ගිලුණු නැව ගැන ඉන්දු – ශ්‍රී ලංකා, නාවික හමුදාපතිවරු සාකච්ජාවක

ගිලුණු නැව ගැන ඉන්දු – ශ්‍රී ලංකා, නාවික හමුදාපතිවරු සාකච්ජාවක

*********************************************

ගිලුණු නැව ගැන ඉන්දු – ශ්‍රී ලංකා, නාවික හමුදාපතිවරු සාකච්ජාවක

(03.06.2021 – 09:04 +0530 – hirunews.lk/sinhala)

ගිලෙමින් පවතින ‘එම්.වී. එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාව සම්බන්ධයෙන් ඉන්දීය නාවික හමුදාපතිවරයා සහ මෙරට නාවික හමුදාපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඊයේ (02) පස්වරුවේ ඉන්දීය නාවික හමුදාපති අද්මිරාල් කරම්බීර් සිං දුරකථන මාර්ග ඔස්සේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා සමඟ මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදීම සම්බන්ධයෙන් දෙරටේ නාවික හමුදාපතිවරු දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර, නෞකාව දැනට පවතින ස්ථානයෙන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව වෙළද නාවික ලේකම් කාර්යාලය ප්‍රකාශ කළා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා කියා සිටියේ නෞකාවේ තෙල් කාන්දුවක් ඇති බවට තවමත් වාර්තා වී නොමැති බවයි.

නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරත සමාගම දැනුම් දී ඇත්තේ එහි තිබූ ඉන්ධන ගින්නත් සමග දැවී ඇති බවට විශ්වාසය පළ කරන බවයි.

කෙසේ වෙතත්, එය තහවුරු කර ගැනීම සඳහා නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරත සමාගම කිමිදුම්කරුවන් කණ්ඩායමක් අදාළ නෞකාව පතුල පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව ද වෙළද නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා කියා සිටියා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ යම්හෙයකින් හෝ තෙල් කාන්දුවක් සිදුවුවහොත් එම තෙල් විසිරිය හැකි ප්‍රදේශ මේ වන විට හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව තෙල් විසිරීම පාලනය කිරීමට අවශ්‍ය පාවෙන බෝයාවන් ප්‍රමාණවත් ලෙස සූදානමින් තබා ඇති බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එමෙන්ම, තෙල් විසිරීමක් විය හැකි වෙරළ කලාපයේ ඇති කලපු හා අනෙකුත් සංවේදී කලාප ආරක්ෂා කිරීමට ද පාවෙන බෝයාවන් සූදානම් කර තිබෙනවා.

මේ අතර, පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද විශේෂ සාකච්ඡාවක් අද වරාය අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි.

පෙරවරු 10 ට වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම සාකච්ඡාවට සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය මෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ද කැදවා ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්නට අදාළව චෝදනා එල්ල වූ සියළුම පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක විය යුතු බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසනවා.

කළුතර ප්‍රදේශයේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ෴

******************************************

(03.06.2021 – 11:13 +0530 – hirunews.lk/sinhala)

නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම් හේතුවෙන් පළාත් කිහිපයකට බලපා ඇති වැසි තත්ත්වය හෙට (04) සහ අනිද්දා (05) දිනවලදී ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

තද වැසි පිළිබද අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර ඇති අතර, අද (03) බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි බලාපොරොන්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව අද (03) උදෑසන 06:00 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ඉංගිරිය ප්‍රදේශයට ලැබී ඇති අතර, එය මිලිමීටර් 215.5 ක්.

ඊට අමතරව ගාල්ල – ලංකාගම ප්‍රදේශයට මිලිමීටර් 187.5 ක්, පාහියන්ගලට 183.5 ක්, බුලත්සිංහලට 172.5 ක්, හොරණට 170.5 ක් සහ ඇහැලියගොඩට 145.5 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

පවතින වැසි තත්වය හේතුවෙන් කොළඹ, ගාල්ල, කළුතර, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ගාල්ල – නෙලුව, කළුතර – බුලත්සිංහල, රත්නපුර – ඇහැලියගොඩ සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත දෙවන අදියරේ අනතුරු ඇගවීමක් ද එමඟින් නිකුත් කෙරුණා.

මේ අතර, කළු, කැළණි ගංඟාවල මෙන්ම අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් අත්තනගලු ඔයේ ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල යන ප්‍රදේශවල පහත්බිම්වල ජීවත්වන ජනතාව මෙන්ම කළු ගඟේ මිල්ලනිය, කළුතර, හොරණ, ඉංගිරිය, මතුගම සහ පාලින්ද නුවර යන ප්‍රදේශවල පහත්බිම්වල ජීවත්වන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා කියා සිටියේ ෴

******************************************

(03.06.2021 – 12:25 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව පොලිසිය විසින් ඊයේ (02) රාත්‍රියේ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් ස්ථානයේ සිර මැදිරිය තුළ මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ විසි දෙහැවිරිදි (22) තරුණයෙක්.

ඔහු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු බවයි මඩකලපුව පොලිසිය පවසන්නේ.

අදාළ පුද්ගලයා ඊයේ (02) රාත්‍රියේ මඩකලපුව කරුවන්කර්නි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මඩකලපුව රෝහලේදීය අද (03) සිදුකෙරුණා ෴

******************************************

(03.06.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 ත් 55 ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එම දෙපාර්තමේන්තුව කියා සිටියේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකියි ෴

******************************************

(03.06.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

උණවටුන වෙරළට ගොඩ ගසා තිබූ මියගිය කැස්බෑවාගේ මරණයට හේතුව ගිනි ගත් නැවේ රසායන ද්‍රව්‍ය විෂවීමක් දැයි සොයා බැලීම සඳහා කැස්බෑවාගේ සිරුර අත්තිඩිය වනජීවි පශු වෛද්‍ය කාර්යාලයට යොමුකර වාර්තාවක් ලබාගන්නා ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් සංජීවනී පතිරණ නියෝග කළා.

ඒ, හික්කඩුව වනජීවි කාර්යාලය විසින් කළ කරුණු දැක්වීමක් අද (03) සළකා බැලීමෙන් අනතුරුවයි ෴

******************************************

(03.06.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

යාපනය සහ මන්නාරම යන ප්‍රදේශවලින් රුපියල් කෝටි 4 කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 131 ක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු (3) නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය මාදගල් – මසන්කුඩා මුහුදු වෙරළේ ඩිංගි යාත්‍රාවක සඟවා තිබියදී ඊයේ (02) කේරළ ගංජා කිලෝ 101 යි ග්‍රෑම් 700 ක් සොයා ගැනුණු අතර, එහි වටිනාකම රුපියල් මිලියන 30 කට අධිකයි.

ඒ සමඟ සැකකරුවෙකු ද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, ඔහු ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉලවාලේ පොලීසිය වෙත භාරදී තිබෙනවා.

එමෙන්ම, මන්නාරම උතුරු මුහුදේ නාවික හමුදාව සිදුකළ විශේෂ මුර සංචාරයකදී ගොඩබිම දෙසට යාත්‍රා කළ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කිරීමේදී එහි තිබී කේරළ ගංජා කිලෝ 29 යි ග්‍රෑම් 800 ක් ද සොයා ගැනුණා.

උර දෙකක (2) මේවා අසුරා තිබූ අතර, සැකකරුවන් දෙදෙනෙකු (2) ද නාවික හමුදා භාරයට ගැනුණා.

මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 8 කට ආසන්න බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ ෴

@@@@@@@@@@@@@@@@

ආයුර්වේද ඖෂධහල් විවෘත කරන්න තවම අවසර නෑ

(03.06.2021 – aruna.lk)

ආයුර්වේද ඖෂධ අලෙවිසල් විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබා නොදීම හේතුවෙන් ආයුර්වේද වෛද්‍යවරුන් සහ ආයුර්වේද ඖෂධ භාවිත කරන රෝගීහු දැඩි අසීරුවකට පත්ව ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

ආයුර්වේද ඖෂධ අලෙවිසල් විවෘත කිරීමට අවසර ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් දෙවරක් ලිඛිත ඉල්ලීම් කර අතර දුරකථනය මගින් තුන්වතාවක් කථා කළද මේ වන තෙක් අවසර ලබා දීමට කටයුතු කර නැතැයි ඇමැතිවරයා පැවසීය.

කොරෝනා වසංගතයක් පවතින අවස්ථාවකදී බොහෝ පිරිසක් ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ආයුර්වේද ඖෂධ වර්ග භාවිත කිරීමට පෙළඹී ඇති අවස්ථාවක ආයුර්වේද ඖෂධ ශාලා විවෘත කිරීමට අවසර නොදීම ආයුර්වේද ඖෂධ භාවිත කරන ජනතාවට කරන බලවත් අසාධාරණයක් බවද ඇමැතිවරයා පෙන්වාදේ.

ගම්වල විශාල පිරිසක් ගමේ ආයුර්වේද වෛද්‍යවරයා වෙත ගොස් ශරීර ප්‍රතිශක්තිය වර්ධනය කරන ඖෂධ ඉල්ලා සිටියද එවැනි ඖෂධයන් වෙළෙඳසල් වලින් මිලදී ගැනීමට නොහැකි වීම සහ විසබීජ නාශක ලෙස භාවිත කරන පෙරුම්කායන්, අමුකහ, කොහොඹ තෙල් වැනි දෑ මිලදී ගැනීමට පව‌ා නොහැකි වීම හේතුවෙන් ජනතාව බොහෝ අසරණව ඇතැයිද ඔහු පෙන්වාදෙයි ෴

++++++++++++++++++++

මේ කාඩ්බෝඩ් පෙට්ටියේ කිලෝ සීයක (100) මිනියක් වුණත් ගෙනියන්න පුලුවන් – රටම කතාවෙන හාරදාස් පන්සීයේ මිනීපෙට්ටිය (01.06.2021)

++++++++++++++++++++++

(03.06.2021 – 09:19 +0530 – hirunews.lk/sinhala)

මැනිං වෙළඳ සංකීර්ණය ද අද (02) අලුයම සිට විවෘත කෙරුණා.

මේ අතර, අද (02) සහ හෙට (03) යන දෙදින තුළ දිවයිනේ සියළුම ආර්ථික මධ්‍යස්ථාන ද විවෘතව තැබෙනවා.

තොග වෙළදාම සඳහා මෙලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බවයි වෙළද අමාත්‍යාංශය සදහන් කළේ.

එමෙන්ම, රුපියල් 500 ක මිලකට සකස් කරන ලද එළවළු වර්ග 12 ක් ඇතුළත් සහන මල්ලක් කොළඹ දිස්ත්‍රික්කයේ ඕනෑම ප්‍රදේශයකට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

අවම වශයෙන් පවුල් 50 ක් පමණ සිටින ප්‍රදේශයන්වලට පමණක් ඊට අදාළ ජංගම රථ යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර, මෙම මාසයට අදාළ වැඩිහිටි දීමනා ඇතුළු මහජන ආධාර ගෙවීම්, ඖෂධ බෙදා හැරීම් සඳහා අද සිට තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

අදාළ ගෙවීම් ලබා ගැනීම සඳහා ගෙවීම් කාඩ්පත් හෝ වැඩිහිටි හැදුනුම්පත ඉදිරිපත් කොට තැපැල් කාර්යාල වෙත පැමිණීමේ හැකියාව පවතින බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ ෴

++++++++++++++++++++++

(03.06.2021 – 09:25 +0530 – hirunews.lk/sinhala)

දින 11 කට පසු මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3000 සේ සීමාව ඊයේ (02) ඉක්මවා ගියා.

ඒ අනුව ඊයේ (02) වාර්තා නව ආසාදිතයින් 3306 දෙනා සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 192,547 ක් ලෙසයි.

අවසන්වරට මෙරට දෛනික ආසාදිතයින් 3000 සේ සීමාව ඉක්මවා ගියේ පසුගිය 22 වනදායි.

ඉන් අනතුරුව දින 11 ක් මෙලෙස ආසාදිතයින් වාර්තා වීම 3000 ට අඩු මට්ටමක පැවතියා.

ඊයේ (02) වාර්තා වූ නව ආසාදිතයින් 3306 දෙනාම ‘අලුත් අවුරුදු කොරෝනා පොකුරේ’ ආශ්‍රීතයින් වනවා.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 30,267 ක් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 1,60,714 ක්.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ අලුත් අවුරුදු පොකුර ද 94,000 ඉක්මවා ගොස් ඇති බවයි.

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිත සංඛ්‍යාව 48,815 ක්.

එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයෙන් ද මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින් 32,697 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 19,688 ක්.

මේ අතර, ඊයේ (02) දිනයේදීත් මෙරටින් කොරෝනා මරණ 39 ක් වාර්තා වීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 1566 ක් දක්වා ඉහල ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ (02) දිනයේදී කිසිදු මරණයක් වාර්තා වී නොමැති බවයි.

පසුගිය 17 වනදා සිට මේ මස 01 වනදා දක්වා කාලය තුළ පමණක් මරණ 39 ක් වාර්තා වී තිබෙනවා.

මෙම මරණ වලින් පුද්ගල මරණ 20 ක් වාර්තා වන අතර කාන්තා මරණ වාර්තා වී ඇත්තේ 19 ක් පමණයි.

ඉන් 34 දෙනෙකුම මිය ගොස් ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි.

සිව් (4) දෙනෙකු රෝහල් ගත කරන අවස්ථාව වන විට මිය ගොස් සිටි අය බව සදහන්.

එමෙන්ම, කොරෝනා රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා බස් රථ සපයා ගැනීම බරපතල ගැටළුවක් වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

කොළඹ ඊයේ (2) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ පෞද්ගලික බස් රථ ලබා ගැනීම ගැටළුවක් වී ඇති බැවින් දැනට බස් රථ ලබා ගැනීම සිදුව ඇත්තේ ගමනාගමන මණ්ඩලයෙන් පමණක් බවයි ෴

++++++++++++++++++++++

(03.06.2021 – 09:27 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (02) දිනයේදීත් මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 3306 දෙනාගෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එනම්, 1004 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 501 ක් සහ බදුල්ලෙන් ආසාදිතයන් 251 ක් වාර්තාවී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් වැඩි පිරිසක් වාර්තාවූ ප්‍රථම අවස්ථාවද මෙය වනවා.

ඉන් වැඩි පිරිසක් වාර්තාවී ඇත්තේ මහියංගණය ප්‍රදේශයෙන් වන අතර, එම සංඛ්‍යාව 197 ක්.

එමෙන්ම මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව ද 50,000 ඉක්මවා තිබෙනවා.

ඊයේ (02) දිනයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 501 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙම සංඛ්‍යාව දැක්වුණේ 50,884 ක් ලෙසයි.

හැටන් – කොටගල ප්‍රදේශයෙන්ද නව ආසාදිතයන් 28 දෙනෙකු ඊයේ (02) හඳුනාගෙන ඇති අතර, ඊට එකම පවුලේ ඥාතීන් 11 දෙනෙකුද සිටින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් ඇඟළුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 18 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (02) තහවුරු වී තිබෙනවා.

මෙරට ගුවන් තොටුපලවල් පසුගිය 01 වනදා සිට දිවයිනට පැමිණෙන පිරිස් සඳහා යළි විවෘත කිරීමත් සමඟ අද (02) උදෑසන 08:30 න් අවසන් වූ පැය විසි හතර (24) තුළ මගීන් 989 දෙනෙකු යානා 22 කින් මෙරටට පැමිණ තිබෙනවා.

විදේශකයන් 70 දෙනෙකුද එලෙස දිවයිනට පැමිණි පිරිසට අයත්.

++++++++++++++++++++

(03.06.2021 – 09:44 +0530 – hirunews.lk/sinhala)

නිරෝධානයන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පහේ හෝටලයක උපන් දින සාදයක් පැවැත්වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරුණු 14 දෙනා නිරෝධායනය සඳහා බදුල්ල – පස්සර කළමනාකරණ සංවර්ධන අධ්‍යයන ආයතනයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගියා.

පොලීසිය සඳහන් කළේ මෙම පිරිස සති දෙකක (2) කාලයක් නිරෝධායනයට ලක් කරන බවයි.

සංචරණ සීමා කඩ කරමින් මෙම සාදයට සහභාගි වීමේ චෝදනාව මත පෙරේදා අත්අඩංගුවට ගත් 6 දෙනා සහ ඊයේ (02) පොලිස් භාරයට පත්වූ 7 දෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

එහිදී අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙනිය නියෝග කළේ සැකකරුවන් 13 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටයි.

මෙම උපන් දින සාදය සංවිධානය කළ රූපලාවල්‍ය ශිල්පියා සහ නිරූපන ශිල්පිනිය මීට පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරුණා.

කෙසේ වෙතත් මෙම සැකකරුවන් 13 දෙනා සහ නිරූපන ශිල්පිනිය ඊයේ (02) නිරෝධායනය සඳහා යොමු කිරීමට රැගෙන ගියා ෴

++++++++++++++++++++

(03.06.2021 – 10:02 +0530 – hirunews.lk/sinhala)

සයිනොෆාම් එන්නතේ මාත්‍රා 50,000 කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ (02) දිනය තුළ ලබාදී තිබෙනවා.

එම සංඛ්‍යාව 49,378 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එසේම කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව 1,681 දෙනෙකුට ලබාදී ඇති අතර, ස්පුට්නික්-වී එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 18,514 කට ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

පසුගිය ජනවාරි 29 වන දින සිට ඊයේ (02) දක්වා කොවිෂීල්ඩ්, සයිනොෆාම් සහ ස්පුට්නික් වී එන්නත් තුනෙහි (3) පළමු (1) මාත්‍රාව පමණක් ලබාගත් පුද්ගලයින් 18,34,798 ක්.

අප්‍රේල් මස 23 වන දින සිට දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 3,50,163 ක් වන අතර ඔවුන් සියලුදෙනා කොවිෂීල්ඩ් එන්නත ලබාගත් පුද්ගලයින් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(03.06.2021 – 10:04 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘත කිරීමත් සමග එළවළු මිල සැළකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා.

එහි වෙළඳ සංගමය ප්‍රකාශ කළේ දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම එළවළු රැගත් ලොරි රථ අද (03) දිනයේ ආර්ථීක මධ්‍යස්ථානය වෙත පැමිණි බවයි.

ලීක්ස්, බෝංචි, කැරට් වැනි උඩරට එළවළු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 150 ත් 250 ත් අතර පැවති අතර, වම්බටු, මෑකරල්, කරවිල, පිපිඤ්ඤා වැනි පහත රට එළවළු කිලෝවක තොග මිල සටහන් වූයේ රුපියල් 100 ත් 150 ත් අතර අගයකයි.

අමු මිරිස් කිලෝවක් රුපියල් 190 ත් 200 ත් අතර මිලක පැවති අතර, තක්කාලි කිලෝවක් අලෙවි වුණේ 120 ත් 150 ත් අතර මිලකටයි ෴

+++++++++++++++++++++

(03.06.2021 – 12:09 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා අනතුරු දීමනාව ඇතුලු ප්‍රධාන ඉල්ලීම් පහක් (5) මුල් කරගනිමින් කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන රෝහල් 9 ක සෞඛ්‍ය සේවකයින් අද (03) උදෑසන අටේ (8) සිට දහවල් 12 දක්වා සංකේත වර්ජනයක නිරතවුණා.

ඔවුන් මෙලෙස වර්ජනයක නිරත වූයේ ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය සේවය ද අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඊයේ (02) ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ පසුබිමක වීම විශේෂත්වයක්.

හෙද හෙදියන්, රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය, පර්යේෂණ නිලධාරීන්, ලිපිකරුවන් ඇතුලු තවත් ක්‍ෂේත්‍ර රැසක සෞඛ්‍ය නිලධාරීන් අද (03) මෙම සංකේත වර්ජනය සඳහා එක්ව සිටියා.

කොළඹ ජාතික රෝහල, රාගම, කළුබෝවිල, අනුරාධපුර, මහනුවර ඇතුලු තවත් රෝහල් හතරකයි (4) ඒකාබද්ධ සෞඛ්‍ය සේවකයින් මෙම වැඩවර්ජනය දියත් කරනු ලැබුවේ.

කොරෝනා වෛරසය හමුවේ ලබාදෙන විශේෂ අනතුරු දීමනාව, අනියම් සේවකයින්, සේවය ස්ථිර කිරීම ඇතුලු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් අද (03) උදෑසන අටට (08:00) මෙම වර්ජනය ආරම්භ කළා.

මේ අතර එම සංකේත වර්ජනයට අමතරව අද (03) දහවල් 12 සිට පැය භාගයක (½) කාලයක් ප්‍රධාන රෝහල් ඉදිරිපිට නිහඬ විරෝධතාවක්ද ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ වැඩවර්ජනවලට නොයා සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසදාගැනීමට පියවර ගත යුතු බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *