2022 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත්‍රය නිකුත් කෙරේ

2022 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත්‍රය නිකුත් කෙරේ

*********************************************

2022 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත්‍රය නිකුත් කෙරේ

(30.05.2021 – 09:23 +0530 – hirunews.lk/sinhala)

ලබන 2022 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමට අදාළ අයදුම්පත්‍රය සහ උපදෙස් මාලාව නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දෙමාපියන් විසින් දරුවා ඇතුළත් කිරීමට අදාළවන පාසල්වල ප්‍රධානීන් වෙත ලබන මස (ජූනි) 30 වනදාට පෙර අදාළ අයදුම්පත පුරවා ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

අමාත්‍යංශය කියාසිටියේ අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමට පෙර ලබාදි ඇති විධිවිධාන සහ තොරතුරු හොඳින් අධ්‍යනය කළ යුතු බවයි.

2022 ජනවාරි මස 31 වනදා වන විට දරුවාට වයස අවුරුදු 5 සම්පූර්ණ විය යුතු අතර එය සහතික කිරීම සඳහා උප්පැන්න සහතිකය ඉදිරිපත් කළ යුතු වනවා.

2022 ජනවාරි 31 වන දිනට වයස අවුරුදු 6 හෝ ඊට වැඩි ළමුන් ඇතුලත් කිරීමට හැකියාව ඇත්තේ අවුරුදු 6 ට අඩු සුදුසුකම් සපුරා ඇති ළමුන් සියලුදෙනාම ඇතුලත් කර ගැනීමෙන් පසුවයි.

පළමුවන ශ්‍රේණියේ සමාන්තර පන්තියක් සඳහා ළමයින් 35 දෙනෙකු සම්මුඛ පරීක්ෂණය මගින් ද 5 දෙනෙකු ක්‍රියාන්විත රාජකාරියේ යෙදුණු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන්ගේ ළමයින්ගෙන් ද තෝරා ගනු ලබනවා.

ඒ අනුව පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 40 ක්.

සියලුම රජයේ පාසල්වලට ළමයින් ඇතුලත් කිරීම වෙනුවෙන් පහසුකම් හා සේවා ගාස්තු සහ පාසල් සංවර්ධන සමිති සාමාජික මුදල හා සියලුම ළමයින්ගෙන් අයකර ගැනීමට පාසල විසින් අනුමත කරගෙන ඇති මුදල හැර ඍජුවම හෝ වක්‍රව වෙනත් ගාස්තු හෝ ආධාර මුදල් හෝ වෙනයම් බඩු බාහිරාදියක් හෝ පාසලට / පාසලට සම්බන්ධ සංවිධානවලට / තුන්වන පාර්ශවයකට ලබාදීම සපුරා තහනම් වනවා.

ළමුන් ඇතුලත් කිරීමෙන් පසුව ද එලෙස ලබාදීමක් සිදු නොකළ යුතුයි.

එසේ සිදුකරන්නේනම් එය නීති විරෝධී කටයුත්තක් වන අතර දඩුවම් ලැබිය හැකි වරදක් බවට සලකන ලෙසටයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දෙන්නේ.

2022 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමට අදාළ අයදුම්පත්‍රය :

[ මෙතැනින් ලබාගන්න ]

******************************************

(30.05.2021 – 11:20 +0530 – hirunews.lk/sinhala)

කලවානේ තේ කර්මාන්තශාලාවකට අයත් බස් රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් එහි සේවකයන් 35 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

රත්නපුර – කලවාන මාර්ගයේ නිවිතිගල – දහතුනේ කණුව අසළදී අද (30) උදෑසන මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ රාත්‍රී සේවා මුරය අවසන් කර නිවෙස් වෙත යමින් සිටි සේවකයින් පිරිසක්.

තුවාල ලැබූ 35 දෙනෙකු වතුපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් 26 දෙනෙකු රත්නපුර මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.

******************************************

(30.05.2021 – 11:41 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාවේ ගින්න හේතුවෙන් නිකුත් වූ අපද්‍රව්‍ය අහංගම සහ වැලිගම ප්‍රදේශයේ වෙරළ තීරයන්ට ද ගොඩගසා තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ අහංගම ගොවියාපාන පාලම අසල සහ ධේනුවල අතර වෙළ තීරයට අද (30) උදෑසන මෙලෙස අපද්‍රව්‍ය ගොඩගසා තිබූ බවයි.

මෙලෙස පැමිණ ඇති කැලි කසළ සහ සුන්බුන් කොටස් ඇල්ලීමෙන් වළකින ලෙසට ජනතාව දැනුවත් කර ඇති අතර වැලිගම පොලිසිය එම ප්‍රදේශයට ආරක්ෂාව ද යොදා තිබෙනවා.

නෞකාවෙන් මුහුදට ඇදවැටුනු හානි වු බහාලුම් තුල තිබු රසායනික ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් ආදී දෑ වත්තල සිට කල්පිටිය දක්වා වයඹ දිග මුහුදු තීරය ද වනසා දමා තිබෙනවා.

මුහුදට මුසු වු ප්ලාස්ටික් දකුණු පළාතේ ගාල්ල අවට මුහුදු වෙරළ තීරයට ද ගොඩ ගසා ඇති අයුරු ඊයේ (29) පෙරවරුව වනවිට දක්නට ලැබුනා.

විවිධ රසායනිකයන් හා එම ප්ලාස්ටික් අමුද්‍රව්‍ය කැබලි හේතුවෙන් වැල්ලවත්ත, දෙහිවල, කළුතර හා පානදුර ආදී ප්‍රදේශවල වෙරළ තීරයන්වල මුහුදු ජීවීන් ද විශාල වශයෙන් මියගොස් තිබුණා.

******************************************

(30.05.2021 – 12:45 +0530 – hirunews.lk/sinhala)

මාඳුරුඔයේ අනවසරයෙන් වැලි ගොඩදැමූ පුද්ගලයින් පිරිසක් භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ වැටලීම් නිලධාරීන් සිය භාරයට ගනුලැබුවා.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ දේශපාලනඥයෙකු මැදිහත්වීමෙන් මෙම ජාවාරම සිදු කෙරෙන බවයි.

මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් වැලිකන්ද ප්‍රදේශයේ වඩමුනේ පාලම ආසන්නයෙන් මාඳුරුඔයේ කොටසක මෙම වැටලීම සිදුකළා.

සෙනසුරාදා සහ ඉරිදා දිනයන්ට බලපත්‍රානුකූලව වැලි ගොඩ දැමීම් සිදුකළ නොහැකි නමුත් කිසියම් පිරිසක් බලපත්‍ර හිමි වැලි තොටුපලට නුදුරින් ඊයේ (29) මෙලෙස වැලි ගොඩ දමා තිබුණා.

වැලි හෑරීමේ බලපත්‍ර මඩකලපුව දිස්ත්‍රික්යේ පුද්ගලයින්ගේ නමින් පැවතියත් එහි සේවය කරන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුද්ගලයින්වීම මවිතයට කරුණක්.

මෙම වැටලීමේදී පුද්ගලයින් 5 දෙනෙකු භූ විද්‍යා වැටලීම් නිලධාරීන් භාරයට ගැණුනු අතර ඔවුන් වාලච්චේන පොලීසිය වෙත රැගෙන ගොස් තිබුණා.

වාලච්චේන පොලිස් පරිශ්‍රයේ දී මෙවන් කතාබහක් ඇති වුණා.

නීතිය ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් හට පැය 5 කට ආසන්න වේලාවක් ගතවී තිබූ බැවින් ඒම කාලය පුරා භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශෙය් නිලධාරීන්ට වාලච්චේන පොලිස් පරිශ්‍රයේ රැඳී සිටීමට සිදුවූණා.

අත්අඩංගුවට ගත් පිරිස අද (30) වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කි රීමට නියමිතයි.

******************************************

(30.05.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

ජනතාවට සේවය කිරීම සඳහා නව වාහනයක අවශ්‍යතාවක් පවතින බව මෙවර අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි මහතා පවසනවා.

නොච්චියාගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

******************************************

(30.05.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායට නුදුරින් ගිනිගැනීමට ලක්වන ‘එම්.වී. X-Press Pearl’ නෞකාවේ රුසියානු ජාතික කපිතාන්වරයාගෙන් වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

ඔහු මේ වනවිට රඳවා සිටින වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලය වෙත ගොස් ඊයේ (29) මෙම ප්‍රකාශය සටහන් කරගත් බවයි එම කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ.

වෙළඳ නාවික ලේකම් කාර්යාලය සිදුකරන මූලික පරීක්ෂණයට අදාළව මෙම ප්‍රකාශය සටහන් කරගෙන තිබෙනවා.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය සිදුකළ නෞකාවේ කපිතාන්වරයා ඇතුලු කාර්ය මණ්ඩල සාමාජිකයින් 25 දෙනාගෙන් හෙට (31) දිනයේදී ප්‍රකාශ ලබාගන්නා බවයි.

මේ අතර නෞකාවේ ගිනිගැනීම සහ එහි වත්මන් තත්වය සම්බන්ධයෙන් නාවික හමුදාපතිවරයා, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ නියෝජිතයන් සමඟ අද (30) පෙරවරුවේ නීතිපති සංජය රාජරත්නම් මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මේ අතර නෞකාවේ ප්ලාස්ටික් ඇතුලු අපද්‍රව්‍ය අද මාතර – වැලිගම වෙරළ තීරයටද ගොඩගසා තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

එසේම අම්බලන්ගොඩ – අකුරල වෙරළ තීරයටද නෞකාවෙන් මුහුදට එක්වූ ප්ලාස්ටික් ඇතුලු අපද්‍රව්‍ය රැසක් ගොඩගසා තිබුණා.

මුහුදු වෙරළ ආශ්‍රිතව වැලිවල පැහැයේ යම් වෙනසක්ද දක්නට ලැබුණු බවයි ප්‍රදේශවාසියෙකු සඳහන් කළේ.

එසේම අපද්‍රව්‍ය හේතුවෙන් ධීවර ජනතාවගේ දැල් ආම්පන්නවලට හානි සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (29) හිරු ප්‍රවෘත්ති අංශය කළ අනාවරණයත් සමඟ ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ඒ පිළිබඳව අදහස් දක්වා සිටියා.

ඒ, අද (30) හිරු ටී වී ඔස්සේ විකාශය වූ පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින්.

@@@@@@@@@@@@@@@@

(30.05.2021 – 11:05 +0530 – hirunews.lk/sinhala)

රටින් ඊයේ දිනයේ වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 2,882 අතරින් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා. එම සංඛ්‍යාව 541 ක්. ඉන් වැඩිම පිරිසක් එනම් ආසාදිතයන් 95 දෙනෙකු වාර්තාවී ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයෙන්.

කොළඹ දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයන් 442 ක්, කළුතරින් ආසාදිතයන් 241 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 205 ක් ඊයේ (29) වාර්තාවුණා.

ඊට අමතරව මහනුවර, කුරුණෑගල, ගාල්ල, කෑගල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්කවලින්ද කොරෝනා ආසාදිතයන් 100 ඉක්මවා වාර්තාවී ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(30.05.2021 – 07:39 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍ය සහ ඉන්දීය ප්‍රභේදය මුසුවූ නව කොරෝනා ප්‍රභේදයක් වියට්නාමයෙන් සොයාගෙන තිබෙනවා.

වාතය මගින් සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඉතා භයානක බවයි වියට්නාම සෞඛ්‍ය අමාත්‍ය එන්ගුවෙන් තාන්-ලෝන් ප්‍රකාශ කළේ.

කොරෝනා වෛරසය පාලනය කළ රටක් ලෙස වියට්නාමය සැළකෙන අතර, ගතවූ පැය විසි හතරේ (24) එරටින් වාර්තාවී තිබුණේ නව ආසාදිතයන් 143 ක් පමණයි.

ඒ අනුව එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 6,713 ක් ලෙසයි.

නව මරණ කිසිවක් එරටින් වාර්තාවී නොමැති අතර, ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 47 ක් ලෙස සටහන් වුණා ෴

++++++++++++++++++++++

(30.05.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද (30) දින විවෘතවීමත් සමඟ එළවළු තොග විශාල වශයෙන් ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබී තිබෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (30) උදෑසන වනවිට එළවළු සහ පළතුරු කිලෝග්‍රෑම් ලක්ෂ 100 කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබූ බවයි එහි කළමනාකරණ භාරය සඳහන්කළේ.

සංචරණ සීමා ලබන හත්වනදා (07) දක්වා අඛන්ඩව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් අද (30) සහ හෙට (31) දින දෙකේ සියලුම ආර්ථීක මධ්‍යස්ථාන විවෘතව තැබීමට රජය තීරණය කළා.

ඒ, තොග වෙළඳුන්ට සහ බලපත්‍රලාභී ජංගම අලෙවිකරුවන්ට භාණ්ඩ මිලදී ගැනීම සඳහායි.

පෑලියගොඩ මැනිං පොදු වෙළඳපොලට ද අද (30) උදෑසන වනවිට එළවළු තොග ලැබී තිබූ අතර, එළවළු මිල ගණන්ද පෙර දිනවලට සාපේක්ෂව පහළ බැස තිබෙනවා.

එළවළු තොග මිලදී ගැනීම සඳහා පමණක් විවෘත කර තිබූ අද (30) දිනයේදී දිවයිනේ සියලුම පළාත්වලින් එළවළු තොග ලැබී තිබූ බවයි එම වෙළඳපොලේ ප්‍රධාන සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා සඳහන් කළේ.

මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයටද අද (30) දින මාළු තොග ලැබී තිබූ අතර, ඒවා මිලදී ගැනීම සඳහා වෙළෙන්දන් පැමිණ සිටි අතර, ඇතමුන් චෝදනා කළේ සංචරණ සීමා හමුවේ තමන්ට මාර්ගවල ගමන් කිරීමේදී දැඩි අපහසුතාවන්ට පත්වූ බවයි.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයටද අද (30) උදෑසන වනවිට එළවළු කිලෝ ලක්ෂ දෙකක (2) පමණ තොග ලැබී තිබූ බව එහි කළමනාකරු ලසන්ත සංජීව මහතා ප්‍රකාශ කළා.

මේ අතර තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයටද අද (30) දින එළවළු තොග ලැබී තිබූ අතර, ඒ පිළිබඳව එම මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සේනාරත්න මහතා කියා සිටියා.

කෙසේ වෙතත් හිරු වාර්තාකරු සඳහන් කළේ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ සිටි ඇතැම් වෙළඳුන් සහ ගොවි නියෝජිතයින් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකළ බවටයි.

පසුව පොලීසිය මැදිහත්වී ඒ සම්බන්ධයෙන් ඔවුන්ට අවවාද කර තිබෙනවා.

මේ අතර කැප්පෙටිපොල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයද අද (30) දින විවෘතව පැවතියද එළවළු තොග ලැබී තිබූ නමුත් ඒවා මිලදී ගැනීම සඳහා වෙළඳුන් පැමිණ නොසිටි බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රසන්න පද්මසිරි සඳහන් කළේ.

ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයද අද (30) සහ හෙට (31) විවෘතව පවතින අතර, ස්ථානභාර නිලධාරී සම්පත් උදයංග මහතා සඳහන් කළේ මධ්‍යස්ථානයට ලැබී තිබූ කෙසෙල් ඇතුලු පළතුරුවල මිල ගණන් විශාල ලෙස පහළ ගොස් ඇති බවයි.

ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑමයක් රුපියල් 10 දක්වා පහත බැස තිබූ බවයි වෙළඳ නියෝජිතයන් ප්‍රකාශ කළේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග විශාල වශයෙන් ලැබී තිබූ අතර, මහනුවර – යාපනය – ඒ-9 මාර්ග දෙපස කිලෝමීටර් ගණනාවක් එළවළු සහ පළතුරු රැගෙන පැමිණි ලොරි රථ නවතා තිබූ නවතා තිබුණා.

+++++++++++++++++++++

අර්බුදයක් වූ කොවිඩ් වාර්තාව

(30.05.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ජාතික රෝහලේදී මිය ගිය කාන්තාවකගේ මෘත දේහයක් පවුලේ ඥාතීන්ට භාර දීමෙන් අනතුරුව කොරෝනා ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් පවුලේ ඥාතීන් සහ මල්ශාලාවේ පිරිස් අපහසුතාවට පත්වීමේ සිද්ධියක් වේයන්ගොඩ – උදම්මිට ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මිය ගිය කාන්තාව පසුගිය 17 වන දා ජාතික රෝහලට ඇතුළත් කර ඇත්තේ සැත්කමකට භාජනය කිරීම සඳහායි. රෝහල්ගත වන අවස්ථාවේ සිදුකළ කොරෝනා පරීක්ෂණයෙන් ඇය ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී ඇති අතර, සැත්කමෙන් පසුව නිවසට පැමිණ දින කිහිපයකට පසු යළි රෝගාතුර වී ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම අවස්ථාවේදී ද කොරෝනා පරීක්ෂණයක් සිදුකර ඇති අතර, ඊට පසුදින ඇය මිය ගොස් ඇත්තේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

රෝහල් බලධාරීන්, පවුලේ ඥාතීන්ට කළ දැනුම්දීමක් අනුව දේහය භාරගෙන මල්ශාලාවට රැගෙන ගොස් එම කටයුතු ද අවසන් කර නිවසට රැගෙන ඒමට කටයුතු සූදානම් කර තිබියදී රෝහල මගින් දැනුම් දී ඇත්තේ මියගිය කාන්තාවට කොරෝනා ආසාදිත බවටයි.

+++++++++++++++++++++

(30.05.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වැඩි මිලට සයිනොෆාම් එන්නත් මිලදී ගෙන ඇති බවට වන චෝදනාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

එම තානාපති කාර්යාලයේ නිළ ට්විටර් ගිණුමට එක් කර තිබූ සටහනකින් ප්‍රකාශ කර තිබුණේ වේගවත් බෙදා හැරීමක් සඳහා හොදම ආයතනික මිලක් ශ්‍රී ලංකාවට ලබාදී ඇති බවයි. සියළුම ඖෂධ සමාගම් වෙනස් මිල පරාසයන් යටතේ කටයුතු කිරීම පොදු තත්ත්වයක් බව ද එහි වැඩිදුරටත් සදහන්.

එමෙන්ම, සයිනොෆාම් එන්නත් මාත්‍රාවක් ශ්‍රී ලංකාවට ලබාදුන් මිලට වඩා අඩු මිලට බංග්ලාදේශයට ලබාදී ඇති බවට එල්ල වන චෝදනාවට ද චීන තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි චීන තානාපති කාර්යාලය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ.

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන මිල ගණන් පිළිබද තොරතුරු අසත්‍ය බවත්, එන්නත් මිලදී ගැනීමේ ගිවිසුම් තවමත් අවසන්ව නොමැති බවත් බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති අතර, සමාජ මාධ්‍ය තුළ අසත්‍ය පුවත් පළ වීම අදාළ මිලදී ගැනීමේ ක්‍රියාවලියට ද බාධාවක් වී ඇති බවයි චීන තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ.

මේ අතර කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන් යාපනය, මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (30) සිට ආරම්භ කෙරුණා.

මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කෙරුණේ කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසලේදී සහ මැණික්හින්න – පිලවල මහා විද්‍යාලයේදීයි.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කෙරුණේ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේදී සහ නවනගරය කුඹුගොඩආර – රතනාරාම විහාරස්ථානයේදියි.

එන්නත්කරණයට ලක් කරන පුද්ගලයන්ගේ ජංගම දුරකථනයට වේලාව සහ ස්ථානය වෙන වෙනම ලබාදීමට ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය විශේෂ වැඩපිළිවෙලක් යොදා තිබීම හේතුවෙන් එන්නත්කරණ ස්ථානවල තදබදය අවම කර ගැනීමට හැකි වූ බවයි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.එම්.කේ. බණ්ඩාර මහතා සඳහන් කළේ.

මේ අතර, නිරෝධායන නීති උල්ලංගණය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් සංඛ්‍යාව දිනෙන් ඉහළ යන තත්ත්වයක් තුළ මේ දක්වා දෛනිකව අත්අඩංගුවට ගත් වැඩිම පිරිස ඊයේ (29) දිනයේ වාර්තා වී තිබුණා.

පසුගිය 23 වන දා 369 ක්ව පැවති සැකකරුවන් සංඛ්‍යාව අද වන විට ඉහළ ගොස් ඇත්තේ 914 ක් ලෙසයි.

නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සාකච්ජාවකට එක්වුණා.

එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කියා සිටියේ ජනතාව අපහසුතාවට පත්වන කටයුතු කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.

ඊයේ (29) දිනයේ මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 2,882 අතරින් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා. එම සංඛ්‍යාව 541 ක්.

ඉන් වැඩිම පිරිසක් එනම් ආසාදිතයන් 95 දෙනෙකු වාර්තාවී ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයෙන්.

දෙවනුවට වැඩිම ආසාදිතයන් වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 442 ක්.

කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 241 දෙනෙකු ඊයේ (29) වාර්තාවී ඇති අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 205 ක්.

මහනුවර, කුරුණෑගල, ගාල්ල, කෑගල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්කවලින්ද කොරෝනා ආසාදිතයන් 100 ඉක්මවා වාර්තාවී ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

+++++++++++++++++++++

(30.05.2021 – 14:15 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (30) මාතර දිස්ත්‍රික්කයේ සිදුකරන එන්නත්කරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා එක්වුණා.

ඒ අනුව මාතර – වැල්ලමඩම ප්‍රදේශයේ පිහිටි මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථානයට ගිය අග්‍රාමාත්‍යවරයා එහි කටයුතු නිරීක්ෂණය කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයට එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාවට නංවන ලෙස උපදෙස් දුන් අග්‍රාමාත්‍යවරයා එන්නත්කරණ ක්‍රියාවලිය අඛන්ඩව ක්‍රියාත්මක කළ යුතු බවද සඳහන් කළා.

+++++++++++++++++++++

(30.05.2021 – 14:18 +0530 – hirunews.lk/sinhala)

සමස්ත හෙද කාර්ය මණ්ඩලය සඳහා කොරෝනා එන්නත ලබාදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (31) දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් එස්.බී. මැදිවත්ත මහතා ප්‍රකාශ කළේ හෙට (31) පෙරවරු හතේ (07:00) සිට අනිද්දා උදෑසන 07:00 දක්වා මෙම වර්ජනය දියත් කරන බවයි.

මේ අතර, කොරෝනා රාජකාරි ඉටුකිරීමේදී අවදානම් දීමනාවක් ලබාදීම ඇතුලු තම ඉල්ලිම්වලට හෙට (31) දිනයට පෙර විසඳුම් ලබා නොදුනහොත් දැනුම්දීමකින් තොරව තම සංගමය ද වර්ජනයකට අවතීරණ වන බවයි සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තිය සමිති සම්මේලනය ප්‍රකාශ කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *