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගත්තා.

කෙසේ වෙතත් ප්‍රදේශ රැසක දරුවන් මේ හරහා අපහසුතාවයට පත්වූයේ අන්තර්ජාල දුරකතන සංඥා පහසුකම් එම ප්‍රදේශවලට නිසි ලෙස නොලැබීම හේතුවෙන්.

මියනවත්ත, පොල්ගහකඳුර, ඇල්ල, කොටිගල්හේන, ගරාහෙල ඇතුළු ගම්මාන රැසක දරුවන් විශාල පිරිසක් එම ප්‍රදේශවල අන්තර්ජාල පහසුකම් නොමැතිවීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබෙනවා.

මෙම දරුවන්ට කිලෝමීටර් 5 ක් පමණ දුර ගෙවා කැළයේ ඇති ගලක් මතට වී අන්තර්ජාල පහසුකම් ලබාගෙන අධ්‍යාපන කටයුතු හැදෑරීමට සිදුව ඇත්තේ එම පසුබිම තුළයි.

දුෂ්කරතාවයකින් තොරව අධ්‍යාපන කටයුතු හැදෑරීම සඳහා මෙම ප්‍රදේශයට අන්තර්ජාල දුරකතන සංඥා ලබාදෙන මෙන් ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

++++++++++++++++++++++++

(03.06.2021 – 15:11 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීතිවලට පටහැනිව මහනුවර – කටුගස්තොට – රණවන පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ශිෂ්‍ය නේවාසික කඳවුරක් සෞඛ්‍ය අංශ සහ පොලීසිය එක්ව වටලා තිබෙනවා.

එහිදි අනාවරණ වී ඇත්තේ ශිෂ්‍යයෙකුට කොරෝනා වෛරසයද ආසාදනය වී රෝහල් ගතකර ඇති බවයි.

ඒ අනුව එහි සිටි සිසු සිසුවියන් 50 දෙනෙකු සහ පරිපාලන අංශයේ අටදෙනෙකු (8) දින 14 ක කාලයක් සඳහා නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කළ බව පොලිසිය ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++++

(03.06.2021 – 16:05 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්වය මත ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන සහ ආගමික ස්ථාන සඳහා සංකේතාත්මකව ආධාර පාර්සල් බෙදා දීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද (03) සිදුවුණා.

ඒ අනුව ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන, මෙහෙණි ආරාම ඇතුළු සියලුම ආගමික ස්ථානවලට සතොස ආයතනයේ සහයෙන් වියලි ආහාර සලාක පාර්සලයක් හිමි වනු ඇති ෴

++++++++++++++++++

(03.06.2021 – 18:07 +0530 – hirunews.lk/sinhala)

හුංගම ප්‍රදේශයේ රුපියල් පන්දහසේ (5000) දීමනාව බෙදාදීමේ අවස්ථාවක තියුණු අයුධයක් රැගෙන පැමිණ නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බව කියන කාන්තාවක් අද (03) හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඡන්ද නාමලේඛනයට නම ඇතුළත් නොවන අයට පන්දහසේ (5000) දීමනාව නොලැබෙන නිසා මෙම කාන්තාව තියුණු අයුධයක් රැගෙන පැමිණ ඡන්ද නාමලේඛනයට තම නම ඇතුළත් කර දෙන ලෙස ග්‍රාම නිලධාරිවරයාට තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් වැඩිදුර පරීක්ෂණ හුංගම පොලිසිය විසින් ක්‍රියාත්මක කරනවා ෴

@@@@@@@@@@@@@@@@@

(03.06.2021 – 13:47 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ආනයනය නතර කිරීමට රජය ගත් තීරණයත් සමඟ ගොවින් දැඩි අර්බුදයකට මුහුණදී සිටිනවා.

මෙරට යල කන්නයේ වාර්ෂිකව වගා කරන කුඹුරු ප්‍රමාණය අක්කර ලක්ෂ විස්සකට (20) ආසන්නයි.

ඉන් වාර්ෂිකව වී ටොන් ලක්ෂ 50 ක් පමණ නිපදවනු ලබනවා.

ගොවින් පවසන්නේ මේ වනවිට රුපියල් 1500 ක් වැනි මිලකට අලෙවි වූ පොහොර මිටියකට මේ වනවිටත් රුපියල් 3,000 ක මිලක් ගෙවීමට සිදුව ඇති බවයි.

මේ අතර ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කර සිටියේ පොහොර සඟවාගෙන වැඩිමිලට අලෙවි කිරීම සඳහා සූදානම්ව සිටින පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

******************************************

(03.06.2021 – 13:49 +0530 – hirunews.lk/sinhala)

ගිනිගත් ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව සම්බන්ධයෙන් මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකළා.

පසුගිය 30 වනදා ඇය මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ විෂ රසායනික ඇතුළත් නෞකා දෙකකින් (2) එකක් (1) දිවයිනට පැමිණි බවයි ෴

++++++++++

******************************************

(03.06.2021 – 00:00 +0530 – hirunews.lk/sinhala)

ගිලෙමින් පවතින එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාව පිළිබඳව සහ වන්දි ලබාගැනීමේ හැකියාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ විවිධ අදහස් :

******************************************

(03.06.2021 – 14:08 +0530 – hirunews.lk/sinhala)

එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සේවා පුළුල් කිරීමට දෙරටේ අවධානය යොමුව තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් අලී අල් සයෙක් සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා අන්තර්ජාලය ඔස්සේ පැවති රැස්වීමකදියි මේ පිළිබඳව කරුණු සාකච්ඡා වී ඇත්තේ.

දෙරටේ ආයෝජන සහ වෙළඳාම වැඩිදියුණු කිරීම සඳහා රටවල් අතර යෝජිත ආයෝජන ප්‍රවර්ධන ගිවිසුම් කඩිනමින් අවසන් කිරීමට හැකි බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී අවධාරණය කර තිබෙනවා ෴

******************************************

(03.06.2021 – 15:10 +0530 – hirunews.lk/sinhala)

මිනිස් ජීවිත රැසක් දැඩි අවදානමට හෙලමින් තිබූ බලන්ගොඩ වලේබොඩ කම්බි පාලම පිළිබඳ අප ‘රතු මිනිත්තුව’ ඔස්සේ අනාවරණ කළා.

මාස කිහිපයක් ඉක්මයන්නටත් මත්තෙන් බලධාරීන් ඒ පිළිබඳ අවධානය යොමු කර ඊට කඩිනමින් විසඳුම් ලබාදීම සතුටට කරුණක්.

බලන්ගොඩ වලේබොඩ ප්‍රදේශයෙන් ගලා බසිනා ගලා බසිනා වළවේ ගඟ හරහා ඉදි කෙරුණු කම්බි පාලම වසර කිහිපයක සිට දැඩි ලෙස අබලන්ව ඇති බව අප ‘රතුමිනිත්තුව’ ඔස්සේ අනාවරණ කළා.

එම ප්‍රදේශයේ 200 කට ආසන්න ජනතාවක් සිය දෛනික අවශ්‍යතා ඉටු කරගැනීමට එගොඩ මෙගොඩ ගමන් යන්නේ මෙම පාලම මතිනුයි.

අදාළ ගැටළුව පිළිබද කළ හෙළිදරව්වෙන් පසු මේ සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන් කඩිනමින් ඊට පිළියම් යෙදීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව වසර ගණනක් දැඩි ලෙස අබලන්ව පැවති බලංගොඩ වලේබොඩ කම්බි පාලම ප්‍රතිසංස්කරණයට ලක්ව ඇත්තේ මෙලෙසින්.

******************************************

(03.06.2021 – 15:12 +0530 – hirunews.lk/sinhala)

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම්දීම සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

******************************************

(03.06.2021 – 15:13 +0530 – hirunews.lk/sinhala)

පවතින වැසි තත්වය හේතුවෙන් කෑගල්ල – දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

පවතින වැසි තත්වය හේතුවෙන් කොළඹ, ගාල්ල, කළුතර, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ගාල්ල – නෙලුව, කළුතර – බුලත්සිංහල, රත්නපුර – ඇහැලියගොඩ සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත දෙවන අදියරේ අනතුරු ඇගවීමක් ද එමඟින් නිකුත් කෙරුණා ෴

******************************************

(03.06.2021 – 15:59 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ කිහිපයක දැනට පවතින වැසි තත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ නිරිතදිග කොටසේ විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටයි මෙම අයහපත් කාලගුණික තත්වයෙන් බලපෑම් එල්ලවී ඇත්තේ.

අද (03) ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ද ඇතිවිය හැකියි.

මේ අතර අද (03) පෙරවරු 9 න් අවසන් වූ ගතවූ පැය 24 ක කාලය තුල ගංගා කිහිපයක ජල පෝෂක ප්‍රදේශවලින් වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ කලු ගඟේ ඇල්ලගාව ප්‍රදේශටයි. එම ප්‍රමාණය මිලිමීටර් 314.6 ක්.

කැළණි ගඟේ හංවැල්ල ප්‍රදේශයට මිලිමීටර් 178.3 ක වර්ෂාපතනයක් වාර්තාවී තිබෙනවා. මගුරු ගඟේ මගුර ප්‍රදේශයේ සටහන් වී ඇති වර්ෂාපතනය මිලිමීටර් 121.8 ක් ෴

******************************************

(03.06.2021 – 16:38 +0530 – hirunews.lk/sinhala)

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කිරීමට වැඩපිළිවෙළ රැසක් සැලසුම් කර තිබෙනවා.

පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මොනවාද යන්න පිළිබඳව අධ්‍යයනය කර ඒවා ආනයනය කිරීමටත්, මෙරටදී නිපදවිය හැකි යන්ත්‍ර රජයේ කර්මාන්තශාලාව සහ යුද හමුදා ඉංජිනේරු බලකායේ දායකත්වයෙන් සාදා ගැනීමටත් පියවර ගන්නා ලෙසටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

ඊයේ (02) පස්වරුවේ කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබාදී තිබෙනවා.

පොහොර නිෂ්පාදනය පළාත් පාලන ආයතන මට්ටමින් සිදුකිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණා.

එම ආයතනවලට තාක්ෂණික දැනුම ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පැහැදිලි කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කාබනික පොහොර නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය ග්‍රාමීය පරිසරයෙන්ම සපයා ගැනීමට හැකියි.

එමගින් ගමේ පවිත්‍රතාවය සහ සුන්දරත්වය ද රැකෙන අතර සමෘද්ධිලාභීන් ඊට දායක කරගැනීමෙන් අලුත් ග්‍රාමීය ආර්ථිකයක් ගොඩනගා ගත හැකි බව ඔහු පෙන්වාදී තිබෙනවා.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අභියෝග පැමිණිය හැකියි.

එහෙත් ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාරව නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීම වෙනුවෙන් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය තහවුරු කළ යුතු වනවා.

ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වීමේදී ලෝකයේ බොහෝ දෙනෙක් එය කළ නොහැක්කක් බව ප්‍රකාශ කළ අතර කාබනික පොහොර වැඩසටහන කෙරෙහි ඇත්තේ ද එවැනිම මතයක්.

එය ජයගැනීම යුගයේ අවශ්‍යතාවක් බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේ.

මෙම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම උදෙසා ගොවියාට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය හිඟයකින් තොරව ලබාදීම අනිවාර්යය බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ කාබනික පොහොර ප්‍රමාණය මෙරටදී නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන අතර යම් අඩුවක් සිදු වුව හොත් නිකුත් කිරීමට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය රජය මගින් ගෙන්වා ගබඩා කර තබා ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී කියාසිටියේ.

ගොවීන්ට කාබනික පොහොර නිකුත් කිරීමේදී පස පරීක්ෂා කර අවශ්‍ය ප්‍රමාණය පමණක් නිර්දේශ කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සහ ඒ සඳහා පස පරීක්ෂණයට අවශ්‍ය උපකරණ දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබාදීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළා.

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ගොවියාට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේ.

කාබනික පොහොර භාවිතය පිළිබඳව දැනුවත් කිරීමට මුද්‍රිත උපදෙස් මාලාවක් ගොවීන්ට ලබාදීමට ද මෙහිදී තීරණය කර තිබෙනවා.

පස පරීක්ෂා කරන උපකරණ ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල්වරයාට සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නිල වශයෙන් භාරදීම ද මෙහිදී සිදු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මේ අතර රසායනික පොහොර වැඩි මිලට විකිණීමේ ජාවාරමක් පිළිබඳවත් හිරු ප්‍රවෘත්ති වෙත තිස්සමහාරාමය ප්‍රදේශයෙන් වාර්තා වුණා.

රුපියල් 1500 ක් වැනි මිලකට අලෙවි වූ රසායනික පොහොර මිටියකට මේ වන විට රුපියල් 3000 කට අධික මිලක් ගෙවීමට සිදුව ඇති බව තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවීන් පවසනවා.

මේ අතර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේ වැඩි මිලට පොහොර අලෙවි කරන්නන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවයි.

******************************************

(03.06.2021 – 17:34 +0530 – hirunews.lk/sinhala)

සන්නාමගත ජංගම දුරකථන ලබාදෙන බව පවසමින් රුපියල් කෝටි ගණනාවක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා.

ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ ඊට අදාළ තවත් පැමිණිලි 100 කට අධික සංඛ්‍යාවක් පාරිභෝගිකයන්ගෙන් ලැබී ඇති බවයි.

එමෙන්ම එවැනිම පැමිණිලි 300 කට ආසන්න ප්‍රමාණයක් ලැබීමට නියමිත බවද පොලීසිය සඳහන් කළා.

මුදල් අහිමිවූ, අගතියට පත් පාර්ශව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ප්‍රකාශ කළේ මෙම වංචාව පිටුපස ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක් ඇත්ද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එම ව්‍යාපාරයේ හිමිකරුවන් දෙදෙනා (2) ලබන 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකළ අතර, ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප කිරීමටයි කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝග කළේ ෴

******************************************

(03.06.2021 – 17:49 +0530 – hirunews.lk/sinhala)

රට තුල ලුණු අතිරික්තයක් පැවතීම හේතුවෙන් ලුණු මිල අඩු කිරීමට පියවර ගත් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියාසිටියේ පුත්තලම දිස්ත්‍රික්කයේ ලුණු නිෂ්පාදනය කෙරෙන පුත්තලම් ලුණු සමාගම, පෞද්ගලික අංශයේ ලුණු නිෂ්පාදනාගාර සහ ලුණු ලේවායන්වල නිරීක්ෂණයකට එක්වෙමින්.

ඔහු එහිදී පෙන්වා දුන්නේ පසුගිය දිනවල නෞකාවක් ගිනි ගැනීම හේතුවෙන් මෙරට ලුණු කර්මාන්තය කඩා වැටී ලුණු හිගයක් ඇතිවන බවට අනිසි මතවාදයක් මවාපෑමට විවිධ පාර්ශව උත්සාහ කළ ද කිසිදු හිඟයකින් තොරව ඉදිරි වසරකට අවශ්‍ය ලුණු තොග රාජ්‍ය සහ පෞද්ගලික අංශය සතුව පවතින බවයි.

එමෙන්ම තවත් වසරක පරිභෝජනය සඳහා ලුණු නිෂ්පාදනයට අවශ්‍ය මුහුදු ජලය මීට මාස 3 ක පමණ කාලයක සිට රැස්කර අදාළ ලුණු නිෂ්පාදන ක්‍රියාවලියට භාජනය කෙරෙමින් පවතින බව ද ඔහු පෙන්වා දුන්නා.

මේවන විට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ලුණු නිෂ්පාදන ආයතන හා ඉදිරි විනිමය ගිවිසුමකට එළඹ, පවතින මිලට වඩා අඩුවෙන් වසරක කාලයක් පුරා ස්ථාවර මිළකට සතොස අලෙවිසැල් හරහා ලුණු අලෙවි කිරීමට කටයුතු සලසා ඇති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

ඒ අනුව ලුණු කැට කිලෝවක් රුපියල් 43 කටත් ලුණු කුඩු ග්‍රෑම් 400 ක් රුපියල් 35 කටත් හිඟයකින් තොරව අලෙවි කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *