ගුවන් තොටුපොළ යළි විවෘත කිරීමෙන් පසු පළමු යානය කටාර් සිට

ගුවන් තොටුපොළ යළි විවෘත කිරීමෙන් පසු පළමු යානය කටාර් සිට

*********************************************

ගුවන් තොටුපොළ යළි විවෘත කිරීමෙන් පසු පළමු යානය කටාර් සිට

(01.06.2021 – 06:30 +0530 – hirunews.lk/sinhala)

දේශීය සහ විදේශීය මගීන් සදහා මෙරටට පැමිණීමට දින 10 ක කාලයක් පුරා පැවති තාවකාලික තහනම අද (01) ඉවත් කෙරුණා.

ශ්‍රී ලංකාව තුළ කොරෝනා තුන්වන (3) රැල්ල පැතිර යාමත් සමඟ පසුගිය 21 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සඳහා ගුවන් තොටුපල වසා දැමීමට පියවර ගනු ලැබුවා.

මෙසේ ගුවන් තොටුපල යළි විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවට පැමිණි පළමු ගුවන් යානය වූයේ කටාර් ගුවන් සේවයට අයත් යානයක්.

කිව්.ආර්. 668 දරණ මෙම යානය අද (01) අලුයම 02:15 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙනවා.

එම යානයෙන් මගීන් 53 දෙනෙකු සිට ඇති අතර, විදේශීය ගුවන් මගීන්ද ඒ අතර වන බවයි කටුනායක ගුවන් තොටුපල කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ.

එමෙන්ම අලුයම 04:05 ට දෝහා සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 218 දරණ යානයද කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියා.

එම යානයෙන් මගීන් 116 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

මොවුන් දින 14 ක නිරෝධායන කාලයකට යොමුකළ බවයි කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් ගුවන් තොටුපල විවෘත වුවද ඉන්දියාව සහ වියට්නාමය යන රටවල සිට පැමිණෙන්නන්ට මෙරටට ඇතුලුවීම තවදුරටත් තහනම් වනවා.

ඒ, එම රටවල පැතිර යන කොරෝනා තත්වයත් සමඟයි ෴

++++++++++++++++++++++

(01.06.2021 – 06:46 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වූ පුද්ගලයින් 05 දෙනෙකු යාපනය, අරසාඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයින් ඊයේ (31) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉරිපත් කිරීමෙන් පසු ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

ඔවුගේ පවුල්වල සාමාජිකයින් නිරෝධායනයට යොමු කිරීමටද මෙහිදී නියෝග කර තිබෙනවා ෴

(01.06.2021 – 06:16 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (31) දිනය තුල නීරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 1047 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ දක්වා දිනකදී අත්අඩංගුවට ගැනුණු වැඩිම සංඛ්‍යාව මෙය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඒ අනුව නිරෝධායන නීතිය ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා කාලය තුල පුද්ගලයින් 19,102 ක් එම නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ ෴

+++++++++++++++++++++++++

(01.06.2021 – 06:55 +0530 – hirunews.lk/sinhala)

ලෝක සෞඛ්‍ය සංවිධානය බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව ඇතුලු අනෙකුත් රටවල පවතින කොරෝනා ප්‍රභේද ග්‍රීක අකුරින් නම් කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියාවෙන් සොයාගත් B.1.617.1 ප්‍රභේදය Kappa ලෙසත් පසුව සොයාගත් B.1.617.2 ප්‍රභේදය Delta ලෙසත් නම් කර තිබෙනවා.

බ්‍රිතාන්‍යයෙන් හමුවූ B.1.1.7 ප්‍රභේදය Alpha ලෙසත් දකුණු අප්‍රිකාවෙන් සොයාගත් B.1.351 ප්‍රභේදය Beta ලෙසත් නම් කරනු ලැබුවා.

බ්‍රසීලයෙන් සොයාගත් P.1 ප්‍රභේදය Gamma ලෙසත්, පසුව ඉන් වාර්තාවූ P.2 ප්‍රභේදය Zeta ලෙසත් නම් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

++++++++++++++++++++++++++

(01.06.2021 – 07:20 +0530 – hirunews.lk/sinhala)

බොහෝ විට ලබන 07 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමක් සිදුකිරීමට හැකිවනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

‘හිරු ටි.වී. පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද (01) උදෑසන සජීවීව සම්බන්ධන් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුල ජනතාවගේ හැසිරීම ලබන 07 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමට බොහෝ සෙයින් ඉවහල්වනු ඇති බවයි ෴

++++++++++++++++++++++

(01.06.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

ඊයේත් (31) නව ආසාදිතයන් 2,912 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,86,364 ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම ඊයේ (31) දිනයේ නව මරණ 43 ක් වාර්තාවීමත් සමඟ මෙරට මරණ සංඛ්‍යාව දැක්වුණේ 1,484 ක් ලෙසයි.

ඊයේ (31) වාර්තාවූ නව ආසාදිතයන් 2,912 දෙනාගෙන් 2,882 කු අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 30 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනාගැනුනා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 33,140 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 1,51,740 ක්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ නව කොරෝනා මරණ 04 ක් ඊයේ (31) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බවයි.

ඊට අමතරව මැයි මස විස්ස (20) සිට පෙරේදා (30) දක්වා කාලය තුළ මරණ 39 ක් වාර්තාවී තිබෙනවා.

මේ අතර මෙරට කොරෝනා පරීක්ෂණ හතකටම (7) එක් (1) ආසාදිතයෙකු හමුවන බවයි සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය සිදුකළ නවතම විමර්ශනයකදී අනාවරණවී ඇත්තේ.

කොරෝනා සුව වූ පුද්ගලයෙකු යළි රැකියා ස්ථානයට යාමේදී කොරෝනා පරීක්ෂණයක් සිදුකරන ලෙස සේවායෝජකයින් ඉල්ලීම, පදනම් විරහිත බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ සුවවූ රෝගියෙකු රෝහලකින් නිදහස් කරන්නේ තවදුරටත් රෝගය බෝ කිරීමට හැකියාවක් නොමැති බැවින් බවයි ෴

++++++++++++++++++++++

(01.06.2021 – 08:19 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍යම සේවා සඳහා පමණක් අවම සේවක සංඛ්‍යාවක් සේවයට කැඳවන ලෙස රාජ්‍ය සේවා අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් යළි ඉල්ලීමක් කළා.

ඒ, මේ දිනවල කොළඹ නගරයට විශාල වශයෙන් රථවාහන පැමිණීම සැළකිල්ලට ගනිමින්.

ඊයේ (31) උදෑසන 06:30 සිට 10:30 දක්වා පැය හතරක (4) කාලය තුළ පමණක් බස්නාහිර පළාතට රථවාහන 55,944 ක් ඇතුලුවී තිබෙනවා.

ඉන් වැඩිම ප්‍රමාණයක් සෞඛ්‍ය සේවයට අදාළ ඒවා වන අතර, වාහන 3528 ක් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පැමිණි ඒවා නොවන බවට හෙළිවූ බවයි පොලිසිය සඳහන් කළේ ෴

++++++++++++++++++++++++

(01.06.2021 – 08:33 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් එන්නත්කරන වැඩසටහන යටතේ ඊයේ (31) දිනයේදී මෙරට පුද්ගලයින් 84,565 දෙනෙකුට එන්නත්කරණය සිදුකළ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඒ අනුව ඊයේ (31) දිනයේදී සිනොෆාර්ම් එන්නත් 72,887, ස්පුට්නික් වී එන්නත් 10,157 සහ ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව 1,521 දෙනෙකුට ලබා දී තිබෙනවා.

මෙය දැක්වෙන්නේ දිනකදී ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ලෙසයි.

++++++++++++++++++++

(01.06.2021 – 08:48 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන් දින සාදයක් පැවැත්වීම සඳහා පහසුකම් ලබාදුන් කොළඹ පිහිටි තරුපහේ හෝටලයේ කළමනාකාරීත්වයට එරෙහිවද නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පහේ හෝටලයක් තුළ සිය උපන් දින සාදය පැවැත්වීමේ චෝදනාව මත ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලි ඊයේ (31) අත්අඩංගුවට ගත් අතර, පසුව ඔවුන් ඇප මත මුදාහැරුණා.

එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එම උපන් දින සාදයට සහභාගි වූ තවත් 20 ත් 25 ත් අතර පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.

ඔවුන්ගෙන් 12 දෙනෙකු පමණ මේ වනවිට හඳුනාගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර සංචරණ සීමා පනවා ඇති මොහොතක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් යාපනය – අරසඩි ප්‍රදේශයේ සාදයක් පවත්වන ලද පුද්ගලයින් පස්දෙනෙකු (5) පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මොවුන් මත්ද්‍රව්‍ය භාවිත කරමින් මෙම සාදය පවත්වා ඇති බවයි.

සැකකරුවන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

මොවුන්ගේ පවුල්වල සියලුදෙනා නිරෝධායනයට යොමු කරන ලෙස අධිකරණය සෞඛ්‍ය බලධාරීන් වෙත නියෝග කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එමෙන්ම පසුගිය පැය විසි හතරේ (24) නිරෝධායන නීති උල්ලංඝනය කළ 1,047 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++

(01.06.2021 – 09:48 +0530 – hirunews.lk/sinhala)

භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ස්ථාපිත පළමු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (01) මහනුවරදී සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදෙනු ලැබුවා.

මහනුවර – වැව රවුමේ සංඝරාජ මාවතේ පිහිටි පෞද්ගලික හෝටලයක් මෙලෙස ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සකස් කර ඇති බවයි ශ්‍රී දළදා මාළිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති කාර්යාංශය සඳහන් කළේ.

මේ දිනවල සංචාරකයින් නොමැතිවීම හේතුවෙන් අදාළ හෝටලයේ හිමිකරු තාවකාලිකව මෙය කොරෝනා ආසාදිත භික්ෂූන් වහන්සේලාට ප්‍රතිකාර කිරීම සඳහා ලබාදී තිබෙනවා.

පසුව දළදා මාළිගාව ඊට අවශ්‍ය උපකරණ එක්කර ඇති අතර, ඒ අනුවයි අද එය සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දෙනු ලැබුවේ ෴

@@@@@@@@@@@@@@@@

(01.06.2021 – 07:42 +0530 – hirunews.lk/sinhala)

භික්ෂුන් වහන්සේ නමක් ලෙස පෙනී සිටිමින් පිණ්ඩපාතයේ යන මුවාවෙන් මුදල් ආධාර එකතු කළ පුද්ගලයෙකු මිරිහාන පොලිසිය විසින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරක් මත 33 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

සැකකරු අද (01) ගංගොඩවිල අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

(01.06.2021 – 08:16 +0530 – hirunews.lk/sinhala)

ඉන්දුනීසියාවේ සිට ස්පාඤ්ඤ දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවකට ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 10 ක් දුරින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී මුහුදට වැටුණු ගිනි අවි සොයා මෙහෙයුම් සිදුකළත් ඒවා සොයාගැනීමට හැකිවී නැහැ.

නාවික හමුදාව සඳහන් කළේ අදාළ ගිනි අවි තොගය මුහුදට වැටී අතුරුදන්වී ඇති බවටයි.

පසුගිය දින කිහිපය පුරා අදාළ ගිනි අවි අයත් පෞද්ගලික සමාගම විසින් ඒවා සොයා මෙහෙයුම් සිදුකළ අතර, ඒ සඳහා නාවික හමුදාව උපදෙස් ලබාදුන් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ගිනි අවි සහ තවත් උපකරණ කිහිපයක් දොඹකරයක් මගින් නැවට පැටවීමට යාමේදී ඉන් කොටසක් මුහුදට වැටීම සම්බන්ධයෙන් අදාළ ගිනි අවි ප්‍රවාහනය කළ යාත්‍රාවේ හිමිකරු විසින් ගාල්ල වරාය පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා.

ඒ අනුවයි පොලිසිය ඊට අදාළව විමර්ශන ආරම්භ කළේ.

පැමිණිල්ල සිදු කළ පුද්ගලයා පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ නැව් ආරක්ෂක සමාගමක නියෝජිතයින් තම යාත්‍රාවෙන් අදාළ ගිනිඅවි සහ තවත් උපකරණ දොඹකරයක් මාර්ගයෙන් නැවට පැටවීම පසුගිය 28 වනදා උත්සහ කළ බවයි.

කෙසේ වෙතත් අයහපත් කාලගුණයත් සමඟ අධික සුළං නිසා මුහුද රළු වීම හේතුවෙන් දොඹකරය නැවේ බඳේ වැදී ඒවා මුහුදට වැටී ඇති බවද යාත්‍රාව පැදවූ පුද්ගලයා පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී ගිනි අවි 36 ක් මුහුදට වැටී ඇති අතර, එහිදී හිමිකරු ඇතුලු තවත් පිරිසක් ගිනි අවි 22 ක් පමණක් සොයාගෙන තිබෙනවා.

එහෙත් ගිනි අවි 14ක්, ඒ සඳහා යොදන උණ්ඩ 2400ක පතොරොම් ගැබ්, ගමන් කතන, අවි බහාලන පෙට්ටි ඇතුළු උපකරණ තොගයක් සොයාගැනීමට හැකිවී නැහැ.

ඒ අනුවයි ඒවා සොයා මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ ෴

******************************************

(01.06.2021 – 08:59 +0530 – hirunews.lk/sinhala)

‘එම්.වී එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (31) එහි කපිතාන්වරයාගෙන් පැය 14 ක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඊයේ (31) මෙම සිද්ධිය සම්බන්ධයෙන් නෞකාවේ කපිතාන්වරයා, ප්‍රධාන ඉංජිනේරුවරයා සහ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් ඔවුන් නිරෝධායනය වෙමින් සිටින වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයට ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගත්තා ෴

******************************************

(01.06.2021 – 09:03 +0530 – hirunews.lk/sinhala)

රට තුළ කිසිදු අවස්ථාවක ලුණු හිඟයක් ඇති නොවන බවට තමන් සහතිකයක් ලබාදෙන බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතා යළිත් අවධාරණය කරනවා.

‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් මුහුදු ජලයට රසායනික ද්‍රව්‍ය එක්වීම නිසා මෙරට ලුණු නිෂ්පාදනයට බාධාවක් නොවන බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත් ලුණු නිෂ්පාදනයට නෞකාවෙන් ඇතිවූ ගින්නෙන් බලපෑමක් එල්ලවන බවට සමාජයේ විවිධ මත ප්‍රචාරය වීමත් සමඟ පසුගිය දින දෙක තුළම පාරිභෝගිකයන් වැඩි වශයෙන් ලුණු මිලදී ගැනීමට පෙළඹුණු බවට වාර්තාවුණා.

ඊයේ (31) දිනයේදීත් අලුත්ගම, බේරුවල ඇතුලු තවත් ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා මැද බලපත්‍ර සහිතව විවෘත කර ඇති වෙළඳසැල් වෙත පාරිභෝගිකයින් ලුණු මිලදී ගැනීම සඳහා පැමිණ ඇති බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

එහෙත් හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේ රට තුළ කිසිදු ලුණු හිඟයක් නොමැති අතර, ඒ සඳහා අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසයි.

******************************************

(01.06.2021 – 09:07 +0530 – hirunews.lk/sinhala)

කොළොන්නාව ප්‍රදේශයේ නිවසක් තුළ තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 129 ක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (31) සිදුකළ වැටලීමකදී මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා 37 හැවිරිදි දෙමටගොඩ – වේළුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

******************************************

(01.06.2021 – 09:14 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තියත් සමඟ පාසල් නොපැවැත්වීම හේතුවෙන් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපනය හැදෑරීමට දරුවන්ට සිදුව තිබෙනවා.

එවන් පසුබිමක අන්තර්ජාල දුරකථන සංඥා නොමැතිවීම හේතුවෙන් කැලයට ගොස් අධ්‍යාපනය හදාරන දරුවන් පිරිසක් පිළිබඳ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට මොණරාගල – බටුගම්මන ප්‍රදේශයෙන් වාර්තාවුණා.

කිලෝමීටර 07 ක් පමණ දුර ගෙවා කැළයේ ගලක් මතට වී අන්තර්ජාල පහසුකම් ඔස්සේ එම දරුවන්ට අධ්‍යාපනය හැදෑරීමටයි සිදුව ඇත්තේ ෴

******************************************

(01.06.2021 – 10:22 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මහ කන්නයේ හෙක්ටෙයාර පන් ලක්ෂයක් (5,00,000) සඳහා අවශ්‍ය කාබනික පොහොර ජාත්‍යන්තර තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදයන්ට අනුව ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මේ අනුව රජයට අයත් පොහොර සමාගම් මඟින් අදාළ පොහොර තොග ආනයනකර ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා ගොවීන් වෙත බෙදා දීමටයි රජය තීරණය කර ඇත්තේ.

එමෙන්ම අනෙකුත් බෝග හෙක්ටෙයාර හය ලක්ෂයකට (6,00,000) පමණ අවශ්‍ය කාබනික පොහොර ද අදාල බෝග වලට අනුකූලවන පරිදි මෙරටට ආනයනය කිරීමට බලපත්‍ර හිමි සමාගම් වෙත ලබාදීමටත් කැබිනට් මණ්ඩල අනුමතිය ලැබී තිබෙනවා.

මහ කන්නය සඳහා හෙක්ටයාර 2,24,000 කට අවශ්‍ය කාබනික පොහොර දේශීයව සපයා ගැනීමටත්, තවත් හෙක්ටයාර ලක්ෂයක් (1,00,000) සඳහා අවශ්‍ය කාබනික පොහොර හඳුනාගනු ලබන ගොවීන් වෙත අවශ්‍ය පහසුකම් ලබාදීමෙන් අනතුරුව නිෂ්පාදනය කිරීමටත් සැළසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියා සිටියා.

******************************************

(01.06.2021 – 10:30 +0530 – hirunews.lk/sinhala)

දැනට වසර 100 කට වඩා පැරණි කොළඹ කොටුවේ පිහිටි ගොඩනැගිලි තුනක (3) පවත්වාගෙන යනු ලබන පොලිස් මූලස්ථාන සංකීර්ණය බෙල්ලන්තොට (බෙල්ලන්විල) ප්‍රදේශයට රැගෙන යාම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව බෙල්ලන්තොට හංදිය ආසන්නයේ පිහිටි අක්කර 14 ක භූමි භාගයක නව පොලිස් මූලස්ථාන සංකීර්ණය ඉදිකිරීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් ඉහළ වානිජ්‍ය වටිනාකමකින් හෙබි කොළඹ කොටුවේ දැනට පවතින පොලිස් මූලස්ථාන ගොඩනැගිලි සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග මෙතෙක් පැහැදිලි වී නැහැ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *