මුදා ගැනීමේ කණ්ඩායම් කිහිපයක් ගිනිගත් නෞකාවට ඇතුල් වෙයි

මුදා ගැනීමේ කණ්ඩායම් කිහිපයක් ගිනිගත් නෞකාවට ඇතුල් වෙයි

*********************************************

මුදා ගැනීමේ කණ්ඩායම් කිහිපයක් ගිනිගත් නෞකාවට ඇතුල් වෙයි

(01.06.2021 – 16:37 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වාරයට නාවික සැතපුම් 9.5 ක් දුරින් ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාවේ පසුපස කොටසේ යම්කිසි ගිලා බැස්මක් දක්නට ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසනවා.

මේ පිලිබඳ සොයා බැලීම සඳහා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් නෞකාව ස්ථාන ගතකර ඇති ප්‍රදේශයට පිටත් කර යවා තිබෙනවා.

එම පිරිස නෞකාව අවට ජලයේ සිදු කෙරෙන ජල තත්ත්ව පරීක්ෂාවකින් අනතුරුව කිමිදුම් කටයුතු සිදු කරන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියේ.

මේ අතර අද (01) දහවල් පළමු වරට, ගිනිගත් නෞකාවට ඇතුළු වීමට එහි මුදා ගැනීම් කටයුතු සිදුකල සිංගප්පුරු සහ නොර්වේ මුදාගැනීම් කණ්ඩායමේ සාමාජිකයින් සිව් (4) දෙනෙකු කටයුතු කළා.

එහිදී ඔවුන් නෞකාවේ තත්ව පරීක්ෂණයක් සහ තක්සේරුවක් සිදු කිරීමට නියමිතයි.

මේ සම්බන්දයෙන් ඡායාරූප කිහිපයක් සමගින් ට්විටර් පණිවිඩයක් කරන ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය පවසන්නේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සාමුහික ප්‍රයත්නයේ ප්‍රතිඵල ඡායාරුප වලින් විද්‍යමාන වන බවයි.

එමෙන්ම නෞකාවේ ගින්න නිවා දැමූ බව නිල වශයෙන් පවසන ඔවුන් ‘සාගර් ආරක්ෂා’ මෙහෙයුම දෙක තීරණාත්මක සන්දිස්ථානයකට ලඟා වූ බවත් සඳහන් කරනවා.

(01.06.2021 – 17:15 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනීමට ලක් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා, ප්‍රධාන ඉංජිනේරුවරයා සහ සහයක ඉංජිනේරුවරයාට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝගයක් නිකුත් කළා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් කළ ඉල්ලීමක් අද (01) සලකා බැලූ අවස්ථාවේදියි.

මෙහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔවුන් තිදෙනාට මේ මස 07 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට නියෝග කළා.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සමඟ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට නෞකාව අනතුරට පත් ස්ථානයට ගොස් විමර්ශණ සිදු කිරීමටද අවසර දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊට සහාය ලබාදෙන ලෙස නාවික හමුදාපතිවරයාට නියෝග කළා.

අවශ්‍ය කරන ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙමින් විමර්ශන කටයුතු වලට සහාය දෙන ලෙස නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ සභාපති අර්ජුන හෙට්ටිආරච්චිට අතිරේක මහේස්ත්‍රාත්වරයා තවත් නියෝගයක් ලබා දුන්නා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ මෙට්‍රික් ටොන් 55 ක ධාරිතාවයකින් යුත් නයිට්‍රික් අම්ල පුරවාගත් බහාලුම් අඩංගු මෙම නෞකාවේ අන්තර්ගතව තිබූ එක් බහලුමක රසායනික ද්‍රව්‍ය කාන්දුවක් ඇතිව තිබු බවත් සඳහන් කළා.

මේ නිසා අදාළ නෞකාව කටාර් සහ ඉන්දියානු වරායන් වෙත ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කර තිබූ බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අදාළ නෞකාවේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සහ ගිනි ගැනීමක් පවතින බව දැනගෙන ඒ බව දැනුම් දීමකින් තොරව කොළඹ වරායට ඇතුළු වී ඇතැයි ප්‍රකාශ කළා.

අන්තර්ජාතික නාවික සම්මුතීන්ට අනුව යම් නෞකාවක අනතුරක් පවතින අවස්ථාවක ඒ බව යම් වරායකට ඇතුළු වීමට පැය 72 කට පෙර අදාළ වරාය වෙත දැනුම් දිය යුතුයි.

එහෙත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා හෝ එහි දේශීය නැව් සමාගමේ නියෝජිතයා අදාළ නෞකාවේ අනතුරක් පවතින බවට ශ්‍රී ලංකාවේ බළධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන නොමැති බවට ද ඔහු චෝදනා කළා.

ඒ අනුව දැනට සිදුකරන ලද විමර්ශණවලට අනුව සමූද්‍ර දූෂණ වැලැක්විමේ පනත, අපරාධ නඩු විධාන සංග්‍රහය, දණ්ඩ නීති සංග්‍රහය සහ වනජීවි හා වෘක්ෂලතා ආඥා පනත යටතේ බැලූ බැල්මටම වරදවල් සිදුකර ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ.

මේ අතර, අදාළ නෞකාවට එය මුදා ගැනීම සඳහා පැමිණි සමාගමේ කිමිදුම්කරුවන් 3 දෙනෙකු ගොඩ වී නිරීක්ෂණයක නිරත වූ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සදහන් කළේ. එමෙන්ම ජලය කිදා බැසීම හේතුවෙන් නෞකාවේ පසුපස කොටසේ සුළු පහළ යාමක් දක්නට ලැබෙන බව ද නාවික හමුදාව කියා සිටියා.

එමෙන්ම, නාවික හමුදාවේ කිමිදුම්කරුවන් 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද නැවේ ඇති වූ ගින්න පිළිබදව සොයා බැලීම සඳහා පිටත්ව යාමට නියමිතයි.

මේ අතර, පමුණුගම මුහුද ආශ්‍රිතව තෙල් පැල්ලමක් නිරීක්ෂණය වන බවට සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය අද (01) ප්‍රකාශ කළා. එම තෙල් පැල්ලම ගිනිගැනීමට ලක්වූ ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් සිදුවූ තෙල් කාන්දුවක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

එමෙන්ම, ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීමත් සමඟ සාගරයට අපද්‍රව්‍ය එක්වීම හේතුවෙන් වෙළඳපොලේ ලුණු හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, අඩු මිලට සතොස හරහා ලුණු මිලදී ගැනීමට ඇති බවයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹ අද (01) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

ගිනි ගත් එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ උපද්‍රවකාරී අපද්‍රව්‍ය, කන්ටේනර් 33 ක් මේ වන විට රැස් කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

නෞකාව ගිනි ගැනීමෙන් අනතුරුව මෙම අපද්‍රව්‍ය ගොඩබිම වෙත පැමිණෙමින් තිබෙන අතර, කල්පිටියේ සිට මාතර දක්වා මුහුදු තීරයෙන් මේ දක්වා මේවා සොයාගෙන ඇති බවයි එම අධිකාරියේ රසායනික හා උපද්‍රව්‍යකාරී අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා සදහන් කළේ ෴

(01.06.2021 – 20:12 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය ආසන්නයේ ගිනිගත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාමට කටයුතු කිරීමට නියෝග කරන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයාට ජානාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම උපදෙස් නිකුත් කෙරුනේ ගිනිගත් නෞකාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ආදාළ පාර්ශව අතර පැවති සාකච්ඡාවකදී බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

එම නිවේදනය පහතින් :

+++++++++++

******************************************

(01.06.2021 – 15:42 +0530 – hirunews.lk/sinhala)

අද (01) දින වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ තිබී තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එහි රාජකාරියේ නිරතව සිටි නිලධාරිනියක් විසින් සොයාගෙන තිබෙනවා.

මෙම පාර්සලය කාන්තා අංශයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානය පිහිටි ගොඩනැගිල්ල අසල ජලය පිටතට බැසයන කාණුවේ සූක්ෂම ලෙස සඟවා තිබුනා.

මෙම පාර්සලය තුල ජංගම දුරකථන 10 ක්, එම බැටරි 14 ක්, දුරකථන සිම්පත් 11 ක්, චාජරයක් සහ ඖෂධ වර්ග කිහිපයක් ද හමුවී තිබෙනවා.

මෙම භාණ්ඩ බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු බොරැල්ල පොලිසිය විසින් සිදුකරනු ඇති.

******************************************

(01.06.2021 – 16:12 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකට අදාළව පුද්ගලයින් 36 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පේරාදෙණිය – මහකන්ද සරසවිගම ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක්. ඔවුන් පෙරේදා (30) දිනයේදී ගල්ඔය – හෙදගල හන්දියේ පිහිටි වෙළඳසැලක් තුළට අයුතු ලෙස ඇතුලුවී එහි සිටි පිරිසකට පහරදී තිබුණා. සිද්ධියෙන් පුද්ගලයින් පස්දෙනෙකු (5) තුවාල ලබා ඇති අතර, ඊට අදාළවයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඒ අතරට කාන්තාවන් 6 දෙනෙකු ද අයත් ෴

******************************************

(01.06.2021 – 19:40 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ සහ ඊට යාබඳව පිහිටි ශ්‍රී බෞද්ධාලෝක විහාරයට අයත් ඉඩම් කොටසක් රජයට පවරා ගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ව්‍යාපෘතිය නතර කර තිබෙනවා.

අදාළ ඉඩම් කොටස් නාගරික සංවර්ධන අධිකාරිය විසින්, මෙලෙස පවරා ගෙන තිබුණේ නාගරික සංවර්ධන කටයුත්තක් සඳහා යැයි සඳහන් කරමින්.

නාගරික සංවර්ධන ව්‍යාපෘති විශේෂ විධිවිධාන පනතේ ප්‍රකාරව ජනාධිපතිවරයා මෙම පවරා ගැනීම කර තිබූ අතර ඊට අදාළ ඉඩම් පවරා ගැනීමේ අති විශේෂ ගැසට් පත්‍රය මැයි මස 19 වනදා 2228/27 යන අංකය යටතේ නිකුත් කර තිබුණා.

මෙම නාගරික සංවර්ධන කටයුත්ත යටතේ එලෙස පවරා ගන්නා ඉඩම්වල බහු මහල් රථ ගාලක් ඉදිකිරීමට යෝජිත බව සඳහන් කර ඇති අතර ඒ සඳහා පවරා ගෙන ඇති මුළු ඉඩම් ප්‍රමාණය රූඩ් 2 යි පර්චර්ස් 20 ක් හෙවත් හෙක්ටයාර් 0.2530 ක් වනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමසීම සඳහා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් අද (01) පෙරවරුවේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත ගොස් තිබුණා.

ඉන් අනතුරුව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ සංවර්ධන කටයුතු පිළිබඳ දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් පවත්වමින් නව තීරණය ගැන නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර මහතා කරුණු පැහැදිලි කළා.

මේ අතර කොළඹ පොලිස් මූලස්ථානය බෙල්ලන්තොට ප්‍රදේශයට රැගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

******************************************

(01.06.2021 – 21:31 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රේගුවට ලැබුණ ඔත්තුවක් මත නිවාරණ අංශයේ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ සැක සහිත බහාලුමක් අද (01) දින පරීක්ෂා කර තිබෙනවා.

මෙම බහාලුම මෙරටට ගොඩ බාන අවස්ථාවේ දී රේගුවට ප්‍රකාශ කර තිබුණේ එහි පිරිසිදු කපුරු කිලෝග්‍රෑම් 16,000 ක් අඩංගු පෙට්ටි 507 ක් ඇති බවයි.

නමුත් එම බහාලුම පරීක්ෂා කිරීමේ දී එය තුළ තිබී රුපියල් මිලියන පහකුත් පන්ලක්ෂ විසි දහසක් (5,520,000) වටිනා මෙරටට ආනයනය තහනම් කර ඇති වියළි කහ කිලෝග්‍රෑම් 15,251 ක් සොයා ගෙන තිබෙනවා.

මෙම වියළි කහ තොගය ඉතා සූක්ෂ්ම ලෙස පෙට්ටි 504 ක් තුළ අසුරා පිරිසිදු කපුරු ලෙස ප්‍රකාශ කොට රේගුව නොමග යවා රට තුළට ඇතුළු කිරීමට උත්සාහ කොට තිබුණා.

මෙම නීති විරෝධී ආනයන මගින් රජයට අහිමි වීමට තිබූ බදු ආදායම රුපියල් මිලියන එකකුත් පන්ලක්ෂ පනස් පන්දහසක් (1,555,000) බව මේ වන විට ගණන් බල තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන රේගු නිවාරණ අංශයේ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරන අතර විමර්ශන අවසානයේ රේගු පරීක්ෂණයක් පවත්වා එම භාණ්ඩ රාජසන්තක කර ආනයනකරුට දඩ පැනවීමට නියමිතයි ෴

@@@@@@@@@@@@@@@@@

(01.06.2021 – 15:03 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළ දී මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නිරත වූ 12 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමේ පුවතක් හලාවත – මහවැව – කුඩාවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කුඩාවැව ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග සිදුකළ පරීක්ෂාවකදීයි ඔහුගේ ආශ්‍රිතයින් ලෙස මෙම සූදු ක්‍රීඩාවේ නිරත වූ 12 දෙනෙකු හදුනාගෙන ඇත්තේ.

ඒ අනුව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර තිබෙනවා ෴

+++++++++++++++++++++++++

(01.06.2021 – 15:56 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පැවතිය දී නිරෝධායන නීති උල්ලංඝනය වන අයුරින් කොළඹ තරු පහේ හෝටලයක රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ පැවැත්වූ උපන් දින සාදයට සහභාගි වූ තවත් 06 දෙනකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවන් 05 දෙනකු සහ එක් (01) සැකකාරියක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් මෙම පිරිස හෙට (02) දිනයේ අලුත්කඩේ මහේස්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් යාපනය – අරසඩි ප්‍රදේශයේ සාදයක් පැවැත්වීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 05 දෙනා මේ මස 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මොවුන් මත්ද්‍රව්‍ය භාවිත කරමින් මෙම සාදය පවත්වා ඇති බවයි.

+++++++++++++++++++++++++

(01.06.2021 – 16:05 +0530 – hirunews.lk/sinhala)

ගුවන් තොටුපළ අද (01) දිනයේ යළි විවෘත කිරීමත් සමග දහවල් 12 දක්වා කාලසීමාව තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට මගීන් 768 දෙනෙකු විදෙස් රටවල සිට පැමිණ තිබෙනවා.

ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ ගුවන් යානා 10 කින් මෙම පිරිස මෙරටට පැමිණ ඇති බවයි. ඔවුන් කටාර්, සෞදි, ඕමාන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජර්මනිය සහ මාලදිවයින යන රටවල සිට මෙලෙස පැමිණ තිබුණා.

එසේම අද (01) දහවල් 12 සිට මධ්‍යම රාත්‍රී 12 වන තුරු තවත් මගීන් 296 දෙනෙකු යානා කිහිපයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟාවීමට නියමිත බවයි නියමිත බවයි ගුවන් තොටුපළ තොටුපළේ කාර්ය භාර නිලධාරිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴

කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ 1631 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාදිතව සුවය ලැබූ මුළු ගණන 153,371 ක් වනවා ෴

තවත් කොරෝනා ආසාදිතයන් 1989 ක් වාර්තා වනවා ෴

+++++++++++++++++++

(01.06.2021 – 19:31 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා වැඩිම කොරෝනා ආසාදිතයින් ඉකුත් මැයි මාසයේදී වාර්තා වී තිබෙනවා. එසේම වැඩිම මරණ සංඛ්‍යාවක් ද වාර්තා වී ඇත්තේ එම මාසයේ දී වීම විශේෂත්වයක්.

පසුගිය මාසයේදී වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 70,000 ඉක්මවා ඇති අතර, මරණ 798 ක් එම මාසයේදී සිදුව තිබෙනවා. වැඩිම මරණ සංඛ්‍යාවක් එම මාසයේදී වාර්තාවී ඇත්තේ මැයි 22 වනදා වන අතර එම සංඛ්‍යාව 46 ක්.

මේ අතර, අද (01) දිනයේ මේ දක්වා අලුතින් කොරෝනා ආසාදිතයන් 1989 ක් හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,88,353 දක්වා ඉහළ ගියා.

මෙරට තුළ මේ දක්වා සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1484 ක්.

මේ අතර, දේශීයව එන්නත් මෙරට තුළ නිපදවීමේදී නීතිමය ගිවිසුම් සකස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී අද (01) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී අගෝස්තු මාසය වනවිට එන්නත් මිලියන 6 ක් සහ සැප්තැම්බර් වනවිට එන්නත් මිලියන 7 ක් නිපදවීමේ හැකියාව ඇති බව ප්‍රකාශ වූ බවයි අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, අද (01) කොළඹ ජාතික රෝහල ඇතුලු රෝහල් කිහිපයකම විරෝධතා පැවැත්වුණේ කොරෝනා ව්‍යාප්තිය හමුවේ සේවයට වාර්තා කිරීමේදී ප්‍රවාහන පහසුකම් ඇතුලු කණිෂ්ඨ කාර්ය මණ්ඩල මුහුණදෙන ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල සහ මධ්‍යම රජයේ රෝහල්වල කොරෝනා මර්දන වැඩසටහන්වලට සහභාගිවන කාර්ය මණ්ඩල සඳහා ප්‍රවාහන පහසුකම් ලබාදීමට කටයුතු කරන බවයි.

රතු කුරුස සමාජය විසින් ඒ සඳහා වියදම් දැරීමේ පදනම මත වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා කියා සිටියා.

තවත් කොරෝනා ආසාදිතයන් 856 ක් වාර්තා වනවා. ඒ අනුව අද (01) මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 2845 ක් ෴

‘සිනොවැක්’ කොරෝනා මර්දන එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබෙනවා ෴

++++++++++++++++++++++

(01.06.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා ඉවත් කිරීමට නියමිත ජූනි 07 වනදා දක්වා දිවයිනේ සියලු සුරාබදු බලපත්‍ර හිමි ස්ථාන මුද්‍රා තැබීමට කටයුතු කර තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ ඇතැම් බලපත්‍රලාභීන් හොර රහසේ මත්පැන් අලෙවි කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *