ගිනි ගත් නැව මුහුදු පත්ලේ ගැටේ

ගිනි ගත් නැව මුහුදු පත්ලේ ගැටේ

*********************************************

ගිනි ගත් නැව මුහුදු පත්ලේ ගැටේ

(02.06.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala)

ගිලෙමින් පැවති ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ පිටුපස කොටස මුහුදු පත්ලේ ගැටීම හේතුවෙන් එය ගැඹුරු මුහුදට ඇදගෙන යාම නතර කර තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියා සිටියේ නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදුවන්නේ ද යන්න සම්බන්ධයෙන් මේ වන විට නිරීක්ෂණය කරමින් පවතින බවයි.

නෞකාව මේ වන විට පවතින ස්ථානයේ ගැඹුර මීටර් 22 ක්.

නෞකාවේ උස මීටර් 54 ක් වන අතර, එය මුහුදුබත් වුවද මුහුදේ ජල මට්ටමට වඩා මීටර් 32ක් පමණ ඉහළට නැවේ කොටස් දිස්වන බවයි වාර්තා වන්නේ.

මීටර 186 ක දිගින් යුත් මෙම නෞකාව ඉන්දියාවේ හසීරා වරායේ සිට බහලුම් 1,486 ක් රැගෙන මෙරට මුහුදු සීමාවට පැමිණ නැංගුරම් ලා තිබියදී අදාළ ගින්න හටගනු ලැබුවේ පසුගිය 20 වනදායි.

ගින්න නිවීම සඳහා ඉන්දියාවේ වෙරළාරක්ෂක බලකාය සතු යාත්‍රා 3 ක් සහ ගුවන් යානයක්ද එක්වුණා. නෞකාව ගිනිගන්නා අවස්ථාවේ ඉන්ධන මෙට්‍රික් ටොන් 322 ක් එහි තිබූ බවයි වාර්තා වූයේ.

ගින්න හටගැනීමත් සමඟ රුසියානු ජාතික කපිතාන්වරයා සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 25 දෙනා ගොඩබිමට රැගෙන ආ අතර, ඊයේ කපිතාන්වරයාට, නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවරයාට සහ නියෝජ්‍ය ඉංජිනේරුවරයාට රටින් පිටවීම වළක්වාලමින් අධිකරණය නියෝගයක්ද නිකුත් කළා.

ජනාධිපති කාර්යාලයේ ඊයේ (01) පස්වරුවේ පැවති සාකච්ඡාවකදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන්නේ ගිනිගත් නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යන ලෙසයි.

ඒ, නෞකාව මුහුදුබත් වීමේ අවදානමක් පවතින බව නාවික හා පරිසර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයින් කළ කරුණු දැක්වීම් සැළකිල්ලට ගනිමින්. ඒ අනුවයි අද (02) පෙරවරුවේ ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම ආරම්භ කෙරුණේ.

යාත්‍රා කිහිපයක ආධාරයෙන් ඇදගෙන යාමේ කටයුතු සිදුකළ අතර, පස්වරු දෙකට (02:00) පමණ නෞකාව නතර කෙරුණේ එහි පසු පස කොටස ගිලී ගොස් මුහුදු පතුලේ ගැටීම හේතුවෙනුයි.

පවතින තත්ත්වය හමුවේ නාවික හමුදාවේ මෙන්ම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු පාර්ශව රැසකගේ අවධානය යොමුව ඇත්තේ යම් හෙයකින් එහි තෙල් කාන්දුවක් සිදුවන්නේ ද යන්න පිළිබදවයි.

එසේ වුවහොත් ඊට මුහුණදීම සඳහා ගින්න නිවීම සඳහා පැමිණි ඉන්දීය නෞකාවල සහය ද ලබා ගැනීමට අපේක්ෂා කරන බව නාවික හමුදාව සදහන් කළා.

එසේම තෙල් විසුරුමක් සිදුවුවහොත් විසුරුම්කාරක ඉසීමේ පහසුකම් සහිත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සමාරක්ෂා නෞකාව, එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්නයට යොමුකර තිබෙනවා.

නෞකාව මුහුදුබත් වුවද යළි කොළඹ වරායට පැමිණෙන නැව්වලට එය බාධාවක් නොවන බවයි වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ.

මේ අතර, පවතින තත්ත්වය හමුවේ පානදුර සිට කොළඹ හරහා මීගමුව – කොච්චිකඩේ දක්වා වෙරළාසන්න මුහුදේ ධීවර කටයුතුවල නිරතවීම තහනම් කර තිබෙනවා. ඒ අනුව නැවත දැනුම් දෙනතුරු මෙම තහනම බලපැවැත්වෙන බවයි ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

+++++++++++

(02.06.2021 – 19:35 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනීමෙන් පසු මුහුදුබත් වූ ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව අයත් සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තමා නායකත්වය දීමට සූදානම් බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ නෞකාව ගිනි ගැනීමෙන් මෙරට මුහුදු තීරයට මෙන්ම පරිසරයට ද දැඩි හානි සිදුව ඇති බවයි.

++++++++++++

රටට සාපයක් වැදිලා.. පාලකයන් ගැන සොබාදහමත් කෝපවෙලා.. රජය ගැන බලාපොරොත්තු සුන් වෙලා.. පාවාදීම් පමණයි.. – අගරදගුරු නිවසේ රට හොල්ලන මාධ්‍ය හමුවක්..

(02.06.2021 – 22:25 +0530 – lankacnews.com)

අද මේ රටට ශාපයක් වැදී ඇත්දැයි සිතන බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සඳහන් කරයි.

පාලකයන් ගේ කටයුතු ගැන ස්වභාවධර්මය පවා උරණ වී ඇති බවද අගරදගුරුතුමන් පැවසූහ.

කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවකදී එතුමන් මෙම අදහස් පල කරන ලදී.

රට ආරක්ෂා කරන්නේ යැයි කියමින් රට භාරගත් කණ්ඩායම රට විනාශකාරී මාවතකට ඇද දමමින් තිබෙන බවද පැවසූ රදගුරුතුමන් එසේ ප්‍රකාශ කිරීමට සිදුවීම වේදනාකාරී අත්දැකීමක් යැයි ද කියා සිටියහ.

දියුණුව යනු රටේ තිබෙන සියලු සම්පත් විකුණා දැමීම නොව රටේ ආත්ම ගෞරවය ආරක්ෂා වන ලෙස සියලු දෙනා කටයුතු කිරීම බව ද උන් වහන්සේ පැවසූහ.

“රට ආරක්ෂා කරනවා කියලා භාරගත් කණ්ඩායම එය විනාශ කරන මාවතකට රට ඇද දමමින් තිබෙන බව ප්‍රකාශ කරන්නට සිදු වීම ඇත්තෙන්ම වේදනාකාරී අත්දැකීමක්. ඇත්තටම මේ රට කොහේටද යන්නේ. කවුද මේක පාලනය කරන්නේ? කවුද මේකේ තීරණ ගන්නේ? කියන තත්වය පිළිබද ඉතාමත් අවිනිශ්චිත පරිසරයක් ඇති වෙලා තිබෙන රටක් බවට පත්වෙමින් පවතිනවා. ඒ නිසා අපි ඇත්තටම මේ රටේ පුරවැසියන් වෙනුවෙන් කියන්න තිබෙන දේ තමයි ‘කරුණාකරලා මේ ගමන නතර කරන්න’.

දියුණුව කියලා කියන්නේ තිබෙන සම්පත් සියල්ල විකුණා දැමීම නෙවෙයි. තිබෙන සම්පත් විකුණා දැමීම පහසු වෙන්න පුලුවන්. නමුත් අපේ ආත්ම ගෞරවය කියලා දෙයක් තිබෙනවා. ආත්ම විශ්වාසය කියලා එකක් තිබෙනවා රටක් ලෙස. එය ආරක්ෂා කර ගැනීම දේශපාලන ලෝකයේ සියලු දෙනාගේ වගකීමක්. ඒ නිසා මේ වෙලාවේ විවිධ රටවල් වලට අපේ භූමිය පූජා කරන්නට ඉදිරිපත් වෙන්න එපා. ආත්ම ගෞරවය ආරක්ෂා වෙන විදියට ඒක කරන්න ඕනේ. නමුත් මේ හැම දෙයක්ම විකුණා දැමීම රටේ ගෞරවයට සම්පූර්ණයෙන් විරුද්ධයි. මුලින් එම්.සී.සී. ගිවිසුම ගැන අපි විරෝධය පළ කළ වෙලාවේ ඒකට ලොකුවට බැඳුනු මේ රජයේ දේශපාලඥයන් අද ඒ තත්වයට වඩා දරුණු තත්වයකට රට පත්කරමින් සිටිනවා කියලා පේනවා. ඒ නිසා ඇත්තටම අපි දුක් වෙනවා.

දැන් අපේ ධීවර ජනතාවට විශාල හානියක් සිදුවෙලා තියෙනවා මේ නැවෙන්. මේ වරාය භාර ඇමතිතුමා සහ එතුමාගේ ඒ මණ්ඩලය මේ පිළිබඳව හරිආකාර පිළිතුරක් අපිට දීලා නෑ. මේ නැව එනකොට, මේ නැව ගිනි ගනිමින් තිබුණා කියලා – දවස් ගණනාවකට පස්සේ අපි පත්තරවල දැක්කා පින්තූර නැව තුළින් යම් ධූමාරයක් එනවා. ඒ වෙලාවේවත් මුකුත් කළේ නෑ මේ නැව ගැඹුරු මුහුදට අරන් යන්න – මේ නැව ප්‍රතික්ෂේප කරන්න. දැන් මුහුදු වෙරළ ඔක්කෝම විනාශ කරලා, මත්ස්‍ය සම්පත ඔක්කෝම විනාශ වුණාට පස්සේ දැන් ‘සුදු ළූණු පොඩි කරන්න’ එනවා. ඒ නැවේ තියෙන තෙල් සේරම කාන්දුවෙලා මුළු මුහුදු වෙරළයි රස්සාවයි ඔක්කෝම නැතුව යනවා අපේ ධීවර ජනතාවට. ඒකට අපිට ඉඩදෙන්න බෑ. ඒක නිසා අපි දැන් ධීවර සංවිධානවලින් ඉල්ලා සිටිනවා ඔක්කෝමල්ලා එකතුවෙලා මේ කොම්පැනියට විරුද්ධව නඩු මාර්ගයට බසින්න කටයුතු කරන්න. ඒ පිළිබඳව නායකත්වය දෙන්න මම බලාපොරොත්තු වෙනවා. මේ රටේ බොරු ගේම් ගෙනියන්න අපිට ඉඩදෙන්න බෑ. මේ කොවිඩ් එකට විරුද්ධව එන්නතක් ගෙන්න ගන්න තරම්වත් සල්ලි නෑ. අපි හිඟාකන තත්ත්වයට වැටිලා. මම යෝජනා කරන්නනේ මේ නැව ගිලෙන්න නොදී පුළුවන් තරම් ගැඹුරු මුහුදට ගෙනියන්න – පුළුවන් තරම් උත්සහ කළ යුතුයි. එහෙම නැත්නම් නැවේ ඉන්ධන සම්පූර්ණයෙන් ම ඉවත් කළ යුතුය.”

වත්මන් රජය පිලිබදව ජනතාව තුළ තිබූ සියලු බලාපොරොත්තු සුණු විසුණු වී ගොස් රට තුළ ඉතා අවිනිශ්චිත පරිසරයක් ඇතිවෙමින් තිබෙන බව ද කී කාදිනල්තුමන් ‘යහපාලනය’ ‘සෞභාග්‍යයේ දැක්ම’ ආදී කුමන තේමාවකින් බලයට පැමිණියද ඒ රජයන් කර ඇත්තේ පාවාදීම් පමණක් යයිද පැවසූහ ෴

******************************************

(02.06.2021 – 18:19 +0530 – hirunews.lk/sinhala)

යාපනය, වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේශයේ නිවසක සිදුවු මළ දරු උපතක් වසන් කරමින් කටයුතු කළ අදාළ දරුවාගේ මව හා පියා අත්අඩංගුවට ගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසනවා.

දරු උපතෙන් පසු අදාළ කාන්තාවට හටගත් අධික රුධිර වහණය හේතුවෙන් එම කාන්තාව යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී සිදුකළ වෛද්‍ය පරීක්ෂන වලදී අණාවරණය වී ඇත්තේ අදාළ කාන්තාව දරුවෙකු ප්‍රසූත කර ඇති බවටයි.

මේ බව රෝහල විසින් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් මෙම සැකකාර මව සහ පියා අත්අඩංගුවට ගෙන යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

අනතුරුව ඔවුන් එළැඹෙන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා ෴

******************************************

(02.06.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala)

වැඩි මිලට අලෙවි කිරීම සඳහා පොහොර සගවාගෙන සිටින අලෙවිකරුවන් සොයා පාරිභෝගික සේවා අධිකාරිය විශේෂ වැටලීමක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (01) රජය විසින් ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පොහොර සගවා ඇති වෙළදුන්ට සිය පොහොර අලෙවි කිරීම සඳහා නිකුත් කරන ලෙසටයි. කෙසේ වෙතත් ප්‍රදේශ රැසක ගොවිජනතාව චෝදනා කරන්නේ පොහොර වෙළදුන් පොහොර සගවා වැඩි මිලට අලෙවි කරන බවටයි ෴

******************************************

(02.06.2021 – 20:28 +0530 – hirunews.lk/sinhala)

ඉකුත් 31 වන දින පස්වරුවේදි වැලිගම – මිරිස්ස ධිවර වරායෙන් මුහුදු ගිය ‘ආකාෂි දුව’ නැමැති කුඩා යාත්‍රාවක් අනතුරට පත්ව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ මෙම යාත්‍රාවේ හිමිකරු ඇතුළු සිව් (4) දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් වැලිගම මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම යාත්‍රාව (01) දින නැවත මිරිස්ස ධීවර වරාය වෙත පැමිණීමට නියමිතව තිබුණා.

නමුත් එසේ නොපැමිණීම හේතුවෙන් මිරිස්ස ධීවර පරික්ෂක කාර්යාලයට, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට සහ වැලිගම පොලිසියට ධීවරයින්ගේ පවුල් වල උදවිය පැමිණිලි කර තිබෙනවා.

කෙසේ නමුත් අනතුරට පත් යාත්‍රාවේ සිටි පිරිස අතරින් තිදෙනෙකු (3) මිරිස්ස ප්‍රදේශයේ ඉන්දුමිණි යාත්‍රාව මගින් බේරාගෙන අද (02) දින නාවික හමුදා යාත්‍රාවකට බාරදී තිබෙනවා.

කෙසේ වෙතත් වැලිගම පැලෑන ප්‍රදේශයේ පදිංචි ධනසිරි නැමැති අනිත් ධීවරයා සිද්ධියෙන් තවමත් අතුරුදන් වී සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුව සහ වැලිගම පොලිසිය පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

@@@@@@@@@@@@@@@@@@

(02.06.2021 – 18:22 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2568 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 191,809 ක් ෴

+++++++++++++++++++++++

(02.06.2021 – 19:09 +0530 – hirunews.lk/sinhala)

ජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෞද්ගලිකවම මැදිහත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

පවතින තත්ත්වය හමුවේ වුවද රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩ තැබිය නොහැකි අතර අභියෝගය ජය ගනිමින් රටක් ලෙස ඉදිරියට යාමේ දී සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බවයි ඔහු කියාසිටියේ.

කර්මාන්තශාලා සහ සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

පළාත් ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමග අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති මාසික හමුවේදීයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ.

කර්මාන්ත ශාලාවක් හෝ සංවර්ධන ව්‍යාපෘතියක් ආශ්‍රිතව ආසාධිතයෙකු හඳුනාගත්විට එම කර්මාන්තශාලාව හෝ ව්‍යාපෘතිය එක්වරම වසා දමනු වෙනුවට සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් අඛණ්ඩව පවත්වාගෙන යාහැකි පරිසරය විමසීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දී තිබෙනවා.

සංචරණ සීමා හමුවේ ජන ජීවිතයට එල්ල වී ඇති අභියෝග සහ ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

නිසි සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් කර්මාන්ත සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට රජය උපදෙස් දී තිබුණ ද ප්‍රාදේශීයව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීමේ දී අඩුපාඩු පැවති බවට කරුණු වාර්තා වී ඇති බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ප්‍රාදේශීය මට්ටමින් ගොවීන්ගේ එළවළු සහ පළතුරු අතිරික්ත මිලට ගෙන බෙදාහැරීමේ යාන්ත්‍රණය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට උපදෙස් දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියාසිටියේ ගොවි ආර්ථිකය බිඳ වැටීමට ඉඩ නොතැබීම අදාළ සියලු පාර්ශ්වයන්ගේ වගකීම බවයි.

දේශීය අරමුදල් සහ විදේශීය ණය ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති අදාළ ඉලක්ක නිසි ලෙස පූර්ණය කළ යුතු වනවා.

රජය විසින් ක්‍රියාත්මක කර ඇති වැව් දස දහසේ (10,000) වැඩසටහන, මාර්ග කිලෝමීටර් ලක්ෂයක් (100,000) සංවර්ධනය කිරීම, ජාතික පාසල් දහස (1000), නිවාස, ප්‍රාදේශීයරෝහල්, පානීය ජලය, පුනර්ජනනීය බලශක්තිය වැනි ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමට රාජ්‍ය අමාත්‍යවරුන් සහ එම ලේකම්වරු සමග සෘජු සබඳතා පවත්වා ගනිමින් කටයුතු කරන ලෙසට ද ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන්ට සහ දිසාපතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එන්නත්කරණය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙරටට අවශ්‍ය සම්පූර්ණ එන්නත් ප්‍රමාණය මේ වන විට ලැබෙමින් පවතිනවා.

විද්‍යානුකුලව හා නිසි සැලැස්මකට අනුව එම ක්‍රියාවලිය සිදු කෙරෙන අතර එහිදී ජනතාව අසීරුතාවයට පත් නොවන අන්දමින් සෞඛ්‍ය අංශවලට අවශ්‍ය සහාය තවදුරටත් ලබාදීම දේශපාලන අධිකාරියේ මෙන්ම ආණ්ඩුකාරවරුන් ප්‍රමුඛ සමස්ත රාජ්‍ය නිලධාරීන්ගෙන් තමා අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර නොමිලේ ලබාදීමට රජය තීරණය කර ඇති අතර කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීමේ අභියෝගය ජයගැනීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස ද ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා කුඩා ව්‍යාපාරිකයන්ට සහ ගොවි සමිතිවලට අවශ්‍ය ආධාර හා රාජ්‍ය බැංකු හරහා සහන පොළියට ණය ලබාදීමට රජය සැලසුම් කර ඇති බව ද මෙහිදී සඳහන් කෙරුණා.

+++++++++++++++++++++++

(02.06.2021 – 19:37 +0530 – hirunews.lk/sinhala)

මාධ්‍යයට සිදුකරන ප්‍රකාශ මුල් කර ගනිමින් තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බව නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ එම විහාරස්ථානයේ ඊයේ (01) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

+++++++++++++++++++++++

(02.06.2021 – 20:12 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 738 ක් වාර්තා වනවා. ඒ අනුව අද (02) මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 3306 ක්. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 192,547 ක් දක්වා ඉහළ ගොස් තිබේනවා.

මේ අතර අද (02) දිනය තුළ ආසාදිතව සිටි 1,504 ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ සමස්තය ගණන 160,714 දක්වා ඉහල ගියා.

අද (02) දිනයේ මෙරට දෛනික කොරෝනා ආසාදිතයන් 3000 සීමාව ඉක්මවා ගියේ දින 12 කට පසුවයි.

මිට පෙර පසුගිය මැයි 21 වනදා මෙරටින් ආසාදිතයන් 3583 ක් වාර්තා වුණා ෴

++++++++++++++++++++++++

(02.06.2021 – 21:06 +0530 – hirunews.lk/sinhala)

හෙට (03) සිට දිවයිනේ සියළු සතොස ශාඛා විවෘත කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේබව කියාසිටියේ අද (02) තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය, අනුරාධපුර සතොස තොග ගබඩා සංකීර්ණය මෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණයකට එක්වෙමින්.

++++++++++++++++++++++++++

(02.06.2021 – 21:57 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරේනා වෛරස් ආසාදිත මරණ 39 ක් වාර්තාවී තිබෙනවා. ඒ අද (02) දිනයේ තවත් මරණ 39 ක් තහවුරු වීමත් සමගයි. ඒ අනුව මෙරටින් වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1566 ක්.

අද (02) දිනයේ කිසිදු මරණයක් වාර්තාවී නොමැති අතර අද (02) ප්‍රකාශයට පත් කළ මෙම මරණ 39 සිදුවී ඇත්තේ පසුගිය මැයි මස 17 වනදා සිට ඊයේ (01) දිනය දක්වායි. මෙම පිරිස අතර කාන්තාවන් 19 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 20 දෙනෙකු වනවා. ඔවුන්ගෙන් එක් අයෙකු නිවසේදී මියගොස් ඇති අතර රෝහල් ගතකරන අවස්ථාව වන විට මියගිය සංඛ්‍යාව 4 ක්. අනෙක් 34 දෙනා මියගොස් ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරදීයි.

මේවන විට මෙරටින් කොරෝනා ආසාදිතයන් 192,547 ක් හමුවී ඇති අතර ඉන් 30,267 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 160,714 ක්.

+++++++++++++++++++++++

අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ගැසට් නිවේදනයක්

(02.06.2021 – 22:55 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය සේවා පිළිබඳ සඳහන් කරමින් තවත් අති විශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේනවා.

එම ගැසට් නිවේදන අනුව, සීමාසහිත ලංකා සතොස, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සමුපකාර සමිති මගින් ඉටුකරනු ලබන සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබේනවා.

එමෙන්ම තවත් ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබේනවා.

එම සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් :

+++++++++++++++++++++

(03.06.2021 – 06:25 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පසුගිය ගිය පැය 24 තුළ පුද්ගලයින් 947 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා ෴

+++++++++++++++++++++

කොවිඩ් රෝගීන් ට ප්‍රතිකාර කළ හොර දොස්තර

(02.05.2021 – 18:32 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා ආසාදිත රෝගීන්ගේ නිවෙස්වලට ගොස් ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු හා සහායකයෙක් කැස්බෑව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කහපොළ ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීම සඳහා පැමිණ සිටි අවස්ථාවේ දී අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයින් පැමිණි, වෛද්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කර තිබූ වෑන්රථය හා එහි තිබූ වෛද්‍ය උපකරණ මෙන්ම ඖෂධ තොගය ද පොලිස් භාරයට ගෙන තිබේ.

කහපොළ ප්‍රදේශයේ කොරෝනා ආසාදිත රෝගීන් සිටින නිවාසවලට ගොස් ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් යැයි කියාගන්නා කණ්ඩායමක් සිටින බවට කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මියට ලද පැමිණිලි කිහිපයක් අනුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකර ඇත.

එහිදී පැමිණිලිකරුවන් විසින් ලබාදුන් තොරතුරු මත අදාළ සැකකරුගේ ජංගම දුරකථන අංකය සොයාගැනීමට වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මියට හැකිව තිබේ.

පසුව ඇය විසින් එම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවට හඳුන්වාදෙමින් එම දුරකථන අංකයට කතා කර තම සහෝදරයා කොරෝනා ආසාදිත යැයි පවසා ඇත.

අනතුරුව වෛද්‍ය අදාළ සැකකරු පවසා ඇත්තේ නිවසට පැමිණ ප්‍රතිකාර කිරීමට රු 11,000 – 13,000 ක පමණ මුදලක් වැය වන බවය.

පසුව එයට එකඟවු වෛද්‍යවරිය සැකකරුට නිවසට පැමිණ ප්‍රතිකාර කරන ලෙස දන්වා තිබේ.

අනතුරුව කැස්බෑව පොලිස් ස්ථානයේ, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාලිංග ජයරත්න මහතාට මේ පිළිබඳ පැවසීමෙන් අනතුරුව, උපාය මාර්ගිකව එම නිවසේ රැඳී සිට අදාළ සැකකරුව සහ සහයකයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙලෙස කොවිඩ් ආසාදිත රෝගීන් කිහිපදෙනෙකු මුලාකර මුදල් ලබාගත් බවට පවසා තිබේ.

ව්‍යාජ වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටි පුද්ගලයාට විදෙස් රටක වෛද්‍ය උපාධියක් ඇති බව පැවසුව ද එය සනාත කිරීමට ලේඛන කිසිවක් ඔහු සතුව තිබී නැති අතර, සහයකයා ඇඟලුම් කම්හලක හිටපු සේවකයෙක් බවට අනාවරණය වී ඇත.

++++++++++++++++++++

සයිනොෆාර්ම් වලකා තුන්වැනි රැල්ල හැදූ පුද්ගලයාම ස්පුට්නික්ට කොක්ක දායි… හතරවැනි රැල්ලක් පතයි.. පසුපස කිඹුලා..

(03.06.2021 – 00:02 +0530 – lankacnews.com)

ජුනි මස 2 දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති පුවත්පත් සාකච්ඡාවේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ චීන රජයෙන් නොමිලේ ලබාදුන් සයිනොෆාර්ම් භාවිතා කිරීම පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ක්‍රියාකාරීත්වය නිසා මාස ගණනක් ප්‍රමාද වූ බවයි.

ඒ නිසි වේලාවට ලබා දුන්නේනම් ශ්‍රී ලංකාවට සිංහල අවුරුද්දට පෙර සයිනොෆාර්ම් එන්නත් මිලියන කිහිපයක් ලබා ගැනීමට හැකියාව තිබු බවත් එය වැළකීම නිසා කොරෝනා තුන්වෙනි රැල්ලක් ඇතිවීම පාලනය කර ගැනීමට නොහැකි වූ බවත්ය. සයිනොෆාර්ම් එන්නත භාවිතය වැලැක්වූ බවට ප්‍රධාන වශයෙන් චෝදනාව එල්ල වී ඇත්තේ වෛද්‍යවරු සුළුතරයක් නියෝජනය කරන වෘත්තීය සමිතියක ප්‍රධානියෙක් වෙතයි.

මේ අතර එම පුද්ගලයාම රුසියානු ස්පුට්නික් එන්නත භාවිතය වැළකීමටද සක්‍රීයව කටයුතු කරන බව චෝදනාවක් එල්ල වී ඇත.

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පමණක් 50,000 තොගයක් ශ්‍රී ලංකාවට ලබා දීම නිසා එම තොගය ජනතාවට ලබා ජනතාවට ලබා දෙන්නේ ද නැති ද යන්න පිළිබඳව නිර්දේශයක් ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල්වරයා තාක්ෂණ කමිටුවක් පත් කළේය.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය එම් ආර්නෝල්ඩ්, ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාතික වැඩසටහන් නිලධාරී වෛද්‍ය නාලිකා ගුණවර්ධන, වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා, ප්‍රතිශක්තිකරණ විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් වන මහාචාර්ය නීලිකා මලවිගේ සහ විශේෂඥ වෛද්‍ය ඩී දසනායක යන මහත්වරු මෙම කමිටුවට අයත් වූහ.

ගෝලීය වසංගතය හමුවේ එන්නත් මාත්‍රා දෙකකින් එකක් පමණක් ලබාදීමට වුව කටයුතු කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදී ඇති නිර්දේශය ද පදනම් කරගෙන මෙම කමිටුව නිර්දේශ කළේ ස්පුට්නික් මාත්‍රා 50,000 මෙරට ජනතාවට ලබා දිය යුතු බවයි. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්යේ එන්නත්කරන වැඩපිළිවෙළ ආරම්භ විය.

කෙසේ වෙතත් පෙර කී විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කරන්නේ මේ ආකාරයෙනි ආකාරයෙන් ස්පුට්නික් ඒක මාත්‍රාවක් හෝ ලබා දීම නරක, අදූරදර්ශී, සදාචාර විරෝධී ක්‍රියාවක් බවයි. ඔහු මේ අදහස ස්ථාන ගණනාවකදී ප්‍රකාශ කර ස්පුට්නික් එන්නත්කරණය අඩාල කිරීමට උත්සාහ දරා ඇත.

ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගයට එරෙහි එන්නත්කරණය අඩාල කිරීමට දිගින් දිගට කටයුතු කරන මොහුගේ ක්‍රියා කලාපය පිලිබඳ විධිමත් පරීක්ෂණයක් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විටත් ඉල්ලීමක් කර ඇත. මෙකී වෛද්‍යවරයා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකුගේ සමීපතමයෙක් බවද පැවසේ.

මේ අතර අදාල පුද්ගලයා එන්නත් පිලිබඳ කමිටුවේ තව දුරටත් රදවා ගැනීම ගැන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතා ද දැඩි විවේචනයට ලක්ව ඇත ෴

++++++++++++++++++++

සංචරණ සීමා මැද කොවිඩ් පාලනය සාර්ථකද? දෙරණ බිග්ෆෝකස් (02.06.2021)

02-06-2021
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *